2017 ජනවාරි 14 වන සෙනසුරාදා

ඔබාමාගේ අලුත් මාලිගාව

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 301

 

කිසිදු බරක් ඔළුවට නොගන්නා අයෙක් සේ ප්‍රසිද්ධ අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පසුගිය අඟහරුවාදා ඉතා සංවේදී අයුරින් සිය අවසන් කතාව සිදුකළේය. කඳුළු පිසිමින් කතා කළ ඔබාමා තමන් ගොඩනැගූ අමෙරිකාව නැවත බිඳවැටීමට දෙන්නට එපා යැයි ඉල්ලීමක්ද කළේය. වර්ගවාදය පිටුදැක ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගැනීමට රටේ පැරැන්නන් අරගලයෙන් සහ සම්මුතියෙන් කටයුතු කළ අතර එසේ ගොඩනැගු සම අයිතිය සහිත රට රැකගත යුතු බව ඔහු කීවේය. 

ඔබාමා සිය අවසන් කතාව සිදුකර මෙසේ සමුගත්තේ ලබන 20 වැනිදා ඔහු ධවල මන්දිරයෙන් ඉවත්ව යන හෙයිනි. සිය පවුලේ අය සමඟ ඔහු ඉදිරියේදී ජීවත් වන්නට යන නිවෙස ගැන ලොකු කතාබහක්ද ඇතිව තිබුණි. චිකාගෝවේ ඔබාමා සතු නි‍ෙවසක් තිබුණද ඔහු වොෂින්ටනය තුළ සුපිරි නිවාසයක නවතින්නට යන බව දැන් වාර්තාගතය. මොකද්ද මේ ඔබාමාගේ අලුත් නි‍ෙවස?

බරක් ඔබාමා සහ පවුලේ අය 20 වැනිදා සිට පදිංචියට යාමට බලාපොරොත්තු වන්නේ ධවල මන්දිරයෙන් වැඩි ඈතකට නොවේ. එතැන් සිට සැතසුම් 2ක් ඈතින් ඇති කොලරාමා ප්‍රදේශයේ බෙල්මොන්ට් පාරේ කාමර 9ක සුඛෝපභෝගී නිවෙසකටය. එම නි‍ෙවස හිටපු ජනපති බිල්ක්ලින්ටන්ගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ජොයි ලොක්හාර්ට් සහ බිරියට අයත් වූවකි. මේ ප්‍රදේශය අමෙරිකාවේ ප්‍රභූ පැලැන්තිය උදෙසා වෙන්වූ පළාතකි. එසේම කලින් අමෙරිකාවේ ජනාධිපතිධූරයේ හෙබැවූ වුඩ්රෝ විල්සන්, විලියම් හොවාර්ඩ්, ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්, වොරන් හාර්ඩින්ග්ස් සහ හර්බට් නුවර් ද මේ ප්‍රදේශයේ වාසය කර තිබේ. 

මැසචුසෙට් මාවත සහ කනෙක්ටිකට් මාවත අතර පිහිටා ඇති කොලරාමාහි තානාපති කාර්යාල 28ක්ද පවතියි. මේ නිසාම මේ ප්‍රදේශය අතිශය ඉහළ ආරක්ෂාවක් සහිතය. ඔබාමා වොෂින්ටනයේ මෙම නි‍ෙවස තෝරාගන්නට ආසන්නතම හේතුව වන්නේ ඔහුගේ බලදියනිය සාෂාගේ විභාග කටයුතුය. කොලරාමා ආසන්නයේම පිහිටා ඇති සිඩ්වෙල් ෆ්‍රෙන්ඩ්ස් පාසලේ උසස් පන්ති අවසන් විභාගයට ඇය පෙනී සිටීමට නියමිතය. මේ ස්ථානයේ සිට වොෂින්ටනයේ ඕනෑම තැනකට විනාඩි 15කින් පමණ ළඟාවිය හැකි බව කියයි.

වාර්තාගත අන්දමට කොලරාමා නි‍ෙවස වර්ග අඩි 8200ක වපසරියකින් යුතු නිදන කාමර 9ක් සහිත වූවකි. ඩොලර් මිලියන 6ක් වටිනාකම ඇති මෙම නිවස සඳහා මසකට කුලිය ඩොලර් 22000ක් පමණ බව කියයි. ඔබාමාගේ නිවසට ආසන්නව ඕමාන් තානාපති කාර්යාලයද යුරෝපා සංගම් තනාපතිවරයාද ප්‍රීති උත්සව සාද සඳහා ප්‍රසිද්ධියක් දරන ප්‍රංශ තනාපතිවරයාගේ නි‍ෙවසද පවතියි. මේ නිසා ඔබාමා හට අමතර ආරක්ෂාව අවශ්‍ය නැතිතරම්ය. එසේ වුවද ඔබාමාගේ අලුත් නි‍ෙවසේ ප්‍රධාන වාහන නැවතුමට අමතරව තවත් රථ වාහන 10ක් නවතා තැබීමේ පහසුකම්ද ආරක්ෂක නිල නිවාසයක්ද පවතියි. එය ඔහුට ජීවිතාන්තය දක්වා ආරක්ෂාව සලසන්න ඔත්තුසේවා නිලධාරින්ට පහසුවකි.

1928 දී නිපදවා ඇති වුවද මෙම නිවස සතුව නවතම සුඛෝපභෝගී පහසුකම් රැසක් සහිත. සෑම නිදන කාමරයකම යාබද නානකාමර සහිතය. සේවක කාමර පද්ධතිය සඳහාද පහසුකම් රැසකි. වෙන්වූ විශාල වත්තක් මැද සිටිනසේ සැලසුම්කර ඇති මේ නි‍ෙවස පසුපස සාද පැවැත්විය හැකි තරම් විශාල ඉඩකඩක් සහිත ගෙමිදුලකි. සුවපහසු විශාල සාලයක්, කෑම කාමරයක්, රූපවාහිනි නැරඹුම් කාමරයක් එළිමහන් විවේක මිදුලක්ද මෙහි ඇති බව ටියුඩර් යුගයේ මේ සුවිසල් නි‍ෙවස ගැන විස්තර එළිදරව් වී තිබේ. ඔබාමාගේ නැන්දම්මා වන මිෂෙල්ගේ මව මෙරියන් රොබේන්සන්ද ඔවුන් සමඟ මේ නි‍ෙවසේ නැවැතීවීමට අදහස් කර සිටියි. ඇයට ඔබින අන්දමේ සුඛෝපභෝගී කාමර ගණනාවක්ද මෙහි පවතියි. 

විශ්‍රාම යන ඔබාමා සහ පවුලේ උදවියට මේ නි‍ෙවසට අමතරව නව පහසුකම් රැසක්ම හිමිවෙයි. ඒ ආරක්ෂාවේ නීතියට අනුවය.

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් හට පහසුකම් සැපැයිය යුතු ආකාරය ගැන විස්තර වන්නේ හිටපු ජනාධිපතිවරුන් සඳහා වූ පනත මගිනි. මෙය 1958දී සම්මත වූවකි. එයට පෙර අමෙරිකාවේ විශ්‍රාම ගිය ජනාධිපතිවරුන් හට එබඳු සහන සැලැසීමේ ව්‍යාපෘතියක් රජය මගින් ක්‍රියාත්මක වූයේ නැත. 1912දී ඇන්ඩෘ කානගි අමෙරිකානු ඩොලර් 25000ක් හිටපු විධායකයන්හට විශ්‍රාම මුදලක් ලෙස ගෙවන්නට කටයුතු කර තිබූ අතර පෞද්ගලික වශයෙන් පරිත්‍යාගයන් ලබාගැනීම ගැන කොන්ග්‍රසය තුළ ඇතිවූ විරෝධයන් සමඟ 1958 වනවිට විශ්‍රාමික ජනාධිපතිවරුන් සඳහා දිවි ඇතිතුරැ සහන සලසන පනත නීතිගත කරන ලදී. 

එයට අනුව විශ්‍රාම ගිය ජනාධිපතිවරයා හට මේ වනවිට වසරකට ඩොලර් 203700ක් ගෙවනු ලැබේ. ජනපති ආර්යාව සඳහා වසරකට ඩොලර් 20000ක් වූ විශ්‍රාමික වැටුපක්ද ගෙවයි. තමන්ගේ පෞද්ගලික කාර්යාලයක් පවත්වාගෙන යාමටත්, එහි කාර්ය මණ්ඩලය නඩත්තුවටත් මෙයට අමතරව විශ්‍රාමික ජනාධිපතිවරයකුට වසරකට ඩොලර් 96000ක් නොඉක්මවන දීමනාවක් ලබාදේ. මෙහිදී සිය කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කාර්යසුරත්වය අනුව තෝරාගැනීම හිටපු ජනාධිපතිවරයා සතු අයිතියක් ලෙස තහවුරු කර තිබේ. 

තමන්ට එසේ වෙනත් ස්ථානයක් තෝරාගන්නා තුරු මාස 6ක කාලයක් වොෂින්ටනය තුළ අතර මැදි කාර්යාලයක් මාස 07ක කාලයකට ලබාදේ. මෙහිදී සිදුකරන සියලු සන්නිවේදන කටයුතු, තැපැල් සහ මුද්‍රණ වියදම් ඇතුළුව කාර්ය මණ්ඩලවල වියදම්ද රජයෙන් දැරෙනු ලැබේ.

විශ්‍රාමික ජනාධිපතිවරයකු සඳහා වෛද්‍ය පහසුකම් ඕනෑම හමුදා රෝහලකදී ලබාගන්නට අවස්ථාව සලසා තිබේ. දෙවරක් සිය ධූරය සැපිරූ ජනාධිපතිවරුන්හට එක්සත් ජනපද සේවක සෞඛ්‍ය සුබ සාධක වැඩසටහන යටතේ සෞඛ්‍ය ආරක්ෂණයක් මිලදී ගැනීමට හැකිය.

1965 සිට 1955 දක්වා කාලය තුළ රහස් ඔත්තු සේවා නිලධාරීන්ගේ ආරක්ෂාව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ ඔහුගේ පවුලේ උදවිය හට ජීවත්වන තුරම ලබාගැනීමේ අයිතිය ලැබී තිබුණි. වයස 16ට අඩු ඔවුන්ගේ දරැවන්ටද මේ ආරක්ෂාව ලැබේ. නමුත් 1994දී ගෙනා සංශෝධනයකින් 1997 සිට පත්වන ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වසර 10කට පමණක් සීමා විය යුතු යැයි තීරණය ‍ෙකරිණි. නමුත් වත්මන් ජනාධිපති බැරක් ඔබාමා 2013 ජනවාරි දින මේ පනත සංශෝධණය කරමින් ජීවිතාන්තය දක්වා වූ ආරක්ෂාව නැවත විශ්‍රාමික ජනාධිපතිවරුන්හට ලබාගැනීමට අවස්ථාව සලසා දුන්නේය. තමන්ට රහස් ඔත්තු සේවා ආරක්ෂාව අනවශ්‍ය බව කියූ එකම අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ රිචර්ඩ් නික්සන්ය. 2013 අලුත් කළ නීතිය අනුව බරක් ඔබාමා සහ මිෂෙල් ඇතුළු පවුලේ උදවියට ජීවිතාන්තය දක්වා මෙම ආරක්ෂාව හිමිව තිබේ.

මේ හැර විශ්‍රාමික ජනාධිපතිවරයකුට අවශ්‍ය නම් සමාජ සේවා කටයුතුවලට සම්බන්ද වෙමින්, දේශන පවත්වමින් හෝ උපදේශන සේවා මට්ටමේ රාජකාරිවල යෙදෙමින් ආදායම් ඉපැයීමේ තහනමක් නැත. සිය ජීවන චරිතය රචනා කිරීම වැනි ප්‍රකාශන කටයුතු මගින් ආදායම් ලැබීමටද ඔවුන්ට හැකියාව ලැබී තිබේ. එය ඔවුන්ගේ පවුලේ උදවියටද තහනම් නොවූ නිදහසකි. මේ අනුව බැරක් ඔබාමා මෙන්ම මිෂෙල් ඔබාමාද මේ වනවිටත් සිය ජීවන අත්දැකීම් ලිවීමේ ගිවිසුම්වලට එළැඹ හමාරය.  

♦ සුගත් පී. කුලතුංගආරච්චි