2018 අප්‍රේල් 13 වන සිකුරාදා

කතරගම නිලමේ දොට්ට දැමූ අවුල

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 281

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ දොන් පියතිස්ස කුමාරගේ මහතාගේ සේවය වහාම අත්හිටුවීමට බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවෙලගෙදර මහතා විසින් අප්‍රේල් 10 දින සිට කටයුතු කර තිබේ. බස්නායක නිලමේවරයාගේ සේවය අත්හිටුවීම පිළිබඳව මේ වනවිට මහත් ආන්දෝලනාත්මක තොරතුරු ප්‍රචාරය වෙද්දී තමන් මේ පිළිබඳව අධිකරණයේ පිහිට ලබාගන්නා බව කුමාරගේ මහතා කීය. 

පසුගිය සතියේ කතරගම දේවාල භූමිය ආශ්‍රිතව මරණ ලද මුවෙකුගේ මාංශ ශීතකරණයක් තුළ තිබී හමුවීමෙන් පසු දේව කෝපයක් සහ දේව උදහසක් ඇති වී බස්නායක නිලමේවරයාට එය ශාපයක් වී මේ ඉරණම අත්වී ඇති බව කතරගම ප්‍රදේශයේ ඇතැමුන් පවසනුයේ දැඩි කළකිරීමකිනි.

2015-04-28 දින මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විහාර දේවාලගම් පනත් ප්‍රකාරව පැවති, කතරගම බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ ඡන්දයේදී ඓතිහාසික කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයේ යෝජනාවක් අනුව කුමාරගේ මහතා ඒක ඡන්දයෙන් තේරී පත්විය.

මහනුවර ප්‍රදේශයේදී සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන කුමාරගේ මහතා කතරගම බස්නායක නිලමේ ලෙස වැඩ බාරගන්නා අවස්ථාවේ පැවසුවේ “මහ දේවාලයට පෙරහර කරන්න මුදල් නැහැ. ගිණුම් බංකොලොත් වෙලා” යන කරුණුයි. 
මෙසේ බංකොලොත් වී ඇති ස්ථානය නගා සිටුවීම නිලමේවරයා සතු කාර්යයක් විය. එහෙත් ඒ පිළිබඳව සංවර්ධන කටයුතු නිසි ලෙස සිදු නොවූ බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

දුටුගැමුණු මහ රජතුමාගේ මාමා කෙනකු වන ගොරහරදුගම භාතිය තිස්ස කුමාරයා ක්‍රි.ව. 1453දී කතරගම දෙවි හාමුදුරුවන්ගේ ගිහි භාරකරු හෙවත් බස්නායක නිලමේ ලෙස ප්‍රථමවරට පත්වන්නේ දුටුගැමුණු රජු විසින් කතරගම දෙවියන් වෙනුවෙන් එළාර යුද්ධය ජය ගැනීමේ භාරය ඔප්පු කිරීම සඳහා කද සුරිඳුන්ට දේව මාලිගාවක් ඉදිකිරීමෙන් පසුවය. එසේ කද සුරිඳුන්ට දේව මාලිගාවක් තනා ඉර හඳ පවතින තුරා ඉටුකළයුතු රාජකාරි ද පවරා නියෝගයක් දුටුගැමුණු රජතුමා විසින් පනවන්නට යෙදිණි.

දුටුගැමුණු රාජ නියෝගය අනුව එදා පටන් අද වනතුරු කතරගම ඇසල පෙරහර මංගල්‍යය ප්‍රමුඛ කටයුතු සිදු කරනු ලබන්නේ ඒ නිසාය.

වර්ෂ 1815දී ඉංග්‍රීසීන් විසින් ලංකාව යටත් කර ගැනීමෙන් පසුව ගෙන ආ විහාර දේවාල පනතින් කතරගම බස්නායක නිලමේවරයා තෝරාගැනීමට ඡන්ද ක්‍රමයක් ආරම්භ කෙරිණි.

තවද, දේවාලයේ චංචල - නිශ්චල දේපොළ කළමනාකරණය, පෙරහර මංගල්‍යයන් පැවැත්වීම, දේවාලයට ලැබෙන පුද පඬුරු හා අලි ඇතුන් නඩත්තු කිරීම යන කරුණු බස්නායක නිලමේවරයා සතු කාර්යභාරයන් ලෙස ද ඉටුකළ යුතුවේ.
මේ ලෙස මහත් වගකීම් සම්භාරයකින් හෙබි කතරගම බස්නායක නිලමේ තනතුර සඳහා වෙනදා නොවූ විරූ අයුරකින් පසුගිය නිලමේ ඡන්දය මහත් උණුසුම් වී තිබුණේ නිලමේ අපේක්ෂකයන් රාශියක් ඒ සඳහා ඉදිරිපත් වීම නිසාය.
එහෙත් ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන් අභිබවා ඓතිහාසික කිරි වෙහෙර රාජමහා විහරස්ථානයේ යෝජනාවකට අනුව වර්තමාන නිලමේවරයා තේරී පත්විය.

නිලමේ ඡන්දය සඳහා කතරගම කිරි වෙහෙර රාජමහා විහාරය, කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, වැඩසිටි කන්ද රාජමහා විහාරස්ථානය, සෙල්ලකතරගම මහසෙන් රාජ මහා විහාරස්ථානය, කොටබෝව කුඩා කතරගම දේවාලය සමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඡන්දය ප්‍රකාශ කිරීමේ සුදුස්සෝ වූහ.

මහත් ආන්දෝලනාත්මක කාල පරිච්ඡේදයක් පසු කරලන්නට මෙලෙස තේරී පත්වූ දොන් පියතිස්ස කුමාරගේ බස්නායක නිලමේවරයා හට සිදු වූ අතර, එම සිද්ධීන්ම පාරා වළල්ලක් වී අද වන විට බස්නායක නිලමේවරයාට තහනමක් පැනවී තිබේ.

පසුගිය කාලයේ බස්නායක නිලමේවරයා පූජා භූමියේ ඔසු උයනේ අක්කර 30ක් පමණ ප්‍රදේශයක් බලහත්කාරයෙන් ඩෝසර් කර, ඉන්දියාවේ තිරුපති දෙවොලක ශාඛාවක් ඉදිකර දීමට කුරුමානම් ඇල්ලූ බවට වාර්තා විය.

කෙසේ වෙතත් කතරගම දේවාලයේ පසුගිය කාලයේ හටගත් ආරවුල්වලට දේවාලයේ කපු මහත්වරුන්ට වතාවත් පැවරීම සම්බන්ධ ප්‍රශ්නයක් මුල් විය. අතීතයේ සිට පැවති සම්ප්‍රදාය අනුව වසරේ මාස 6ක පමණ කාලයක් නිශ්චිත කපු පරම්පරාවක කපු මහත්වරුන්ට රාජකාරි පවරා තිබුණි. ඉතිරි මාස 6 වතාවත් කිරීම බස්නායක නිලමේවරයා විසින් සුදුසු කපු මහත්වරුන්ට පවරා ඔවුන් ලබන ආදායමෙන් බාගයක් දේවාලයේ බාහිර කටයුතු සඳහා යොදා ගැනිණි. රුපියල් කෝටි ගණනක් වැය වන වාර්ෂික පෙරහර, දේවාලය අවට පවිත්‍රතා කටයුතු සහ ආලත්ති අම්මලාගේ වැටුප් ගෙවීම වැනි කටයුතුවලට එම මුදල් යොදා ගැනිණි.

