2018 ජුනි 02 වන සෙනසුරාදා

අනාරාධිතව සෝභිත හිමි උළෙලට ගිය ජනපතිගෙන් වෙඩිමුරයක්!

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 277

 ආණ්ඩුවේ හිටියොත් ශ්‍රී.ල.නි.ප. දියවෙන බවට ලක්ෂ්මන් යාපාගෙන් ප්‍රකාශයක්  
♦ වාසු ගෝඨා එපා කියද්දී මුස්ලිම්වරු බේරුවලදී ගෝඨා ඉහළින් පිළිගනිති 

 පක්ෂ රැසක් විධායක ජනපති ක්‍රමය අහෝසියට එරෙහි වෙයි 
♦ බැඳුම්කර සල්ලි ගත් මැති ඇමැතින්ගේ නම් ගම් ඉල්ලන සටනක්  

♦ එ.ජා.ප. කෘත්‍යාධිකාරිෙය්දී ක්‍රිකට් පරිපාලනයට දොස් 
♦ උතුරට ගිය අගමැතිගෙන් දෙමළ සන්ධානය ඉඩම් ඉල්ලයි

 

 

 

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දින සැමරුමේදී කළ කතාව බෙහෙවින් බරපතළ හා ආන්දෝලනාත්මක කතාවකි. ඔහු එම කතාවෙන් ව්‍යාංගයෙන් නම නොකියා චෝදනා කළේ රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන එ.ජා.ප.යටයි. කතානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සෑහෙන පිරිසක් හමුවේදී ජනාධිපතිවරයා පසුගිය කාලයේ ඇතැමුන් තමන්ට එල්ල කළ චෝදනා ගණනාවකට විවෘතව පිළිතුරු දුන්නේ කිසිවකු අපේක්ෂා නොකළ ආකාරයටයි. ඔහු සිය දෙසුම ආරම්භ කළේ සෝභිත හිමියන්ගේ මෙම උළෙලට තමන්ට නිල වශයෙන් ආරාධනාවක් නොඑවූ බව සඳහන් කරමිනි.

ජනාධිපති වූ පසු තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරය භාරගැනීම වරදක් යැයි ඇතැමුන් කියන නමුත් තමන් එජාපයේ මන්ත්‍රීන් 47ක් සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කළ බව කීය. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපති බලතල ඉවත් කළේ ශ්‍රී ල.නි.ප.යේ සහයෙන් නොවේදැයි ප්‍රශ්න කළේය. ජනපතිවරණය හමාර වූ ගමන් ආණ්ඩුව විසුරැවා හැරිය යුතු වුවත් තමන්වත් නොදැන සිටි දින 100 වැඩපිළිවෙළක් ප්‍රකාශ කර ඡන්දය කල් දමා ගත්තේ යැයිද කීය. මැලේසියාවේ මහතීර් මොහොමඩ් අගමැතිතුමා දින 5ක් තුළ දූෂිත ඇමැතිවරුන් ව්‍යාපාරිකයන් විනිසුරුවරුන් විශාල පිරිසක් අත්අඩංගුවට ගත් නමුත් තමුන්ට වසර 3 ½ක කාලයක් තුළවත් ඒවා කරගන්නට බැරි වූ බවට බොරු චෝදනා නගන බවද පැවසීය. මැලේසියාවේ ඔය කියන ආකාරයේ සිදුවීම් සිදුව නැතැයිද ජනාධිපතිවරයා කීය.

පසුගිය ජනාධිපතිවරණයේදී තමන් නැතුව ඕනෑම කපුටෙක් දැම්මත් ඡන්දය දිනන්න තිබුණා යැයි සමහරුන් කියන වග ඔහු මතක් කළේය. එසේ නම් එවැන්නෙක් දමා ඉතා බලවත් රාජපක්ෂ රජය පරාජය කරන්නට තිබුණා නොවේදැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා තමන් ඡන්දයට දැම්මේ එන්න මිනිහෙක් නොසිටි නිසා යැයිද කීය. තමා ශ්‍රීලනිප නායකත්වයේ සිටි නිසා රාජ්‍ය බැංකුවල මුදල් පුද්ගලික බැංකුවලට මාරැකර රාජ්‍ය බැංකු විනාශ කරන්නට රජය ගෙනා යෝජනාව පරාජය කළ බව පැවසූ හෙතෙම සෝභිත හාමුදුරුවන් යහපාලනයට දොර ඇරියේ මහ බැංකුව බිඳින්න නොවන වග දැඩි සේ ප්‍රකාශ කළේය. තමන් කරන මෙම කතාව ගැන ඕනෑ කෙනෙක් සමඟ සංවාදයකටද තමන් සූදානම් බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයාගෙන් මේ සැර කතාව එ.ජා.ප.ය දෙසට එල්ල කළ බරපතළ වෙඩිමුරයක් විය. එකවර මේ ආකාරයට ඔහු ප්‍රහාරයක් එල්ල කළේ කුමන සිත් වේදනාවක් නිසාදැයි අපැහැදිලි නමුත් එ.ජා.ප. ශ්‍රීල.නි.ප. දීගය හොඳටම දෙදරුම්කමින් තිබෙන බව නම් දැන් ජනතාවට පැහැදිලිය.

ගංවතුර සහ ආපදා තත්ත්වය පහව ගියේ මේ සතිය මැදදීය. සියලුම පක්ෂවල දේශපාලනඥයන් ගංවතුරින් ආපදාවට පත් ජනතාවට සහන සැලැසීම සඳහා තම තමන්ගේ ඡන්ද කොට්ඨාසවල සහන කටයුතුවල යෙදුණාහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට කිසිදු බාධාවකින් තොරව අවශ්‍ය උපකාර කරන ලෙස රජයේ නිලධාරීන්ට උපදෙස් දුන්හ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කය තුළ ගංවතුරින් විපතට පත් ජනතාව හමුවී ඔවුන්ගේ දුක සැප සොයා බලන්නට නාත්තණ්ඩිය, මහවැව ආදී ප්‍රදේශවලටද ගියේය. ගංවතුරින් අවතැන්ව සිටි තැනැත්තන් රැඳී සිටි කඳවුරු වෙතද පැමිණි ජනාධිපතිවරයා ඒ අයගේ පහසුකම් පිළිබඳ සොයා බැලීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ යාපනයේ දෙදින නිල සංචාරයක යෙදුණේය. යාපනයේ හා කිලිනොච්චියේ සංවර්ධන කමිටු රැස්වීම්වලට සහභාගිවීමට එහි ගිය අග්‍රාමාත්‍යවරයා සමඟ උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ දෙමළ සන්ධාන ජ්‍යෙෂ්ඨයකු වන මාවෙයි සේනාධිරාජා මහතාද එක්වූහ. ප්‍රදේශයේ ජනතාවගේ ඉඩකඩම්වලින් කොටසක් තවමත් ආරක්ෂක අංශ භාරයේ පවත්නා නිසා ඒවා නිදහස් කර දෙන ලෙස මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර තමන් කොළඹ ගොස් ජනාධිපතිතුමා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ ඒ ගැන සාකච්ඡා කොට ජනතාවට සහන සැලැසීමට පියවර ගන්නා වග අගමැතිවරයා කීය. යාපනය මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක එකතු කර රටේ සමස්ත සංවර්ධන ක්‍රියාදාමය හා යා කරන වගද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කිලිනොච්චියේ ලුම්බිණි විහාරයට ගිය අග්‍රාමාත්‍යවරයා එහි නායක හිමියන් මුණගැසුණි. එදින සවස් කාලයේ අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ප්‍රමුඛ පිරිස යාපනයේ සංචාරය කරමින් සුප්‍රකට “රියෝ” අයිස්ක්‍රීම් අලෙවි සැලට ගොඩවැදුණේ අයිස්ක්‍රීම් රස බලන්නටයි. එහිදී ප්‍රදේශයේ ජනතාව සමඟ අගමැතිවරයා රියෝ අයිස්ක්‍රීම් අනුභව කළේය. අග්‍රාමාත්‍යවරයා උතුරේ දෙදින සාර්ථක නිල සංචාරය අඟහරුවාදා හමාර කළේය. එහෙත් මෙම සංචාරයට උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා එක් නොවීම කැපී පෙනුණි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ ගණනාවක් සිය මත දක්වන්නට පටන්ගෙන ඇත. පසුගියදා ඒ ගැන මුලින්ම අදහස් දක්වන්නට ඉදිරිපත් වූයේ ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාය. මෙම සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් රට අස්ථාවර හා අරාජික තත්ත්වයට පත්විය හැකි බැවින් ඊට එකඟ නොවන බව අමාත්‍ය චම්පික රණවක සඳහන් කළේය. මාලදිවයින හා නේපාලය ඊට දිය හැකි ආසන්නතම උදාහරණ යැයිද අමාත්‍ය රණවක වැඩිදුරටත් කීය.

පිවිතුරු හෙළි උරුමය පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතාද 20 වැනි සංශෝධනයට විරුද්ධ බව සඳහන් කළේය. වැස්සකටවත් නීතිවිද්‍යාලයට නොගිය කෙනෙක් මෙකී සංශෝධනය සකස් කර ඇතැයි කී ගම්මන්පිල මහතා 20 වැනි සංශෝධනයේ ආදීනව ගැන තමන් සමඟ විශේෂ විවාදයකට එන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කරන බව හෙතෙම සඳහන් කර ඇත.

දැනට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පසුගියදා මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයට ඒකාබද්ධය ඉදිරිපත් කළ යුතු සුදුසුම අපේක්ෂකයා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා බවය. ගෝඨාභය රාජපක්ෂ මහතා මිලිටරි පසුබිමක් තිබෙන කෙනෙක් නිසා ඔහු ඊට ඉදිරිපත් කිරීම ගැන තමන් එකඟ නැතැයි වාසු සඳහන් කළේය. ඒ ගැන කිසිවකු වාසුට පිළිතුරු දී නැතත් ඒකාබද්ධයේ සෙසු මැති ඇමැතින් සියල්ලම පාහේ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු වඩාත් සුදුසුම අපේක්ෂකයා බවය. ඒ අතර ගෝඨාභය පසුගියදා බේරුවල ප්‍රදේශයට ගියේ එහි මුස්ලිම් ප්‍රජාව විසින් බේරුවල රෝයල් ප්ලාසා හෝටලයේ සංවිධානය කර තිබූ “ඉෆ්තාර්” උත්සවයට සහභාගි වන්නටයි. බේරුවල ප්‍රදේශවාසීන් මේ සඳහා සහභාගී වන ලෙස මුලින් ඉල්ලා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙනි. එවිට සංවිධායකයන්ට මහින්ද කීවේ පසුගිය වසරේත් තමන් මෙයට සහභාගි වූ නිසා මෙවර ඉෆ්තාර් උත්සවයට ගෝඨාභයට ආරාධනා කරන ලෙසයි. එවිට ප්‍රදේශවාසීන්ට තමන්ගේ හිතේ ඇති ප්‍රශ්න නිරාකරණය කරගන්නට හැකිවෙතැයිද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙම ඉෆ්තාර් උත්සවය සංවිධානය කළේ බේරුවල හිටපු නගරාධිපතිවරැන් වන මිල්ෆර් කපූර් මහතා සහ මර්ජාන් ඇතුළු පිරිසකි. ඒ අයගේ ආරාධනයෙන් ගෝඨා එහි යනවිට මහින්දානන්ද අලුත්ගමගේ, පියල් නිශාන්ත ආදී ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ගණනාවක්ද බේරුවල මහ පල්ලියට පැමිණ සිටියහ. ජනාධිපති නීතිඥ අලි සබ්රි ඇතුළු පිරිසක්ද කොළඹ සිට පැමිණියහ.  කලකට ඉහත බෙහෙවින් ආන්දෝලනයට ලක්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා එදින බේරුවල නගරයට පැමිණෙන විට එහි සිටි ජනතාව මහත් හරසරින් පිළිගැනීමෙන් පසු ආගමික ස්තෝත්‍ර ගායක පිරිසක් විසින් ඔහු ඉෆ්තාර් උත්සවයට කැඳවාගෙන යනු ලැබීය. අනතුරුව ඉෆ්තාර් උත්සවය ඇරැඹිණි. මුලින්ම කතා කළේ හිටපු නගරාධිපති මිල්ෆර් කපූර්ය. ඔහු කීවේ මෙරට යුද්ධය හමාර කළ රාජපක්ෂවරුන් ගැන බේරුවල ජනතාව අතර බොරැ මත පතුරුවා ජනතාව නොමග යවා තිබූ බවයි. සංහිඳියාව උපන් ස්ථානය බේරුවල ලෙස හැඳින්වූ කෆූර් මහතා අරාබියෙන් ආ වෙළෙඳුන් බේරුවලට ගොඩබැස එදා විවාහ කරගත්තේ සිංහල කාන්තාවන් බව ඉතිහාසයේ සඳහන් වෙතැයි ද කීය. එබඳු ප්‍රදේශයක ජනතාවට අමුතුවෙන් සංහිඳියාව ඉගැන්විය යුතු නැතැයිද ඔහු පැවසීය. අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සභාව ඇමතීය. මෙයට කලකට පෙර දර්ගා නගරයේ හටගත් අවාසනාවන්ත සිද්ධිය කුමන්ත්‍රණකාරී ලෙස මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පිට පටවා සමහරැන් බොරු ප්‍රචාරය කළ බව කී ගෝඨාභය මහතා තමන් සෑමවිටම මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකළ බව පෙන්වා දුන්නේය. කොළඹ නගර සංවර්ධනයේදීත් තමන් මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාකළ බව ප්‍රචාරය කළ නමුත් තමන් ඔවුනට කොතරම් සාධාරණය ඉටුකළේද කියා ඒ අය දන්නා බව පැවසීය. මේ අතර සියලු ජනවර්ගවලට ගෞරවනීය ලෙස ජීවත්වන්නට ඉඩකඩ සැලැසීම තම අභිප්‍රාය බව ඔහු සඳහන් කළේය.

පසුගියදා රජයෙන් ඉවත් වූ මන්ත්‍රීන් 16 දෙනා තමන්ගේ මුල්ම ජනහමුව හෘදය සාක්ෂියේ නිදහස නමින් නම්කොට මාතර නගරයේ දී පැවැත්වූයේ ගිය සතියේය. හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සංවිධානය කර තිබූ මෙම ජනහමුවට සෑහෙන පිරිසක් එක්ව සිටියේය. දැනට විදේශගතව සිටින අනුර යාපා සහ නීතිමය කටයුත්තක් සඳහා කොළඹ නැවතුණු ටී.බී. ඒකනායක මහතා හැර සෙසු මන්ත්‍රීන් 14 දෙනාම මාතර පැමිණියහ. එහිදී සිදුකළ කතා සියල්ලෙන්ම පාහේ එ.ජා.ප.ය සමඟ ශ්‍රීල.නි.ප.යට ඉදිරි ගමනක් නැතැයි යන්න අවධාරණය කැරිණි. එස්.බී. දිසානායක මහතා ඉතා සැර කතාවක් කළ අතර සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත්වන දිනය අත ළඟ බවත් ශ්‍රී ල.නි.ප.යේ දෙතුන් දෙනෙක් එ.ජා.ප.යට එක්වීමට ඉඩ ඇති බවටත් එස්.බී. ඉඟි පළ කළේය. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේ තවදුරටත් එජාපය සමඟ රජයේ සිටියහොත් ශ්‍රී ල.නි.ප.ය දිය වී යා හැකි බැවින් පක්ෂය ඉවත්විය යුතු වගයි. ඒ සඳහා මුල් පියවර තම කණ්ඩායම විසින් තබන ලද බවද ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා සඳහන් කළේය. සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න ආදී ජ්‍යෙෂ්ඨයන්ද මාතර ජනහමුව ඇමතූ අතර අනතුරැව ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා ඔවුනට විශේෂ දිවාභෝජන සංග්‍රහයක් පිරිනැමීය.

16 දෙනාගේ කණ්ඩායමේ මීළඟ ජනහමුව ඉදිරි සතියේදී මාතලේ නගරයේදී පවත්වන්නට සැලැසුම්කර තිබේ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා එම ජනහමුව සංවිධානය කිරීමට භාර ගත්තේය. මෙම කටයුතු අතරතුර ඔවුන් මේ සතියේ දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය හා ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ආදී පක්ෂ සමඟද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා විය. ඒ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ පියා වන දකුණු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතාගේ උපන් දිනය නිමිත්තෙන් ගාල්ල ආණ්ඩුකාර නිල නිවසේ පැවති උපන් දින සාදයකටද 16 දෙනාගේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් ඇරුයුම් ලබා සිටියහ. ඒකාබද්ධ විපක්ෂයෙන් චමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුද ඊට එක්වූහ. මෙහිදී ද පූර්ණ වශයෙන් කතාවූයේ සිය කණ්ඩායම ඉදිරි කාලයේදී කළයුතු කාර්යයන්ගේ සැලැසුම ගැනයි.

