2018 ජුනි 16 වන සෙනසුරාදා

දේශපාලන පෙම්වතියන්ගේ තෝම්බුව ඇති තැන අමෙරිකානු තානාපති මහින්ද කියයි

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 635

උප ඇමැති විෂයයන් ගැන ආගමික සටනක් 
ඥාණසාර හිමිටජම්පරේ වෙනුවටසුදු රෙද්දක් 
අගමැති පෞද්ගලික සංචාරයකට ලන්ඩනයට 
පක්ෂ මාරුවකට සැරසෙන දෙමළ සන්ධාන මන්ත්‍රී 
එ.ජා.පය ජනාධිපතිවරණයට නිල නොවන සටන අරඹයි 
ජනපතිවරණයට මෛත්‍රීගේ පැමිණීම නව මහ ලේකම් ස්ථිර කරයි

 

තවමත් දේශපාලන ක්ෂේත්‍රය කළඹන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධියයි. සතිපතාම පාහේ මෙම අපකීර්තිමත් ගනුදෙනුවට සම්බන්ධ විවිධ මහජන නියෝජිතයන්ගේ නම් හෙළිදරව් වෙමින් පවතී. බැඳුම්කරයෙන් මේ අය ප්‍රතිලාභ ලැබූ බවක් ඍජුවම සඳහන් නොවෙතත් බැඳුම්කර සමාගමෙන් ප්‍රතිලාභ ලබාගත් බව අධිකරණය හමුවේත් වෙනත් හෙළිදරව් කිරීම් මගිනුත් තහවුරුව තිබේ. දයාසිරි ජයසේකර, සරත් ෆොන්සේකා සහ සුජීව සේනසිංහ යන මහජන නියෝජිතයන්ගේ නම් දැනට මේ සම්බන්ධව හෙළිදරව්ව ඇත.

පසුගියදා මේ ගැන පාර්ලිමේන්තුවේ හටගත් උණුසුම් විවාදයකින් පසුව දැනට මැතිසබයට ඉදිරිපත් කොට නොමැති බැඳුම්කරයට සම්බන්ධ සියලු රහස්‍ය හා අතිසංවේදී ලේබලය යටතේ තැන්පත් කර තිබූ ලේඛන සභාගත කරන මෙන් පක්ෂ ගණනාවකින් ඉල්ලීම් ලැබිණි. දිනේෂ් ගුණවර්ධන, අනුර දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, වාසුදේව නානායක්කාර ආදී ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් මෙම ඉල්ලීම කතානායකවරයාට ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව කතානායකවරයා මෙම සිද්ධියට අදාළ සියලු රහස්‍ය ලිපිලේඛන තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට දැනුම් දුන්නේය. ඒ වන විට ඔහු රාජකාරි කටයුත්තක් සඳහා ඔස්ට්‍රියාවේ වියානා නුවරට ගොස් සිටියේය. මේ සතියේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැමිණි වහාම කතානායක කරු ජයසූරිය මහතා ඔහුට දුරකතනයෙන් කතා කළේය. ඔස්ටින්ගෙන් කතානායකවරයා ඉල්ලා සිටියේ ඉතා ඉක්මනින් මෙම ලේඛන තමන්ට සපයන ලෙසය. ඔස්ටින් ප්‍රනාන්දු මහතා වහාම ඊට පියවර ගන්නා බව කතානායකවරයාට කීය. එම ලේඛන ලැබුණු පසු විශේෂ පක්ෂ නායක හමුවක් කැඳවා පක්ෂ නායකයන්ට තොරතුරු ඉදිරිපත් කොට අවශ්‍ය පියවර ගැනීමට කතානායකවරයා තීන්දු කර ඇතැයි දැනගන්නට ඇත.

එ.ජා.පයේ හා ශ්‍රී.ල.නි.පයේ කිහිප දෙනකුට රාජ්‍ය අමාත්‍ය පදවි සහ උප ඇමැති පදවි පිරිනැමීම සඳහා ජනපති අගමැති එකඟ වූයේ මෙයට සති ගණනාවකට පෙරදීය. ඒ අනුව එ.ජා.පයේ මන්ත්‍රීන් 6 දෙනකුටත් ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රීන් දෙදෙනකුටත් තනතුරු ලබාදීමට යෝජනා විය. මේ අය අතරින් විදේශගතව සිටි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා හැර සෙසු අය අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දුන්හ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මිය පෞද්ගලික සංචාරයක් සඳහා මහා බ්‍රිතාන්‍ය බලා ගොස් සිටි නිසා මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරමින් සහභාගි වූයේ සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව දෙමළ දේශපාලන පක්ෂවලින් මෙම පත්කිරීම් සම්බන්ධව කිසියම් විරෝධයක් එල්ල විය. ඊට හේතුව හින්දු ආගමික හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ධූරයට වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පත් කිරීමය. දෙමළ ජනයාගේ ආගමික හා සංස්කෘතික කටයුතු බාර නියෝජ්‍ය අමාත්‍ය පදවියට මුස්ලිම් භක්තිකයකු පත් කිරීම සම්බන්ධව රජයේ සහ විපක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨ දෙමළ දේශපාලනඥයන් ගණනාවක්ම සිය විරෝධය පළ කළහ. රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ වඩිවේල් සුරේෂ් මහතා කීවේ මෙය නොකළා නම් ඉතා හොඳ බවය. අනතුරුව රජයෙන් ප්‍රකාශ වූයේ කාදර් මස්තාන් අමාත්‍යවරයාගේ හින්දු විෂය වෙනස් කරන බවය. දෙමළ ජාතික සන්ධානය ද ඊට විරෝධය පළ කළේය.

එසේම ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය පදවියට භක්තිමත් බෞද්ධ පවුලකින් පැවත එන රංජිත් අළුවිහාරේ මහතා පත් කිරීම ගැන ද ඇතැම් දේශපාලන පර්ශදවල කතාබහ ඇතිවූ නමුත් කිසිවකු ඒ ගැන විවෘත මත දැක්වීමක් කළේ නැත. එහෙත් රජයේම ඇතැමුන්ගේ මතය වී තිබුණේ සංහිඳියාව තහවුරු කිරීම සඳහා මෙබඳු පත්වීම් වරදක් නැති බවය.

නියෝජ්‍ය කතානායක පදවියට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත් කිරීමට ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ඒකාබද්ධයේ පිරිසක් එකඟ නොවීම නිසා එම කණ්ඩායම තුළ අළු යට ගිනි සටනක් පටන්ගෙන තිබිණි. සුදර්ශනී පරාජය කරන්නට මූලිකත්වය ගත්තා යැයි ඒකාබද්ධයේම සමහරු චෝදනා කරන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පොහොට්ටුවට සුදර්ශනීලා හිරිහැර කළ බැවින් සහාය නොදුන් වගයි. එහෙත් සුදර්ශනී කීවේ දිස්ත්‍රික්කයේ තිබෙන මනාප පොරය හේතුවෙන් හටගත් ඉරිසියාව නිසා ඔවුන් තමන්ට සහාය නොදුන්නා කියායි.

මේ ආරවුල ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද දැඩි කේන්තියෙන් පසුවූයේ සුදර්ශනී මෙම සටනට ඉදිරිපත් කරන ලෙස 16 දෙනාගේ කණ්ඩායමේ එස්. බී. දිසානායක මහතාට දැන්වූයේ තමන් නිසාය. මහින්දගේ වචනය නොවන්නට සුදර්ශනී මෙම සටනට ඉදිරිපත් නොවන බවද කියා තිබිණි. කෙසේ හෝ ඉන් පසු මේ සතියේ ගම්පහ පැවති එස්.ඩී. බණ්ඩාරනායක ගුණසමරු උළෙලට එහි සංවිධායකයන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ආරාධනා කර තිබිණි. සුදර්ශනී එම උත්සවයට පැමිණ අසුන්ගෙන සිටියදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ද එහි පැමිණියේය. සුදර්ශනී එහි සිටිනු දුටු ප්‍රසන්න උත්සවයට සහභාගි නොවී සිය විරෝධය පළකොට ඉවත්ව ගිය බවද වාර්තා විය. ප්‍රසන්නලා දිගින් දිගටම ප්‍රකාශ කළේ 16 දෙනාගේ කණ්ඩායමට අවශ්‍ය නම් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත හැකි බවය. එසේ නැතිව ඔවුන් පොහොට්ටුවට පිළිගත නොහැකි යැයි ප්‍රසන්නලා ප්‍රකාශ කර තිබිණි.

කෙසේ හෝ මෙම තත්ත්වය ගැන ප්‍රසන්න රණතුංග හා රෝහිත අබේගුණවර්ධන වැනි ජ්‍යෙෂ්ඨයන්ට ලොකු දෝස්මුරයක් දැමූ මහින්ද රාජපක්ෂ මහතා එදිනම රාත්‍රියේ හදිසියේම ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල නිවසට කැඳවා පවත්නා තත්ත්වය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව දැනගන්නට තිබේ. සිය අනාගත දේශපාලන ගමන් මඟ සම්බන්ධව මහින්ද හා ගෝඨා හමුවී වැදගත් තීන්දු ගණනාවක් ගත් බවද සඳහන් වූ නමුත් ඒ ගැන කිසිදු තොරතුරක් පිටතට වාර්තා නොවීය.
මෙම පසුබිමේ ගිය අඟහරුවාදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් හා පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබිණි. ඒ සඳහා පොහොට්ටුවෙන් බැසිල් රාජපක්ෂ මහතාද පැමිණියේය. මෙහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා අදහස් දැක්වීම ආරම්භ කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට තිබෙන 2/3ක බලය අහිමි කිරීම සඳහා ශ්‍රී.ල.නි.පයෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සහාය අත්‍යවශ්‍ය බවය. නැතිනම් රජය අත්තනෝමතික වැඩ කරන්නට 2/3 බලය පාවිච්චි කරන බව කී විමල් ඉවත් වූ මන්ත්‍රීන් 16 දෙනා දිනාගන්නට මෛත්‍රී ජනාධිපතිවරයා සියුම් ලෙස ක්‍රියා කරමින් සිටින බව පෙන්වා දුන්නේය. ඒ නිසා ඔවුන් විපක්ෂයට දිනාගැනීම ඉතා වැදගත් යැයි විමල් වැඩිදුරටත් කීය. එහෙත් බැසිල් රාජපක්ෂ මහතා ඊට එකඟ නොවීය. බැසිල් කීවේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නියෝජිතවරිය වූ සුදර්ශනීලාට පන්දම් අල්ලන්නට ඒකාබද්ධයේ සිටින අයට යුතුකමක් නැත කියායි.

බැසිල්ගේ මෙම ප්‍රකාශයට මහින්ද රාජපක්ෂ මහතාට තරහා  ගිය පෙනුණි. ඔහු කතාව පටන් ගත්තේය. “මේ යෝජනාව මෛත්‍රී ජනාධිපතිවරයාගේ යෝජනාවක් නොවේ. මේක මගේ යෝජනාවක්. මමයි එස්. බී. හරහා සුදර්ශනීට එන්න කියලා පණිවිඩේ දුන්නේ. මම මගේ ඒ තීන්දුව කණ්ඩායමට පැහැදිලිව කියලා තියෙද්දී ඒ කිසි දෙයක් නොසලකා මෙහෙම වැඩ කරන්න පුළුවන්නම් නායකයෙක් මොකටද?මේ මන්ත්‍රී කණ්ඩායමේ ඉන්න අය මගේ නායකත්වය පිළිගන්නවානම් අපේ පොදු තීන්දුව අනුව නායකයාගේ අදහසටත් කන් දීලා වැඩ කරන්න.... එහෙම නැතුව එක එක්කෙනාට ඕන හැටියට වැඩ කරන්න පුළුවන්නම් මම මොකටද මෙතන වාඩි වෙලා ඉන්නේ?” කියමින් මහින්ද රාජපක්ෂ මහතා බැසිල්ට කදිම පිළිතුරක් දුන්නේය. එහෙත් බැසිල් ද කරුණු දැක්වීම නතර කළේ නැත. ඔහු කීවේ“දැන් බලන්න ඔය 16 දෙනාගේ කණ්ඩායම දෙමළ සන්ධාන සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වගේ හැම පක්ෂයක්ම මුණගැහුණා. ඒත් පොහොට්ටුවේ අපිට කතා කළේ නැහැ.. ඒක වැරදි නැත්ද?” බැසිල් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරැ දීමට ආවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාය.“ඒක පුදුම කතාවක්නේ.... අපි කවුරුත් පොහොට්ටුවේ නායකයා හැටියට පිළිගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ අය 16 දෙනා මුලින්ම හමුවුණේ එතුමයි මොකද්ද එතන තියන වරද?” යනුවෙන් විමල් කියත්ම බැසිල් ද යමක් කියන්නට සැරසුණි. එවිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැඩි ලෙස කීවේ“ඔයාලගේ පොහොට්ටුවට මගේ නායකත්වය පිළිගන්න බැරිනම් මට කියන්න. එතකොට මගේ නායකත්වය පිළිගන්න කණ්ඩායමක් එක්ක මට වැඩ කරන්න පුළුවනි... ඒක මට ඉක්මනට දන්වන්න.” යැයි මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරද්දී රැවන්වැලි සෑයේ නායක හිමියන් පැමිණ ඇතැයි දැන්වූ නිසා මහින්ද රාජපක්ෂ මහතා රැස්වීමෙන් ඉවත්ව ගියේය.

ජනාධිපතිවරණයට තවත් කල් ඇතත් එ.ජා.පය දැන් සිටම ඊට අදාළ ප්‍රචාරක කටයුතු දියත් කරමින් සිටී. අමාත්‍ය මංගල සමරවීර ජාතික මට්ටමිනුත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පක්ෂ මට්ටමිනුත් ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් සිටිති. ජනාධිපතිවරණය ගැන මාධ්‍යයට ප්‍රකාශයක් කළ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ එ.ජා.ප.යේ අපේක්ෂකයා දැන් සිටම සූදානමින් නමුත් ඒකාබද්ධ විපක්ෂයට අපේක්ෂකයෙක් සොයාගත නොහැකිව අවුලකට පත්ව සිටින වගයි. ඒ අතර පක්ෂයේ මාධ්‍ය ලේකම් ධූරයට පත් හරීන් ප්‍රනාන්දු මහතා රජයේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ ව්‍යායාමය අරඹා ඇත. ඊයේ පෙරේදා ඔහු මාධ්‍ය හමුවක් කැඳවා සඳහන් කළේ වත්මන් ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය තදින්ම ක්‍රියාත්මක කර ඇති නිසා රජය නෝන්ජල් ආණ්ඩුවක් ලෙස ඇතැමුන්ට පෙනී යන බවය. එසේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් එ.ජා.පය ඉතාමත් සතුටු යැයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කීය. ගෝඨාභය ඉදිරිපත් වන්නේ නම් එය එ.ජා.ප අපේක්ෂකයාට ඉතා පහසුවක් යැයිද හෙතෙම ප්‍රකාශ කළේය. ඒ අතර පසුගියදා ශ්‍රී.ල.නි.පයට පත්වූ නව මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ගිය බදාදා සඳහන් කර තිබුණේ ශ්‍රී.ල.නි.පයෙන් ජනාධිපතිවරණයට එන අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගය.

මේ ආකාරයට එ.ජා.පයට හා ශ්‍රී.ල.නි.පය ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන විවිධ අදහස් උදහස් පළකරමින් සිටී. උතුරේ දෙමළ සන්ධානය සමඟ ගැටෙන මහ ඇමැති විග්නේෂ්වරන් ද ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට හොර ගල් අහුලමින් සිටින බව සඳහන් වේ. ඔහු එම ප්‍රයත්නය දරනවානම් දරන්නේ දෙමළ සන්ධානයට පාඩමක් ඉගැන්වීමට යැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග කියයි. පසුගිය දා විග්නේෂ්වරන්ට මීළඟ මහ ඇමැති අපේක්ෂකත්වය නොදෙන බව ප්‍රසිද්ධියේ කී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විග්නේෂ්වරන්ගේ මෙන්ම දෙමළ සන්ධානයේ ද උදහසට ලක්ව ඇතැයි කියැවේ. ඒ නිසා යම් කලකිරීමක පසුවන සුමන්තිරන් මහතා වෙනත් දේශපාලන මාවතකට යොමු වීමට තැත් කරන බවට ආරංචි පැතිර යමින් තිබේ.

කොළඹ සිටින අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතාගේ නිල කාලය හමාරවීමට ඇත්තේ තවත් කෙටි කලකි. ඔහු ඊට පෙර ප්‍රධාන පක්ෂ නායකයන් හමුවෙමින් තමන් ඉවත්ව යාමට පෙර කරන චාරිත්‍රානුකූල සාකච්ඡා අරඹා ඇත. ඒ අනුව මේ සතියේ ඔහු මුණගැසුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවෙසට ගිය අමෙරිකානු තානාපතිවරයා පැය දෙකක පමණ කාලයක් ඔහු සමඟ දේශපාලන හා දෙරට අතර සබඳතා ගැන කතා කළේය. ජාත්‍යන්තරවාදියකු නොවන මහින්ද රාජපක්ෂ මහතා සමඟ කළ කතාබහේ වඩාත් සංවේදී කොටස බවට පත් වූයේ ඉදිරි ජනාධිපතිවරණය ගැන කළ ප්‍රශ්න කිරීමයි. ඔබතුමාලගේ පක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන්නට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාද යන්න කෙෂාප්ගේ සෘජු ප්‍රශ්නය විය. සාමාන්‍යයෙන් තානාපතිවරුන් පක්ෂ නායකයන්ගෙන් අසන මෙබඳු ප්‍රශ්නවලට මුහුණ දී තෙම්පරාදුව සිටින මහින්ද එහිදී කීවේ “තවම නැහැ. ජනාධිපතිවරණය එන්න එපායැ. අපේ කණ්ඩායමෙන් දැනට නම් ගණනාවක් යෝජනා වෙලා. දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ විතරක් නොවේ බැසිල්ගේ නමත් සමහරු කියනවා...” මහින්ද කීය. එතකොට අපේක්ෂකයා ගෝඨාභය නොවේද? කෙෂාප් නැවත හාරඅවුස්සන්නට විය. ඊට මහ හඬින් සිනාවෙමින් පිළිතුරු දීමෙන් වැළකුණු මහින්දට කෙෂාප් කෙටි විග්‍රහයක් කළේය. “ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වියත් මග ඔස්සේ බුද්ධිමත් සංවාදයක් ආරම්භ කර තිබෙනවා. බුද්ධිමතුන් දක්ෂයන් කිට්ටු කරගෙනත් ඉන්නවා. එයාට හොඳ බුද්ධි තොරතුරු ජාලයකුත් තිබෙනවා. ඒත් කොපමණ ශක්තිමත් ද කිව්වොත් සමහරුන්ගේ දේශපාලන පෙම්වතියන් ගැන තොරතුරු පවා එයාට හරියට ලැබෙනවා.. ඒත් එතුමා ජනාධිපතිවරණයට දැම්මොත් ජයගන්න අමාරු වේවි. මොකද ඔහු සුළු ජාතීන් අතර ජනප්‍රිය චරිතයක් නොවෙයි.”

අමෙරිකානු තානාපතිවරයාගේ එම විග්‍රහයට මහින්ද උත්තර දෙන්නට ගියේ නැත. අනතුරුව මේ ආණ්ඩුව ගැන තිබෙන ජාත්‍යන්තර ප්‍රතිරූපය ගැන මහින්ද ප්‍රශ්න කළේය. ඒ ගැන කෙෂාප් තානාපතිවරයා විග්‍රහ කරමින් සවිස්තරව පැවසුවේ ආණ්ඩුවේ ප්‍රතිඥා සහ ක්‍රියාවන් අතර එතරම් සමීප බවක් නොදකින බවය. අමෙරිකාව ශ්‍රී ලංකාවට කළ සේවය ගැන ද යුද්ධය හමාර කරන්නට කළ උදව් පදව් ගැන ද කතාබහ ඇතිවිය. පුරා පැය දෙකක් පැවති මෙම කතාබහ හමාර වූයේ සුහද අයුරිනි. පසුව මේ ගැන දැනගත් ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයෙක් මහින්දගෙන් ජනාධිපති හමුව ගැන ප්‍රශ්න කළේය. “ඔව්. එයත් මට පණිවිඩයක් දීලා ගියා.” “කාගෙන්ද ඒ පණිවිඩේ?” ප්‍රකාශකයෝ ප්‍රශ්න කළහ. එහෙත් මහින්ද ඊට උත්තර දුන්නේ නැත. ඒත් ඔහු පැවසුවේ “කොහොම වුණත් ගෝඨාට හැමෝම හොඳටම බයවෙච්ච බවනම් පේනවා...” යන අදහස පමණි.

ආණ්ඩුවෙන් විපක්ෂයට ආ මන්ත්‍රීන් 16 දෙනාගේ කණ්ඩායම ගැන පසුගියදා පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය කාර්යාලයේදී ප්‍රකාශයක් කළේය. ඒ අය විපක්ෂයට එනවානම් කෙළින්ම පැමිණිය යුතු බවත් ආණ්ඩුවේ එක කකුලකුත් විපක්ෂයේ එක කකුලකුත් තබාගෙන සිටිනතාක් කල් ඔවුන් පිළිගතනොහැකි බවත් බැසිල් කීය. ඒ අතර 16 දෙනාගේ කණ්ඩායමෙන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවද වාර්තා විය. නමුත් එම කණ්ඩායම සම්පූර්ණ වශයෙන් ඊට එක්ව සිටියේ නැත. එම හමුවට 16 දෙනාගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් වන ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත හා අනුර යාපා මහත්වරු ද ලක්ෂ්මන් වසන්ත පෙරේරා ආදීන් ද එක් නොවූහ. මෙම මන්ත්‍රීන් 16 දෙනාගේ කණ්ඩායම මේ සති අන්තයේ මාතලේදී සම්මන්ත්‍රණයක් පවත්වයි. ඊට සහභාගී වන මන්ත්‍රීන් 16 දෙනා මාතලේදී සිය ඉදිරි ගමන ගැන අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව කියැවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධානය ගැන සාකච්ඡා කිරීමට පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීන් 16 දෙනා ජනාධිපතිවරයා විසින් සිය නිල නිවසට කැඳවන ලදී. මෙහිදී ඉතා සුහද ලෙස කතාබහ ආරම්භ කළ ජනාධිපතිවරයා පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති උත්සවයකදී තමන් ගැයූ ගීතයක් ගැන සඳහන් කළ පසු හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි ජනාධිපතිතුමාට අමනාප නොවන ලෙස ඉල්ලමින් පැවසුවේ ජනාධිපතිතුමා ගීත ගායනා කිරීමෙන් ජනතාවගේ අත්පොළසන් හෝ ප්‍රසාදය නොලැබෙන බවය. එවිට ජනාධිපතිවරයා කීවේ “ඔයා ගැන ගාල්ලේ රමේෂ් පතිරණලා බලාගනීවි.” කියායි. අනතුරුව ටී.බී. ඒකානායකගෙන් ප්‍රශ්න කළේ “ඔයා කියලා තිබ්බා නේද 6 දෙනෙක් එක්ක යනවය කියලා. මොකද වුණේ?” යනුවෙනි. ඊට පිළිතුරු දුන් ටී.බී. පැවසුවේ තමන් ගුග්ලියක් දමා බැලූ බව පමණි. ඩිලාන් පෙරේරා මෙහිදී සැර කතාවක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා නැතුව පක්ෂයට අනාගතයක් නැතැයි කීය. ඒ නිසා ඔහු අගමැති කර ජනතාව දිනා ගත යුතු යැයි ද ඔහු පැවසීය. නැත්නම් පක්ෂයන් පාක්ෂිකයන්ගෙනුත් දියවී යනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

පසුගියදා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 6ක සිරදඬුවම් සහ රුපියල් 50,000ක දඩයක් නියම වීමෙන් පසු උන්වහන්සේ වැලිකඩ සිරගෙදරට ගෙන යනු ලැබූහ. එහිදී දඬුවම්ලාභීන්ට ලැබෙන ජම්පරය ඇඳීම උන්වහන්සේ තරයේම ප්‍රතික්ෂේප කළහ. එහෙත් බන්ධනාගාර නීතිය අනුව දඬුවම්ලාභීන් ජම්පරය ඇඳිය යුතුය. ඥානසාර හිමියන්ගේ විරෝධය හේතුවෙන් උන්වහන්සේට ජම්පරය වෙනුවට දිගටම අඳනකඩය පිටින් ඉන්නට බන්ධනාගාර බලධරයෝ අවසර දුන්හ. එහෙත් සිවුර ඉවත් කෙරිණි. ඒ වෙනුවට සුදු රෙද්දක් පොරවාගෙන සිටින්නටද අවසර ලැබිණි.

කෙසේ වෙතත් බරපතළ වැඩ සහිතව සිරදඬුවම් දුන් පසු සිරගෙදර විවිධ වැඩ කටයුතු (පාටි රාජකාරි) පැවරේ. ඒවා පැවරීම පිළිබඳව පසුව තීන්දුවක් ගන්නා බව බන්ධනාගාර බලධරයෝ ප්‍රකාශ කළහ. 

 

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00