2018 මැයි 19 වන සෙනසුරාදා

අභිමානයෙන් සැමරිය යුතු ජාතියේ දෙවැනි නිදහස් දිනය

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 208

ලෝක යුද විශේෂඥයන් කොටි සංවිධානය හැඳින්වූයේ ලොව බලගතු මෙන්ම බිහිසුණුම ත්‍රස්ත සංවිධානය ලෙසයි. කොටි ත්‍රස්තවාදය යුදමය ලෙස පරාජය කළ නොහැකි බව ඔවුන්ගේ ඇගයීම විය. යුද විශේෂඥයන් එවැනි නිගමනයකට එළඹ තිබුණේ කාරණා ගණනාවක් පදනම් කර ගෙනය. බටහිර රටවල් 2001 සිට තලේබාන් සංවිධානය සමඟත් 2003 සිට අල් කයිදා වැනි මුස්ලිම් අන්තවාදි ත්‍රස්තවාදි සංවිධාන සමඟත් තීරණාත්මක යුද්ධයකට අවතීර්ණ වී සිටියහ.  තලේබාන් සංවිධානයට එරෙහිව යුද ප්‍රකාශ කර තිබුණේ ලොව සුපිරි බලවතා වන එක්සත් ජනපදය ප්‍රමුඛ ලොව ප්‍රබලම රටවල් 39කි.  රිසි ලෙසින් වියදම් කිරීමට ඔවුන්ට අප්‍රමාණ ධනයක් විය. ලොව විශාලතම හමුදාවන් යුද පිටියට යොමු කර තිබිණි. එබැවින් ශ්‍රම සම්පතද හිඟ නොවිණි. ලොව සුපිරිතම යුද තාක්ෂණය ද ඔවුන්ට උරැම විය.  එක්සත් ජනපදයේ යුද ක්‍රියාකාරකම් ප්‍රශ්න කිරීමට එක්සත් ජාතින්ගේ සංවිධානය හෝ වෙනත් රටක් ඉදිරිපත් නොවන හෙයින් දේශපාලන අධිකාරි බලයද ඔවුන්ට හිමි විය.  ඒ සියල්ල තිබියදී තලේබාන්වරැන් සමඟ තමන් පැටලී සිටින යුද්ධයන්හි ජයග්‍රහණයක ලකුණක්වත් නොදුටුහ. 

තලේබාන් සමඟ සංසන්දනයේ දී කොටි සංවිධානය සිටියේ සුපිරි තලයකය. යුද ටැංකි, කාලතුවක්කු, ගුවන් යානා සහ සබ්මැරීන වැනි සම්ප්‍රදායික හමුදාවක් සතු බොහෝ අංග කොටි සංවිධානය සතු විය. තලේබාන්වරැන්ට එවැනි සම්පත් නොතිබිණි. මරාගෙන මැරෙන මිනිස් බෝම්බය ලොවට හඳුන්වා දුන්නේ කොටි සංවිධානයයි. එපමණක් නොව ලොව වැඩිම මිනිස් බෝම්බ ගණනක් පුපුරැවා තිබුණේද කොටි සංවිධානයයි.  බටහිර යුද බලවතුන් සතු කිසිම සම්පතක් ලංකාවට නොතිබිණි. මෙම පසුබිම විශ්ලේෂණය කළ යුද විශේෂඥයෝ කොටි ත්‍රස්තවාදය කිසිම දිනක පරාජය කළ නොහැකි බවට ප්‍රකාශ කළහ.

බටහිර අනුකාරකවාදී දේශීය උගතුන්ද බටහිර විශේෂඥ මතය පිළිගනිමින් කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවට මෙරට ආණ්ඩු වලට උපදෙස් දුන්හ. එබැවින් දේශීය ආණ්ඩුද සෑමවිටම විශ්වාස කළේ සාකච්ඡා කර විසඳුමක් සොයාගැනීම කෙරෙහිය.

