2018 මැයි 19 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

1. තෙල් මිලේ බර ජනතාව මත පටවන්න වුණේ ආණ්ඩුව ගත් වැරදි තීරණ නිසාද?

2. ලං.වි.ම, වෛද්‍ය සංගම්, බස් සංගම් ඉල්ලීම් ඉටු කරගන්න තර්ජන, වැඩ වර්ජන සිදු කරනවා. මේ විදිහට තර්ජන, වැඩ වර්ජන දවසින් දවස වැඩිවෙමින් යන්නේ ආණ්ඩුව අතින් පාලනය ගිලිහෙමින් තිබෙන නිසාද?

3. සිංගප්පූරුව සමඟ ඇතිකරගත් ගිවිසුමට රටේ වෘත්තීයවේදීන් දැඩි විරෝධය දක්වනවා. ඔවුන් පවසන්නේ ආණ්ඩුව තමන්ට කොළේ වසා ගිවිසුම් අත්සන් කර ඇති බවයි. නමුත් ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කරනවා. මෙතනින් හරි කවුද? වැරදි කවුද?

4. සැප්තැම්බරයේ අවසන් වන පළාත් සභා තුනත් එක්ක පළාත් හයක ඡන්දය තියනවා කියලා මැතිවරණ කොමිෂන් සභාව කියනවා. ඔවුන් කියන විදිහට ඡන්ද පවත්වන්න පුළුවන් වෙයිද?

ජනතාවට තවමත් තෙල් මිලෙන් සහනයක් තිබෙනවා

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

1. මේ ආණ්ඩුව බලයට පත්වුණාම තමයි මේ තෙල් මිල අඩු කළේ. ඊට පස්සේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වුණත් අපේ රජය මිල වැඩි කළේ නැහැ. නමුත් මෙවරත් මිල වැඩි කළේ ලෝක වෙළෙඳපොළේ මිල අඩු කළොත් සහන ලබා දීමේ පොරොන්දුව පිට. 2015 අපි බලයට එනවිට තිබුණ මිල දිහා බලපුවහම ජනතාව දැනුත් තෙල් මිලෙන් යම් සහනයක් තිබෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ.

2. මේ ආණ්ඩුව බලයට පත්වුණු දා පටන්ම ඔය හැම වෘත්තීය සමිතියක්ම උද්ඝෝෂණය කරනවා. ඇත්තටම ආණ්ඩුවේ තිබෙන කළමනාකාරිත්වයේ දුර්වලතාවයක් තමයි මේකට හේතුව ලෙස මම දකින්නේ. මේ වර්ජන, හැම එකක්ම දේශපාලන ඕනෑකම මත වෙන දේවල්. කොහොම වුණත් මේ ආණ්ඩුව ඔය වර්ජන කරන සියලු අයට විසඳුම් ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. 

3. මේක මේ සෑහෙන කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වෙලා අත්සන් කරපු ගිවිසුමක්. එහෙම නැතුව හදිසියේ අත්සන් කරපු එකක් නෙවෙයි. වෘත්තීයවේදීන් කාලයක් මේ ගැන කතා කරලා තිබුණා. ඒ වුණාට වෘත්තීයවේදීන් කියන හැමදේම කරන්න බැහැ. රජයක් වුණාම ගිවිසුමක් අත්සන් කරනකොට වාසි, අවාසි තියෙනවා. ඒක තමයි ගිවිසුම්වල තියන ස්වභාවය. ඉතිං ඒ යථාර්ථය තේරුම්ගන්න ඕන. වෘත්තීයවේදීන් මාසයට පඩි ගන්න උදවියනේ. ඒ අය කියනවා අරක කරන්න පුළුවන් මේක කරන්න පුළුන් කියලා. ඒවා ඉතින් හැම දෙයක්ම යථාර්ථය නෙවෙයිනේ.

4. ඡන්දය කොහොමත් තියන්න වෙනවා. නමුත් දැන් තියන ගැටළුව තමයි අපි පරණ මනාප ක්‍රමයට යනවද නැත්නම් කොට්ඨාස ක්‍රමයට යනවද කියන එක. ඉතින් ඒකෙදී සියලුම පක්ෂ නායකයන් එකඟ වෙලා තියනවා මනාප ක්‍රමයට මැතිවරණය පවත්වන්න ඕන කියන එ. ඒ අනුව ඉක්මනටම මැතිවරණය පැවැත්වෙයි.

