2017 ජනවාරි 14 වන සෙනසුරාදා

අලුත් ක්‍රමයෙන් ලක්ෂ තුනකට තේ පොහොර නෑ

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

සිලෝන් ටී යන්න ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ජනතාව අතර ජනප්‍රිය නාමයක් වන්නේ එහි ඇති ගුණාත්මක බව හා ප්‍රණීත රසය නිසාමය. ලෝකයේ ඉස්තරම්ම තේ නිෂ්පාදනය කරන රට ලෙසට තවමත් ශ්‍රී ලංකාව තම ස්ථානය රැකගෙන ඇති අතර මෙම වසරේ දී මෙරට තේ කර්මාන්තය සමරන්නේ සිය 150 වැනි සංවත්සරයයි.

වර්ෂ 1867 දී ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් හේවාහැට ලූල්කඳුර වතු යායෙන් ආරම්භ කළ තේ වගාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන බෝගයක් වනු ඇතැයි එදා ඔහු පවා නොසිතන්නට ඇත. එහෙත් අනෙකුත් සියලු අපනයන භාණ්ඩ අභිබවා තේවලට මුල් තැනට එන්නට හැකියාව ලැබිණි. 1965 වන විට ලංකාව ලොව විශාලතම තේ අපනයනකරුවා බවටද පත් වූවත් තේ කර්මාන්තයට වසර 150ක් සපිරෙන මේ මොහොතේ අපට කර්මාන්තය සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ සතුටුදායක කාරණයක් නම් නොවේ.

පොහොර සහනාධාරය විධිමත් කිරීමට බව පවසමින් වර්තමාන රජය හඳුන්වා දුන් නව ක්‍රමය නිසා ලක්ෂ පහකට අධික කුඩා තේ වතු හිමියන්ගෙන් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයකට ගතවූ වසර තුළ කිසිදු පොහොර සහනාධාරයක් නොලැබී ඇති බවට සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය අනාවරණය කළේ පසුගිය සතියේය. වර්තමාන ආණ්ඩුවේ 2015 අයවැයට අනුව එතෙක් ලබාදුන් පොහොර සහනාධාරය නවතා දමා ඒ වෙනුවට මුදල් ලබාදීමට තීරණය කළ බවද, මෙම ක්‍රමය හඳුන්වා දීමත් සමඟ එතෙක් රුපියල් 1200කට අලෙවි වූ පොහොර හොණ්ඩරයක මිල රුපියල් 3000 දක්වා ඉහළ ගිය බවද එම සංගමය වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ නිසා කුඩා තේ වතු හිමියන් විශාල පිරිසක් මේ වනවිටත් දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා ඇති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රමය නවතා දමා පෙර පැවති ක්‍රමය විධිමත් ලෙස නැවතත් ක්‍රියාත්මක කරන ලෙසයි.

තේ ගස යනු වෙනත් කෙටි කාලීන වගාවක් මෙන් නොව දීර්ඝ කාලයක් තිස්සේ ආදායම් ලැබිය හැකි ස්ථිර වගාවකි. නියමිත කලට ජලය, පස, පොහොර ආදිය සැපයීම මගින් තේ වගාවකින් උපරිම ඵල නෙලාගත හැකිය. සාර්ථක අස්වැන්නක්, ගුණාත්මක බවෙන් ඉහළ තේ වගාවක් සඳහා වසරකට හතර වතාවක් පොහොර යෙදිය යුතුය. එසේම අනෙකුත් නඩත්තු කටයුතු ද නියමිත ආකාරයට සිදුකළ යුතුය. නමුත් ගතවූ වසරේ මුල් වකවානුවේ පැවති නියං කාලගුණික තත්ත්වයන්, පොහොර හිඟයන් හේතුවෙන් තේ කර්මාන්තයේ නියැලෙන්නන් දැඩි අසීරුතාවයකට පත්විය. මෙහිදී තේ කර්මාන්තයේ නියුතු ලොකු කුඩා සියලු පිරිස් කියා සිටියේ වගාවන් සඳහා නිසි මිලක් නොලැබීමත්, උග්‍ර පොහොර හිඟයක් පැවතීමත් කර්මාන්තයේ කඩා වැටීමට මූලික හේතුවක් වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අප කළ අදහස් විමසීමකදී කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා කරුණු ඉදිරිපත් කළේ මෙලෙසය.

පොහොර සහනාධාරය කියන එක 2008 දී තමයි ලොකු සටනක් කරලා තේ ගොවියන් දිනාගත්තේ. ඊට පස්සේ ඒ පොහොර සහනාධාරය පාර්ලිමේන්තුව තුළ එවකට හිටපු වැවිලි කර්මාන්ත ඇමැති දි.මු. ජයරත්න මහත්තයා පොරොන්දු වුණා රුපියල් 950ට දෙනවා කියලා පොරාන්දු වුණා. අපිට රුපියල් 1000ට පොහොර හම්බවුණා. ඊට අවුරුදු දෙකකට පස්සේ එනම්, 2010 දී රුපියල් 1300 දක්වා මිල වැඩි කළා. ඒක තමයි අපිට මහින්ද චින්තන පොහොර කියලා දිගටම ලැබෙමින් තිබුණේ. නමුත් මේ පොහොර හොඳ ප්‍රමිතියක තිබුණේ නෑ. ඒ නිසා ගොවි ජනතාව ඉල්ලා සිටියා හොඳ ප්‍රමිතියකින් යුත් පොහොර ලබාදෙන්න කියලා. මේ අරගලය තමයි දිගටම ගෙන ගියේ. ඒ අතරතුරයි නව ආණ්ඩුව පත්වුණේ.

නව ආණ්ඩුවේ දින සියයේ කාලය තුළ ඒ අය පොරොන්දු වුණා ගුණාත්මක බවෙන් යුතු පොහොර දෙනවා කියලා. නමුත් ලබාදුන්නේ නෑ. ඊට පස්සේ ඊළඟ අයවැයේදී පොහොර සහනාධාරයන් කපන්න ඔවුන් තීන්දු කරලා තිබුණා. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කළේ පොහොර 1300 වැනි මිලකට විවෘත වෙළෙඳපොළේ සහනාධාර ලෙස තබනවා වෙනුවට පොහොර සහනාධාර මුදල ගෙදරට ලබාදෙන්න. එනම් ඒ සඳහා මුදලක් බැංකු ගිණුමට එකතු කරනවා කියලා තමයි කිව්වේ. ඒ අනුවයි රට පුරා ගිණුම් විවෘත කරන්න කියලා තේ ගොවියෝ පෙළඹුවේ. මෙහිදී ලබාදුන්නේ අක්කරයකට රුපියල් 6250ක්. ඒ මුදලවත් මේ වෙද්දී සියයට 50කට වැඩි පිරිසකට ලැබිලා නෑ. එම ක්‍රමය විධිමත් නෑ හා ඒ මුදලේ ප්‍රමාණය මදිකමකුත් තියෙනවා.

මොකද විවෘත වෙළඳපොළේ මේ වෙද්දී රුපියල් 3000 හෝ ඊට වැඩි මුදලකටයි පොහොර කිලෝග්‍රෑම් 50 බෑග් එකක් තියෙන්නේ. කිලෝ 50 බෑග් දෙකක් තමයි මෙහිදී ගතහැකි වෙන්නේ. නමුත් අපි වසරකට අක්කරයකට මෙවැනි පොහොර මලු 12ක් යොදන්න ඕනේ. එතකොට අපිට ඔය දෙනවා කියන සහනාධාරය ලැබුණා වුණත් ඒ මුදල ඇත්තටම ප්‍රමාණවත් නෑ. මේක සහනාධාරයක් හැටියට ගන්නත් බෑ. ඒ වගේම මේ දේවත් නොදෙන එක ගැන තමයි අද රටපුරා ගැටලුවක් හැටියට මතුවෙලා තියෙන්නේ.

ඉතින් මේ පොහොර සහනාධාරය දෙන්නම් කියලා පොරොන්දු වුණේ 2015 අවසනයේදී. දැන් 2017ත් උදාවෙලා. පසුගිය වසර පුරාම ගොවීන්ට ඔය පොහොර සහනාධාරය ලැබුණේ නෑ. ඒ නිසා වසර පුරාම තම වගාවන්ට පොහොර යොදන්න ගොවීන්ට හැකියාව ලැබුණේ නෑ.

ඇත්තටම දැන් මේ වෙද්දී තේ දලු කිලෝවක මිල රුපියල් 80කට වගේ තියෙනවා. එහෙම වුණේ මෙම කර්මාන්තයේ විද්‍යාත්මක දියුණුවත් නිසා නෙමෙයි රුපියලේ අගය අඩුවීමත් සමඟ බලපෑ කරුණු හා පසුගිය නත්තල් සමයේ තේවල ඉල්ලුම වැඩිවුණ නිසයි. කොහොමත් හැම වසරකම දෙසැම්බර්වල ලෝක තේ වෙන්දේසියේ තේ මිල ඉහළ යාමත් සිදුවෙනවා. නමුත් අපේ තේ නිෂ්පාදනය වන ප්‍රමාණය සියයට 50කට වඩා අඩුවෙලා තියෙනවා. පොහොර නොයෙදීම හා නියඟය වැනි හේතු නිසා මාතර දිස්ත්‍රික්කයේ මම පෞද්ගලිකවම දන්නා කර්මාන්ත ශාලා 6ක්, 7ක් තියෙනවා අමු දලු ගැනීම නතර කරලා. ඒ කියන්නේ ලැබෙන ධාරිතාවය මදි නිසා ඒ කර්මාන්තශාලා නවත්තලා තියෙනවා දලු ඇඹරිම. ඒ වගේම තේ පර්යේෂණ ආයතන කියන පරිදි සාමාන්‍යයෙන් අක්කරයකින් තේ කිලෝග්‍රෑම් 800 – 1000 අතර ප්‍රමාණයක් ලබාගත හැකි වූවත් මේ වෙද්දී කිසිම ඉඩමක කිලෝ 200ක් වත් කඩාගැනීමට හැකියාවක් නෑ. ඒ නිසා පොහොර යෙදීම අත්‍යාවශ්‍යයයි. මේ වෙද්දී අපි සම්ප්‍රදායික තේ නිෂ්පාදනයේදී අංක එකේ හිටියත් තේ අපනයනයේදී හතර, පහ වැනි ස්ථානය ලබාගෙන ඉන්නේ. චීනය, ඉන්දියාව, කෙන්යාව, ටැන්සානියාව වගේ රටවල් එක්ක අපිට විශාල සටනක් දෙන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා මේ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වියයුතු වෙනවා.

♦ හේමමාලා කුමාරි රාජකරුණ