2017 ජනවාරි 14 වන සෙනසුරාදා

පෙළපොත් කණපිට පෙරළීම

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 508

මෙතෙක් උසස් පෙළ කලා විෂය ධාරාව හදාරන සිසුන් සිංහල විෂයයට භාවිත කළේ 2009 විෂය නිර්දේශයයි. ඒ වෙනුවට 2017 වසර සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් උසස් පෙළ සිංහල නව විෂය නිර්දේශිය සකස් කෙරිණි. සිංහල කවිය සහ කෙටිකතාවට විශිෂ්ට දායකත්වයක් දැක්වූ නිර්මාණවේදින්ගේ නිර්මාණ රාශියක් නව නිර්දේශයෙන් විසි කර ඇති බවට චෝදනා එල්ලවේ. එම ක්‍රියාවට එරෙහිව මෙයට පෙර සාහිත්‍යවේදීන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ අධ්‍යාපන ඇමැතිවරයාට කරුණු පැහැදිලි කරමින් විවෘත සංදේශයක්ද ඉදිරිපත් කර තිබේ.

නව විෂය නිර්දේශය වඩාත් අහිතකරව බලපා ඇත්තේ කවියටය. නූතන පද්‍ය සංග්‍රහයයයි නම් කළ සංස්කරණයට කොළඹ යුගයේ විශිෂ්ට කවීන් වන ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස, රුපියල් තෙන්නකෝන්, බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා, ඇස්. මහින්ද හිමි, සාගර පලන්සූරිය, විමලරත්න කුමාරගම, ජී.බී. අල්විස් පෙරේරාගේ නිර්මාණයන්ද කපා දමා ඇති බව ආරංචිය. නව කවියට පදනම දැමූ විමල් දිසානායක, මොනිකා රුවන්පතිරණ, අරියවංශ රණවීර, බුද්ධදාස ගලප්පත්ති, පරාක්‍රම කොඩිතුවක්කු, ලාල් හඳගොඩ, නන්දන වීරසිංහ, රත්න ශ්‍රී විජේසිංහ ආදී කවීන් 14 දෙනෙකුගේ නිර්මාණද විෂය නිර්දේශයෙන් ඉවත්කර ඒ වෙනුවට ධර්මසිරි රාජපක්ෂගේ නිර්මාණ එක්කර තිබේ.

2017 වර්ෂයේදී ඉදිරිපත් කිරීමට නියමිත නූතන කෙටි කතා සංග්‍රහයද කෙටිකතා හැදෑරීමට මඟ පෙන්වන්නක් නොව අතරමං කරන්නක් බව සහිත්‍යවේදීහු පවසති. එයට මාර්ටින් වික්‍රමසිංහගේ කෙටිකතා ඇතුළත් කිරීම යහපත් වූවත් ඩබ්ලිව්.ඒ. සිල්වා ඉවත් කර තිබේ. නූතන කෙටිකතාවට පදනම දැමූ සම්මානනීය කෙටිකතාකරුවන් වන සෝමරත්න බාලසූරිය, ජයතිලක කම්මැල්ලවීර, රංජිත් ධර්මකීර්ති, පියසීලි විජේමාන්න ආදීන්ගේ කෙටිකතා එහි නැත. මේ විෂය නිර්දේශ අලකලංචිය ගැන අපි සහිත්‍යකරුවන් කිහිපදෙනකුගෙන් අදහස් විමසුවෙමු.

හෙයියන් පිරිසක් බිහිවේවී
සම්මානනීය ලේඛක බටුවන්ගල රාහුල හිමි

වර්තමානය වනවිට සාහිත්‍ය හා මිනිසා අතර සම්බන්ධය සීඝ්‍ර ලෙස පහළ බැහැලා කියා සැකයක් තිබෙනවා. උසස් පෙළ සිසුන්ගේ සිංහල විෂය ධාරාව තුළින් ලැබෙන සාහිත්‍ය දැනුම තවත් පහළ ගියහොත් මේ තත්ත්වය වඩාත් දරුණු වෙනවා.

අධ්‍යාපන ක්‍රමයෙන් ඔළුව, අත්පා වගේම හදවතද හැදිය යුතුය. හදවතට නම් සාහිත්‍ය කලා ගැන අවබෝධයක් ලබාදිය යුතුයි. විශිෂ්ටයන්ගේ කෙටිකතා කවි වගේ සාහිත්‍යාංග විෂය නිර්දේශයෙන් කපා දමනවා කියන්නේ මුල් සිදුණු සමාජයක් බිහිකිරීමක්. මිනිස්සු දුක් විඳින කුණු ගොඩේම තවදුරටත් රඳවා තබන්න ගත්ත උත්සාහයක්. ස්වාධීන චින්තනය මොටකරලා දේශපාලනඥයන්ගේ එහෙයියන් පිරිසක් බිහිකර ගැනීමට දරනා ප්‍රයන්තයක් බව පේනවා.
දැන්වත් සාහිත්‍යය ඇසුරු කරන යම් පිරිසක් ඉන්නවා. පාසැල් ළමුන්ගෙන් සමහරු සාහිත්‍යයට ලැදියාවක් දක්වනවා. මේ වැඩවලින් වෙන්නේ එම සුළු පිරිසක් දියාරුවෙලා ගිහින් දේශපාලනඥයන්ට පෝස්ටර් අලවන පිරිසක් බිහිවීමයි.

බුද්ධිමය මහාමාරියාවක් වේවී
ප්‍රවීණ කිවිවර පරාක්‍රම කොඩිතුවක්කු

මේ සමාජයේ හිස නරක් කරලා තියෙන්නේ අඳබාල දේශපාලනඥයන් පමණක් නොවෙයි, අපේ ආයතන පද්ධතියේ ඇතඩමියාවේ ඉහළ ඉන්න විශ්ව විද්‍යාලවල ව්‍යාජ උගතුන් හා ජාතික අධ්‍යාපන ආයතනය වගේ වඳ පීදුණු ආයතනවල මෙහෙයුම්කරුවන්. යෝජිත උසස් පෙළ සිංහල විෂය නිර්දේශයෙන් පෙනී යන්නේ අවුරුදු 30-40ක සිට සිදුවන බුද්ධි පරිහානියේ පින්තූරයක් පමණයි. උසස් පෙළ ශිෂ්‍ය ප්‍රජාව සාහිත්‍ය කලා අංශයට ඇතුළු වන්නේ රටේ සංස්කෘතික සමාජයට ඇතුළුවීමේ අරමුණින්. ඒ අයට සාහිත්‍ය භාෂා විෂය නිර්දේශය සැලසුම් විය යුත්තේ ඓතිහාසික ප්‍රවාහය ගලා ගිය ආකාරය තේරුම්ගත හැකි මාර්ග සිතියමක් ලෙසයි. ඩබ්ලිව්.ඒ. සිල්වාගේ කෙටිකතා, හෙළ හවුලේ කවිය, කොළඹ කවිය, නිසදස, අද ලියැවෙන නිදහස් කවි මේ නිර්මාණ පරිණාමයේ වැදගත්ම අවස්ථා.

ඒ නිර්මාණ පරිණාමයට ජීවය දුන් නිර්මාණකරුවන් අත්හැරීම කියන්නේ අධ්‍යාපනයක් නොවෙයි. බුද්ධිමය මහාමාරියාවක්. කවුරුත් කතා නොකරන අපරාධයක්. මේවා සාමාන්‍ය පෙළ පොත් පෙළෙන් පවා සිදුවන හැටි ගුරුවරයෙක් හැටියට මම දැක්කා. මේ ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න කොමසාරිස්වරු, අධ්‍යක්ෂකවරු විසින් විදුහල්පතිවරු හා ගුරු උපදේශකයන් දෙතුන් දෙනෙක් එකතු කරගෙන තමයි ඔය පොත් පෙළ දිගටම සම්පාදනය කළේ. ඔවුන්ට සාහිත්‍ය රසඥතාවක් නෑ. ඒකෙන් වුණේ හෝඩි පොතේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාත්මයක් නැති ප්ලාස්ටික් භාෂා සාහිත්‍යයකින් ශිෂ්‍ය පරපුරේ කල්පනා ශක්තිය විනාශකර දැමීමයි.

අද ඔය මණ්ඩලයේ සිටින භික්ෂු මහාචාර්යවරයාට නවීන සාහිත්‍යය පමණක් නොවෙයි, බෞද්ධ සාහිත්‍යයේ අධ්‍යාත්මික රීතිය ගැනවත් දැක්මක් නැහැ. සිංහල මහාචාර්යවරුත් එහෙමයි.

කලින් මහාචාර්ය සෝමරත්න බාලසූරිය, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි විද්වතුන්, මහාචාර්ය විමල් දිසානායක වැනි කවීන් උසස් පෙළ හා විශ්වවිද්‍යාල සාහිත්‍ය විෂය නිර්දේශ සම්පාදනය කළා. දැන් ඉන්න මෝඩ රැළ හිසක් නැති පාලක පන්තියටවත් අවබෝධ නොවීම පුදුමයක් නොවේ.

ධනාත්මකව බලමු
කථිකාචාර්ය චින්තක රණසිංහ

විෂය නිර්දේශය හරියටම අධ්‍යයනය නොකර නිශ්චිතව යමක් කීම අපහසුයි. උසස් පෙළට නව කවි සරණියෙන් පසු ඉතා පටු සරල පොත් තමයි නිර්දේශ කළේ. එක්තරා තෝරාගත් කවීන් පිරිසකගේ නිර්මාණ තමයි හැමවිටම ඇතුළත් කළේ. එතෙක් පැවතුණු ඕනෑම දෙයක් වෙනස් කිරීමට සමහරු බයයි. මා නම් මේ වෙනස දෙස ධනාත්මකව බලනවා. විෂය නිර්දේශය නිකුත් වූ පසුව ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරමු.

මොන පදනමකින් ඉවත් කළාද?
ප්‍රවීණ කිවි සෙනරත් ගොන්සල්කෝරාළ

විෂය නිර්දේශයෙන් ඉවත් කර තිබෙන්නේ දැනට විශ්වවිද්‍යාලවල නූතන කවි පරපුර යටතේ නිර්දේශ කරපු කවීන්. ඔවුන් ඉවත් කළාම ඒ හිදැස් පුරවන්නේ කව්ද කියන ප්‍රශ්නය එනවා.

70 දශකයේ දී මොනිකා රුවන්පතිරණ සමාජවාදී යථාර්ථය යටතේ කවි ලියනවා. ආරියවංශ රණවීර වෙනත් මඟක යනවා. රත්න ශ්‍රී නව කවි මඟක් හඳුන්වා දෙනවා. මෙවැනි කවීන් ඉවත් කරන්නේ මොන පදනමක් යටතේද කියලා හිතාගන්න බැහැ. උසස් පෙළට හෙළ හවුලේ කවිය ඉගෙනගත යුතුයි. ධර්මසිරි රාජපක්ෂත් ඇතුළත් කර තිබෙන්නේ ඔහු මෑතකදී මියගිය නිසා බවයි මට පේන්නේ. නව පරපුරේ තවත් කවීන් සෑහෙන පිරිසක් සිටිනවා. ඔවුන් ද එක්කර ගත යුතුයි. මේක ශිෂ්‍යයන්ගේ සාහිත්‍ය රසාස්වාදය අඩු කිරීමේ වැඩක්.

බොහෝ විචාරකයන් මා නූතන කවියට සෑහෙන දායකත්වයක් දක්වා ඇති බව පවසනවා. හැබැයි මගේ කවි නම් උසස් පෙළට කවදාවත් එක් කරගෙන නැහැ. ඒත් ජයවර්ධනපුර සරසවියේ වගේම කොළඹ සරසවියේද මගේ කවි උගන්වනවා.

♦ කුසුම්සිරි