2018 මාර්තු 24 වන සෙනසුරාදා

විශ්වාසභංගය අත්සන් කරන්න අස්වෙන්න හැදූ ඇමති

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 544

 කරුට ස්වීප් එකක් ඇදෙන්න යනවලු  
♦ මලික්ගේ උපන් දිනයට සුබපැතූ මහින්දගෙන් විශ්වාසභංගය ගැන විමසයි 

 එ.ජා.ප. හවුල්කාර පක්ෂවල කිහිප දෙනෙක්ගෙන් විශ්වාසභංගයට සහාය  
♦ සජිත්ට ඉක්මනින් ලොකු තනතුරක් එපා කියයි 

 විශ්වාසභංගය පරද්දන්න එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම තීන්දුවක 
♦ ශ්‍රී.ල.නි.පයට අගමැති සමඟ ගමනක් නැතිලු

දේශපාලන වේදිකාවල මෙන්ම තිරය පිටුපසත් දැන් හැමෝගේම අවධානය යොමුවී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව කෙරෙහිය. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ මෙම යෝජනාවේ අන්තර්ගත කරුණු 14න් 10කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත්තේ බැඳුම්කර මගඩිය ආශ්‍රිතව අගමැතිවරයා විසින් කළ ප්‍රකාශ හා ගන්නා ලද තීන්දු සම්බන්ධයෙනි. මේ යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ නීතිඥයන් හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් විසින් කෙටුම්පත් කරන ලද අතර ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබීමත් සමඟ අත්සන් ගැනීම ඇරැඹිණි.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා යෝජනාවට අනුමැතිය දුන්නේ එයට ශ්‍රී.ල.නි.පයේ හා එ.ජා.පයේ මැති ඇමැතින් කිහිපදෙනකුගේ අත්සන් ලබාගෙන බාරදිය යුතු යැයි කොන්දේසියක් පනවමිනි. ඒ ගැන ඒකාබද්ධයේ නායකයෝ ශ්‍රී.ල.නි.පයේ එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කළහ. එ.ජා.පය නියෝජනය කරන වෙනත් පක්ෂවලින් සම්බන්ධ වූ අතුරලියේ රතන හිමි, චතුර සේනාරත්න හා තවත් නම් හෙළිනොකරන ලද මන්ත්‍රීන් ගණනාවක් සමඟ ද කතා කළ බව දින දෙක තුනකට පසු මහින්ද රාජපක්ෂ මහතාට වාර්තා කර තිබිණි. ආණ්ඩුවේ ඇමැතිකම් දරමින් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම නීත්‍යනුකූලව මෙන්ම දේශපාලන සදාචාරයට ද නොගැලපෙන බව ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක් පෙන්වා දී තිබිණි. එසේ වුවහොත් ශ්‍රී.ල.නි.ප මෛත්‍රී පිලේ මන්ත්‍රීන් කිහිපදෙනකුගේත් එ.ජා.පය නියෝජනය කරන හවුල්කාර කණ්ඩායම්වල මන්ත්‍රීන් කිහිපදෙනකුගේත් අත්සන් ඇතිව යෝජනාව බාරදිය හැකි යැයි සඳහන් විය. මෙම කටයුතු අතරතුර ගිය සඳුදාට යෙදී තිබුණ මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ උපන් දිනය නිමිත්තෙන් සුබ පැතීමට උපන් දිනයක දී පක්ෂ විපක්ෂ කාටත් සුබ පතන හිටපු ජනපති මහින්ද සඳුදා හිමිදිරි පාන්දරින්ම මලික්ට කතා කළේය. මලික්ට සුබ උපන් දිනයකට සුබ පැතූ මහින්ද සමඟ මලික් සුළු වේලාවක් සුහද කතාබහක ද නිරත විය. “කොහොමද ඔබතුමාලගෙ විශ්වාසභංග යෝජනාව...?” කියා මලික් ප්‍රශ්න කළ විට මහින්ද කීවේ“ ඒක අපි ළඟදීම ගේනවා... ගේනවා...” කියාය.

විශ්වාසභංගය එලෙස ඉදිරියට ඇදී යද්දී ශ්‍රී.ල.නි.පයේ අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු වාර ගණනාවක් සාකච්ඡා කොට තවත් වැඩක් සැලැසුම් කළෝය. එයද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරගත් වැඩපිළිවෙළකි. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තවදුරටත් ආණ්ඩුවේ කටයුතු කළ නොහැකි බව කියමින් විශේෂ ලිපියක් සකස් කොට ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් හා ඇමැති, රාජ්‍ය ඇමැති සියල්ලන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු සූදානම් කෙරිණි.ශ්‍රී.ල.නි.ප ආරංචි මාර්ග සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවකදී ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙක් හා කනිෂ්ඨ මන්ත්‍රීන් කිහිපදෙනකු ඊට අත්සන් නොතබනු ඇති බවය. ඒ ගැන මුලින් නම් කියැවුණ දුමින්ද දිසානායක, විජිත් විජිතමුනි සොයිසා ආදී ඇමැතිවරුන්ට අමතරව ගාල්ලේ පියසේන ගමගේ, මනූෂ නානායක්කාර ආදීන් ද ඊට අත්සන් නොකරනු ඇතැයි සතිය මැද වාර්තා විය. එහෙත් පසුව එම ප්‍රශ්නය විසඳුණු බව වාර්තා වී තිබේ.

විශ්වාසභංගය ගැන මුලින්ම අමුතු පුවතක් මැවුණේ ශ්‍රී.ල.නි.ප ටී.බී. ඒකනායක මහතා සම්බන්ධයෙනි. ගිය සති අන්තයේ ඊට තමන් අත්සන් කළ බව මාධ්‍යයට පැවසූ ටී.බී. ඒකනායක මහතා පසුව කීවේ තමන් අත්සන් කළේ විශ්වාසභංගයට නොව අගමැතිතුමා සමඟ තවදුරටත් ආණ්ඩුවේ කටයුතු කළ නොහැකි බවට ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් සකස් කළ ලිපියකට බවය. එහෙත් පසුව ඔහු ඊට අත්සන් කළ බව දැනගන්නට ලැබිණි.

ඒකාබද්ධය හා ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් විශ්වාසභංගයට සැරසෙද්දී එ.ජා.පයේ ද කටයුතු කිහිපයක් සිදුවෙමින් තිබේ. ඉන් වැඩි ප්‍රචාරයක් ලැබුණේ පක්ෂ ප්‍රතිසංවිධානය මෙම මස 31 දාට පෙර සිදුකරන බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයයි. ඒ අනුව නියෝජ්‍ය නායක පදවි තුනක් ඇතිකෙරෙන බව දැනගන්නට ඇත. තහවුරු නොකළ ආරංචි මාර්ග කියන්නේ සජිත්, කරුට අමතරව රංජිත් මද්දුමබණ්ඩාර හෝ සරත් ෆොන්සේකා යන දෙදෙනාගෙන් කෙනෙක් ඊට එක්විය හැකි බවය. නව උප නායක පදවි කිහිපයක් ද ඇතිකරන බව වාර්තා වේ. පක්ෂ මහ ලේකම් ධූරයට අකිල විරාජ් අමාත්‍යවරයා පත්කොට දැනට මලික් සමරවික්‍රම මහතා දරන සභාපති ධූරය වත්මන් ලේකම් කබීර් හෂීම් මහතාට පවරනු ඇති බවට තොරතුරු ලැබේ. ජාතික සංවිධායකකමට හරීන් ප්‍රනාන්දුගේ නම යෝජනා වී ඇත. එහෙත් පක්ෂයේ පසුපෙළ මෙන්ම තරුණ අමාත්‍යවරු ද මෙයට වඩා පුළුල් ප්‍රතිසංවිධානයක් අපේක්ෂා කරති. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට සහාය දී පක්ෂය බෙදීමට තමන්ට වුවමනා නැතත් අග්‍රාමාත්‍ය පදවිය හා පක්ෂ නායකත්වය වෙන් වෙන්ව තිබුණොත් හොඳ යැයි පසුගියදා ප්‍රකාශ කළේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාය. ඔහු ගාල්ලේ ජනහමුවකදී කියා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා තමන් සාමාන්‍ය පෙළ ලියන කාලයේත් අගමැති, තවමත් අගමැති. ඒ නිසා වෙනසක් වුණොත් හොඳයි කියාය.

එහෙත් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වන කරු ජයසූරිය, ජෝන් අමරතුංග, රංජිත් මද්දුමබණ්ඩාර ආදීන් සඳහන් කරන්නේ පක්ෂය නොබෙදා අවශ්‍ය වෙනස්කම් කළ යුතු වගය. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දිගටම දරද්දී පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡාවක් දියත් කර තිබිණි. එහෙත් ප්‍රේමදාස අමාත්‍යවරයා කඩිනමින් පක්ෂ නායකත්වය බාරගන්නට තමන් සූදානම් නැති බව ප්‍රකාශ කරන ලද බව සඳහන් වෙයි.

මෙම තොරතුරු මාධ්‍යයට දැක්වීමට එ.ජා.පයේ පාර්ලිමේන්තු කණ්ඩායමත්, ශ්‍රී.ල.නි.පයේ මධ්‍යම කාරක සභාවත්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් මේ සතියේ රැස්විය. මෙයින් බොහෝදෙනාගේ අවධානයට ලක්ව තිබුණේ සඳුදා සවස අරලියගහ මන්දිරයේ දී රුස්වුණ එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායම කෙරෙහිය. මෙම හමුව සඳහා මන්ත්‍රීන් ගණනාවක්ම පැමිණ සිටියේ නැත. ඔවුන්ගෙන් සමහරු විදේශගතව ඇතැයි සඳහන් විය.

කෙසේ වෙතත් මන්ත්‍රී හමුවේදී බොහෝ දෙනකු අදහස් නොදැක්වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධය ගෙන එන විශ්වාසභංගය පරාජය කළ යුතු බවට වූ යෝජනාව පැමිණ සිටි මන්ත්‍රීහු අනුමත කළෝය. එවිට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ තවමත් විශ්වාසභංගය බාරදී නැති බැවින් කලබල විය යුතු නැත කියායි. පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් ඒ අවස්ථාවේදී කියා සිටියේ යම්හෙයකින් විශ්වාසභංගය බාරදුන්නොත් ඉතාම සමීප දිනයකදීම එය විවාද කොට පරාජයට පත් කළ යුතු වගය. එහිදී නැගීසිටි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය අගය කරමින් කතා කළ අතර පසුගිය රජය කාලයේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධ නඩුහබ ටික ඉක්මන් කරගත යුතු යැයි නැවතත් මන්ත්‍රී කණ්ඩායමට මතක් කළේය. වෙනදා රාජිත සමඟ මෙම නඩුහබ ඉදිරියට තල්ලු කිරීමට කතා කරන අමාත්‍ය චම්පික රණවක ඒ ගැන කිසිම අදහසක් පළ නොකොට නිහඬව සිටි බවද කියැවේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ ඇමැති තනතුරු දරමින් අගමැතිට එරෙහිව විශ්වාසභංග ගෙන ඒමට කතා කරන එස්.බී. දිසානායක අමාත්‍යවරයාට එරෙහිව යෝජනාවක් සම්මත කළ යුතු යැයිද මෙහිදී එ.ජා.ප. මන්ත්‍රීන් යෝජනා කළ බව කියති. එ.ජා.පයේ කෙරෙන පුළුල් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් 22 දා රුස්වන පක්ෂ කෘත්‍යාධිකාරිය දැනුවත් කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසූ බව කියැවිණි. මෙම රැස්වීමට පෙර පක්ෂ ප්‍රතිසංවිධානය ගැන යෝජනා ලබාගන්නට පත් කළ අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව අගමැතිවරයාට බාරදී තිබිණි.

එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට පෙර අග්‍රාමාත්‍යවරයා පක්ෂ ප්‍රතිසංවිධාන ගැන හඬනගන චතුර සේනාරත්න මන්ත්‍රීවරයා අරලියගහ මැඳුරට කැඳවා සාකච්ඡා කළ බව කියැවේ. එහිදී චතුර සහ අගමැතිවරයා පැය 1 ½ක් පමණ පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කතා කළ අතර චතුර මන්ත්‍රීවරයා තමන්ට කියන්නට තිබෙන කාරණා ඍජුවම අග්‍රාමාත්‍යවරයාට දැන්වූ බව සඳහන්ය.

ගිය අඟහරුවාදා සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා විසින් කැඳවා තිබිණි. මෙම කැඳවීමේ අදහස ඒකාබද්ධය ගෙන එනවා යැයි කියන විශ්වාසභංගය හා ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් තමන්ට අග්‍රාමාත්‍යවරයා සමඟ ආණ්ඩුවේ කටයුතු කළ නොහැකි බවට ජනාධිපතිවරයාට ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු උද්ගතවන කරුණු සාකච්ඡා කිරීමයි. 

මෙහිදී මුලින්ම සාකච්ඡාවට ගැනුණේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු පළාත් ආයතනවල බලය පිහිටුවන්නේ කෙසේද කියාය. ඒ ගැන දීර්ඝව කතා කළ ශ්‍රී.ල.නි.ප. ප්‍රධානීන් ජනපතිවරයාගේ මතයද විමසා අවසානයේ තීරණය කළේ ඒ ඒ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සමඟ සුහදව කතාකොට පොහොට්ටුව සමඟ බලය පිහිටුවිය හැකි තැන්වල එසේ කරන්නටත් එ.ජා.ප.ය සමඟ හෝ ස්වාධීන කණ්ඩායම් සමඟ යාහැකි තැන්වල එසේ ගොස් බලය පිහිටුවන්නටත්ය. ඒ සමඟ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය හා සෙසු කණ්ඩායම් සමඟ එකමුතුව කටයුතු කිරීමට ද තීන්දු කළ බව වාර්තා විය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද පසුගිය අඟහරුවාදා දහවල් දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. මේ රැස්වීමේදී මුලික වශයෙන් සාකච්ඡා වූයේ ඒකාබද්ධය හා ශ්‍රී.ල.නි.ප.ය ඇතුළු හිතවත් මන්ත්‍රීන්ගේ අත්සනින් දෙන්නට යන විශ්වාභංග යෝජනාව ගැනයි. මෙහිදී කරුණු දැක්වූ ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් කියා සිටියේ ශ්‍රී.ල.නි.ප.යේ යෝජනාව සම්බන්ධව බෙදීමක් ඇති වගයි. ශ්‍රී.ල.නි.ප. බහුතර මැතිඇමැති පිරිසක් අත්සන් කරන්නේ නැතිනම් විශ්වාසභංගය භාරදීම ගැන දෙවරක් සිතා බැලිය යුතු බව ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා ආදී මන්ත්‍රින් පිරිසක් සඳහන් කර තිබිණි. එහෙත් බන්දුල ගුණවර්ධන, උදය, විමල් ඇතුළු මන්ත්‍රීන්ගේ අදහස වූයේ මේ ගැන මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධයේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කොට ගන්නා ලද තීන්දුව ක්‍රියාත්මක කළ යුතු වගය. මෙහිදී ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම පෙන්වා දුන්නේ විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමේ අරමුණ මෙන්ම මේ මගින් සමාජය දැනුවත් කිරීමට ද අපේක්ෂා කරන බවයි. එහි සඳහන් මහ බැංකු බැඳුම්කරය වැනි මහා වංචා දූෂණවලට පක්ෂවන දේශපාලන පක්ෂ හා මන්ත්‍රීන් කව්දැයි සමාජය හමුවේ හෙළිදරව් වනබව උදය ගම්මන්පිලලා සඳහන් කර තිබුණි. ඒ වනවිටත් ශ්‍රී.ල.නි.ප.යේ සුසන්ත පුංචිනිලමේ, ටී.බී. ඒකනායක ආදි මැතිඇමැතිවරුන් විශ්වාසභංගයට අත්සන් කර ඇති බවද හෙළිදරව් විය. අවසානයේ ශ්‍රී.ල.නි.ප.යේ අමාත්‍යවරුන් අත්සන් නොකිරීම ප්‍රශ්නයක් බැව් මහින්ද මහතාද කියා ඇතැයි සඳහන් වූ විට අවශ්‍ය නම් සුසිල් ප්‍රේමජයන්ත මහතා එම යෝජනාවට අත්සන් කරන බව කීය. එසේ වුවහොත් තමන් දැනට දරන අමාත්‍ය පදවියෙන් ඉවත්ව එම අත්සන යෙදීම කරන බවට ඔහු ප්‍රතිඥාදී ඇතැයි සඳහන් විය.

මේ ආකාරයේ තර්ක විතර්ක මැද ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම් හමුව තීන්දුවකින් තොරව හමාරවිය. විශ්වාසභංගය දෙන්නේ ද නැත්ද එය දෙනවා නම් දියහැක්කේ කවදාද යන්න විවාදාසන්න ප්‍රශ්නයක් බවට පත්වෙද්දී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිටපු ජනාධිපති මහින්ද මුණගැසුණේය. ඔහු මේ කාරණයට අදාළ ප්‍රායෝගික තත්ත්වය පහදමින් කීවේ සෑහෙන දුරක් ගමන් කර තිබෙන විශ්වාසභංගය මේ මොහොතේ අඩාල වන තැනට කටයුතු යෙදුණොත් එයින් පාක්ෂිකයා තේරුම් ගන්නේ එ.ජා.ප.ය හා ඒකාබද්ධය අතර “ඩීල්” එකක් තිබෙන බව යැයි කීය. දැනටමත් ජ.වි.පෙ. සහ එ.ජා.ප.ය අතර ඩීල් එකක් තිබෙන බවට චෝදනා නැගෙන අතර ඒකාබද්ධයට ද එම චෝදනාවම නැගුනොත් එය මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම පක්ෂයේ ඡන්ද පදනමටත් හොඳ නැතැයි මහින්දානන්ද තර්ක කළේය. කෙසේ හෝ අවසානයේ බදාදා සවස 2.00ට කතානායකවරයාට අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය භාරදීමට තීන්දු කැරිණි.

අවසාන වශයෙන් විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර ගිය අඟහරැවාදා සහ බදාදා දෙදින දුරකතන සංවාද දෙකක් සිදුවිය. එහිදී සාකච්ඡා වූයේ මෙයට ශ්‍රී.ල.නි.ප. සහයෝගය ලබාගැනීම හා ඒකාබද්ධය හා ශ්‍රී.ල.නි.ප.ය එක්ව යෝජනාව සාර්ථක කරගන්නට තිබෙන හැකියාව ගැන බව සඳහන්ය. අඟහරැවාදා සවස හා බදාදා පෙරවරුවේ යෝජනාවට අත්සන් එකතු කිරීම මහින්දානන්ද, ෂෙහාන් සේමසිංහ, රන්ජිත් සොයිසා, ආදීන්ගේ මෙහෙය වීමෙන් සිදුවිය. දහවල් 12.00 වනවිට ශ්‍රී.ල.නි.ප.යෙන් අත්සන් 4ක ලේඛනයක් ලැබී තිබිණි. සුසන්ත පුංචි නිලමේ, ටී.බී. ඒකනායක, එම්. මස්තාන් හා නිශාන්ත මුතුහෙට්ටිගම ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කරමින් අත්සන් කර තිබිණි. ඒකාබද්ධ විපක්ෂය පොදු තීන්දුවක් ගත්තේ මහින්ද රාජපක්ෂ මහතා ඊට අත්සන් නොකළ යුතු වගයි. විදේශගතව සිටි සිරිපාල ගම්ලත් හා රොෂාන් රණවක මන්ත්‍රීන් දෙදෙනා හැර අන් සියල්ලන්ගේම අත්සන් සහිතව සකස් කළ විශ්වාසභංගය බදාදා දහවල් 12.45 පමණ වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත දිනේෂ් ගුණවර්ධන මහතාට ලැබිණි. ඒ වනවිටත් කතානායක කරු ජයසූරිය මහතා මුලසුනේ සිටි බැවින් ඔහු නිල කාමරයට පැමිණි විට විශ්වාසභංගය භාරදීමට වේලාව ලැබිණි. විශ්වාසභංගය භාර දෙන අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, චන්ද්‍රසිරි ගජධීර, ෂෙහාන් සේමසිංහ ආදි මන්ත්‍රීන් පිරිසක් කතානායක කාර්යාලයට ගියෝය. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකට විශ්වාසභංගය බාර දුන්නේය. කතානායක කරැ ජයසූරිය මහතා එය භාර ගන්නාවිටම විමල් වීරවංශ මන්ත්‍රීවරයා කීවේ “කතානායකතුමනි ඔබතුමාට මේක ස්වීප් එකක් වෙන්නත් පුළුවනි.” කියායි. ක්ෂණිකව ඊට ප්‍රතිචාර දැක්වූ කතානායක කරු ජයසූරිය මහතා මන්ත්‍රිතුමා “මම කවදාවත් ස්වීප් ගන්නේ නැහැ. ඒ නිසා ඒවගේ ප්‍රශ්නයක් නැහැ... අනෙක මම මේවට ගාවගන්න එපා...” යැයි කීය. එවිට උදයගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ “කතානායකතුමනි මේ විශ්වාසභංගය භාරදීමත් එක්ක ආණ්ඩුව වගේම රටත් අස්ථාවර වෙනවා... ඒ නිසා ඔබතුමා අගමැතිතුමාට එරෙහි මේ විශ්වාසභංගයට නිසි ප්‍රමුඛතාව දීලා විවාදයට ගන්න කියා ඉල්ලා සිටිනවා... යනුවෙනි. ඊට කරු ජයසූරිය මහතාගේ පිළිතුර වූයේ “ඔව්... ඔව්... විශ්වාසභංග සම්බන්ධව ක්‍රියාකරන නීතිගත සම්ප්‍රදායක් තිබෙනවා. මම ඒ අනුව මේ ගැන ක්‍රියාකරන්නම්...” කියායි.

විශ්වාස භංගයෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය හමුවක් තබා ඊට අදාළ  තොරතුරු හෙළිදරව් කළේය. ඒ අවස්ථාවේ එ.ජා.ප.යේ සිටි මන්ත්‍රීන් ගණනාවක්ම මැතිසබයේදී ප්‍රකාශ කළේ තම පක්ෂය එකාවන්ව විශ්වාසභංගය පරාජය කරන බවය. එහෙත් මේ සම්බන්ධයෙන් එ.ජා.ප.යේ බොහෝ දෙනා තුළ එතරම් උනන්දුවක් හෝ ජවයක් දක්නට නොලැබුණි. මැතිසබයේ තැන තැන ඇතිවූ කතාබහවලදී අසන්නට ලැබුණේ විවේචනය.

ජනතා විමුක්ති පෙරමුණ මෙකී විශ්වාසභංගය පසෙක තිබියදී හදිසියේම විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නට යෝජනා කළේය. ජ.වි.පෙ. නායක අනුර දිසානායක දිගින් දිගටම අවධානය දැක්වූයේ විශ්වාසභංගයට නොව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ගැනයි. මේ ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නොයෙකුත් චෝදනා නැගෙද්දී ජ.වි.පෙ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් කියා තිබුණේ තම පක්ෂය ඊට සහාය පළකරන බවය. ඒ අතර රටේ ප්‍රධාන විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංගය නිසා දෙලොවක් අතර තනිවී සිටින බව දැනගන්නට ඇත.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමැතිවරැන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණි. ඔවුන්ට අවශ්‍ය වූයේ ශ්‍රී.ල.නි.ප විශ්වාසභංගය සඳහා දක්වන සහාය ඉවත් කිරීමයි. එහෙත් ජනාධිපතිවරයාගෙන් ඊට සුබ ප්‍රතිචාර නොලැබුණු අතර විශ්වාසභංගය තමන්ගේ තීරණයක් නොව පක්ෂයේ තීරණයක් බව පවසා ඇතැයි සඳහන්ය. එසේම ඔහු යම් වෙනසක අවශ්‍යතාව ගැන ඉඟි පළ කළ බවද කියැවේ.

කෙසේ හෝ විශ්වාසභංගය බාරදීමෙන් පසු එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායම සිරිකොත මන්දිරයේදී ගිය බ්‍රහස්පතින්දා රැස්වූහ. මෙම රැස්වීමේදී එ.ජා.ප මන්ත්‍රීන් හා ජ්‍යෙෂ්ඨයන්ගේ සහාය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පළකිරීමේ ලිපියකට අත්සන් ගැනිණ. මන්ත්‍රීන් 75කට වැඩි පිරිසක් ඊට සහභාගි වී සිටියහ. හවුල්කාර පක්ෂවල ඇතැම් මන්ත්‍රීන් ද පැමිණියෝය. මේ අය අගමැතිවරයාට පක්ෂපාතීත්වය පළකරන ලියැවිල්ලකට අත්සන් තැබූහ. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන බව කියා තිබේ. දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා සඳහන් කර තිබුණේ තවදුරටත් විශ්වාසභංගය අධ්‍යයනය කොට පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කැඳවා අවසන් තීන්දුව ගන්නා බවය. ගිය බ්‍රහස්පතින්දා අගමැති රනිල් හා සම්පන්දන් මහතා පාර්ලිමේන්තුවේදී මුණගැසී පැය බාගයක් පමණ විශේෂ සාකච්ඡාවක නිරත වූ බවද සඳහන්ය.

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර