2018 මැයි 19 වන සෙනසුරාදා

ඩී.ආර්.ඕ. පට්ටම දමාගසා මිනිසුන් අතරට බැස්ස එම්.ඩී.බණ්ඩා

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 170

♦ තමන්ට ලැබුණු නායකකම ප්‍රසිද්ධියේම ජේ.ආර්ට දෙයි
♦ පාක්ෂිකයන් පාවාදෙන්න බැරිව ඡන්ද නඩුවේ පරාජය බාරගනියි
♦ (අල මහත්තයා) ඉල්ලා මතුරට ගැමියෝ පන්නලියට එති

දඹදිව දිගුකලක් වන්දනාවේ යෙදුණු සිල් මෑණිවරු පිරිස මේ දැන් පැමිණියා පමණකි. පළාතේ මන්ත්‍රීවරයාගේ ආධාරය පතා පැමිණි ඔවුන්ගේ මේ ගමනට තවත් අපූරු චරිතයක්ද එක්ව සිටියේය. බුදුන් උපන් බිමේ එනම් නේපාලයේ සිට ලංකාවේ මෑණිවරුන් පසුපස වැටි ආ පුංචි සිල්මෑණි කෙනෙකි. මේ සියලුදෙනා පැමිණ උන්නේ තමන්ටය කියා පහසුවෙන් වාසය කළ හැකි ආවාසයක් තනා ගන්නට ඉඩමක් ලබා ගැනීමේ අරමුණිනි. අනුරාධපුර මැදවච්චියෙන් ආ කලින් වෙන්කරගත් (ට්‍රන්ක්) දුරකතන ඇමැතුම පොල්ගහවෙල පන්නලිය ගම්මානයට ළඟාවූයේ ඔන්න ඔය මොහොතේය. “බණ්ඩා මහත්තයාට කුළුඳුලේම කම්බායක්!” සිය පළමු දරුවාගේ උපත පිළිබඳ සතුටු ආරංචිය ජනතාව අතරට වී සේවයට කැපවී සිටි මන්ත්‍රීතුමාට ලැබුණේ එලෙසය. ඒ වෙලේම තමන්ගේ සතුට බෙදාගන්නට තරුණ මන්ත්‍රිවරයා අපූරු තීන්දුවක් ගෙන තිබුණි.

“මෑණිවරු දැනට වාසය කොහේද?” ඔහු තමන් හමුවට ආ පිරිස විමසුවේය.

“අනේ, අපි දැන් ඔය රජමහා විහාර භූමියේ කෙලවරකම තමා වාසය.”

“එහෙනම්, ඔන්න අද සිට එහෙම ඉන්න ඕනෑ නෑ. දැන් මේ මොහොතේ ඉඳලා ඔබවහන්සේට අක්කර 8ක භූමිභාගයක් වෙන්කළා. රජමහා විහාරයට අල්ලපු ඉඩම මගේ. ඒක දැන් මේ මොහොතේ සිට ඔබවහන්සේගේ”

තමන්ගේ ධනය, ඉඩකඩම් දේපල පරිත්‍යාග කරමින්, අඩු තරමේ සිය දරුවන්ගේ උපත දැක ගන්නටවත් නිවසේ සිටීමට ඉඩ පහසුවක් නැතිව නිර්ව්‍යාජ ලෙසම සේවයට කැපවී සිටි ජනතා පුත්‍රයා එසේ ගැටලුව විසඳූ තීන්දුව දුන්නේය. ඔහුගේ ඒ සැබෑ ජනහිතකාමී බවට ජනතාවද කෘතවේදීත්වය දක්වා තිබුණි. 1943 සිට 70 දක්වා කාලය අඛණ්ඩව තමන් ඉදිරිපත් වූ සියලු මැතිවරණවලින් ඔහුට විශිෂ්ට ලෙස ජය ලබා දීමෙනි. 1943 නුවරඑළියෙන්ද, 1947, 1952 හා 1956 මතුරට ආසනයෙන්ද 1960 මාර්තු හා 1960 ජූලි හඟුරන්කෙතින්ද ජයගත් මේ ජනහිතකාමියා 1965 දී ගම්පළාත වූ පොල්ගහවෙලින් ජයගත්තේය. හඟුරන්කෙත ආසනයේ මැතිවරණ වැඩට යද්දී ඔහුට සහ ආධාරකරුවන් පිරිසට මුහුණපෑමට සිදුවූ අපූරු සිද්ධියක්, ඔහු පිළිබඳ හටගත් ජනතා ආකර්ෂණය පිළිබඳ මොනවට සනාථ කරන්නකි.

ගමේ ගෙවල් ගානේ එන ඡන්දකාරයන් දුටු එක් වැඩිමහලු මාතාවක් උන්නේ තරහෙන් පුපුරමිනි. “ඡන්දේ ඉල්ලන්න නම් එනවා, එක එක ජාතියේ අය. ඒත් ඉතින් අපිට උදව්වට හිටියේ එකම කෙනා නොවැ.” එසේ සිතූ මේ අත්තම්මා සිය ගෙමිදුලට ගොඩවදින කණ්ඩායමට බැණ වදින්නට ගත්තාය.

“පලයල්ලා, පලයල්ලා දෑහට නොපෙනී. මෙහේ ඔය කාටවත් ඡන්දේ නෑ. අපි දෙන්නේ (බණ්ඩා පුතාට) තමා. වෙන කාටවත් මේ හතර මායිමේ එන්න තහනම්.” උන්දෑ එක හුස්මට ගෝරණාඩු කරන්නට වූවාය. පැමිණ සිටි පිරිස තමන්ගේ ගෝරණාඩු මැද සිනාවෙමින් ඉන්නවා දුටු අත්තම්මා පුදුමයට පත්වූවාය.

“අනේ, අම්මේ මේ ඉන්නේ බණ්ඩා පුතා තමා.” අත්තම්මාගේ දෑසින් සතුටු කඳුළු වැටෙන්නට විය.

“අනේ පුතේ, දෑහින් දකින්න ලැබුණා, වාසනාවයි!” කියමින් ඈ සතුටු කඳුළු වගුරන්නට වූවාය. සත් කෝරළයේ කෙළවරක පිහිටි උඩපොළ ඕතොට කෝරළේ පනලිය ගමේ ඉපිද මතුරට බලා ගිය මොහොට්ටාලලාගේ ඩිංගිරිබණ්ඩා පළාතේ ජනතාවගේ හදවත් තුළ ආදරණීය සටහනක් තබා තිබුණේ එලෙසිනි. ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ එම්.ඩී. බණ්ඩා යන නමිනි. ලංකාවේ දේශපාලන ඉතිහාසය මුළුමනින්ම වෙනස් කරන්නට බරපතළ ලෙස බලපෑ තදබල තීන්දුවක් ගෙන දේශපාලනයෙන් ඉවත් වනවිට බණ්ඩා මහතා එක්සත් ජාතික පක්ෂයේ බහුතරයේ ඒකමතික පිළිගැනීමට ලක්වූ නායකයා බවට පත්ව සිටියේය. 70 පරාජයෙන් පසු ඩඩ්ලි සේනානායක මහතාට පක්ෂ නායකත්වයද හැර යන තැනට වටපිටාව සැකැසී තිබුණි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එක් අයකු හැර සියලු සාමාජිකයෝ උප සභාපතිවරුන් දෙදෙනකුගෙන් එක් අයකු වූ බණ්ඩා මහතා පක්ෂ නායකයා විය යුතු බවට තීන්දු කළහ. ඔහුට එරෙහිව සිටියේ අනෙක් උප සභාපතිවරයාය. විරුද්ධ ඡන්දය ඔහුගෙනි.

බණ්ඩා මහතා කවදත් සිය පිය බිරියගේ අවවාද අනුශාසනා පිළිගත් තැනැත්තෙකි. ඇය මේ නායකත්වය ගන්නට එපා යැයි කීවේය. අනෙත් අතට ඒ වනවිට සමාජ හිතකාමී ජනහිතකාමී පරාර්ථයට කැපවුණු අවංක දේශපාලනයක නිරත වූ ඇම්.ඩී. බණ්ඩා වැනි නායකයන්ට හාත්පසින්ම වෙනස් වූ බලලෝභී චරිත කරළියට පැමිණෙමින් තිබූ සමයයි. මේ නිසාම තමන්ට රන් පළඟානක තබා පිළිගැන්වූ නායකත්වය ගැන දූරදර්ශීව සිතා බැලූ ඔහු එය පිළිගත්තේ නැත. ඒ වෙනුවට එදා මෙදාතුර කිසිදු දේශපාලකයෙක් නොකරන ලෙස ඔහු පක්ෂයේ මහා සමුළුව අවස්ථාවේ නායකත්වය තමන්ට එරෙහිව ඡන්දය දුන් ප්‍රතිවාදියා වෙත ප්‍රසිද්ධියේම පැවරුවේය. ඒ ප්‍රතිවාදියා වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. රටේ මහා දේශපාලන, සංස්කෘතික, ආර්ථික පෙරැළියකට මුල්වූයේ ඒ තීන්දුවයි. 1974 මාර්තු 18 ඇම්.ඩී. බණ්ඩා මහතා අවසන් ගමන යන අවස්ථාවේදී ජේ.ආර්. මේ සිද්ධිය මතක් කරන්නට අමතක කළේ නැත.

පෙරළිකාරයකු සහ අභීත තැනැත්තෙකු ලෙස හඳුන්වා දිය හැකි ප්‍රබල චරිතයක් වූ බණ්ඩා මහතා, කෙලින් වැඩකරන හිතට එකඟව අවංකව කටයුතු කළ සිංහයකු බඳු කෙනෙකි. වරක් පාර්ලිමේන්තුවේදී ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එවකට විපක්ෂයේ සිටි ඇම්.ඩී. බණ්ඩා හඳුන්වා දුන්නේ නියම සිංහයකු ලෙසටය.

“අපි සාමාන්‍යයෙන් දකින්නේ සිංහ හම් පොරවා ගත් බැටලුවන්. නමුත් අර ඉන්නේ බැටලු හම් පොරවාගත් සිංහයෙක්” බණ්ඩාරනායක අගමැතිවරයා සිය විපක්ෂ හිතවතා ගැන හැන්සාඩ් ගත හැඳින්වීමක් කළේ එසේය.

පන්නලිය ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ නාලන්දාවටත්, ආනන්දයටත් එක්වූ ඇම්.ඩී. බණ්ඩා එකල නැවතී උන්නේ ජාතික සටනට උරදුන් විශිෂ්ටයකු වූ ලේඛක මරදානේ පියදාස සිරිසේනයන්ගේ නිවසේය. පසුව මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඔහු එක්විය. ඒ වනවිට වයස 15ක් පමණ වූ බාලවයස්කාර මේ දරුවාට එතෙක් කාටවත් නොලැබුණ වරප්‍රසාදයක් හිමිවිය. තම මවත් පියාත් අහිමිව සිටි ඔහුගේ බූදල් පාලනය වූයේ වෙනත් අය අතිනි. ඔවුහු තමන්ට ගොඩ වැඩිකර ඉතිරිය බණ්ඩාගේ ජීවිතය ගැටගසා ගන්නට යන්තමට දුන්නේය. මේ බෙදාගැනිල්ලේ අපූරුව කෙතරම්ද යත් ඩිංගිරිබණ්ඩා දරුවාට පාසල් ගාස්තු ගෙවා ගන්නටද නොහැකි තත්ත්වයක් උදාවී තිබුණි. මේ ගැන සොයා බැලූ පාසල් පාලක පාදිලිතුමන්ගේ උපදෙස් පරිදි බණ්ඩා එකල සිටි අග්‍රාණ්ඩුකාරයාට අභියාචනයක් ඉදිරිපත් කළේය. ඒ අනුව “විජියා අයිටාටිස්” නම් නියෝගයක් අනුව මුල්වරට බාලවයස්කරුවකු ලෙස තමන්ගේම දේපල බලා කියා ගැනීමේ වරම ඔහුට හිමිවිය. පාසල් අධ්‍යයනය හමාර කළ පොල්ගහවෙල පන්නලිය ගමෙන් ආ බණ්ඩා යුනිවර්සිටි කොලීජියට එක්වූයේය. ඔහු 1938දී බී.ඒ. උපාධිය ලබන විට මහාචාර්ය සරච්චන්ද්‍ර, පී.ඊ.ඊ. ප්‍රනාන්දු වැනි පසුකාලීන කීර්තිමත් අධ්‍යාපනඥයෝ ඔහු සමග වූහ.

උපාධිය ලබාගත් පසු ඔහු 1939 දී මුල්වරට රටේ පත්වීම් ලැබූ ආදායම්පාලක නිලධාරී හෙවත් ඩී.ආර්.ඕ. නිලධාරීන් 9 දෙනා අතරට තෝරාගන්නට යෙදිනි. නුවරඑළිය, හේවාහැට, වලපනේ, හඟුරන්කෙත වැනි ඡන්ද කොට්ඨාස රැසකින් යුතු ඉතා දුෂ්කර ප්‍රදේශයක් වූ උඩ හේවාහැටට මුල්ම පත්වීම ලබාගිය තරුණ ඩිංගිරිබණ්ඩා පසුව ඒ ප්‍රදේශයේ ජනතාව අතර මහත් ජනකාන්ත බවක් උදාකර ගත්තේය. නිජබිම් අහිමිව ගිය සුද්දාගේ වතු අතර කොටු වූ සිංහල උඩරට පාරම්පරික ගැමියාගේත් තේ වගාවට ආ දමිළ වතුකම්කරු ජනතාවත් යන දෙපිරිස අතරම ඔහු එකසේ ආදරය දිනාගත් චරිතයක් විය.

ලෝක යුද්ධ කාලයේ ආහාර හිඟයක ලකුණු පහළ වෙමින් පැවැති සමයක සිය ගම් පළාතෙන් ගෙනගිය මඤ්ඤොක්කා දඬු බෙදා දෙමින් වගාව සඳහා ගැමියන් හා වතු කම්කරුවන් පෙළැඹවූ බණ්ඩා ඩී.ආර්.ඕ. මහත්තයා පසුව ඔවුන් ආදරයෙන් හැඳින්වූයේ “බණ්ඩා පුතා” හැටියටය. දෙමළ ජනයා අතර ඔහු ප්‍රසිද්ධ වූයේ “කෙලෙංගු දොරේ” නැතිනම් “අල මහත්තයා” හැටියටය. ජනතාව අතර ඉක්මණින්ම ප්‍රසාදය දිනාගන්නට හේතුවූ තවත් කරුණක් වූයේ එතෙක් පැවැති රටේ මහත්තුරුන්ගේ රාජකාරි ක්‍රමවේදය නිලධාරිවාදයට එරෙහිව පියවර ගැනීමය. තමන්ගේ වැඩපල කරගන්නට ඇවිත්  “හාංදුරුවනේ!” යැයි දෙකට තුනට නැමී අමතන ගැමියන්ට තරුණ ඩී.ආර්.ඕ. කීවේ “මට පවු පුරවන්න එපා!” කියාය. එතෙක් ගැමියන් යම් වැඩක් කරවා ගන්නට ඉදිරිපත් වූයේ පඬුරු පාක්කුඩම් පිළිගන්වමිනි. “බණ්ඩා පුතා” මේ පගාවට සහ අල්ලසට තදින්ම එරෙහි වූයේය. මේ නිසාම ප්‍රදේශයේ දේශපාලන බලවතා වූ රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයාත්, සුදු ඒජන්තවරයාත් ඔහු සමග සිටියේ විරසකවය. වරක් මේ තිදෙනාම සහභාගි වූ මහජන රැස්වීමකදී මන්ත්‍රීවරයා තරුණ ඩී.ආර්.ඕ.ගේ ක්‍රියා පිළිවෙත විවේචනය කළේය. ඔහුගෙන් නිසි සේවයක් නොලැබෙන බවට දොස් පැවරුවේය. තමන්ගේ උසස් නිලධරයා සුද්දා, තමන් වෙනුවෙන් කතාකරාවි යැයි බලා සිටියද එය එසේ නොවුණි. කලකිරීමට පත් තරුණ ඩී.ආර්.ඕ. තමන්ගේ අස්වීම ලියා දී අර තරම් මහේශාක්‍ය රැකියාවටද ආයුබෝවන් කියා ගෙදර ආවේ සිංහයෙකු ලෙසිනි. අහිංසකයකු ලෙස සිටියද ඔහුගේ මේ කෙලින් වැඩකරන සිංහ විලාසය ගැන අගමැති බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ සඳහන් කරන්නට යෙදුණේ එහෙයිනි.

තමන්ට හිමි වූ ලංකාවේ පළමුවතාවට ඇතිකළ රාජකිය තනතුරු අතහැර දමා ගෙදර ආ නමුත් තරුණ ඩී.ආර්.ඕ. සිය අනුප්‍රාප්තිකයාට මේ දුෂ්කර පළාත්වල කටයුතු කරන්නට උපකාර කළේය. ඒ අතර මේ අසහාය යුග පුරුෂයා දේශපාලනයට යොමුකරනා දෛවෝපගත සිද්ධිය හටගන්නේ ඔය කාලයේය.

නමෝ විත්තියෙන් හිමි වූ ඩී.ආර්.ඕ. පදවිය අතහැර දැමූ පසු නීතිඥයකු වන්නට ඉගෙනීමේ කටයුතුවල යෙදෙමින් කුඹුරු ඉඩම් වගාවන් ගැන හිත යොමා කටයුතු කරමින් සිටියදී තරුණ ඩී.ආර්.ඕ. සොයා මතුරට පිරිසක් පැමිණියහ. ඔහුට ප්‍රසිද්ධියේ චෝදනා කළ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට දෛවයේ සරදමකට ලක්ව අල්ලස් චෝදනාවක් හේතුවෙන් ගෙදර යන්නට සිදුව තිබුණි. නුවරඑළියට අතුරු මැතිවරණයක් නියම විය. පළාතේ ජනතාවගේ ඉල්ලීම වූයේ (බණ්ඩා පුතා)ය. අතුරු මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු ප්‍රදේශයේ බහුතර ඡන්ද වූ දමිළ ඡන්ද පවා දිනා ගනිමින් ප්‍රදේශයේ පාරම්පරික බලවතකු වූ ජේම්ස් ටී. රත්නම් ද පරාජය කරමින් ජයග්‍රහණය කළේය. පාතරටින් ආ පිටගම්කාරයා තමන්ගේ පළාතේ රජකරන්නට එන හැටි බලා සිටින්නට නොහැකි වූ තැන ඡන්ද පෙත්සමකට කරුණු ගොනු වූයේය. චෝදනාව වූයේ ඡන්දය දවසේ බණ්ඩාගේ ආධාරකරුවන් බීමතින් මහපාරේ සිටි නිසා වතුකර කම්කරු දෙමළ ළඳුන්ට ඡන්දය දැමීමට පැමිණීමට බාධා වූ බවටය. එම්.ඩී. බණ්ඩා මහතා වෙනුවෙන් පෙනී සිටියේ එකල ජනකාන්ත නමක් දිනාසිටි නීතිඥ ආර්.එල්. පෙරෙයිරා කීවේ ලේසියෙන්ම නඩුව දින්නට හැකි බවය. 

“නඩුව දිනන්න පුළුවනි. ඔබ කියන්න ඕනෑ චෝදනාවට ලක්ව ඇති අය තමන්ගේ ආධාරකාරයෝවත්, ඡන්දදායකයන්වත් නෙවේ කියලා. ඔවුන්ට මේ විදිහට හැසිරෙන්න උපදෙස් දීලාත් නෑ කියලා.”

නීති උපදේශය හමාර වන්නටත් පෙරම බණ්ඩා මහතා ගත් කටටම කිව්වේ “එහෙම කරන්නේ කොහොමද? මං ඒ විදියේ උපදෙස් නොදුන්නාය කියලා කියන්න පුළුවනි. නමුත් ඒ අය මගේ ආධාරකාරයෝ නෙමෙයි කියන්නේ කොහොමද? මාව මෙතැනට ගෙනාවේ ඒ අයනේ” කියාය.

නීතිඥයාට අසූහාර දාහට නැග්ගේය. “එහෙනම්, ඉතින් නවගුණවැලක් අරගෙන ගිහින් සිල් රකිනවා” කියා ඔහු නැගිට යන්නට ගියේය. නඩුව පැරැදුණේය. නුවරඑළිය ජය පරාජයකට පෙරැළුණේය.

මේ කිසිත් ගණනකට නොගෙන ගමට ආ බණ්ඩා නැවත කුඹුරට බැස්සේය. ඒ අතර අධිනීතිඥ විභාගයට පාඩම් කිරීම ඇරැඹුවේය. දෙවසරක් තුළ එහි පළමු හා දෙවැනි විභාග සමත් වී අවසන් විභාගයටද සූදානම් වෙමින් සිටියදී වසර 1947 දී ප්‍රථම පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා කැඳවීම සිදුකෙරිණි.

බණ්ඩා මහතා සේවය කළ පළාත් ඇතුළත්ව මතුරට නමින් ඉතා විශාල ප්‍රදේශයක් ඇතුළත් ආසනයක්ද බිහිව තිබුණි. සිංහයකු මෙන් එඩිතර, ගමේ මිනිසුන්ට හිතැති මිනිසුන් අතරට ගොස් ඔවුන්ගේ ගැටලු විසඳන්නට සමත් ගමේ ජනතාවද ආදරය කරන ගැමිකම, හෙළකමට මෙන්ම, ගොවිකමටද ලැදි තරුණ ඩී.ආර්.ඕ. ගැන ඩී.ඇස්. සේනානායක මහතාට ආරංචි විය. දූරදර්ශී නායකයෙක් වූ ඩී.ඇස්. සිය පුත්‍රයා ඩඩ්ලිගෙන් පසු රටේ කෘෂිකර්මය නංවා ඉපැරැණි සෞභාග්‍යය ගෙන එන්නට සමත් ගමේකමට අපේකමට ලැදි ප්‍රබල නායකත්වයක් ගැන සිහින දැක්කේය. මතුරට සිටි තරුණ ඩී.ආර්.ඕ. ඒ සිහිනය තුළ නිතර හොල්මන් කළ චරිතයකි. වහාම ඔහු කැඳවූ ඩී.ඇස්. අලුතෙන් හැදූ මතුරට ආසනයේ ජනතාවගේ කැමැත්ත ලබා ගන්නට යැයි ඉල්ලීමක් කළේය. එදා 47 ඡන්දයෙන් ඉහළ ජයක් ලබාගත් මතුරට ජනතාවගේ (බණ්ඩා පුතා) ඒ ආසනය පැවැති අවුරුදු මුළු දහතුන් වසර පුරාම එහි එකම මහජන නියෝජිතයා ලෙස ජනතාව විසින් තෝරා පත්කරගන්නට යෙදුණි. වෙනෙකක් තබා 1956 දී අන්ත පරාජයක් ලබා එජාපය බලය ආසන 8ට සීමාවෙද්දී එම්.ඩී. බණ්ඩා සිය මතුරට ආසනය වැඩි ඡන්ද ලබා ජයගත්තේය. 1960 දී එම ආසනය හඟුරන්කෙත හා වලපනේ යැයි බෙදීයද්දී ඔහු හඟුරන්කෙත දිනාගන්නට සමත්විය. 1960 මාර්තු ජූලි මැතිවරණ දෙකද ජයගත්තේය. ඔහු නැවත සිය උපන් ගම වූ පොල්ගහවෙල බලා ආවේ 1965 මැතිවරණයටය.

ලබන සතියට

♦ සුගත් පී. කුලතුංගආරච්චි

(සෙනරත් ලීනියගොල්ලයන්ගත් ඡායාරුපය ලබාදුන් සේනක ලීනියගොල්ල සහ සුමංගලිකා ධර්මදාස මහත්ම මහත්මීන්ට අපගේ විශේෂ ස්තූතිය)