2018 ජුනි 16 වන සෙනසුරාදා

ඉෆ්තාර් උත්සවයකට මමත් ගියෙමි...

 2018 ජුනි 16 වන සෙනසුරාදා, ප.ව. 06:00 1078

අත් ඔරලෝසුවේ වේලාව දැක්වුණේ හයයි එකොළහ වශයෙනි. සෙනඟ පිරී ඉතිරී ගිය පිටකොටුවේ වීථි අතරින් මම ගමනාන්තය කරා ළඟා වී සිටියෙමි.  ඉදිරියේ වූ දැවැන්ත ගොඩනැගිල්ල කරා හිස්වැසුම් පැළඳගත් තරැණ වියේ, මැදි වියේ, මහලු වියේ මෙන්ම බාල වියේද පිරිමි උදවිය ලහිලහියේ ඇතුළු වෙමින් උන්හ. මොහොතකින් මා ද ඒ මිනිස් පොදියේම එකකු බවට පත් විය. මා ඇතුළු වී සිටියේ මෙරට පැරණිතම මුස්ලිම් දේවස්ථානයකටය. මුස්ලිම් ජාතිකයන්ගේ ඉස්තරම්ම ආගමික උත්සව කාලසීමාව වන රාමසාන් සමයේ පල්ලිය තුළ සිදුකෙරෙන වතාවත් දැනගැනීම මේ ගමනේ පරමාර්ථය විය. 

පල්ලියට ඇතුළු වූ මොහොතේදී මා පිළිගත්තේ ෂිෆාන් නම් සංචාරක මඟපෙන්වන්නෙකි. අන්තර් ආගමික සංසදයක ක්‍රියාකාරී සාමාජිකයකු වන ෂිෆාන්‍ තම විවේක කාලයේදී සංචාරකයන්ට මුස්ලිම් දේවස්ථාන පෙන්වීමේ මාර්ගෝපදේශන කාර්යයේ යෙදී සිටී.  

“Come, Come Brother!” එය උණුසුම් මිත්‍රශීලී පිළිගැනීමක් විය. 

ඒ වන විටත් එදින රාමසාන් උපවාසය අත්හැරීමේ මොහොත ආසන්න වී තිබුණි. සෑම දිනකදීම හිරු උදාව සහ හිරු බැසයාම අනුව දෛනික උපවාසය අත්හැරීමේ වේලාව මිනිත්තුවකින් දෙකකින් වෙනස් වේ. මා එහි ගිය දිනයේ උපවාසය අත්හැරීමට නියමිතව තිබුණේ පස්වරු හයයි විසි හයටය. 

“අපිට තව ටික වෙලාවයි තියෙන්නේ. යාඥාව පටන් ගන්න කලින් අපි උඩට ගිහින් එමු” ෂිෆාන් කීය. ඊට එකඟ වූ මම පාවහන් ගලවා ඔහු පසුපසින් දේවස්ථානයේ තුළට පිවිසියෙමි. 

දේවස්ථානයට ඇතුළුවන තැනම තිබුණේ ජලය පිරුණු පොකුණකි. කඩිමුඩියේ පල්ලිය කරා දිව එමින් සිටි මිනිසුන් ප්ලාස්ටික් කෝප්පයක උපකාරයෙන් ජලය වත්කරගනිමින් තම අත් පා පිරිසුදු කරමින් සිටියෝය. මුස්ලිම් දේවස්ථානයකට ඇතුළුවීමේ පළමු පියවර එය බව ෂිෆාන් විස්තර කළේය. 

“පල්ලිය කියන්නේ පිරිසුදු බිමක්. ඉතින් අපිත් එතැනට ඇතුළු වෙන්න ඕනේ හිතින් වගේම ගතිනුත් පිරිසුදු වෙලායි”

ඉන් අනතුරුව අපි කෙළින්ම උඩුමහලට ගියෙමු. විවිධ වයස් මට්ටම්වලට අයත් ඉස්ලාම් භක්තිකයෝ පේළියට බිම වාඩිගෙන උන්නේ එරමිණිය ගොතාගෙනය. ඔවුන්ගේ හිස පැළැඳි තොප්පි නොවන්නට බෞද්ධ ධර්ම දේශනයකට වාඩි වී සිටින සැදැහැවත් උපාසක පිරිසක හා ඔවුන් අතර කිසිදු වෙනසක් තිබුණේ නැත. ඔවුන් වාඩිවී සිටියේ ඉදිරිපස පේළියේ සිටින අනෙකාගේ මුහුණ දෙස බලාගෙනය. පෙර සූදානමක් නොමැතිව පැමිණෙන නිසා මෙසේ අසුන්ගෙන සිටියදී අලුත් මිතුරන් ඇති කරගැනීමට ද ඔවුන්ට හොඳ අවස්ථාවකි.  

