2018 ජුනි 09 වන සෙනසුරාදා

ඩුබායි මදූෂ් දෙවුන්දර තමිල් සටන ඇවිලෙයි

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 341

පහුගිය කාලයේ නිහඬව සිටි අපාරධකරුවන් නැවතත් හිස ඔසවමින් සිටින්නේ හිටියටත් වඩා ඉහළට එමින්ය. රට වටේ හෙරොයින් ජාවාරමත්, කප්පම් ගැනීමත්, මිනී මැරීමත් ගජරාමෙට සිදුකරන්නේ නීතිය හොඳට නමමිනි. ඇතැම් අය දේශපාලනඥයන් අස්සේ හුරතල් වන්නේ සාමාන්‍ය පරිදිය. තවත් අය පිටරටට පැන ගොස් වීරයන් සේ හැසිරෙති. මේ සියල්ල සිදුවන්නේ එළිපිටය. 

කෙසේ වෙතත් වර්තමානයේ පාතාලයේ කෙරුමකු වීමට හීන දකිමින් සිටින මදූෂ් පිළිබඳව ආරක්ෂක අංශ සිටින්නේ අවධානයෙනි. මේ නිසා මදූෂ්ට මෙරට සිට උදව් කරනා සියල්ල පසුපස ආරක්ෂක අංශ ඉව වැටී ඇත. ඒ අනුව පසුගියදා මදූෂ්ගේ සියලු මූල්‍ය වැඩකටයුතු සිදුකළ සගයෙක් සහ ඔහුගේ පෙම්වතිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පිටකොටුවේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

අකිල නමින් හඳුන්වන මොහු කටුනායක ගුවන් තොටුපළේ රැකියාව කරන අයෙකි. මොහු මදූෂ්ගේ ළඟම සගයකු වන අතර මදූෂ්ට ඩුබායි පැන යාමට පවා උදව් උපාකාර කළේ මොහු බව දැනගන්නට ඇත. එසේ ඩුබායිවලට පැනගත් මදූෂ් මොහුත් සමඟ දුරකථනය ඔස්සේ සමීප වෙමින් හෙරොයින් ජාවාරමට එකතු වී ඇත.

ඔහු සිය ප්‍රේමවන්තිය ලෙස තෝරාගෙන ඇත්තේ කලක් මෙරට හෙරොයින් ජාවාරමේ රජු ලෙස කිරුළු පැළඳ සිටි ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදන පවා නිකුත් වූ දෙවුන්දර තමිල්ගේ බිරිඳය. අකිල ඇයත් සමඟ පැන ගිය අතර තමිල් ඉන් පසු සිටින්නේ අකිල පිටුපස ඉලක්කය ගනිමිනි. මේ නිසාම පසුගිය දවසක අකිලත් එම කාන්තාවත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සැඟවී සිටියදී තමිල් පැමිණ වෙඩි තැබුවේය. එම ප්‍රහාරයෙන් වෙනත් අයකු මිය ගිය අතර අකිලත් එම කාන්තාවත් ජීවිතය බේරා ගත්තේ අනූනවයෙනි.

කෙසේ වෙතත් මෙලෙස තමිල් ඔවුන් පසුපස පන්නන්නට ප්‍රධාන හේතුව වී ඇත්තේ අකිලගේ යටි අරමුණක් නිසාය. එනම් තමිල්ට කෝටි ගණනක දේපළ ඇති අයෙකි. තමිල් මිය ගියහොත් එම දේපලවල උරුමක්කාරයා වන්නේ තමිල්ගේ බිරිඳය. ඇයට හමුවූ පසු එම දේපල නිතැතින්ම අකිලට බුක්ති විඳීමට හැකිවනු ඇත. එය දන්නා නිසාත් එසේම තමිල් පාතාලයේ කෙරුමකු නිසා ඇතිව තිබෙන ලජ්ජාව නිසාත් තමිල් අකිල ඝාතනයට සූදානම්ව සිටියි. මේ නිසා දෙවුන්දර තමිල් සහ මාකඳුරේ මදූෂ් නයි - මුගටියන් වී ඇත.

