2018 මැයි 12 වන සෙනසුරාදා

සල්ලි මවන භූතයෝ

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 182

නියත දහමට අවනතව ආවොතින් යා යුතුය. එහෙත් එන්නේ කොහි සිටද මෙන්ම යන්නේ කොතැනකටදැයි කියන්නටද අපි නොදන්නෙමු. අප දන්නා එකම දෙය නම් අප මේ භවකතර පුරා සැරිසරණ බව පමණකි. මරණයෙන් ඉනික්බිති මනුෂ්‍ය භවයක නොඉපදී යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ භවයන්ගේ සැරිසරණ බව කියන ආත්ම ගැන ඔවුන්ගේ හැසිරීම් ගැන සාධක සාක්ෂි සහිතව සති ගණනක් මුළුල්ලේ අපි හිඹුටානේ සාදු සමඟ කතා කළෙමු.

ඉතා සංවේදී දුරකථන ඇමතුම් රැසකට ඉකුත් සතියේ අපි කන්දුන්නෙමු. ජීවිතයේ නානාධිධ ගැටලු ඉදිරිපත් කරමින් ඒ කතා කළ හැම කෙනෙක්ම විමසා සිටියේ හිඹුටානේ සාදු වෙතින් ඔවුන්ට පිළිසරණක් ලබාගත හැකිද යන කාරණය පිළිබඳවයි. පැමිණ පුද්ගලයාගේ නම පැමිණි ප්‍රදේශය හෝ කාරණය කියමින් කෙවිටක් දිගු කර පත්තිනි දේවාලය තුළට අඬ ගසා හිඹුටානේ සාදු තමන් පත්තිනි මෑණියන්ගෙන් ලද වරම ජීවිතයේ නානාවිධ ගැටලු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සුබසිද්ධිය උදාකරලීමේ පරමාර්ථය පෙරදැරිව ඔවුන් විෂයෙහි ඉතා අවංක සහ මානුෂීය ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නට යොදාගන්නා බව අපි මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත් හෙයින්ම හිඹුටානේ සාදු පත්තිනි වරමින් ලද විස්මිත හැකියාව ගැන අපි ඔබට සති ගණනක් මුළුල්ලේ සත්‍ය සිද්ධීන් ඇසුරෙන්ම කරැණු පැහැදුවෙමු.

මිනීමැරුම්, සොරකම් ගැන අසන්නට ගියවිට ඝාතකයන්ගේ සොරුන්ගේ දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක මෙන්ම ඔවුන් සැඟවී සිටින හෝ සොරකමකදී නම් හොරකම් කළ භාණ්ඩවලට සිදුවූ දේ මෙන්ම කොඩිවිනයකදී නම් කොඩිවිනය සිදුකළ තැනැත්තන්ගේ නම් ගම් ඊට උදවු දුන් අයගේ නම් ගම් ද රෝගයක් නම් ඒ රෝගය ගැන මෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වෛද්‍යවරයාගේ නම ද පවුල් බිඳී යන අවස්ථාවලදී හේතුව සාධාරණ නම් වශී බන්ධන ද නොගැලපෙන පසුවට අයහපත උදාකරන ප්‍රේම සබඳතා කඩාබිඳ දැමීම ද ඉඩකඩම්, නඩුහබ මෙන්ම විභාග ජය ආදියට ද අවශ්‍ය සියලු පුද පූජා පිළිවෙත් කරන පත්තිනි මෑණියන් හෝ වරම් ලද හිඹුටානේ සාදු ගැන 2018 ජනවාරි මස මුල් සතියේ සිට අප ලියූ ලිපි දේශය ඒ කලාප ඔස්සේ ද www.deshaya.lk අපේ වෙබ් අඩවිය ඔස්සේ ද යළි ඔබට කියවිය හැක.

මළගිය ඥාතීන් හොඳ භවයන්හි ඉපදිලා උදව් කරන අය ඉන්නවා. සමහරු දෙවියන් ළඟ දේවාත්ම ලැබ ඉපදෙනවා. සමහරැ යක්ෂයන් ප්‍රේතයන් භූතයන් වී ඉපදෙනවා. යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ භවවල ඉපදුණොත් ඒ අය යහපතක් කරන්න උත්සාහ කරන්නේ නෑ. දුක් පීඩා කරදරමයි දෙන්නේ. සමහරැ මැරිලා ගෙවලයන් වෙලා උපදිනවා. ගෙවලයන් කියන්නෙත් ප්‍රේතයන්ටම තමයි. බොහෝවිට ඉඩම් තණ්හාවෙන් මැරැණ අය ගෙවලයෝ වෙලා උපදිනවා. ගෙවලයන් එලවන්න හරි අමාරුයි. අනිත් එක උන් බොරුමයි කියන්නේ. එලවන්න මොනතරම් උත්සාහ ගත්තත් බොරැ කියමින් නොයා ඉන්නමයි උත්සාහ කරන්නේ. පින් ඕනෑ කියනවා. ඒත් දුන්නම ගන්නෙ නෑ. ගල් ගහනවා. වැලි දානවා. ඒ වගේම පෙළක් ගෙවලයෝ හිතාගන්න බැරි විදිහේ උදව් කරනවා.

මගේ ළඟට ගෙවලයෙක් එලවන්න ආව කෙනෙක් ගැන ඇත්ත කතාවක් මම කියන්නම්. පන්නිපිටිය පැත්තේ හිටිය මේ මනුස්සයා ජීවත් වුණේ ත්‍රීවීල් එකකින් හයර් දුවලා. මේ මනුස්සයාගේ ගෙදර කෙනෙක් මියගිහින් ගෙවලයෙක් වෙලා ඉපදුණා. මේ ගෙවලයන්ට පුළුවන්කමක් තියෙනවා වෙන තැනක තියෙනා සල්ලි රත්තරන් වැනි දේවල් ඒ තැනින් අරගෙන අර තමන් උදව් කරන ඥාතියාගේ කොට්ටය යටින් හෝ එයාට ගන්න පුළුවන් තැනකින් තියන්න. මේ පන්නිපිටියේ ත්‍රීවීල් එලවපු කෙනාටත් මේ ගෙවලයා මේ විදිහට උදව් කරන්න පටන්ගෙන. හෙට අනිද්දට මම ලක්ෂ ගණනක මුදලක් කොට්ටය යටින් තියනවා කියලා ඒ කීව දවසට ඒ මුදල තියනවා. මල් වට්ටිය යට රත්තරන් ඇති බලපන් කියලා ඒ බලද්දි රත්තරන් තියෙනවා. අවසානයේදී ත්‍රීවීල් එකක් එලව එලවා හිටපු මේ මනුස්සයා කෝටිපතියෙක් වුණා. ගෙවලයන්ට කළ හැකි වැඩ හුඟක් තියෙනවා. හැබැයි උන් මේ සියල්ල කරන්නෙ මේ ගැන කාටවත් කියන්න එපා කියන පොරොන්දුව පිට. එහෙම එපා කියද්දි කීවොත් සමහරවිට ඒ කෙනා මැරෙන්නත් පුළුවන්. නැත්නම් සමහර ගෙවලයෝ පොරොන්දු කඩකළාම පිස්සු වට්ටනවා. උඩ යවනවා. අනිත් එක ගෙවලයන්ගේ ක්‍රමය තමා මේ විදිහට සල්ලි රත්තරන් වගේ දේවල් දීලා දීලා අන්තිමට නර බිල්ලක් ඉල්ලනවා. ඒ ඉල්ලන නර බිල්ල නුදුන්නොත් තත්ත්වය හරිම දරුණුයි. අර පන්නිපිටිය ත්‍රීවීල් එකක් එලවලා ගෙවලයා නිසා කෝටිපතියා වුණ කෙනාගෙනුත් අර ගෙවලයා අන්තිමේදී නර බිල්ලක් ඉල්ලුවා. තොවිල් කරලා කරලා සෑහෙන මහන්සියක් අරගෙන තමයි ඒ ගෙවලයාව මම එලෙව්වේ. හැබැයි ගෙවලයා ඒ යන්නේ අර මිනිහව ආයෙත් අන්තෙටම පිරිහෙන තැනට වැඩකටයුතු සලස්වලා. අර කෝටිපතියටත් වුණේ ඒ දේ. ඔහු අවසානයේදී ආයෙත් ත්‍රීවීලරයටම බැස්සා.

ගෙවලයෝ ගෙයක අරක් ගත්තම ඒ බව දැනගන්න පුළුවන් ක්‍රම තියෙනවද?

ඔව්. කොච්චර අස්කළත් ගෙවල් හැඩිවෙනවා. අමුතු ගඳක් එනවා. හුඟාක් අය ඔය ප්‍රේත ගඳ කියන්නේ අන්න ඒ ගඳට. අපේ ඇඟට වුණත් හොඳ භවයක ඉන්න කෙනෙක් එද්දි වගේ නෙවෙයි යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයන් එද්දි හරි දැවිල්ලයි. සමහර මලගිය අය හීනෙන් ඇවිත් ඉදිරියේදී වෙන්න තියෙන දුක් කරදර ගැන කියනවා. ඉඟි ලබා දෙනවා. ඒ අය පෙනුණදාට පහුවදාට සමහරුන්ට කරදරයි.

මගේ ළඟට ආව තවත් කෙනෙක් ගැන කතාවක් මම කියන්නම්. ඒ මනුස්සයාගේ තාත්තා මැරුණා. තාත්තගේ මරණයෙන් ටික දවසකට පස්සේ මෙයා තාත්තා නිදාගත්ත ඇඳ එයාගේ ගෙදරට අරන් ගියා. එදා රෑ තාත්තගේ ඇඳේ ඇලවෙලා හිටියා. පහුවදා වෙද්දි මේ පුතාට තාත්තා වැහිලා. මේ මැරැණ තාත්තත් හොඳ කට්ටඩියෙක්. තාත්තව එලවන්න පුතා කට්ටඩි ගෙනත් මොනතරම් කට්ටඩිකම් කළත් ඒ එකක්වත් හරිගියේ නෑ. යවන්නම අමාරු වුණා. අවසානයේදී මේ අය මාව හොයාගෙන ආවම මම ගියා. මම ගෙදරට ගියා විතරයි අනේ භද්‍රකාලි මෑණියනි කියලා මේ මළයකා මගේ කකුල් දෙක ළඟ වැටුණා. මම තාවකාලිකව මේ මළයකා මර්දනය කරගෙන ඇඟට ඇප නූලක් දාලා මගේ ඇඟට අරන් කතා කළා.

අන්තිමේදී මළයකා එළවලා දැම්මා. යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයෝ ගෙදර ඉද්දි මල් පහන් පූජා කරන්න දෙන්නෙ නෑ. කෙනෙක් දිගටම ඒවා කරගෙන ආවත් ඒවා කොහොම හරි නතර කරන්න උත්සාහ කරනවා. පිරිත් ඇහෙද්දි මේ යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයන්ගේ ඇඟවල් පිච්චෙනවා වගේ වෙනවා. ටික කාලයක් මල් පහන් පූජා කරද්දි ඒක එපාවෙනවා නම් ඒවා කරන්න හිත් නොදෙනව නම් එහෙම වෙන්නේ මේ යක්ෂ ප්‍රේත භූත බලපෑම් නිසා.

යක්ෂ ප්‍රේත භූත බලපෑම් නිසා මෙන්ම විවිධ මානසික රෝග සහ මානසික වෙනස්වීම් නිසාද ඇතැම්විට මෙවැනි තත්ත්ව ඇතිවිය හැකියි. එහෙයින් කෙනෙකු තුළ ඇතිවන භෞතික හෝ මානසික විපර්යාසයකදී ඒ කරැණු කාරණා ගැනද සියුම් ලෙස විමසා බැලිය යුතුව ඇත.

 සංජීවිකා සමරතුංග
සේයාරූ / චන්න කස්සප කෝරලේ ආරච්චි

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00