2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

ඩිලාන්- චන්දිම- නිමල් ලන්ඩන් හෝටලයේ ජනපති සමඟ රහස් කතාවක

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 274

♦අමුණුගම කමිටුව අලුත් ගිවිසුමට බරට වැඩ  
ජ.වි.පෙ. මැයි දිනෙත් අරන් යාපනේ යයි 
♦සම්පන්දන්ගේ විශ්වාසභංගය එපා: මහින්ද උපදෙස් දෙයි

එ.ජා.ප. ප්‍රතිසංවිධානය 30දාට පෙර  
♦ජනපති ලන්ඩනයේ රනිල් නුවරඑළියේ මහින්ද පොළොන්නරුවේ හිසතෙල් ගාති

 

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සඳහා මැතිසබයටත් අමාත්‍ය මණ්ඩලයටත් නිවාඩු ලැබිණි. එනිසා අගනුවර දේශපාලන කටයුතුවලටත් විරාමයක් ලැබී තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහා බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා පිටත්ව ගියේ නිමල් සිරිපාල ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක්ද සමඟය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය ප්‍රදේශයේ අවුරුදු නිවාඩුව ගත කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු සතියම ගතකළේ තංගල්ල කාල්ටන් නිවසේ සහ මැදමුලන රාජපක්ෂලාගේ මහගෙදරය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එංගලන්තය බලා පිටත්ව යාමට පෙර වැදගත් දේශපාලන තීන්දු ගණනාවක්ම ක්‍රියාත්මක කළේය. කිසිවකු අපේක්ෂා නොකළ පරිදි මැතිසබයේ වාරය අවසාන කළ ජනාධිපතිවරයා එය මැයි මස 08 දින නැවත කැඳවන බවත්, එදින රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන වත් නිවේදනය කෙරිණි. ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් පසු එය බහුතර ඡන්දයෙන් සම්මත කරගත යුතුය. යම් හෙයකින් රාජාසන කතාව නමින් හඳුන්වන මෙම ප්‍රකාශය සම්මත නොවුණොත් රජය විසුරුවා හැරීමට සිදුවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ය. එනිසා රාජසන කතා ඡන්දය රජයක පැවැත්මට තීරණාත්මකය. මේ ආකාරයට හදිසියේ මැතිසබය කල්දමනු ලැබුවේ පසුගිය විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතින් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම අප්‍රේල් 19දාට යෙදී තිබුණ නිසා බව ආරංචියක් පැතිර ගියේය. ජනාධිපතිවරයා රටේ නැති අතර මෙම මන්ත්‍රීන් 16 දෙනා විපක්ෂයට යනවිට ශ්‍රී.ල.නි.ප.යේ තවත් මන්ත්‍රීන් තුන් හතර දෙනෙක් විපක්ෂයට යනු ඇතැයිද තොරතුරක් වාර්තා වූ බව මෙහිදී සඳහන් කළ යුතුය.