එසේ වුවත් පසුගිය වසරේ කපු මහත්වරු සහ බස්නායක නිලමේවරයා අතර මෙම තේවා කටයුතු සම්බන්ධව හටගත් ආරවුල නිසා වරක් දේවාලය ඉබි යතුරු දමා වසා දැමුණි. ඒ අවස්ථාවේ ප්‍රශ්නයට මැදිහත්වූ බුද්ධ ශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා එතෙක් සම්ප්‍රදායිකව බස්නායක නිලමේවරයාට හිමිව තිබූ මාස 6 කපු වරම පැවරීමේ අවස්ථාව අහිමි කළේය. ඒ වෙනුවට අමාත්‍යංශයේ අභිමතය පරිදි එම මාස 6 ආගමික වතාවත් ඉටු කිරීම සඳහා කපු මහත්වරුන් තෝරා ගැනීම සිදුවිය. එය නිලමේගේ පාලනයෙන් ඉවත් කෙරිණි. මේ නිසා පෙරහර පැවැත්වීම ආදී කටයුතුවලට ආදායම් සපයා ගැනීමේ දුෂ්කරතාවයකට බස්නායක නිලමේවරයා මුහුණ දුන්නේය. දේවාලයේ අර්බුදය දුරදිග යාමට ඇමැතිවරයාගේ මෙම දේශපාලන මැදිහත්වීම ද බලපෑ බව සඳහන් කරනු වටී. මේ ගැන දේශය පුවත්පත වෙනුවෙන් ප්‍රශ්නයට සම්බන්ධ බලධරයන්ගේ අදහස් විමසීමු.

නිමල් කොටවෙලගෙදර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මේ සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.“පසුගිය කාලේ පැනනැගුණු ගැටලු හේතුවෙන් කතරගම නිලමේවරයා ගැන විමර්ශනයක් පැවැත්වුවා. එහිදී නීතිපති උපදෙස් මත විගණන කටයුතු සිදුවෙන නිසා කතරගම බස්නායක නිලමේවරයාගේ වැඩ තාවකාලිකව නතර කිරීමට සිදුවුණා.
මේ බව එතුමාට අප්‍රේල් 10 දා කුරියර් තැපැල් මාර්ගයෙන් දැනුම් දීමක් යැව්වා.

“වැඩ බැලීම සඳහා සුදුසු කෙනෙක් ඉක්මනින්ම පත් කරනවා.” දොන් පියතිස්ස කුමාරගේ (කතරගම හිටපු බස්නායක නිලමේ) තමන්ගේ සේවා තහනම ගැන අදහස් දැක්වීය.

“මට අප්‍රේල් 10 දා දින මේ ගැන ලිඛිතව දන්වලා නැහැ. මම බස්නායක නිලමේ වුණාට මට ඉහළින් වෙන අය දේවාලයේ පඬුරු පාක්කුඩම් සූරාගන්නවා.

මම ඡන්දයකින් තේරීපත්වුණ නිලමේවරයෙක්. විහාර දේවාලගම් පනතින් එහෙම පත්වුණු කෙනෙක් නෙරපීමට බැහැ. මම මේ ගැන අධිකරණයේ පැමිණිලි කරනවා. අද වනවිට දේවාලයේ බැංකු ගිණුම් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් නවතලා. මට දැන් දේවාලයේ වැඩ කරන්න විදියක් නැහැ.”

කොබවක ධම්මින්ද නාහිමියෝ (කිරිවෙහෙර රජමහා විහාරාධිපති) මෙසේ කීහ.

“කතරගම බස්නායක නිලමේවරයාගේ සේවය නතර කිරීම සම්බන්ධව මම දැනුවත් නැහැ තාම. පසුගිය කාලේ සිදුවූ සිදුවීම් රාශියක් තිබුණා. මෙතනට පැමිණෙන තනතුර බාරගෙන කරන පුද්ගලයා එහි නිලමේ වගකීම් සහ තනතුරු රැකෙන විදියට කටයුතු කළොත් හොඳයි.”

ගාමිණී ජයවික්‍රම පෙරේරා (බුද්ධ ශාසන අමාත්‍ය) මෙසේ කීය.

“ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ නිලමේවරයායි, කපු මහත්වරුයි අතර විශාල ප්‍රශ්නයක් ඇතිවුණා. මම කතරගමට ගිහිල්ලා මේ ගැන කරුණු සොයාබලා ප්‍රශ්නය විසඳීමට ක්‍රියා කළා. ඒත් දිගින් දිගටම මට පෙත්සම් රාශියක් ආවා. නිලමේවරයාගේ ක්‍රියාවන් සම්බන්ධව ඇයි පියවරක් ගන්නේ නැත්තේ කියලා. මෙහිදී විමර්ශනයක් සිදුකළා. අල්ලස් කොමිසමේ  දිල්රුක්ෂි ඩයස් මහත්මිය මේ ගැන කරුණු සොයා පියවරක් ගන්නා ලෙසටද දැන්වූවා. මේ ගැන නීතිපති හරහා කටයුතු කරන්න සිදුවුණා. ඒ අනුව විමර්ශන පරීක්ෂණ සිදුකළ වාර්තාව බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාට ලබා දුන්නා.

මෙහි තව විගණන වාර්තාවක් සිදුකරනවා. එහිදී තාවකාලිකව කතරගම බස්නායක නිලමේවරයාගේ වැඩ නැවැත්වීමට බෞද්ධ කටයුතු කොමසාරිස් කටයුතු කරලා තියෙනවා. මෙහිදී කැබිනට් එකටත් මේ සම්බන්ධව දැනුම් දුන්නා. අගමැති සහ ජනාධිපතිතුමාත් මේ ගැන දන්නවා. ඒ අයත් මෙහි විමර්ශන වාර්තාව ගැන දැනුවත් වුණා.

තව කාරණයක් තමයි මෙවර අවුරුදු පෙරහර මංගල්ල්‍යයේදී නිලමේවරයාට විශාල විරෝධතාවයක් කතරගමදී එල්ල වීමට තියන බවට ආරංචි වුණා.

එසේ ප්‍රශ්නයක් ඇති වුණොත් එය කද සුරිඳුන්ට කරනා නිග්‍රහයක් වෙනවා. ඒක රටටත් අලුත් අවුරුද්දේ හොඳ නැහැ. ඒ නිසා මම හැකි ඉක්මනට මේ සම්බන්ධව පියවර ගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා දැනුවත් කළා. දැනට කරගෙන යන විඝණන වාර්තා අනුව නිලමේවරයා නිදොස් වුණොත් නැවත ඔහුට නිලමේ තනතුර ලැබේවී.

දැනට දිල්රුවන් රාජපක්ෂ වැඩබලන නිලමේවරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු හොඳ සුරාසූදුවෙන් තොර බෞද්ධයෙක්. කාලයක් අධිකරණ අමාත්‍යාංශයේ නිලධරයකු ලෙසත් කටයුතු කර තිබෙනවා. ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදී සිසුවකු වෙනවා.

ඉදිරියේදී පැවැත්වෙන නිලමේ ඡන්දය සඳහා අයදුම්පත් ඉදිරිපත් කර සුරාසූදුවෙන් තොර මත්ද්‍රව්‍ය හා වැරදිවලට සම්බන්ධ නැති අය අඩුම තරමේ උසාවියකින් වරදකරුවකු නොවූ අය තෝරා ගන්න කටයුතු කිරීමේ ක්‍රමවේදයක් හදනවා. ඒ වාගේම දේවාලයට ලැබෙන රන්රිදී, මුතුමැණික්, දේවාලය ඇතුළදීම රිසිට් කඩා දේවාලයේ සේප්පුවක් තබා එහි තැබීමටත්, සෑම කෙනෙක්ම දෙවිහාමුදුරුවන්ට පූජා කරන පූජාවට්ටි දෙවියන් වහන්සේට නිසි ලෙස පූජා කිරීමේ ක්‍රමවේදයක් ද සැකසීමට කපු මහත්වරු සමඟින් සාකච්ඡා කර ඇති කරදීමටත් කටයුතු කරනවා.”

 

♦ රුක්මන් රත්නායක

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00