ආණ්ඩුව දැනටම අසාර්ථකයි

ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි 

1. අනිවාර්යයෙන්ම. ජාත්‍යන්තරව තෙල් මිල පහළ ගියපු අවස්ථාවල රජය ජනතාවට එහි වාසිය ලබා දුන්නේ නැහැ. ඒ වගේම රජයේ නිසි කළමනාකරණයක් නොමැතිකම නිසා තමයි ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය ගමන් ජනතාව මත තෙල් මිලේ බර පැටෙව්වේ. ඇත්තටම මේ ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නොමැති අසාර්ථක බවේ ලක්ෂණ තමයි මේ පෙන්නුම් කරමින් යන්නේ.

2. ඇත්තටම ඔව්. ආණ්ඩුවට පාලනයක් නැහැ. තෙල් මිල ඉහළ යාම එක්ක බස් සංගම් ඔවුන්ගේ මිල වැඩිවීමක් ඉල්ලුවා. අන්තිමට මේ රජය ඔවුන් ඒ ඉල්ලපු ගාණට වඩා අඩුවෙන් වුණත් මිල සංශෝධනය කරන්න එකඟ වුණා. එහෙම බලනකොට අපිට තේරුණ දෙය තමයි මේ ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නැතුව තමයි මේ විදිහට මිල වැඩි කරලා තියෙන්නේ කියන එක. ඉතිං මේ වගේ ජනතාවට එන ප්‍රශ්න කාටද කියන්න ඕන. මේ වගේ දේවල්වලින් වෙන්නේ රට තව තවත් අවුලට යන එක.

3. මුලින්ම කියන්න ඕන මේ සිංගප්පූරු, ශ්‍රී ලංකා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ඉතින් එසේ අවසරය අරන් නැත්නම් ඒ ගිවිසුම ජනතාවට ඉදිරිපත් කරලත් නැහැ. ඒ වගේම මේකේ ගැ‍ටලුව වෙන්නේ ශ්‍රී ලංකාව හා  ඉන්දියාව අතර අත්සන් කරන්න තිබූ එට්කා ගිවිසුම තමයි මේ වෙනත් විදිහකින් සිංගප්පූරුව හරහා ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙන්නේ. මෙය මේ රටේ වෘත්තිකයන් අයිතිවාසිකම් කප්පාදු කරන වැඩක්. මේක මේ ගජ මිතුරැ සංගම්වල පාවා දීමේ එක අංගයක්.

4. ආණ්ඩුව මැතිවරණවලට බයයි. ඒ වගේම මොවුන්ට මැතිවරණවලට ඉදිරිපත් වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මොවුන් මොනයම් ක්‍රමයකින් හෝ මැතිවරණ කල් දාන්න උත්සාහ කරන්නේ. ආණ්ඩුව දැන් මැතිවරණ සිතියම අකුලගෙන තියෙන්නේ.

ආණ්ඩුව ඇතුළේ කචල් වැඩියි

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

1. මේ ආණුඩුවත්, කලින් ආණ්ඩුවත් තෙල් මත විශාල බදු අය කරනවා. ඒ බදු බර නිසා තමයි තෙල් මිල වැඩිවෙන්නේ. මංගල සමරවීර ඇමැතිතුමාම කියනවා තෙල් මිල වැඩි කරපු නිසා ආණ්ඩුවට රුපියල් බිලියන 53ක් ඉතිරි වුණා කියලා. ඉතිං අපි කියන්නේ ජනතාව මත එහෙම බදු පටවන්නේ නැතුව ඒ සහනය ජනතාවට ලබා දෙන්න කියලා.

2. ආණ්ඩුව ඇතුළේ කචල් එක ඔක්කොටම වඩා වැඩියි. ජනාධිපති, අගමැති තමන්ගේ පුටුව බේරගෙන අනිත් කෙනා වට්ටන්න යටින් උගුල් අදිනවා. මේ සියල්ලගෙන්ම ජනතාවට දැනෙනවා ආණ්ඩුවට පාලනයක් නෑ කියලා. මේකට උත්තරේ ඒකාධිපතියෙක් බිහිකරගන්න නෙවෙයි. තමන්ට ලැබුණු ජනවරම නිවැරදිව භාවිත කරලා ඒ අවුරුදු දෙකහමාරවත් නිවැරදිව වැඩ කරනවා නම් ජනතාවට දැනෙයි ආණ්ඩුවක් තියෙනවා කියලා.

3. ආණ්ඩුව කියනවා මේකට අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කළා කියලා. කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්, ඉංජිනේරැවන්, ආර්ථික විශේෂඥයන් විශේෂයෙන්ම මේ ඉන්දියාව සහ සිංගප්පූරැව සමඟ අත්සන් කරන ගිවිසුම් දැඩි අවධානයෙන් පසුවෙනවා. ඒ නිසා මෙවැනි ගිවිසුමක් අත්සන් කරනවා නම් ආණ්ඩුව ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුව තිබුණා. එහෙම නැතුව මෙහෙම උද්දච්ච විදිහට හැසිරැණාට පස්සේ ඒ අයට තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින්න සිද්ධ වෙනවා.

4. අලුත් මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුව තුළ සම්මත වෙලා තියෙන්නේ. සීමා නිර්ණය ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට කැඳවීමට නියමිතයි. නමුත් මේ පාර්ලිමේන්තුවේ සැසිවාරය හදිසියේ කල් දැමීම නිසා ඒකට අවස්ථාව නැති වුණා. ඒ නිසා දැන් කළ යුතුව තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය පවත්වපු පදනම මතම ඉඳගෙන පාර්ලිමේන්තුවේ සම්මත කරලා තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීම, පළාත් පාලන මැතිවරණයේදී ඇති වූ ඒ දෝෂ මගහරවාගෙන ඒවා නිවැරදි කරගත යුතුයි. ඒ වගේම පළාත් සභා ඡන්දය කල් නොදමා රට පුරා අලුත් ක්‍රමයට ඡන්දය එකවර පවත්වාගැනීමට අවශ්‍යතාවයක් තියනවා.

කලින් මිලිටරි ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි වෙනස දැනගන්න

කම්කරු ජාතික පෙරමුණේ නායක අමාත්‍ය පලනි දිගම්බරම්

1. පසුගිය ආණ්ඩු කාලයේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවෙලා තිබුණත් අපේ රටේ තෙල් මිල අඩු වුණේ නැහැ. නමුත් අපේ ආණ්ඩුව ආපු ගමන් තෙල් මිල අඩු කළා. දැන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වෙලා. ඉතින් අපිත් වැඩි කළා. නමුත් ආයෙම ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වෙලා සංශෝධනයක් වුණොත් අපේ ආණ්ඩුව නැවත තෙල් මිල අඩු කරනවා.

2. අපේ ආණ්ඩුව බලයට එන්න කලින් තිබුණේ මිලිටරි ආණ්ඩුවක්. කාටවත් කතා කරන්න නිදහසක් තිබුණේ නැහැ. නමුත් අපේ ආණ්ඩුව ආවට පස්සේ ඒක වෙනස් වෙලා තියෙන්නේ. ඕනම දේකට නිදහස තියනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දැන් තියනවා. ජනතාව දැන් ඒක ඕනවට වඩා භුක්ති විඳිනවා. ජනතාව මේ දේවල් තේරුම් ගත යුතුයි.

3. ආණ්ඩුව මේ ගිවිසුම් අත්සන් කරන්න කලින් වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කළා. නමුත් තව කොටසක් ඉන්නවා මේ ආණ්ඩුව වට්ටන්න. ඒ උදවිය තමයි මෙහෙම දේවල් කරන්නේ. යම් යම් දේශපාලන පක්ෂවල වුවමනා, එපාකම් කරන පිරිසක් තමයි ආණ්ඩුවට මේ විදිහට චෝදනා කරන්නේ.

4. අපි දිගින් දිගටම සුළු ජාතික පක්ෂ කියන්නේ වහාම මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඕන කියලා. ඒකත් පරණ ක්‍රමයට තමයි තියන්න ඕන. මොකද අලුත් ක්‍රමයට ගිහින් තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපිත් කියන්නේ ඉක්මනට පැරැණි ක්‍රමයට මේ මැතිවරණය පැවැත්විය යුතුයි.

මෙහෙම තීන්දු ගන්න ඉතින් ආණ්ඩුවක් මොකටද?

ප්‍රජාතාන්තවාදී වාමාංෂික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

1. ඔව්. ඒ වගේම ලෝක වෙළෙඳපොළේ හැමදේම මිල වැඩිවෙන ආකාරයට මෙහේ සෑම දේකින්ම මිල වැඩි කරන්න හැදුවොත් මහජනයාට ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තෙල් ගන්නා මූලාශ්‍රයන් අනුවත් තෙල්වල මිල තීන්දු වෙනවා. ඉතින් හැකි තරම් අඩු මිලකට තෙල් මිලදී ගන්න තත්ත්වයක් ආණ්ඩුව විසින් සොයාබැලිය යුතුයි.

2. මේ රටේ පාලනය ජනතා විරෝධීව ක්‍රියා කරන නිසා තමයි මේ වර්ජන, උද්ඝෝෂණ මතුවෙලා එන්නේ. ජාතික යහපතට පටහැනිව කටයුතු කරන කොට මෙවැනි දේ බලාපොරොත්තු වෙන්න පුළුවන්.

3. මේ ගිවිසුම් අනුව වෘත්තීමය රැකියා අවස්ථාවල යෙදෙන අයගේ වෘත්තීය කටයුතුවලට තර්ජනයක් එල්ල වෙනවා. දැන් අපිට ගිහින් සිංගප්පූරැවේ රැකියා කරන්න බැහැ. නමුත් අපේ රටේ රුකියා අවස්ථා ඒ අය පැහැර ගැනීමෙන් තමයි මේක අන්තිමට කෙළවර වෙන්නේ. ඒ නිසා වෘත්තීයවේදීන් සමඟ සාකච්ඡා කරලා තමයි මේවා කරන්න ඕන.

4. ඡන්දය පැවැත්විය යුතුයි අනිවාර්යයෙන්ම. නියමිත කාලයේදී ව්‍යවස්ථාව අනුව පළාත් සභාවල කාලය ඉවර වෙනවා නම් මැතිවරණවලට යා යුතුයි. දැන් ඒකට වුවමනා කරන කොට්ඨාස ක්‍රමය හැදීමට සීමා නිර්ණය කොමිසමක් දාලා ඒකෙන් වාර්තාවක් එනවා. නමුත් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙත් නැහැ. ඉතින් ඒක පාර්ලිමේන්තුවේ සම්මත නොවී ක්‍රියාත්මක වෙන්නේ නෑ. එතකොට ඊළඟට මේ පළාත් සභා තියන්න පුළුවන් වෙන්නේ සීමා නිර්ණය කොමිසමක වාර්තාවක් නැතුව මනාප ක්‍රමයයි කොට්ඨාස ක්‍රමයයි පදනම් කරගෙන. එතකොට ඒ විදිහට තියන්න ඕන පියවරක් ආණ්ඩුව ගත යුතුයි.

කතා කරලා වැඩ කරනවානම් මෙහෙම වෙන්නේ නෑ

එක්සත් සාම සන්ධානයේ මහ ලේකම් හසන් අලි 

1. තෙල් මිලේ ප්‍රශ්නය මේ වනවිට ජනතාවට බලපාලා තියෙනවා. මේ ආණ්ඩුව මෙවර මිල වැඩි කළේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟයි. එය කළේ මාස දෙකකින් පමණ නැවත සංශෝධනය කරන පදනම යටතේ කියලා කිව්වා. ඒක කොයි ආකාරයෙන් සිදුවෙයිද කියලා කියන්න බැහැ. ඒ නිසා මේ මිල ස්ථිරව තබා ගැනීමට කටයුතු කරනවානම් වඩාත් හොඳයි.

2. වැඩ වර්ජනවලට ඔවුන් පෙළඹෙන්නේ ඉල්ලීම් නොලැබෙන නිසා. මේ යහපාලන ආණ්ඩුවේ පක්ෂ දෙකක මතය මේ දේවල් විසඳා ගැනීමට යාමේදී බලපානවා ඇති. ඔවුන්ම තමයි ඒ දේවල්වලට පිළිතුරු ලබාදිය යුත්තේ.

3. අදාළ වෘත්තීයවේදීන්ගේ සංගම් සමඟ සාකච්ඡා කරලා වැඩ කළා නම් මේ වගේ දේවල් සිදු වෙන්නේ නැහැ.

4. පළාත් සභාවල කාලය අවසන් වූ වහාම එම ඡන්ද පැවැත්විය යුතුයි. මේ කොට්ඨාස ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පවත්වලා විශාල ගැටලු රාශියක් පැන නැගුණා. ඒ නිසා පරණ ක්‍රමයට මනාප ක්‍රමයට මැතිවරණය පවත්වනවා නම් හොඳයි. ඒ වුණාට තවම මැතිවරණය ගැන කතාවක් නැහැනේ.

සංස්කරණය : 
හසිත් අංජන 
සේයාරූ / අන්තර්ජාලයෙනි

 

 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00