මේ සතියේ ආන්දෝලනයට ලක්වූ තවත් ප්‍රධාන සිදුවීමක් වූයේ හිටපු අමාත්‍ය සහ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා බැඳුම්කර සමාගමෙන් රුපියල් දස ලක්ෂයක මුදලක් ලබාගැනීමේ සිද්ධියයි. මෙම කාරණය හෙළිදරව් වීමත් සමඟ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ 2015 මැතිවරණ ව්‍යාපාරයට මෙම මුදල් ලැබුණ බවත් තමන් එම චෙක්පත් මාරු නොකළ බවත්ය. එහි වැඩි විස්තර අමතක බවද ඔහු පැවසීය. තමන්ට ඡන්ද ව්‍යාපාරයට මෙලෙස උදව් ලැබුණද තමන් පාර්ලිමේන්තු කෝප් සභාවේදී මෙම සිද්ධිය විභාග කෙරෙන විට බැඳුම්කර චෝදනා ලත් සමාගමට හා අර්ජුන ඇලෝෂියස්ලාට කිසිසේත්ම උදව් නොකළ බවත් ඔහු කීය. ඒ බව කෝප් වාර්තාවල ඇතුළත් යැයිද ජයසේකර මහතා පැවසීය.

මේ ගැන ඔහු කළ ආන්දෝලනාත්මකම කතාව වූයේ තවත් මන්ත්‍රීන් 118 දෙනෙක් මෙලෙස ඇලෝෂියස්ලාගෙන් මුදල් ලබාගත් බවට වාර්තා ඇති වගයි. එයද හෙළිදරව් කළයුතු බව දයාසිරි කීය. දයාසිරිගේ එම ප්‍රකාශයන් සමඟ මාධ්‍යයට කරුණු දැක්වූ මනෝ ගනේෂන්, ෂෙහාන් සේමසිංහ, වාසුදේව නානායක්කාර ආදී මැති ඇමැතින් ගණනාවක්ම කීවේ මේ කියන 118 දෙනාගේ කණ්ඩායමට තමන්ලා අයත් නොවන බවය. ජ.වි.පෙ. නායකයාද එයම අවධාරණය කළේය.

මේ සිද්ධිය ගැන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාය. මෙලෙස මහජන නියෝජිතයන් මුදල් ලබාගැනීම නීති විරෝධී බව පැවසූ හෙතෙම තමන් මේ ගැන ජනාධිපතිතුමාගෙන් කරැණු විමසූ විට එතුමා ප්‍රකාශ කළේ තොරතුරු දැනගැනීමේ පනත අනුව ඉතිරි අයගේ නම් ගම් ඉල්ලා සිටින ලෙස පැවසූ බවත්ය. ඒ අනුව තමන් 118 දෙනා හෙළිදරව් කිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කළ බව කීය. මේ 118 දෙනා අතර ඇමැතිවරැන් මන්ත්‍රීවරුන්, මාධ්‍යවේදීන්, භික්ෂූන් වහන්සේලා පමණක් නොව ජ්‍යොතිෂවේදීන්ද සිටින බව සඳහන් වෙතැයි සඳහන් විය.

ඒ සමඟ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ තමන්ද තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ 118 දෙනා හෙළිදරව් කරන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළ වගයි. මේ 118 දෙනාගෙන් බොහෝ දෙනා එකී මුදල් ගත්තේ මැතිවරණ කටයුතුවලට නොව ඇලෝසියස්ලාට පර්ලිමේන්තු කෝප් කමිටුව හමුවේ චෝදනා නැගෙද්දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා බවය.

පළාත් සභා මැතිවරණය ගැන නොයෙක් තැන්වල විවිධ කතාබහ ඇතිවෙද්දී මහ ඇමැති තනතුරු සඳහා සටන් පටන්ගෙන තිබේ. මුලින්ම මේ සඳහා කතාබහ ඇතිවූයේ සබරගමුව පළාත් සභාවේය.  එහි ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකත්වය මෙවර රත්නපුරයට හිමිවිය යුතු බව රත්නපුරයේ වැඩි බලයක් ඇති පොහොට්ටුව කණ්ඩායම මෙන්ම ශ්‍රීල.නි.ප.යද ප්‍රකාශ කළේය. ඒ ගැන කතාබහ ඇතිවෙද්දී මුලින්ම මහ ඇමැති ධුරයට යෝජනාවූයේ ශ්‍රී ල.නි.ප. ජ්‍යෙෂ්ඨයකු වන ජෝන් සෙනෙවිරත්න මහතාය. ඒ සමඟ පොහොට්ටුව වෙනුවෙන් කාංචන ජයරත්න මහතාගේ නමද ඉදිරිපත් වුවත් රත්නපුර නගර සභාව පිහිටුවීමේදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එ.ජා.ප.ය සමඟ ගිවිසුමක් ගැසීම ගැන උරණව සිටින ශ්‍රීල.නි.ප.ය හා පොහොට්ටුවේ මන්ත්‍රීන් අතර අමනාපයක් හටගෙන ඇත. මේ කතාබහ සිදුවෙද්දී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාද තමන්ට සබරගමු මහ ඇමැති අපේක්ෂකත්වය ඉල්ලා ඇත. මේ ආකාරයට සබරගමුවේ පළාත් සභා මහ ඇමැති සටන ඇවිලෙමින් තිබේ. මෙහිදී මහින්ද රාජපක්ෂ කඳවුරේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින ජෝන් සෙනෙවිරත්න මහතාත් බැසිල් රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයකු වන කාංචන ජයරත්න මහත්වරුන් අතර සටන රාජපක්ෂ කඳවුරේ සටනක් ලෙසද සමහරු හඳුන්වති.

ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පිරිසක් ගිය බදාදා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රැස්වූහ. මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා විසින්ම ඊට විරුද්ධ විය යුතුය යන යෝජනාව ගෙන ආවේය. එහිදී විකල්ප මත කිහිපයක්ද ප්‍රකාශ විය. කුමාර් වෙල්ගම හා එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරු කියා සිටියේ තමන් විධායක ජනාධිපති ක්‍රමයට සේම මෙම ජ.වි.පෙ. යෝජනාවටද විරුද්ධ බවය. රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් තිබියදී මේ ආකාරයට ව්‍යවස්ථා සංශෝධනය කෑලි කෑලි වශයෙන් ගෙන ඒමට විරුද්ධය කියායි. මේ ආකාරයේ සාකච්ඡාවකින් පසු ඒකාබද්ධය තීන්දු කළේ 20 වැනි සංශෝධනයට එරෙහි වීමටයි. ඒ සමඟ ඒකාබද්ධයේ ඡන්ද 54ක් ඊට අහිමි විය.

මේ ආකාරයට පක්ෂ ගණනාවක් දැනටමත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජ.වි.පෙ. ගෙනා යෝජනාවට එරෙහිව අදහස් දක්වා තිබේ. එබැවින් මන්ත්‍රී 150කගේ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කරගත යුතු මෙම යෝජනාව සම්මත කර ගැනීම අසීරු වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

දින 100 වැඩපිළිවෙළ ගැන ජනාධිපතිවරයා කළ සැර ප්‍රකාශයෙන් දිනකට පසු ඔහු පොලිස්පතිවරයාටත් නීතිය හා සාමය අමාත්‍යංශයටත් වත්තල පැවැති රැස්වීමකදී චෝදනා නැගීය. ඒ පාතාලය මර්දනය නොකරන බව කියමිනි. ඔවුන් වගකීම ඉටු නොකරන්නේනම් සුදුසු අය පත් කරන බවද ජනාධිපතිවරයා කීය.

එදිනම එ.ජා.ප කෘත්‍යාධිකාරිය සිරිකොත මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට අගමැතිවරයා උපදෙස් දුන්නේ ජනපති කියන කතාවලට උත්තර නොදී ජනතා ප්‍රතිචාර අනුව රජයේ කටයුතු මෙහෙයවන ලෙසයි. එසේම ක්‍රිකට් පරිපාලනය සම්බන්ධව තිලංග සුමතිපාල මහතාට රන්ජන් රාමනායකලා දැඩි ලෙස දොස් පැවරෑහ. ධීවරයන්ට ඉන්ධන සහනාධාර ලබා දීම ගැන මෙන්ම ඉදිරි පළාත් සභා ඡන්දය ගැන ද එ.ජා.ප කෘත්‍යාධිකාරිය සාකච්ඡා කළේය.

අගමැති රනිල් ජනාධිපතිවරයාට ප්‍රතිචාර නොදක්වන ලෙස එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන්ට කීවද එදිනම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාත් කබීර් හෂීම් අමාත්‍යවරයාත් ඊට පිළිතුරු දුන්හ. සරත් ෆොන්සේකා සඳහන් කළේ කුමක් කීවත් ජනාධිපතිවරයා දින 100 වැඩසටහන දැන සිටි බවය. කබීර් හෂීම් අමාත්‍යවරයා පැවසුවේ දින 100 වැඩසටහනින් රටට වැඩක් වූ බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ වගත්ය. යමෙක් ඒ ගැන නොදන්නවාය කියනවානම් ඔහුගෙන්ම ඒ ගැන අසන ලෙස කබීර් අමාත්‍යවරයා මාධ්‍යයට කීය.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර