2018 මැයි 26 වන සෙනසුරාදා

මංගල සටන අතට ගනී!

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 506

පන්සල් නගා සිටුවීමට අගමැතිගෙන් ආධාර 
ජාත්‍යන්තරය ලවා උතුර බේරාගන්නා බව මහඇමැති කියයි 
ආණ්ඩුවේ සිටින මොළේ අමාරුකාරයන්ට ජනතාවගෙන් උත්තර 
ෂැංග්‍රිල්ලා මඟුල් ගෙදර ගිය මහින්දට ඥාතීන් යන්න කියලා 
එ.ජා.ප. පසුපෙළ නැවතත් උණුසුම් වෙයි 
ගෝඨාභය වියත් මග සමඟ රට පුරා යයි

මහවැසි මධ්‍යයේ වුවද දේශපාලන කේෂත්‍රයේ කිසියම් උණුසුමක් දක්නට ලැබිණි. මේ සතියේ ප්‍රධාන පුවත් මැවුණේ මංගල - රාජිත  සහ ගොඨාභයගේ දේශපාලන කතාබහ හේතුවෙනි. පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංවිධානය කළ “වියත් මග” වාර්ෂික සමුළුව ෂැංග්‍රිල්ලා හෝටලයේ දී පැවති අතර ඊට මෙරට ප්‍රභූ ව්‍යාපාරික පැලැන්තියේ ප්‍රබලයන් විශාල පිරිසක් එක්ව සිටීමත් ගෝඨාභය රටේ අනාගතය ගැන කළ විශේෂ දෙසුමත් ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය අවධානය ඉහළින් හිමි කරගත්තේය. ආණ්ඩුවේ පවත්නා දේශපාලන කැළඹිලි අතර ගෝඨාභයගේ කලඑළිබැසීම ගැන කලබලවූ දේශපාලන ප්‍රබලයන් වෙනුවෙන් පිළිතුරු දීමට පැමිණියේ කවදත් තමන්ගේ පක්ෂ වෙනුවෙන් උපරිමය කරන අමාත්‍ය මංගල සමරවීරය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් මග තුළින් රට විපත් මගකට ඇදදමන්නට හදන බව මංගල පැවසීය. මෙරට සුදුවෑන් සංස්කෘතියක් බිහිකර භීෂණය පැතිර වූ බවට චෝදනා ඇති තැනැත්තෙක් හැටියටත් මංගල ගෝඨාභය හැඳින්විය. දූෂණයෙන් පිරි පසුගිය රජය ගජ මිතුරු ආර්ථිකයක් පවත්වාගෙන යමින් රාජපක්ෂලාගේ උන්නතියට වැඩ කළ බව කියන අමාත්‍ය සමරවීර ගෝඨාභයලා අසත්‍ය සංඛ්‍යා ලේඛන රටට ඉදිරිපත් කරමින් 2015න් පසු මේ රජය රටට ළඟාකර දුන් ආර්ථික සමෘද්ධිය යටපත් කරදැමීමේ උත්සාහයක නිරත වන බව සඳහන් කළේය. ඒ නිසා ශක්තිමත් ආර්ථිකයක් සහිත පොහොසත් රටක් බිහි කරන්නට නම් වත්මන් රජයට සහය දෙන්නැයි අමාත්‍ය සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසීය.