ජනාධිපතිවරයා 22 දින නැවත ශ්‍රී ලංකාවට පැමිණිවිට අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ සංශෝධනයක් කරන බව ප්‍රකාශ කළේය. එහිදී ප්‍රධාන පෙළේ අමාත්‍යංශ ගණනාවක් එ.ජා.ප.ය හා ශ්‍රී.ල.නි.ප.ය අතර හුවමාරුවීමට ඉඩ ඇතැයිද කියැවේ. මෙතෙක් එ.ජා.ප.ය මැසිවිලි නැගුවේ සමෘද්ධි අමාත්‍යංශය ශ්‍රී.ල.නි.ප. අමාත්‍යවරයකු සතුව තිබීම නිසා එ.ජා. පාක්ෂිකයන්ට සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේදී සාධාරණය ඉටුනොවන බවටයි. ඒ අනුව සමෘද්ධි අමාත්‍යංශය පමණක් නොව කම්කරු අමාත්‍යංශයද ඉදිරි සංශෝධනයේදී එ.ජා.ප.යට හිමිවන බව දැනගන්නට ඇත. ඒ වෙනුවට දැනට එජාපය සතු වෙනත් එක් අමාත්‍යංශයක් ශ්‍රී.ල.නි.ප.යට ලැබෙනු ඇත. අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී දිනට අමාත්‍ය පදවි නොදරන ශ්‍රීල.නි.ප.යේ ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලසන්ත අලගියවන්න, පියසේන ගමගේ ආදීන් අමාත්‍ය මණ්ඩලයට එකවනු ඇතැයි දැනගන්නට ඇත. එසේම එ.ජා.ප.යේ අමාත්‍ය පදවි අපේක්ෂා කරන්නන් වන විජේදාස රාජපක්ෂ, රන්ජිත් අළුවිහාරේ, රංගේ බණ්ඩාර ආදීන්ට අමාත්‍ය පදවි හිමිවීමට ඉඩ ඇතැයි කියැවේ. එහෙත් තමන්ට දිගින් දිගටම අමාත්‍ය පදවියක් ඉල්ලා සිටින එ.ජා.ප.යේ උපනායක පදවියක් දරන රවි කරුණානායක මහතාට අමාත්‍ය ධුරයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විදේශ ගතවීමට පෙර අගමැති රනිල් සහ අමාත්‍ය මංගල ඉල්ලීමක් කළහ. එහෙත් එම ඉල්ලීම ජනාධිපතිවරයා තරයේම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔහුට තිබෙන නීතිමය ප්‍රශ්න නිරාකරණය කරගන්නා තුරු ඇමැති ධුරයක් ලබා නොදෙන බව කියමිනි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු අග්‍රාමාත්‍යවරයා මේ ගැන තවත් වරක් ඉල්ලීමක් කරනු ඇතැයි දැනගන්නට තිබේ. ඒ අතර එ.ජා.ප.යේ ප්‍රතිසංවිධාන යෝජනා අප්‍රේල් මස අවසානයේ පැවැත්වෙන පක්ෂ මහ සමුළුවට ඉදිරිපත් කෙරෙන බව මුලින් ප්‍රකාශ වුවද අවුරුදු නිවාඩුවෙන් පසුව එ.ජා.ප. නව පාලක මණ්ඩල කමිටු සාමාජික නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එ.ජා.ප. ප්‍රතිසංවිධාන යෝජනා මැයි මස 07දා පැවැත්වෙන මැයි දිනයේදී ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවයි.

එ.ජා.ප.ය මේ ආකාරයට සිය ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධව උනන්දු වෙද්දී ජනාධිපතිවරයා ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කළේ වත්මන් ජාතික ආණ්ඩුව (එ.ජා.ප., ශ්‍රී.ල.නි.ප. හවුල් රජය) නව සැලසුමක් යටතේ පවත්වාගෙන යෑමට සැලසුමක් සැකසීම සඳහාය. එම කමිටුව පසුගිය දින කිහිපයේම රැස්වූ අතර ජනපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි පසු එහි වාර්තාව ජනාධිපතිතුමාට භාරදෙන බව අමාත්‍ය සරත් අමුණුගම මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. මෙම සැලසුම මගින් ඉදිරි වසර 2ක කාලය තුළ ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදය සහ නව ගිවිසුමක් සම්පාදනය කෙරේ.

විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය දී ශ්‍රී.ල.නි.ප. - එ.ජා.ප. ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක්වීමට තීන්දු කළ මැති ඇමැතින් 16 දෙනා අවුරුදු නිවාඩුවෙන් පසු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසට රැස් වී සාකච්ඡා කළෝය. මෙම සාකච්ඡාවේදී තම කණ්ඩායමේ අනාගතය සම්බන්ධව වැදගත් තීන්දු ගණනාවක් ගත් බව සඳහන්ය.

තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවති 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රී හමුවට එහි මන්ත්‍රීන් සියලු දෙනාම පාහේ පැමිණ සිටියහ. තම කණ්ඩායම ලබන 23 දා මහා නායක හිමිවරුන් මුණගැසීමටත් 24 දා කාදිනල්තුමා මුණගැසීමටත් යා යුතු බව එහිදී තීන්දු කෙරිණි. ඉන් පසු 25 දා සහ ඊට පසු දිනවල එ.ජා.පය හැර අනෙක් පිළිගත් සියලු පක්ෂ නායකයන් මුණගැසීමටද එම කණ්ඩායම එකඟ විය.

මේ වන විට ලන්ඩනයට ගොස් සිටින ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් 16 දෙනාගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකුට ලන්ඩනයෙන් පණිවුඩයක් ලැබී තිබූ බව කියැවිණි. එම කණ්ඩායමේ 6 දෙනෙක් ලන්ඩනයට ගොස් ජනපති මුණගැසෙන ලෙස ඉල්ලා තිබූ බවද වාර්තා විය. එහෙත් මන්ත්‍රීන් 6 දෙනකුට එකවර යා නොහැකි බැවින් කණ්ඩායමෙන් තිදෙනකු ලන්ඩනයට යාමට තීන්දු විය. ඒ වන විටත් එහි ගොස් සිටින ලක්ෂ්මන් වසන්ත පෙරේරාට එක්වීමට ඩිලාන් පෙරේරා හා චන්දිම වීරක්කොඩි යන මහත්වරු ලන්ඩනයට යැවීමට තීරණය කැරිණි.

එම ගමනේදී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්කරන ලෙසත් මුළු ශ්‍රීලනි. පක්ෂයම විපක්ෂයට යා යුතු බවටත් වන යෝජනාව ඉදිරිපත් කරන්නටද තීන්දු කැරිණි. එසේම දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර යන මහත්වරුන් පක්ෂයේ දැනට දරන ලේකම් ධූරවලින් ඉවත් කරන ලෙසද නැවතත් ඉල්ලා සිටීමට යෝජනා විය. පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා 16ක සාමාජිකත්වය ඉල්ලා සිටිය යුතු යැයි යෝජනාවක්ද ඉදිරිපත් වූ බව කියැවේ. අවසන් වශයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලියන ලිපියක් මගින් ලබන 08 දා මෙම මන්ත්‍රී පිරිසට විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලීමට විශේෂ තීරණයක් ගනු ලැබීය. එම ලිපිය සකස් කිරීම මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට පැවරුණි. එහෙත් එය ලබාදීම මධ්‍යම කාරක සභාවෙන් පසු සිදුකරන්නට තීන්දු කෙරිණි.

මේ ආකාරයට ඔවුන් ඉදිරි කටයුතු සැලසුම් කරද්දී ඩිලාන් හා චන්දිම ලන්ඩනයට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නවාතැන් ගෙන සිටින පාර්ක් ලේන් හිල්ටන් හෝටලයට පැමිණියහ. ඔවුන් එහි එන විට ජනපතිවරයා උත්සවයකට ගොසිනි. ටික වේලාවක් හෝටල් ලොබියේ රුඳීසිටි චන්දිමට හා ඩිලාන්ට ජනපතිවරයා පැමිණෙනු පෙනුණි. ඒ අය ජනපති ඉදිරියට යද්දී “ආ මොකද මේ දෙන්න මේ පැත්තේ”... කියා ජනපතිවරයා විමසා ඇත. එවිට චන්දිම සිය පුත්‍රයා බලන්නත් එක්ක ආවා යැයි කියද්දී ඩිලාන් කීවේ තමන්ටද පෞද්ගලික කටයුතු කිහිපයක් ඇති නිසා පැමිණි වගයි. “ආ ඇත්තද එහෙනම් හොඳයි...” කී ජනපතිවරයා ඉඩකඩ තිබුණොත් පස්සෙ හමුවෙමු යැයි කියමින් සිය කුටිය වෙත ගමන් කර ඇත. අනතුරුව චන්දිම හා ඩිලාන් දෙදෙනා හෝටල් ලොබියේ සිට තමන් නවාතැන් ගත් හෝටලයට පැමිණියහ. එදින රාත්‍රියේ නිදාසිටියදී ඩිලාන්ගේ ජංගම දුරකතනය නාද විය. දිගටම දුරකතනය නාද වුවත් ඩිලාන් ඊට පිළිතුරු නොදුන්නේ ඔහුට නින්ද ගොස් තිබූ නිසාය.

