2018 මාර්තු 31 වන සෙනසුරාදා

ශ්‍රී.ල.නි.පය අගමැතිට එරෙහි වෙයි

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 227

ආණ්ඩුවේ බංගලා එපා කී මහින්ද කැබලිත්තේ කූඩාරමක රැය පහන් කරයි 
♦ඇමැති මලික්ගේ ඉල්ලීම නොතකා ආර්ථික කමිටුව අහෝසි කරයි 

ඇමැති චම්පික දෙමළ සන්ධානය අගමැතිට සහාය දෙයි 
♦මහ බැංකුව, කොටස් වෙළෙඳපොළ අගමැතිගෙන් ඉවතට 

සුළු පක්ෂවලින් එ.ජා.පයට දොස්  
♦සම්පන්දන් හෘද සැත්කමකට ඉන්දියාවට යයි

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව දිනෙන් දින ආන්දෝලනාත්මක පුවත් මවමින් සිටී. එය ලබන 04 දා විවාදයට ගැනෙන අතර මේ සතියේ මැතිසභා න්‍යාය පුස්තකයට යෝජනාව ඇතුළත් ‍කෙරිණි. ගිය සතියේ රැස්වූ එ.ජා.පයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීන් සෑහෙන පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සහාය පළකරමින් ලිපියකට අත්සන් තැබූහ.

එහෙත් සම්මුතිවාදී රජයේ හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වැනි කණ්ඩායම් එ.ජා.පයට දැඩි විවේචන එල්ල කරන්නට පටන්ගෙන තිබේ. මේ දෙපක්ෂයම චෝදනා කරන්නේ පළාත් පාලන මැතිවරණයට පෙර මන්ත්‍රීන් පත්කිරීම් ආදිය ගැන ගත් තීන්දු එ.ජා.පය වෙනස් කළ නිසා තවදුරටත් දෙපක්ෂය අතර දීගය පවත්වාගෙන යාම අසීරු බවයි. මේ සඳහා මුල්ම වෙඩිමුරය පත්තු කළේ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාය. පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීන් පත්කිරීමේදී එ.ජා.පය දිගින් දිගටම විශ්වාසය කඩකිරීම නිසා එ.ජා.පය සමඟ ආණ්ඩුවේ සිටීම ඉතා දුෂ්කර වී ඇතැයි රවුෆ් හකීම් අමාත්‍යවරයා කීය. තම කොංග්‍රසය ජයගත් සභාවල සභාපති ධූර තමන්ට ලබානොදී වෙනත් පක්ෂ සමඟ පාලනය පිහිටුවීමට එ.ජා.පය සැරසෙන්නේ නම් ඊට නිසි පිළිතුරු ලබාදෙන බවද ඔහු සඳහන් කළේය. එ.ජා.පයේ මේ ක්‍රියාකලාපය නිසා තම පක්ෂය ජයගත් සභාවල බලය පිහිටුවීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය සමඟ දැන් සාකච්ඡා කරමින් සිටින්නේ යැයි ද අමාත්‍ය හකීම් කීය. 

එසේම අමාත්‍ය මනෝ ගනේෂන්, දිගම්බරම් හා රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරැන් නායකත්වය දරන වතුකර දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් ප්‍රකාශයක් කළ අමාත්‍ය මනෝ ගනේෂන්ද ප්‍රසිද්ධියේම කීවේ එ.ජා.පය පළාත් පාලන මන්ත්‍රීන් පත්කිරීමේදී තමන්ව බරපතළ නොසැලකිල්ලට භාජනය කළ බවයි. එ.ජා.පයේ ලොක්කන්ගෙන් තමන් ඒ ගැන ප්‍රශ්න කළ විට ඔවුන් ප්‍රකාශ කළේ “අනේ මනෝ සොරි” කියා යැයි කී හෙතෙම ඒ ආකාරයටම තම කණ්ඩායමටත් එ.ජා.පයට සොරි කියන්නට වන දිනය වැඩි ඈතක නොවන බව කීය. එහෙත් මනෝ ගනේෂන් හා රවුෆ් හකීම් යන අමාත්‍යවරු දෙදෙනා කුමක් කීවත් ඔවුන් අවසානයේ අග්‍රාමාත්‍යවරයාට සහාය දෙනු ඇතැයි කියැවේ. එසේ වුවද මෙම කාරණා ගැන මුස්ලිම් කොංග්‍රසයේ මෙන්ම දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීහුද අභ්‍යන්තර වශයෙන් බෙදී සිටිති. විශේෂයෙන්ම මහනුවර ගැටුමෙන් පසු උඩරට මුස්ලිම් මන්ත්‍රීවරුන් එ.ජා.පය සමඟ විරසක වී සිටින නිසා රවුෆ් හකීම් අමාත්‍යවරයා මුහුණදී ඇත්තේ බරපතළ අභ්‍යන්තර ගැටලුවකටය.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ප්‍රකාශයක් කළ එම්.ඒ. සුමන්තිරන් මහතා එ.ජා.පයට විශ්වාසභංගයේදී සහාය පළකරන බව මුලින් කියා තිබිණි. මේ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ගිය සතියේ සාකච්ඡාවක් කළෝය. අනතුරුව සම්පන්දන් මහතා හදිසියේම නවදිල්ලිය බලා පිටත්ව ගියේ හදවත් සැත්කමකට මුහුණදීමට බව කියමිනි. එහිදී ඔහු නවදිල්ලි බලධරයන් සමඟ ද විශ්වාසභංගය ගැන සාකච්ඡා කිරීමට ඉඩ ඇතැයි වාර්තා විය. කෙසේ හෝ මෙම සැත්කම සිදුකළහොත් ඔහු නැවත පැමිණෙන දිනය ප්‍රකාශ වී නැත.

ඒ කෙසේ වෙතත් සම්පන්දන් මහතා විදේශ ගතවීමට පෙර පක්ෂ සාමාජිකයන් සමඟ සිදුකළ කතාබස්වලදී විශ්වාසභංගය ගැන දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීමක් හටගෙන ඇති බව දැනගන්නට ලැබිණි. එහි සාමාජික මන්ත්‍රීන් 16 දෙනාගෙන් 4 හෝ 5 දෙනෙක් විශ්වාසභංගය ගැන දෙමළ සන්ධාන බහුතරය දරන මතය අනුමත කළ නොහැකි බව දන්වා ඇතැයි කියැවේ. එසේ වුවහොත් ඔවුන් ඡන්දය විමසන දිනයේ යෝජනාවට පක්ෂ වීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

එ.ජා.පයේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ ප්‍රධානී චම්පික රණවක හා නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන යන මහත්වරු එ.ජා.ප නායකයාට සහාය දෙන බව පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් තබා ප්‍රකාශ කළෝය. චම්පික අමාත්‍යවරයා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීම් ගණනාවකදීම රජය දැඩි ලෙස විවේචනය කළ අතර ඉදිරි මාස 18 ආණ්ඩුව ගොඩගන්නට විශේෂ වැඩසටහනක් සකස් කොට ඉදිරිපත් කළ බවද පැවසේ. එය දැනට සලකා බැලීමට හා නිරීක්ෂණ සඳහා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් මේ සතියේ පැවති මාධ්‍ය හමුවකදී රණවක මහතා කීවේ ගිය ආණ්ඩුවේ වැරදි කළ තැනැත්තන් බැඳුම්කර වංචාව මුල්කරගෙන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට සහාය නොදෙන බවයි. බැඳුම්කරය මහා වංචාවක් බවත් එහි පාඩුව අයකරගත යුතු බවත් පැවසූ අමාත්‍යවරයා ඊට අදාළ පියවර ගැනෙමින් තිබෙන බව පවසමින් බැඳුම්කර චෝදනා මත අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට සහාය නොදෙන බව අවධාරණය කළේය.

ඊළඟට මෙම අර්බුදකාරී තත්ත්වය ගැන වඩාත්ම අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහිය. ඒ අතර එ.ජා.ප මන්ත්‍රීන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් අත්සන් කළ යෝජනාවට ශ්‍රී.ල.නි.පයේ 4 දෙනෙක්ගේ අත්සන් ලබාගන්නට පසුගිය සතියේ සැලැසුමක් තිබිණි. ඊට හේතුව අගමැතිට එරෙහි විශ්වාසභංගයට ශ්‍රී.ල.නි.ප රජයේ නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනකු හා මන්ත්‍රීවරයකු අත්සන් කර තිබූ නිසාය. ඒ නිසා එ.ජා.පයේ ඉල්ලීම අනුව ශ්‍රී.ල.නි.ප 4 දෙනකු ඊට අත්සන් කරන්නට සැරසෙද්දී ඉහළම මන්දිරයකින් ලැබුණ දැඩි නියෝගයකින් කියැවුණේ පක්ෂ නායකත්වයේ අවසරය නොමැතිව කිසිම නිල ලියැවිල්ලකට අත්සන් නොතැබිය යුතු වගයි. ඒ අනුව අදාළ අත්සන් කිරීම අත්හිටුවිණි.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය ගැන ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින්ට දෙපාරක් සිතන්න දෙයක් නැත කියාය. ලබන 4 දා ශ්‍රී.ල.නි.පය ගත යුතු තීන්දුව සක්සුදක් සේ පැහැදිලි යැයි ද අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබිණි. පසුගිය කාලයේ එ.ජා.පය සම්මුතිවාදී රජයක් ගෙන යන බව කීවද ඔවුන් ක්‍රියා කළේ ශ්‍රී.ල.නි.ප ප්‍රතිපත්තිය නොතකා එ.ජා.පයට වුවමනා අන්දමට යැයි සඳහන් කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තවදුරටත් ඉදිරියට යා නොහැකි බවට පාක්ෂිකයන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පැහැදිලි තීන්දුවක් දී තිබෙන බව අමතක නොකළ යුතු යැයි අමාත්‍ය ප්‍රේමජයන්ත කීය. විශ්වාසභංගයේ ඇතුළත් කරුණු 14න් 13ක්ම මහ බැංකු බැඳුම්කර මගඩියට සම්බන්ධ ඒවා බව කී ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කලින් අනුමත කර ඇති බැවින් දැන් ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද කියා විමසීය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙන්ම ජනාධිපතිවරයාට සමීප ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ගිය අඟහරුවාදා මාධ්‍යයට කීවේ විශ්වාසභංගයට විරුද්ධ වන්නට කිසිදු හේතුවක් නැති බවයි. ඉදිරියේදී අවශ්‍ය වෙනස්කම් සිදුකර නව අගමැතිවරයකු සමඟ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලුම දෙනාට ආරාධනා කරන්නේ යැයි එස්.බී. සඳහන් කළේය. මෙම විශ්වාසභංගය ජනාධිපතිට හෝ ආණ්ඩුවට එරෙහි වූවක් නොව එක් පුද්ගලයකුගේ ක්‍රියාකලාපයට අදාළ වන්නක් බැවින් රජයේ නියෝජිතයන්ට ඊට පක්ෂව ඡන්දය දීමට බාධාවක් නැතැයි ද ඔහු පැවසීය. පළාත් පාලන ඡන්දයේදී ජනතාව දුන් පණිවුඩය තේරුම්ගෙන මෙම කටයුතු කරන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

එහෙත් දුමින්ද දිසානායක ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ විශ්වාසභංගය ගැන අවසන් තීන්දුව ගත යුත්තේ ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව බවයි. එහෙත් පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨයකු පොලිටිකල් රහස් තීරයට කීවේ ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව මේ ගැන විශේෂ තීන්දුවක් නොගන්නා අතර මැති ඇමැතින්ගේ හෘදසාක්ෂියට අනුව විශ්වාසභංගයට සහාය දීම හෝ නොදීම තීන්දු කරන්නට අවසර ලැබිය හැකි බවය. ඒ අතර එ.ජා.ප. නායකයා වෙනුවෙන් දෙමළ සන්ධානය සහාය පළකරන බවට කලින් පළවූ පුවත පසුව නිවැරදි කරන්නට සුමන්දිරන් මන්ත්‍රීවරයාට සිදුවිය. ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ තීරණයක් අනුවය. පක්ෂ නායක සම්පන්දන් මහතා ඉන්දියාවට ගොස් ඇති නිසා පොදු තීරණයක් ගැනීම ඔවුනට අසීරු වී තිබේ. එසේම බැඳුම්කර චෝදනා විශ්වාසභංගයේ ප්‍රධාන කරුණ බවට පත්ව ඇති බැවින් ඊට සහාය දීම ගැන පක්ෂය පොදු තීන්දුවක් ගත යුතු බව කියැවේ. මේ ආකාරයට රජයට සම්බන්ධ සුළු පක්ෂ විවිධ මත පළකරද්දී රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා නායකත්වය දෙන දේශපාලන කණ්ඩායම හෝ බදුයුදීන් මහතා හෝ මෙතෙක් විශ්වාසභංගය ගැන ඍජු අදහසක් කියා නැත.

මේ සියලු දෙනාට වඩා සමාජ අවධානය දිනූ කතාවක් කළේ එ.ජා.පයේ රාජ්‍ය අමාත්‍ය රංගේබණ්ඩාර මහතාය. ඔහු නම නොකියා පක්ෂ නායකත්වය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කොට අද හෙටම පක්ෂයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුනොවන්නේ නම් තමන්ලාටත් විශ්වාසභංගය ගැන තීන්දුවක් ගන්නට සිදුවන්නේ යැයි පැවසීය. තමන් පක්ෂ නායකයාට පක්ෂ ලියැවිලිවලට අත්සන් කළේ නැතැයි කී රංගේබණ්ඩාර මහතා අවශ්‍ය වුවහොත් පක්ෂයේ මන්ත්‍රීන් 27 දෙනකුගේ සහාය විශ්වාසභංගයට ලැබෙනු ඇතැයි කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සුප්‍රකට කැබලිත්ත දේවාලයේ වන්දනාවක නිරත විය. ඒ සඳහා දින ගණනාවක් පේවී සිටි මහින්ද, ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා, සිය පුතුන් වන යෝෂිත හා රෝහිත ඇතුළු නඩයක් සමඟ ඉතා දුර්ග මාර්ගයක් ගෙවා කැබලිත්තට පැමිණියේ ගිය ඉරිදාය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලයේ අලි කොටි වලසුන් ගහන මහ වන මැද ආරක්ෂිතව සිටීම සඳහා ආරක්ෂක හමුදාව පාලනය යටතේ විශේෂ නිවාඩු නිකේතනයක් ඉදිකර තිබිණි. ඔහු එම නිකේතනය තමන්ගේ පරිහරණය සඳහා දෙදිනකට ලබාදිය හැකිදැයි එහි ස්ථාන බාර නිලධරයාගෙන් විමසූ විට ඉහළ අවසරයකින් තොරව රාජපක්ෂ මහතාට නවාතැන් දිය නොහැකි යැයි කියා තිබිණි.

ඉහළින් ඊට අවසර ගන්නට තමන් අපේක්ෂා නොකරන බව කී මහින්ද ලොහාන්ගේ නඩය සමඟ දේවාලය අසල ගං ඉවුරක කූඩාරම් ගසාගෙන කඳවුරු බඳින්නට තීරණය කළේය. ඒ සඳහා අවශ්‍ය කූඩාරම් හා අඩුම කුඩුම ඔවුන් කොළඹ සිට ගෙන ගොස් තිබිණි. එහි කූඩාරම් ගසාගෙන රාත්‍රී ආහාර එහිම උයා පිහාගෙන ගිනිමැල ගසා රාත්‍රිය ගත කරන විට ආපසු හමුදා නිලධරයන් පැමිණ හමුදාවේ ඉහළින් අවසර ලැබී ඇති නිසා රාජපක්ෂ මහතාට නිවාඩු නිකේතනය ලබාදිය හැකි බව පැවසීය. එහෙත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ මහතා තමන් කඳවුරේම රාත්‍රිය ගත කරන බවත් අවශ්‍ය වුවහොත් පසුදා පැමිණෙන බවත් හමුදා නිලධාරීන්ට කීය. කෙසේ හෝ දෙදිනක් පේවී සිට කැබලිත්තේ දී විශේෂ පූජාවකට සහභාගි වූ හිටපු ජනපතිවරයා නැවත තංගල්ලට පැමිණියේ අඟහරැවාදාය. ඔහු එන ගමනේදී මුණගැසුණ බොහෝ හිතවතුන් මහින්දගෙන් විමසුවේ මැතිසබයට ඉදිරිපත් කළ විශ්වාසභංගය ජයගන්නට කැබලිත්තේ දේවපූජාවක් කළාද කියායි. එහෙත් මහින්ද සිනාසුණා මිස ඒ කිසිවකට ඔහු පිළිතුරු දුන්නේ නැත. කැබලිත්තේ සිට තංගල්ලට පැමිණ ප්‍රදේශයේ ජනතාව හමුවූ මහින්ද මෙවර විශ්වාසභංගයෙන් රටේ පෙරැළියක් ඇතිවිය හැකි බවට අනාවැකි පළ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංගය ගැන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ කණ්ඩායම් ගණනාවක ප්‍රධානීන්ගේ හමුවක් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ කැඳවීමෙන් සුවසිරිපායේදී ගිය අඟහරුවාදා සවස පැවැත්විණි. චම්පික රණවක, අර්ජුන රණතුංග, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, අතුරලියේ රතන හිමි, චතුර සේනාරත්න යන මැති ඇමැතිවරු මෙම හමුවට එක්වූහ. විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ගත හැකි විකල්ප ගණනාවක් සාකච්ඡා වූ අතර මෙහිදී පවතින තත්ත්වය යටතේ අග්‍රාමාත්‍ය තනතුරේ වෙනස්කමක් සිදුකළ යුතු බවට මෙම පක්ෂ නායකයන් සාකච්ඡා කළ බව තිරය පිටුපස ආරංචි මාර්ග කියයි. ඒ සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කොට තීන්දුවක් ගත යුතු බවටද මෙම පක්ෂ නායකයෝ එකඟ වූහ. අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංගයේදී දුෂ්කර තත්ත්වයකට පත්වීම වැළැක්වීම සඳහා ඔහුට කල්තබා තනතුරින් ඉවත් වන ලෙස දැන්විය යුතු යැයි ද මෙහිදී සුළු පක්ෂ නායකයන් ගණනාවක්ම යෝජනා කළහ. ඒ ගැන අගමැතිවරයාට දන්වා ඔහුගෙන් ඉල්ලීමක් කිරීමට බ්‍රහස්පතින්දා සවස අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට මෙකී පක්ෂ නායකයෝ තීන්දු කළහ. බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයද කැඳවා තිබිණි.

මේ සතියේ වඩාත් ආන්දෝලනාත්මක කාර්යයන් ගණනාවක් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. යහපාලන රජය පිහිටුවූදා සිට අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති ශ්‍රී ලංකා මහ බැංකුව හා කොළඹ කොටස් වෙළෙඳපොළ පාලනය කරන විනිමය හා සුරුකුම්පත් කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයාගෙන් ඉවත් කිරීම ඉන් පළමුවැන්නයි. මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් පසු මෙම ආයතන මුදල් අමාත්‍යාංශයට පවරන බවට ජනපතිවරයා වාර ගණනක් ඉඟිකර තිබිණි. නමුත් අග්‍රාමාත්‍යවරයා ඊට විකල්ප යෝජනා ගණනාවක් ඉදිරිපත් කළ බවද කියැවිණි. එහෙත් හදිසියේම මෙම වෙනස්කම සිදුකළේ ගිය බදාදාය.

ඊට පෙරදා, එනම් අඟහරුවාදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ආර්ථිකය මෙහෙයැවීම ගැන බරපතළ ප්‍රකාශ ගණනාවක් කරමින් වත්මන් රජය ගිය වසර 3ක කාලය තුළ රටේ ආර්ථිකය ඉවර කළ බව සඳහන් කර තිබිණි. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික කමිටුව මගින් රටටත් ආර්ථිකයටත් සිදුවූ සුගතියක් නැතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දයේදී ආණ්ඩුවට දුන් පණිවුඩය තේරුම්ගෙන දැන්වත් මෙම කටයුතු වෙනස් කළ යුතු යැයි කීය. ආර්ථිකය මෙහෙයවන ආර්ථික කමිටුව අහෝසි කරන ලෙස තමන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කොට ඒ ගැන තීන්දුවක් ගෙන සිටියදී ආර්ථික කමිටුවේ රැස්වීම් තැබීම කර ඇතැයිද පැවසීය. වහාම මෙය අහෝසි කර දමන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඒ ගැන තීන්දුවක් ගන්නට තවත් සති දෙකක් කල්දෙන ලෙස අමාත්‍ය මලික් සමරවික්‍රම ඉල්ලා සිටි අවස්ථාවේය. මෙය තවදුරටත් ඇද ඇද සිටින්නට එපා යැයි තදින් මලික්ට කී ජනපතිවරයා රටේ ආර්ථිකය හසුරවන්නට තමන්ට අවකාශ සලසන ලෙස ඉල්ලා සිටියද එය පිළිනොගත් ආණ්ඩුව රටට කළේ කුමක්දැයි දැඩිව ප්‍රශ්න කළේය.

තමන්ට ඕනෑ නම් කළ වැරදි සම්බන්ධව කාරණා 100ට වැඩි ගණනක් පෙන්වා දිය හැකි යැයි ද ජනාධිපතිවරයා කීය. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මෙහෙයවන මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන්නට බාරදුන් ජපාන සමාගමට එය බාරදුන්නේ එහි ප්‍රධානීන් ගැන සොයා බලාදැයි ඇමැති මණ්ඩලයෙන් ඔහු ප්‍රශ්න කළේය. තමන් ජපානයට ගිය පසු මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්තුව බාරදුන් සමාගම ගැන ‍සොයා බැලූ විට එම සමාගමේ ලොක්කන් දැන් සිටින්නේ ජපානයේ සිරගෙදර බව දැනගත්තේ යැයි ජනපතිවරයා කැබිනට්ටුවට කීය. මේ ආකාරයට ආණ්ඩුවේ ආර්ථික මෙහෙයුම් කටයුතුවලට දැඩි ලෙස දොස් කී ජනාධිපතිවරයා ඇමැති මණ්ඩල රැස්වීමේදී අඟවා සිටියේ එ.ජා.පය ආර්ථික කළමනාකරණයේ දී ෆේල් බවය.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ගිය බදාදා පෙරවරුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ප්‍රධාන පක්ෂ නායකයන් සාකච්ඡා කළේ විශ්වාසභංග යෝජනාවට කාලය බෙදාගැනීම ගැනය. 04 දා විවාදයට නියමිත පැය 11 ½න් එ.ජා.පයට 40%ක කාලයක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට 30%ක්ද (ඒකාබද්ධ විපක්ෂයද ඇතුළත්ව) ඉතිරි 30%ක කාලය දෙමළ සන්ධානයට හා ජනතා විමුක්ති පෙරමුණට ද ලබාදීමට පක්ෂ නායකයෝ තීන්දු කළහ. ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමයේ දෝෂ ඇති බැවින් මන්ත්‍රීන් නමින් ඡන්ද ගන්නටද තීන්දු විය. 

මේ කතාබහ අවසානයේ සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නියෝජ්‍ය නායක තිලංග සුමතිපාලට චෝදනාවක් නැගීය. නියෝජ්‍ය කතානායකවරයා ස්වාධීනව කටයුතු කළ යුතු වුවත් ඔහු ශ්‍රී.ල.නි.පයේ මාධ්‍ය සාකච්ඡා මෙහෙයවීම බලවත් වරදක් යැයි කිරිඇල්ල මහතා කීය. එහෙත් තිලංග එය පිළිගත්තේ නැත. එය තමන්ගේ පක්ෂයේ කාර්යයක් යැයි කියන විට කිරිඇල්ල මහතා පෙරළා ප්‍රශ්න කළේ එසේ නම් කතානායක කරු ජයසූරිය මහතාට එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අසුන් ගන්නට පුළුවන් බවයි. අනතුරුව ඔහු පැවසුවේ විශ්වාසභංගයට අත්සන් කර ඇත්තේ මන්ත්‍රීන් 55 දෙනෙක් නිසා 55කින් විශ්වාසභංග දිනන්නේ කෙසේද කියායි. එවිට දිනේෂ් ගුණවර්ධන මහතා උත්තර දෙමින් සඳහන් කළේ ඒක අපි එදාට බලමුකෝ යනුවෙනි.

ගිය බ්‍රහස්පතින්දා උදෑසන එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මන්දිරයේදී රැස් වූ අතර එහිදී පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරියට ප්‍රකාශ කළේ මාස දෙකක් තුළ පක්ෂයේ දැවැන්ත ප්‍රතිසංවිධානයක් කරන බවය. පක්ෂයේ අනාගත නායකයන් 20ක් පමණ හඳුනාගෙන ඇති බැවින් ඔවුනට වගකීම් පවරන බවද අගමැතිවරයා කීය. අනතුරුව කෘත්‍යාධිකාරිය තීන්දු කළේ විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය දීමටයි.

ඉන්පසු එදිනම සවස එ.ජා. පෙරමුණේ රාජිත, චම්පික, මනෝ ගනේෂන් හා දිගම්බරම් යන නායකයන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර අගමැතිවරයා සමඟ කිරිඇල්ල, මංගල, රවි කරුණානායක, මලික්, අකිල විරාජ් ඇතුළු පිරිසක් වූහ.
ඔවුන් පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කතා කළ අතර චම්පික අමාත්‍යවරයා ඉදිරි වසර 1 ½ සඳහා ඉදිරිපත් කළ වැඩසටහනට මුදල් ලබාගැනීම ගැනද කතා කළේය. එජාප කෘත්‍යාධිකාරිය රනිල් වික්‍රමසිංහ මහතාට දිගටම පක්ෂ නායකත්වය සඳහා සිටිය යුතු යැයි තීන්දුකර ඇති නිසා අගමැති තනතුරින් ඉවත්වීමක් පිළිබඳ ප්‍රශ්නය පැන නොනගින බව මංගල කීය. රජයේ අනාගත කටයුතු ගැන තීන්දු ගන්නට කමිටුවක්ද පත් කෙරිණි. ඉන්පසුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ නිවසේ විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්විණි. ඒ සඳහා පැමිණි අගමැති ජනපති දෙදෙනා දෙපැයක් පමණ රාජිතගේ නිවසේ ගතකොට භෝජන සංග්‍රහයෙන් පසු පිටත්ව ගියෝය.

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර