2018 අප්‍රේල් 13 වන සිකුරාදා

අවුරුදු නැකැත් තිතටම කළ යුතුද?

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 154

පොල්කිරෙන් කිරි උතුරවන්න එපා

ප්‍රවීණ ජ්‍යොතිෂාචාරිනි චින්තා වික්‍රමසිංහ

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කවදා කොහොම බිහිවුණාදැයි අප කවුරැත් දන්නේ නෑ. සූර්යයා බිහිවුණු දා සිට මේ සිංහල අලුත් අවුරුද්ද පවතින බවයි මගේ විශ්වාසය වන්නෙ. සූර්යයා වටා අපේ පෘථිවිය තුන්සිය හැටපස් දවසක් ගොස් ආයෙමත් නැවත ආරම්භයක් ලෙසින් මෙය සටහන් කරනවා.

සූර්යයා වටා ඇති ලග්න දොළහ වටා සූර්යයා ගමන් කරයි. එහි ආරම්භය වන්නේ අප්‍රේල් 14 වැනිදා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමෙනි. බොහෝ දෙනා මෙය ආරම්භයක් ලෙස සලකයි. මිනිසුන් වශයෙන් වෙනසක් තිබිය යුතුය. අප වටා වෙන්වුණු සංස්කෘතියක්, ආගමක් පවතී. අප්‍රේල් මාසය බොහෝවිට දේශගුණික වශයෙන් වුවද අධික රස්නය ඇති කාලයකි. සූර්යයා කෙළින් යන ගමන මේ පොළෝතලයට වැදීමෙන්  රස්නය වැඩිවෙයි. ඒ සූර්ය තාපයත් සමඟ මිනිසාගේ කේන්තිය, වෛරය, ක්‍රෝධයද වැඩි වේ. ඒවා නිවාලන්නට මේ අවුරුදු චාරිත්‍ර සහ අවුරුදු ක්‍රීඩා ගෙන ආ බවටද පැරුන්නන්ගේ මතයක් වෙයි.

කන්නයේ වී ගෙට ගැනීමෙන් අස්වැන්න ලබන කාලයක් ලෙසද මේ කාලය හැඳින්වේ. මේ වසන්ත කාලයයි. මේ නිසා මිනිසුන්ගේ අතමිට එකල සරැසාර වූ බවත් එයින්ද මේ චාරිත්‍ර පැවතෙන බවද විශ්වාස කෙරේ. මේ චාරිත්‍ර සඳහා පැරුන්නෝ නැකැත් ශාස්ත්‍රයද ගෙන ආහ. සූර්යයා ගමන් කරන කාලය අනුව නොනගත කාලය, අපර පුණ්‍ය කාලය, පුර පුණ්‍ය කාලය ලෙසින් කොටස්වලට බෙදූහ.

මෙම සූර්යයා සංක්‍රාන්තියට පෙර කෝණ මාසයද පැමිණේ. කෝණ මාසයේදී සුබ කටයුතු කිරීම බොහෝදුරට අත්හරී. මීන රාශියේ රවී ගමන් කිරීම කෝණ මාසය ලෙසින් හැඳින්වේ. කෝණ මාස හතරක් තිබුණද මෙම මීන රාශියේ රවී ගමන් කිරීම බොහෝ අසුබ බව කියැවේ. මීන රාශිය මේෂ රාශියට පිවිසීමත් සමඟ නැකැත් පවතී. එම නැකැත් තිබීමෙන් මිනිසා විසින් මූලිකව කරනු ලබන කටයුතු නැකැත් ශාස්ත්‍රයට අනුව කිරීමට උත්සාහ ගනී.

නැකැත් ශාස්ත්‍රයට අනුව ලිපගිනි මොලවයි. කිරිබත පිසියි. කිරි උතුරවයි. ගනුදෙනු කරයි. රැකියාව ආරම්භ කරයි. මේ සැම සුබ කටයුත්තක්ම නැකැත් වේලාවට අනුව කිරීමෙන් ආරම්භ වේ. එවැනි සුබ කටයුතුවල ආරම්භයක් ලෙසින් සිංහල අලුත් අවුරුද්ද සැලකේ.