මේ වනවිට දෙමළ බෙදුම්වාදීහු ඉන්දියානු සහ බටහිර රාජ්‍යයන් තමන් වෙත දිනාගෙන සිටියහ. ඒ සඳහා සංවේදි ප්‍රචාරණය, එම රටවල ජීවත් වන දෙමළ ජනතාව විසින් දේශපාලනයට කරන බලපෑම මෙන්ම අරමුදල් බලය ද උපයෝගි කර ගන්නා ලදී.  ජේන්ස් ඩිෆෙන්ස් වීක්ලි ආරක්ෂක සඟරාව 2008 දී වාර්තා කළේ කොටි සංවිධානයේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 300ක් පමණ වන බවයි. එම මුදල් වැය කළේ භූමියේ යුද්ධය වෙනුවෙන් පමණක් නොවේ. විදේශීය රටවල සහ ශ්‍රී ලංකාවේ දේශපාලකයන්, නිලධාරින්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් මිල දී ගෙන මතවාදී යුද්ධය ජයග්‍රහණය වෙනුවෙන්ද කොටි නොමසුරැව වැය කළහ.  එහි ප්‍රතිඵලය වූයේ කොටි විරෝධි යුද මෙහෙයුම් නැවැත්වීමට එකී රටවලින් මෙන්ම මෙරට තුළින් ද ලංකාවට බලපෑම් එල්ල වීමයි.

ඉහත දැක් වූ සියලු කරුණු පැවතුණේ අපේ රණවිරුවන්ගේ අවාසියටයි. නමුත් ලෝක යුද විශේෂඥයන්ගෙන් සැඟවුණු සම්පත් සමූහයක් රණවිරුවන් සතු විය. ඒ එඩිතර බව, කැපවීම, අධිෂ්ඨානශීලිත්වය සහ මානව දයාවයි. රණවිරුවා සතු මෙම සම්පත් පිළිබඳ විශ්වාසය තැබූ දේශීය සුළුතරයක් “කොටි ත්‍රස්තවාදය පරාජය කළ යුතුය. පරාජය කළ හැකිය යන මතය තදින්ම විශ්වාස කළහ. නමුත් කොටි පරදන යුද්ධයට දැවැන්ත අඩුවක් පැවතිණි. ඒ දේශපාලන සහ පරිපාලන නායකත්වයයි.

සිංහයෙක් නායකත්වය දෙන බැටළු හමුදාවකට බැටළුවෙකු අණදෙන සිංහ හමුදාවක් පරාජය කළ හැකිය යනුවෙන් අරාබි කියමනක් තිබේ. පළමු ලෝක යුද සමයේ ඉංග්‍රිසි මාධ්‍ය පැවසුවේ ඉංග්‍රිසි හමුදාව බූරුවන්ට නායකත්වය දෙන සිංහයින් පිරිසක් ලෙසය.  ලංකාවේ හමුදාවද මුහුණ පා සිටියේ එම ඛේදවාචකයටයි.

රණවිරුවන් සිය ජීවිත පූජා කරමින් ජයග්‍රාහීව රණබිමේ ඉදිරියට යමින් කොටි පරාජයේ අබියසට පැමිණියේ වරක් දෙවරක් නොවේ. ඒ සෑම අවස්ථාවකම විදේශීය බලපෑම් මත සටන් විරාම ප්‍රකාශ කර ඒ ජයග්‍රහණ පාවා දෙන්නට දේශපාලන නායකත්වය කටයුතු කළේය. 1985, 1987, 1990, 1995 සහ 2001 එසේ සටන් විරාම ප්‍රකාශ කළ වසර විය.

සටන් විරාම කාල තුළදී හමුදාව කඳවුරුවලට සීමා කෙරිණි. නමුත් කොටි සාමාජිකයන්ට නිදැල්ලේ හැසිරෙන්න නිදහස ලැබිණි. එබැවින් කොටි හමුදා කඳවුරු වටා බිම් බෝම්බ වළ දැමූහ. මක්කල් පාදෙයි නමින් සාමාන්‍ය ජනතාවගේ බළකායක් බිහිකර එය හරහා හමුදා කඳවුරුවලට ගල් ප්‍රහාර එල්ල කිරීමටත් උද්ඝෝෂණ පැවැත්වීමටත් රණවිරුවන්ට අපහාස කිරීමටත් කටයුතු කළහ. හමුදා පාලන ප්‍රදේශවලට පැමිණ “පොංගු තමිල්” වැනි ප්‍රචාරක වැඩසටහන් පවත්වා නව ත්‍රස්තවාදින් බඳවා ගැනීම ද සිදුකළහ. නැව් පිටින් ආයුධ ගෙන්වා ගැනීම මෙන්ම “කොටි බදු” හරහා ආදායම යහමින් තර කර ගැනීමද  සිදු විය. හමුදාවට මුහුණ දීමට තමන් දැන් සවිමත් යැයි කොටින්ට දැනුණු පසු සටන් විරාමය අවසන් කරමින් සෑම අවස්ථාවකම යළි යුද්ධය ආරම්භ කළේ කොටින්ය.

2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත්වූයේ ඒක පාර්ශ්වික සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් තිබියදීය. කොටි සංවිධානය හමුදාවට පහර දෙමින්ද සිය මායිම ඉදිරියට ගෙන යමින්ද රිසි ලෙස යුද වැදී සිටියේය. නමුත් ආණ්ඩුව කළේ සටන් විරාම ගිවිසුම අකුරටම රකිමින් හමුදාව කඳවුරුවලට ගාල් කර තැබීමයි. කොටි හිතැති නෝර්වේ ප්‍රමුඛ සටන් විරාම නිරීක්ෂකයෝද බොරු නින්දකට වැදී කොටි ක්‍රියාකාරකම් නොදකින සේ සිටියහ. බටහිර රටවල් කොටි සංවිධානයට පක්ෂග්‍රාහි වූ බැවින් සටන් විරාමයෙන් ඉවත් වීම සූක්ෂමව කළ යුතු විය. එබැවින් කොටින්ගේ රඟපෑම ලෝක ප්‍රජාවට හෙළි කිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව කොටින් සමඟ සාකච්ඡා ආරම්භ කරන ලදී. කොටින්ගේ කිසිම ඉල්ලීමක් සාකච්ඡා වලින් දිනාගත නොහැකි වූ බැවින් කොටින්ට එම සාකච්ඡා නිශ්ඵල විය.

2006 ජූලි 21 දින කොටින් විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැම්මේ කොටි සංවිධානයේ ඉරණම මෙන්ම මව්බිමේ ඉතිහාසයද සදහටම වෙනස් කරමිනි. එකී සොරොව්ව වසා දැමීමෙන් 15,000කට අධික ජනතාවට වගාවට පමණක් නොව බීමටවත් ජලය අහිමි විය. කොටින් සමඟ සාකච්ඡා කර මේ ප්‍රශ්නය විසඳා ගන්නා ලෙස බටහිර රටවල් ලංකාවට බල කළහ. නෝර්වේ විශේෂ සාම නියෝජිත සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ලංකාවට පැමිණීමටද සූදානම් විය.

මේ අතරේ අතුරලියේ රතන හිමි ප්‍රමුඛ පිරිසක් හමුදා මෙහෙයුම් හරහා සොරොව්ව ත්‍රස්තවාදින්ගෙන් මුදා නොගන්නේ නම් තමන් විසින් එය මුදාගන්නා බව ප්‍රකාශ කරමින් සොරොව්ව වෙත පා ගමනක් ඇරඹූහ. දැන් ජනපති මහින්ද ඉදිරියේ එකිනෙකට සතුරැ විකල්ප දෙකකි. මහ සඟරැවන ප්‍රමුඛ ජාතික බලවේග යුදමය විසඳුමක් පතා එල්ල කරන දේශීය පීඩනයකි. අනිත් පසෙන් සාකච්ඡාමය විසඳුමක් පතා එල්ලකරන විදේශීය පීඩනයකි. දේශජ නායකයකු ලෙස ජනපති මහින්ද තෝරා ගත්තේ දේශීය බලවේග ගෙනා විසඳුමයි.  එනම් යුදමය විසඳුමයි.  ඒ අනුව 2006 ජූලි 26 දින කොටින්ට එරෙහි යුද මෙහෙයුම් ආරම්භ කර අගෝස්තු 08දා වනවිට සොරොව්ව යළි විවෘත කිරීමට සමත් විය. ඒ සනිටුහන් කළේ කොටි සංවිධානයේ අවසානයේ ආරම්භයයි. යුද්ධයට දේශපාලන නායකත්වය ජනපති මහින්ද සපයන විට ඊට පරිපාලන නායකත්වය සැපයූවේ ආරක්ෂක ලේකම් ධූරය දැරූ ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතායි. කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ අරමුණෙන් 1987 දී දියත් කළ විමුක්ති මෙහෙයුමේ එක් සේනාංකයකට අණදුන් පුද්ගලයා ලෙස කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම ඔහුගේ සිහිනයක් විය. මෙතෙක් හමුදා මෙහෙයුම්වල දේශපාලන අරමුණ වූයේ කොටි ත්‍රස්තවාදින් සාම සාකච්ඡා මේසයට තල්ලු කිරීමයි. යුද්ධය නම් කළේ “සාමය සඳහා යුද්ධය“ ලෙසයි. නමුත් 2006දී ඇරඹුණේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද්ධයයි.

ගෝඨාභය මහතාගේ වගකීම වූයේ සැලසුම් සැකසීම සහ සම්බන්ධීකරණයයි. එක් පසෙකින් සිය සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්පත් පිළිබඳ දේශපාලන නායකත්වය දැනුම්වත් කළ යුතුය. අනෙක් පසෙන් සියලුම පාර්ශව මනා ලෙස මුසු කරමින් යුද සැලසුම ක්‍රියාත්මක කළ යුතුය. යුද බිමේ දක්ෂතා පෙන් වූ ජනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති ලෙසත් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපති ලෙසත් එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක ගුවන් හමුදාපති ලෙසත් ජනරාල් කපිල හෙන්දවිතාරණ බුද්ධි අංශ ප්‍රධානි ලෙසත් පත්වී තිබිණි. පොලිස්පති ජයන්ත වික්‍රමරත්න නායකත්වය දුන් පොලිසියෙන් ද රියර් අද්මිරාල් සරත් වීරසේකර නායකත්වය දුන් සිවිල් ආරක්ෂක බලකායෙන් ද යුද මෙහෙයුමට ලැබුණේ අපරිමිත සහයකි.

රාජපක්ෂ සොහොයුරන් ඉදිරියේ දැවැන්ත අභියෝගයක් විය. දැවැන්තම අභියෝගය මෙන්ම මීට පෙර ආණ්ඩු අසමත් කළ අභියෝගය වූයේ යුද්ධයට එරෙහි ජාත්‍යන්තර පීඩනය කළමනාකරණයයි. ඊට අමතරව හමුදා මෙහෙයුම් සඳහා අවශ්‍ය සම්පත් අඛණ්ඩව සැපයීම, රාජ්‍ය නොවන සංවිධාන හරහා කොටි සංවිධානය විසින් යුද්ධයට එරෙහිව ගෙන ගිය ව්‍යාපාරයට පිළිතුරු සැපයීම, යුද්ධය වෙනුවෙන් ජනතා සහයෝගය පවත්වා ගැනීම සහ හමුදා චිත්ත ධෛර්යය පවත්වා ගැනීම මෙම අභියෝගයන් විය.

මෙකී අභියෝග සියල්ල මැනවින් කළමනාකරණය කළ බැවින් 2009 මැයි 19 දින ත්‍රස්තවාදී නායක වේළුපිල්ලේ පිරබාහරන්ගේ මරණය සමඟ හමුදාවට ජයග්‍රහණයත් මව්බිමට නිදහසත් ජනතාව ජීවිතයත් ලැබිණි. එකී ජයග්‍රාහි ගමන මෙවැනි ලිපියකින් ආවරණය කළ නොහැකි මට්ටමේ විස්තර සපිරි කතාවකි. වඩාත් වැදගත් වන්නේ කිසිම දිනක පරාජය කළ නොහැකි බවට ලෝක යුද විශේෂඥයන් හඳුනාගත් කොටි සංවිධානය සම්පූර්ණයෙන් පරාජය කිරීමට ගත වුණේ වසර දෙකක් සහ මාස අටක් පමණක් වීමයි.  එදා පාසල් දරැවන් බෝම්බයකට ගොදුරු වී කෑලිවලට ඉරි ගොස් සුදු නිල ඇඳුම් ලෙයින් තෙත් වනු ඇතැයි මව්පියෝ බියෙන් පසුවූහ. යුද පිටියට ගිය සැමියා මිනී පෙට්ටියකින් ගෙදර එතියි බිරින්දෑවරු බියෙන් පසු වූහ. රැකියාවට කුඹුරට ගිය මව්පියන් කොටි ප්‍රහාරයකට ලක් වෙතියි අනාරක්ෂිත ගම්මාන දරුවෝ බියෙන් පසු වූහ. මේ තුන්බිය දුරු කලේ රණවිරුවන්ය.

මව්පියන් විසින් උපතේ දී අපට ජීවය ලබා දුන්නේ නම් 2009 මැයි 19 දින රණවිරැවෝ ද අපට ජීවය ලබා දුන්හ.  2009 මැයි 19 සිට ගත කරන්නේ රණවිරුවන්ගෙන් ණයට ගත් ආයු කාලයකි.  බුදුන් වහන්සේ නම් තමන්ට සෙවණ දුන් ගසටත් කළ ගුණ සැලකූ සේක.  ලාංකික සමාජය තමන්ගේ ජීවිතය රැක දුන් රණවිරුවාට කෙසේ සැලකුවා දැයි ආපසු හැරී බැලීම අතිශයින්ම කාලෝචිතය.

රණවිරුවන් කළේ කරුණා යුද්ධයකි. එබැවින් යුද්ධයේ දී භාර වුණු කොටි ත්‍රස්තවාදින් දොළොස් දහසකට අධික පිරිසක් පුනරැත්ථාපනය කර සමාජයට එක් කිරීමට තරම් ඔවුහු කාරැණික වූහ. “Forgive and Forget” හෙවත් සමාව දී අමතක කර දැමීම ඔවුන්ගේ න්‍යාය විය. නමුත් දෙමළ බෙදුම්වාදීන් එතරම් කාරුණික නැත. පළිගැනීම ඔවුන්ගේ න්‍යායයි. වර්තමාන ආණ්ඩුව හරහා විවිධ අණ පනත් ගෙනෙමින් එම දුෂ්ඨ සැලසුම දැන් ක්‍රියාත්මකය. එබැවින් කොටි ත්‍රස්තවාදින් අද සමාජයේ නිදහසේ සරණ විට රණවිරුවෝ මාස ගණන් සිර කඳවුරැවල දුක් විඳිති. විවිධ අපහාසවලට ගොදුරු වෙති.

ආණ්ඩුව විසින් රණවිරු උපහාර උළෙල නවතා දමා ඇත. තම ජීවිත මෙන්ම අත් පා ඇස් කන් පූජා කළ රණවිරුවා ඇගයීම අනවශ්‍ය බවට තීරණය කර ඇත. නමුත් උතුරේ දේශපාලකයෝ කුරිරු කොටි ත්‍රස්තවාදීන් සැමරීමට මහත් උනන්දුවෙන් සූදානම් වෙති.  එම උත්සව සඳහා කොටින්ගේ ගොදුරු බවට පත් වුණු ජනතාව විසින් ගෙවූ බදු මුදල් වෙන් කරති. අනාගතයේ බෙදුම්වාදි ත්‍රස්තවාදියකු බවට පත්වීමට අවශ්‍ය විෂබීජ පාසල් දරුවන්ගේ සිත් තුළ වපුරති. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විසින් එම ක්‍රියාදාමය නිල වශයෙන්ම සාධාරණ කරයි. මේ පසුබිම තුළ හමුදාවට බැඳි රට රකිනු වෙනුවට මාත් ත්‍රස්තවාදියකු වූවා නම් මැයි 19 දින වෙල්ලමුල්ලවයික්කාල් හී දි සමරනු ඇතැයි ආබාධිත රණවිරුවකුට සිතුනොත් එය පුදුමයට හේතුවක් නොවේ. නමුත් කළ ගුණ නොදත් සමස්ත ජාතියටම ලජ්ජා වීමට හේතුවකි.

පිවිතුරු හෙළ  උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ 
උදය ගම්මන්පිල

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00