2018 මැයි 19 වන සෙනසුරාදා

ශ්‍රීලනිප මහ පුටුවලට අලුත් මුහුණු

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 435

• ගෝඨාගේ වියත්මගට ව්‍යාපාරික දැවැන්තයෝ 
• හිරුණිකාට විනය පරීක්ෂණයක්  
• ජීවන බරට එරෙහිව පොහොට්ටුවෙන් “පලයව්” 
• ඇමැති සංශෝධනයෙන් විජේදාසට කිරිඇල්ලට වැඩි වගකීම්  
• පක්ෂයේ බර ඇද්ද හයදෙනෙකුට රනිල්ගෙන් උප ඇමැතිකම්  ශ්‍රී ලංකා 
• තේවල රසය ඉරාන නායකයා අගයයි

 

පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ විෂය කාර්යයන් පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් වූයේ මේ සතියේය. ඒ අනුව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට මෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට ද වැඩිපුර වගකීම් පැවරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. මෙතෙක් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ පැවති මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක් නව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට පවරාදී ඇත. එසේම රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා යටතේ තිබූ චිත්‍රපට සංස්ථාව හා මහපොළ භාර අරමුදල ද විජයදාස මහතාට පැවරිණි. ඒ අතර අමාත්‍යංශ ගණනාවක් යටතේ තිබූ සීනි සමාගම් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පත්කළේය. ඔහුට අයත් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය යටතේ මෙතෙක් පැවැති රාජ්‍ය බැංකු අමාත්‍ය මංගල සමරවීර හෝ මුදල් අමාත්‍යංශයට පවරන ලෙස ඉල්ලා තිබුණ ද එය දිගටම කිරිඇල්ල මහතා යටතේම තබා තිබේ. මේ ආකාරයට තවත් විෂයයන් ගණනාවක්ම වෙනස් කරමින් ජනාධිපති ලේකම්වරයා අදාළ ගැසට්ටුව නිකුත් කළේය.

එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨ එහෙත් මෙතෙක් නියෝජ්‍ය ඇමැති පදවියක් හෝ නොලද මන්ත්‍රීන් ගණනාවකට නියෝජ්‍ය අමාත්‍යධුර 6ක් පිරිනැමීමට අගමැතිවරයා තීන්දු කර ඇත. ඒ සඳහා යෝජිත නම් ළඟදීම අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරේ. මෙහිදී තරැණ එසේම පසුගිය කාලයේ පක්ෂයේ උන්නතියට බොහෝ වැඩ කළ මන්ත්‍රීන් ගණනාවක් ද තනතුරැ අපේක්ෂා කරන බව වාර්තාවෙයි. ඒ අය මේ දිනවල පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හමුවේ තමන්ගේ සුදුසුකම් ඉදිරිපත් කරමින් සිටින වගද සඳහන්ය. ජනාධිපතිවරයා ඉරාන සංචාරය හමාරකොට පැමිණ ඇතත් මෙතෙක් නව නියෝජ්‍ය අමාත්‍ය පත්වීම් ලබානොදීම ගැන යෝජිත මන්ත්‍රීන් ජනාධිපති කාර්යාලයෙන් විමසුම් කරමින් දුරකතන ඇමතුම් ආදිය ලබාදෙන බව එහි ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම 17 දා (බ්‍රහස්පතින්දා) පැවැත්විණි. මෙම හමුවේදී වඩාත් අවධානය යොමුව තිබුණේ විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීන් 16 දෙනාගේ ක්‍රියාකලාපය කෙරෙහිය. ඔවුන් පසුගිය දිනවල මහා සංඝරත්නය, කාදිනල්තුමා හා වෙනත් ආගමික නායකයන් මුණගැසී ආශිර්වාද ලබාගෙන තිබිණි. මධ්‍යම කාරක සභාව කැඳවීමට පෙර කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමහරු තමන් කෙළින්ම පොහොට්ටුව සමඟ එක්ව මැතිවරණ තරග කළයුතු යැයි කියන්නට වූහ. හිටපු අමාත්‍ය ජෝන් සෙනවිරත්න මෙහිදී ප්‍රධාන විය. හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි ද ගාල්ලේ දී එයට සමාන අදහස් ප්‍රකාශ කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වියත්මඟ වාර්ෂික සමුළුවට එක්ව ගෝඨාගේ සේවය අගය කළේය. එහෙත් ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක ආදීන් කෙළින්ම පොහොට්ටුවට සම්බන්ධ වීම ගැන තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කර නැත. ඔවුන්ගෙන් ඇතැමෙක් කියා තිබුණේ පොහොට්ටුව නොව මහින්ද රාජපක්ෂ මහතාට උරුම ශ්‍රී.ල.නි.ප.ය හරහා ඔවුන් ද ඡන්ද සටනට එක්වීම යුතුකමක් වගයි.

කෙසේහෝ මධ්‍යම කාරකසභා රැස්වීමට පෙර පක්ෂ ප්‍රතිසංවිධානය දින 45කින් නිම කිරීමට ජනාධිපතිවරයා සැලැසුම් කළේය. ඒ ගැන ප්‍රවෘත්ති පළවෙද්දී අමාත්‍ය මහින්ද අමරවීර කීවේ තමන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධුරය අතහරින්නට සූදානම් වගය. 16 දෙනාගේ කණ්ඩායම අමරවීරට මෙන්ම දුමින්ද දිසානායකට ද සිය දැඩි විරෝධය පළකර තිබූ බවද අමතක නොකළ යුතුය. මධ්‍යම කාරක සභාවේදී කළයුතු දේ ගැන සැලසුමක් සෑදීමට දින කිහිපයකට පෙර තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී 16 දෙනාගේ කණ්ඩායම රැස්විය.

එහිදී එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන්යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, අනුරාධ ජයරත්න යන විශේෂ කමිටුව විසින් මධ්‍යම කාරක සභාවට තම කණ්ඩායම ඉදිරිපත් කරන යෝජනා ගණනාවක් සකස් කළේය. එහිදී යෝජනා රාශියක් සකස් කළ කමිටුව ප්‍රධාන යෝජනා දෙකතුනක් ගැන විශේෂයෙන්ම අවධාරණය කරනු ලැබීය. ශ්‍රී.ල.නි.ප.ය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතුය යන්න මුල් යෝජනාවයි. දෙවනුව පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා ඉඩදෙමින් පක්ෂයේ සියලු දෙනා දැන් දරන තනතුරුවලින් ඉවත්විය යුතුය යන යෝජනාව සකස් ‍කෙරිණි. අනතුරුව පක්ෂ ප්‍රතිසංවිධානය සහ ශ්‍රී.ල.නි.ප.ය සෙසු කණ්ඩායම් සමඟ සුහද දේශපාලනයක යෙදීම ආදී තවත් යෝජනා ගණනාවක්ම සැකසිණි.

17 දා රාත්‍රී 7.00ට ජනාධිපති නිවසේදී පැවැත්වුණු ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවට මෙම යෝජනාව ඉදිරිපත් කිරීම ඔවුන්ගේ සැලසුම විය. අපේක්ෂිත පරිදිම 17 දා මධ්‍යම කාරක සභාවේදී එකී යෝජනා මෙම කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලදී. 

එදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිවසේදී පැවැත්විණි. ඊට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මිය මෙන්ම හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා ද එක්ව සිටියෝය. මෙහිදී ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට රත්නපුරය දිස්ත්‍රික් මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා යෝජනා කර ඇත. ඊට පෙර ඔහු එය ලිඛිතව ද ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී.ල.නි.පයට රජයෙන් ඉවත්වනවාද කියා තීන්දු කළ යුත්තේ දැනට රජයේ සිටින ශ්‍රී.ල.නි.ප මැති ඇමැතීන් 23 දෙනා බවයි. ඊළඟට පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැන ද කතාබස් කෙරිණි. රජයේ ශ්‍රී.ල.නි.පය ඉවත්විය යුතුද යන්න එහිදී ප්‍රශ්න කළ පසු සඳහන් වූයේ පක්ෂයේ සමස්ත ලංකා විධායක සභාව කැඳවා එය තීන්දු කළ යුතු බවය. එය ඉතා ඉක්මනින් කැඳවන්නටත් ඊට පෙර පක්ෂයට තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කොට පක්ෂ ප්‍රතිසංවිධානයට ඉඩ සැලසීමටත් මධ්‍යම කාරක සභාව තීන්දු කළේය.

රජය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ රටපුරා ධීවර විරෝධතාවලින් ඇරඹි විරෝධතා රැල්ල තරමක් ව්‍යාප්ත වෙමින් තිබිණි. බස් ගාස්තු ඉහළ දැමූ ප්‍රතිශතය මදියයි බස් සංගම් කියද්දී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල මහතා කීවේ තමන්ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ ප්‍රමාණය අනුව ගාස්තු වැඩිකළ බවයි. ධීවරයන්ට ඉන්ධන සහනාධාරයත් මුදලින් ගෙවීමට එකඟවූ බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි සඳහන් කළ නමුත් ධීවර සංගම් නියෝජිතයෝ එම අදහස තමන් පිළිනොගත් බව කීහ. මුහුදු නොයමින් ඔවුන් විරෝධතා දක්වන්නට වීම නිසා මාළු මිල ගණන්ද ඉහළ ගියේය.

මෙම පසුබිමේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ගිය අඟහරුවාදා සවස මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම නිවසේදී රැස්විය. එහිදී මන්ත්‍රී කණ්ඩායම ගත් මූලික තීන්දුව වූයේ රටේ දිනෙන් දින ඉහළ යමින් තිබෙන ජීවන බරට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි. මේ සඳහා මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන ආදීන්ගෙන් යුත් කමිටුවක් දියත් කෙරිණි. රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙනයාම සම්බන්ධ මූලික වැඩපිළිවෙළ සකස් කිරීමට ඔවුහු සාකච්ඡා කළෝය. එසේම දිනෙන්දින ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් අභූත චෝදනා නගමින් අත්අඩංගුවට ගැනීම ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීම ආදිය ගැන හඬක් නැගිය යුතු බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වාදුන්නේය. කෙසේ හෝ අවසානයේ ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නොසීමත් නැවතත් දේශපාලන මර්දනය දියත් කිරීමටත් එරෙහිව පලයව් නමින් රජයට එරෙහි උද්ඝෝෂණය ව්‍යාපාරය නම්කොට වහාම දියත් කිරීමටයි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතිඅන්තයේ ඉරාන ජනාධිපතිවරයාගේ ආරාධනයක් මත එරට නිල සංචාරයක් සඳහා සහභාගී විය. ඉරාන ජනාධිපතිවරයා මෙන්ම එරට අධ්‍යාත්මික නායකයා වන අයතුල්ලා අල් කමේනිද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මුණගැසුණි. එරට විශාල බලයක් ඇති අධ්‍යාත්මික නායකවරයා ජනාධිපති මෛත්‍රී සමඟ සුහද කතාබහක යෙදෙමින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තරකර ගන්නට සාකච්ඡා කළේය. ශ්‍රී ලංකා නායකයා හමුවේ ශ්‍රී ලංකාවේ තේ ගැන විශේෂ වර්ණනාවක් කළ ඉරාන අධ්‍යාත්මික නායකවරයා තමන් බොහෝ කලක සිට ශ්‍රී ලංකා තේ ඉතා ආසාවෙන් පානය කරන බව සඳහන් කළේය.

ඉරාන අධ්‍යාත්මික නායකයාට අමතරව එරට ජනාධිපති හසන් රෝහානි මහතා හමුවී දෙරටට බලපාන ගිවිසුම් ගණනාවකට අත්සන් තැබූ ජනාධිපති මෛත්‍රී එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවද මුණගැසිණි.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා පැවැත්විණි. මෙහිදී සාකච්ඡා කළ ප්‍රධාන කරුණු අතර දීර්ඝ වශයෙන් කතා වූයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමෙන් පසු ජනතාවට සහන සැලැසීමට ගතයුතු පියවර ගැනයි. ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයකින් කියවුණේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්වත් පිරිසක් සකස් කළ මිල ගණන් සංශෝධන වාර්තාව අනුව ලබාදිය හැක්කේ 6.5%ක මිල වැඩිවීමක් බවය. ඒ සඳහා වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය. අනතුරුව භූමිතෙල් භාවිත කරන ධීවර ජනතාවට සහන සැලසීම සඳහා වූ යෝජනාවක් අමාත්‍ය විජිත් විජිතමුනි සොයිසා මහතා විසින් කැබිනට්ටුවට ඉදිරිපත් කරන ලදී. එය සලකාබැලූ අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරයාගේ යෝජනාවට අනුමැතිය දුන්නේය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ උසස් අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සයිටම් ආයතනයට අදාළව විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. එමගින් කියැවුණේ මින් ඉදිරියට සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම නතරකොට දැනට එහි අධ්‍යයනය ලබන සුදුසුකම් ඇති සිසුසිසුවියන් 980ක් පමණ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයට ඇතුළත් කරගන්නා බවය. ඒ අනුව සයිටම් අර්බුදය විසඳීමට රජය උත්සාහ දරතත් ශිෂ්‍ය සංගම් හා සිසු දෙමාපිය සංගම් ගණනාවක් මෙම තීන්දුව පිළිගැනීමට සූදානම් නැති බව දැනගන්නට තිබේ.

පසුගිය කාලයේ එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩිලෙස විවේචනය කරමින් ඔහුට පක්ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් එ.ජා.ප. මහලේකම්වරයා මේ සතියේ නිදහසට කරුණු විමසා ලිපියක් යැවීය. ඒ අනුව නිශ්චිත දින ගණනක් තුළ හිරැණිකා ඊට පිළිතුරු දියයුතුව ඇත. මේ ලිපිය හිරුණිකාට යොමුකිරීම සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රබලයන් ගණනාවක්ම එකඟත්වය පළකළ නමුත් දැඩි පියවරකට නොයායුතු බවද ඔවුන් පවසා ඇතැයි වාර්තා වේ. ඒ අතර එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම ඉතා පෞද්ගලික මට්ටමින් පසුගිය 16 දා රැස්වීම් ගැන ගතයුතු පියවර ගැන සාකච්ඡා කළ බව දැනගන්නට ඇත. පක්ෂ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින අයට එරෙහිව එන විනය ක්‍රියාමාර්ගවලදී ඔවුනට සහය දීම මෙම කණ්ඩායමේ අරමුණයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් කර තිබෙන “වියත් මග” ජාතික ව්‍යාපාරයේ වාර්ෂික සම්මේලනය පසුගිය සති අන්තයේ කොළඹ “ෂැංග්‍රිල්ලා” හෝටලයේදී පැවැත්විණි. එහි ආරාධිතයන් 1700කට අසුන්පනවා තිබුණ ද 2000කට අධික පිරිසක් ඊට සහභාගී වූහ. මෙම වියත් මග සමුළුව දේශපාලනයෙන් තොරව ජාතික සංවර්ධන සැලසුමක් හා රටට අනාගත දැක්මක් එළිදැක්වීම සඳහා සංවිධානය කර තිබූ අතර ගෝඨාභයගේ ආරාධනයෙන් දිවයිනේ ඉහළම පෙළේ ව්‍යාපාරිකයන් විද්වතුන් හා කලාකරැවන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ. හැරී ජයවර්ධන, මෙරිල් ජේ. ප්‍රනාන්දු, කෙන් බාලේන්ද්‍ර, සෝලි කැප්ටන් ආදී ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලයන්ද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 350ක් පමණ ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හිටපු කතානායක චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ ප්‍රබල චරිත සියල්ලම පාහේ වියත් මඟට දායක වී සිටියහ. විශේෂයෙන් මෙම සමුළුව සංවිධානය සඳහා මූලික සැලසුම් සැකසුමට උපදෙස් දී තිබුණේ මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහතා වීම විශේෂයකි.

වියත් මග සමුළුවේදී උතුරේ මෙන්ම දකුණේ ප්‍රබල චරිත ගණනාවක්ම සමුළුව අමතා කතා කළෝය. ආචාර්ය රොහාන් ගුණරත්න, විද්‍යාජොති බන්දුල විජේරත්න, පුනරුප්ථාපනය වූ කොටි ප්‍රබලයකු වන ගෝකුලන්, ඇත්පවුර සංවිධානයේ එරන්ද ගිනිගේ සහා තවත් මුස්ලිම් නායකයන් ගණනාවක් සමුළුව ඇමතූහ. ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ඉදිරිපත් කළ දේශනයට තේමා වූයේ වසර 2030 වනවිට ශ්‍රී ලංකාව සංවර්ධනමය වශයෙන් ළඟාකර ගතයුතු ඉලක්ක කවරේද යන්නයි. දැනුම මුල්වූ ආර්ථිකය දියුණු කිරීම. පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලියෙන් ලද හැකි පලප්‍රයෝජන ලබාගැනීම මෙන්ම තුන්වැනි ලෝකය වෙලාගෙන ඇති දූෂණයෙන් රට බේරාගැනීම වැනි කාරණා ගණනාවක් ගැන ගෝඨාභය සිය කතාවෙන් මනාලෙස කරුණු අවධාරණය කළේය. ඊට ඉතා හොඳ ප්‍රතිචාරයක්ද හිමිවිය. සාර්ථක ලෙස වියත් මග සමුළුව හමාර වීමෙන් පසු එහි සංවිධායකයන්ට විජේරාම නිවෙසේදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ මහින්ද රාජපක්ෂ මහතා සංවිධානයන්ට සිය ස්තුතිය පළකළේය.

රජය විසින් අධික ලෙස බදු පනවා ජනතාව පීඩාවට පත්කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පාගමනක් පවත්වා උද්ඝෝෂණයක් කරන්නට සැරසෙයි. එහි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධානී කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සංවිධානයෙන් සිදුකෙරෙන උද්ඝෝෂණ සහ පාගමන ලබන 22දා කොළඹින් ආරම්භ කෙරේ. වත්මන් රජය ගෙදර යැවීම සඳහා තම පක්ෂය මෙකී සටන් දියත්කොට ජනතාවට සහන සැලැසීම අරමුණයැයි මේ ගැන මාධ්‍යයට ප්‍රකාශයක් කළ ලාල්කාන්ත මහතා කීය. 

පවත්නා ජීවන වියදම් අර්බුදය ගැන ජ.වි.පෙ. විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මන්ත්‍රී විජිත හේරත් මහතා කීවේ ආණ්ඩුවේ නාස්තිකාර වියදම්වලට ඕනෑ නිසා ජනතාව පිට බදු බර පටවා පීඩාවට පත්කළ වගයි. අධික ලෙස භූමිතෙල් මිල ඉහළ දැමුවේ බස්හිමියන් ඩීසල්වලට භූමිතෙල් කළවම් කර බස් ධාවනය කරන නිසා යැයි රජය කීවද රටේ බහුතරයක් දුප්පතුන් පරිහරණය කරන භූමිතෙල් මිල අධික ලෙස ඉහළ දැමීම ප්‍රශ්නයට විසඳුමක් නොවන්නේ යැයි හෙතෙම පැවසීය. කෘෂිකර්ම අමාත්‍යංශයට ගොඩනැගිල්ලක් කුලියට ගන්නට මාසයකට ලක්ෂ 250 වැයකළ ආණ්ඩුව ඉන්ධනවලට අධික බදු ගසා වියදම් පාලනය කරන්නට යෑම අතිශයින්ම විහිළුවක් වන බව විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙතෙක් කල් ශ්‍රී.ල.නි.ප.ය සමඟ සිටි එම පක්ෂයේ නිර්මාතෘවරයකු ද ලෙස සැලැකෙන ගම්පහ හිටපු මන්ත්‍රී එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පුත් පණ්ඩු බණ්ඩාරනායක මහතා තමන් නැවතත් ගමන් ගත් දේශපාලන ගමන් මග වෙනස් කරමින් පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව කණ්ඩායම සමඟ එක්විය. ඒගැන විශේෂ ප්‍රකාශයක් ද නිකුත් කළ පණ්ඩු බණ්ඩාරනායක මහතා සඳහන් කළේ සම්මුතිවාදි රජයෙන් ශ්‍රී.ල.නි.ප.යට බලවත් හානියක් සිදුව ඇති වගයි. එහෙයින් දැනට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන එකම බණ්ඩාරනායකවරයා වශයෙන් තමන් ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට තීන්දු කළ බව ප්‍රකාශ කළ හෙතෙම රාජපක්ෂ මහතා මුණගැසී තමන්ද ඔවුන්ගේ ගමනට එක්වන බව ප්‍රකාශ කළේය.  

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් නිබසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහයෙන් පසු නව යුවළ නිවසට පැමිණීම නිමිත්තෙන් ගිය ඉරිදා පැවති “හෝම් කමිං” සාදයට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයාගේ නිවසට පැණියේය. පවුලේ ඥාතීන් පමණක් සහභාගී වූ මෙකී සාදය සඳහා සහභාගී වූ පිරිස් සමඟ පැය දෙකකට ආසන්න කාලයක් ඉතා සුහදව රටේ තොටේ තත්ත්වය ගැන මහින්ද කතාබස් කළේය. මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් මහතා නැවතත් රටට අවශ්‍ය වූවා සේ මහින්ද රාජපක්ෂ මහතාගේ සේවය නැවතත් රටට අවශ්‍ය යැයි පැමිණ සිටි ඇතැමකු රාජපක්ෂ මහතාට පවසද්දී ඔහු ජනතාව විඳින ජීවන බර ගැන ඒ අය සමඟ කතාබස් කළේය.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩා