2017 ජනවාරි 14 වන සෙනසුරාදා

හම්බන්තොට යුද පිටිය

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 183

2016 වසර ගෙවී උදාවුයේ 2017 වසරයි. වසරක් ගෙවී නව වසරක් උදාවත්ම සිදු විය යුත්තේ පසුගිය වසරේ සිදුකළ අඥාන ක්‍රියා අතහැර දමා නව වසරට සුභවාදිව පෙරටත් වඩා හොඳින් මුහුණ දීමයි. එය එසේ වුවද 2017 නව වසර උදාවී ගෙවුණේ දින 06ක් පමණි. ජනවාරි 07 වැනිදා උදා වුයේ මෙරටට පමණක් ජාත්‍යන්තර වශයෙන්ද නොමැකෙන අවස්ථාවක් සටහන් කරමිනි. හම්බන්තොට දිස්ත්‍රික්කය පිළිබදව කතා කරන විට නිතර නිතර කාගේත් මාතෘකා බවට පත්වෙන ස්ථාන කිපයක් වේ. ඒ අතර මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට වරායට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. මේ ස්ථාන දෙක පසුගිය කාලය පුරාවටම පුවත් මවන්නට සමත් වූ ස්ථාන දෙකක් ලෙස පෙන්වාදීම යුක්ති සහගතයැයි අප සිතමු.

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ මේ වන විට හඳුනාගෙන ඇත්තේ පාඩු ලබන ආයතන ලෙසයි. 2015 ජනවාරි 08 වැනිදා බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ මේ ආයතන දෙක පිළිබඳව විටින් විට අදහස් පළ කළේ කිසිදු ඉවක් බවක් නොමැතිවය. ඒ අතරට රජයේ ප්‍රබල ඇමැතිවරු පවා වගකිමක් නොමැති ප්‍රකාශ සිදු කිරීමේ අවසන් ප්‍රතිඵලය වුයේ මහජනයා තුළට වැරදි මතයක්ද එක් කරමිණි. පාඩු ලබන මේ ආයතන දෙක පිළිබදව වත්මන් රජය අවසන් තීන්දුවකට පැමිණෙමින් තීරණය කර තිබුණේ හම්බන්තොට වරාය මූලික කරගනිමින් ඒ අවට විශේෂ ආයෝජන කලාපයක් බිහිකළ යුතුය යන්නයි. ඒ සඳහා හම්බන්තොටින් අක්කර 15000ක් චීන රජයට ලබා දිය යුතු බවටද පැවසිණි. මේ ආයෝජන කලාපය සඳහා  ඉඩම් අක්කර 15000 පවරා ගැනිම සම්බන්ධයෙන් රජයේ ඇමැතිවරුද මාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ කරන්නට විය. එකිනෙකට පරස්පර වූ විවිධ ප්‍රකාශ කරළියට පැමිණිමත් සමඟින් හම්බන්තොට ජනි ජනයා තුළ විශාල සැකයක් මතුවන්නට වීය. ඒ මේ සඳහා අක්කර 15000ක් පවරා ගැනීමේදී හම්බන්තොට පන්සල් පල්ලි ඇතුළු ගම් බිම් සියල්ල රජය විසින් පවරා ගැනීමට කටයුතු කරන්නට යන බවට පැතිර ගිය කතාවත් සමඟිනි. ඒ නිසා මේ අසාධාරණයට විරුද්ධව ජනයා පාරට බහින්නට තීරණය කෙරුණි.

වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස තීරණය කර තිබුණේ රුහුණු නව ආයෝජන කලාපය සඳහා ජනවාරි 07 දින මුල් ගල්  තැබීමටය. වරායේ පාර්ශවය නියෝජනය කළ පිරිස් ඒ සඳහා ලහි ලහියේ සුදානම් වූ අතර හම්බන්තොට ජනයාද ජනවාරි 07 දිනය වෙනුවෙන් සුදානම් වුයේ සිය ඉඩම් අහිමි වීමට විරෝධය පළකිරීම වෙනුවෙනි.

