2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

මැතිසබේ සටන ඉවරයි කැබිනට් සටන ඇරඹෙයි

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 262

♦ හෘදය සාක්කියට එකඟව ඡන්දය දෙන්නැයි ජනපති කියයි  
♦ එ.ජා.ප. ප්‍රතිසංවිධානය ඇරඹෙයි. මහලේකම් ධුරයට ඇමැති අකිල  
♦ විශ්වාසභංගය අත්සන් කළ මුතුහෙට්ටිගමත් ඡන්දයට නැහැ   
♦ අගමැතිට එරෙහිව ඡන්දය දුන් මැතිඇමැතිලා අමුතු පාරක  
♦ අගමැති අපේක්ෂක නිමලුත් ඡන්දයට ඇවිත් නැහැ 
♦ මහින්දත් රනිල්ට එරෙහිව ඡන්දය දෙයි  

සති ගණනක් දේශපාලන කරළිය රත්කළ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්ද 46කින් ජයග්‍රහණය කළේය. මෙම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට යාමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල නැවතත් දෙකඩ වූ අතර ඉතිහාසයේ කලාතුරකින් සිදුවන ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ආණ්ඩුවේ අගමැතිවරයා වෙනුවෙන් ඡන්දදීමද විශේෂයකි. ඒකාබද්ධ විපක්ෂයේ ද බෙදීමක් ඇතිවනු ඇතැයි කීවද එහි කිසිදු බෙදීමක් දක්නට නොලැබිණි. කෙසේ හෝ අගමැතිට එරෙහි විශ්වාසභංගය මෙරට දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයකි. සතිය ආරම්භවෙද්දී විශ්වාසභංගය ගැන තිබුණේ ආකූල ව්‍යාකූල තත්ත්වයකි.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ශ්‍රී.ල.නි.ප.යෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඇතැම් සුළු පාක්ෂික කණ්ඩායම්වලින් ජනතා විමුක්ති පෙරමුණත් සහ එ.ජා.ප. අභ්‍යන්තරයෙන්ම අගමැති රනිල් වෙත පීඩනය එල්ලවෙමින් තිබිණි. එහෙත් අග්‍රාමාත්‍යවරයා අභ්‍යන්තර ව්‍යාකූලතා මධ්‍යයේ වුවත් පසුගිය සති අන්තයේත් මේ සතිය මුලදීත් ක්‍රියාකළේ කිසිවක් නොවූ ගාණටය. එ.ජා.ප.යේ ප්‍රතිසංස්කරණවාදී මන්ත්‍රීන් අගමැති රනිල්, කබීර්, රන්ජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල ආදීන් සමඟ ගිය ඉරිදා පැවති හමුව තීරණාත්මක විය. රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක, රංජිත් අළුවිහාරේ, අශෝක අබේසිංහ ආදීහු මෙම හමුවට එක්වූහ. ආනන්ද අලුත්ගමගේ ඇතුළු තවත් පිරිසක් ඊට එක්වීමට නියමිත බව කීවද ඔවුන් පැමිණි බවක් වාර්තා නොවීය.

කෙසේ හෝ මෙම හමුව උණුසුම් මුහුණුවරක් ගත් බව කියැවේ. පැමිණ සිටි ප්‍රතිසංස්කරණවාදීහු පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය බව දිගින් දිගටම කියූ අතර ප්‍රතිසංවිධානය වහා සිදුවිය යුතු බව පැවසූහ. එහෙත් අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබී තිබුණේ නැත. පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වන ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග වැන්නන් අමාත්‍ය පදවිවලින් ඉවත් කර තරුණයන්ට සුදුසු තැනක් ලබාදෙන බව කීවද වසන්ත සේනානායකලා දැඩිව ප්‍රකාශ කළේ අවශ්‍යවන්නේ එකී ඇමැතිවරුන් වෙනස්වීම නොව නායකත්වයේ වෙනසක් බවය. රංගේ බණ්ඩාර ද ආවේගශීලී කතාවක් කර තිබිණි. මෙම හමුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබිණි. අනතුරැව රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා ස්වකීය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එ.ජා.ප.යේ ප්‍රතිසංස්කරණ සිදුනොවන බව සඳහන් කර කනස්සල්ල පළකළේය. විශ්වාසභංගයට පෙරදාත් ඔහු මාධ්‍යයට කියා තිබුණේ අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉවත් විය යුතු වගය.

