2018 මැයි 19 වන සෙනසුරාදා

කෝටි ගණන් පොලු තියා පැන්න බතික් සිතාරා

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

“එහෙම නම් ඔයා දිගටම බඩු ගේන්න. මාසෙකට දෙවතාවකට වැඩියෙන් ගේන්න බලන්න. බඩු ගෙනෙන හැටියට චෙක්වලින් මම ගෙවන්නම්. කෑෂ්වලට වඩා ඒක අපිට පහසුයි. අවිශ්වාසයක් තියාගන්න එපා, දිගටම කරගෙන යමු. අලුත් ඩිසයින්වලින් කරන්න බලන්න. මෙතන හොඳ සේල් එකක් තියෙනවා.”

සිතාරා බතික් ආයතනයේ හිමිකාරිනිය සිය ආයතනය වෙත බතික් රෙදි හා නිමිඇඳුම් ලබාදෙන සැපයුම්කරුවන්ට පවසන්නේ එසේය. පළමුව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වී දෙවනුව රෙදි තොග රැගෙන පැමිණෙන සැපයුම්කරුවන් පළමු ගනුදෙනුව සාර්ථකව අවසන් කර ඇත්තේ චෙක්පත මගින් අදාළ මුදල ගෙවීමෙන් අනතුරුවය. මෙසේ ඇතිකරගන්නා විශ්වාසය මත සැපයුම්කරුවන් තවදුරටත් සිතාරා බතික් ආයතනය වෙත නිමිඇඳුම් සපයා තිබුණි. බොහෝ අවස්ථාවලදී ඇය හා ගනුදෙනු කළ ව්‍යාපාරික පිරිස් වෙත සිදුකළ පළමු ගෙවීම පිළිබඳ කිසිදු ගැටලුවක් ඇතිවී නොමැත. එහෙත් දෙවැනි හා තෙවැනි ගනුදෙනුව සඳහා ලබාදෙන ලද චෙක්පත් බැංකුව වෙතින් මුදල් කිරීමට යාමේදී ගැටලු නිර්මාණය වී තිබේ. ඒ බව සිතාරා බතික් ආයතනයේ හිමිකාරිනිය වෙත දැන්වීමට කටයුතු කිරීමේදී ඇය පවසා ඇත්තේ ගැටලුවක් ඇතිකර නොගන්නා ලෙසත් තවත් නිමිඇඳුම් කට්ටලයක් ආයතනයට ලබාදී ඊට අදාළ මුදලත් පෙර කී මුදලත් දෙකටම යළිත් චෙක්පතක් රැගෙන යන ලෙසත්ය.

මේ සංවාදය බොහෝ කාරුණික හා විශ්වාසනීය එකක් නිසාත් එක් ගනුදෙනුවක මුදල තරමක් ප්‍රමාද වුවත් ගනුදෙනු දෙකටම එකවර මුදලක් හිමිවෙතැයි අපේක්ෂා කරන සැපයුම්කරැවන් දිගටම සිතාරා බතික් ආයතනයේ හිමිකාරිනිය දැන්වූ පරිදිම කටයුතු කළෝය. එහිදීද ඇගෙන් ගනුදෙනුවට සරිලන චෙක්පත් ලැබී තිබූ අතර අදාළ දිනයේදී නියමිත චෙක්පත මුදල් බවට පත්කරගැනීමට එම ව්‍යාපාරිකයන්ට හැකිවූයේ නැත.

මේ ආකාරයට සිය නිමිඇඳුම් හා බතික් රෙදි තොග වශයෙන් සපයා නියමිත මුදල් ප්‍රමාණයන් නොලැබීමෙන් අතරමං වූ පිරිසක් ඉදිරි ව්‍යාපාර සඳහා ආයෝජනයට අවශ්‍ය මුදල් හිඟවීමෙන් වැටුණේ ලොකු අමාරුවකය. එම අර්බුදය උත්සන්න වූයෙන් ඔවුහු සිතාරා බතික් ආයතනයේ හිමිකාරිනිය වූ දෝන සිතාරා ගීතානි කළුආරච්චි මහත්මිය සොයා ගියහ. වරක් හමුවී මුදල් ලබාදීමට පොරොන්දු වුවද නියමිත දිනයේ මුදල් නොලැබීම හේතුවෙන් දුරකතන ඇමතුමක් ලබාගත්තත් ඊට ප්‍රතිචාර ලැබුණේ නැත. කීපවතාවක් එසේ වූයෙන් යළිත් ඇයව සොයා ගියද මුදල් ලබාගැනීමට හෝ ඇයව මුණගැසීමට අවස්ථාවක් ලැබුණේ නැත.

මේ අයුරින් කඩවත, මාලබේ, දෙහිවල, රාජගිරිය හා කොළඹට තදාසන්න තවත් ප්‍රදේශ ගණනාවක බතික් රෙදි නිර්මාණයේ සහ එම ව්‍යාපාර යෙදුණු පිරිස් ගණනාවක් ඇයට පෙර පරිදි නිමිඇඳුම් සපයා තිබිණි. එහෙත් ඔවුන් සියලු දෙනාටම අවසානයේ සිදුව ඇත්තේ මුදල් නොලබා නිකරුණේ ව්‍යාපාරය පාඩු ලබන්නටය. තවත් කළ හැක්කක් නොවූයෙන් ඔවුහු වංචාව පිළිබඳව ගල්කිස්ස මූලස්ථාන පොලීසියට පැමිණිලි කළහ.

මේ සඳහා ගල්කිස්ස පොලීසිය තෝරාගැනීමට එම පිරිස් කටයුතු කර තිබුණේ සිතාරා බතික් ආයතනය ගාලුපාරේ ගල්කිස්ස හන්දිය ආසන්නයේ පිහිටා තිබූ නිසාත් අදාළ ස්ථානය ගල්කිස්ස පොලිස් බලප්‍රදේශයට අයත් වූ නිසාය. ඒ අනුව රුපියල් ලක්ෂ පහට අඩු ගනුදෙනු පැමිණිලි සියල්ල එම පොලීසියේ සුළු පැමිණිලි අංශය විසින් බාරගෙන තිබූ අතර ඊට වැඩි වටිනාකම් සහිත තවත් පැමිණිලි 4 ක් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ලබාගෙන ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ. ඊට අමතරව රුපියල් හැටනව ලක්ෂ දාහතර දහස් හාරසිය අසූවක (69,14,480/-) මුදලක් වංචාකළ බවට පැමිණිල්ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත. මේ ආකාරයට සැකකාර කාන්තාවට එරෙහිව ලැබී ඇති පැමිණිලි ගණන 24 කි. 

ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට සහ එම පොලීසියට ලැබී ඇති පැමිණිලිවලින් වාර්තාවන මුදල රුපියල් 86,42,064 කි. එම ඒකකයට ලද පැමිණිලි හතර නඩු අංක 95785, 95783, 95784 සහ B/2407/17 යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලේ කරුණු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඇත.

සැකකාර දෝන සිතාරා ගීතානි කළුආරච්චිට එරෙහි පළමු පැමිණිල්ල පොලීසියට වාර්තා වී තිබුණේ 2017 අගෝස්තු 15 දාය. ඉහත සඳහන් පැමිණිලි ගණන වාර්තා වී ඇත්තේ මාස 6කට අදාළවය. සැකකාර කාන්තාව වතාවක් අධිකරණයට කැඳවා තිබුණද නඩු වාරය දීර්ඝවීමත් සමඟ ඇය අධිකරණය මඟහැර සැඟවී සිටියි. ඒ 2017.11.14 දිනෙන් පසුවය.

මෙසේ රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වංචාකර ඇති බවට චෝදනා ලබා සිටින සිතාරා බතික් ආයතනයේ හිමිකාරිය 50 හැවිරිදිය. ජාතික හැඳුනුම්පත් අංක 687611799V දරන ඇයගේ ස්ථිර පදිංචියක් සනාථ වී නොමැත. අංක 6, උයන පාර, මොරටුව සහ 194/31, තල්ගහහේන පාර, කැස්බෑව යනු ඇගේ තාවකාලික ලිපිනයන්ය. එම කුලී නිවාසවල රැඳීසිටිමින් ව්‍යාපාරය පවත්වාගෙන ගිය ඇය අවිවාහකය. අයකුට ලක්ෂ 5, 6, 10, 25 වශයෙන් වංචාකර ඇති මැය පුරුෂයකු ඇසුරුකර ඇති බවටද තොරතුරු ලැබී තිබේ. ඔහු 35 හැවිරිදි දොරෙයිසාමි සිවකුමාර්ය. බදුල්ල, ඇල්ල, නිව්බර්ග්වත්ත, අංක 6 පදිංචිව සිටි අයෙකි.

මොවුන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය 0112729621 හෝ ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති වෙත 0718591664 යන අංකවලට දැනුම්වත් කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් පුෂ්පකුමාර, විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පෙරේරා, සුළු පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුෂ්මන්ත, අපරාධ අංශ ස්ථානාධිපති උදයකුමාර, පොලිස් සැරයන්වරුන් වන 51487 නවරත්න, 29072 ජයරත්න, 13427 ප්‍රියන්ත, පොලිස් කොස්තාපල් 15016 සෙනරත් සමඟ කාන්තා පොලිස් කොස්තාපල් 7524 කුමාරි යන අය වැඩිදුර විමර්ශන පවත්වති.

► සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00