2018 මැයි 19 වන සෙනසුරාදා

බස් ගාස්තුවේ රස්නේ

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව බස් වර්ජනය අත්හැර දමන ලද්දේ බස් ගාස්තුව සියයට 12.5 කින්ද අවම බස් ගාස්තුව රුපියල් දොළොහක් ලෙසින් ද වැඩි කිරීමට බස් හිමියන්ට ලැබුණු පොරොන්දුව හේතුවෙනි. එම වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අඟහරුවාදා (22) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර ඉන් අනතුරුව එදින මධ්‍යම රාත්‍රියේ සිට මෙම බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක වනු ඇත. නමුත් ඇතැම් බස් හිමියන් පසුගිය දිනවල ගාස්තු වැඩි කර තිබිණි. මේ පිළිබඳව මගීන් කිහිපදෙනෙකුගෙන් අප කළ විමසුමකදී ඔවුහු මෙසේ දේශයට අදහස් දැක්වූහ.

♦ දුප්පත් අපිටයි බඩේ පාර වදින්නේ
එම්. කරුණාදාස, හංවැල්ල

පොඩ්ඩ ඇත්නම් බස් ගාස්තුනම් වැඩි වෙනවා. ඒ වුණාට අපි හම්බකරන මුදල් නම් වැඩිවීමක් වෙන්නේ නැහැ. ජීවත් වෙන්න හරි අමාරු කාලයක් තමයි මේ උදාවෙලා තියෙන්නේ. එහෙත් බඩු මිල ඉහළ යනවා. මෙහෙන් බස් ගාස්තු ඉහළ යනවා. අන්තිමට අපිට පයින් තමයි එන්න වෙන්නේ. ඇත්තටම මේ බස් ගාස්තු ඉහළ යන එහෙත් දුක් විඳින්නේ මේ රටේ ඉන්න අහිංසක අසරණ මිනිස්සු. ඔය ලොකු මිනිස්සු මේ පොඩි මිනිස්සු ගැන හිතන්නේම නැහැ. අපි කිව්වයි කියලා ඔය බස් ගාස්තු අඩු කරන්නේ නැහැ. බස් ගාස්තු වැඩිකරන්න කියලා බය තියෙන අය උද්ඝෝෂණයක් තිබ්බොත් එහෙම නැත්නම් බස් වර්ජනයක් තිබ්බොත් රජයෙන් ඉක්මනට ඒකට විමසුමක් ලබල දෙනවා. හැබැයි ඉතින් මේ දුප්පත් අපිට තමයි ඒකෙන් බඩේ පහර වදින්නේ.

♦ කුණුබැණුම් අහගෙන වැඩිපුරත් ගෙවන්න වෙලා
එස්. ප්‍රේමලාල්

බස් ගාස්තුව වැඩිවීම තදින්ම බලපාන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තමයි. මැති ඇමැතිවරුන්ට ඔය ලොකු ලොකු සල්ලිකාර මිනිසුන්ට බස් ගාස්තුව වැඩිවීම දැනෙන්නේ නැහැ. ඒ වගේම ලොකු සල්ලිකාර මිනිස්සු මේ බස් ගාස්තු වැඩිවීමක් වෙලා තියෙනවද කියලා දන්නේවත් නැතිව ඇති. හැබැයි ඉතින් ඒක දැනෙන්නේ මේ අපි වගේ පොඩි මිනිස්සුන්ට තමයි. බස්වල යනවා කියන එකත් එක කරදරයක් තමයි. සමහර කොන්දොස්තරවරුන්ගෙන්, රියදුරන්ගෙන් අහන්න වෙන කුණු බැණුම් ගැන හිතද්දී ඇත්තටම එවැනි බස්වල යන්න ලැබීමත් ගිය ආත්මවල කරපු පාපයක් වෙන්නත් ඇති. සල්ලි දීලා බැණුම් අහලා යන්න තමයි අපිට සිද්ධ වෙන්නේ. සමහරු බස්වලට නංගගන්න වඳින්නේ නැති ටික විතරයි. හැබැයි බස් එකෙන් බහිද්දී අපේ බෙල්ලෙන් අල්ලලා එළියට දාන්නේ නැති ටික විතරයි. කුණු බැණුම් අහගෙන තමයි අපිට බස් එකෙන් බහින්න වෙන්නේ. ඇත්තටම මෙහෙම බස් ගාස්තු වැඩි කිරීම අහිංසක අපිට කරන අපරාධයක්.

අලුත් ගාස්තු කැබිනට් අනුමැතියෙන් පස්සේ 
මේ සම්බන්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති 
එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතාගෙන් ද විමසීමක් කළෙමු 

බස් ගාස්තු සංශෝධනය මැයි මස විසි දෙවැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමට මෙය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම වෙනස් වීම කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව තමයි එය සනාථ වෙන්නේ. මුල් අවම ගාස්තුව ලෙස රුපියල් දහය වෙනස් නොකිරීමට තීරණය කළත් පසුව එය රුපියල් දොළහ දක්වා වෙනස් වුණා.
නමුත් මේ පිළිබඳව ස්ථිරවම තීරණයක් ගතහැක්කේ මෙම කැබිනට් රැස්වීමේ අනුමැතිය ලැබුණාට පසුවයි.  මේ නිසා එකෙන් ඒ සම්බන්ධව කිසිවක් කීමට අමාරුයි.

♦ බස් හිමියන්ගේ වරදක් නොවේ
චන්දන මතුගම

බස්ගාස්තු වැඩි වුණේ තෙල් මිල ඉහළ යාමත් එක්කනේ. ඇත්තටම බස් ගාස්තුව වැඩි වීම එක අතකින් බස් හිමියන්ගේ වරදක් නොවේ. වැඩිවෙන මිලත් එක්ක ඒක කරන්නම සිද්ධ වෙනවා. දැන් මම මතුගම ඉඳන් හැම සතියේ දවසකම පාසල් බස් සේවයක් කරන කෙනෙක්. තෙල් වැඩිවීම අපිටත් තදින්ම බලපානවා. අපිට හයිවේ එකටම මාසයකට රුපියල් අටදාස් සාරසීයක මුදලක් වියදම් වෙනවා. වාහනේ ටයර්, බැටරි සහ අනෙකුත් උපාංග වෙනුවෙන් බලද්දී අපටත් අඩුම තරමේ 10%ක්වත් වැඩිවීමක් වෙන්න ඕනේ. නැත්නම් ඉතින් වැඩක් නැහැ.

පොඩි කාලයක් තුළදී ටයර් මිල හයහත් පාරක් විතර වැඩිවෙලා. අප්‍රේල් මාසයේදී ආයෙත් ටයර් 8%කින් වැඩිවුණා. එහෙම වෙද්දී ධාවනය කරන්න අමාරුයි. ඩීසල් ලීටර් 45ක මිල මේ ඩීසල් මිල වැඩිවීමත් එක්ක මාසයකට ඩීසල් වැඩි වෙනවා. මාසයකට දවස් විසිඑකක් විසිදෙකක් වාහනය ධාවනය කරද්දී හරි අමාරුයි. මේ විදිහට බස් ගාස්තු වැඩිවෙන එකෙන් මගීන්ට පාඩුවක් වෙනවා වගේම මෙහෙම තෙල් මිල ඉහළ යන එකෙන් අපිටත් පාඩුවක් සිද්ධ වෙනවා.

♦ පරණ ගාස්තුවට දැන් දුවන්න බෑ
සිසිර පෙරේරා වැල්ලම්පිටිය

මෙහෙම බස් ගාස්තු වැඩිවීම ජනතාවට දරාගන්න අමාරු තමයි. හැබැයි ඉතින් එහෙම දෙයක් වෙන්නේත් තෙල් මිල වැඩිවීම එක්කම තමයි. මිනිස්සු බස් ගාස්තු වැඩිවුණු එකට බස් හිමියන්ට බණිනවා. හැබැයි ඒ බස් හිමියන්ටත් කරන්න දෙයක් නැහැ. පාඩු පිට බස් ධාවනය කරන එකේ තේරුමක් නැහැ.

තෙල් මිල ඉහළ යාමෙන් බොහෝ දේවල් වක්‍රව වැඩිවෙනවා. වාහනවල අමතර කොටස් වැඩිවෙනවා. මේ දේවල් ගැන වැඩිය කවුරැත් කතා කරන්නේ නැහැ. මමත් බස්වල යන කෙනෙක්. ඒ වගේම මටත් ත්‍රීවිලර් එකක් තියෙනවා. මේ නිසා බස්ගාස්තු විතරක් නෙමේ ත්‍රීවිලර් ගාස්තුත් වැඩිවෙනවා. ත්‍රීවිලර් ගාස්තුවේ මීටරය හැට කරලා තියෙනවා. ඉතින් බස්වලට වගේම මේ මිල වැඩිවීමට ත්‍රීවිලර්වලටත් බණින මිනිස්සු ඉන්නවා. ඇත්තටම මිල වැඩිවීමට බස් හිමියන්ට ත්‍රීවිලර් හිමියන්ට බැණලා වැඩක් නැහැ. පවතින තෙල්වල මිල ඉහළ යාමත් සමඟ මිල ඉහළ දැමීම හැර වෙන අපිට කරන්න දෙයක් නැහැ. ලීසිං ගෙවාගෙන වාහන අමතර කොටස්වලට මුදල් යටකරගෙන පරණ බස් ගාස්තුවෙන් බස් ධාවනය කරන්න අමාරුයි.

ඩීසල් මිලේ වැඩිවීම බස් හිමියන්ට දරාගන්න බෑ
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම්
අංජන ප්‍රියන්ජිත් දේශයට මෙසේ අදහස් දැක්වීය.

වාර්ෂිකව සෑම ජුනි මාසයකම බස් ගාස්තු සංශෝධනයක් සිදුවෙනවා. මෙවර ඩීසල් ලීටරයක මිල රුපියල් දාහතරකින් ඉහළ නැංවුණා. අපි ඉල්ලුවේ වාර්ෂික බස් රථ සංශෝධනයේ ඉල්ලීම මසකට පෙර සිදුකිරීමයි. අපි මේ ඉල්ලීම කළේ. බස් රථ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව ජුනි මාසය වෙනකොට සෑම වසරකම බස් ගාස්තු සංශෝධනයක් සිදුවෙනවා.

හදිසි ඩීසල් වැඩිවීම නිසා ඒක දරාගැනීමේ හැකියාව බස් හිමියන්ට තිබුණේ නැහැ. ඒ නිසා තමයි අපි සියයට විස්සක බස් රථ සංශෝධනයක් ඉල්ලුවේ. ඒවගේම අවම බස් ගාස්තුව රුපියල් පහළොව දක්වා වැඩිකරන්න කියලා අපි ඉල්ලීම් කළා. නමුත් ආණ්ඩුව එයට එකඟ වුණේ නැහැ. ආණ්ඩුව 6.5ක් හෝ 6.6ක පමණයි බස් ගාස්තු සංශෝධනයක් තමයි ලබාදුන්නේ. එය කිසිසේත්ම කර්මාන්තය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එය සුදුසු බස් ගාස්තුවක් නෙමේ. එය ඇත්තටම ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති ඇතුළු බස් ගාස්තු ගණනය කළ නිලධාරී මණ්ඩලය හිතාමතාම වංචනික ලෙස තමයි බස් ගාස්තු නිර්මාණය කරලා තිබුණේ. මේ ගමනාගමන කොමිෂන් සභාව කැබිනට් මණ්ඩලය පවා නොමඟ යැවීමක් කළේ. බස් ගාස්තුවල ගණන් කිරීමේදී සීයයට දාහතක වගේ ප්‍රතිශතයක් තියෙනවා. නමුත් අපි ආණ්ඩුවෙන් ලබාගන්නේ ජනතාවට විශාල ගැටලුවක් නොවන ආකාරයකට 12.5% බස් ගාස්තුවක්. අවම බස් ගාස්තුව ලෙස රැපියල් පහළොවක් ඉල්ලා සටන් කරපු අපි රුපියල් දොළහ දක්වා ආපස්සට ගන්නට බස් නියෝජිතයෝ කැමැත්ත ප්‍රකාශ කළා.

ඔය අන්තිමට තමයි අඟහරුවාදා සිට බස් ගාස්තුව සංශෝධනය වෙන්නේ. අපිට වර්ෂ ගණනාවක් අපේ කොන්දොස්තරගේත්, රියදුරුවරයාටත් වැටුප් වැඩිකිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ නිසා මේ වර්ෂ කිහිපයකටම පස්සේ ඒ සේවක දෙපළගේ වැටුප් වැඩිකරන්න අපි මේ සමඟම තීන්දුවක් ගත්තා. මේ නිසා හැම බස් රථයකම ඒ සේවක දෙපළගේ වැටුප් වැඩිවීමක් අනිවාර්යයෙන්ම සිදුවෙනවා. 

♦ දැන් ඉතින් බස්වල ගමනත් ප්‍රශ්නයක්
ඊ. අජිත්, කඩවත

බස්වල යන්න බැරි තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. බස් එකකට නැංගහම ඒ මිනිස්සුන්ගේන් කතා අහන්නත් ඕනේ. අපේ ඉතුරු සල්ලිත් දෙන්නේ නැහැ. ඉල්ලුවහම අපිට බැණුම් අහන්න තමයි සිද්ධ වෙන්නේ. කොයි වෙලාවේත් බස් කොන්දොස්තරවරුන් ළඟ මාරු කාසි නැහැ. ඒක හරි බොරුවක්. ඇත්තටම මෙහෙම ඉතුරු මුදල් දෙන්නේ නැති මිනිස්සු වෙනුවෙන් කිසිම නීතියක් නැහැ. ඇත්තටම බස්වල යන්න දැන් එපා වෙලා. මෙහෙම බස්වල ගාන වැඩිවෙන එකෙන් අහිංසක අපේ බඩට තමයි පාර බඳින්නේ. 

►සමන්ත ප්‍රදීප් විල්තෙර
     දිශානි ජයමාලී කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00