ලංකාවේ සිට ඔහුට මේ දුරකතන ඇමතුම දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. එදිනට යෙදී තිබුණු ඩිලාන්ගේ උපන් දිනයට සුබ පතන්නටත් දේශපාලන සාකච්ඡාවක් සඳහාත් මහින්ද ඔහු ඇමතීය. එහෙත් ඩිලාන් උත්තර නොදුන් නිසා වැඩේ කල් ගියේය. කෙසේ හෝ ඒ වන විට ලන්ඩනයේ සිය පෞද්ගලික නිවසේ රැඳීසිටි ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා එදින සන්ධ්‍යාවේ ඩිලාන්ගේ උපන් දිනය නිමිත්තෙන් විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි. ඊට චන්දිම ඇතුළු පිරිසක් ද එක්වූහ. ඒ අවස්ථාවේ ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේ ජංගම දුරකතනයට නැවතත් මහින්ද රාජපක්ෂ මහතා ඇමතුමක් දී ඩිලාන් ඉන්නවාදැයි විමසීය. අනතුරුව ඔහුට සුබ පතා සිය කණ්ඩායමේ අනාගතය ගැන මහින්ද ඩිලාන්ගෙන් කරුණු විමසීය. ඩිලාන් එහිදී මහින්දට නැවතත් කීවේ “සර් අපි තවදුරටත් යූ.ඇන්.පි හවුල් ආණ්ඩුවෙ නම් ඉන්නෙ නැහැ”... කියාය.

කෙසේ හෝ උපන් දින සාදය පැවැත්වෙන අතරතුර ජනාධිපතිවරයා සමඟ පාර්ක් ලේන් හිල්ටන් හෝටලයේ සිටි ඇමැති නිමල් සිරිපාලගෙන්ද මෙම පිරිසට ඇමතුමක් ලැබිණි. නිමල් ඩිලාන්ලාට කීවේ ජනාධිපතිතුමා සමඟ පක්ෂයේ අනාගතය ගැන අතිශය පෞද්ගලික සාකච්ඡාව සිකුරාදා රාත්‍රී 7.00ට පාර්ක් ලේන් හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන බවය. ඊට තමාද එක්වන බව පැවසූ නිමල් සිරිපාල අමාත්‍යවරයා නියමිත වේලාවට පැමිණෙන්නැයි ඇරුයුම් කළේය. අනතුරුව සිකුරාදා රාත්‍රී සාකච්ඡාව පැවති අතර ඉතාමත් රහසිගතව පැවති කතාබහ සෑහෙන වේලාවක් ඇදීයමින් තිබිණි. එහි ප්‍රතිඵල මෙම සටහන ලියන විටත් වාර්තා වී තිබුණේ නැත.

කෙසේ වෙතත් 16 දෙනාගේ කණ්ඩායම ජනාධිපතිතුමා පැමිණි පසු ඔහුගෙන් පොදුවේ නැවතත් ඉල්ලීමක් කිරීමට යන්නේ වහාම ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව කැඳවන හැටියටයි. එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රීල.නි.ප. මධ්‍යම කාරක සභාවේ බහුතර බලය ඔවුන්ගේ කණ්ඩායම සතුයැයි කියැවේ. ඒ අතරතුර පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක හා සන්ධාන මහලේකම් මහින්ද අමරවීර දෙදෙනා වහාම සිය තනතුරුවලින් ඉවත් කරන්නැයි ඔවුහු පක්ෂයට බලපෑම් කරමින් සිටිති. ඒ සම්බන්ධ තීරණයද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ගනු ඇතැයි කියැවේ.

ලබන මැයි 08දා මැතිසබයේ විපක්ෂයේ අසුන් ගන්නවා යැයි කියන ශ්‍රීල.නි.ප. මන්ත්‍රීන් 16 දෙනා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගනිමින් ඒකාබද්ධ විපක්ෂය සමඟ පසුව සන්ධාන ගතවීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වෙයි. එම කණ්ඩායමේ නායකත්වයට ජෝන් සෙනෙවිරත්න මහතා හෝ සුසිල් ප්‍රේමජයන්ත මහතාත් පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂය අතර තිබෙන සම්බන්ධතාව ගැන හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමකදී මහින්ද රාජපක්ෂ මහතා කීවේ විපක්ෂයට එක්වූ එම කණ්ඩායම තමන් සාදරයෙන් විපක්ෂයට පිළිගන්නා බවයි. ඉන් දින දෙකකට පසු ඊට පිළිතුරු දුන් ඩිලාන් පෙරේරා මහතා හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනාව ගැන සතුටු වන නමුත් තම කණ්ඩායම පොහොට්ටුව සමඟ එක්වීමට අදහසක් නැතැයි කීය. සියලු කොටස් එක්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුය යන්න ඩිලාන්ගේ අදහස බව පෙනුණි. කෙසේ වෙතත් අවුරුදු නිවාඩුව හමාර වූ සැණින් අත්අඩංගුවට ගත් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ ගේ නඩුව අවස්ථාවේ ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර හා චන්දිම වීරක්කොඩි යන හිටපු අමාත්‍යවරැ අධිකරණ භූමියට පැමිණ මහින්දානන්දට සහයෝගය පළකළ අතර වත්මන් රජය විශ්වාසභංගය ජයගැනීමෙන් අනතුරුව නැවතත් දේශපාලන දඩයම පටන් අරන් ඇතැයි ඔවුහු සඳහන් කළෝය. මේ කතා අතරතුර ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් මුණගැසී ශ්‍රී.ල.නි.ප.ය රජයෙන් ඉවත්විය යුතුය යන යෝජනාවට සහාය ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බවද වාර්තා වෙයි. පසුගිය කාලයේ මෙම අදහස විටින් විට ප්‍රකාශ කළ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පෙරේරා මහතා ප්‍රසිද්ධියේම කියා තිබුණේ එ.ජා.ප.ය සමඟ ආණ්ඩු කොට තව තවත් පිරිහීමට ලක් නොවී ශ්‍රීල.නි.ප.ය රජයෙන් ඉවත් විය යුතු වගය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිනියගේ සමීපතමයකු වන ඉසුර දේවප්‍රියගේ ප්‍රකාශයද තරමක් විවාදාපන්න මාතෘකාවක් විය. 

