2018 මැයි 05 වන සෙනසුරාදා

ඉවරයක් නැති කැබිනට් පත්වීම්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 279

♦ ප්‍රතිසංවිධානයෙන් පසු රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්  
♦ විජයදාස රාජපක්ෂට ඇමැති පදවිය ලැබීම අමුත්තක්!  
♦ එජාප පසුපෙළින් දිගින් දිගටම විරෝධතා  
♦ කැබිනට් සංශෝධනය ලෝක විහිළුවක් බව ජවිපෙ කියයි  
♦ සතුන් එක්ක ඉන්න කැමතියි: පාලිත තෙවරප්පෙරුම හිටපු ජනපති මහින්දට කියයි 
♦ තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බැහැ:

සති ගණනාවක් තිස්සේ ඇදෙමින් තිබූ වත්මන් ආණ්ඩුවේ සිව්වැනි ඇමැති මණ්ඩල සං‍ශෝධනය පසුගිය අඟහරුවාදා (01) පෙරවරුවේ සිදුකෙරිණි. අවස්ථා ගණනාවකදී කල්ගිය මෙවර සංශෝධනය අවසානයේ සිදුවූයේ අලුත් ඇමැති මණ්ඩලයක් දිව්රුම් දීමේ ආකාරයටය. එහිදී ඇමැති ධූර 18 ක් සඳහා අලුතින් ඇමැතිවරු දිව්රුම් දුන්හ. විශාල වශයෙන් පදවි වෙනස්කම් සිදුකෙරෙනු ඇති බවට විවිධ ආරංචි මාර්ග ප්‍රචාරය වුවත් කැපීපෙනෙන වෙනසක් වී තිබුණේ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂට යළි ඇමැති ධූරයක් හිමිවීමත් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහත්වරුන්ගේ පදවි හුවමාරු වී තිබීමත් පමණි. ශ්‍රීලනිප ඇමැතිවරුන් වශයෙන් කටයුතු කරමින් සිටියදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට සහාය පළකොට විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළ හයදෙනාගේ ඇමැති පදවි කිහිපයක් ඒවායේ වැඩ බැලීමට පත් කර සිටි ඇමැතිවරුන්ටම පිරිනැමීමද මෙහිදී දැකගත හැකි විය.

මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම ඇමැති පදවියේ දිව්රුම් දුන් අතර දුමින්ද දිසානායක මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් දිව්රැම් දුන්නේය. ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන, ආචාර්ය සරත් අමුණුගම - විද්‍යා, තාක්ෂණ සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය සහ වෘත්තීය පුහුණු, එස්.බී. නාවින්න - අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන, කබීර් හෂීම් - අධිවේගී මාර්ග සහ මහාමාර්ග සංවර්ධන, පී. හැරිසන් - සමාජ සවිබල ගැන්වීම්, තලතා අතුකෝරළ - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ෆයිසර් මුස්තාපා - ක්‍රීඩා අමාත්‍ය සහ පළාත් සභා හා පළාත් පාලන, රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය සහ නීතිය හා සාමය, විජිත් විජිතමුණි - ධීවර, ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ ග්‍රාමීය ආර්ථික, ඩී.එම්. ස්වාමිනාදන් - පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ උතුරු සංවර්ධන අමාත්‍ය සහ හින්දු කටයුතු, සාගල රත්නායක - ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන, මනෝ ගනේෂන් - ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ ජාතික භාෂා, දයා ගමගේ - සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - තිරසාර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන, විජයදාස රාජපක්ෂ - උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු, රවීන්ද්‍ර සමරවීර - කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා වශයෙන් ඇමැතිවරු දිව්රුම් දුන්හ. මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 23ක්ද ඊට පසුදින බදාදා (02) දිව්රුම් දුන්හ. එජාපයේ බුද්ධික පතිරණ, එස්.එම්. මරික්කාර් සහ මුජිබර් රහමන් මන්ත්‍රීවරුන්ටද නියෝජ්‍ය ඇමැති පදවි හිමිවනු ඇති බවට කලින්ම රාවයක් පැතිර තිබුණත් එය ඒ ආකාරයට ඉටුවූයේ නැත.

කෙසේ වුවද අමාත්‍යවරුන් යළි දිව්රුම් දෙන අවස්ථාවේදී 16 දෙනාගේ කණ්ඩායමේ දෙතුන් දෙනකුද යළි ඇමැති පදවි බාරගන්නා බවට පැතිර තිබූ ආරංචිවල කිසිදු සත්‍යයක් නොතිබිණි. ඔවුන් අතරින් කිසිවකු හෝ යළි ඇමැති පදවි බාරගැනීමට ඉදිරිපත් වූයේ නැත. එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තුළ තිබූ බලාපොරොත්තුවක කඩවීමක් ලෙස සමහරු දකිති. 

මෙම අමාත්‍ය මණ්ඩල දිව්රුම් දීම් වලින් පසුව යහපාලන ආණ්ඩුවට වැළඳී තිබූ සියලු රෝග සුව වනු ඇතැයි මහත් බලාපොරොත්තු තිබුණද එය එසේ නොවන බව කරළියේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතුව ලබන අඟහරුවාදා (08) පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමත් සමඟ ශ්‍රීලනිප මැති ඇමැතිකම් දැරූ 16 දෙනාගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ ඇතිවිය හැකි තත්ත්වයයි. එස්.බී. දිසානායක මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එම 16 දෙනාගේ කණ්ඩායමට අමතරව තවත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් දස දෙනකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවය. මෙය ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකිරීමේ අරමුණින් සිදුකෙරෙන බවද එම අරමුණු ඉටුකරගන්නා තුරු ආණ්ඩුවට එරෙහිව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඔහු කියා තිබිණි. ඩිලාන් පෙරේරා මහතාද කියා තිබුණේ ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායමේ කිසිවකු හෝ යළිත් ඇමැති ධූර බාරනොගන්නා බවය. එය ඒ ආකාරයටම සිදුවී තිබිණි.

මේ අතර එජාපයේ අධිකරණ අමාත්‍ය ධූරය දරමින් සිට එයින් ඉවත් වූ විජයදාස රාජපක්ෂ මහතාටද ඇමැති ධූරයක් හිමිවීම කැපීපෙනිණි. ඔහුට අමාත්‍ය ධූරය ලැබීම පිටුපස ජනාධිපතිවරයා සිටින බවටද ආරංචි පැතිර තිබිණි. කෙසේ වෙතත් සමෘද්ධි ව්‍යාපාරය අයත් වන සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධූරය එජාපයට හිමිවෙද්දී එජාපයේ තිබූ උසස් අධ්‍යාපන ඇමැති ධූරය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මතභේද ඇතිකරගනිමින් ටික දිනකට පෙර අමාත්‍ය ධූරය අත්හළ විජයදාස රාජපක්ෂ මහතාට ලැබීම තරමක පෙරළියකි.

ශ්‍රීලනිපය තුළ පවතින මතභේද තවදුරටත් තීව්‍ර වනු ඇත්තේ ලබන 08 වැනිදායින් පසුවය. එදින විපක්ෂයේ අසුන් ගන්නා බවටත් ඒ සඳහා ආසන පහසුකම් සලසන ලෙසටත් 16 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී තිබිණි. එදින විපක්ෂය පැත්තේ අසුන් ගැනීමෙන් පසුව එම කණ්ඩායම නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන හිටපු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. එම කතාව ඔවුන්ගේ අනාගත දේශපාලන ගමන පිළිබඳව පෙරනිමිති පළකරනු ඇති බව සඳහන්ය. එජාප ආණ්ඩුව සමඟ සියලු සබඳතා ශ්‍රීලනිපය විසින් අත්හැරිය යුතු බවටත් එසේ නොකිරීමෙන් ඉදිරි කාලය තුළදී එජාප ආණ්ඩුවේ වැරදි ශ්‍රීලනිපය පිටින් යාමට තිබෙන ඉඩකඩ ගැන අනතුරු ඇඟවීම් කෙරෙනු ඇති බවටත් එහි සඳහන් වීමට ඉඩ තිබෙන බවද කියති.

ඇමැති මණ්ඩල සංශෝධනයෙන් පසුව එජාපය තුළද පවතින ගැටලු නිරාකරණය වන බවක් පෙනෙන්නට නැත. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු නිමවීමෙන් පසුවද ඒ ගැන විවිධ මතවාද ප්‍රකාශ වෙමින් තිබේ. ඒ අතරවාරයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. කරළියේ මතය වී තිබෙන්නේ එය තරමක අසාමාන්‍ය සිදුවීමක් බවය. එම ප්‍රකාශයේ සඳහන් වී තිබුණේ එජාපයේ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය මගින් අලුත් මුහුණු නායකත්ව තලය දක්වා ඔසවා තැබීමට හා පක්ෂයට තරුණ ජවය එක් කිරීමට සැලසුම් කර තිබෙන බවය. එජාපයේ එදිනෙදා මෙහෙයුම් කටයුතු ඉදිරියට ගෙන යමින් පක්ෂ සංවිධානය ශක්තිමත් කිරීමේ කාර්යය සඳහා තරුණ මුහුණු ගණනාවක් එක්ව තිබෙන බවත් නව නායක පෙළක් බිහිකිරීමේ වැදගත් පියවරක් තබමින් ඔවුන් නියෝජ්‍ය නායක හා උප නායක සමඟ එකට එක්වී නව ප්‍රවේශයකින් ජයග්‍රාහී ගමනකට පදනම සකසනු ඇති බවද සඳහන්ය. ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය විවේචනයට ලක් කරන්නන්ද සිටින බවත් සාකච්ඡාවෙන් සම්මුතියෙන් ගැටලු නිරාකරණය කර ගැනීමට පක්ෂය සැමවිටම උත්සාහ ගන්නා බවත් එම නිවේදනය කියා තිබිණි.

මෙවැනි නිවේදනයක් එජාප නායකත්වය මගින් නිකුත් කරන ලද්දේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් විසින් පසුගිය දිනවලදී සිදුකරන ලද අතෘප්තිමත් අදහස් දැක්වීම් හේතුවෙන් විය හැකිය. සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, රංජිත් මද්දුම බණ්ඩාර අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබුණේ ප්‍රතිසංවිධානය අපේක්ෂිත මට්ටමින් සිදුනොවූ බවය. එසේම පසුගිය කෘත්‍යාධිකාරී කමිටුවට නොපැමිණෙන්නැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ඉම්තියාස් බාකිර් මාකර් මහතාට කර තිබූ දැනුම් දීමද පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුගේම කනස්සල්ලට හේතු වී තිබිණි. එම දැනුම් දීම පසුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවලංගු කර ඉම්තියාස් මහතා කමිටු රැස්වීමට කැඳවනු ලැබ සිටියත් ඔහුගේ පැමිණීම වැළැක්වීමට කිහිපදෙනකු චේතනාත්විතව කටයුතු කර ඇතැයි යන්න බොහෝ දෙනාගේ පිළිගැනීම විය. පක්ෂ ලේකම් තනතුරට ඉම්තියාස් බාකිර් මාකර් මහතාගේ නම යෝජනා කිරීමට තිබූ සූදානම මේ සිදුවීම පසුපස කතාව බවද සඳහන්ය.  

ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම පසුගිය බදාදා (02) පෙරවරුවේ දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්හ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය හැර සෙසු මන්ත්‍රීවරු 15 දෙනාම එම ගමනට එක්වී සිටියහ. තමන් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගන්නා බවට ඔවුන් දළදා සමිඳුන් ඉදිරියේ ප්‍රතිඥාවක්ද ලබාදී තිබිණි.

එම ගමනේදී ඔවුහු මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමටද ගියහ. මුලින්ම ඔවුන් ගියේ අස්ගිරි මහ නාහිමියන් බැහැදැකීමටය. එම හමුවේදී විශේෂත්වයක් වී තිබුණේ අස්ගිරි මහ නාහිමියන් විසින් සමස්ත කාරක සංඝ සභාවම එම අවස්ථාව සඳහා රැස්කර තිබීමය. එය ඉතාම කලාතුරකින් වන සිදුවීමක් බව සඳහන් වේ. එහිදී කණ්ඩායම වෙනුවෙන් කරුණු දැක්වීමට ඉදිරිපත් වූයේ ජෝන් සෙනෙවිරත්න, එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන්ය. මේ හතර දෙනාම පැවසුවේ තමන්ට තවදුරටත් මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ අනුමත කළ නොහැකි නිසා එළියට පැමිණි බවය. අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී තමන් ඊට සහාය දැක්වූයේද ඒ නිසා බවත් ශ්‍රීලනිපය තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටියහොත් පක්ෂයට විශාල හානියක් සිදුවීමට ඉඩ ඇති නිසා එය නිවැරැදි කර ගැනීමට තමන් ගත් පියවර හේතුවනු ඇති බවටත් ඔවුහු විශ්වාසය පළ කළහ.

එහිදී ඔවුන්ට අනුශාසනා කළ අස්ගිරි මහ නාහිමියන් සහ කාරක සංඝ සභා හිමිවරුන් දෙදෙනකුද සඳහන් කළේ එම තීන්දුව නිවැරැදි යැයි තමන් සිතන බවය. එසේම මොනම හේතුවක් නිසා හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට ඉඩ නොදිය යුතු යැයි තමන් විශේෂයෙන් සඳහන් කරන බවද ඒ හිමිවරු පැවැසූහ. ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආවේ හොඳින් සිතා බැලීමෙන් පසුව බවද වර්ධරාජා පෙරුමාල් විසින් උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කළ අවස්ථාවේ එම තත්ත්වය පාලනය කර ගත්තේ විධායක බලතල යොදවමින් බවද උන්වහන්සේලා පැහැදිලි කළහ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි කීම බටහිර රටවල යෝජනාවක් බවත් එයට ඉඩ නොදිය යුතු බවත් පැවැසූ උන්වහන්සේලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට තමන් විරුද්ධ බවද ප්‍රකාශ කළහ. එම බැහැදැකීමෙන් පසුව මන්ත්‍රී පිරිසට විශේෂ ආහාරපාන සංග්‍රහයක්ද පැවැත්විණි. මන්ත්‍රී පිරිස ඊළඟට ගියේ මල්වතු මහ නාහිමියන් බැහැදැකීමටය. එහිදී මහ නාහිමියන් කෙටියෙන් අනුශාසනාවක් කරමින් සඳහන් කළේ ආණ්ඩුව අමාරුවෙන් හෝ ඉදිරි වසර එකහමාර තුළ කටයුතු කරගෙන යනු ඇතැයි පෙනෙන බවත් දැන් එහි ප්‍රශ්න තිබෙන බව පෙනෙන බවත්ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් සහමුලින්ම විරුද්ධ බව විශේෂයෙන්ම කිවයුතු බවද සඳහන් කළ මහ නාහිමියෝ එසේ කළහොත් රට අරාජික වනු ඇතැයිද සඳහන් කළහ. 

මේ අතර ඇමැති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන කරළිය තුළ විවිධ කතිකා ඇතිවූ අතර මෙහිදී කැපීපෙනුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව කැබිනට්ටුව හැදීම ගැන කළ සඳහනය. අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විද්‍යාත්මකව වෙනස් වූ එකම අමාත්‍යාංශය වනජීවී අමාත්‍යාංශය බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා ඒ අමාත්‍යාංශය නම් ජීව විද්‍යාත්මකව වෙනස් කර තිබෙන බව කියා තිබිණි. නව අමාත්‍යවරයා එන බව ආරංචි වී කැලෑවල සිටින මුවන්, ගෝනුන් පැන පැන දුවනවා යැයිද ඔහු සඳහන් කළේය. නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ආගමික උත්සවයකින් පසුව මාධ්‍ය හමුවූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා මේ කතාව කිව්වේය.

ජනතා විමුක්ති පෙරමුණ කියා තිබුණේ නව කැබිනට් සංශෝධනය ජාතික රජයේ තවත් ලෝක විහිළුවක් බවයි. එම සංශෝධනයෙන් රටේත් ජනතාවගේත් ගැටලුවලට කිසිම විසඳුමක් ලැබී නැතැයිද විෂය මාරුකිරීමෙන් පමණක් එම සංශෝධනයට විද්‍යාත්මක පදනමක් නොලැබෙන්නේ යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබිණි. ගෑස් මිල රුපියල් 245කින් වැඩි වී රුපියල බාල්දු වී උපාධිධාරීන් 52,000ක් රැකියා නැතිව සිටියදී ජනතාවගේ එම ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නොදෙන මෙම සංශෝධනයෙන් රටට වැඩක් නැති බවද ඔහු සඳහන් කර තිබිණි.

මෙම කැබිනට් සංශෝධනයේ උණුසුම මැකී යාමටත් පෙර රාජ්‍ය ඇමැතිවරු 08 ක්ද නියෝජ්‍ය ඇමැතිවරු 10ක්ද පසුගිය බදාදා (02) දිවුරුම් දුන්හ. මෙහිදී රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකුගේ විෂයයන් මාරැකරනු ලැබ තිබීමත් ඒකාබද්දෙන් ආණ්ඩුවට එක්වූ ජා.නි.පෙ. මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාට ජනාධිපතිවරයා ඇමැති පදවිය දරන මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති පදවිය හිමවීමත් කැපීපෙනුණේය. මේ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති පදවියේ දිව්රුම් දුන්නේ තරමක පෙරළිකාර දේශපාලන චරිතයක් වශයෙන් රටම හඳුනාගෙන සිටින පාලිත තෙවරප්පෙරුමයි. දිව්රුම් දුන් දාට පසුවදාම (03) ඔහුගේ උපන් දිනය යෙදී තිබිණි. එදින උදෑසනම පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ දුරකතනය නාද විය. ඊට පිළිතුරු දීමට ඔහු දුරකතනය අතට ගත්තේය.

එහා කෙළවරෙන් ආවේ සුපුරුදු කටහඬකි. “කොහොමද මන්ත්‍රීතුමා... ඔබට සුබ උපන් දිනයක් වේවා” යැයි දුරකතනයෙන් සුබ පැතුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාය. රාජපක්ෂ මහතා මැති ඇමැතින් සියලු දෙනාගේම උපන් දිනවලදී උදේ පාන්දරම නොවරදවා සුබ පතන චාරිත්‍රය එදාද ඉටුකළේ එසේය. තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට සුබ පැතීමෙන් පසුව මහින්ද මහතා අලුතින් ලද නියෝජ්‍ය ඇමැති පදවිය සම්බන්ධයෙන් විමසීමටද අමතක නොකළේය. එහිදී තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගෙන් ලැබුණේ අපූරු උත්තරයකි. “අයියෝ සර්... ඒක මම ඉල්ලලනෙ ගත්තේ..” යැයි ඔහු දුන් පිළිතුරෙන් පසුව මහින්ද මහතා විමසුවේ වනජීවී අමාත්‍යාංශය ඉල්ලා ගත්තේ ඇයිද කියාය. “සර්... දැන් මේ ඉන්න මිනිස්සුත් එක්ක ඉන්නවට වඩා සත්තු එක්ක ඉන්න එක හොඳයි කියලා මට හිතුණා” යැයි ඔහු කීය. මහින්ද මහතා හඬ නගා සිනා සී සංවාදය නිම කළේය.

එජාපයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ නිල වශයෙන් අවසන් වුවද පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් තවම ඒ පිළිබඳව කතා කරන්නේ අසතුටිනි. පසුපෙළ මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා බී.බී.සීයට ලබාදුන් සාකච්ඡාවකදී කියා තිබුණේ පක්ෂයේ අර්බුදය අවසන් වී නැති බවය. අපේක්ෂිත වෙනස්කම් සිදුනොවීමේ තත්ත්වය තුළ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේදී පියවර ගණනාවක්ම ගන්නා බවත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සති අන්තයේදී අගමැතිතුමා හමුවීමට බලාපොරොත්තු වන බවත් ඇය කියා තිබිණි. මේ කණ්ඩායම ප්‍රකාශ කරන්නේ පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳව පත් කරනු ලැබූ රුවන් විජයවර්ධන කමිටුවේ තීන්දු තීරණ මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බවය. එජාපයේ අනාගත නායකයා කවුදැයි නම් කළ යුතු බවද නායකත්වය වෙනස් නොවන්නේ නම් අනුප්‍රාප්තිකයකු නම් කළ යුතු බවද පවසන ඔවුහු මහජන ඡන්ද බලයෙන් පත්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරය දිගටම දැරිය යුතු බවද කියති. මේ ගැටලු නිරාකරණය වන තෙක් පසුපෙළ මන්ත්‍රීන් 20 ක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් වර්ජනය කිරීමේ තීන්දුවක්ද ගෙන තිබේ. පක්ෂයේ සියලු තනතුරු මන්ත්‍රී කණ්ඩායමේ සහ කෘත්‍යාධිකාරී කමිටුවේ ඡන්දයෙන් තෝරාගත යුතු බවද ඔවුන්ගේ අදහසයි. ඒ අතර පසුපෙළ සිටින එජාපයේ ජ්‍යෙෂ්ඨයන් 6 දෙනෙකුට ලබන සතියේ උප ඇමැතිධූර පිරිනැමීමට පක්ෂය සැරසෙයි. එහෙත් ඇමැතිකමක් ලැබෙනවා යැයි කී රවී කරුණානායකට කිසිදු තනතුරක් දීම ජනපතිවරයා ප්‍රතික්ෂේප කර ඇත. 

සතියකින් කල්දමන ලද මැයි දිනය රටේ දේශපාලන පක්ෂ මගින් සැමරීමට යන්නේ මෙවැනි වාතාවරණයක් මැදය. ශ්‍රීලනිපය මඩකලපුවේද එජාපය සුගතදාස පිටියේද ඒකාබද්දය ගාල්ලේ සමනළ ක්‍රීඩාංගණයේද මැයි දින රැළි සංවිධානය කර තිබේ. එම රැළිවලදී පක්ෂවල අභ්‍යන්තර ප්‍රශ්නවල තත්ත්වය කෙබඳු දැයි බලාගත හැකිවනු ඇත.

► අංජන