2018 මැයි 12 වන සෙනසුරාදා

ජිවන බරට එරෙහිව ඒකාබද්ධය - ජවිපෙ රට වටේ

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 198

♦ ලක්ෂ්මන් යාපාගේ මඟුල් ගෙදර මෛත්‍රී ගෝඨා නැකැත් දෙකකට අත්සන් කරති  
♦ 2020 විශ්‍රාම නොයන ජනපතිට මහින්දගෙන් ටිල්වින්ගෙන් සැර උත්තර  
♦ ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගෙන තනතුර බේරාගනී  
♦ ගාමිණී සෙනරත් වෙනුවෙන් ජනපතිට මහින්ද පිළිතුරු දෙයි 
 හැම ගමේම සිරිකොතක් හදන්න රනිල්ගෙන් යෝජනා

 

 

 

 

මැයි මස 1 දිනට යෙදී තිබුණු මැයි දිනය වෙසක් පොහොය නිසා දින 7 ක් පමණ ප්‍රමාදකොට එම සැමරුම මැයි 06 දා සහ 07 දා දිවයිනේ ස්ථාන ගණනාවකදී පවත්වනු ලැබීය. මැයි දිනයේ වාර්තා වූ කතා සහ පුවත් අතරින් වඩාත්ම සමාජ අවධානය දිනූ පුවත බවට පත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මඩකලපුවේදී කරන ලද ප්‍රකාශයකි. මෙතෙක් කල් තමන්ගේ දේශපාලන අනාගතය ගැන පැහැදිලි යමක් ප්‍රසිද්ධියේ නොකීමට ජනාධිපතිවරයා පරෙස්සම් විය. පසුගියදා බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය (BBC) විසින් තමන් නැවතත් ජනාධිපතිවරණයකට එන්නේදැයි විමසූ කල නැවතත් ඔය ප්‍රශ්නය මගෙන් අහන්න එපා යැයි කියමින් තමන් ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් නොවන බවට ඉඟිකළ ජනාධිපතිවරයා මඩකලපු මැයි දින රැලියේදී ප්‍රකාශ කළේ 2020 දී තමන් දේශපාලනයෙන් විශ්‍රාම යාමට අදහස් නොකරන බවයි. තවමත් අවසන් නොවූ කළ යුතු කාර්යයන් රැසක් ඇති බැවින් විශ්‍රාම යාමට අදහස් නොකරන බවත් ඉටුකළ යුතු ගොඩක් වැඩ ඇති බවත් රටට අලුත් වැඩපිළිවෙළක් අවශ්‍ය නිසා එය නිර්මාණය කළ යුතු බවත් පැවසීය. එසේම මෙම රැලියේදී ජනාධිපතිවරයා 2020 ගැන තවදුරටත් සඳහන් කළේ “සමහරු සිහින මවනවා 2020 දී අලුත් ආණ්ඩු හදන්න... අපේ ආණ්ඩුවෙත් සමහරු 2020 ගැන කතා කරනව. හිටපු අයටයි ඉන්න අයටයි සේරොටෝම මම කියන්නෙ අවංක දේශපාලනයක් වෙනුවෙන් සුදුසු අය සමඟ එකතුවන්න කියලයි”.. යනුවෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රථම වරට ඈත දුර මඩකලපු චෙංකල්ලඩියේ පවත්වන ලද රුස්වීමට සෑහෙන ජන සහභාගිත්වයක් තිබුණි. කොළඹින් ගිය විශේෂ දුම්රියකින් පාක්ෂිකයෝද එහි ගොස් සිටියහ. මහින්ද අමරවීර, නිමල් සිරිපාල, දුමින්ද දිසානායක ආදී ජ්‍යෙෂ්ඨයන් සමඟ පළාත් මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා එම රැලිය සංවිධානය කළේය. පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් 16 දෙනා නියෝජනය කරමින් කිහිපදෙනෙක් එම අවස්ථාවට එක්ව සිටියහ. එස්.බී. දිසානායක මහතා ජනාධිපතිවරයාට බුලත් දී පිළිගන්නා කණ්ඩායමටද ඇතුළත්ව සිටියේය. ඔහු සමඟ වේදිකාවට පිවිසියේ මොණරාගල සුමේධා ජයසේන මන්ත්‍රීවරියයි. දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල යන මහත්වරුන් රැස්වීම් භූමියේ සිටියද ඔවුන් වේදිකාවට ගොඩවූයේ නැත. ඒ ගැන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළ විට කියා තිබුණේ එදින හැන්දෑවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ මංගල උත්සවයට සහභාගිවීම සඳහා යාමට ඇති බැවින් වේදිකාවට ගොඩනොවූ බවයි.

කෙසේ හෝ 2020 දී තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊට ස්වල්ප වේලාවකට පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රතිචාර දැක්වූහ. ගාල්ලේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) රැලියේදී මේ ගැන අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා, මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවැනි ප්‍රකාශ කරන්නේ තමන් ළඟ සිටින මැති ඇමැති පිරිස රැකගැනීමේ අරමුණින් යැයි පැවසීය. මේ රජය දැන් බඩගාන ආණ්ඩුවක්යැයිද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපතිවරයාගේ 2020 කතාවට ඊළඟට උත්තර දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාය. ඔහු කීවේ ජනාධිපතිවරයා 2020 විශ්‍රාම නොයන්නේ තවදුරටත් රටට සේවය කරන්න කියා වුවත් තම පක්ෂය කියන්නේ ඔහුගේ සේවය තවදුරටත් රටට අවශ්‍ය නොවන බවයැයි කීය. මෛත්‍රීපාල සිරිසේන මහතා කලින් කුමන පොරොන්දු දුන්නත් ඔහු ක්‍රියා කරන්නේ බලයට කෑදර ලෙස යැයිද ටිල්වින් සිල්වා තවදුරටත් කීය. විධායක ජනාධිපති පුටුවේ කවුරුන් වාඩිවුණත් එහි ඇලී ගැලී සිටිනවා මිස යන්නේ නැතැයිද ජ.වි.පෙ. ලේකම්වරයා ප්‍රකාශ කළේය. ඒ නිසා මෙම ජනාධිපති ක්‍රමය රටට මරුපහරක් යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරුවේ මැයි 06 දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය සංවිධානය කර තිබිණි. එහෙත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම මෙම රැලියට සහභාගි නොවීම කැපීපෙනුණි. පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතාගේ කනේ හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු ලංකා හොස්පිට්ල්හි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටියේය. එසේ වුවද රවි කරුණානායක, සාගල රත්නායක, මලික් සමරවික්‍රම, එඩ්වඩ් ගුණසේකර, රංගේ බණ්ඩාර, දයා ගමගේ, සුජීව සේනසිංහ, රන්ජන් රාමනායක, අශෝක අබේසිංහ ආදී මැති ඇමැතින් 17 දෙනකු පමණ රැලියට පැමිණ සිටියේ නැත. මැයි රැලිය දිනයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු යැයි මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළාය. එසේම මාධ්‍ය සාකච්ඡාවක් ලබාදුන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියා තිබුණේ 2020 ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් තමන්ද ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට තරග කරන වගයි.

එ.ජා.ප. පසුපෙළ හා සමහර ජ්‍යෙෂ්ඨයන් මේ ආකාරයෙන් හැසිරුණද නව මහලේකම් අකිල විරාජ් කාරියවසම් හා සෙසු ජ්‍යෙෂ්ඨයන් එක්ව සුගතදාස ක්‍රීඩාංගණයේ රැලිය සාර්ථක කරගන්නට උපරිම උත්සාහයෙන් ක්‍රියා කළෝය. මෙහිදී සජිත් ප්‍රේමදාස සහ නවීන් දිසානායක යන අමාත්‍යවරුන් පක්ෂයේ අනාගතය අළලා කරන ලද කතාවලට හොඳ පාක්ෂික ප්‍රතිචාරයක් හිමිවිය. එහෙත් ආන්දෝලනාත්මක කතාවක් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගේ කතාව ගැන පසුව ආන්දෝලනාත්මක අදහස් පළවිය. 2015 වසරේදී තමන්ලා වැරදි පුද්ගලයකු ජනාධිපති පදවියට තෝරාගත් බව කියමින් සරත් ෆොන්සේකා මහතා තම කතාවේදී ජනාධිපතිවරයා දැඩිව විවේචනය කළේය. මහලේකම් අකිල විරාජ් කීවේ 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා තමන් උපරිම ලෙස කැපවී පක්ෂය සංවිධානය කරන වගයි. වෘත්තිය සමිති අංශ ප්‍රධානී අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා කීවේ 2020 දක්වා මේ රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය කියායි. එළඹෙන ජනාධිපතිවරණයට එ.ජා.පය නැවතත් පොදු අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන වග පැවසූ හෙතෙම එ.ජා.පයේම සුදුසු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ යැයිද සඳහන් කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව ඇමතුවේ අනතුරුවය. අගමැතිවරයාගේ කතාවේදී ඔහු සඳහන් කළේ පක්ෂය ශක්තිමත් කරමින් හැම ගමේම පුංචි සිරිකොතක් බිහිකරන්නට අදහස් කරන වගය. පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කොට ඉදිරි වර්ෂ 20 පුරාම බලයේ සිටිය හැකි ලෙස ආණ්ඩුවක් පිහිටුවන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව සිය මැයි දිනය සැමරුවේ ගාල්ලේ සමනළ ක්‍රීඩාංගණයේදීය. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පොහොට්ටුව මැයි රැලියට පක්ෂයේ ප්‍රධානීන් සියල්ලන්ම පාහේ පැමිණ සිටියද අසනීපයෙන් පසුවන ඩලස් අලහප්පෙරුම හා මංගල උත්සවයක් නිසා බන්දුල ගුණවර්ධන එක්ව සිටියේ නැත.

පොහොට්ටුව සංවිධානය කළ මැයි දින පෙළපාළිය මහමෝදර සිට සමනළ පාලම දක්වා පැමිණියේය. සවස 5.30ට පමණ මහින්ද රාජපක්ෂ මහතා සභාවට පැමිණියේය. පොහොට්ටුව වේදිකාවේ සිදුකළ කතාබහ අතරින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ කතාව කාගේත් දැඩි අවධානයට ලක්වූ අතර සමන් ඒකනායක කවියා මේ රජය ගැන ඉදිරිපත් කළ කවිපෙළටද මහත් ජනතා ප්‍රතිචාරයක් ලැබිණි. මහින්ද රාජපක්ෂ මහතා සභාව අමතමින් සඳහන් කළේ මේ රජය ජනතාවට අසීමිත ලෙස බදු බර පටවමින් මූල්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරන බවයි. “රටේ පින්පෙට්ටිවලට සීල් තියනවා, පන්සල් ශ්‍රේණිගත කරන්න යනවා. ඒවායින් බදු ගන්නයි හදන්නේ. එච්චරද? ජනතාවට අයිති ඉඩකඩම් දේපොළ හිටු කියලා පිටරටවලට විකුණනවා. රනිල් - සිරිසේන වෙනස දැන් තුන්ලෝකෙටම පේනවා...” යැයි කී මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ජනාධිපති මෛත්‍රීපාලගේ කාර්යමණ්ඩල ප්‍රධානියා අල්ලස් මුදල් ගනිද්දී අත්අඩංගුවට ගත් පසු තමන්ගේ කාලයේ සිටි කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ද එලෙසම සිරගත කළ අයෙක් බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කීවේ තමන්ගේ කාර්යමණ්ඩල ප්‍රධානියා අල්ලස් මුදල් ගණන් කරද්දී පොලීසියට හසුනොවූ බවයි. ඔහුට දේශපාලන හේතු මත නඩු පවරා රිමාන්ඩ් කළ බවත් එම නඩුවට කිසිම පදනමක් නැති බව නඩු තීන්දුවේම සඳහන් කර ඇති බවක් රාජපක්ෂ මහතා කීය. එබැවින් මේ අල්ලස් ගැනීම හා එම සිදුවීම කිසිසේත්ම සමාන නැතැයි ද කීය.

ගාල්ලේ මැයි දින රැලියෙන් පසු මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියල්ලන්ම දෙනියායේ සිය නැගණිය විසූ නිවසට පැමිණියේ එහි පැවති පිරිත් පින්කමකට සහභාගි වන්නටයි.
ජනතා විමුක්ති පෙරමුණ මැයි දිනය සමරනු ලැබුවේ කොළඹ බී.ආර්.සී. පිටියේදීය. අලංකාර වේදිකාවක සෑහෙන පක්ෂ කාඩර්වරුන් පිරිසකගේ දායකත්වය ඇතිව ජ.වි.පෙ. විසින් සමරන ලද මැයි දිනයේදී අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඉදිරි මැතිවරණ ගැන සිය මතය පළ කළේය. “එ.ජා.පයේ සමහරු හිතනවා රනිල් වෙනුවට සජිත් හොඳයි කියලා. සමහරු කියනවා මහින්දට බැරි නම් ගෝඨාභය ගෙනාවත් රටට නම් මුකුත් වෙන්නේ නැහැ කියලා. ගිය ආණ්ඩුවේ දූෂණ වංචා නිසා ඔවුන් ජනතාව විසින් ගෙදර යැව්වා. දැන් මේ රජයේ හොරමුල හොඳට වැඩේ කරනවා. ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියත් අල්ලස් ගන්නකොට අතේ මාට්ටු වෙනවා. අද මේ රට මොන තරම් විනාශයට පත්වෙලාද? අනුර දිසානායක ජ.වි.පෙ. නායකයාට අමතරව ලාල් කාන්ත සහ ටිල්වින් සිල්වා පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ද කතා කළහ.

පසුගිය සඳුදා සවස හිටපු රාජ්‍ය අමාත්‍ය සහ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ හිටපු කනිටු පුත්‍රයා වන නිබසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහය සිදුවිය. ඒ සඳහා වූ මංගල උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. මේ විවාහ මංගල උත්සවයේදී මනාල යුවල වෙනුවෙන් සාක්ෂියට අත්සන් කිරීම සඳහා ඇරයුම් ලබා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. මෙදින මැයි දින රැලි ගණනාවක් ඈත පළාත්වල යෙදී තිබුණු නිසා බොහෝ මැති ඇමැතිහු කාර්යබහුල වී සිටියහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාන්තන්තුඩියේ පැවති ශ්‍රී.ල.නි.ප මැයි රැලියට සහභාගී වී රාත්‍රී 7.07ට යෙදී තිබුණු මංගල්‍යයේ සාක්ෂියට අත්සන් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා හෙළිකොප්ටරයෙන් කොළඹ බලා එන්නට හැදුව ද අධික වැසි තත්ත්වය නිසා ගුවන් නියමුවෝ හෙළිකොප්ටර ගමන අවලංගු කළහ. ඒ නිසා වහාම මඩකලපු ගුවන් තොටුපොළට කුඩා ගුවන් හමුදා යානයක් ගෙන්වාගෙන එම යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළට පැමිණීමට ජනාධිපතිවරයා සැලසුම් කළේ හදිසියේමය. නැවත නිල නිවසට ගොස් සූදානම් වී පැමිණීමට කාලයක් නොතිබූ නිසා තමන්ගේ ඇඳුම් රත්මලාන ගුවන් තොටුපොළටම ගෙන්වාගෙන එහිදී සැරසී ෂැංග්‍රිලා හෝටලයට පැමිණියේය. ඒ වන විට මංගල්‍යයට අත්සන් කිරීමේ නැකැත පමාවී තිබිණි. සුබ නැකැතට අත්සන් කළේ එහි සිටි අනෙක් සාක්ෂිකරු වන ගෝඨාභය මහතා පමණි. ඔහු අත්සන් කොට දෙනියායේ සිය නැගණියගේ නිවසට පිටත්ව ගොස් ටික වේලාවකින් ජනාධිපතිවරයා පැමිණියේය. ඔහුට දෙවැනි වර අත්සන් කිරීමට අමාත්‍ය ලක්ෂ්මන් යාපා විසින් වෙනම නැකැතක් සකස් කරවාගෙන තිබිණි. ඒ අනුව ඉතා කලාතුරකින් සිදුවන පරිදි එම විවාහයේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා සාක්ෂියට අත්සන් කළේ නැකැත් දෙකකටය.

මංගල්‍ය සඳහා රජය නියෝජනය කළ වජිර අබේවර්ධන, රන්ජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ යුවල, ගයන්ත කරුණාතිලක ඇතුළු මැති ඇමැතින් ගණනාවක් පැමිණ සිටි අතර ශ්‍රී.ල.නි.පයේ 16 දෙනාගේ කණ්ඩායමේ ටී.බී. ඒකනායක මහතා හැර අන් සියල්ලන්ම වේලාසනින්ම පැමිණ සිටියෝය. ජෝන්, සුනිල්, අනුර යාපා, දයාසිරි, ඩිලාන් ආදීන් මඟුල් ගෙදරදීත් කතා කළේ තමන් ඉදිරියේදී කරන්නට යන දේශපාලන කටයුතු ගැනයි. සුසිල් ප්‍රේමජයන්ත අනාගතයේදී හොඳ හෙළිදරව්වක් කරන්නට තරම් විස්තර තමන් සතු යැයි පවසා ඉක්මනින් නීතිඥ වෘත්තියට පිවිසෙන බව ප්‍රකාශ කළේය. ජෝන් සෙනවිරත්න, අනුර යාපා ආදීන් කීවේ පොහොට්ටුව කණ්ඩායම සමඟ සුහදව තම ඉදිරි ගමන යාමට සැලසුම් කරන වගයි. දයාසිරි, ඩිලාන්, එස්.බී. ආදීන් ආණ්ඩුවෙන් එළියට බහින්නට වූ හේතු හා පක්ෂ ලේකම්වරුන්ගේ ක්‍රියාකලාපය ගැන දැඩි විවේචනාත්මක අදහස් දැක්වීමක් කළෝය.

පසුගිය එ.ජා.ප. මැයි රැලියේදීත් ඉන්පසු වරක් දෙවරක් ප්‍රසිද්ධියේත් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාව විවේචනය කළේය. ඔහු මැයි දින වේදිකාවේදී ජනාධිපතිවරයාව විවේචනය කරමින් සඳහන් කළේ 2015 දී වැරදි පුද්ගලයකු රටේ නායකත්වයට පත් කළ බවයි. මින් පසු එ.ජා.පය පොදු අපේක්ෂකයන් පසුපස නොගොස් එ.ජා.පයේ අයකුම ඡන්දයට ඉදිරිපත් කළ යුතු යැයි සරත් ෆොන්සේකා මහතා කීය. වැරදි පුද්ගලයකු ජනාධිපති ධූරයට තෝරාගැනීම නිසා එ.ජා.පය මෙන්ම රටද මේ තත්ත්වයට පත්ව ඇතැයි ෆොන්සේකා චෝදනා නැගීය. ෆොන්සේකාගේ මෙම ප්‍රකාශය ගැන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට මුලින්ම පැමිණිලි කළේ එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් ගණනාවකි. ඒ අනුව ෆොන්සේකා මහතා අරලියගහ මන්දිරයට කැඳවූ අග්‍රාමාත්‍යවරයා මේ ගැන ප්‍රශ්න කළේය. එසේම ෆොන්සේකා මෙම ප්‍රකාශය ගැන ජනාධිපතිතුමාගෙන් සමාව ගත යුතු බව අග්‍රාමාත්‍යවරයාගේ මතය වී තිබිණි. එසේ නොකළොත් තනතුරට ප්‍රශ්නයක් විය හැකි බවද කීය. ඒ අතර ශ්‍රී.ල.නි.ප මහලේකම් දුමින්ද දිසානායක මහතා ද මේ ප්‍රකාශය ගැන එ.ජා.පයට සිය විරෝධය දැක්වූ බව වාර්තා විය. ජනාධිපතිවරයා ද ෆොන්සේකාගේ ප්‍රකාශය ගැන දැඩි නොසතුට සිය සමීපතමයන් සමඟ ප්‍රකාශ කර ඇතැයි කියැවිණි. 

මේ නිසා සෑම අතින්ම ෆොන්සේකාට අදාළ ප්‍රකාශය ගැන ජනාධිපතිගෙන් සමාව ගන්නා ලෙස බලපෑම් එල්ල විය. ඒ අනුව ගිය බදාදා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක් සමඟ ජනාධිපතිවරයාගේ කාර්යාලයට ගොස් තමන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ සමඟ දුරදිග යන්නට තිබූ ප්‍රශ්නයක් හමාර වූ බව සඳහන්ය. එහෙත් සරත් ෆොන්සේකා මහතා පසුව මාධ්‍යයට කීවේ තමන් ජනපති හමුවී කතාකළත් සමාව ඉල්ලුවේ නැති බවය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සභා වාරය චාරිත්‍රානුකූලව ආරම්භ කිරීම සඳහා මැතිසබයට පැමිණියේ ගිය අඟහරුවාදා සවසය. එදින මැතිසබයේ සාමාන්‍ය රැස්වීමක් නොපැවතියත් ආණ්ඩුවෙන් ඉවත්වන හිටපු අමාත්‍යවරුන් ඇතුළු 16 දෙනා විපක්ෂයට එක්වීමට නියමිතව තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා සභාවට පැමිණීමට පෙර මන්ත්‍රීන් කැඳවන සීනුව නාද වෙද්දී ආණ්ඩු පක්ෂය දෙසින් මැතිසබයට ඇතුළු වූ මන්ත්‍රීන් 16 දෙනා විපක්ෂයේ අසුන් වෙත ගමන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන්ගේ අත්පොළසන් නාදය මධ්‍යයේය. අනතුරුව ජනාධිපතිවරයා සභාගැබට පැමිණ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේය. පසුගිය වසර තුනේ රජය තුළ කී කටයුතු විග්‍රහ කළ ජනාධිපතිවරයා ආණ්ඩුවේ අනාගත අරමුණ ගැන ද ඉඟි පළ කළේය.

සතියේ අමාත්‍ය මණ්ඩල හමුව මෙවර පැවැත්වුණේ බදාදාය. එදින සාකච්ඡා වූ ප්‍රධාන මාතෘකා ගණනාවකි. ඉන් පළමුවැන්න වූයේ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම සඳහා වන යෝජනාවයි. එම යෝජනාව ආරම්භයේදීම සම්මත කැරිණි. අනතුරුව ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දී තෙල් මිල ඉහළ දැමීම සඳහා වන යෝජනාව සලකා බැලිණි. එයට රාජිත සේනාරත්න ඇතුළු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතින්ගේ සහය පළ විය. අනතුරැව නිශ්චිත තෙල් මිල ගණන් තීන්දු කිරීමට බදාදා රාත්‍රී 8.30 විශේෂ අමාත්‍ය හා නිලධාරී හමුවක් පවත්වන්නට තීන්දු කැරිණි. එයින් පසු නව තෙල් මිල ගණන් ගැන අන්තිම තීරණය ගත්තේය. 

නව තෙල් මිල ගණන් ප්‍රකාශ වන්නටත් පෙර ඒකාබද්ධ විපක්ෂය ජීවන බරට එරෙහි උද්ඝෝෂණයකට සැරසෙමින් සිටියේය. මේ ගැන කළ විශේෂ සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ මහ බැංකු වංචාවෙන් ගසාකන ලද මුදල ජනතාව පිට පැටවීමට රජය අසීමිතව තෙල් මිල වැඩි කොට බදු පනවා ජනතාව පීඩාවට පත් කරන බවයි.

එයට එරෙහිව දීපව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් හා සම්මන්ත්‍රණ ගණනාවක් වහා සංවිධානය කරන ලෙස මහින්ද ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් දුන්නේය. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණද අධික ජීවන වියදමට එරෙහිව සටනක් දියත් කිරීමට තීන්දු කළේය. ඒ සඳහා උද්ඝෝෂණ පා ගමන් හා පත්‍රිකා බෙදීම් සිදුකිරීමට ජ.වි.පෙ. සැරසෙයි.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00