2017 ජනවාරි 14 වන සෙනසුරාදා

ලන්ඩන් ගිය චීන දුම්රිය

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

 

යුරෝපා සංගමයෙන් වෙන්වී තමන්ට කියා තනි වෙළෙඳපොළක් හදාගන්නට ගොස් අතරමංව උන් බ්‍රිතාන්‍යයේ දොරකඩටම පසුගිය සඳුදා අලුත් වෙළෙන්දෙක් පැමිණියේය. බොහෝ දුරකතර ගෙවාගෙනය. නත්තල් සමයේ ලෝකය පුරා නම කියැවෙන රතිඤ්ඤා වලට ප්‍රසිද්ධ තැනක සිටය. ඔහු මේ දුර කතර ගෙවාගෙන බ්‍රිතාන්‍යයට පැමිණ තිබුණේ ගොඩබිම ඔස්සේ හතිහලාගෙනය. මේ ගමනේ අපූරුව වන්නේ ලෝකයේ ආර්ථික බලවතා වන්නට සිහින මවන මේ වෙළෙන්දාගේ යුරෝපා වෙළෙදපල ඇල්ලීමේ දීර්ඝකාලීන ව්‍යාපෘතියේ මුල් පියවර මේ ගමනත් සමඟ සාර්ථකව ඇති හෙයිනි. එසේම නව වෙළෙඳපලක් සොයාගැනීමේ බ්‍රිතාන්‍ය අභිලාෂයද සම්පූර්ණ විය. මේ වෙළෙන්දා වෙන කවුරුවත් නොව චීනයයි.
චීනයේ රතිඤ්ඤා වලට ෂෙජියාන්ග් ප්‍රාන්තයේ යීවූ සිට බ්‍රිතාන්‍යයේ ජීවත්වීමට එපාම කරපු පළාත හැටියට හඳුන්වන ලන්ඩනයේ බරෝහි බාර්කින් දුම්රියපල වෙතට බඩු ප්‍රවාහන දුම්රියක් මුල්වරට පැමිණ තිබුණේ එදිනය. 

මධ්‍යම ආසියාව, රුසියාව, බෙලාරූස් ඔස්සේ යුරෝපා භූමිය අතරින් පැමිණි මෙම ගමනට දින 18ක් ගතව තිබුණි. මේ ඓතිහාසික චීන ලන්ඩන් ගමනට කිලෝමීටර් 12000ක් පසුකර එන්නට මංගල දුම්රියට සිදුව තිබුණි. මුල්ම වෙළෙඳ භාණ්ඩ ලෙස මෙහි කන්ටේනර් 200ක් පුරා ගෙනැවිත් තිබුණේ රෙදිපිලි, ඇත්බෑග සහ වෙනත් ගෙදර දොර බඩු භාණ්ඩයන්ය.

පසුගිය 2015 වසර වනවිට චීනයේ ආර්ථික වර්ධනය සියයට 6.9ක් දක්වා පහත වැටී තිබුණි. ඒ වසර 25කට පසුවය. 

මේ නිසාම ලෝකෙටම ආර්ථික අතින් ලොක්කා වීමට නැතිනම් ආදීකාලයේ මෙන් ලෝකේ පුරා කරක්ගසනා චීන වෙළෙන්දන්ගෙන් පිරුණු ලෝකයක් තැනීමේ සිහිනය ඔවුන්ගේ සිහිනයට තදබල පහරක් වැදී තිබුණි. එයින් ගොඩ එන්නට චීනය සැලසුම්කර තිබුණේ ගොඩබිම් සේද මාවත සම මුහුදු සේද මාවත යන වෙළෙඳ ප්‍රවාහන මාර්ග දෙක ඔස්සේ යුරෝපා වෙළෙඳපොළට ළංවීමටය.

මහා බ්‍රිතාන්‍යයද පසුගිය වසරේ යුරෝපා සංගමයෙන් වෙන්ව වෙනම ආර්ථිකයක් ගොඩනංවා ගැනීමේ උත්සාහයක නිරතව සිටියි. මේ නිසාම වැඩි ජනගහනයක් සහිත චීනය සමඟ ඇතිකරගන්නා වෙළෙඳසහයෝගීතාව ඔවුනට අලුත් කප්රුකක් පහළ වීමකි. ඉතින් දැන් වෙළෙන්දා ගෙදරටම පැමිණ තිබේ. ගොඩබිම් සේද මාවත ඔස්සේය.

මේ වනවිටත් යුරෝපයේ රටවල් ගණනාවක් සමඟ වෙළෙඳ කටයුතුවල යෙදී සිටි චීනය, ලන්ඩනය එළිපත්ත කරාම ආවේ මේ මුල්වරටය. නැව් මගින් කෙරෙන ප්‍රවාහනයට වඩා අඩක් අඩු කාලයක් මේ නව බඩු දුම්රිය ප්‍රවාහනයත් සමඟ ගතවෙයි. ආරක්ෂාවද වැඩිය. අහසින් යනවාට වඩා වියදමද අඩුය ඉතින්, එය දෙරටටම ලාභයකි. එසේම චීනයේ නගර 16ක් යුරෝපයේ නගර 15ක් සමඟ සම්බන්ධ වීමද සේද දුම්රිය මාවත මගින් සිදුව තිබේ. ඉක්මණින් ප්‍රවාහවනය කළ යුතු අලුත් මස්, එළවළු, පලතුරවල සිට යන්ත්‍රෝපකරණ ඉලෙක්ට්‍රොනික උපාංග, විලාසිතා සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය සිට කාර් අමතර කොටස් දක්වා සියලු දෙය මේ නව සේද දුම්රිය මගින් යුරෝපයට කඩිනමින් ලැබෙන්නට නියමිතය. 2013 වසරේදී මුල්වරට චීනය සිය ගොඩබිම් සේද මාවත් පටිය පිළිබඳ අදහස ඉදිරිපත් කරමින් එහි මහාමාර්ග ඉදිකිරීම, බලශක්ති අවශ්‍යතා මෙන්ම වෙළෙඳ කටයුතු සඳහා අව්‍යශ යටිතල පහසුකම් සඳහා වූ ට්‍රිලියන ගණනක් වූ මුදල ලබාදෙන ලෙස යුරෝපා රටවලින් ඉල්ලා තිබුණි. චීන බඩු දුම්රියේ මේ ලන්ඩන් ගමන ඒ ආර්ථික සහයෝගීතා මාර්ගය සැබෑවක් බවට පත්කරන මුල් පියවර බවට පත්ව තිබේ. 

♦ සුගත්