2018 ජුනි 09 වන සෙනසුරාදා

ඒකාබද්ධයේ පක්ෂ නායකයෝ දෙකට බෙදෙති

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 423

එ.ජා.පයෙන් රනිල් ජනපති සටනට ගේන්න පිඹුරුපත් සැකසේ 
අමරවීර වෙනුවට සුසිල් ගෙනෙයි! 
ප්‍රසන්න රණතුංගට රෝහිත අබේගුණවර්ධනට මහින්දගෙන් ගෝරනාඩුවක් 
ජනපති අගමැති හමුවට පොලිස්පති කැඳවා ප්‍රශ්න කරයි 
ගෝඨා එළියත් අරන් රට වටේ යන්න සැරසෙයි 
මල්වතු මහ නාහිමිගෙන් යහපාලනයට ප්‍රහාරයක්

ගෙවී ගිය සති අන්තයේ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංස්කරණ උදෙසා පැවති රැස්වීම් කෙරේය. පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව එකට අපේ ගම පරිශ්‍රයට ජනපතිවරයා විසින් කැඳවා තිබුණේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ශ්‍රී.ල.නි.පය ප්‍රතිසංවිධානයටයි. ඊට ඉඩකඩ සලසමින් පක්ෂයේ නිලධාරී මණ්ඩලයට ඉවත් වන ලෙස ජනාධිපතිවරයා කල් තබාම දැනුම් දී තිබිණි. ඊට අදාළ යෝජනාවක් සභාවට ඉදිරිපත් කිරීමට සකස් කරන ලෙස එතෙක් සිටි මහ ලේකම් දුමින්ද දිසානායක මහතාට ජනපතිවරයා උපදෙස් දී තිබිණි. 

ඒ අතර ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට ගිය ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින් 16 දෙනාගේ කණ්ඩායම දිගින් දිගටම ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටියේ පක්ෂ ප්‍රතිසංවිධානය සමඟ මෙතෙක් ශ්‍රී.ල.නි.ප මහ ලේකම් ධූරය දැරූ දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර යන දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කරන හැටියටයි. මේ අය එස්.බී. දිසානායක පක්ෂ මහ ලේකම් ධූරයටත් සුසිල් ප්‍රේමජයන්ත සන්ධාන මහ ලේකම් ධූරයටත් පත් කළ යුතු බවට තිරය පිටුපස සිට ලොකු ප්‍රචාරයක් ගෙන යමින් සිටියහ. කෙසේ හෝ ජනාධිපතිවරයා 16 කණ්ඩායමට දැනුම් දී සිටියේ පක්ෂ ප්‍රතිසංවිධානය එකවර සිදුකළ නොහැකි බවත් ඒ සඳහා කිසියම් සංක්‍රාන්ති කාලයක් අවශ්‍ය බවත්ය. අඩුම තරමින් දින 45 ක් තුළ එය සිදුකරන්නට මුලින් තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කරගත යුතු බව ජනාධිපතිවරයාගේ අදහස විය.

මෙහිදී බැරැරුම් ප්‍රශ්නය වූයේ තාවකාලික පදනමින් ලේකම්වරයකු පත් කර ගැනීමයි. ඒ සඳහා සුදුස්සෙක් තෝරාගැනීමේදී ශ්‍රී.ල.නි.පයේ සෑම කණ්ඩායමක් සමඟම සුහද හොඳහිත පවත්වාගෙන යන කෙනෙක් පත් කළ යුතුය යන්න එස්.බී. දිසානායකලා කියා තිබිණි. මෛත්‍රීපාල ජනාධිපති සමඟ මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟද පක්ෂය සමගි කරන්නට දිගින් දිගටම කතා කළ කැලණි සරසවියේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස තාවකාලික ලේකම් ධූරය සඳහා යෝජනා වූයේ ඒ අනුවය. ඔහුට සුසිල්, ජෝන් සෙනෙවිරත්න ආදී 16 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ද දුමින්ද දිසානායකලාද කැමැත්ත පළ කර තිබිණි. පසුව පක්ෂයේ රාජකාරි අරඹමින් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළේ තමන් පක්ෂයේ සමගිය උදෙසා සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කරන බවය. ළඟදීම ඔහු මහින්ද රාජපක්ෂ මහතා හමුවන බවද කියැවේ.