අපගේ දෛනික ජීවන රටාව නැවත අලුත් කිරීමක් මෙයින් සිදුවේ. ඇතැමුන් කලක් තිස්සේ කළ මත්පැන්, දුම්පානය ආදිය මේ කාලයේදී නතර කරයි. අනුන් සමඟ තිබූ තරහ මරහ කෝන්තර නැතිකර අලුත් කෙනකු වීම මේ අලුත් කාලයේදී සිදුවේ. එලෙස අලුත් අවුරුද්දත් සමඟ අලුත් කෙනකු වීම මේ කාලයේදී සිදුවේ.

බොහෝවිට මෙම නැකැත් ශාස්ත්‍රය බොහෝදෙනා එකතුව සිදුකරන කටයුත්තක් හේතුවෙන් එකම නැකැතක්, එකම වේලාවක්, එකම වර්ණයක් සහ එකම දිශාවක් අනුව තීරණය කෙරේ. මේ අනුව එකම ජාතියක් එකට එකතු වී කටයුතු සිදුකරන එකම දිනය වන්නේ මෙදිනයි.

එවැනි වැදගත් උත්සවයක් පිළිබඳ අවබෝධයක් අපගේ අනාගත පරපුරට ලබාදිය යුතුය. මෙය අපගේ ජාතික සංස්කෘතිය නැඟිටීමකි. අලුත් අවුරුද්දේදී ගමේ විහාරස්ථානය හා මිනිසා බැඳීම් ගොඩනගා ගනු ලබන කාලයයි. එබැවින් මේවා අපට බැහැර කළ නොහැක.

සිංහල අලුත් අවුරුදු නැකැත් පොදු නැකැත් ලෙස හැඳින්වේ. ඇතැම් ලග්නවලට මෙම නැකැත්වල යම් යම් දුර්වලතා තිබිය හැක. නමුත් මෙය පොදු නැකැත් බැවින් එහි බලපෑම ශුන්‍ය වේ. සියලු දෙනාම එක්ව සිදුකරන බැවින් එයින් අයහපතක් කිසිසේත්ම සිදුනොවේ. යම්කිසි දෝෂයක් පවතී නම් ප්‍රායෝගිකව සිදුකරන කටයුතුවලින් ඒවා මැඩපවත්වා ගත හැක.

අද බොහෝ දෙනා කිරි ඉතිරවීම සම්බන්ධවද සිතන්නේ දෙගිඩියාවෙනි. ලිපගිනි මොලවා කිරි මුට්ටිය නිසි වේලාවේදී ලිප මත තබන්න. පත්තිනි මෑණියන්ගේ කතා පුවත අනුව කිරි ඉතිරවීම ආරම්භ වූ බවට ඈත අතීතයේ සිටම කතා පවතී. ගිනි නිවීමට, නරක දොස් දුරුකිරීමට, පාපතර ක්‍රියා නැවැත්වීමට කිරි ඉතිරවීම ඉතා සුබයි. 

බොහෝ දෙනා කිරි ඉතිරවීම සඳහා පොල්කිරි යොදාගන්නවා. නමුත් කිරි ඉතිරවීමට පොල්කිරි අයිතිවෙන්නේ නෑ. මේ සඳහා ගත යුත්තේ එළකිරියි. පොල් ගත් විට එයින් ඉතිරි වූ විට තෙලක් ඉතිරි වෙනවා. එයින් සුවඳක් එන්නෙ නෑ. කිරි සුවඳයි මුළු ගම්මානේ... කියලයි කියන්නෙ. ඒ වෙනුවෙන් එළකිරි භාවිතා කළ යුතුය.

ගින්දර යනු සූර්යයා සතු ශක්තියකි. ලිප ගිනි දැල්වීම සඳහා ස්වභාවික සම්පත් එක්කරගත යුතුය. ඇලුමිනියම් මුට්ටියක් ගෙන, ගෑස් ළිපේ කිරි ඉතිරවීමෙන් කිසිදු ඵලයක් සිදුනොවේ. ඒ වෙනුවට ලිප ගල් තුනක් මත මැටි මුට්ටියක කිරි ඉතිරීම සිදුකළ යුතුය. කිරි ඉතිරීගොස් ගින්න නිවිය යුතුය. එලෙසින් අපගේ කුසේ ගින්නද නිවේ. හිතේ ඇවිලෙන ගින්දරද නිවේ. එයින් කිරි ඉතිරවීමේ සාර්ථකත්වය රැඳී පවතී.

නැකැතට ආහාර අනුභව කිරීම සිදුකෙරේ. ඒ වෙනුවෙන් වෙන්වුණු ආහාරයක්ද තිබේ. එමගින් ඇතිවී තිබෙන දෝෂ නිවාරණය වේ. සුබ සිතින් සුබ වෙලාවෙන් ගනු ලබන ආහාර ශරීර සෞඛ්‍යයට යහපත් වේ.

මේ නැකැත් සියල්ලෙන්ම අපගේ සිතේ සතුට වැඩිවේ. ආගමික භක්තිය වැඩිවන ආකාරයට ඒ දවසේ වැඩ කටයුතු සිදුකෙරේ. එවිට අලුත් ජීවිතයකට අඩිතාලම තිබූ බවට අපට හැඟී යයි.

ඕනෑම සාර්ථකත්වයකට අධිෂ්ඨානය ඉවහල් වේ. සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවලට අනුව අපි සිතේ අධිෂ්ඨානය වැඩිදියුණු කරගත යුතුය.

අලුත් අවුරුදු චාරිත්‍ර සිංහලයාට අයත් වූ චාරිත්‍ර වේ. ඒවා ඉතා වටිනා චාරිත්‍ර වේ. බුලත සමගියේ සංකේතයයි. නාග ලෝකෙන් ගෙන ආ බුලත එදා සිටම අද දක්වාම සිංහල අලුත් අවුරුද්දේ විශේෂ තැනක් හිමිකරගනී. වාදභේද දුරුකොට සමගියට ආරාධනා කිරීමත් ආශිර්වාදය ලබාගැනීමත් බුලතේ සංකේතයයි. එය ඉතා වටිනා චාරිත්‍රයකි.

අද බොහෝ විට මිනිසාගේ කාර්යබහුලත්වයත්, තාක්ෂණික දියුණුවත් සමඟ මෙම අවුරුදු චාරිත්‍ර පිරිහෙමින් පවතී. බොහෝ දෙනකුට වැඩ වැඩි වූ විට අපේකම අමතක වේ. මෙයින් අනාගත දරු පරපුර නොමඟට යාමට බොහෝ ඉඩකඩ ඇත. අපි අපගේ සංස්කෘතිය රැකිය යුතුය.

අතීතයේ බොහෝ දෙනා තෙල් සිඳ ඒ තෙල හිසට ගැල්වූහ. නමුත් වර්තමානයේදී බොහෝ දෙනා අලුත් අවුරුද්දේ හිසතෙල් ගැල්වීමේ නැකැත සිදුනොකරයි. සමහරැ වෙළෙඳපොළේ ඇති තෙලක් හිසට ගල්වති. ව්‍යාපාර ලෝකයට මිනිසුන්ව ඇද දමන්නට උත්සාහ ගන්නා වෙළෙන්දෝ හිසට මෙම තෙල්ද විකුණති. ගමේ තෙල් සෑදීම කරනුයේ ගමේ විහාරස්ථානයේදීය. එම හිසට ගල්වන තෙලෙහි ඖෂධ වර්ග දාහතරක් අන්තර්ගත වේ. තෙල් හා නානු ගා නැකැත් වේලාවට හිසේ සිට පාදාන්තය දක්වා තිබෙන්නා වූ රෝගී තත්ත්වයන් නැති කරන්නැයි ඉල්ලා සිටිමින් කරනු ලබන මෙම චාරිත්‍රයද ඉතා වැදගත් චාරිත්‍රයක් වේ. හිස යනු ගසක මුල සේය. අපි සියලු තීරණ ගන්නේ හිස භාවිත කිරීමෙනි. හිස නිරවුල්ව තබා ගැනීමට මේ අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනා කළ යුතුය. මූල ධාතුව ශක්තිමත් කිරීමට නැකැතට හිසතෙල් ගෑම සිදුකළ යුතුය.

මෙම නැකැත් නිසියාකාරව සිදුකිරීමෙන් ගේදොරවල සිදුවන ගැටලු, හිත් රිදීම් අඩුවේ. චාරිත්‍ර නිවැරදිව සිදුකරන්නෝ වැරදි කිරීමට බියවෙති.

අද වෙද්දී ඇතැමුන් සිංහල අලුත් අවුරුද්දට මුල්තැන දෙනු ලබන්නේ චාරිත්‍රවලට නොව, කෑමට බීමට, මත්පැන්වලටය. සිංහල අලුත් අවුරුද්දට මත්පැන් කිසිදු අයුරින් අදාළ නොවේ. නමුත් ඇතැම් දෙනා වැඩි මුදලක් වැය කරන්නේද මත්පැනටය. වැඩි කාලයක් වෙන් කරන්නේ මත්පැනටය.

චාරිත්‍ර නොකිරීමෙන් නරකක් වෙනවාම කියලා කියන්න මට බෑ. හැබැයි එවිට අපි ජීවිතේ පටන් ගත්තු තැනම තමයි ඉන්නෙ. ජීවිතේ අලුත් වෙන්නෙ නෑ. ජීවිතේ අලුත් වීමක් වන තරමට හිතේ සතුට වැඩිවෙනවා. චාරිත්‍ර කරනවා නම් ඒකෙන් ආනිසංසයක්, අනුබලයක් අපේ ජීවිතේට ලැබෙනවා. හිතේ සතුට සහ අධිෂ්ඨානය අපිට ලැබෙනවා. ඒ සතුට අධිෂ්ඨානය රඳවාගන්නට අවුරුදු චාරිත්‍ර සිදුකරන්න. ජීවිතේ අලුත් වෙන්න මේ චාරිත්‍ර උදව් කරගන්න...

නැකැත් දෝෂ කතාව බොරුවක්

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන පූර්ව භාග 8.13ට උදාවන ලෝකයේ හතර කේන්ද්‍රස්ථාන පාළු වී ඇත. මෙය කිසිවකුට වෙනස් කළ නොහැකි තත්ත්වයකි. නැකැත් කමිටුව විසින් සාදන ලද නැකැත්වල කෝටියක් දෝෂ භංග කරවන ප්‍රබලතම ග්‍රහ යෙදුම ප්‍රබලම ආකාරයට යෙදී ඇත. එබැවින් එම දෝෂ භංග වේ.

ශ්‍රී ලංකාවේ පළමුව ඉර උදාවන්නේ අම්පාර අක්කරපත්තුවටයි. එය කොළඹට වඩා විනාඩි 8ත් තත්පර 10කට පෙරය. එදින රාහු කාලය 10.33ට ගෙවේ. ලිප ගිනි මෙළවීමේ නැකැත උදා වන්නේ පූර්ව භාග 10.40ටය. මේ නිසා ඒ ඒ පළාත්වලට හිරු උදාවන ආකාරය අනුව එම නැකැත යොදාගත යුතුය. නමුත් මෙවර නැකැත්වල බලගතු දෝෂයක් ඇත්තේම නැත.

ජ්‍යෙතිෂ්‍යය පදනම් කරගෙනම ලොව පුරා සිටින ජනතාව සිදු කරන එකම සංස්කෘතික අංගය සිංහල අවුරුද්ද, බක්මහ උළෙල, සූර්ය මංගල්‍යය සහ වසන්ත සැණකෙළිය නමින් ද හඳුන්වන අතර අප රටේ රජ මැඳුරේ සිට දුගී පැල්පත දක්වාම ගත කරන සැවොම එකට එක්වී සිදු කරන ගෞරවපූර්ව චාරිත්‍රයක් බව කිව යුතුව ඇති අතර ඇති හැකි සැමදෙනා මෙන්ම, නැති බැරි සියලු දෙනාත් එක්ව සතුටින් සහ උද්යෝගයෙන් මෙම උත්සව අවස්ථාව සමරයි. සමස්ත ලෝකවාසී ජනතාවම ඉතාම ඕනෑකමින්, උනන්දුවෙන් කරනු ලබන චාරිත්‍ර ලෙස සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හැඳින්විය හැක. සිංහල අලුත් අවුරුද්දට බොහෝ දෙනා සූදානම් වන්නේ ජනවාරි මාසයේ සිටය. විදෙස්ගතව සිටින බොහෝදෙනා ද මෙම සිංහල අලුත් අවුරුද්දට චාරිත්‍ර වාරිත්‍ර කිරීමට තම උපන් මව්බිම වෙත පැමිණේ. නමුත් මේ අතරින් ඉතාම ඉතා සුළු පිරිසක් මෙම සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ගණන් නොගනී. ඔවුන් අලුත් අවුරුදු චාරිත්‍ර උසුළු විසුළුවට ලක්කෙරේ. නමුත් එවැනි තත්ත්වයට පත්වෙන්නේ අතළොස්සක් දෙනා පමණි. ඔවුන් නැකැත් චාරිත්‍ර සඳහා සම්බන්ධ නොවේ.

අප මව්බිමේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ජ්‍යොතිෂය පදනම් කරගෙනම සිදු කරන මෙම මහා සංස්කෘතික මංගල්‍යය යෙදෙනුයේ ග්‍රහ ලොව ප්‍රධාන ග්‍රහයා වන අප සැවොම දිනපතා දකින මිනිසාට මෙන්ම ජීව අජීව සියලු වස්තූන්ගේ පැවැත්මට හේතුකාරක වන බවට ජනතාව තුළ ඉමහත් විශ්වාසයක් හිමි සූර්යයා හෙවත් රවි ග්‍රහයාගේ ගමන අනුවයි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සම්ප්‍රාප්තවීම අනුවයි. ජ්‍යොතිෂයට අනුව රාශි 12 වන මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන රාශි වලල්ලේ එක් වටයක් ගමන් කිරීමට සූර්යයාට දින 365 ක පමණ කාලයක් ගතවන අතර 2017 අප්‍රේල් මස 14 වැනි සිකුරාදා දින පෙරවරැ 02.04ට මේෂ රාශියට ප්‍රවිශ්ට වූ සූර්යයා හෙවත් රවි ග්‍රහයා මෙවර අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා දින පූර්ව භාග 08.13ට මේෂ රාශියට ප්‍රවිශ්ට වීමත් සමඟ මෙවර සිංහල අලුත් අවුරුද්ද හෙවත් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය උදා වේ. මෙම සිංහල අලුත් අවුරුද්ද සඳහා නව වසරේ තම සියලු වැඩ කටයුතු සඵල කර ගැනීම සඳහා ශුභ මුහුර්ථීන් හතරක් සූදානම් කර ඇති අතර, ආහාර පිසීම සඳහා නව වසරේ පළමුවෙන්ම ලිප ගිනි දැල්වීමට පළමු ශුභ මුහුර්ථියක් පවතින අතර, දෙවන ශුභ මුහුර්ථිය සූදානම් කර ඇත්තේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවයටයි. තෙවන ශුභ මුහුර්ථිය යෙදී තිබෙන්නේ හිස තෙල් ගෑමටයි. එම ශුභ මුහුර්ථියේදී තම ශරීරයේ උත්තමාංගය ලෙස හඳුන්වන ශරීරයේ වටිනාම ස්ථානයේ ඖෂධීය තෙල් වර්ග එක්කර සකස් කර ගත් තෙල් ගැල්වීමක් සිදු කරන අතර සිව්වන ශුභ මුහුර්ථිය වනුයේ නව වසරේ රැකී රක්ෂා සඳහා පිටත් වන ශුභ මුහුර්ථියයි. අනාදිමත් කාලයක් තිස්සේ සෑම වසරකම මේ ආකාරයට ශුභ මුහුර්ථීන් සකස් කරන අතර නව අවුරුදු උදාවන වේලාව පදනම් කරගෙන නව වසර උදාවීමට පෙරාතුව නව සඳ බැලීමට සහ පැරැණි අවුරුද්ද සඳහා ස්නානයට ශුභ දිනයන් දෙකක් ද සූදානම් කර ඇත.

2018.04.14 වන සෙනසුරාදා පෙරවරු 08.13ට සූර්යයා මේෂ රාශියට ප්‍රවිශ්ට වීම අනුව සිංහල - දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි. සූර්යයාගේ ග්‍රහ ගමන් අනුවම මීන රාශියේ සිට මේෂ රාශියට ප්‍රවිශ්ඨ වීම සිදුවන අතර එය කිසිවකුට වෙනස් කළ නොහැකි වේ. රටෙත් ජනතාවගෙත් දෛවය සහ වාසනාව අනුවම එය සිදුවන බවට ජනතාව අතර විශ්වාසයක් පවතින අතර, ලබන්නා වූ නව වසර සඳහා රටට සහ රට වැසියන් සඳහා සුභ අසුභ පල කරන්නේ ඉහත පෙරවරු 08.13 වෙලාවට සකස් කර ගත් ජන්ම පත්‍රයක් ඇසුරෙනි.

අප රටේ සංස්කෘතික අමාත්‍යතුමාගේ අනුදැනුම පරිදි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂතුමාගේ මෙහෙයවීමෙන් රට තුළ සිටින ප්‍රවීණ සහ අත්දැකීම් බහුල ඉතා දැනුමැති ජ්‍යොතිෂවේදීන්ගෙන් සමන්විත නැකැත් කමිටුවක් මඟින් මෙම සියලු ශුභ මුහුර්ථීන් සිංහල අලුත් අවුරුද්දට මාස 06කටත් පෙරාතුව සකස් කරනු ලබයි. ඉන්පසුව මෙසේ සකස් කරගත් ශුභ මුහුර්ථීන් සංස්කෘතික අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අලුත් අවුරුද්දට දින 14කට පමණ පෙරාතුව තෝරා ගත් ශුභ දිනයක ඉතා ශුභ මුහුර්ථියකින් උත්සවශ්‍රීයෙන් රටේ රාජ්‍ය නායකතුමාට පිළිගන්වනු ලබයි. ඈත අතීතයේ ද පෙර රජවරැන්ට මෙම අවුරැදු නැකැත් පත්‍රය ඉහත ආකාරයෙන්ම ඉතා අභිමානවත් ලෙසින් පිළිගන්වා ඇති බව පුරාණ පොත් පත් පිරිශීලනය කරන විට අප හට පැහැදිලි වේ. ලොව අන් කිසිදු රටක, කිසිදු ජන කොටසකට මෙවන් අභිමානවත් සංස්කෘතික අංගයන් රුසකින් සමන්විත උත්සවයකට සහභාගී වීමට අවස්ථාවක් නොමැති බව පෙනී යයි. එසේ පවසනුයේ මන්දයත් මෙම උත්සවයට සමගාමීව පවුලේ ඥාතීන් අතර මෙන්ම අසල්වාසීන් අතර ද නව සුහදතාවයක් ගොඩනැගෙන අතර මිනිසාගේ ගත මෙන්ම සිත ද නැවුම් සිතුවිලි මෙන්ම නව බලාපොරොත්තුවලින් ප්‍රබෝධමත් වන බැවිනි.

