2017 ජනවාරි 14 වන සෙනසුරාදා

අයි.සී.යූ එක අයිතිකරගත් ඕ.අයි.සීලා

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 219

 

මේ මොහොතේ රටේ වෛද්‍ය වෘත්තිකයන්ට ඇති අසමාන ගැටලුව නම් සයිටම් වෛද්‍ය පීඨයයි. මීට සති කිහිපයකට පෙර තමන්ගේ දරුවන්ට ලංකාවේ ඉහළම පෙළේ ජනප්‍රිය පාසල් ලබාදෙන්නැයි කියමින් ඔවුහු රෝගීන් අසීරැවටපත් කළෝය. ඊටත් මාස දෙක තුනකට පෙර ඔවුන්ට තිබූ දැවැන්ත ගැටලුව නම් තමන්ට බදු රහිතව වාහන මිලදී ගැනීමට තිබූ විශේෂ වරප්‍රසාදය අහෝසි කිරීමයි. ඊට කලෙකට පෙර තමන්ගේ වැටුප 1:12 අනුපාතයට වැඩි කරන්නැයි කියමින් ඔවුහු වැඩ වර්ජනය කළෝය. වසර 18ක් අත්දැකීම් සම්පූර්ණ කළ පසු ලැබිය යුතු උසස්වීම් වසර 10කින් ලබාදෙන්නැයි කියමින්ද, ප්‍රවාහන දීමනාව රුපියල් 15,000 සිට රුපියල් 29,000 දක්වා වැඩි කරන්නැයි කියමින්ද, සන්නිවේදන දීමනාවක්යැයි කියා එකක් ලබාදෙන ලෙස කියමින්ද, එක්තරා වෛද්‍යවරයකුගේ නිවාඩු පරීක්ෂා කිරීමට ඔහුගේ පෞද්ගලික ලිපිගොනුව කවුදෝ ගෙනගියා කියමින්ද, සෞඛ්‍ය ඇමැති ඔවුන්ට බලපෑම් කරනවා කියමින්ද ආදී ලෙස නෙක හේතු සියගණනකට ඔවුන් රෝගීන් එල්ලුම් ගහේ තොණ්ඩුවේ දමා වැඩ වර්ජන කර තිබේ. මීට සිංහල භාෂාවේ භාවිතාවන කුහකකම යන්න දැනට අපි භාවිත නොකරන්නෙමු.

ඉංජිනේරුවෝ යන පොදු නාමය භාවිත වුවද ඉන්ජිනේරුවන් වර්ග රැසකි. විද්‍යුත් ඉංජිනේරුවන්, කාර්මික ඉංජිනේරුවන්, විදුලි ඉංජිනේරුවන්, ගගන ඉංජිනේරුවන් ආදී ලෙසිනි. යම්හෙයකින් මොවුන් අතරින් තණ්හාව හේතුවෙන් විද්‍යුත් ඉංජිනේරුවෙක් ගගන ඉංජිනේරුවකුගේ කාර්යය කරන්නට පටන් ගතහොත්?

ආප්ප බාස් කේක් සාදන්නට පටන් ගත්තාත්?

දැනට මේ උදාහරණය මනසේ තාවකාලිකව සිහියේ තබාගනිමින් ලිපියේ ඉදිරියට යා යුතුය.

2008 වසරේ මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටි පුද්ගල සම්පත් කිහිපපොළක් වූ මහාචාර්ය චූලා ගුණසේකර හා වෛද්‍ය අරුණ මුණසිංහ යන මහත්වරැන් මුණගැසුණාහ. මහාචාර්ය චූලා ගුණසේකර යනු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවෘත්තිකයකු වූ අතර වෛද්‍ය අරුණ මුණසිංහ අෙමරිකා එක්සත් ජනපදයේ දැඩි සත්කාර ඒකක විශේෂඥ වෛද්‍යවරයෙක් විය. මොවුන් දෙදෙනාගේ එකතුවෙන් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුවීමට නියමිත විය. එක වර්තමානයේ මෙන් වාහන අඩුමිලට ඉල්ලීමට හෝ දරුවා ජනප්‍රිය පාසලකට ඔබ්බවා ගැනීම හෝ ආකාරයේ වෙනසක් නොවේ. එය මෙරට සුවහසක් රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වෛද්‍යවරැන් එකමුතු කිරීමේ යෝජනාවක් විය.