රාජ්‍ය සංචාරයක් සඳහා ලන්ඩනයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් බෞද්ධ විහාරයට ගොස් චාරිත්‍රානුකූල සිංහල අවුරුදු හිසතෙල් ගැල්වීම සිදු කළේය. අනතුරුව මෙරට ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීම සඳහා ලන්ඩනයේ වැඩබලන මහ කොමසාරිස් සුගීෂ්වර ගුණරත්න මහතා සංවිධානය කර තිබූ විශේෂ හමුවකට ද එක්වුණි. ගිය අඟහරුවාදා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ හමුවීම සඳහා අවස්ථාවක් ලබාදී තිබුණ නමුත් අවසාන මොහොතේ එම හමුව අවලංගු කෙරිණි. පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසදය අමතා ප්‍රධාන දේශනය කළේ ජනාධිපතිවරයාය. බ්‍රිතාන්‍ය මහ රැජනගේ 92වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වුණ විශේෂ උත්සවයට ද ජනාධිපතිවරයාට ඇරයුම් ලැබී තිබිණි. ජනාධිපතිවරයා ලන්ඩන් සංචාරයේ යෙදෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු නිවාඩුව ගතකළේ නුවරඑළියේ අගමැති මැදුරේය. අගමැතිවරයා නුවරඑළියේ රැඳී සිටි කාලය තුළ උත්සව අවස්ථා ගණනාවකට එක්විය. ඔහු චාරිත්‍රානුකූල හිසතෙල් ගැල්වීම සිදුකළේ නුවරඑළිය සේනානන්ද විහාරස්ථානයේදීය. අනතුරුව ග්‍රෑන්ඩ් හෝටලය විසින් නිර්මාණය කරන ලද අර්තාපල්වලින් නිෂ්පාදිත ලොව දිගම කේක් ගෙඩිය කැපීමේ උත්සවයටද අගමැතිවරයා එක් විය. බොගවන්තලාව නව ගොල්ෆ් ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ කටයුතුවලට එක්වූ අග්‍රාමාත්‍යවරයා ගිය බදාදා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැ දුටුවේය. දළදා මාලිගාවේ වි‍ශේෂ පූජාවකටද එක්වීමෙන් පසු කොළඹ පැමිණි හෙතෙම අවුරුදු නිවාඩුවෙන් පසු රාජකාරි ඇරඹීය. ඒ සමඟ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා පත් කළ දේශපාලන මණ්ඩලය රැස්වූ අතර පක්ෂයේ අලුත් තනතුරු ගැන තීන්දුව අප්‍රේල් 30දාට පෙර ගැනීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු නිවාඩුව ගත කළ තංගල්ල කාල්ටන් නිවසට 12 – 13 – 14 දින තුන තුළ විශාල සෙනඟක් සහ දේශපාලනඥයන් ගණනාවක්ම පැමිණියෝය. පළාත් සභා නගර සභා මහ නගර සභා, මන්ත්‍රීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීන් රැසක්ම රාජපක්ෂ මහතා හමුවන්නට පැමිණියහ. කාල්ටන් නිවසේ ඉතා සුළු අවුරුදු උත්සවයක්ද පැවති අතර ඊටද පැමිණ සිටි මන්ත්‍රීහු එක්වූහ. ගමේ අවුරුදු උත්සව කටයුතු අවසානයේ රාජපක්ෂ මහතාට චාරිත්‍රානුකූල හිසතෙල් ගැල්වීමේ උත්සවය සඳහා ඇරයුම් ලැබී තිබුණේ පොළොන්නරුවේ මන්ත්‍රී රොෂාන් රණසිංහගෙනි. ඒ අනුව ගිරිතලේ විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ උළෙලට ඔහු පොළොන්නරුවට ගියේය. එහිදී මහ ජනතාව මුණගැසී ප්‍රදේශයේ ගොවි ජනතාවට බලපාන ප්‍රශ්න ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

දෙමළ ජාතික සන්ධානය අර්බුද ගණනාවකට මුහුණ දී සිටී. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකත්වය වත්මන් මහ ඇමැතිවරයාට ලබා නොදෙන බව එහි මන්ත්‍රී එච්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කිරීමත් සමඟ මෙම අර්බුදය හටගැනුණි. මෙම ප්‍රකාශයෙන් අනතුරුව සී.වී. විශ්නේෂ්වරන් මහතා මාධ්‍යයට කීවේ තමන් වෙනම දේශපාලන සන්ධානයක් සාදා ඒ මඟින් මහ ඇමැති ධූරයට තරග කරන බවයි. ඔහුගේ එම ප්‍රකාශයත් සමඟ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කීවේ විග්නේෂ්වරන් මහතා වෙනම පක්ෂයකින් මහ ඇමැති සටනට එන්නේ නම් තම පක්ෂය හා හිතවතුන්ගේ සහාය ඔහුට ලබා දෙන බවයි. එයට සමගාමීව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ හිතවතුන් පිරිසක් පිහිටුවාගත් දෙමළ විමුක්ති සන්ධානය නම් තව පක්ෂයක් විසින් දෙමළ ජාතික සන්ථානය පරාජය කරමින් වව්නියාව නගර සභාවේ බලය අත්පත් කරගත්තේය. ඒ සමඟ උතුරේ දේශපාලනය කැළඹෙන්නට පටන්ගෙන ඇත.

විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය පසුගිය විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව ඡන්දය දීම නිසා ඔහුට එරෙහිව දේශපාලන ක්‍රියාමාර්ගයක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය. එම දේශපාලන පියවර වන්නේ දැනට සම්පන්දන් මහතා දරන විපක්ෂ නායක ධූරය බහුතර විපක්ෂ මන්ත්‍රීන් සිටින ඒකාබද්ධ විපක්ෂයට ඉල්ලා සිටීමටය. එසේම ජ.වි.පෙ නායක අනුර දිසානායක විසින් දරන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පදවියද ඒකාබද්ධය ඉල්ලන බව ප්‍රකාශිතය. ඔවුන්ගේ මන්ත්‍රීන් 54 දෙනා සහ අලුතින් ශ්‍රී.ල.නි.ප විපක්ෂ කණ්ඩායමේ සාමාජික ගණන 70ක් ද දක්වා ඉහළ යයි. ඒ ගැන ඊළඟ පක්ෂ නායක හමුවේදී කතා නායකවරයාගෙන් ඉල්ලීමක් කරන්නට ඒකාබද්ධය සැරසෙයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් ගණනාවක් තවමත් ජාතික ආණ්ඩුවේ කටයුතු කරන නිසා මෙලෙස ඒකාබද්ධයට විපක්ෂනායක ධූරය ඉල්ලා සිටීමට නීතිමය හිමිකමක් තිබේය යන්න ගැටලු සහගතය. ඒ ගැන අවසන් තීන්දුව ගත යුත්තේ කතානායකවරයා විසිනි.

මෙම ප්‍රශ්නය ගැන විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා පසුගියදා සඳහන් කළේ ලෝකයේ කිසිම රටක විපක්ෂනායකවරයකුට එරෙහිව විශ්වාසභංග ඉදිරිපත් කර නැති බවය. එසේම ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බැවින් ඔවුන්ට විපක්ෂනායක පදවිය ඉල්ලා සිටීමට කිසිදු අයිතියක් නැතැයි ද සම්පන්දන් මහතා ප්‍රකාශ කළේය. එබදු යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධයට අයිතියක් ඇති නමුත් එම ඉල්ලීම සදාචාර සම්පන්න නැතැයි කී හෙතෙම විශ්වාසභංගයක් ගෙන ආවොත් වෙන දේ බලමු යැයිද පැවසීය.

මැයි 01දාට යෙදෙන මැයි දිනය වෙසක් පොහොය නිසා මැයි 07දාට කල් දැමීම ගැන ජ.වි.පෙ විරෝධය පළ කළේය. ලෝක කම්කරු දිනය වන මැයි 01දා කවුරුත් නැතත් තම පක්ෂය යාපනයේදී මැයි දිනය සමරා මැයි 07 දා කොළඹ බී.ආර්.සී. පිටියේදී දෙවන වරටත් මැයි දිනය පවත්වන බවත් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දිනය පවත්වන්නට යන්නේ කුරැණෑගලය. එය මැයි 07 දා මහජන රැළියකට සීමාකෙරෙනු ඇතියි දැනගන්නට ඇත. ඒකාබද්ධ විපක්ෂය ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී මැයි දිනය සමරුමට සියල්ල සූදානම් කර ඇත.

මේ ගැන විශේෂ ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේ ගියවර මෙන් මෙවරද මැයි දින සැමරුමට ගෝල්ෆේස් පිටිය ඉල්ලා සිටියද ඒකාබද්ධයේ ජනතා සහභාගීත්වයට බිය වූ ආණ්ඩුව මෙවර ගෝල්ෆේස් පිටිය ලබා නොදුන් බවයි. ඒ නිසා මැයි 01දා කොළඹ අභයාරාමයේදී සංකේතවත් මැයි දින රැස්වීමක් පවත්වා 07 ගාල්ලේදී මැයි දිනය උත්කර්ෂවත් ලෙස සමරන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර