2018 මැයි 19 වන සෙනසුරාදා

පුහුණුව හරහට හිටි අලුත් පෙට් ස්කෑනරය

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා මිලදී ගත් පෙට් ස්කෑන් යන්ත්‍රයෙන් තවමත් පෙට් ස්කෑන් කිරීමට නොහැකි වීම කනගාටුවකි. එයට හේතුව වී ඇත්තේ මෙම පෙට් යන්ත්‍රය ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා යාමට සූදානම්ව සිටින එම වෛද්‍ය කණ්ඩායමට තවමත් අමෙරිකාවට යාමට නොහැකි වී තිබීමය.

“මේ වෙනකොටත් පෙට් යන්ත්‍රය පාවිච්චි කරනවා. දැනට අපි සී.ටී. ස්කෑන් පමණයි මෙම යන්ත්‍රයෙන් සිදු කරන්නේ. අමෙරිකාවට ගොස් ඒ සඳහා අවශ්‍ය පුහුණුවීමේ කටයුතු නොකිරීම නිසා තමයි පෙට් කිරීමක් සිදු නොකරන්නේ. සාමාන්‍ය සී.ටී. ස්කෑන් පරීක්ෂණ අපි සිදු කරනවා. මෙම වෛද්‍ය කණ්ඩායමට ඇමෙරිකාවට යැවීමට කටයුතු කරද්දී වීසාවල ප්‍රශ්නයක් ඇතිවුණා. ඒ නිසා තමයි ටිකක් පරක්කු වුණේ. දැන් ඒ සියලු කටයුතු ඉතා කඩිනම්ව සිදුවෙනවා. සති දෙකක පුහුණුවීමෙන් පසුව එම කණ්ඩායමට දිවයිනට පැමිණීමෙන් පසුව පෙට් ස්කෑන් කටයුතු සිදුකරන්නට පුළුවන්...” යැයි මහරගම අපේක්ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය බුද්ධික කුරුකුලසූරිය දේශයට පැවසීය.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සිරුරේ පවතින පිළිකාමය තත්ත්වය, එහි ස්වභාවය නිවැරදිව හඳුනා ගැනීම, රෝගයේ පසු විපරම් ප්‍රතිකාර සඳහා පෙට් යන්ත්‍රයක අවශ්‍යතාවය ඉතා තදින්ම දැනුණි. ඒ අනුව මාස තුන හතරක් වැනි ඉතා කෙටි කාලයකින් පෙට් යන්ත්‍රය මිල වූ කෝටි විසි දෙකකට අධික මුදලක් හැත්තෑ දහසකට අධික ජනතාවගේ එකමුතුවෙන් සොයාගැනීමට හැකියාව ලැබුණි.

සාමාන්‍ය ස්කෑන් යන්ත්‍රයකට වඩා දියුණු තාක්ෂණික යන්ත්‍රයක් වූ මෙය විකිරණශීලී මූලද්‍රව්‍යයක් අභ්‍යන්තරයට ඇතුළු කිරීමෙන් ක්‍රියාත්මක වෙයි. මෙම පෙට් යන්ත්‍රයෙන් දිනකට ප්‍රතිකාර කළ හැක්කේ රෝගීන් දස දෙනකුට පමණි. පෙට් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම ලබා ගැනීමට අමෙරිකාවට යාමට සිටිනා කණ්ඩායම තවමත් යාමට සූදානමින් සිටිද්දී පෙට් ස්කෑන් කිරීම සිදු නොකළද මෙම පෙට් යන්ත්‍රයෙන් සී.ටී. ස්කෑන් පරීක්ෂණ සිදුවෙමින් පවතී.

“අපි මේ සඳහා පුහුණුවට ඒ කණ්ඩායම අමෙරිකාවට යවන්න ඕනේ. මේ සඳහා අවශ්‍ය කරන විකිරණ ද්‍රව්‍යයන් ගෙන්විය යුතු වන්නේත් ඉන්දියාවෙන්. නමුත් මේ වනතුරු අපි එම විකිරණ ද්‍රව්‍ය ලංකාවට ගෙන්වා නැහැ. ඒකට හේතුව වෛද්‍ය කණ්ඩායම පුහුණුවීම් ලබා දිවයිනට පැමිණියාට පස්සේ තමයි එම විකිරණ ද්‍රව්‍යය ලංකාවට ගෙන්විය යුතු වෙන්නේ. පුහුණුවක් නැතිව මෙම මිල අධික විකිරණ ද්‍රව්‍ය ගෙන්වීම අපරාධයක්. ඒවාවලට විෂබීජ ඇතුළුවෙන්න, කල් ඉකුත්වෙන්න පුළුවන්. දැනටමත් අපි ඒ සඳහා ඇණවුම් බාරදීලයි තියෙන්නේ. ඒ නිසා මෙම ක්‍රියාවලියන් දෙකම එකට සිදුවූ විට පෙට් ස්කෑන් ඉතා කඩිනම්ව කරන්න පුළුවන්. දැනටමත් මෙයින් සාමාන්‍ය සී.ටී. ස්කෑන් කරන්න මෙම පෙට් යන්ත්‍රය පාවිච්චි කරනවා. මේ වනවිට සී.ටී. ස්කෑන් තුන්සීයකට අධික ප්‍රමාණයක් සිදුකර තිබෙනවා...” යැයි වෛද්‍ය බුද්ධික කුරැකුලසූරිය සඳහන් කරයි.

♦ දිශානි ජයමාලි කරුණාරත්න