කාලාන්තරයක් තිස්සේ අප රටේ බොහොමයක් ජනතාව මෙම අසිරිමත් බක්මහ උළෙලට සූදානම් වනුයේ සෑම වසරකම පළමු මාසය වන ජනවාරි මාසයේ සිටයි. බොහෝ නිවෙස් හිමියන් තම නිවාස අලුත්වැඩියා කර තම වතුපිටි එළි පෙහෙලි කර මෙම අභිමානවත් නව අවුරුදු උත්සවයට සූදානම් වනවා මෙන්ම පරිසරයේ තුරු ලතාවෝ ද මලින් පලින් බරවන අතර අපේ රටේ ගොවි ජනතාව වඩාත්ම අස්වනු ලබන මාස් කන්නයේ අස්වනු ගෙට ගැනීමත් සිදුවේ. එසේම කොවුලාගේ මිහිරි නාදයෙන් ද රතිඤ්ඤා සහ උණ වෙඩි හඬින් ද සතර දිශාවම ප්‍රබෝධමත් වන අතර මේ සියල්ලම සෞභාග්‍යමත් බවේ සංකේතයන්ය. එමෙන්ම අප රටෙන් විදේශ ගතවූ ආදරණීය ජනතාව ද මෙම උත්සවය තම තමන්ගේ ඉතාම අභිමානවත් චාරිත්‍රයක් ලෙස සලකා දැඩි උනන්දුවෙන් සහ දැඩි කැපවීමෙන් ඉටු කරන බවක් පෙනෙන්නට ඇත.

මෙම තරගකාරී සමාජයේ ජීවන අරගලයක යෙදී සිටින අප රටේ සිංහල - දෙමළ බහුතරයක් ජනතාව කෙතරම් අඩුලුහුඬුකම් තිබුණත් ඒවා පසෙකලා හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයට දැඩි ඕනෑකමින් සහ සතුටින් සූදානම් වනුයේ මෙම උත්සවයේ වටිනාකම නිවැරදිව හඳුනාගෙන ඇති බැවිනි. සෑම නව අවුරුදු දිනකම අප රටේ අගනුවර වන කොළඹ නගරය මෙන්ම අනෙකුත් ප්‍රධාන නගරයන්හි ජනශූන්‍ය බවක් නැතහොත් ඉතා පාලු බවක් දක්නට ලැබෙනුයේ මෙම නගරවල සිටි සියලු ජනතාව මෙම උතුම් චාරිත්‍රය ඉටු කිරීමට තම මව්පියන්, දරුවන්, ඥාතීන් සහ හිතවතුන් දැක බලාගැනීමට ගම්බිම් බලා ගොස් ඇති බැවිනි. 

පොදු ජන ජීවිතයට සැනසුම, සතුට, සෞභාග්‍ය ළඟා කරන පරිසරයට ද නැවුම් ප්‍රබෝධයක් ගෙනදෙන මෙම කාලවකවානුවට ශ්‍රී ලාංකික සිංහල සහ දෙමළ ජනතාව සූදානම් වනුයේ සිත තුළ ඉමහත් ප්‍රාර්ථනාවන් රැසක් පොදි බැඳගෙනය. සූර්ය මංගල්‍ය දිනයේදී ලක්වැසි සියලු සිංහල සහ දමිළ ජනතාවම එකම අවස්ථාවක සියලු වැඩ අත්හිටුවා ශරීර ඉන්ද්‍රියන්ට විවේකය ලබාදී, ඉතා බැති සිතින් ආගමික කටයුතු ඉටුකරන අතර, නව අවුරැදු උදාවත් සමඟම එදිනට සුදුසු වර්ණයට අනුව නව ඇඳුමෙන් සැරසී පුරා දින 365ක් ආහාර පිසූ ලිප සුද්ධ පවිත්‍ර කර (පැවති සියලු අළු ඉවත් කර) එහි පළමුවෙන් ලිප ගිනි දල්වන අතර ඉන්පසුව වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවය එකම දිශාවක් දෙස බලා එකම ශුභ මුහුර්ථයකින් ඉතා ඕනෑකමින් සිදු කරයි. ඉන් දිනක් හෝ දෙකක් ප්‍රමාද වී තම ශරීරයේ උත්තමාංගය වන හිසෙහි නිරෝගී ඵල බලාපොරොත්තුවෙන් ඖෂධීය තෙල් වර්ග එක්කර සකස් කරන ලද තෙලක් හිසෙහි ගල්වයි. ඉන්පසුව ඉතා වටිනා ශුභ දිනයක ඉතා බලගතු ශුභ මුහුර්ථියකින් එකම දිශාවක් බලා නව වසරේ රැකි රක්ෂා සඳහා පිටත්ව යන්නේ තමාගේ අනාගතයය පිළිබඳව දැඩි අධිෂ්ඨානයෙන් යුක්තවයි.

වසරක් ගෙවී නව වසරක් උදාවන මෙම අසිරිමත් දිනයේ පොදුවේ ගත්කල අපගේ සමාජයේ වටිනාකම් සුරක්ෂිත වන අංශ කිහිපයක් දක්නට ලැබේ. ඒවා අතර කළගුණ සැලකීම, සදාචාර සම්පන්න ජනතාවක් බිහි කිරීම, සාමකාමී සහජීවනයට මඟ පෑදීම, වෛරය ක්‍රෝධය වැනි ලක්ෂණ ඉවත්කිරීම, වැඩිහිටියන්ට සැලකීම සහ තමාගේ ආගම කෙරෙහි ළෙන්ගතුකමක් ඇති කිරීම වැනි කරුණු ප්‍රධාන වේ. තම පවුලේ සියලු දෙනා එකට එක්වී දක්වන ආචාර සමාචාර අනුව දැඩි හැඟුම්බරභාවයකට ද ලක්වන මෙම චාරිත්‍ර මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර, ඇඳුම් - පැළඳුම්, යහපත් ශරීර සෞඛ්‍ය, රැකියාව සහ ආර්ථිකය මෙන්ම ආදරය, දයාව මූලික කරගත් චාරිත්‍ර වේ. ඉහත කරුණු අනුව මෙම සූර්ය මංගල්‍යය කෙතරම් වැදගත් ද යැයි මැනවින් පසක් වේ. එම නිසා මෙම උතුම් සම්ප්‍රදායට සම්බන්ධ වීම ශ්‍රී ලාංකික ජනතාව ඉතා වැදගත් යුතුකමක් ලෙස සලකයි. 

එසේ සම්බන්ධ නොවීමෙන් තම ආර්ථිකයට මෙන්ම රුකියාවට ද, ආහාර පානවලට, ශාරීරික සුවයට ද වර්ෂය පුරාම යම් යම් ගැටලුවලට මුහුණ දීමට සිදු විය හැකි බවට ජනතාව තුළ මතයක් පවතී. මුළු මහත් ජාතියක්ම පිබිදෙන මෙවන් අති ගෞරවපූර්ව සම්ප්‍රදායකට බැති සිතින් එක්වීම මුළු මහත් ජනතාවගේ පැහර නොහැරිය හැකි යුතුකමක් ලෙස දැක්විය හැකිය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00