2018 මැයි 19 වන සෙනසුරාදා

ගෙඩිය ගත්තා.. කැපුවා.. දුන්නා..

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

ගෙඩියක් විස්සයි. ගෙඩි පහක් සීයයි, ගෙඩියක් විස්සයි ගෙඩි පහ සීයයි. වතුර තිබාට මගදි කන්න හොඳ එක රස එක. හොඳ එක රස එක.... මගදි කන්න අරං යන්න කොළ ඇපල් ලාබ කළා.. ලාබ කළා...

මොනවද මල්ලි බලු වැඩ කරන්නේ? හොඳ එක හොඳ එක කියලා දුන්න නිසා තමයි ගෙඩියක් කාලා බලලා අරං ගියේ. ගෙනියපු ගෙඩි පහම නරක් වෙලානේ මැද්දෙන්. මිනිස්සුන්ගේ සල්ලි හූරන් කන්න එපා.

මම නරක් වෙච්ච බඩු දුන්නේ නෑ. මහත්තයම තමයි බඩු බලලා අරං ගියේ. අනික අපෙන් බඩු ගන්න මිනිස්සු දන්නවා අපි කවුද කියලා. නිකන් බොරුවට කෑ ගහන්න එපා මහත්තයා.

පස්වරු 3.40ට කොළඹ කොටුවෙන් මාතර බලා ධාවනය වූ දුම්රියේ හඬ ද පරදා නැගුණු එම ඝෝෂාව කුමක්දැයි බැලූ ලියුම්කරු එකවිටම දුටුවේ දුම්රියෙහි වෙළඳාම් කරනා වෙළෙන්දකු සහ මගියකු අතර ඇති වී තිබූ වාග් සංග්‍රාමයකි.

ඔය ඔක්කොම හොර යක්කු. කෝච්චිවල බිස්නස් කරන එක නවත්තන එකමයි හොඳ...

දුම්රියේ ගමන් ගත් මගියෙක් තවකෙකු හා එම වෙළෙන්දාට පමණක් නොව අනෙකුත් වෙළෙඳුන්ට ද දෝෂාරෝපණය කළේය.

දුම්රියෙහි ටිකට් පත් පරීක්ෂකයකු පැමිණ අදාළ සිද්ධිය සමථයකට පත් කළ අතර දුම්රියේ සිදු කරනා වෙළඳාම්වල හොඳ නරක සොයා බැලීමට ලියුම්කරුට සිත් විය.

වෙනත් කාරණාවලදී මෙන් නොව නිතර දෙවේලේ දුම්රියෙහි ගමන් ගන්න ලියුම්කරුට එවැනි වෙළෙන්දකු සොයා ගැනීම අසීරැ කාරණයක් නොවීය. ඔහුගෙන් වෙලාවක් ලබා ගැනීමට නම් ලියුම්කරුට ටික දවසක් බලා සිටින්නට විය.

සතියකට පමණ පසුව ලියුම්කරැ හට අදාළ වෙළෙන්දාගෙන් ඇමතුමක් ලැබිණි. එම ස්ථානයට ගිය විට ඔහු සිය කථාව ආරම්භයට පෙර සිටම තමන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ලියුම්කරුගෙන් ඉල්ලා සිටියේය.

කොච්චර කාලයක් විතර වෙනවද කෝච්චියේ බිස්නස් පටන් අරගෙන?

දැන් අවුරුදු දහයක් විතර මම කෝච්චිවල බිස්නස් කරනවා. එක තැනක කියලා නැහැ. කොළඹින් පටන් ගන්න හැම ට්‍රේන් එකේම වගේ මේ අවුරුදු දහයට බිස්නස් කරලා තියනවා.

මොනවද ඔයා ට්‍රේන් එකේ බිස්නස් කරන්නේ?

ඇපල්, දොඩම්, වඩේ, වතුර, බීම, සෙල්ලම් බඩු ඔය හැම එකම මම විකුණලා තියනවා. ඒ වුණාට පළතුරැ බිස්නස් එක තමයි ලාබම.

ඒ මොකද?

මෙහෙමනේ... ඔය වඩේ එහෙම මිනිස්සු ගන්නේ එවෙලෙට කන්න. ඉතිං පොඩ්ඩක් හරි වඩේ එක සවුත්තු වෙලා තිබුණොත් මිනිස්සු කෑ ගහනවා. ඊට පස්සේ එහෙම වුණාම ආයේ ට්‍රේන් එකේ බිස්නස් කරන්න බැහැ.

වතුර වගේ ඒවාගෙන් එච්චර ලොකු ලාබයක් සෙට් වෙන්නේ නැහැ. ඒ වුණාට ඇපල්, දොඩම් එහෙම ඉක්මනට ලේසියෙන්ම විකුණගන්න පුළුවන්. ඔය කාට වුණත් ඇපල් ගෙඩියක් කපලා ලුණු, මිරිස් ටිකක් දාලා දුන්නම සූස් ගාල දෙන්න පුළුවන්. අනික අපි දෙන්නේ ආයේ කන්න හිතෙන ටේස්ට් එකෙන්.

ඒ පළතුරු දෙන්නේ තොග විදිහටද නැත්නම් කොහොමද?

එච්චර ගේමක් දෙන්න ඕන නෑ මල්ලි.. ඔය පිටකොටුවට තොග විදියට ලොකුවට පළතුරු ගෙන්වන තැන් කීයක් තියෙනවද? ඒ වගේ තැනක ගෝලයෙක් අල්ල ගත්තම ටිකක් ඩැමේජ් වෙච්ච පෙට්ටියක් රුපියල් 1000ක් විතර දෙනකොට ගන්න පුළුවන්.

ඉතිං ඩැමේජ් බඩු විකුණන්න බැහැනේ?

ඒකනේ අපි බඩු කපලා ලුණු, මිරිස් එහෙම දාලා දෙන්නේ. එතකොට බඩු සන් සන් ගාලා විකිණෙනවා. අනික අපිනේ කපලා දෙන්නේ. මිනිස්සු ගෙඩිය බලලා තෝරලා දෙනකම් ඉන්නේ නැහැ. ස්කූල් ටයිම්වලට, ඔෆිස් ඇරෙන ටයිම් බලලා කොයි පැත්තටද සෙනග වැඩියෙන් ඇදෙන්නේ බලලා තමයි අපි යන ට්‍රේන් එක තීරණය කරන්නේ. අනික පොඩ්ඩක් තැලිලා පොඩි වුණා කියලා එහෙම ලොකුම අවුලක් නැහැනේ.

ඒ වුණාට ගෙඩි පිටින් විකුණන වෙලාවල් එහෙම තියනවනේ. ඒ වෙලාවට ඩැමේජ් කියලා පේනවනේ?

පේව්මන්ට් එකේ බඩු තෝරනවා වගේ ට්‍රේන් එකේ බඩු තෝර තෝර ඉන්න බැහැනේ මල්ලි. අනික අපි ඩැමේජ් පැත්ත කොයි වෙලාවෙත් යටට හිටින්න තියලා තියෙන්නේ. බඩු ඉල්ලපු ගමන් ක්ෂණිකව දාලා දෙනවා. දැකලා ඇතිනේ කොහොමද බිස්නස් කරන්නේ කියලා. අනික ලොකු වියදමක් යන්නෙත් නැති නිසා පළතුරැ බිස්නස් එක තමයි ලාබම.

අනික අපි හැම ටර්න් එකක්ම යන්න කලින්ම හොඳ වතුර පාරක් අල්ලනවා බඩුවලට.

ඒ ඇයි?

එතකොට බඩු ෆ්‍රෙෂ් පිට තියනවනේ. උඩින් ඔපේ දැක්කම මිනිස්සු බඩු ගන්නවා සන් සන් ගාලා. ඒ වගේම තමයි අපි වැඩිය රතු ඇපල් එක විකුණන්නේ නෑ.

ඒ මොකද ඒ?

රතු ඇපල් ඩැමේජ් වුණාම ඉක්මනටම නරක් වෙන්න බලනවා. ඒ වගේම තමයි එළියටත් පේනවා බඩු ඩැමේජ් කියලා. කොළ ඇපල් එක එහෙම නැහැ. බඩු දෙන්න පුළුවන් කෂ කෂ ගාලා එතකොට. මෙහෙමනේ මල්ලි ඈලී මෑලී වෙලා බිස්නස් කරන්න බැහැ. කඩියා වගේ දුවලා පැනලා ගේම ගහන්න ඕන. අනික කවුරු මොනවා කිව්වත් තමන් ඒවට බය වුණොත් බිස්නස් එක කරන්න බැහැ. අනික ඔය සුඩානේ වගේ කුණු ගොඩවල්වල තියන ඒවා කන්නේ. පොඩ්ඩක් තැලුණ ඇපල් ගෙඩියක් එහෙම කෑවා කියලා ලොකු අවුලක් වෙන්නේ නැහැනේ.... ඔහු දිගටම කියාගෙන ගියේය.

වෙළෙඳුන් විසින් සිදුකරනා මෙම කූට උපක්‍රම පිළිබඳව නිරන්තර අවධානයෙන් පසු වීම ජනතාවගේම වගකීමකි.

 හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00