2018 අප්‍රේල් 13 වන සිකුරාදා

රස අවුරුද්දකට පබිලිස්ගෙන් නියම කෑම

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 315

උඳුවැල්

:- අවශ්‍ය ද්‍රව්‍ය

අඹරාගත් උඳු ග්‍රෑම් 300, පැණි මිලිලීටර් 350, උකු මිටිකිරි අඬුකෝප්ප ¼, හාල්පිටි  ග්‍රෑම් 100, ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩි 02, පොල්තෙල් බෝතල් ½, ලුණු ස්වල්පයක්

:- සාදන ක්‍රමය

මුලින්ම අඹරාගත් උඳු, ලුණු, කෙසෙල්, හාල්පිටි, උකු මිටිකිරි සමඟ එක්කොට අතේ නොඇලෙන ලෙස පදමට පිටි මිශ්‍රණය සාදා පැය හතරක් පමණ තබන්න.

මෙය තද වැඩිනම් කිරි ටිකක් එක්කර පදම සාදාගන්න.

රෙදි කැබැල්ලක් ගෙන ගොටුවක් මසා එහි පහළ කොටස අඟල් 1/4 ක් පමණ සිදුරක් සාදා බොත්තම් කාසයක් ලෙස මසාගන්න.

එම මිශ්‍රණයට සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් එක් කරන්න.

තෙල් තාච්චිය ළිප තබා තෙල් රත්වූ විට ගොටුවෙන් රවුමට මිශ්‍රණය වටේට වත්කරන්න.

උඳු රවුම බැදුණු විට තෙල් තාච්චියෙන් ඉවත් කර ඉක්මනින් පැණිවල බහාලන්න.

 

නාරං කැවුම්

:- අවශ්‍ය ද්‍රව්‍ය

හීනියට ගා ගත් පොල් ග්‍රෑම් 500, බැද කුඩුකරගත් මුංඇට ග්‍රෑම් 200, පොල්තෙල් මිලිලීටර් 500, හාල්පිටි ග්‍රෑම් 100, පැණි අඬුකෝප්ප 02, සීනි ග්‍රෑම් 100, කරාබු නැටි 04, කරදමුංගු ඇට 04, පොල්කිරි අඬුකෝප්ප 1 ½, කහ ස්වල්පයක්, කුරුඳුපොතු කැබැල්ලක්, ලුණු ස්වල්පයක්, බිත්තරයක්

:- සාදන ක්‍රමය

ගා ගත් පොල්, කරාබු නැටි, කරදමුංගු, ලුණු, සීනි, කුරැඳුපොතු පැණිවලට දමා මඳ ගින්දරේ තරමක් වේලෙන තුරු මලවාගන්න.

එයට බැද කුඩුකරගත් මුංපිටි එක්කර හොඳින් මිශ්‍රකර බෝල සාදාගන්න.

භාජනයකට හාල්පිටි, කහ බිත්තරය එක්කර මිශ්‍රනයක් පොල්කිරි මිශ්‍රනයෙන් සාදාගන්න.

එයට සාදාගත් ගුලි එක්කර එකින් එක රත්වූ තෙල්වලින් රන්වන් පාට වනතුරු බැදගන්න.

 

කජු නාඹර ව්‍යංජනයක්

:- අවශ්‍ය ද්‍රව්‍ය:

කපාගත් කජු නාඹර ග්‍රෑම් 200, කපාගත් රතුලූනු ග්‍රෑම් 30, කපාගත් අමුමිරිස් ග්‍රෑම් 30, කුඩුකරගත් උම්බලකඩ මේස හැඳි 01, කහකුඩු මේස හැඳි 02, මිටිකිරි අඬුකෝප්ප 01, දියකිරි අඬුකෝප්ප 03, මිරිස් කුඩු තේ හැඳි ½, කරපිංචා, රම්පෙ, දෙහි බෑයක යුෂ, ලුණු අවශ්‍ය තරමට

:- සාදන ක්‍රමය

කජු නාඹර, අමුමිරිස්, කුඩුකරගත් උම්බලකඩ, ලුණු, කහ කුඩු, මිරිස් කුඩු, රම්පෙ, කරපිංචා ආදිය සියල්ල එක්කර දියකිරින් තම්බාගන්න.

හොඳින් තැම්බුණු විට එයට මිටිකිරි එක්කර අවශ්‍ය තරමට ලුණු එක් කරන්න.

ළිපෙන් බා දෙහි යුෂ එක් කරන්න.

 

සිංහල අච්චාරු

:- අවශ්‍ය ද්‍රව්‍ය:

අමු ගස්ලබු ග්‍රෑම් 200, කපාගත් කැරට් ග්‍රෑම් 100, කපාගත් ළපටි මෑකරල් ග්‍රෑම් 150, පොඩි රතුලූනු ග්‍රෑම් 200, වෙන් නොවන සේ පලාගත් අමුමිරිස් ග්‍රෑම් 150, විනාකිරෙන් අඹරාගත් අබ කෝප්ප 1/4 ½, ගම්මිරිස්, සීනි මේස හැඳි 02, අඹරාගත් මුරුංගා පොතු තේ හැඳි 02, විනාකිරි අඬුකෝප්ප 01, ලුණු අවශ්‍ය පමණට

:- සාදන ක්‍රමය

භාජනයක් ළිප තබා විනාකිරි රත් කරගන්න.

එයට අමුමිරිස්, කැරට්, ගස්ලබු, මෑකරල්. රතුලූනු වෙන වෙනම දමා ගන්න.

භාජනයකට ගෙන අනෙකුත් සියල්ල දමා එයට විනාකිරිද එක්කොට හොඳින් මිශ්‍රකරගන්න.

විනාකිරෙන් තම්බාගත් මෑ, කැරට්, අමුමිරිස්, රතුලූනු එක්කරගන්න. හොඳින් මිශ්‍රකර භාජනයකට හෝ බෝතලයකට අසුරාගන්න.

 

බක්මහ කැනපි

:- අවශ්‍ය ද්‍රව්‍ය:

කැරට් කිලෝ 1, අන්නාසි ග්‍රෑම් 200, වරකා මදුළු 5, සැපතිල්ලා ගෙඩි 3, පැළපි (පැළ මද) 2, ළපටි කුරැම්බා මද 2, අඹ ගෙඩි 01, විනාකිරි මේසහැඳි 01, තෙල් මේසහැඳි 01, අබ කුඩු තේ හැඳි 01, ගම්මිරිස් කුඩු ½, සීනි තේ හැඳි 01, ලුණු

:- සාදන ක්‍රමය

පළතුරු සියල්ල හරි හතරුස් හැඩයට කපාගන්න.

ලුණු, අබ, සීනි, ගම්මිරිස්, විනාකිරි දමා මිශ්‍රකරන්න.

කැරට් අඟලක ඝනකමටත් අඟල් 2ක දිග පතුරක හැඩයටත් කපාගන්න.

එම කපාගත් කැරට් පතුරු උඩින් රවුම් කර හැන්දක ආකාරයට ගැඹුරු කරගන්න.

එයට පළතුරු පුරවාගන්න. හතරුස් ආකාරයට පළතුරැ පුරවාගත් මෙම බක්මහ කැනපි ඔබේ කෑම මේසයේ රසවත් මෙන්ම අලංකාර වූ කෑමක්ද වේ.

 

තෝරමාළු පොල්කිරි තියල්

:- අවශ්‍ය ද්‍රව්‍ය

තෝරමාළු ග්‍රෑම් 500, තක්කාලි ග්‍රෑම් 100, පොඩියට කපාගත් ලොකුලූනු ග්‍රෑම් 30, රතුලූනු ග්‍රෑම් 75, පොඩියට කපාගත් ඉඟුරු තේ හැඳි ½, මාළුකටු තම්බාගත් වතුර අඬුකෝප්ප 02, මිටිකිරි අඬුකෝප්ප 01, සුදුලූනු තේ හැඳි 01, තෙල් මේසහැඳි 02, අමුමිරිස් කරල් 10, ගම්මිරිස්, කුරුඳු කැබැල්ලක්, කරපිංචා, දෙහි, ලුණු අවශ්‍ය තරමට

:- සාදන ක්‍රමය

තෝරමාළු අඟල් ½ පෙති කපා මැදකටුව ඉවත් කර හතරට වෙන්කර සෝදන්න.

භාජනයක් ගෙන රත්කර තෙල් ස්වල්පයක් එක් කරන්න. එයට ලුණු, කරපිංචා, කුරුඳුපොතු, අමුඉඟුරු, සුදුලූනු, ගම්මිරිස්, බැදෙන්නට හරින්න. එයට කහ, මාළු තැම්බූ වතුර, ලුණු දමා උතුරවාගන්න.

එයට මාළු එක් කරන්න.

මාළු තැම්බෙන විට මිටිකිරි, රතුලූනු දමා උතුරවාගන්න.

තක්කාලි සහ වෙන් නොවන සේ පලාගත් අමුමිරිස් එක් කරන්න.

අවශ්‍ය තරමට ලුණු සහ දෙහි එක්කර මෙය තරමක් උකු හොද්දක් ලෙස පිළියෙළ  කරගන්න.

 

 දිශානි ජයමාලි කරුණාරත්න

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00