මංගලගේ මෙම ප්‍රකාශය නිකුත් වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා සිටියේ බදුල්ලේය. ඔහු එහි ගියේ බදුල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ “වියත් මඟ” සම්මන්ත්‍රණයක් ඇමතීම සඳහාය. එම සම්මන්ත්‍රණයේ දී ගෝඨා මංගලගේ ප්‍රකාශයට ඍජු පිළිතුරක් ලබාදීමට අමතක කළේ නැත. ඔහු මංගලට කීවේ තමන්ට කාර්යක්ෂම ලෙස වැඩකළ හැකි බව දන්නා නිසා මංගල අමාත්‍යවරයා තමන්ට එරෙහිව විවිධ ප්‍රචාර කරමින් පහර දෙන බවයි. අදටත් කොළඹ පවතින ඍජු විදේශීය ආයෝජන ගෙන ආවේ තමන්ගේ මැදිහත් වීමෙන් යැයි ද ඔහු පැවසීය. තමන් ඒ කාලයේ කිසිවකුට බැණ බැණ නොසිට රටට වැඩ කළ බව පැවසූ හෙතෙම චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව රනිල්ට වැඩ බැහැයි කියා පෝස්ටර් ප්‍රචාර ගෙනගියේ මංගලලා යැයි ද කීය. එහෙත් ඊයේ පෙරේදා මංගල අමාත්‍යවරයා ඒ ගැන සඳහන් කරමින් නැවත ප්‍රකාශ කළේ තමන් අගමැති රනිල් ගැන එබදු ප්‍රචාර කළේ ඔහුට වැඩ පුළුවන් බව දන්නා නිසාය කියායි. ඒ ආකාරයටම තමන්ටත් රටට වැඩ කරන්නට පුළුවන් බව මංගල අමාත්‍යවරයා දන්නා නිසා මේ ආකාරයට බොරු ප්‍රචාර ගෙනයන්නේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පසුගිය සඳුදා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රින් 40ක් පමණ රැස්වීමට පැමිණ සිටියහ. රැස්වීමේ තරමක උණුසුමක් හටගත්තේ එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන්ගේ විවේචනාත්මක කනස්සලුසහගත කතා නිසාය. මෙම කතාබහ ආරම්භ කළේ රත්නපුරය දිස්ත්‍රික් මන්ත්‍රී හේෂාන් විතානගේ මහතාය. ඔහු කියාසිටියේ තමන් ඇතුළු පසුපෙළ මන්ත්‍රින් වත්මන් පාර්ලිමේන්තුවේ දැනට වසර තුනක් ගතකර ඇතත් රැකියාවක්වත් ලබාදීමට අවස්ථාව නොලැබුණු බවයි. ආණ්ඩුවේ ඇමැති තනතුරු දරන ජ්‍යෙෂ්ඨයන්ගෙන් මෙබඳු කාරණාවලදී උදව්උපකාර ඉල්ලූ නමුත් සැබැවින්ම උදව් කළේ සරත් ෆොන්සේකා මහතා පමණක්යැයි ඔහු කීය. තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවීමට පෙර මෙයට වඩා ගමට වැඩ කළ බවද ඔහු සඳහන් කර ඇත. එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා අනතුරැව කතා කරමින් ප්‍රභාකරන්ට මහත්තයායයි කියන ඇමැතිවරු නිසා ප්‍රශ්න ඇතිවන බව පවසද්දී ඔහු හා උණුසුම් වාදයකට අාවේ මංගල සමරවීර මහතාය. මංගල කීවේ ගිය රජය කාලේ කරුණාට පිල්ලෙයාන්ට සර් කී ඇමැතිවරු සිටි බවයි. මේ සතියේ ගෙන ඒමට නියමිත විශේෂ සුරාබදු පනත නිසා රට තුළ රජය ගැන වැරදි මතයක් ඇතිවිය හැකි යැයි ද මරික්කාර් මන්ත්‍රිවරයා කීවේ බස් ගාස්තු හා ඉන්ධන මිල නිසා ආණ්ඩුවට පහර ගහන අයට තවත් තුරැම්පු නොදිය යුතුයැයි පවසමිනි. එහෙත් මංගල අමාත්‍යවරයා ඊට එකඟ නොවී අදාළ පනත නියමිත ලෙස මේ සතියේ ගෙන එන බව කීය. කෙසේ හෝ සිය කතාවෙන් පසු සුළු මොහොතකින් මරික්කාර් මන්ත්‍රීවරයා සභාවෙන් පිටව ගියේය.

හේෂාන්ට සහ මරික්කාර්ට පසුව කතා කළ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද පක්ෂයෙන් තමන්ලාට යුතුකම් ඉටුනොවන බව පවසමින් දොස් මුරයක් දැමීය. මේ අය තමන්ට තිබෙන ප්‍රශ්න විවේචනාත්මකව ඉදිරිපත් කරද්දී සෙසු මන්ත්‍රීන් නිහඬව සියල්ල අසා සිට ඇත. මෙයට පෙර පක්ෂය තමන්ට නොසලකන්නේ නම් ස්වාධීන වනවායැයි කියමින් සිටි අය ද නිශ්ශබ්දව සියල්ල අසා සිටිනු පෙනිණි. පසුපෙළ මන්ත්‍රින්ගේ කතාවෙන් පසු කතා කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මන්ත්‍රිවරුන් තවත් ඉතාම කෙටිකලක් ඉවසීමෙන් සිටින ලෙසත් ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට තමන් මැදිහත්වන බවත්ය. අග්‍රාමාත්‍යවරයාගේ කතාවෙන් පසු එකී විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ හේෂාන් හා චමින්ද යන මන්ත්‍රීවරු සභාවෙන් ඉවත්ව ගියෝය. ඔවුන් සමඟ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරියද එක්වූ බව සඳහන්ය. පසුගියදා පක්ෂ නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නිසා එ.ජා.ප. මහලේකම්වරයා දැනටමත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරියගෙන් නිදහසට කරුණු විමසා ඇති බවටද ඒ අතර වාර්තා විය. 

පසුගිය සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී ආරක්ෂක හමුදා ගැනත් උතුරේ යුද සමයේ සිදුවූවායැයි කියා ඇතැම් සිදුවීම් ගැනත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශ ගැන පසුගිය සතිය පුරාම විවිධ ස්ථානවල විරෝධතා පැවැත්විණි. කොළඹ - ගාල්ල - කෑගල්ල ආදී ප්‍රදේශ ගණනාවකදී මෙකී විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඒකාබද්ධ විපක්ෂයේ තවත් ප්‍රධානින් ගණනාවකුත් රාජිතගේ ප්‍රකාශය තරයේම විවේචනය කර තිබූ අතර රජයේ මැති ඇමැතින් ගණනාවක් ද රාජිතගේ ප්‍රකාශය හා තමන් එකඟ නොවන බව කීය. අමාත්‍ය සජිත් ප්‍රේමදාස කීවේ තමන් දිවිහිමියෙන් රණවිරුවන් රකින්නට කැපවන බවය. අමාත්‍ය චම්පික රණවක සඳහන් කළේ රණවිරුවන් ත්‍රස්තවාදීන් හා සැසඳිය නොයුතු බවය. ජ.වි.පෙ. හා එල්.ටී.ටී.ඊ.ය. එක හා සමාන මට්ටමට දමා රාජිත කළ ප්‍රකාශයක් ද චම්පික අමාත්‍යවරයාගේ විවේචනයට ලක් වී තිබිණි. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියාසිටියේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා රණවිරුවන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම එකඟ නොවන බවය. මේ තත්ත්වය නිසා ඉදිරියේ දී තවත් සම කැබිනට් ප්‍රකාශකයෙක් පත්කරන්නට සිදුවනු ඇතැයි එහිදී අමරවීර මහතා පැවැසීය. කෙසේ හෝ රාජිත අමාත්‍යවරයාට දසඅතින් මෙලෙස විවේචන එල්ලවෙද්දී ඔහු වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්නට පෙරට ආවේ රාජිත අමාත්‍යවරයාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාය. එහිදී රාජිත අමාත්‍යවරයා කවදත් දේශප්‍රේමියකු බව ප්‍රකාශ කළ මන්ත්‍රී චතුර සේනාරත්න මහතා වැඩිදුරටත් කීවේ අදටත් ඔහුගේ ශරීරයේ කොටින් විසින් එල්ලකළ බෝම්බයක කොටස් තිබෙන බවයි. රාජිත සේනාරත්න මහතා තරම් කොටි ත්‍රස්තවාදයෙන් පීඩා විඳි වෙනත් කෙනෙක් නැතැයි කී චතුර මන්ත්‍රීවරයා සියලු තනතුරු කැපකර මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධය ජයගැනීමට සිය පියා උදව් කළ බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය රණවිරු සැමරුම් උළෙලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජිතගේ නම නොකියා යුද හමුදාව අතින් උතුරේ යුද සමයේ උතුරේ සාමාන්‍ය ජනතාව මිය ගිය බවට කළ ප්‍රකාශයට උත්තර දුන්නේය. ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ රජයේ ඇතැම් දේශපාලනඥයන්ට හා මොළේ අමාරැකරයන්ට රණවිරුවා සහ ත්‍රස්තවාදියා හඳුනාගන්නට නොහැකිවී ඇති බවයි. එසේම රාජ්‍ය මාධ්‍යවලට ද රටේ රණවිරුවන් ගැන ඇගයීමක් කිරීමට අමතක වී ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය සතියේ කලාතුරකින් අත්දකින්නට ලැබෙන සිද්ධියකට මුහුණ දීමට සිදුවිය. ඒ කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ පැවති මංගල උත්සවයකදීය. රත්නපුරයේ ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකුගේ විවාහය නිමිත්තෙන් මෙම මංගල උත්සවය සංවිධානය කර තිබිණි. රත්නපුර ප්‍රදේශයේ මැතිඇමැතින් වන ජෝන් සෙනවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, කරුණාරත්න පරණවිතාන, ලක්ෂ්මන් සෙනවිරත්න ආදී සෑහෙන දේශපාලනඥයන් පිරිසක් මඟුල් උත්සවයට සහභාගි වූහ. මහින්ද රාජපක්ෂ මහතාත් මෙම දේශපාලනඥයන් පැමිණි පසු එහි පැමිණි අතර පිරිස සුහද අල්ලාප සල්ලාප කතාවක යේදී සිටියදී උත්සව සංවිධායකයෙක් පැමිණ මහින්ද රාජපක්ෂ මහතාගේ කනට කොඳුරා යමක් විමසීය. ඔහුගේ ප්‍රශ්නයෙන් තරමක් පුදුමයට පත් මහින්ද පොඩ්ඩක් ඉන්නයැයි පවසා නැවතත් කතාබහට එක්විය. තවත් විනාඩි ගණනාවකින් මනමාල පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ නෑදෑයෙක් පැමිණ මහින්ද සමඟ නැවතත් කුටු කුටු ගාන්නට විය. ඒ සමඟ නැගී සිටි මහින්ද රාජපක්ෂ මහතා “මම යන්නයි හදන්නේ.” කියා පිරිසට කීය. එහි සිටි හැමෝම කීවේ තවත් ටික වේලාවක් හිඳ තමන්ලා සමඟ දිවා ආහාරය ගෙන යන හැටියටයි. එහෙත් ඊට එකඟ නොවූ මහින්ද රාජපක්ෂ මහතා තමන් හදිසියේම ඉවත්ව යන හේතුව පැහැදිලි කළේය. “තවත් විශේෂ වී.වී.අයි.පී. කෙනෙකුට මඟුල් ගෙදරට එන්න ඕනලු... හැබැයි එයා මම ඉන්ඳෙද්දී මඟුල් ගෙදර එන්න බැහැ කියලා... ඒකයි මනමාලයගෙ කට්ටිය අප්සෙට් වෙලා මම යන වෙලාව ඇහුවෙ... මම ගියාම ඒ වී.වී.අයි.පී.ට එන්න පුළුවන්නේ...” යයි කීය. එවිට ඒ අසලට පැමිණි මනාල මහතාගේ ඥාතීන් “අනේ සර් අපි ඔබතුමාට යන්න කිව්වේ නැහැ... ඔබතුමා අපිට සමාවෙලා හෝටලේ හතර වෙනි තට්ටුවේ තියන චීන රෙස්ටූරන්ට් එකට එන්න... එතන අපි ඔබතුමා වෙනුවෙන් වෙනම විශේෂ භෝජන සංග්‍රහයක් ලෑස්ති කළා... යයි කියා මහින්ද රාජපක්ෂ මහතා එම විශේෂ භෝජනාගාරයට කැඳවාගෙන ගියේය. මහින්ද රාජපක්ෂ මහතා සමඟ මැතිඇමැති පිරිසක් ද මඟුල් ගෙදර දිවා භෝජනයෙන් වැළැකී චීන අවන්හලේදී දිවා ආහාරය ගන්නට පිටත්ව ගියහ. මහින්ද රාජපක්ෂ මහතා එහි යනවිට ඉහළපෙළේ භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබූ බව ආරංචිය. රාජපක්ෂ මහතා පිටත්ව ගොස් සුළු මොහොතකින් එතෙක් පැමිණීම පමාකළ වී.වී.අයි.පී.වරයා මඟුල්ගෙදර පැමිණි බවද වාර්තා විය.