එදිනෙන් පසු අග්‍රාමාත්‍යවරයා තමන්ගේ දේශපාලන මෙහෙයුම වඩාත් වේගවත් කළේය. ඔහු සිය සමීපතම අමාත්‍යවරයකු වන මලික් සමරවික්‍රම, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට යවා විජේදාසව ගෙන්වා ගත්තේය. පසුව වාර්තා වූයේ විජේදාස සමඟ සුහදව කතාකොට ඔහුගෙන් උදව් ඉල්ලූ බවය. එවිට විජේදාස රාජපක්ෂ පවසා ඇත්තේ “ඉතින් සර් සර්නේ මාව අස්කළේ” කියායි. ඉන් අනතුරුව ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ද ගෙන්වාගෙන ඔහුගෙන්ද උදව් පැතූ බව වාර්තා විය. ඊ.පී.ඩී.පී.යේ ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා එලෙස සිය නිවෙසට කැඳවා තමන්ට සහාය දෙන්නැයි ඉල්ලීමක් කළ බව දැනගන්නට ලැබිණි. ඊටත් වඩා පක්ෂය තුළ සිට අභියෝගයක් කළ රවි කරුණානායක හිටපු අමාත්‍යවරයාගේ නිවෙසට ගොස් ඔහු මුණගැසී තිබුණි. රවිගේ ඉල්ලීම වී තිබුණේ එ.ජා.ප. රජයක මුදල් අමාත්‍ය පදවිය නැවත ඔහුට ලැබිය යුතු වගය. කෙසේ හෝ රවිට එරෙහි පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ තිලක් මාරපන කමිටු වාර්තාව ඒ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත දමා තිබිණි.

අනතුරුව ජනාධිපතිවරයා සහ එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡා වට දෙකතුනක්ම පැවැත්විණි. පළමු සාකච්ඡාව ගිය සඳුදා සවස පැවති අතර ඒ සෑම සාකච්ඡාවකදීම ජනාධිපතිවරයා ඉඟිකර තිබුණේ තමන් පක්ෂයට මේ ගැන නිදහසේ තීන්දුවක් ගන්නට ඉඩකඩ සලස්වන බවය. එසේම අග්‍රාමාත්‍ය රනිල්ගේ රජය සමඟ වැඩකිරීමට තිබෙන අපහසුකම් ද ව්‍යංගයෙන් සඳහන් කිරීමට ජනාධිපතිවරයා අමතක කළේනැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ගිය සඳුදා සවස ජනාධිපති නිල නිවසේ දී රැස්වුණි. එහිදී පසුදා විශ්වාසභංගය ගැන අවශ්‍ය තීන්දුවක් ගැනීමට පෙර මූලික අදහස් හුවමාරුවක් කරගැනීමට අදහස් කැරිණි. රැස්වීම ආරම්භයේ තමන් පවතින ප්‍රශ්න තේරැම්අරගෙන අග්‍රමාත්‍යවරයාට සිය තනතුරින් ඉවත් වන ලෙස මෙයට පෙර වාර ගණනාවක්ම දන්වා ඇතැයි කීය. තමන් පෞද්ගලිකවත් කැබිනට්ටුව මාර්ගයෙනුත් ඒ බව දැන්වූ බවත් කියා තවත් පැය 35කින් පසු විශ්වාසභංගය විවාදයට ගැනෙන බැවින් ඊට පෙර එතුමා තීන්දුවක් ගනු ඇතැයි සිතන බව පැවසීය. එවිට ශ්‍රී.ල.නි.ප. මහලේකම් දුමින්ද දිසානායක කීවේ පක්ෂය අගමැතිවරයාට අස්වන ලෙස දැන්වීමට තීන්දු කළේ නැති බවයි. විජිතමුණි සොයිසාද අගමැතිවරයාට ඍජුවම සහය පළනොකළත් වෙනත් නොයෙක් දේ කීය. රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් සෙනෙවිරත්න මහතා ද අගමැති අස්වුණොත් හොඳයි නැත්නම් මොකද කරන්නේ කියා ප්‍රශ්න කළේය. සෙසු ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයෝ සියල්ලන්ම පාහේ කීවේ අග්‍රාමාත්‍යවරයා ඉවත් වීමෙන් යහපාලන රජය රැකෙන බවය. චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ රනිල් සමඟ ශ්‍රී.ල.නි.ප.යට ගමනක් නැත කියාය. ලක්ෂමන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී.ල.නි.ප. මධ්‍යමකාරක සභාව අනුමත කළ බැඳුම්කර වාර්තාවේ චෝදනා 15ක් 13ක්ම මේ විශ්වාසභංගයට ඇතුළත් නිසා ඊට සහාය දියයුතු වගයි.

එවිට තමන් නොදැන මේ ගැන පක්ෂය තීන්දුවක් ගන්නේදැයි දුමින්ද දිසානායක අමාත්‍යවරයා ප්‍රශ්න කළවිට ලක්ෂමන් යාපා සඳහන් කළේ මෙය මධ්‍යමකාරක සභාව කලින් අනුමත කළ දෙයක් බවය. පක්ෂ තීන්දුව පසුදා ගැනෙන බවද සඳහන් කළේය. ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා “අපට පක්ෂයෙන් මොනව අහන්නද ජනාධිපතිතුමා එක්කත් කතා කරලයි තීන්දුවකට ආවේ.” කියා පිළිතුරු දුන්නේය. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා අවධාරණයෙන් කීවේ පසුගිය පළාත් පාලන ඡන්දයේ ජනමතය තේරුම් ගන්නා හැටියටයි. පක්ෂයේ 44%අපට විරුද්ධව පොහොට්ටුවට ඡන්දය දීලා අපටත් 14%ක් විතර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණට 6%යි. ඉතින් රටේ ජනමතය තේරෙන්නේ නැතිද? යූ.ඇන්.පී.යට තියෙන ඡන්ද ප්‍රතිශතය කීයද? ඉතින් මේ ගමන යන්න පුළුවන්ද? තේරැමක් තියෙනවාද? සුසිල් ප්‍රශ්න කළේය.

මෙම දීර්ඝ සාකච්ඡාව අවසානයේ විශ්වාසභංගයට පක්ෂයේ ඇමැතිවරුන් සහය දීමට තීන්දු කළ අතර පාර්ලිමේන්තු කණ්ඩායමත් සමඟ ඇමැතිවරු පසුදා රැස්වී අවසන් තීන්දුව ගන්නා බව ප්‍රකාශ කැරිණි. ඊට පෙර අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්වෙන්නට පෙර යහපාලන රජය තවදුරටත් පවත්වා ගන්නට නම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකමෙන් ඉවත්ව එ.ජා.ප.යේ. වෙනත් අපේක්ෂකයකු නම් කරන ලෙස ඉල්ලා සිටීමටද තීන්දු විය. එම ඉල්ලීම නිමල් සිරිපාල මහතා මඟින් අගමැතිවරයාට දැන්වීමටද යෝජනා කැරිණි. ඒ වනවිටත් ශ්‍රී.ල.නි.ප.යේ දුමින්ද දිසානායක, විජිතමුනි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි, මනූෂ නානායක්කාර, මහින්ද සමරසිංහ ආදීන් ගණනාවක් අගමැතිවරයාට මෙම යෝජනාවේදී සහය දෙනු ඇතැයි ප්‍රකාශ වී තිබිණි. ඒ අතර වතුකරය නියෝජනය කරන තොණ්ඩමන් මහතා තමන්ට දකුණේ නායකයන් තරහ කරගත නොහැකි බව පවසමින් කිසිවකුට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය නොදෙන බවට තීන්දු කළ බව සඳහන් විය.