බොහෝවිට පාඨක ඔබේ මුවගට සිනහවක් නැගෙනු ඇත, එහෙම ලෙඩ්ඩුන්ගේ පණ බේරන්න මහන්සිවෙන දොස්තරලත් ඉන්නවාදැයි, ඔබ විමසනු ඇත. කෙසේ හෝ මේ සූදානම මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ එතෙක් නොතිබූ සුවිශේෂි කොටසක් හඳුන්වා දීමටය. එනම්, හදිසි අවස්ථා විශේෂඥ වෛද්‍යවරු හෙවත් Critical Care Specialist යන්නයි. එනම්, ලෝකයේ දියුණු හා බුද්ධිමත් රටවල දැඩිසත්කාර ඒකකයන්හි මූලික සේවය ලබාදෙන්නේ මේ කියූ හදිසි අවස්ථා විශේෂඥ වෛද්‍යවරුන්ය. ඔවුන් ඒ සඳහා විශේෂයෙන් සූදානම් කරවන අතර අතිශයින් දැඩි පුහුණුවක් වසර 4කට වැඩි කාලයක් ලබාදීම සිදුවේ. සෑම වෛද්‍යවරයකු හටම මෙකී පුහුණුව නොලැබෙන අතර ඒ වෙනුවෙන් සිය ජීවිතයේ යහපත් කාලය කැපකරමින් ජීවිත රැකගැනීමේ ඕනෑකම ඇත්තන් මෙකී පුහුණුවට ඇතුළුෙවනු ඇත. දැඩිසත්කාර ඒකකයක ඇති දැඩි පීඩන තත්ත්වය යටතේ ඊට මුහුණදෙමින් බොහෝ විට අනෙකුත් සෑම වෛද්‍ය ක්ෂේත්‍රයක් පිළිබඳවම (නිර්වින්දන, රුධිර පාරවිලන, හදවත්, වකුගඩු, ශ්වසන ආදී) ප්‍රාමාණික දැනුමක් සහිතව ඔවුන් සූදානම් කෙරෙන්නේ දැඩි සත්කාර ඒකකයකට ඇතුළු කරවන අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත රැකගැනීමට එවැන්නන් අත්‍යවශ්‍ය බැවිනි.

