2018 මැයි 19 වන සෙනසුරාදා

සටනට සැරසෙන ජනපති අපේක්ෂකයෝ!

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

ආචාර්ය දයාන් ජයතිලක

දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව විධායක ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහකට සීමා කිරීමත් සමඟ මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ අග භාගයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා තවත් වසර එකහමාරක කාලයක් තිබියදී දේශපාලන කරළිය තුළ මේ වනවිටත් පවතින උණුසුම්ම දේශපාලන මාතෘකාව බවට පත්ව ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයයි. එවන් දේශපාලන උණුසුමක් ඇතිවීමට හේතු කවරේද යන්න සහ තවත් කාලීන දේශපාලන කරුණු ගණනාවක් පිළිබඳව ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතා සමඟ පැවැති සංවාදයකි මේ. 

අපේක්ෂකයන් පිළිබඳ කුතුහලය

ජනාධිපතිවරණයට අවුරුදු එකහමාරක් තිබියදී මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ජනතාව අතර කතාබහක් ඇතිවීමට ප්‍රධාන හේතු දෙකක් නිරීක්ෂණය කළ හැක. ඉන් පළමුවැන්න වන්නේ ජනතාව තුළ මේ වන විට පැන නැඟී ඇති අසහනය හා අපේක්ෂා භංගත්වයයි. ඊට බලපාන ප්‍රධානම කාරණය වන්නේ ආර්ථිකයේ කඩාවැටීම හෙවත් රුපියලේ පසුබැස්මයි. රටේ ආර්ථික වෘද්ධි වේගය, අවුරුදු 16කදී තිබුණු අවම වේගයයි. කොටස් වෙළෙඳපොළ බිඳ වැටී තිබේ. කිරිපිටි, ඉන්ධන ආදියේ මිල ඉහළ ගොසිනි. මේ තත්ත්වය තුළ කැකෑරෙන අසහනයක් හා කේන්තියක් ජනතාව තුළ තිබේ. එනිසා ඔවුහු වෙනසක් බලාපොරොත්තු වෙති. පළාත් සභා ඡන්ද ආදිය පැවැත්වූයේ නම්, වෙනසක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණය පිළිබඳ උණුසුමක් ඇති වීම තරමක් යටපත් වන්නට ඉඩ තිබුණි. එහෙත් ආණ්ඩුව ඕනෑම ඡන්දයකට බිය වී සිටින නිසා එය සිදුවන්නේ නැත. 

මට පෙනී යන දෙවැනි කාරණාව වන්නේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුම පුද්ගලයා වන මහින්ද රාජපක්ෂට 19 වැනි සංශෝධනය නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වීමයි. 19 යළි ප්‍රතිශෝධනය නුවුවහොත් විරුද්ධ පක්ෂයට ජනාධිපති අපේක්ෂකයකු සොයාගැනීමට සිදුවේ. කුතුහලයක් පැන නැඟී ඇත්තේ එනිසා ය. එය කුතුහලයකටද වඩා යම් තරගයක්, කඹ ඇදිල්ලක් විපක්ෂය තුළ ඇතිවී තිබේ. එසේ සිදුවී ඇත්තේ පසුගිය පළාත් පාලන ඡන්දයේදී විපක්ෂය ජයගැනීම තුළින් විපක්ෂ අවකාශය පුළුල් වී ඇති හෙයිනි. මා එසේ කියන්නේ ආණ්ඩු පක්ෂයේ සිට 16 දෙනෙකු ද විපක්ෂයේ පොදු අවකාශයට එක් වූ පසුබිමක ය. 
මේ තත්ත්වය උඩ ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්නට වඩා විපක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව ජනතාව විමසිල්ලෙන් බලා සිටී. 

අවිනිශ්චිත භාවය 

මෙසේ අපේක්ෂකයන් පිළිබඳ නිශ්චිත භාවයක් නොමැති වීමට ප්‍රධාන හේතුව මහින්ද රාජපක්ෂට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට ඇති බාධාවයි. අද වනවිට මෙරට ජනප්‍රියම පුද්ගල චරිතය මහින්ද රාජපක්ෂයි. නමුත් ඔහුට රාජ්‍ය නායකයා වීමේ අවස්ථාවක් නැත. එතැන පවතින්නේ බරපතළ පරස්පරතාවකි. එනිසා යම් නිර්මාණශීලී සූත්‍රවලට පැමිණීමට විපක්ෂයට සිදුවේ. එනම් මහින්ද රාජපක්ෂ පදනම් කරගත් වෙනත් අපේක්ෂකයෙක් සහිත සූත්‍රයකට එළඹිය යුතුය. රාජපක්ෂ පවුල තුළ ඇති ගතිකයන් ද මීට බලපායි. ශ්‍රීලනිපයේ කොටසක් ද විපක්ෂයට එකතුවීම නිසා එම බෑයට ද පිළිගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුව ඇත. එහිදී එජාපයේ කොටසක් ද ආණ්ඩුවෙන් කඩාගෙන ඒමේ හැකියාවක් ඇති නිසා ඔවුන් ද දිනාගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වැදගත් ය. 

ආණ්ඩුවේ ඝට්ටනය

2020 ජනාධිපතිවරණයක් ගැන එක්සත් ජාතික පක්ෂය කතාකරනු අසන්නට ලැබේ. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුත්තේ 2019 අග භාගයේදී ය. එසේ තිබියදීත් 2020 ජනාධිපතිවරණයක් ගැන කතාකිරීම එජාපයේ මානසික ප්‍රශ්නයක් විය යුතුය. කෙසේ නමුත් නව ජනාධිපතිවරයා දිව්රුම් දීම සිදුවන්නේ 2020 ජනවාරියේදී බව නම් සැබෑවකි. 

විපක්ෂය ශක්තිමත්ව සිටින පසුබිමක වුවද ආණ්ඩුව තුළින් ආණ්ඩුවේ පෙකණිවැල කපාගෙන චරිතයක් මතු වුවහොත් එවැනි චරිතයකට මීළඟ ජනාධිපතිවරණයේදී යම්කිසි සාර්ථකත්වයක් අත්කර ගත නොහැක්කේ නොවේ. එහෙත් ආණ්ඩු පක්ෂයෙන් යෝජනා වන විවිධ චරිත දෙස බැලීමේදී මට පෙනෙන්නේ එක චරිතයක් පමණි. නමුත් එම චරිතය ගැන ද නිශ්චිතව යමක් කිව නොහැක. 

පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මැයි රැලියේදී එහි පැමිණ සිටි එජාපයේ හරය බඳු ජනතාවගෙන් මීළඟ නායකයා සහ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් විය යුතු දැයි ඡන්දයක් විමසුවේ නම් ඉහළින්ම දිනන්නේ සජිත් ප්‍රේමදාස බවට සැකයක් නැත. මන්ද සජිත්ගේ කතාවට සමාන ප්‍රතිචාරයක් වෙන කිසිදු කතාවකට ලැබුණේ නැත. 1988 ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්ෂ අපේක්ෂකයා බවට රණසිංහ ප්‍රේමදාස චරිතය ඉදිරිපත් කිරීමට ජේ.ආර්. ජයවර්ධන ගත් දූරදර්ශී තීරණය 2019දී ද එජාපය ගත යුතුව ඇත්තේ එහෙයිනි. 

මෙහිදී සජිත් ප්‍රේමදාසට ද කිවයුතු දෙයක් තිබේ. 1956 දී ආර්. ප්‍රේමදාස මහ මැතිවරණයට ඉදිරිපත් වුණේ රුවන්වැල්ල ආසනයෙනි. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ දේශපාලනයේ පතාක යෝධයකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ය. අවසානයේදී ඡන්ද පන්දහසකින් පමණ ඇන්.ඇම්. ජයගත්ත ද ඔහු කියා තිබුණේ ඡන්ද සටනේ ‘සදාචාරාත්මක ජයග්‍රහණය’ හිමිවන්නේ තරුණ ප්‍රේමදාසට බව ය. ඒ නිසාම ඉන්පසු කිසිදිනෙක ඇන්.ඇම්. තමන්ගේ සුපුරැදු ආසනය වූ රුවන්වැල්ලෙන් ඡන්දය ඉල්ලුවේ නැත. ඔහු යටියන්තොටට ගියේ ය. 

සජිත්ට ඇත්තේත් එවැනි අභියෝගයකි. නමුත් ඔහුට එවැනි අභියෝගයක් භාරදෙයිද හා ඔහු එවැන්නක් භාරගනීද යන්න අප දන්නේ නැත. සජිත් පැමිණියද කළ හැක්කේ පරාජය අවම කරගෙන 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයට ජාමේ බේරාගැනීමට නායකත්වයක් සැපයීම පමණි. එය එසේ සිදුනොවුණහොත් එජාපයට උරුම වන්නේ ඓතිහාසික කඩාවැටීමකි. 

එහෙත් අපට පෙනෙන්නට ඇත්තේ රනිල්, මංගල අති දක්ෂිණාංශික කොටස විසින් ආණ්ඩුව තවදුරටත් මෙහෙයවන බවත් මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාට ඊට විරුද්ධ වීමේ හැකියාවක් හෝ වුවමනාවක් නැති බවත්ය.

බැසිල්ගේ සැලැස්ම සහ ගෝඨා 

අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණයකදී මූලිකම ඡන්ද වටයේදී සිදුවන්නේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ අභ්‍යන්තර ඡන්දවලදී ඒ අපේක්ෂකයන් එකිනෙකා අතර කා කොටාගනිමින් ඉදිරියට පැමිණීමයි. අපේක්ෂකයා තෝරගත් පසු සමස්ත පක්ෂය ඒ අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව වටා ඒකරාශී වීම සිදුවේ. අද විපක්ෂය දෙස බැලීමේදී බොහෝදෙනා කතා කරන ආකාරයට ගෝඨාභය සහ බැසිල් අතර අර්බුදයක් හටගෙන ඇතැයි මා සිතන්නේ නැත. එය පහළ මට්ටමේ තිබෙන දෙයකි. 

ගැටලුව ඇතිව තිබෙන්නේ මහින්ද රාජපක්ෂයට ඉදිරිපත් වීමට ඇති නොහැකියාව නිසා පමණි. එහෙත් ඉන් විපක්ෂය පිපිරී ආණ්ඩුවට වාසියක් සිදුවන්නේ නැත. පසුගිය පළාත් පාලන ඡන්දයේදීද එජාපය දුටු ෆැන්ටසි සිහිනය ද එයයි. 

විපක්ෂයට මේ මොහොතේ අඩු වේදනාවකින් ක්‍රියාත්මක කළ හැකි හොඳම සැලැස්ම වන්නේ පාර්ලිමේන්තුව තුළ 19 වැනි සංශෝධනය ප්‍රතිශෝධනය කිරීමේ යෝජනාවක් ගෙනෙමින් මහින්ද රාජපක්ෂට නැවත බලයට පැමිණි හැකි ආකාරයට එය වෙනස් කිරීමයි. යම් හෙයකින් එය බැසිල් රාජපක්ෂගේ සැලැස්ම නම් එය ඉතා හොඳ සැලැස්මකි. එහෙත් විශ්වාසභංගයට සහාය නොදී එවැන්නක් සැලසුම් කරන්නේ යැයි සිතීම ද දුෂ්කරය.

► සංවාද සටහන - රජිත ජාගොඩ ආරච්චි 
     සේයාරුව - සුමුදු හේවාපතිරණ 

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30