2018 මැයි 12 වන සෙනසුරාදා

කාමාතුර නීතිපති ගෙදර යැවූ ගෑනු හුටපටේ

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 248

“ලෝකෙට මේ  තත්ත්වය  එළිදරව් කරන්න ඕනෑ  කියලා මට හිතුණේ  මටත්  කලින් කාන්තාවන් කිහිපදෙනකුටම මොහු හිංසා කළ බව ආරංචි වීමත් සමගයි. මං කල්පනා කළා ඊළඟ ගොදුර කවුරුන්ද කියලා. තවත් කාන්තාවන් ඔහුට ගොදුරු වීම වළක්වන්නත්, සමීපතම සම්බන්ධතා පවත්වන අයටත් විඳින්නට සිදුවන ලිංගික අඩම්තේට්ටම් ගැන හඬක් නගන්නත් මට ඕනෑ වුණා.”

මෙසේ කියා ඇත්තේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අමෙරිකන් කලාකාරියකි. ඇය ටාන්යා සෙල්වරත්නම්ය. ඇගේ මේ කියන එළිදරව්ව හේතුකොට ලෝකයේ ප්‍රධානම නගරයේ ලොක්කා නැතිනම් ආණ්ඩුකාරවරයා වන්නට වාසනාව උදාවී සිටි තැනැත්තාට අකුලාගෙන ගෙදර යන්නට සිදුවිය. ඔහු, එරික් ෂ්නයිඩර්මාන් ප්‍රසිද්ධව සිටියේ කාන්තා හිංසනයට එළිපිට තදින්ම එරෙහි වන අයෙක් ලෙසටය. ඒ නිසාම කාන්තාවන්ට වචනයෙන් මෙන්ම අභිනයෙන්ද ප්‍රසිද්ධියේ පරිභව කරන ජනාධිපති ට්‍රම්ප් විරෝධී තැනැත්තෙකු ලෙස ඔහු සමාජයේ නමක් දිනා තිබුණි. එසේම ඔහු සිය දික්කසාදයෙන් පසු කාන්තාවන් කිහිපදෙනකු හා  සම්බන්ධතා පැවැත්වූ අයෙකි. දැන් කාන්තා හිංසන චෝදනා පාරා වළල්ලක්  වී පැමිණ ඇත්තෙ 63 හැවිරිදි මේ ප්‍රේම භෘංගයා වෙතටය.

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ටාන්යා ඇතුළු කාන්තාවන් හතර දෙනෙක් ඉදිරිපත් කරන ලද ලිංගික හිංසන චෝදනා මුල්කර ගනිමින් පසුගිය සඳුදා ගෙදර යන්නට සිදු වූ එරික්,  කටයුතු කළේ (නිව්යෝර්ක්) ප්‍රාන්තයේ නීතිපතිවරයා ලෙසටය. 2010 වර්ෂයේදී නිව්යෝර්ක් ප්‍රාන්තයේ නීතිපති පදවියට පත් එරික් ෂ්නයිඩර්මාන් නැවත වතාවක් එම තනතුරට පත්වීම සඳහා මෙම වසරේ පැවැත්වෙන ඡන්දයට ඉදිරිපත් වීමටද නියමිතව තිබිණි.

හැට තුන් හැවිදිරි එරික් ෂ්නයිඩර්මාන් විවිධ අවස්ථාවල තමන්ට පහරදුන් බවත් බීමත්ව වියරු වූ විට ගෙළ සිරකර අනියම් හැසිරීම් සඳහා බල කළ බවටත් අදාළ කාන්තාවන් හතරදෙනාගේ චෝදනා මගින් එළිදරව්වන බව ප්‍රමුඛ පෙළේ සඟරාවක් වන (ද නිව් යෝකර්) පළකළ වාර්තා දැන් මහත් ආන්දෝලනයකට හේතු වී ඇත. නිව්යෝර්ක්  වාර්තාව පළවී පැය 3ක් ඉක්මෙන්නට ප්‍රථම එරික් ඉල්ලා අස්විය. එරික් මෑත කාලයේ ජනකාන්ත නමක් දිනා ගත්තේ සිනමා අධිරාජ්‍යයකු වූ හාර්වේ වෙයින්ස්ටයින්ට එරෙහි ස්ත්‍රි දුෂණ නඩු විභාගයේදී තදින්ම නීතිය ක්‍රියාත්මක කළ හෙයිනි. එසේම පසුගිය මාසයේ ටයිම් සඟරාව සහ නිව්යෝර්ක් සඟරා සඳහා ලිංගික හිංසන එළිදරව් කිරීම සඳහා වූ පුලිට්සර් සම්මානය හිමි වූ අවස්ථාවේ මුලින්ම සුබපැතීමට පියවර ගත්තේ එරික්ය. දැන් එහෙව් නිව්යෝකර් සඟරාවේ එළිදරව්වක් හේතුවෙන්ම එරික්ට ගෙදර යාමට සිදුවීම මෙහි ඇති උත්ප්‍රාසජනකම සිද්ධියයි. දැන් ඔහු මෙතෙක් හරඹ පෑ නීතියම ඔහුට එරෙහිව අවිගෙන සිටියි.

වසර 2013 වනවිට එරික් සිටියෙ මුල් විවාහයෙන් දික්කසාද වීය. ඔහුගේ අතුරු ප්‍රේම කතා පණ ගසා එන්නේ ඒ කාලයේ සිටය. මිෂෙල් මැනින් බැරිෂ්, ඔහුට හමුවන්නෙ ඔය  කියන කාලයේදීය. එරික් සමඟ සම්බන්ධය ආරම්භ කර සති හතරකට පසුව, ඔහු සමග යහන්ගත වීමට සූදානම් වූ අවස්ථාවේ මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීම මිෂෙල් (නිව්යෝර්ක්) වෙත විස්තර කර ඇත. “එරික් එකපාරටම මගේ කම්මුලට ගහගෙන ගහගෙන ගියා. අත දිග ඇරලා බොහොම තදින් මුහුණ හරහා පහර එල්ල කළා.” අනතුරුව ඔහු ඇය බිම පෙරළා හුස්ම හිරකර ඇත. ඔහු එය කළේ ලිංගික හැසිරීමේ අංගයක් ලෙස නොවෙයි..... “මම පහරදීම් වලට කැමැත්ත දුන්නේ නැහැ” යැයි මිෂෙල් පවසන්නීය. මිෂෙල් මැනින් බැරිෂ් සිය (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ, “මම ජීවිතයේ විඳපු අමාරුම මාසයෙන් පසුව මගේ හඬ අවදි කරන්න තීරණය කළා” යනුවෙනි. ඇගේ සමුගැනීමත් සමඟ තවත් පෙම්වතියන් ගණනාවක් ඔහුගෙ ජීවිතයට කිට්ටු වී තිබේ.

ටාන්යා සෙල්වරත්නම්ද එවැන්නියකි. ඇය ලේඛිකාවක් නිළියක්‌ මෙන්ම  අධ්‍යක්ෂවරියකි. සම්මානිත කලා නිර්මාණ බිහිකළ තැනැත්තියකි. එරික් සමඟ සම්බන්ධතාවක් පවත්වා ඇති ටාන්යා ද ඔහු හඳුනාගන්නා කාලයේ  දික්කසාදව සිට තිබේ. හදිසි හමුවකින්, කෙටි ඇසුරකින් දුරදිග ගිය ආලය වියරුවක් බව එළිවද්දී ඇය ඔහුගෙන් ඈත් වන්නට උත්සාහ දැරුවාය. නමුත් දෙදෙනා අතර සම්බන්ධය නතර කර දැමුවහොත්, ඇය පසුපස පැමිණෙන බවටත්, දුරකථන සංවාදවලට රහසේ සවන් දෙන බවට මෙන්ම ඇය මරාදමන බවටත් එරික් තර්ජනය කළ බව ටාන්යා පවසයි. නීතියේ ලොක්කා ඉදිරියේ තමන් මුළුමනින් අසරණ වූ බව ඇය කියා ඇත.

එරික් ලිංගික කටයුතුවල එක් අවස්ථාවකදී “දුඹුරු වහලිය ලෙස තමන් ඇමතූ බව ටාන්යා පවසන්නීය. එයාට (හාම්පුතා) කියල අමතන්න කියනවා. මම එහෙම කියනතෙක් ඔහු මගේ කම්මුලට ගහනවා” ඇය තවදුරටත් සඳහන් කර තිබුණි.
තමාගේ එකඟතාවකින් තොරව එරික් දිගින් දිගටම තමා ශාරීරික වධහිංසාවන්ට ලක් කළ බව ඔහුගේ තෙවැනි පෙම්වතිය පවසන්නීය. එරික්ගේ අනියම් හැසිරීමට එකඟ නොවන අවස්ථාවන්වල දී ඔහු බලය යොදාගනිමින් තමාට කම්මුල් පහර එල්ල කළ බව ප්‍රසිද්ධ නීතීඥවරියක වන හතරවෙනි පෙම්වතියද කියා තිබේ.

මේ අතර එරික්ගේ දික්කසාද වූ මුල් බිරිඳ පසුගිය සඳුදා ප්‍රකාශයක් කරමින් “ස්වාමිපුරුෂයකු, පියකු සහ යහළුවකු ලෙස මම අවුරුදු තිස් පහකට ආසන්න කාලයක් එරික් හඳුනනවා... ඔය කියන චෝදනා ඇත්තයි කියල මට නම් පිළිගන්න බැහැ” යනුවෙන් කීවාය.

එරික් සම්බන්ධයෙන් පළවෙමින් පැවති වාර්තා සැලකිල්ලට ගත් නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘ කුඕමෝ සිය පදවියෙන් ඉවත් වෙන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබුණි. “නිව්යෝර්ක්හි ප්‍රධාන නීති නිලධාරියාත් ඇතුළුව කිසිම පුද්ගලයෙක් නීතියට ඉහළින් නැහැ. එරික්ට තවදුරටත් නීතිපති ලෙස කටයුතු කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ” නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘ කුඕමෝ පවසයි.

තමාට එල්ල කෙරෙන චෝදනාවලට එරෙහිව “දැඩිව සටන් වදින” බවත් ඉල්ලා අස් වූ නීතිපතිවරයා පවසයි. “පෞද්ගලික සම්බන්ධතාවල දී මගේ භූමිකාව ඉටු කළා වගේම, ලිංගිකව එක් වුණේ ඔවුන්ගේ කැමැත්ත ඇතුව. මම කාටවත් පහර දී නැහැ. මම කිසි දිනක ඔවුන්ගේ අකමැත්තෙන් ලිංගිකව එක් වෙලා නැහැ. මම සීමා ඉර පැනලා නෑ.” එරික් ෂ්නයිඩර්මන් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයේ දැක්වෙයි.

“මේ චෝදනා මගේ වෘත්තීය ජීවිතයට සහ රැකියා ස්ථානයේ ක්‍රියාකාරකම්වලට බලපාන්නේ නැති වුවත්, මෙවැනි අර්බුදකාරී තත්වයක් මත රැකියාවේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම අපහසුයි” සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් නිව්යෝර්ක් නීතිපතිවරයාව සිටි එරික් සඳහන් කර තිබේ.

♦ සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00