2018 ජුනි 09 වන සෙනසුරාදා

ආණ්ඩුවේ කැබ් එකෙන් ගෙයක් කඩාගෙන ගිය ඇමැති පුතා

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 224

රාජ්‍ය දේපල අවභාවිත කළ බවට යහපාලන ආණ්ඩුව මගින් පාර්ශ්ව කිහිපයකට චෝදනා එල්ල කළේ එවකට රටේ අවධානය ඒ වෙත දිනාගනිමිනි. ඒ ඔස්සේ ගිය ආණ්ඩුවේ මැති ඇමැති පිරිසක් අධිකරණයට ඉදිරිපත් කරන්නට හා පසුව මහ උළු ගෙදර යවන්නටත් නීතිය ක්‍රියාත්මක විය. වර්තමාන යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධූරයක් හොබවන පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකරන්නේ මේ අතරය. රජයේ දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමක් වන්නේ එම කැබ් රථය ඔහුගේ පියාගේ අමාත්‍යාංශයට අයත් වූ එකක් බැවිනි. එහි කඩුවක් තිබීම හේතුවෙන් තහනම් පිහි ආඥා පනත යටතේ ද වරදක් සිදුකර ඇත. මේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අවසන්ය.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුත්‍රයා එම අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් බීමතින් පදවාගෙන යමින් සිටියදී මේ ආකාරයට අනතුරට පත්ව තිබුණේ පසුගිය 6 වැනිදා අලුයම 12.45ට පමණය. පසුගිය 5 වැනි අඟහරුවාදා රාත්‍රියේ ඇමැති පුත්‍රයා සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් දෙදෙනා කරුකුපනේ ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයකට සහභාගි වී නැවත යමින් සිටියදී අනතුර සිදුව තිබුණි.

සාදයට සහභාගි වෙමින් මත්පැන් තොල ගා විනෝද වූ හිතවතුන් දෙදෙනා ඉන් පිටත්ව තිබු‍ණේ මධ්‍යම රාත්‍රියද ඉක්මවූ පසුවය. සංචාරක හෝටලයෙන් පිටත් වූ කැබ් රථය කොට්ටපිටිය - හලාවත මාර්ගයේ අධික වේගයෙන් පැමිණ තිබුණේ පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමටය. රථයේ අධික වේගය නිසාම බීමතින් සිටි යශෝධට රිය පාලනය කර ගැනීමට නොහැකි වූ බව පැවසේ. කොට්ටපිටිය හන්දියෙන් රථය ගමන් ගන්නවාත් සමඟ පාලනයෙන් ගිලිහුණු රිය අසල වූ නිවෙසක් තුළට කඩාවැදී තිබුණේ එහි තාප්පය හා බිත්තියද බිඳ දමමිනි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යශෝධ රංගෙ බණ්ඩාර හලාවත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණි.

රථය විශාල ශබ්දයක් නංවමින් නතර වී තිබුණේ නිවෙස තුළය. අනතුර හේතුවෙන් නිවසේ දේපලවලට හා කැබ් රථයට විශාල අලාභයක් සිදුව තිබුණද රථයේ ගමන් කරමින් සිටි පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කිසිදු හානියක් සිදුව තිබුණේ නැත. 

කලබලය අතරේ යශෝධ රෝහල්ගත කිරීමෙන් අනතුරුව ආරච්චිකට්ටුව පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කළහ. එහිදී ඔවුන් පදවාගෙන පැමිණි රථයේ ඉදිරිපස අසුන ළඟ තිබූ කඩුවක්, විදේශීය රටක නිෂ්පාදිත මත්පැන් බෝතලයක් හා ලී මුගුරක් සොයාගෙන ඇත. මේ අතර අනතුරට පත් රථය පිළිබඳව විමර්ශනයේදී හෙළිව තිබුණේ අදාළ කැබ් රිය ජල කළමනාකරණ අමාත්‍යාංශයට අයත් එකක් බවය.