මේ සතියේ කාගේත් දැඩිව අවධානය යොමුව තිබූ තවත් විශේෂ සිදුවීමක් වූයේ නියෝජ්‍ය කතානායක තෝරාගැනීමේ ඡන්දයයි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ රජයෙන් ඉවත් වූ මන්ත්‍රීන් 16 දෙනා එක්ව සටනක් දීමට මුල සිටම කතාබහ කරගෙන සිටියෝය. ශ්‍රී.ල.නි.පයේ 16 දෙනාගේ කණ්ඩායම මේ සඳහා යෝජනා කර තිබුණේ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නමයි. එම නමට දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අනුමැතිය හිමිව තිබිණි.

එහෙත් සුදර්ශනී එම යෝජනාවට මුල සිටම අකමැති වූවාය. එ.ජා.ප ශ්‍රී.ල.නි.ප හවුල් ආණ්ඩුවට එරෙහිව එළියට බැස්ස තමන් නැවතත් ඒ හවුල් ආණ්ඩුවේම නියෝජ්‍ය කතානායක තනතුරට තරග නොකළ යුතුය යන්න සුදර්ශනීගේ ස්ථාවරය වී තිබිණි. මේ ගැන තිරය පිටුපස සාකච්ඡා යද්දී එස්.බී. දිසානායක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද අදහස් විමසුවේය. ඒ අවස්ථාවේ මහින්ද කීවේ සුදර්ශනීට සුළු ජාතික පක්ෂවලද සහාය ලැබෙන නිසා සුදර්ශනී ඉදිරිපත් කරන්නේ නම් හොඳ බවය. ඒ අනුව එස්.බී. සුදර්ශනීටද මේ බව දන්වා අවසානයේ නියෝජ්‍ය කතානායක සටනට ඇය එකඟ කර ගත්තේය. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ යම් පිරිසක් මුල සිටම මෙම නාමයෝජනාවට විරුද්ධ වූහ. සුදර්ශනී නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස මීට මුල්වූ බව තිරය පිටුපස වාර්තා සඳහන් කරයි.

කෙසේ හෝ සුදර්ශනීගේ නම ඉදිරිපත් කරන්නට සැරසෙන විට එ.ජා.පයද ආනන්ද කුමාරසිරි මහතාගේ නම යෝජනා කළේය. ඊට හේතු වූයේ මෙබඳු තනතුරු සඳහා නිතරගයෙන් යමෙක් පත්වීම සුදුසු වුවද සුදර්ශනී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂව ඡන්දය දීමයි.

ඡන්ද විමසීම පැවති ගිය අඟහරුවාදා උදෑසන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබිණි. එහිදී රාජපක්ෂ මහතා කීවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා විපක්ෂ කණ්ඩායම්වලින් ඉදිරිපත් කෙරෙන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට සහයෝගය ලබාදෙන ලෙසයි. එ.ජා.පයට එරෙහිව හොඳ සටනක් ලබාදෙන්නට මෙය අවස්ථාවක් කරගත යුතු යැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය. එහෙත් එහිදී ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් ඊට විරුද්ධව අදහස් දක්වා ඇති බව දැනගන්නට තිබේ. මෙතෙක් කල් මෛත්‍රීපාල ජනාධිපතිවරයා රැක්ක අයට තමන්ගේ සහාය නොලැබෙන බව මේ අය විවෘතවම කීහ. ගම්පහ දිසා මන්ත්‍රීවරුන් සුදර්ශනීට විරුද්ධ වෙද්දී මහින්ද රාජපක්ෂ මහතා කීවේ එසේ නම් ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් පමණක් ඡන්දය නොදී සිටින ලෙසයි.

ඒ ගැන වාද විවාදයකින් තොරව කණ්ඩායම් රැස්වීම හමාර වුවද සවස පාර්ලිමේන්තුව රැස්වන විට ප්‍රසන්න ඇතුළු ගම්පහ දිසා මන්ත්‍රීවරුන් මේ ගැන සෙසු තරුණ මන්ත්‍රීන් සමඟද කතා කරන්නට පටන්ගෙන තිබිණි. නියෝජ්‍ය කතානායක තනතුර සඳහා සුදර්ශනී හා ආනන්ද කුමාරසිරිගේ නම් යෝජනා කෙරෙන විට ප්‍රසන්න රණතුංග ඇතුළු ඒකාබද්ධයේ මන්ත්‍රීන් 15 ක් පමණ පාර්ලිමේන්තු කැන්ටිමට ගොස් සිටියහ. ඒ අය අතර චමල් රාජපක්ෂ මහතාද වූ අතර රෝහිත අබේගුණවර්ධන, කාංචන විජේසේකර, සී.වී චානක, රමේෂ් පතිරණ, පියල් නිශාන්ත, නිමල් ලංසා, ප්‍රසන්න රණවීර, අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, ෂෙහාන් සේමසිංහ ආදී මන්ත්‍රී පිරිසක් කැන්ටිමට වී නියෝජ්‍ය කතානායක ඡන්දය හමාරවන තෙක් සිටියේ ඡන්දය දීමෙන් වැළකී සිටීමටයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විදේශගතව සිටි බැවින් නොපැමිණියේය.

සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙබඳු ඡන්ද විමසීම්වලට නොපැමිණෙන අතර ඒ බව කණ්ඩායමට පූර්වයෙන් දන්වා තිබිණි. එසේම ඒකාබද්ධයේ ප්‍රධාන මෙහෙයුම්කරු බැසිල් රාජපක්ෂ මහතා දැඩි ලෙස උණ රෝගය වැළඳී දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටියි. මහින්ද රාජපක්ෂ මහතා ඔහු බලන්නට ගිය අවස්ථාවේද වෛද්‍ය උපදෙස් මත බැසිල් හමුවීමටද නොහැකි විය. කෙසේ හෝ නියෝජ්‍ය කතානායක ඡන්දයෙන් ආනන්ද කුමාරසිරි මහතා ජයගත් අතර අනතුරුව පවත්වන්නට නියමිතව තිබූ ඒකාබද්ධයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමට නොපැමිණ ප්‍රසන්න රණතුංගලා ගත් තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට ක්‍රියා කළෝය. දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන මහත්වරු මෙසේ පක්ෂ නායක හමුව වර්ජනය කළහ. ඔවුන් ප්‍රකාශ කළේ ඒකාබද්ධයේ පිරිසක් එ.ජා.පයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකළ බවය. එ.ජා.පයෙන් නියෝජ්‍ය කතානායකවරයකු පත් කරගන්නට සහාය දීම ඒකාබද්ධ විපක්ෂයේ පාක්ෂිකයන්ට කොකා පෙන්වීමක් යැයි ද ඔවුහු සඳහන් කළහ. මෙම චෝදනා නැගෙද්දී ඡන්දය නොදුන් පිරිසද තමන් වෙනුවෙන් නිදහසට කරුණු කීහ. ඔවුන් තමන්ගේ නිදහසට කරුණ ලෙස සඳහන් කළේ මෙතෙක් කල් ජනාධිපති මෛත්‍රී සමඟ සිටි සුදර්ශනීට ඡන්දය දෙන ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒකාබද්ධය තුළ ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගිය බවත් ඊට විරෝධය පළකිරීම සඳහා තමන් ඡන්දයෙන් වැළකුණ බවත්ය.

කෙසේ හෝ ඡන්දය හමාර වීමෙන් පසු මේ ගැන විමසා බැලීමට සිතූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද නොදුන් කණ්ඩායමේ ප්‍රසන්න රණතුංග හා රෝහිත අබේගුණවර්ධන යන දෙදෙනා කැඳවා වෙන වෙනම ප්‍රශ්න කළේය. විපක්ෂයේ සිටියදී ඡන්ද දිනන්නට දූවිලිත් අවශ්‍යවෙන වේලාවල් ඇතැයි කියන තමන්ගේ ප්‍රසිද්ධ කියමන මතක් කළ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසන්නගෙන් ප්‍රශ්න කළ විට ඔහු කීවේ තමන් සුදර්ශනීට උදව් කළහොත් පළාත් සභා මන්ත්‍රීන්ට දෙන්නට උත්තරයක් නැතිවන බවය. එවිට කේන්තියට පත් මහින්ද “ප්‍රසන්න මේක ඉතාම සවුත්තු වැඩක්... පක්ෂය තුළ කල්ලි හදන්න උත්සාහ කරන්න එපා”යැයි කියමින් ලොකු දොස්මුරයක් දමද්දී ප්‍රසන්න පිටව ගියේය. ඊළඟට රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා කැඳවූ මහින්ද රාජපක්ෂ මහතා තමන් පක්ෂයේ තීරණයට පිටින් ගොස් ඡන්දය නොදුන් කණ්ඩායම සමඟ එක්වූයේ ඇයිදැයි ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණි 16 දෙනාගේත් වැදගත්කමක් ඇතැයි පැවසූ මහින්ද රාජපක්ෂ මහතා රෝහිතගේ ක්‍රියාව කිසිසේත්ම අනුමත නොකරන බව දැඩි ලෙස පවසද්දී රෝහිත නිහඬව සියල්ල අසා සිට “මමත් එතෙන්ට ගියා නම් තමයි සර්”... කිව්වා මිස ඊට එහා දෙයක් කියන්නට ගියේ නැත. මේ කතාබහ අවසානයේ ඒ ගැන දැනගත් උදය, විමල් ඇතුළු කණ්ඩායම නැවතත් සඳහන් කළේ ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු කණ්ඩායම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට විරුද්ධ වුවත් පසුගියදා පැමිණි නිමල් ලංසා සහ දුලීප් විජේසේකර පක්ෂයට බාරගනිද්දී එබඳු විරෝධයක් නොදැක්වූ බවය. එහෙත් ඡන්දය නොදුන් කණ්ඩායමේ නම සඳහන් කිරීමට අකමැති වූ මන්ත්‍රීවරයකු පොලිටිකල් රහස් තීරයට කියා සිටියේ ශ්‍රී.ල.නි.පයෙන් ඉවත් වූ 16 දෙනා ශ්‍රී.ල.නි.ප මහ සමුළුවට ගොස් තනතුරු බාරගැනීමත් ඒකාබද්ධයේ සාමාජික නොවීමත් නිසා ඔවුන් සුදර්ශනී මහත්මියට ඡන්දය දුන්නේ නැති වගයි. මේ ආකාරයට ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම අතර මතගැටුම් සහ වාදභේද ගණනාවක් මධ්‍යයේ නියෝජ්‍ය කතානායක ඡන්දය එ.ජා.පය ජයග්‍රහණය කළේය.

තමන්ගේ ඉල්ලීම නොතකා නියෝජ්‍ය කතානායක ඡන්දයේදී මැතිසබයට නොපැමිණි මන්ත්‍රීන් ගණනාවකට මහින්ද රාජපක්ෂ මහතා දෝෂාරෝපණය කළ පසු තරුණ මන්ත්‍රීන් තිදෙනෙක් හදිසියේම ඒකාබද්ධ විපක්ෂයේ සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා මුණගැසුණහ. මෙම මන්ත්‍රීන් වූයේ ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, තාරක බස්නායක යන තිදෙනාය. ඔවුන් දිනේෂ් හමුවුණේ සිදුවූ අතපසුවීමට කනගාටුව ප්‍රකාශ කිරීමටයි. එවිට දිනේෂ් ගුණවර්ධන කීවේ මේ ගැන තමාගෙන් නොව මහින්ද රාජපක්ෂ මහතාගෙන් සමාව ගන්නා ලෙසයි. ඒ සඳහා ප්‍රතිඥා දුන් මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ මහතා හමුවන බව කීහ.

එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රතිසංවිධානය ගැන තවදුරටත් අදහස් මතුව ඇතත් ඒ සම්බන්ධව තවමත් ඇත්තේ තිරය පිටුපස කතා පමණි. පසුපෙළ ගැටලු ඇති මන්ත්‍රීන්ට අමාත්‍යාංශ ගණනාවක අධීක්ෂණ මන්ත්‍රී ධූර එ.ජා.පය විසින් පිරිනැමීය. එසේම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිර්මාණය කර තිබෙන “නීලහරිත ගම්පෙරළිය” නව්‍යාවර්ධන ව්‍යාපෘතිය යටතේ රටේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතුවලට මුදල් ලබාදීමටද යෝජිතය. මෙම කටයුතු සංවිධානය කරන අමාත්‍ය මංගල සමරවීර මහතා මේ දිනවල එ.ජා.පය වෙනුවෙන් ඊළඟ ජනපති මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබේ. එසේම එ.ජා.පයේ 2020 ජනපතිවරණ අපේක්ෂකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව මංගල සහ එ.ජා.ප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහත්වරුන් දැනටමත් ප්‍රකාශ කර ඇත. එහෙත් එ.ජාපයෙන් පොදු අපේක්ෂකයකු ගෙන ආ යුතුය යන මතය දරන මන්ත්‍රී ඇමැති පිරිසකුත් එහි සිටින බව සඳහන් වේ.