ලෝකයේ හොඳම සෞඛ්‍යයක් ඇතැයි කියමින් පාරම්බානා ශ්‍රී ලංකාවේ මෙවැනි වෛද්‍යවරුන් පිරිසක් නැත. ඉහත කී වෛද්‍යධාරීන් දෙපළ මෙකී කාරණයේ වැදගත්කම වටහාගෙන හදිසි අවස්ථා විශේෂඥ වෛද්‍යවරු හෙවත් Critical Care Specialist මෙරටද ඇති කිරීමට අවශ්‍යය විෂය නිර්දේශ සකස් කළහ. අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන් බිහිකිරීමේ වගකීම දරන වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ එවකට ප්‍රධානියා වූ මහාචාර්ය රිස්වි ෂෙරීෆ් හට මෙය ඉදිරිපත් කෙරුණි. ඔහුද මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ සාර්ථක වර්ධනයක් පිළිබඳ සුභ සිහින දුටුවකු ලෙසින් එම නව පාඨමාලාවට තම අනුමැතිය ලබාදුනි. දැන් මෙකී කාරණයේ තීරණාත්මක තැනට පැමිණ තිබේ. එනම්, පාඨමාලාව සෙනේට් මණ්ඩලය විසින් නැවත පරීක්ෂා කර ඊට අනුමැතිය ලබාදීමයි. පශ්චාත් වෛද්‍ය ආයතනයේ ප්‍රබලතම හා තීරණාත්මක තීන්දු ලබාදෙන්නේ මෙකී මණ්ඩලයෙනි. ඔවුන්ද මෙම හදිසි අවස්ථා විශේෂඥ වෛද්‍යවරුන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් අත්‍යවශ්‍ය බව තීන්දු කළේ අදාළ පාඨමාලාව ආරම්භ කරන්නට අවසර ලබාදෙමිනි. අදාළ පාඨමාලාව සාර්ථක ලෙස සකස් කරන්නටද විවිධාංගීකරණ කමීටුවක් (Multi-disciplinary Study Board) පත් කෙරැණි. එම මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නිර්වින්දන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චූලා ගුණසේකර පත්කෙරැණු අතර මෙම අවස්ථාව පිළිබඳ මුල්ම යෝජනාව රුගෙන ආ විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ ලේකම්වරයා ලෙස පත් කෙරුණි. මුලින් කී පරිදි ඔහු අෙමරිකා එක්සත් ජනපදයේ මෙකී දැඩිසත්කාර ඒකක විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ප්‍රාමාණික අත්දැකීම් ඇත්තෙකි. මෙම හදිසි අවස්ථා විශේෂඥ වෛද්‍යවරුන් ඕනෑවට එපාවට බිහිකරන්නට ඇති නොකැමැත්ත හේතුවෙන්ම අදාළ පාඨමාලාව තරමක් අපහසු එකක් ලෙස සකස් කෙරුණි.

අපි මුලින්ම සකස් කළා හදිසි අවස්ථා සාත්තු පිළිබඳ ඩිප්ලෝමාව. ඒ ඩිප්ලෝමාව අවුරුද්දක කාලයක් තියෙනවා. ඒ ඩිප්ලෝමාවට වුණත් සුදුසුකම් ලබන්නේ තරග විභාගයකින්. ඒෙකන් තේරෙන අපේක්ෂකයින්ට සිද්ධවෙනවා දැඩි සත්කාර ඒකකයක වසරක් පුරා සේවය කරමින් ඉගෙන ගන්නට. සායන කාලය සම්පූර්ණ කළාට පස්සේ තමයි අපි ඔවුන්ට ඩිප්ලෝමාවේ විභාගයට වාඩි වෙන්න ඉඩදෙන්නේ... විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ මහතා පවසා තිබුණි. අදාළ ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කරන අපේක්ෂකයන් හට ඉන් අනතුරුව හදිසි අවස්ථා වෛද්‍ය වෘත්තියට අදාළ විශේෂඥ වෛද්‍යවරයකු වීමේ මාර්ගයට ප්‍රවේශ විය හැක. එහිදී ඔවුන් හදිසි අවස්ථා වෛද්‍ය පශ්චාත් උපාධියට සූදානම් විය යුතුය. (Degree in MD - Emergency Medicine) මෙකී පශ්චාත් උපාධියත් පහසු නැත. එම පශ්චාත් උපාධියේ විභාගයට වාඩිවෙන්නට නම් අපේක්ෂකයන් පුරා වසර 5ක් පුහුණුව ලැබිය යුතුය. ඉන් වසර තුනක්ම දැඩි සත්කාර ඒකකයක සේවය කරමින් සායනික පුහුණුව ලැබීම අනිවාර්ය වේ. මෙම පශ්චාත් උපාධිය හා විශේෂඥභාවය කොතරම් සංකීර්ණ පුහුණුවකට පසුව ලබාදෙන්නේද යන්න දැන් වැටහිය යුතුය.

ඒ අනුව පළමු තරග විභාගයට අපේක්ෂකයින් 160ක් මුහුණදුන් අතර ඉන් සමත් වූයේ 20ක් පමණි. ඔවුන් ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කරන අතරේ මෙරට එක්තරා පිරිසකට මෙම පාඨමාලාව දැඩි හිසරදයක් බවට පත්ව තිබුණි. ඒ හෙදියන් නොවේ.  සාත්තු සේවකයින් නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සහකාර ලේකම් නොවේ. ඒ අන්කිසිවෙකු නොව වෛද්‍යවරැන් පිරිසකටම ය. මෙම පාඨමාලාව අවසන් වුවහොත් අතිශය සාර්ථක පුහුණුවකින් පසු එම හදිසි අවස්ථා විශේෂඥ වෛද්‍යවරුන් යොමු කෙරෙන්නේ මෙරට තිබෙන දැඩිසත්කාර ඒකකයන් වෙතටය. මේ තවමත් 2008 වසරයි. 2008 වසරේ මේ කියනා කාලය තෙක් දැඩි සත්කාර ඒකකයන්හි අධිපත්‍ය දැරුවේ කවුරුද... ඒ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් (Anesthesiologists) විසිනි. ඔවුන් එසේ දැඩි සත්කාර ඒකකයන්හි අධිපතිත්වය දැරිය යුතුයැයි කිසිදු රාජකාරිමය තීරණයක් මෙතෙක් කිසිවකු ලබාදී තිබුණේ නැත. හුදෙක් කණයා නැතිවලට එකී කණයා පණ්ඩිතයන් වී තිබුණි. දැන් ලූලා පැමිණිය හොත් කණයින්ට යන එනමං නැතිවේ. 

එහෙයින්, හදිසියේම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකතුව  (College of Anesthesiology) විසින් සිය පළමු යුද ප්‍රකාශ කිරීම මෙකී කාලයේ සිදුවිය. ඔවුන් විසින් මෙකී පාඨමාලාවට තමන්ගේ දැනුම ලබාදිය නොහැකිබව මුලින් පැවසූ අතර අනතුරුව හදිසි අවස්ථා විශේෂඥ වෛද්‍ය පශ්චාත් උපාධියට තමන්ගේ විරෝධය කෙළින්ම එල්ල කළෝය. ඔබ බලාපොරොත්තු වූ පරිදිම මේ මොහොතේ ඩිප්ලෝමාවේ අධ්‍යාපන කටයුතු කරගෙන ගිය 20ක් වූ අපේක්ෂකයන් යන්තම් ඩිප්ලෝමාවට පෙනී සිටි අතර එතැනින් එහාට ඔවුන්ගේ ඉගෙනීම මේ කියූ නිර්වින්දන වෛද්‍යවරුන් විසින් නවතා දැමුණි. කණයාටද ලූලෙක් වීමේ ඉඩ ලබාදුනහොත් මෙම අවසනාවන්ත තත්ත්වය අවසන් වනු ඇතැයි සිදූ පශ්චාත් උපාධි ආයතනය මීළඟට තවත් උත්සාහයක් දැරීය. ඒ අනුව ඉහත කියූ හදිසි අවස්ථා විශේෂඥ වෛද්‍ය පශ්චාත් උපාධිය දක්වා ඩිප්ලෝමාව හරහා තිබූ මාර්ගයට අමතරව මෙකී නිර්වින්දන වෛද්‍යවරුන්ටද කෙළින්ම ගේට්ටුවක් තනා දුන්නේ ඒ පිදේනිය හෝ සාර්ථකවේද බලන්නටය. ඒ අනුව තරග විභාගකින් සමත්ව දැඩි සත්කාර ඒකකයක පුරා වසරක් අත්දැකීම් නොඅඩුව ලබා අවසානයේ ඩිප්ලෝමා විභාගයද ලියා අනෙක් වෛද්‍යවරු ලබාගන්නා සුදුසුකම මෙකී පිරිසට ඒ කිසිවක් නොමැතිවම ලබාදුනි. එහෙත් කාරණා සාර්ථක ලෙස විසඳුණේ නැත.

නිර්වින්දන වෛද්‍යවරුන් තරයේ මෙකී පාඨමාලාව නවතාලන්නට කටයුතු කළ අතර ඊට හේතුවද අපූරු එකකි.

රජයේ රෝහල්වල දැඩිසත්කාර ඒකකවල ලොක්කෝවෙලා ඉන්නෙ මේ නිර්වින්දන වෛද්‍යවරු. ඒ නිසා ලංකාවේ තියෙන පෞද්ගලික රෝහල්වලත් දැඩිසත්කාර ඒකකවල ප්‍රධානීන් වෙන්නේ ඔවුන්. ඒ වෙනුවෙන් ඔවුන් පැය ගාණට ලක්ෂ ගණනක් මුදල් උපයනවා. දැන් මේ නව පශ්චාත් උපාධි පාඨමාලාව ඇවිල්ලා මේ හරහා හදිසි අවස්ථා විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන් බිහිවුණාට පස්සේ අර කට්ටියට හම්බකරන්න තියෙන ක්‍රමය නැති ඒවි කියලා එයාලා බයයි. ඇත්තටම මේ හම්බ කිරිල්ල කරන්නේ කොළඹ ඉන්න ලොක්කෝ කිහිප දෙනෙක්. එයාලා තමයි මේ නිර්විදන වෛද්‍යවරුන්ගේ සංගමයේත් බලකණු. එයාලාගේ කෝටි ගණනක ඉල්ලමට හානිවෙන නිසා එයාලා ලංකාව පුරාම දැඩි සත්කාර ඒකකවල ඉන්න රෝගීන්ගේ ජීවිත අවදානමට දාලා තියෙන්නේ. අනිත් ඉන්න නිර්වින්දන වෛද්‍යවරැන්ටත් කරන්න දෙයක් නෑ. ඇත්තටම මේ පාඨමාලාව පටන් ගත්තෙත් නිර්වින්දන මහාචාර්යවරයෙක්. දැන් මේක නතර කරගෙන ඉන්නේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියක්...

නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් ඉහත පාඨමාලාව පාලනය කරනා මණ්ඩලයට වාඩි වූ පාර්ශවය ආරම්භයේදීම මෙකී කාරණයට එරෙහි විය. එසේම මෙකී පාඨමාලාව නිර්වින්දන වෛද්‍යවරුන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමටද ඉල්ලුම් කෙරුණි. 2009 වසරේ දිනෙක නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය වර්ණකුලසූරිය පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂකවරයාට ලිපියකින් දැනුම් දෙන්නේ ඉහත කියූ පරිදි පාඨමාලාව වෙනස්නොකරන්නේ නම් නිර්වින්දන වෛද්‍යවරුන් මෙකී පාඨමාලාවෙන් ඉවත්වන බවත් එම පාඨමාලාවේ කිසිදු අධ්‍යාපන කටයුත්තකට තම සංගමයේ සහභාගිත්වයක් සිදුනොවන බවය. ඔවුන් විසින් ඉල්ලා සිටි වෙනසද අපූරු එකකි. ඔවුන් පවසා සිටින්නේ මෙම පශ්චාත් උපාධි පාඨමාලාව ලිපියේ මුල සඳහන් කළ විශේෂ මණ්ඩලයක් විසින් (විවිධාංගීකරණ කමීටුව - Multidisciplinary Study Board) පාලනය කිරීම නවතා නිර්වින්දන වෛද්‍යවරුන්ගේ මණ්ඩලයකට පාලනය කිරීමට ඉඩදෙන ලෙසය. මෙකී කාරණයේදී නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්ද ඔවුන්ගේ සහායට පැමිණි අතර එය දී කිරට බළලුන් සාක්කි ආකාරයේ කාරණයකි. එය තවත් තහවුරු කරමින් ශල්‍ය වෛද්‍යවරුද සහායට පැමිණයහ.

දැන් කාරණා බොහෝමයක් මෙකී නව පාඨමාලාව ලත් තැනම ලොප් කිරීමට සැකසී තිබේ. එහෙත් ඉහත කී පරිදි විවිධාංගීකරණ මණ්ඩලය වෙනස් කිරීමට සනාතන සභාවේ අවසරය ලැබුණේ නැත. ඒ වෙනුවට මේ කියූ මණ්ඩලයට සිය ඇල්ම බැල්ම දමන්නට ඔවුහු කටයුතු කළහ. ආරම්භයේදී මෙකී විවිධාංගීකරණ කමිටුව සාමාජිකයින් 10 දෙනකුගෙන් සමන්විත විය යුතු විය. ඉන් 7 දෙනකු අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන්ගෙන්ද 3 දෙනකු නිර්වින්දන වෛද්‍යවරුන්ද විය යුතු විය. එහෙත් සිය බළල් අත් මඟින් දැඩිව ග්‍රහණය කළ මෙකී විවිධාංගීකරණ කමිටුව අවසානයේ නිර්වින්දන වෛද්‍යවරුන් 7ක් හා අනෙකුත් වෛද්‍ය වෘත්තිකයින් තිදෙනෙකුගෙන් සමන්විත විය. දැන් අදාළ මණ්ඩලය වෙනස් කරන්න ඕනෑකමක් නැත. වැඩි පිරිසක් එතුමන්ගේ බැවින් විෂය පාඨමාලාව සම්පූර්ණයෙන් වෙනස් කරන්නට හැකියාව තිබේ. 

මේ කාලයේම සියල්ලම යක්ෂයාගේ ක්‍රමයට සිදුවෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තැන වෙනස් විය. ඒ අනුව පත් වූ නව ලේකම්වරයා නිර්වින්දයින්ගේ පාඨමාලාව නිර්වින්දනය කිරිමේ සටනේ ලොකුතැනගේ සමීපතමයෙක් විය. ඒ අනුව අදාළ ලේකම්වරයා තමන්ගේ ඇතැයි කියවූ පෞද්ගලික සම්බන්ධතා හේතුවෙන් දෝ අපූරු වෙනසක් සමස්ත පාඨමාලාවටම සිදු කළේය. නම්, මෙකී පශ්චාත් උපාධි පාඨමාලාවට ප්‍රවේශ වීමට ආරම්භයේදීම තිබූ තරග විභාගය හා ඩිප්ලෝමා පාඨමාලාව අහෝසි කර ඒ වෙනුවට පසුව පිදේනි ලෙස පිහිටවූ අතිරේක මාර්ගය පමණක් සක්‍රීය කිරීමයි. එනම්, නිර්වින්දන වෛද්‍යවරුන්ට කෙළින්ම පශ්චාත් උපාධියට පිවිසීමට සැකසූ මාර්ගය පමණක් දැන් සක්‍රීයව තිබේ. සැබෑවටම මෙවන් තීරණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගැනීමට නොහැක. එකී තීරණය ගත යුත්තේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවයි. එසේම මෙකී කාලයේම මුලින් කී ඩිප්ලෝමාධාරින්හටද පශ්චාත් උපාධි විභාගයට වාඩිවීමට තහනම් කෙරැණි. ඊට එරෙහිව යමින් ඔවුන් විසින් අභියාචනාධිකරණයේ නඩු පවරන්නේ (CA 672/ 2011) තමන්ගේ අධ්‍යාපනයේ අයිතිය ඉල්ලා සිටිමිනි. එම නඩුවේ තීන්දුව අනුව කියැවෙන්නේ අදාළ ඩිප්ලෝමාධාරින්වද 
අනිවාර් ෙයන් පශ්චාත් උපාධියේදි සලකා බැලියයුතු බවය.

එහෙත් කාරණාව තවත් සංකීර්ණ වෙනවා මිස එය විසඳෙන්නේ නැත. මේ සිදුවීම සිදුවන්නේ තවමත් 2010 වසරේය. දැන්වන විට 2016ටද පැමිණ තිබේ. එහෙත් අදටත් මේ කාරණය විසඳී නැත. ඊට තවත් හේතු විශාල ප්‍රමාණයකි. 

ඒ ගැන ඉදිරියටද ලියන්නට අපි බලාපොරොත්තු වෙමු.

♦ ප්‍රසාද් අෙබ්වික්‍රම

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00