කෙසේ වෙතත් මිනුවන්ගොඩ සිද්ධියෙන් පසුව අකිලත් එම කාන්තාවත් ගල්කිස්ස ප්‍රදේශයට පැමිණෙන්නේ ජීවිත ආරක්ෂාව පතාය. එහෙත් මිනුවන්ගොඩ සිද්ධියෙන් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරු නිසා ඔවුන් අකිල පිළිබඳ සෙවීමට පටන් ගෙන ඇත. ඒ අනුව අකිල පසුපස පැන්නුවත් ඉන්නා තැන පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා ගැනීමට හැකිවන්නේ පසුගිය සතියට පෙර සතියේ සිකුරාදාය. ඒ අකිල ගල්කිස්ස ප්‍රදේශයේ ඉන්නා බවට තොරතුරු ලැබීම මගිනි.
ඒ අනුව පසුගිය සෙනසුරාදා බුද්ධි නිලධාරීන් අකිලව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කරන අතර ඒ අවස්ථාවේ ඔහු ගල්කිස්සේ සිට ඔහු කොටුවට යමින් සිටියේය. ඔහු පසුපස පන්නා අවසානයේ අකිලව පිටකොටුව බෝ ගහ අසලදි බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගෙන පරීක්ෂා කළත් කිසිවක් ඔහු සතුව තිබී නැත. පසුව සිය අනියම් පෙම්වතිය පරීක්ෂා කිරීමේදී ඈ සතු අත් මල්ලේ තිබී ග්‍රෑම් තුනක හෙරොයින් සොයා ගැනීමට හැකිව තිබිණි.

පසුව ඔවුන් දෙදෙනා ගල්කිස්සේ පදිංචි නිවසට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී එම නිවසේ අල්මාරියක තිබී හෙරොයින් ග්‍රෑම් 8ක් සොයාගෙන ඇත. සැකකරු ඒ වන විටත් රැකියා ස්ථානයෙන් මාස තුනක නිවාඩුවක් දමා පැමිණ සිටි අතර එසේ නිවාඩු දමා ඇත්තේ දෙවුන්දර තමිල් ඔහු පසුපස පන්නන නිසා බව හෙළිදරව් කර ඇත.

කෙසේ වෙතත් ඔහු මේ වනතෙක් මාකඳුරේ මදූෂ් හෙවත් ඩුබායි මදූෂ් සමඟ තිබෙන සම්බන්ධය හෙළිදරව් කර නැත. එහෙත් මදූෂ් සමඟ තිබූ සියලු සබඳතා පිළිබඳ තොරතුරු පොලීසිය සොයාගෙන ඇත. අකිල මදූෂ්ගේ හෙරොයින් ආදායම පරීක්ෂා කළ අයකු වන අතර එම මුදල් ඩුබායි රාජ්‍යයට යැවීමේ වගකීමත් අකිල සතුවිය. මේ නිසා අකිල මදූෂ්ගේ විශ්වාසවන්තම ගෝලයා විය.

මදූෂ්ගේ නොහික්මුණු වැඩවල ප්‍රතිඵල මේ වනවිට හෙළිදරව් වෙමින් පවතී. විශේෂයෙන් පසුගියදා වෙඩිතබා ඝාතනය කළ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වන රන්ජන් සිල්වාගේ ඝාතනය පසුපසද මදූෂ්ගේ ගෝලයකු සිටිනා බව තහවුරු වී ඇත. එසේම එසේ වෙඩි තැබූ පසු එම ඝාතකයා මෙරටින් ඩුබායි රාජ්‍යය පලාගිය බවට ද බුද්ධි අංශ වෙත තොරතුරැ ලැබී තිබේ. එහෙත් මේ සියලු දේ වීමෙන් පසුවත් මදූෂ් ඉන්නේ නිදහසේය. පොලීසිය තවමත් මදූෂ් සොයමින් සිටී. එහෙත් මදූෂ් තව තවත් අපරාධ මෙහෙයවමින් පොලීසියට කොකා පෙන්නන්නේ ඔලොක්කුවට වගේය. ඉන් නොනැවති මදූෂ් පොලිස් නිලධාරීන්ට අද වනවිට දුරකථනයෙන් මරණ තර්ජනය කරන තැනට පැමිණ සිටී. ඇතැම් නිලධාරීන්ගේ ජීවිතවලට මරණ වරෙන්තුව පැමිණ ඇත. එවන් පසුබිමක මදූෂ් මෙලෙස සිටින්නේ කෙසේ ද කියා රටේ ජනතාවටද පොලීසියේ අයටද ප්‍රශ්නයක් ඇත. ඉතිහාසයේ පාතලයන් රැකි අදිසි හස්ත අනන්ත අප්‍රමාණ තිබු නිසා මේ පිටුපස ද එවන් හස්තයක් ඇතැයි කාට කාටත් සැකයක් ඇත.

 ගයාන් ගාල්ලගේ

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30