කෙසේ හෝ රාජපක්ෂ පාලනය යටතේ මෙරට ආර්ථිකයට මාධ්‍ය නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට හානි සිදුවූ බැවින් නැවතත් රාජපක්ෂ පාලනයක් ගෙන ආවොත් ජනතාව කබලෙන් ලිපට වැටෙන බව අමාත්‍ය මංගල සමරවීර දිගින් දිගටම ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව මෙන්ම ආර්ථිකයද ඉදිරියේ ගොඩනංවන බව හෙතෙම සඳහන් කළේය. ඒ අතර එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මංගල සමරවීර මහතාට පක්ෂයේ උප සභාපති පදවියක් පිරිනැමීය. ඊට අදාළ පත්වීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගලට පිරිනැමුවේ ගිය අඟහරුවාදාය.

දේශපාලන මාතෘකා ගැන වැඩිපුර කතා නොකරන මල්වතු විහාරයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ කලකට පසු පසුගියදා රජය විවේචනය කරමින් ප්‍රබල ප්‍රකාශයක් නිකුත් කළහ. මල්වතු මහ නාහිමියන් මුණගැසුණ “සුරකිමු ලංකා” ජාතික ව්‍යාපාරයේ සාමාජිකයන් උන්වහන්සේට පැමිණිලි කළේ රටේ ප්‍රධාන පෙළේ වන රක්ෂිතයක් වන නකල්ස් කඳුකරයේ අක්කර 22,000 ක් පෞද්ගලික සමාගම්වලට ලබාදීමට වත්මන් රජයේ අමාත්‍යවරුන් දෙපොළක් ක්‍රියා කරන බවය. ඒ ගැන සිය මතය ප්‍රකාශ කළ මල්වතු මහ නාහිමියෝ යහපාලනය කියා බලයට ආවත් වත්මන් රජය තුළ යහපාලනයක් නැතැයි ප්‍රකාශ කළහ. දැන් සිදුවන්නේ රටේ තිබෙන සෑම සියලු දේම විකුණා දැමීම යැයි පැවසූ උන්වහන්සේ ගිය රජයත් මේ රජයත් දෙකම එක වගේ යැයි ද පැවසූහ. එසේ පැවසූ උන්වහන්සේ මෙම තීරණ ගන්නා තැන්වල සිටින ජනාධිපතිතුමා හෝ මැදිහත් වී අදාළ ප්‍රශ්න සමථයකට පත් කළ යුතු යැයි වදාළහ.

මල්වතු මහ නාහිමියන්ගේ මේ ප්‍රබල ප්‍රකාශයෙන් පසු ඒ පුවත්පත් වාර්තාව සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළේය. උන්වහන්සේගේ අදහස ගැන සොයා බැලිය යුතු බවද අමාත්‍ය අමරවීර කැබිනට් මණ්ඩලයට පෙන්වා දුන් බව වාර්තා වෙයි.

කැබිනට් මණ්ඩලය වඩාත් උණුසුම් කළ සිද්ධිය බවට පත්වූයේ අමාත්‍යවරුන් වන රිෂාඩ් බදුයුදීන් හා රවුෆ් හකීම් යන මහත්වරැන් අතර හටගත් ආරවුලයි. මුස්ලිම් ජනතාව උතුරේ පදිංචි කරවීම සඳහා ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් නිසා මෙම තත්ත්වය උද්ගත විය. මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ අමාත්‍ය රවුෆ් හකීම් විසිනි. යුද්ධය නිසා උතුරේ අවතැන් වූ මුස්ලිම්වරුන් නැවත පදිංචි කරවීමේ ක්‍රමවේදයක් සැකසීම එහි අරමුණ විය. නමුත් යුද්ධය නිසා විශාල මුස්ලිම්වරුන් පිරිසක් අවතැන්ව සිටියදී ඉන් කොටසකට පමණක් සහන සැලසෙන මෙබඳු යෝජනාවලට තමන්ට එකඟ විය නොහැකි යැයි රිෂාඩ් බදුයුදීන් මහතා ප්‍රකාශ කළේය. සියලු මුස්ලිම්වරු හට සාධාරණය ඉටුකළ යුතු යැයි රිෂාඩ් කියද්දී රවුෆ් කීවේ එම කටයුත්ත එකවර ඉටුකළ නොහැකි බවය. රිෂාඩ් රවුෆ්ට එතැනදී චෝදනා කළේ දේශපාලන ලකුණු දමාගැනීම සඳහා ඔහු විවිධ යෝජනා ගෙන එන බව කියමිනි. රවුෆ් ද මේ අවස්ථාවේ රිෂාඩ්ට චෝදනා නගන්නට වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්ව ඇමැතිලා දෙදෙනාටම කීවේ තම තමන් මේ ගැන වාද විවාද නොකර උතුරේ අවතැන් ජනයාට වාසස්ථාන සපයා දීමට දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයන් එක්ව ක්‍රියා කළ යුතු වගයි.

යහපාලන ආණ්ඩුවේ එ.ජා.ප ශ්‍රී.ල.නි.ප සබඳතා දුරස් වෙද්දී ගිය අඟහරුවාදා රාත්‍රී ජනාධිපතිවරයා විශේෂ ඇමැති හමුවක් කැඳවා තිබෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට තීන්දු කළේය. මෙම සාකච්ඡාවට දෙපක්ෂයෙන්ම තෝරාගත් ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ආරාධනා කළ අතර පොලිස්පති පූජිත ජයසුන්දරද එම අවස්ථාවට කැඳවා තිබිණි. පොලිස්පතිවරයා එහි කැඳවා තිබුණේ පසුගියදා ඔහු විසින් කරන ලද ආන්දෝලනාත්මක කතාවක් ගැන ප්‍රශ්න කිරීමටයි. එම කතාවෙන් ඔහු ව්‍යංගයෙන් ජනාධිපතිවරයා විවේචනය කර ඇතැයි මෙම රැස්වීම පැවති දා පෙරවරුවේ ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් වන අමාත්‍යවරුන් ගණනාවක් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණි. මේ ගැන තවත් පාර්ශ්ව ගණනාවකින්ද ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණි.
කෙසේ හෝ අඟහරුවාදා රාත්‍රී පැවති විශේෂ අමාත්‍ය හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, තලතා අතුකෝරාළ ආදීන් එ.ජා.පයෙන්ද මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ආචාර්ය සරත් අමුණුගම ශ්‍රී.ල.නි.පයෙන්ද එක්ව සිටියෝය. දෙපක්ෂය එක්ව ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම ගැන මෙහිදී තීරණ ගණනාවක්ම ගනු ලැබිණි.

මෙම හමුවේ වඩාත් වැදගත් කරැණ වූයේ පොලිස්පති පූජිත ජයසුන්දර විසින් කරන ලදැයි කී කතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඔහුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමයි. තමන් මෙම කතාවෙන් ජනාධිපතිවරයා ඉලක්ක නොකළ බව පූජිත ප්‍රකාශ කළද ජනාධිපතිවරයා කෝපයෙන් යුතුව පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාට තරයේ අවවාද කළ බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. පොලිස්පතිවරයා සිය රාජකාරියේ ප්‍රමුඛතා තේරැම්ගෙන ක්‍රියා කළ යුතු ආකාරය ගැන ජනාධිපතිවරයා ඔහුට දැඩි ලෙස අවවාද කළ බවද දැනගන්නට තිබේ.

පසුගිය කාලයේ වියත් මග වැඩසටහන සමඟ අගනුවර අවට වියතුන් හා විද්වතුන් රැස්කර ජාතික සංවර්ධන අරමුණු ගැන සාකච්ඡා කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ග්‍රාමීය ජනතාව ඇමතීමට සැරසෙයි. ඒ සඳහා ඔහු උපයෝගී කරගන්නට යන්නේ “එළිය” සංවිධානයයි. ගෝඨාභය සමඟ උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පක්ෂ නායකයන් ගණනාවක්ද 16 දෙනාගේ කණ්ඩායමේ නියෝජිතයන්ද එළිය සම්මන්ත්‍රණ ඇමතීම සඳහා ඉදිරිපත්ව සිටිති.

ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව ගිය බ්‍රහස්පතින්දා ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී පක්ෂ ප්‍රතිසංවිධාන ගැනත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැනත් කතාබහ විය. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජ.වි.පෙ ගෙන ආ යෝජනාවට ශ්‍රී.ල.නි.පය විරුද්ධ වීමට තීන්දු කළ අතර ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් තිබියදී මේ ආකාරයේ හදිසියට ගෙන එන යෝජනාවලට ප්‍රතිචාරයක් හෝ දැක්විය යුතු නැතැයි ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර ආදීන් පෙන්වා දී තිබිණි.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00