මධ්‍යම රාත්‍රිය ගෙවී යමින් තිබියදී සිදුවූ අනතුර බරපතළ එකක් වුවද නිවෙස් හිමියන් කිසිවකුටත් අනතුරක් සිදුව නොතිබුණේ වාසනාවකටය. අනතුර නිසා බරපතළ තුවාල ලැබූ අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ කොන්දේ අස්ථිවලට හානි සිදුව තිබෙන බවට රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි. ඔහු හලාවත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර පසුව යළිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහල වෙත මාරුකර යවා තිබිණි. එහි වාට්ටු අංක 18 ඔහු තවදුරටත් ප්‍රතිකාර ලැබූ අතර පසුගිය 6 වැනිදා අලුයම එම රෝහලට පැමිණි ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් යශෝධ රංගෙ බණ්ඩාර අත්අඩංගුවට ගනු ලැබූහ. රජයේ දේපල සාපරාධී පරිහරණය, බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරීම හා කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් සිදුකිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ඔහු රෝහලට පැමිණ පරීක්ෂා කළ නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ යශෝධ රංගේබණ්ඩාර 12 දා දක්වා රිමාණ්ඩ් බන්ධනාගාර ගත කිරීමටය.

යම් පුද්ගලයකු දේශපාලනයේ නිරතවෙමින් මෙරට මැති ඇමැති තනතුරක් දැරුවද ඔවුන්ගේ පවුලේ සාමාජිකයකුට හෝ ඥාතීන්ට මේ ආකාරයේ දේපල අවභාවිත කිරීම සිදුකළ නොහැකිය. මෙහිදී යශෝධ රංගෙ බණ්ඩාර සිදුකර ඇත්තේ රාජ්‍ය දේපල භාවිත කිරීමට එහා ගිය සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමකි. අනතුර හේතුවෙන් රජයේ දේපලක් වන කැබ් රියට වූ අලාභය තවමත් තක්සේරැ කර නොමැත. මේ අයුරින් සිය පියාගේ ධනය හා බලය ප්‍රයෝජනයට ගෙන යකා නටන යශෝධ මීට පෙරද මෙවැනි රිය අනතුරු දෙකක් සිදුකර ප්‍රසිද්ධියට පත් වූවෙකි.

2016 වර්ෂයේ ඔක්තෝබර් 07 දින එවකට අමාත්‍ය රංගෙ බණ්ඩාරගේ පරිහරණයට ලබාදී තිබූ රජයේ වාහනයක් පදවාගෙන යමින් සිටියදී මාර්ගයේ ගමන් ගත් පාපැදිකරුවෙක් අනතුරට පත් කර තිබුණි. ඉන් පසුව 2017 අප්‍රේල් 27 වැනිදා කැබ් රථයක් පදවාගෙන යමින් සිටියදී යතුරු පැදියක් අනතුරට පත් කර තිබූ අතර එහිදී එකම පවුලේ මව, පියා හා දියණිය බරපතළ තුවාල ලබා තිබිණ. මේ වන විට එකී අනතුර සිදුව වසරකටත් වැඩි කලකි. එදින අනතුරට පත්වූ කාන්තාව එවකට ගැබිණි කාන්තාවකි. අනතුර හේතුවෙන් මව, පියා හා දියණියගේ පාද බිඳීමට ලක්ව ඇති අතර ඔවුහු අද ඉතා අසරණ තත්ත්වයෙන් පසුවෙති. ඔවුන්ට පවතින ආබාධ හේතුවෙන් රැකියාවක් කිරීමට හෝ දියණියට පාසල් අධ්‍යාපනය ලැබීමට පවා ඇත්තේ විශාල අභියෝගයකි. ඇමැති පුත්‍රයාගේ නොමනා ක්‍රියා කලාපය හේතුවෙන් අසරණ වී සිටින දරුපවුල වෙත මේ වන තෙක් ඇමැතිවරයාගෙන් හෝ පුත්‍රයාගෙන් සාධාරණයක් ඉටුනොවූ බවද පැවසේ.

ඇමැති පුත්‍රයාගේ වයස අවුරුදු 25 කි. ඔහුට රියැදුරු බලපත්‍රය ලැබීමට බාධාවක් නැත. එහෙත් ඔහු අතින් තෙවැනි වරටත් අනතුර සිදුවෙද්දී වලංගු රියැදුරු බලපත්‍රයක් නොතිබුණා විය නොහැකිය.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30