2018 මැයි 19 වන සෙනසුරාදා

සයිටම් සටන දැන්වත් ඉවර වෙයිද?

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

පසුගිය සතියේ 9 දා හවස කොළඹ පුරහල අවට හා වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල විශාල කලබැගෑනියක් හටගත්තේය. ආණ්ඩුවේ ජල ප්‍රහාරක රථවලින් වේගවත් ජලධාරා එල්ල වූ අතර කඳුළු ගෑස් ප්‍රහාරද ඒ සමඟම නිකුත් විය. ඒ තවත් සයිටම් විරෝධී පාගමනකි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ එහි තේමාව වශයෙන් සඳහන් වූයේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කළත් උපාධිය මුදලට විකිණීම රජය සිදුකරන බවයි. කොතලාවල ආරක්ෂක පීඨයට එම සිසුන් අනුයුක්ත කිරීමෙන් එය පැහැදිලි වන බවද එහිදී ආවේගශීලීව පැවසුණි.

ඊට පසුදින (10 දා) තවත් වෛද්‍ය සිසුන් පිරිසක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සුදු වෛද්‍ය කබාද හැඳගෙන පාගමනක් ගියහ. ඒ සයිටම් වෛද්‍ය සිසුහුය. ඔවුන් එලෙස උද්ඝෝෂණය කළේ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට අනුයුක්ත කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් එම පොරොන්දුව ඉටුවී නැති බව පවසමිනි. මේ එකම කතාවක දෙපැත්තකි.

සයිටම් විරෝධී උද්ඝෝෂණ කොළඹට අලුත් දෙයක් නොවේ. සාමාන්‍ය ජනතාව නම් මේ උද්ඝෝෂණ අද ගණනකට නොගත්තේ නිතරම පෙනෙන කුකුලාගේ කරමලය සුදු ලෙස දකිමිනි.

2009 වර්ෂයේ ආරම්භ වුණු මාලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන්ගේ සහ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විරෝධතා එල්ලවන්නට වූයේ 2011 සිටය. ඒ 2011 අගෝස්තු 30 දින ගැසට් පත්‍රයක් මගින් එවකට උසස් අධ්‍යාපන ඇමැතිවරයා SAITM ආයතනයට උපාධි ප්‍රදානය කිරීමේ අවස්ථාව ලබාදුන් පසුවය. සයිටම් විරෝධය නිසා පසුගිය කාලය තුළම රජයේ වෛද්‍ය පීඨවල සිසුන්ද සිටියේ මහපාරේ කඳුළු ගෑස් කමිනි. නැත්නම් අට්ටාලවල අඛණ්ඩ උපවාසවල නිරත වෙමිනි. ඒ නිසා ඔවුන්ගේ අධ්‍යාපනයට ඇති කාලයෙන් විශාල ප්‍රමාණයක් අපතේ ගියේය. බාලගිරි දෝෂය සේ මහින්ද ආණ්ඩුවෙන් මෛත්‍රී - රනිල් ආණ්ඩුවට මාරු වූ සයිටම් අර්බුදය විසඳීමක් ආසන්නයටම මේ මොහොතේ පැමිණ තිබුණ ද සමහර වෛද්‍ය නිලධාරී සංගම්වල “මස් රාත්තලම අවශ්‍යයි” ප්‍රතිපත්තිය මත යළිත් අවුල්වීමට ඉඩ තිබේ. වෛද්‍ය සංගමයේ අවශ්‍යතා මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද නැටවෙන බව පෙනේ.

පසුගිය 2018 පෙබරවාරි මාසයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා තීරණය කළේ සයිටම් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සුදුසුකම් සහිත සිසුන් රත්මලාන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමටය. ඒ සඳහා පසුගිය සතියේ කැබිනට් අනුමැතියද හිමිවිය. කැබිනට් සංදේශය ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසිනි. ඒ අනුව 2009 සැප්තැම්බර් 15 දා සිට 2017 මැයි 15 දක්වා වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සයිටම් ආයතනය යටතේ ලියාපදිංචි කර ඇති සිසුන් අතරින් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගැනීමේ මූලික සුදුසුකම් සපුරා ඇති සිසුන් පමණක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට නියමිතය. 

එලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත ඇතුළත් කරගැනීම සම්බන්ධ කොන්දේසි සඳහා එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලය වෙත බලය ලබාදීමට ද තීරණය විය. බඳවා ගන්නා සයිටම් සිසුන් අතරින් කොතලාවල වෛද්‍ය පීඨයේ විභාග සමත් වන සිසුන්ට එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිරිනැමීමට ද තීරණය කර තිබේ. මේ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සැකසීමට ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට නියමිතය. නමුත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ මෙම සංශෝධිත පනත පරාජය කරන බවයි.

“නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම සඳහා ආණ්ඩුව ගෙනඒමට සැලසුම් කර තිබෙන කොතලාවල විශ්වවිද්‍යාල සංශෝධිත පනත පරාජයට පත්කිරීමට අපි ක්‍රියාකරනවා. ඒ සඳහා ශිෂ්‍ය, කම්කරු ඒකාබද්ධ ශක්තියකින් පෙළ ගැසෙනවා. මේ වසරේ අප්‍රේල් 6 දා නිකුත් කරතිබෙන මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් 1978 අංක 18 දරන විශ්වවිද්‍යාල පනත බලරහිත වෙනවා. මේ හරහා නිදහස් අධ්‍යාපනයේ අයිතිය අහෝසි වෙනවා.” එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කර සිටී. මෙම පනත හරහා රට තුළ ඕනෑ ඕනෑ ආකාරයට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීමට හැකියාව තිබෙන බවත් ඔහු පැවසුවේය. ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර නොගෙන වහාම මෙම කෙටුම්පත ඉවත්කරගන යුතු බවද ඔහු පවසා සිටියේය.

කෙසේ වුවත් සයිටම් වෛද්‍ය සිසුන් 982කට අනාගත විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍යව පවතී. රජය ගෙනෙන සෑම විසඳුමක්ම එම වෛද්‍ය සංගමය ප්‍රතික්ෂේප කළද ඔවුන් මේ සඳහා විසඳුමක් ඉදිරිපත් කරන බවක් නොපෙනේ. සයිටම් විරෝධතා සමයේ මුල පටන්ම ඉදිරියෙන් සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම විසඳුමට නම්‍යශීලී ප්‍රතිචාර දැක්වීම සතුටට කරැණකි. ඔවුන් පවසන්නේ මේ සඳහා කොතලාවල වෛද්‍යපීඨ පනත වෙනස් නොකර සංශෝධනය කිරීම පමණක් කළ යුතු බවයි. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එයට එකඟ වී ඇතැයි දැනගන්නට තිබේ.

සයිටම් ආයතනය 2009 ජනවාරි 21 දින ආරම්භ වූයේ රුසියාවේ නිශ්නි නොව්ගොරොප් රාජ්‍ය වෛද්‍ය ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙනි. පසුගිය ආණ්ඩුවේ ද නොමඳ අනුග්‍රහය ලැබූ සයිටම් ආයතනය එවකට රුපියල් ලක්ෂ 120කට වෛද්‍ය උපාධිය ලබාදීම ආරම්භ කළේය. මෙරට වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරීමට ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව 2010 වර්ෂයේ දී පුවත්පත් දැන්වීම් පළකරමින් සයිටම් ආයතනයේ උපාධිය පිළිගත නොහැකි බවට ජනතාවට දැනුම් දුන්නේය. එසේ වුවත් සයිටම් ආයතනයේ වසර කිහිපයක් කුළ ශිෂ්‍යයන් 1200ක් පමණ බදවාගෙන තිබේ. ඒ අතරින් ඉතිරිව සිටින සිසුන් 982ක් අතරින් සුදුසුකම් සහිත සිසුන් පමණක් කොතලාවල වෛද්‍ය පීඨයට බදවාගැනීමට රජය තීරණය කර ඇත.

මේ වනවිට සයිටම් ආයතනය අහෝසි කර තිබේ. එයට අලුතින් සිසුන් බඳවා ගන්නේ නැත. නමුත් මෙතෙක් බඳවාගත් සිසුන්ගේ අධ්‍යාපන වරම අවුලකින් තොරව විසඳීම අත්‍යවශ්‍ය බව අලුතින් පැවසීය යුතු නොවේ. දැන් කළයුත්තේ මේ අවුල තවදුරටත් දික්නොගසා විසඳුමකට යාමට ඉඩ සැලසීමයි.

► කුසුම්සිරි