2018 මැයි 12 වන සෙනසුරාදා

ෆාමසියේදී බොන්න දෙන ගබ්සා පෙති

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 15370

ගබ්සා කිරීම එහෙමත් නැත්තන් දරුවා උපන් ගෙයිම ඝාතනය කිරීම අපේ රටේ නීතියට අනුව අපරාධමය වරදකි. එසේ කිරීමට යම් හෝ සාධාරණයක් තිබේනම් එය අදාළ නොවන අතර නීතියට අනුව දඬුවම් පැමිණවිය යුතු වරදකි.

කෙසේ වෙතත් පහුගිය කාලය පුරාම මේ ගැන විවිධ කථිකාවත් රට පුරා ගොඩ නැගුණේ ගබ්සා කිරීම නීතිගත කළ යුතු බව කියාය. ඒ සඳහා වෛද්‍යවරු කණ්ඩායමක් යම් සර්ව සාධාරණ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළත් මහා සංඝරත්නය ඇතුළු පූජක පක්ෂය ඊට එරෙහි වූයේ අපේ වැනි රටකට මෙය අවශ්‍ය නොවන බවයි. මේ හරහා වල්බූරැ නිදහසක් ලැබෙන බවද පුජකවරු පැවසූහ.

එහෙත් වෛද්‍යවරු පැවසුවේ මෙය රජයේ රෝහල්වල පමණක් සිදුකිරීමට අවසර ලබාදෙන ලෙසත්, ඒ හරහා නීති විරෝධීව සිදුකරන ගබ්සා කිරීම් අවම විය හැකි බවත්ය. එහෙත් වැඩේ හරි ගියේ නැත. එම යෝජනාව විසිවී ගියේය. කෙසේ වෙතත් එය අද වනවිට එම යෝජනාව ක්‍රියාත්මක නොවුණත් තවමත්, මේ මොහොතේදීත් කොහේ හෝ තැනක දරුවකු ඝාතනය වනු ඇත. ඒ නීති විරෝධී ගබ්සා කිරීම් හරහාය.

කෙසේ වෙතත් මීට වසර කිහිපයකට පෙර ලංකාව තුළ නීති විරෝධී ගබ්සා, සිදුවුණේ විවිධ යකඩ උපකරණ ගර්භාෂය තුළට ඇතුළත් කර කළලය කඩා දැමීම මගිනි. මේ අවදානම නිසා අධික ලෙස රැධිර වහනය වීම මගින් මියගිය අය බොහෝය. කෙසේ වෙතත් එයට ස්ථාන සහ සුදුසු පරිසරයක් අවශ්‍ය නිසා මෙය ඉතා සංකීර්ණ කාර්යයක් විය. එහෙත් සිදුකරගෙන ගියේය.

කෙසේ වෙතත් එකී තත්ත්වයෙන් මිදී අද වනවිට ගබ්සා කිරීම ඖෂධ වර්ග හරහා සිදු කිරීම සිදුකරනු ලබයි. එනම් කුඩා පෙති තුනකින් හෝ හතරකින් සම්පූර්ණයෙන් දරැ ගැබ ඉවත් කිරීම සිදුකරනු ලබයි. කෙසේ වෙතත් මේ ජාවාරම සම්බන්ධයෙන් අප ඖෂධ ක්ෂේත්‍රයේ රැකියාවක් සිදුකරන අත්දැකීම් බහුල අයකුගෙන් මේ ගැන අසා සිටියෙමු. ඔහු නම ප්‍රසිද්ධ කිරීමට අකමැති වුණත් මේ ජාවාරමේ ඇතුල් පැත්ත අපට කීවේ මෙසේය.

සාමාන්‍යයෙන් ලංකාවට කිසිම ඖෂධයක් අවසරයකින් තොරව ආනයනය කරන්න බෑ. ගෙන්වනවා නම් ආයතන දෙකකින් අවසර ගන්න ඕනේ. එකක් සුවඳ විලවුන් ඖෂධ හා උපකරණ අධිකාරියේ අවසර ගන්න ඕන. නැත්නම් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ගන්න ඕන. එහෙම නැතුව ගෙන්නන්න බෑ. ගොඩක් අය ඒත් ගේනවා. ඔහු කීවේය. මෙහිදී එලෙස ගෙන්වන හැටිද අනාවරණය කළේය.

කිසිම සමාගමක් ඔය ගබ්සා පෙති ගෙන්නන්නේ නෑ. ගේන්නේ ඔය ෆාමසිවල අය රට ගියාම. මොකද මේක ලොකුවට හම්බකරන්න පුළුවන් වැඩක්. වැඩියෙන්ම ගෙන්නන්නේ ඉන්දියාවෙනුයි පාකිස්ථානෙනුයි. සාමාන්‍යයෙන් එහෙන් ගන්නේ එක පෙත්තක් රුපියල් 200ක වගේ ගාණකට. එහෙම ගෙනල්ලා මෙහේ විකුණන්නේ 1000කට වැඩියෙන්. සාමාන්‍යයෙන් පෙති 4 ක් දෙනවා රුපියල් 7500 ට විතර. සමහර ඒවා තියෙනවා 15000ටත්. ඉතිං මේක බිව්ව ගමන් සතියක් විතර ලේ පිටවෙන්නේ. මේවා මොනවද? කොහෙන්ද? ඇඟට හොඳද නැද්ද කියලා කවුරුත් බලන්නේ නෑ. ඔහේ බොනවා. බීලා ලේ යන එක නැවතුනේ නැත්තන් ජීවිතෙත් අනතුරේ යැයි ඔහු කීවේ කලකිරීමෙනි.

ඔය ගොඩක් ළමයි අඩු වයසින් අමාරැවේ වැටුණම කෙටිම පිළිතුර හැටියට හොයා ගන්නේ මේ පෙති. ඇයි කිසි ප්‍රශ්නයක් නෑ බොන එක විතරනේ. ගොඩක් අය මේක ෆාමසිවල විකුණන්නේ නෑ. කරන්නේ, තියාගන්නේ ගෙදර. කවුරු හරි ඇඳුරැම් කෙනෙක් එක්ක ආවොත් ඊට පස්සේ කරන්නෙ මෙයාලා ගෙදරට ගිහින් ගෙනත් දෙනවා. ඔය වැඩේ කොහේ හරි නගරයක ෆාමසියක වෙනවාමයි.

ඇයි ෆාමසි විතරක් අල්ලගන්නේ වෙන අයටත් විකුණන්න පුළුවන්නේ? මම ඔහුගෙන් ඇසුවෙමි.

නෑ වෙන අයට විකුණන්න බෑ. ඔයාට මොකක් හරි අසනීපයක් හැදුනම හන්දියේ කඩේ මුදලාලිගෙන් ගිහින් බෙහෙතක් දෙන්ම කියන්නේ නෑනේ. ඒත් ෆාමසියට ගිහින් ඉල්ලනවා. ඒ ෆාමසි එක ගැන විශ්වාසය තියෙන නිසා. අනික ඕක ටිකක් සීරියස් වැඩක් නිසා ෆාමසියක් නැතුවම බෑ. කොහොම වුණත් ඕවා විකුණන්නේ අපේම අය. ඔහු කීවේ හිනාවෙමිනි.

කෙසේ වෙතත් මෙම ඖෂධ පැමිණෙන්නේ ගුවන් තොටුපළ හරහාය. එය සාමාන්‍ය මගින් විසින් රැගෙන එන බව ඔහු කීවේය. එහෙත් සාමාන්‍ය මගීන්‍ට මේවා රුගෙන ආ හැකිද? මම ඔහුගෙන් විමසුවෙමි.

මෙහෙමනේ සාමාන්‍ය කෙනෙක්ට ගෙන්න බෑ .ගේන්නේ වැඩේ දන්න දන්න අඳුරන කට්‍ටිය. ලංකාවට එයාර් පෝර්ට් එක හරහා කුඩු එන එකේ මේව එනවද කියලා අහන්නත් දෙයක්ද? මේවා බෙහෙත්නේ. කොච්චර ටයි දාගත්‍ත මහත්වරු මේවා වලට උදව් කරනවද? ඔහු කිවේ සිනාසෙමිනි. කෙසේ වෙතත් ඔහු පවසන ආකාරයට මෙරටට විවිධ වර්ගයේ ගබ්සා පෙති ගෙන්වන බව ඔහු සඳහන් කළේය.

මෙහෙමයි ඔය පෙති මහා කර්මාන්තවල නෙමෙයි හදන්නේ. ඉන්දියාවේ වගේ නම් ගෙවල්වලත් බෙහෙත් හදනවා. ඔන්න ඔය තැන්වලින් තමයි මේව ගන්නේ. අරගෙන එනවා. කිසිම ප්‍රමිතියක් නෑ. හදපු දවසක් නෑ. මේවා නිසා පිළිකාකාරක ගර්භාෂයේ හැදෙන්න පුළුවන්. මේ දරුවෝ ඒවා තේරැම් ගන්නේ නෑ. ඔය පෙත්‍ත සමහර අය බොන්න දෙන්නේ දවස ගානේ ෆාමසියට එන්න කියලා. එහෙමයි සමහර අය මේක කරන්නේ. අපේ අය බොනවා යැයි කීය.

ඔහු කියන ආකාරය මෙය ඇතැම් පිරිස් මහා පරිමාණයෙන් කරති. ඒ විශාල ආදායමක් මේ හරහා ලැබෙන නිසාය. එහෙත් ඒ කිසි දෙයක් නීතියට අනුව සිදුකරන දේවල් නොවන නිසා බොහෝ දෙනාගේ ජීවිතේ ඇත්තේ අනතුරකය. මෑතකද එවැනි බෙහෙත් වර්ග අත්අඩංගුවට ගෙන තිබුණි. කෙසේ වෙතත් මේ දේවල්වල අවසානයක් දැකිය නොහැක. සමාජය පුළුල් වන්නට පුළුල් වන්නට මෙවැනි අපරාධ විශාල වශයෙන් වෙති. එය වැටලීම්වලින් පමණක් නැවතිය නොහැක. කළ හැක්කේ හැඟීම්වලදී බුද්ධියෙන් කටයුතු කිරීම පමණි.

 අසංක කළුබෝවිල

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00