ඉදිරියේ එලා තිබුණු රෙදිවලින් කළ පැදුරුවල සෑම කෙනකුම ඉදිරියේ කුඩා දීසියක තැබූ රට ඉඳිගෙඩි තුනක්, සමෝසා එකක් සහ චයිනීස් රෝල් එකක්, වතුර බෝතලයක්, කන්ජි (කැඳ) කෝප්පයක් දක්නට ලැබුණි. පාන්දර හතරේ සිට පැය දාහතරක පමණ කාලයක් නිරාහාරව සිටින ඔවුහු තම දෛනික උපවාසය අවසන් කරන්නේ (ඉෆ්තාර්) එලෙසිනි. 

අප එසේ සිටියදීම පල්ලියේ ඉහළ මාලයක සිට යාතිකාවක් වාදනය වන්නට පටන් ගැනුණි. 

අල්ලාහු අක්බර්....// (දෙවියන් ශ්‍රේෂ්ඨයි) 

අෂ් හදු අන්ලා ඉලහා ඉල්ලා අල්ලා....// (අල්ලා හැර වෙනත් දෙවියකු නොමැති බවට මම සාක්ෂ්‍ය දරන්නෙමි) 

අෂ් හදු අන්නා මුහම්මදර් රසුරුල්ලාහ්...// (මුහම්මද් යනු දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවා බවට මම සාක්ෂ්‍ය දරන්නෙමි) 

හය්යා අස් සලාහ්// (යාඥාවට එක්වන්න)

හය්යා අල් ෆලාහ්// (සාර්ථකත්වයට පැමිණෙන්න) 

අල්ලාහු අක්බර්// (දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි) 

ලා ඉලහා ඉල්ලා අල්ලා//   (දෙවියන් වැඳීම හා සමාන වෙනත් වන්දනයක් තවත් නොමැත) 

එම යාතිකාව ශ්‍රවණය වනවාත් සමඟම අසුන්ගෙන සිටි මුස්ලිම් ජාතිකයෝ සියලු දෙනා තම තමන්ගේ දීසියේ තිබුණු රටඉඳි ගෙඩියක් ගෙන සෙමෙන් සපන්නට පටන් ගත්හ. පැය ගණනාවක් පුරා නිරාහාරව සිටි ඔවුන් ඉවසිල්ලකින් තොරව ආහාර ගනු ඇතැයි සිතා සිටියද එවැනි හදිසියක් අතරින් පතර හෝ දක්නට ලැබුණේ කුඩා දරුවකුගෙන් පමණි. අන් සියල්ලෝම මනා සංයමයකින් යුතුව රටඉඳි ගෙඩිය ඉවරවන තුරැ සපා ඉන් අනතුරැව වතුර උගුරක් පානය කළහ. 

“හැමෝම ඉස්සෙල්ලම කන්න ගත්තේ රටඉඳි.. ඇයි ඒ? විශේෂ හේතුවක් තියෙනවද?” 

“ඒක ඇත්තටම අපේ සම්ප්‍රදායක්. නබිතුමා තමන්ගේ දෛනික උපවාසය අවසන් කරලා තියෙන්නේ රටඉඳි ගෙඩි තුනක් කාලා ඉන්පස්සේ වතුර උගුරු කිහිපයක් බීලයි. දැනටත් මැදපෙරදිග ගොඩක් රටවල උපවාසය අවසන් කරන්නේ ඒ විදිහට. කන්ජි, සමෝසා, පැටිස්, රෝල්ස්, ෆලූඩා, පළතුරු වගේ දේවල් දෙන එක දකුණු ආසියාවේ මුස්ලිම් අය අතර ජනප්‍රිය වෙච්ච දෙයක්” 

“එතකොට මුස්ලිම් කාන්තාවෝ උපවාසය අත්හරින්නේ ගෙදර ඉඳලද?” 

“නැහැ නැහැ ඒ අයත් පල්ලියට එනවා ඔහු මට තිරරෙද්දකින් ආවරණය වූ කොටසක් පෙන්වමින් කීය. එයාලා වෙනම කොටසක ඉන්නෙ” 

“මම අහලා තියෙන්නේ මුස්ලිම් කාන්තාවෝ සාමාන්‍යයෙන් පල්ලියට එන්නෑ කියලනෙ...” 

“අයියෝ එහෙම එකක් නෑ, කුරානෙ කොතැනකවත් කියලා නෑ කාන්තාවන්ට පල්ලියට එන්න බෑ කියලා. හැබැයි එක දෙයක් තියෙනවා. කාන්තාවන්ටයි පිරිමින්ටයි එකට ඉඳගෙන යාඥා කරන්න බෑ”

“ඒ මොකෝ?”

“අපි දෙවියන් එක්ක ඉන්න වෙලාවෙදි අපේ අවධානය කොයිම විදිහකින්වත් බිඳෙන්න හොඳ නෑ. අනික ඉස්ලාම් යාච්ඥා ක්‍රමයේදී අපිට ඉදිරිපසට නැමෙන්න සිදුවෙනවා, දෙදණ ගසාගෙන නැමී ඉන්න සිදුවෙනවා. ඉතින් කාන්තාවනුයි පිරිමිනුයි එක තැන ඉඳගෙන එහෙම කරද්දි ඒක අවධානය බිඳෙන්න හේතුවෙන්න පුළුවන්නේ” 

ආහාර ගැනීමෙන් පසු නැඟී සිටි සියල්ලෝම ඉන් අනතුරුව යාඥා කරන්නට පටන් ගත්හ. එහි දක්නට ලැබුණු අපූර්වත්වය වූයේ සියලු දෙනාම එකම දිශාවක් බලා යාච්ඥා කිරීමය. ඒ දිශාව වූයේ ශුද්ධ වූ මක්කම පිහිටි දිශාවයි. 

“මක්කම තියෙන්නේ මේ දිශාවේ කියලා ලකුණු කරලා තියෙනවද?” 

“නෑ එහෙම ලකුණු කිරීමක් නැහැ. ඒත් හැමෝම දන්නවා ඒ මොන දිශාවද කියලා. සාමාන්‍යයෙන් අපේ රටේ පිහිටීම අනුව අපි වයඹ පැත්තට හැරිලා තමයි යාඥා කරන්නෙ. අමෙරිකාවේ ඉන්න මුස්ලිම් අය යාඥා කරන්නේ ගිනිකොණ දිශාවට හැරිලයි” 

“අපි යමු පහළට. ගිහින් මොනව හරි කන ගමන් තව කතා කරමු” ඔහු ආහාර ගන්නට ඇරයුම් කළේය.

පහත මාලයේ විශේෂයෙන් සූදානම් කර තිබූ මේසයක් මත දීසියක තැබූ රටඉඳි ගෙඩි තුනක්, සමෝසා එකක්, චයිනීස් රෝල් එකක්, කන්ජි කෝප්පයක්, ලඩ්ඩු එකක්, පළතුරැ සලාදයක්, ඇපල් ගෙඩියක් සහ දොඩම් ගෙඩියක් ද වතුර බෝතලයක් ද මා එනතුරු බලා සිටියේය. 

“කන්ඩ කන්ඩ!!” ඔහු ද රටඉඳි ගෙඩියක් අතට ගනිමින් පැවසීය. 

මුස්ලිම් පල්ලියකට ඇතුළු වී සිටි මම ද මුස්ලිම් සම්ප්‍රදායට අනුව රටඉඳි ගෙඩියකින්ම වැඩ ඇල්ලීමි. කන්ජි කෝප්පය ඒ වන විට මඳක් සීතල වී ගොස් තිබුණ ද එහි තිබුණු ලුණු රසයත්, යහමින් යොදා තිබුණු කුළුබඩුත් නිසා ආසාවෙන් පානය කළ හැකි විය. 

“කන්ජි එක හදන්නේ හාල් වලින්. ඒ වගේම සමහර වෙලාවට චිකන් හරි බීෆ් හරිත් දානවා”

“ඇත්තටම රාමසාන් උපවාස කාලේ අරමුණ මොකක්ද?” 

“ගොඩක් අය හිතාගෙන ඉන්නෙ රාමසාන් කාලෙ කියන්නේ නිරාහාරව උපවාස කරන කාලයක් විතරයි කියලා. හැබැයි මූලිකම දේ තමයි රාමසාන් කාලෙදි අපි ගොඩක් ආගමික වතාවත්වලට යොමුවෙනවා. දිනපතා පල්ලියට එනවා, යාඥා කරනවා විතරක් නෙමේ, අපේ හැසිරීම් රටාව පවා අපි වෙනස් කරගන්නවා. ඒ කාලෙට අපි කාටවත් සැරෙන් කතා කරන්නෙවත් නැති තරම්. උපවාස කරන එකේ අරමුණ තමයි අපිට බඩගින්නේ තියෙන වේදනාව දැනගන්න එක. එහෙම කළාම අපිට කන්න නැති මිනිස්සු ගැන සංවේදී වෙන්න පුළුවන්” 

කෙසේ නමුත් ගැබිණි කාන්තාවන්, කිරිදෙන මව්වරුන්, කුඩා දරුවන්, මහල්ලන් සහ රෝගීන් ආදීන්ට රාමසාන් උපවාසයේ යෙදීමේ අවශ්‍යතාවයක් නැත. 

ඔහු විස්තර කළ ආකාරයට රාමසාන් සමයට දින 29 ක් හෝ 30 ක් අයත් වේ. එය කිසිම විටෙක ඊට අඩු හෝ වැඩි වන්නේ නැත. එය තීරණය කරනු ලබන්නේ සඳෙහි ගමන් රටාවත් සමඟය. වාර්ෂිකව කැලැන්ඩරයේ රාමසාන් උත්සවය මෙදින යැයි කල්තබා සඳහන් වී තිබුණ ද මුස්ලිම් ජාතිකයන් රාමසාන් මෙදින යෙදෙන්නේ යැයි තීරණය කරන්නේ පෙරදා රාත්‍රියේ අඩ සඳ නැගේ දැයි නිරීක්ෂණය කිරීමෙනි. 

රාමසාන්, රාමදාන් වශයෙන් විවිධ නම්වලින් හැඳින්වෙන මේ මාසය අරාබි කැලැන්ඩරයේ සඳහන් මාසයක නමකි. එය හරියට ජෝර්ජියානු කැලැන්ඩරයේ ජනවාරි, පෙබරවාරි, මාර්තු වැනි නමකි. එහි නිශ්චිත අර්ථයක් උලුප්පාගැනීම දුෂ්කරය. රාමදාන්වලට අමතරව මුහරාම්, සෆාර්, ෂබාන්, ෂවාල් ආදී වශයෙන් මාස 12ට නම් 12 ක් තිබේ. 

රාමසාන් උපවාස කාලසීමාව දින දහය බැගින් කොටස් තුනකට වෙන් කෙරේ. ඉන් පළමු කොටස් දෙක, නොඑසේ නම් දින විස්ස වෙන්වන්නේ දෙවියන්ගෙන් ආශීර්වාද ලබාගැනීමටය. අවසාන දින දහය පව් කමා කරගැනීමට වෙන්කර ගැනේ. මෙම කාලසීමාව පුරාවට දිළින්දන් වෙනුවෙන් තම හැකි පමණින් ආධාර කිරීමට ද මුස්ලිම් ජනතාව පෙළෙඹෙති. එය අල් කුරානයෙන් ඔවුන්ට දී ඇති යොමුවකි. එමෙන්ම මුස්ලිම් ව්‍යාපාරික භවතුන් ද වසරක් පුරා තමන් උපයාගත් ආදායමෙන් සියයට 2.5 ක් දිළින්දන් වෙනුවෙන් වැය කළ යුතුය. එහෙත් ඒ සඳහා දිළින්දන් තෝරාගැනීම සම්බන්ධයෙන් ද කුරානයෙන් මඟපෙන්වීමක් තිබේ. 

දේශය අපිද, සහෝදර මුස්ලිම් ජනතාවට සුබ වසරක් ප්‍රාර්ථනා කරන්නෙමු!

ඊද් මුබාරක්! 

සටහන - රජිත ජාගොඩ ආරච්චි 
ඡායාරූප - අසීෆ් හුසේන් 

විශේෂ ස්තූතිය - 
ඉස්ලාම් අධ්‍යයන මධ්‍යස්ථානයේ උප සභාපති - අසීෆ් හුසේන්
සකීෆ් සාම් තන්වීරි
ෂිෆාන් රෆායිඩීන්
ආදිල් අලි සබ්රි

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00