මේ සතියේ දේශපාලන අංශවල තවත් දැඩි අවධානයට ලක්වූ පුවතක් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වූ මන්ත්‍රින් 16 දෙනා සහ හිටපු ජනාධිපතිවරයා අතර පැවැති හමුවයි. ගිය බදාදා සවස 5.00ට පමණ රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණි මෙම මන්ත්‍රී කණ්ඩායමේ සිටියේ මන්ත්‍රින් 15ක් පමණි. අනුරයාපා මහතා විදේශගතව සිටීම හේතුවෙන් ඔහු පැමිණ සිටියේ නැත. පැයකුත් විනාඩි 45 පමණ පැවති මෙම හමුවේදී එකඟතාවක් ඇතිකරගන්නේ ඒකාබද්ධ විපක්ෂය සමඟ පොදුවේ මැති සබයේදී ක්‍රියාකරන ආකාරය ගැනයි. මෙම පිරිස වෙනම කණ්ඩායමක් ලෙස ඒකාබද්ධය හා සන්ධාන ගතවීමට ජෝන්, එස්.බී., සුසිල් ආදීන් කළ යෝජනාව පිළිගැනුණි. මේ අය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගෙන ක්‍රියාකිරීමට ද එකඟ වී තිබේ. ඉදිරියේදී තවත් ශ්‍රී.ල.නි.ප. සාමාජික පිරිසක් මෙම කණ්ඩායම හා එක්වන බව මෙහිදී සඳහන් කර ඇත.

පසුගිය සතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ නාගරික බලප්‍රදේශයේ විහාරස්ථාන රැසක සංවර්ධනය සඳහා මුදල් පිරිනැමීමේ උත්සවයක් අරලියගහ මන්දිරයේදී පැවැත්වීය. මෙහිදී රැස්ව සිටි මහා සංඝරත්නය ඇමතූ වික්‍රමසිංහ මහතා මහසඟරුවනේ ආරක්ෂාව සලසමින් වෙහෙර විහාරස්ථාන දියුණු කිරීමට රජයෙන් විශාල මුදලක් යොදවන බව සඳහන් කළේය. පවත්නා සංකීර්ණ සමාජය තුළ අධ්‍යාත්මික කටයුතු සඳහා විශාල ඉල්ලුමක් හටගනිමින් තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එ.ජා.ප. ආණ්ඩුව ඒ සඳහා උපරිමයෙන් කැපවන බව ප්‍රකාශ කළේය.

කොටි සංවිධානය පරාජය කොට වසර 9ක් ගතවීම සැමරීමට උතුරෙත් රණවිරු උත්සව පවත්වද්දී උතුරේ මහවිරු පවුල් හා යුද්ධයෙන් මියගිය ජනතාව සැමරීමට උත්සව ගණනාවක් සංවිධානය කර තිබිණි. ප්‍රධාන උත්සවය වෙල්ලමුල්ලි වයික්කාල්හීදී උතුරේ ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එදින උතුරු පළාත් පාසල්වල පළාත් කොඩිය අඩකුඹ කරන්නට එහි අධ්‍යාපන අමාත්‍යවරයා දුන් නියෝගය බෙහෙවින් ආන්දෝලනාත්මක විය. මේ ගැන විවිධ මත ප්‍රකාශවෙද්දී උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මහතා මාධ්‍යයට කීවේ උතුරේ කොඩි දැමීම සිදුවන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට බවය. මෙම උත්සවයේදී මහ ඇමැති විග්නේෂ්වරන් ප්‍රකාශ කළේ මහාවංශ මානසිකත්වයෙන් සිටින දකුණේ සමහර දේශපාලනඥයන්ට දෙමළ ප්‍රශ්නය නොතේරෙන බවය. ජාත්‍යන්තරයේ මැදිහත් නොවීමෙන් කවදාවත් දෙමළ ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන වගද මහ ඇමැතිවරයා කීය.   

ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රීන් 16 දෙනා හිටපු ජනාධිපතිවරයා මුණගැසීමෙන් පසු එයින් මන්ත්‍රීන් 6 දෙනෙක් පමණ කොළඹ 7 ඔලිම්පික් හවුස්හි පිහිටා ඇති චීන අවන්හලට ගොස් රාත්‍රී භෝජනය ගත්හ. ඩිලාන්, දයාසිරි, ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිසක් මෙම හමුවේදී කතා කළේද ඉදිරියේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව හා මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිය කණ්ඩායම ඉදිරියට යා යුතු ආකාරයයි. 26 සෙනසුරාදා මාතර පැවැත්වෙන හෘදය සාක්ෂියේ හඬ සංවාදයේදී හෙළිදරව් කළ යුතු කාරණා ගැනද සාකච්ඡා විය.

රාජපක්ෂ මහතා හමුවෙන් පසුදා උදෑසන මෙම සිද්ධියට අදාළ මාධ්‍ය වාර්තා දුටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත්වූ 16 දෙනාගෙන් කිහිපදෙනකුට දුරකතනයෙන් කතා කර තිබිණි. එහිදී විමසා තිබුණේ දැන් මන්ත්‍රීන් 16 දෙනාම රාජපක්ෂ මහතා ළඟට යන්නට සැරසෙනවාද කියායි. එවිට අදාළ මන්ත්‍රීන් ජනාධිපතිවරයාට කියා තිබුණේ හිටපු ජනාධිපතිතුමා සමඟ තම කණ්ඩායම සුහද කතාබහක නිරත වී දෙපක්ෂය පොදු ප්‍රශ්නවලදී එකට හඬ නැගීම ගැන සාකච්ඡා කළ බවයි. රාජපක්ෂ මහතා ඊට හොඳ ප්‍රතිචාරයක් දැක්වූ බවත් මෙම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දන්වා ඇත.

කෙසේ හෝ මෙම හමුවට පසුදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුර සොලමන්ගේ දියණියගේ විවාහ මංගල්‍යයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ සිටියහ.

කලකට පසු හමුවූ මේ දෙදෙනා සාක්ෂියට අත්සන් කිරීමට පෙර සුළු වේලාවක් සුහද කතාබහක නිරත වූහ. ජනාධිපති මෛත්‍රී මහින්දට කීවේ “මේ දවස්වල කාලගුණය හරි අප්සෙට්.... කොළඹ පැත්තට නම් වහිනව ඒත් අනුරාධපුරේට එහෙම හරියට වැස්සක් නැහැ”... කියාය. “පොළොන්නරුවටත් එහෙමද?” මහින්ද ප්‍රශ්න කළේය.“එහෙත් වැස්ස තිබුණට එක පැත්තකට වහින්නෙ නැහැ... ඒකයි ප්‍රශ්නෙ..” මෛත්‍රීගෙන් පිළිතුරු ලැබිණි. ඒ සමඟ ජනාධිපතිවරයාටත් හිටපු ජනාධිපතිවරයාටත් නව යුවළ සමඟ ඡායාරූපයකට පෙනී සිටින්නට ඇරැයුම් ලැබිණි. එය හමාරවන විටම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එතැනට පැමිණියේය. සුළු වේලාවක් තිදෙනා සුහද කතාබහකින්“මම යන්න ඕනෑ” යැයි මහින්ද කියද්දී “ඔබතුමා ගැන වැඩියෙන්ම ලියන පත්තරේ කෙනෙක්ගෙ වෙඩිං එක. ඒ නිසා තව ටිකක් ඉඳලම යන්නැයි” විහිළුවෙන් මෙන් මහින්දට කීය. එහෙත් මහින්ද තමන්ට තවත් මංගල්‍ය උත්සව ගණනක් ඇතැයි කියමින් පිටත්ව ගියේය.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00