නව වසර උදාවී හත් වන දිනය උදාවත්ම කිසිවකුත් නොසිතූ පරිදි මහ සඟරුවන පෙරටු කරගනිමින් පන්දහසකට ආසන්න සෙනඟක් හම්බන්තොට මිරිජ්ජවිලට හා අම්බලන්තොටට එක් වන්නට විය. හම්බන්තොට කර්මාන්තපුරය සඳහා මුල් ගල් තබන දිනයේ හම්බන්තොට ඒ අවට දැවැත්ත විරෝධතාවයක් සිදු කරන්නට සැරසෙන බවට රජයේ බුද්ධි අංශද පොලීසිය දැනුම්වත් කර තිබුණි. ඒ නිසා මේ තත්ත්වයට මුහුණ දීම සඳහා රජයද විශේෂ පොලිස් ආරක්ෂාවක් හම්බන්තොට හා ඒ අවට යෙදවීමට කටයුතු කෙරිණි. මිට අමතරව සිදුවීමට යන විරෝධතාවය මැඩ පැවැත්විම වෙනුවෙන් හා යම්  කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවීමට යන බවට පොලීසිය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු ඉදිරිපත් කෙරිණි. ඒ කරුණු සළකා බැලු හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා මිරිජ්ජවිල හා හම්බන්තොට අවට 07 දිනයේ සිට දින 14ක් ගතවන තෙක් කිසිදු විරෝධතාවයක්, පාගමනක් නොපවත්වන ලෙස දන්වමින් වාරණ නියෝගයක්ද නිකුත් කෙරිණි. ඒ අතරේ පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ කැරලි මර්දන ඒකකයන්ද ජල ප්‍රහාරක රථ සමඟින් හම්බන්තොටට කැඳවා ස්ථාන ගත කරතිබුණි.

මේ සියල්ල අතරේ රුහුණු ආර්ථික කලාපයට මුල් ගත් තැබීමේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රි ලංකා චීන තානාපති යී පියෑං ලෑන් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුද විශාල පිරිසක්ද හම්බන්තොටට පැමිණ සිටියහ.
හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීන රජයට පවරාදීමේ ගිවිසුම 07 වැනි දින හම්බන්තොටදී අත්සන් තබන බවට රජයේ විවිධ පිරිස්ද රූපවාහිනි මාධ්‍ය ඔස්සේ පැවසීම නිසා ඊට එරෙහිව හම්බන්තොට මිරිජ්ජවිලදි හා අම්බලන්තොටද විරෝධතා දෙකක් සංවිධනය කර තිබු‍ණේ ප්‍රදේශයේ මහා සංඝරත්නය පෙරටු කරගනිමිනි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පිරිසක් අම්බලන්තොට නගරයෙන් විරෝධතාවයක් ආරම්භ කර පාගමනින් මිරිජ්ජවිල දෙසට පැමිණි අතර මහා සංඝරත්නය පෙරටු කරගත් තවත් පිරිසක් මිරිජ්ජවිල හංදියේ සිට පා ගමනින් කර්මාන්ත පුරයට මුල් ගල් තබන ස්ථානය දක්වා පාගමනින් පැමිණියේ සිය විරෝධතාවය දැක්වීමටය.

මේ අතරේ උත්සව සභාවට පැමිණ සිටි අග්‍රාමාත්‍යවරයා, චීන තානාපතිවරයා ඇතුළු ප්‍රභූපිරිස වෙනුවෙන් උත්සව සභාව අවට ආරක්ෂාවද තර කර තිබුණි. මිට අමතරව උත්සව සභාව දෙසට ගමන් ගත් සියලු දෙනා පූර්ණ පරීක්ෂාවකටද ලක් කෙරුණි. කෙසේ හෝ මිරිජ්ජවිල හන්දියේ සිට උත්සව සභාව පැවති දෙසට පැමිණි විරෝධතාකරුවන් හා උත්සව සභාවේ සිටි පිරිසක් අතර එකවරම දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුයේ ගල් මුල් ප්‍රහාරයක්ද සමඟිනි. දෙපිරිස අතර ඇති වු මෙම තත්ත්වය සමථයකට පත් කිරීමට පොලීසියටද මැදිහත් වීමට සිදු විය. ඒ අනුව කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර  විරෝධතාවයේ නිරත පිරිස් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කෙරුණි. ඒ අතරේ අම්බලන්තොට නගරයෙන් ආරම්භ කර පාගමනින් විරෝධය පාමින් පැමිණි පිරිසද අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළහ. 

විරෝධතාවය හේතුවෙන් ඇති වු ගල් මුල් ප්‍රහාරවලට ලක්ව ආරක්ෂක අංශ නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු 23 දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණි. මීට අමතරව තවත් සියයක පමණ ප්‍රමාණයක් සුළු සුළු තුවාල ලැබීම්වලටද ලක් විය. විරෝධතාවයට එල්ල කරන ලද ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර නිසා හම්බන්තොට මිරිජ්ජවිල, දෙහිගහලන්ද, ඩිපෝ හන්දිය ඇතුළු අවට ජනයාටද මුහුණදීමට සිදුවුයේ ඉතා අමිහිරි අත්දැකීමකටය. හම්බන්තොට හා අම්බලන්තොට එකම යුද පිටියක් බවට පත් විය. කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ නිවෙස්වල සිටි අයද හිස් ලූ ලූ අත දිව යන්නට වූයේ කුඩා දරුවන්ද රැගෙනය.

විරෝධතාකරුවන් පවසන්නේ තමන් කැටපෝලයක් තරම් දෙයක්වත් මේ විරෝධතාවයට රැගෙන නොආ බවත්, කොළඹින් පැමිණ සිටි මැරයන් හා හම්බන්තොට ප්‍රාදේශීය දේශපාලනඥයින් කීප දෙනෙකු තම සාමකාමී විරෝධතාවයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරිමත් සමඟින් මේ උණුසුම් තත්ත්වය ඇති වූ බවත්ය.

රටක දියුණුව සඳහා මහා මාර්ග පද්ධතිය සේම කර්මාන්තද බිහිවිය යුතුය. විවිධ කර්මාන්ත ඉදිකිරිම වෙනුවෙන් විදෙස් ආයෝජකයින්ද මෙරටට පැමිණිය යුතුය. හම්බන්තොට ඉදිවි ඇති වරාය, ගුවන් තොටුපොළ, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආදිය මේ වන විටත් ඇත්තේ හුදකලාවකය. එනිසාවෙන්ම එම ආයතන පාඩු ලබමින් තිබෙන බවද සැබෑ වූ කරුණකි. විශෘල ධනස්කන්ධයක් වැය කරමින් ඉදි කෙරුණු මේ ආයතන දියුණුව කරා ගෙන යාම  සියලුදෙනාගේ වගකීමකි. එනිසා ආයෝජන කලාපයක් හම්බන්තොට අවට ඉදිවීමේ කිසිදු වරදක් නොමැත. මේ සා විශාල සංවර්ධන ව්‍යාපෘතියක් හම්බන්තොටට පැමිණෙන විට ඊට එරෙහිව ජනයා පාරට බහින්නේ මන්ද යන්න පිළිබඳව රජයේ අවධානය යොමු නොවීය. මන්ද මේ ඉදි වීමට යන ආයෝජන කලාපය පිළිබඳව රජයේ පාර්ශවයෙන්ම විවිධ මත පළ වීමත් සමඟ ජනයා තුළ ඇති වුයේ දැඩි බියකි. මන්ද තමන් පරම්පරා ගණනක් සමඟින් ජිවත් වු ගෙබිම් අතහැර දමා යාමට සිදුවේය යන්න ජනයා තුළ ඇති වුයේ සාධාරණ බියකි. රජයේ පාර්ශවයෙන් එක් තීන්දුවකට පැමිණ සියලු දෙනා එක්ව එක ප්‍රකාශයක් මේ සංවර්ධන කලාපය පිළිබදව ප්‍රකාශ කළේ නම් මේ සා විශාල ජන විරෝධී රැල්ලක් පැන නොනගිනු ඇත.

රුහුණු ආර්ථික සංවර්ධන කලාපය සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

හම්බන්තොට ඉදිකෙරෙන මේ ආයෝජන කලාපය තුළින් ප්‍රධාන වශයෙන් වාසි ලැබෙන්නේ මේ පළාතේ පිරිසටමයි. නැතිව මේ සඳහා කොළඹින්වත්, චීනයෙන්වත් පිරිස එන්නේ නෑ. අද පෙලපාලි යන උද්ඝෝෂණ කරන පිරිසම මෙහි කර්මාන්ත ඇතිවෙන විට රැකියා ඉල්ලගෙන එනවා. අද මේ ආරම්භ කරන කර්මාන්තපුරය නිසා ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකගේ රැකියා ප්‍රශ්නයට ඍජුවම දායකත්වය ලැබෙනවා.

2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව මෛත්‍රිපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කර ගත්තේ මේ රටේ සාමාන්‍ය ජනතාවට හොඳ ජිවන තත්ත්වයක් ලබා දෙන්නටයි. රැකියා නොමැතිව සිටින තරුණ තරුණියන් සඳහා නව රැකියා අවස්ථා ඇති කරලීමටයි. හම්බන්තොටින් මේ ආරම්භ කරන්නේ ජනතාවගේ ඒ බලාපොරොත්තුවයි. මහින්ද රාජපක්ෂ හම්බන්තොට වරාය හැදුවා. නමුත් ආයෝජකයෝ ආවේ නෑ. වරාය හැදුවට ඒ අවට කර්මාන්ත කිසිවක් ඇති කළේ නෑ. එහි ප්‍රතිඵලයක් විදියට 2014 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 983ක අලාභයක් තිබුණා හම්බන්තොට වරායෙන්. මේවා හදලා තිබුණේ පිට රටින් ණය අරගෙන. අපිට ණය ගෙවා ගන්න බැරිව දැඩි අර්බුදයකයි හිටියේ. මවයි දරැවයි දෙන්නම මැරෙන්නයි හිටියේ. පසුව අපි සාකච්ජා කරලා ණය අවලංගු කරගන්න බැලුවා. හරි ගියේ නෑ. පසුව අපි චීනයට ගිහින් මේ පිළිබදව කතා කළා. චීන රජයට මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබදව පහදලා දුන්නා. මේ ප්‍රදේශයට හොඳ ආර්ථික තත්ත්වයක් ඇති කරලීමට නම් කර්මාන්ත ශාලා වැඩි ප්‍රමාණයක් මෙහි ආරම්භ විය යුතුයි. මේ පිළිබඳව අපි එකතුවෙලා ආර්ථික කමිටුවේදී සාකච්ඡා කළා. චීනය පැත්තෙන් පැවසුවේ ආයෝජන කලාපයක් ඇති කරලීමට නම් අක්කර 15000ක් අවශ්‍ය බවයි. ඒ අනුව අපි ඒ පිළිබඳව සොයාබලා තමයි චීන රජය සමඟ ගිවිසුම් ගත වෙන්න අපි තීරණය කළේ.

මේ රුහුණු ආර්ථික කලාපය සඳහා කාටවත් හානියන් නොවෙන අක්කර 1235ක් වෙන් කර තිබෙනවා. මීට අමතරව ඇඹිළිපිටියෙන් හා මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඉඩම් ලබාගැනීම් පිළිබදව සොයා බලනවා. මේ සඳහා ගන්නේ රජයට අයත් ඉඩම් ටිකයි. මේ ව්‍යාපෘතිය සඳහා කාගෙවත් පෞද්ගලික ඉඩම් බලෙන් ගන්න අපේ අදහසක් නෑ. පන්සල්, කෝවිල්, පල්ලි හෝ පුරා විද්‍යා ස්ථාන පවරා ගැනිමට අපේ කිසිදු අදහසක් නෑ යැයි පැවසීය.

මෙහිදි අදහස් දැක් වූ ශ්‍රි ලංකා චීන තානාපති යී පියෑන් ලෑන් මහතා මෙසේ පැවසීය.

චීනය හා ශ්‍රි ලංකාව මීට පෙර විවිධ දුෂ්කරතා අවස්ථාවලදි කිසිදු කොන්දේසියකින් තොරව සහයෝගයෙන් කටයුතු කර තිබෙන රටවල් දෙකක්. ශ්‍රී ලංකාව කියන්නේ චීනය සමඟ ඉන්න මිත්‍රශීලී රටක් .ලංකාව අද වන විට ඉතා වේගයෙන් දියුණු වෙමින් තියෙන රටක්. අද මේ අවස්ථාවට විතරක් චිනයේ ආයෝජකයන් 50ක් පමණ සහභාගිවෙලා ඉන්නවා. ඉදිරි කාලයේදි හම්බන්තොට ආරම්භවෙන මේ ආයෝජන කලාපය සඳහා පමණක් අමෙරිකානු ඩොලර් බිලියන පහක් ආයෝජනය කිරීමයි අපේ අපේක්ෂාව. ඒ තුළින් රැකියා ලක්ෂයක් විතර ඍජුවම බිහිවෙනවා. චිනය හා ලංකාව අතර පවතින මිතුදම මේ තුළින් තව තවත් වර්ධනය වන බව අපට විශ්වාසය යැයි පැවසීය.

හම්බන්තොට ඇති වු තත්ත්වය පිළිබදව අදහස් දැක්වු අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ අනු නායක ඓතිහාසික නැදිගම්විල විල්පිට රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පුජ්‍ය උයන්වත්තේ සද්ධාරාම අනුනාහිමි මෙසේ පැවසීය.

ශ්‍රී ලාංකික භික්ෂු පරපුර කියන්නේ හැමදාමත් මේ රට ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙරට ආ පිරිසයි. ඉතිහාසය දිහා බැලුවමත් ඒ පිළිබඳව හොඳට පැහැදිලි වෙනවා. අද පාලකයන්නට අපිට මතක් කර දෙන්න වෙලා තියෙනවා එදා මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම් පියතිස්ස මහ රජුන්ට පහදා දුන් වගේ ඔබ මේ රටේ අයිතිකරු නොව භාර කරු පමණක් බව. බොහෝ පාලකයන්ට වැරදුණේ මෙන්න මේකයි. බලයට පැමිණි පසු පාලකයන්ට අමතක වෙනවා තමන් මේ රටේ භාරකරු බව.

පසුගිය 07 වැනිදා මහාසංඝරත්නය ඇතුළු මේ ගම්වල අහිංසක ජනයා එක්ව හම්බන්තොටදි සිදු කළ සාමකාමී උද්ඝෝෂණයට කොළඹින් මැරයන් ගෙනල්ලා ගල් මුල් ප්‍රහාර එල්ල කරලා මහා විනාශයක් ඇති කළා. මේ ප්‍රදේශයේම ප්‍රාදේශීය දේශපාලනඥවරියක් ඇතුළු මැර පිරිස අපිට ගල් ප්‍රහාර එල්ල කළේ පොලීසිය ඉදිරිපිටදීමයි. හැබැයි පොලීසිය ඒ දෙස බලා සිටියා මිසක් කිසිදු පියවරක් ගත්තේ නෑ. මාධ්‍යවේදීන්ගේ කැමරා පොලිස් අත්අඩංගුවට ගත්තා. බලපෑම් කළා මෙහි ඇති වූ සිදුවීම රටට යන එක සම්පුර්ණයෙන්ම නැවැත්වීමට කටයුතු කළා. මේ විරෝධතාවයට අපි ආවේ ගල් කැටයක් තරම් දෙයක් වත් අරගෙන නෙමෙයි. එහෙම ආව අපිට තමයි මේ එලව එලවා පහර දුන්නේ. මේ වෙනකොට අපේ එක් ස්වාමින් වහන්සේ නමක් ඇතුළු 52ක් රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. අපි බලාගෙන ඉල්ලා සිටිනවා අපිට පහර දුන් පිරිසත් මේ විදියටම අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරාවී කියලා. ඒ වගේම මේ සිදුවීම සම්බන්ධයෙන් සමස්ත මහා සංඝ රත්නයෙන් සමාව ගත යුතුයි. එහෙම නොවන්නට රුහුණේ මේ හාමුදුරුවරු මැඩ පවත්වන්න කාටවත් බෑ කියලා අපි කියන්න ඕනේ යැයි උන්වහන්සේ පැවසූහ.

♦ සටහන හා සේයා රූ - 
   සූරියවැව දිලීප් නුවන් ජයසේකර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00