ඒ කතා එසේ තිබියදී එ.ජා.ප.ය නියෝජනය කරන රතන හිමි, චතුර සේනාරත්න, විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, අශෝක අබේසිංහ, අංජිත් අළුවිහාරේ, රංගේ බණ්ඩාර ඇතුළු මැති ඇමැතින් කිහිපදෙනකු අගමැතිට සහාය නොදෙනු ඇතැයි ආරංචි පැතිර යන්නට විය. කෙසේ හෝ රිෂාඩ් බදුයුදීන්ගේ මහජන කොංග්‍රසය, රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය සහ වතුකරයේ මනෝගනේෂන්, දිගම්බරම් නියෝජනය කරන ප්‍රගතිශීලී සන්ධානය (දැනටත් රජයේ සිටින පක්ෂ) තවදුරටත් අගමැතිවරයාට සහාය දීමට තීන්දු කළේය.

එහෙත් දෙමළ ජාතික සන්ධානය මේ ගැන සිය තීන්දුව ප්‍රකාශ කිරීම දිගින් දිගටම කල් දැමීය. දෙමළ සන්ධානයේ මන්ත්‍රීන් 16 දෙනාගෙන් තුන් හතර දෙනෙක් අගමැතිට පක්ෂව ඡන්දය භාවිත නොකරන බවට ආරංචි පැතිර ගියේය. ඔවුහු ඒ නිසා අර්බුදයකට මුහුණ දී සිටියහ. ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීන් 06 දෙනා තමන් යෝජනාවට සහාය දෙන බව දිගින් දිගටම කීය. එහෙත් එ.ජා.පය එම සහාය වැළැක්වීමට විවිධ උපක්‍රම යොදමින් සිටියේය.

දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් සහ ජනාධිපති අතර සාකච්ඡාවක් ගිය අඟහරැවාදා ජනාධිපති නිවසේදී පැවැත්විණි. සම්පන්දන් සමඟ මවෛයි සේනාධිරාජා ද ඊට සහභාගි වන්නට පැමිණ සිටියේය. එහිදී සම්පන්දන් ජනාධිපතිවරයාට කීවේ පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ සන්ධානය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන්නේ මෙම නායකයන් දෙපොළම ගැන විශ්වාසය තබමින් කියාය. සර් අපි අපේ ජනතාවටත් ජාත්‍යන්තරයටත් යහපාලන රජය ලවා යුතුකම් හා සාධාරණය ඉටුකරන බවට පොරොන්දු වුණා. ඒ නිසා ඔබතුමා ඒ ගැන දුන්න ප්‍රතිඥා ඉටුකරයි කියල අපේ ජනතාව බලා ඉන්නව...යැයි කියමින් සම්පන්දන් අගමැතිවරයා රැකගත යුතු බව කියද්දී ජනපතිවරයා පැවසුවේ තමන් පක්ෂ නායකයා වුවද පක්ෂයේ මතය සමඟ එකඟවන බවය. “එයාල තමන්ගෙ කැමැත්ත අනුව තීන්දුවක් ගනීවි”... යැයි ජනපතිවරයා පවසද්දී සම්පන්දන් කීවේ ඔබතුමා ජනවරම ගැනත් සමාලෝචනය කරල තීන්දුවක් ගන්න යනුවෙනි.

දෙමළ ජාතික සන්ධානය ගැටලුකාරී තත්ත්වය මධ්‍යයේ ජනපතිවරයාගේ හමුවෙන් පසුව අඟහරැවාදා සවස සිය පක්ෂයේ මූලස්ථානයේදී මන්ත්‍රී කණ්ඩායම මුණගැසුණි. මන්ත්‍රීන් 16 දෙනකු සිටින නිසා ඔවුන්ගේ ප්‍රතිචාරය විශ්වාසභංගයේදී තීරණාත්මක විය. පක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ සහභාගිත්වයෙන් දෙමළ සන්ධාන මන්ත්‍රී හමුව ආරම්භයේදී අදහස් දක්වන්නට වූයේ දෙමළ සන්ධානයේ ශ්‍රී ධරන් හා චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරුය. ඔවුහු ආවේගයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උතුරට කිසිදු සහායක් නොලැබෙන බැවින් ඔහුට සහාය දැක්වීම නොකළ යුතු යැයි ඝෝෂා කරන්නට වූහ. පසුගිය ඡන්දයේදී උතුරේ ජනතාව දෙමළ සන්ධානයට දුන් පණිවුඩය අනුව වැඩ නොකළොත් ජනතා සහාය ලබාගැනීම බොරු බව චාල්ස් නිර්මලනාදන් කීය. එවිට නැගී සිටි විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සිය අදහස් දැක්වීම ආරම්භ කළේය. “මිත්‍රවරුනි හැමදාම මම ඔබතුමන්ලා කියන දේ ඇහුව. අද ඔබතුමන්ලා මම කියන දේ අහන්න. මේක තේරුම්ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයට ඊළඟ ඡන්දයට තරග කරන්න බැහැ. ජනාධිපතිතුමා ගෝඨාභය ගේන්නයි හදන්නෙ. ගෝඨ මුලින් අගමැති කරල බලය තහවුරු කරගන්නයි යන්නෙ. ඒකට ඔයාල කැමතිද? මේ ගැන ප්‍රබල තානාපතිවරුන් දෙන්නෙක් මා එක්ක කතා කළා. නවදිල්ලියෙ ඉන්න අ‍ෙමරිකානු තානාපති අපේ මන්ත්‍රීතුමකුට කතා කරල තිබුණා. ඒ නිසා මගේ අත්දැකීම අනුව මේ වෙලාවෙ අගමැතිතුමාට අපි උදව් කළ යුතුයි කියල හිතනව...” යැයි සම්පන්දන්  කියන විට ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා කීවේ “සර් ඔබතුමා අපිට කතා කරන්න දෙන්නෙ නැත්නම් අපි යනවා” කියායි. කෙසේ හෝ සම්පන්දන් මහතා ඔවුන් අස්වැසීය. අවසානයේ දීර්ඝ වාද විවාද මාලාවකට පසු දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමටත් එය කල් තබා ප්‍රකාශ නොකිරීමටත් තීන්දු කළේය.

ඒ ආකාරයට ජ.වි.පෙ. හැර සෙසු සුළු ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කරගන්නට තීන්දු ගනිද්දී අර්බුදයට යමින් තිබුණේ ශ්‍රී.ල.නි.පයේ මෛත්‍රී කණ්ඩායමයි. මහින්ද රාජපක්ෂ මහතා අඟහරැවාදා රාත්‍රියේ සිය සමීපතමයන් සමඟ සාකච්ඡා කරමින් ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් 54 දෙනාම එකා මෙන් සිටින නමුත් ශ්‍රී.ල.නි.පයේ මෛත්‍රී පාර්ශ්වයෙන් කෙලින් වචනයක් නොලැබීම නිසා තත්ත්වය ව්‍යාකූල විය හැකි බවයි. එ.ජා.ප. නායකත්වයේ රනිල් හිටියත් නැතත් 2020 ඡන්දයට එයින් උදව්වක් මිස අගතියක් නොවන බව මහින්දගේ අදහස විය.

සඳුදා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී.ල.නි.ප. මෛත්‍රී පිලේ තීරණාත්මක අවසන් රැස්වීම ඇරුඹිණි. මෙහිදී ජනාධිපතිවරයා දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව මුල සිටම පෙනෙන්නට තිබුණි. යෝජනාවට පක්ෂව හා විපක්ෂව මතවාද ගණනක්ම ප්‍රකාශ විය. ශ්‍රී.ල.නි.ප මහලේකම් දුමින්ද දිසානායක, විජිතමුනි සොයිසා ආදීන් දිගින් දිගටම කතා කළේ අගමැතිවරයාට හිතවාදී ලෙසය. මහින්ද අමරවීර එතරම් සහායක් දක්වන බවක් නොපෙනුණි. එස්.බී., ජෝන් සෙනවිරත්න, සුසිල්, අනුර යාපා ආදී ජ්‍යෙෂ්ඨයෝද ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා ආදී රාජ්‍ය අමාත්‍යවරුද විශ්වාසභංග චෝදනාවලට සහාය දිය නොහැකි බව තරයේ කීහ.

ජනාධිපතිවරයාගේ ස්ථාවරය තමන් අපේක්ෂා කරන බව ඔවුන් දිගින් දිගටම කියද්දී ජනාධිපතිවරයාගේ මත දැක්වීම්වලින් කියැවුණේ තමන්ට ඉදිරියටත් රජය පවත්වාගෙන යා යුතු නිසා මැති ඇමැතිවරුන් තම හෘද සාක්ෂියට එකඟව නිදහසේ තීන්දුවක් ගත යුතු වගයි. එවිට මෙතෙක් විශ්වාසභංගය ගැන කැපවී ක්‍රියා කළ මැති ඇමැතිවරු කැළඹී ගියහ. තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයා පමණක් “සර් මම සර්ට වැඳල කියන්නම් ඔබතුමා කිවයුතු දේ හරියට මන්ත්‍රී කණ්ඩායමට කියන්නැ”යි ආයාචනා කළේය. එහෙත් ජනාධිපතිවරයා නිහඬ බව රැක්කා මිස යමක් කීවේ නැත. මේ තත්ත්වය තුළ ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයෝ වික්ෂිප්ත තත්ත්වයට පත්වූ අතර ඒ වන විටත් එ.ජා.පයෙන් හා වෙනත් පක්ෂවලින් ඔවුන්ට සහාය දෙන්නට සූදානමින් සිටි පිරිස් මේ අයට පණිවුඩ තබමින් වහා හමුවන්නැයි ඉල්ලීම් කරමින් සිටියහ.

විශ්වාසභංග විවාදය පැවැත්වෙන බදාදා උදෑසන 6.30 වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට සැබෑ තත්ත්වය වාර්තා වූ අතර මහින්ද සිය නිවසේ සිටි නාමල් ඇතුළු පිරිසට කීවේ දෙමළ සන්ධානය රනිල්ට සහාය දෙන බවත් ශ්‍රී.ල.නි.පයේ පිරිසක් ඡන්දයට නොපැමිණෙන බවත්ය. එසේ වුවහොත් අගමැතිවරයාට වැඩි ඡන්ද 15කට වැඩි ගණනක් හිමිවනු ඇතැයි කීය. මේ කතාබහ යන අතරේ හිමිදිරි පාන්දර මහින්දගේ නිවසට ආවේ එස්.බී. දිසානායක හා තිලංග සුමතිපාලය. විශ්වාසභංගයේදී ශ්‍රී.ල.නි.ප මහින්ද පිල හා මෛත්‍රී පිල එක් කරන්නට කපුකම් කළ අය අතර මේ දෙදෙනා ද ප්‍රමුඛ වූහ. එස්.බී. දුටු මහින්ද කීවේ “අපේ 54ම කෙළින් ඉන්නවා ඕගොල්ලන්ගෙ වැඩේ මට ආරංචියි.” කියාය. එවිට එස්.බී.ලා කීවේ “සර්රුත් මේකට ඡන්දය දෙන්න එනවා. එහෙම වෙලා මේක නිකරුණේ පැරදුණොත් හොඳ මදි.. යෝජනාව අපි ඉල්ලා අස්කර ගනිමුද?” කියාය. එස්.බී.ගේ එම යෝජනාව ඇසූ මහින්ද මහ හඬින් සිනාසී “එස්.බී. මේක මතක තියාගන්න රනිල් දිනුවත් අපි දිනුම් පැරදුණත් අපි දිනුම්... බැඳුම්කරේට හොරුයි කියාපු අය ඒක අනුමත කරනව නම් මට මොකද? අනික ලංකාවෙ විපක්ෂය ආණ්ඩුවට ඡන්දෙ දුන්නම හරි ෂෝක්නේ...” මෙසේ කියූ මහින්ද කවර තත්ත්වයක් යටතේවත් යෝජනාව ඉවත් කරගත නොහැකි බව එස්.බී.ලාට කීය.

අනතුරුව එස්.බී.ලා මහින්ද අමරවීරගේ නිවෙසට රැස්වෙද්දී අමරවීර ඇමැතිවරයා ජනපති හමුවී නිවසට පැමිණියේය. අමරවීර ඇමැතිවරයාගෙන් ඉදිරියට කළ යුතු දේ ගැන ප්‍රශ්න කළ විට ඔහු සඳහන් කළේ “අපි කාටවත් ඡන්දය නොදී ඉඳිමු” කියායි. එය ජනාධිපතිවරයාගේ අදහසද ඔහුගේ අදහස දැයි කීවේ නැත. එහෙත් ඒ ගැන ලොකු විවාදයක් හටගත්තේය. එතැන සිටි බහුතරය කීවේ යෝජනාවට පක්ෂ වන්නට ගත් තීන්දුව වෙනස් කළ නොහැකි බවයි. ඒ අනුව ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින් 39 දෙනාගෙන් 20 දෙනෙක් පමණ යෝජනාවට පක්ෂ වීමට තීන්දු කළෝය. ඒ බවට තීන්දුවක් ගෙන ඔවුන් සිය ජංගම දුරකතන නිවා දමා විවාදයට මැතිසබයට යාමට එක්වූහ. නමුත් උදෑසන ඡන්දය දීමට කැමැත්ත පළ කළ 4 දෙනෙක්, එනම් නිමල් සිරිපාල, ලසන්ත අලගියවන්න, නිශාන්ත මුතුහෙට්ටිගම හා ශ්‍රියානි විජේවික්‍රම සවස ඡන්දයට ආවේ නැත. ඒ අය සමඟ විශ්වාසභංගයට අත්සන් කළ මස්තාන් මන්ත්‍රීවරයාද විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන මැති ඇමැතිවරුන් අවශ්‍ය නම් තනතුරැ අත්හරින්නටද මැතිසබයේ වෙනම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන්නටද තීන්දු කළෝය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංගය ජයගැනීමෙන් අනතුරුව ඔහුට පාර්ලිමේන්තු ලොබියේදී හිටපු ජනාධිපති මහින්ද මුණගැසුණේය. ඒ අවස්ථාවේ රනිල් මහින්ද සුහද කතාබහක් ඇති විය. මෙහිදී විහිළුවෙන් මෙන් රනිල් මහින්දට කීවේ මට මේ ප්‍රශ්නවලින් නිවැරදි වෙන්න අවස්ථාව හදල දෙන්න මූලික වුණ උදය ගම්මන්පිලට ඇමැතිකමක් දෙන්න හිතෙනවා කියායි. එහිදී මහින්ද සිනාසුණා මිස වෙනත් යමක් කීවේ නැත.

එ.ජා.පයේ ප්‍රතිසංවිධාන කටයුතු ඉක්මනින් පටන්ගත යුතු යැයි පක්ෂ ජ්‍යෙෂ්ඨයන් අගමැතිවරයාට සිහිපත් කර තිබුණේ විශ්වාසභංගයට පසුදාමය. ඒ වන විටත් එ.ජා.ප මහලේකම් ධූරයෙන් අමාත්‍ය කබීර් හෂීම් මහතාට ඉවත් වන ලෙස දන්වා තිබූ අතර ඔහු බ්‍රහස්පතින්දා උදෑසනම තනතුරින් ඉවත් විය. කබීර්ට පක්ෂයේ සභාපතිකම බාරගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවත් ඔහු එයට එතරම් කැමැත්තක් දක්වා නොතිබිණි. ඊටත් වඩා එ.ජා.ප නායකත්වයට බලපෑම් එල්ල කර තිබුණේ රවි කරුණානායක හිටපු අමාත්‍යවරයාය. ඔහු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශයක් ඉල්ලූ බව වාර්තා විය. කෙසේ වෙතත් ලබන සතියේ සිදුවෙතැයි අපේක්ෂිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රවීගේ ඉල්ලීම ගැන ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය දැක බලාගත හැකිවෙතැයි කියැවේ.

ඒ අතර රජයේ අමාත්‍ය පදවි දරමින් විපක්ෂය ගෙන ආ විශ්වාසභංගයට සහාය පළ කළ ශ්‍රී.ල.නි.ප කැබිනට් අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත් කළ යුතු යැයි කියා එ.ජා.ප මන්ත්‍රීන් 33 දෙනකුගේ අත්සනින් රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් බාරදී තිබිණි. එහෙත් මෙම කැබිනට් අමාත්‍යවරු සහ සෙසු මැති ඇමැතිවරැන් 16 දෙනා තනතුරුවලින් ඉවත් වන්නට සූදානම් නැතැයි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළෝය. ඔවුන් එම තීරණය ගන්නට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද ඊට අදාළ උපදෙස් ලබාගෙන තිබූ බව වාර්තා විය. “ජනාධිපතිතුමා අපට දැන්ම යන්න එපා කිව්වා” යැයි නම සඳහන් කිරීමට අකමැති වූ එම කණ්ඩායමේ අමාත්‍යවරයෙක් අප වෙත පැවසීය. මේ ගැන ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද උපදෙස් පතා තිබිණි. මහින්ද ඔවුන්ට පවසා තිබුණේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම ගැන සිතා බලන ලෙසය. ඔවුන්ට විපක්ෂයට එන්නැයි මහින්ද කිසිලෙසකින්වත් ආරාධනා කර තිබුණේ නැත. මේ නිසා කැළඹී සිටින එ.ජා.පයේ පසුපෙළ මන්ත්‍රීන් අගමැතිට එරෙහි විශ්වාසභංගය සඳහා රජයේ සිට සහාය දුන් ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග යෝජනා 16 ක් ඉදිරිපත් කිරීමට සැලැසුම් කළෝය. ගිය බ්‍රහස්පතින්දා ඒවා කෙටුම්පත් කොට අත්සන් ගැනීමද ඇරැඹිණි. සිකුරාදා වන විට අත්සන් 35කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබූ බව කියැවිණි. මේ නිසා පැවති  දේශපාලන තත්ත්වය සන්සුන් වීමක් වෙනුවට තවදුරටත් ව්‍යාකූලත්වයට පත්වෙමින් තිබෙන බව පෙනේ.

ඒ කටයුතු සිදුවෙද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එ.ජා.ප ජ්‍යෙෂ්ඨයෝ 8 දෙනෙක් බ්‍රහස්පතින්දා සවස ජනපතිවරයා මුණගැසීමට ගියහ. ඔවුන් පැමිණියේ යහපාලන රජයේ සිටිමින් අගමැතිට එරෙහිව ඡන්දය දුන් පිරිස ආණ්ඩුවෙන් ඉවත් කළ යුතුය යන ඉල්ලීම කිරීමටයි. එහෙත් ජනාධිපතිවරයා මේ ගැන පළ කළේ ඉතාමත් සැර ප්‍රතිචාරයකි. තමන් ඔවුන් අස්කරන්නේ නම් ඉතිරි ශ්‍රී.ල.නි.ප සාමාජිකයන් ද ඇමැති මණ්ඩලයෙන් ඉවත් කරන්නට සිදුවිය හැකි බවත් එවිට ජාතික ආණ්ඩුවට සිදුවන්නේ කුමක්ද කියා ප්‍රශ්න කළේය. තමන් විශ්වාසභංග විවාදය දවසේ ඊට පක්ෂ වූ අය මෙන්ම විපක්ෂ වූ එ.ජා.පයේ සමහරුන් කතා කළ විදියද රෑපවාහිනියේ බලාසිටි බවත් රජය විවේචනය කළ චෝදනාවට යමෙක් අස්කරන්නේ නම් එබඳු එ.ජා.ප සාමාජිකයන් ගැන ද පියවර ගන්නට සිදුවන බවද කී විට එක් අමාත්‍යවරයෙක් එබඳු දේ සිදුවූවා නම් සමාවෙන්නැයි කී බවද සඳහන්ය.

ඒ වන විටත් ශ්‍රී.ල.නි.පයේ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් මැති ඇමැති පිරිස අමාත්‍ය ලක්ෂ්මන් යාපාගේ නිවෙසටත් අමාත්‍ය අනුර යාපාගේ නිවෙසටත් රැස්වී රජයේ තනතුරු අතහැරීම ගැන සාකච්ඡා කරමින් උන්හ. අවසානයේ සිකුරාදා උදෑසන තමන්ට තනතුරැවලින් ඉවත් වීමට අවසර දෙන්නැයි ඉල්ලා ජනාධිපතිට ලිපියක්ද බාරදෙනු ලැබීය. සිකුරාදා උදෑසන මාධ්‍ය ප්‍රධානීන් සමඟ ජනාධිපතිවරයා පැවැත්වූ හමුවේදී මේ ගැන අවසන් තීරණ ගන්නේ ලබන සතියේ රැස්වන ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව බව කී ජනාධිපතිවරයා තමන්ගේ අරමුණ රජය ශක්තිමත් කිරීම මිස දුර්වල කිරීම නොවන බවද පැවසීය. 


► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර