2018 මාර්තු 10 වන සෙනසුරාදා

ගිනිගත් මහනුවර ඇත්ත කතාව

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 766

ඉතා සුළු සිදුවීමක් වර්ධනය වී එය මහා ගිනිජාලාවක් බවට පත් වී රටම අවුල් වූ තත්ත්වයට පත්වූයේ දිගන නගරයේ නූගත් තරුණයන් කීපදෙනකු බීමත්ව හැසිරී අහිංසක විවාහක දෙදරු පියකුට පහර දීමෙන් අනතුරුව ඔහු මහනුවර රෝහලේ දී මරණයට පත්වීමත් සමඟය.මහමඟදී ඇතිවූ සුළු සිද්ධියක් මූලික කරගනිමින් වයස අවුරුදු 20 ක් 24 ක් පමණ වූ තරුණයන් කීපදෙනකු ආරම්භ කළ සිද්ධියෙන් පසුව ඔවුන් පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය පොලීසිය පියවර ගෙන තිබිණි.

පසුගිය පෙබරවාරි මස 22 වැනි දින රාත්‍රී 1.00ට පමණ තෙල්දෙණිය නගරයේ ඉන්ධන හල් පරිශ්‍රයකට කඩාවැදුණු ත්‍රීරෝද රියකින් පැමිණි නොහික්මුණු ගැටවරයන් පිරිස බීමත්ව සිටි බව එම ඉන්ධන හලේ සේවකයෝ පවසති.

මෙම පිරිස එක්වරම ඉන්ධනහල් පරිශ්‍රයට කඩාවැදී එහි පැමිණි ලොරියක සිටි දෙදනකුට පහර දීම ආරම්භ කර තිබේ.

බීමත්කමත් තරුණ මදයත් ආරෑඪ කරගත් චණ්ඩිකමක් නිසා ඔවුන්ට බියක් නොදැනී තිබිණි. බෝතල්වලින් ද අවසානයේ ඉන්ධන හල් පරිශ්‍රයේ තිබූ පුටුවකින් ද පහරදීම සිදුව ඇතැයි කියති. කෙසේ හෝ මෙම පහරදීමෙන් දෙදෙනකුට තුවාල වූ අතර එක් අයකුට බෝතල් ප්‍රහාරයකින් හිස සහ ගෙළ ප්‍රදේශයට බරපතළ ලෙස හානි වී තිබූ බව රෝහල් ආරංචි මාර්ගවලින් හෙළි විය.

ඉතා සුළු මොහොතක් ඇතුළත පහරදීම සිදුකළ මැර පිරිස පලාගියේ ඔවුන් පැමිණි ත්‍රිරෝද රියෙන්මය. මෙම ප්‍රහාරය පිළිබඳව තෙල්දෙණිය පොලීසියට ද දැනුම් දුන් ඉන්ධන හලේ සේවකයෝ සිද්ධිය පිළිබඳව මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුට ද දුරකතන මාර්ගයෙන් දැනුම් දුන්හ.

පහරදීමෙන් තුවාල ලද දෙදෙනාගෙන් එක් අයෙක් ලොරි රියැදුරකු වූ අතර අනෙකා ලොරියේ සහායට සිටි අයෙකි. දෙදෙනාම තෙල්දෙණිය රෝහලට ඇතුළත් කළ අතර එයින් එක් අයකුගේ තත්ත්වය බරපතළ වී ඔහුගේ තුවාලවල තත්ත්වය ද ඉතා බරපතළ වීම නිසා ඔහු මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.

මෙම සිද්ධිය එලෙස පවතිද්දී පොලීසියේ පරීක්ෂණ ඉතාමත් මන්දගාමීව සිදුවූ බව මෙම අනපේක්ෂිත පහරදීමට ලක්ව පසුගිය මාර්තු මස 02 වැනි දින මියගිය තෙල්දෙණිය මැදමහනුවර අම්බාලේ හි පදිංචි එම්.ජී. කුමාරසිංහ (අවු: 41) මහතාගේ පවුලේ ඥාතීහු පැවසූහ. කෙසේ වුවද ඔහු මියගිය දිනම රාත්‍රී මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය පොලීසියේ නිලධාරීන් විසින් කටයුතු කර තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා තෙල්දෙණියේ ප්‍රශ්නය මෙන්ම මහනුවර හටගත් ආරවුල ද අඩු හානියකින් කෙළවර කරගන්නට සමත් විය.

මහමඟදී ඇතිවූ රථවාහන ධාවනයේ දී හටගත් මතභේදයක් දුරදිග යාම මේ මහා ගැටුමට මූලික වුවත්, එය අවසානයේ ජාතිවාදී ස්වරූපයකට පත්ව රට තුළ පමණක් නොව ලොව පුරා ව්‍යාප්ත වූයේ විද්‍යුත් සන්නිවේදන ජාලය හරහාය.

සිද්ධියට සම්බන්ධ සිව්දෙනා අවුරුදු 20 ක් තරම් වූ වයස් ප්‍රමාණයන්හි පසුවූවන්ය. ඔවුන් තෙල්දෙණිය දිගන නගරය අවට පදිංචි සාමාන්‍ය පවුල්වල සාමාජිකයන් බව කියති. අප සොයාබැලූ තොරතුරුවලදී එක් අයකු ජංගම දුරකතන වෙළෙඳසලක සේවකයකු ලෙසද, තවත් අයකු ත්‍රිරෝද රථ රියදුරකු ලෙසද, තවත් අයකු සාමාන්‍ය කම්කරු රැකියාවන්හි නියුතු අයකු බවද හෙළි විය.

මෙම අනපේක්ෂිත ගැටුමෙන් කුමාරසිංහ යන අය මරණයට පත්වීමත් සමඟ ඔහුගේ ගම්පියස අවට තරුණ කැල මෙන්ම ජනතාව ද යම්කිසි නොසන්සුන්කාරී තත්ත්වයට පත්වූහ. මෙම පිරිස් අතර අතිධාවනකාරී ක්‍රියාවන්ට පෙළඹෙන පිරිස් ද සිටීම අරුමයක් නොවේ.

සාමකාමී පිරිස් ද ඔවුන් අතර සිටියහ. කුමාරසිංහගේ දේහයේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා මෘතශරීරය තෙල්දෙණිය නගරයේ පෞද්ගලික මල් ශාලාවක් වෙත 03 වැනි දින සෙනසුරාදා රාත්‍රියේ රැගෙන ආ අවස්ථාවේ විශාල පිරිසක් එම ස්ථානයට එක්රොක් වූහ. පොලීසියට යම් යම් තොරතුරු විවිධ අයුරින් ලැබී තිබූ බව අප වෙතද පණිවුඩ ලැබිණි.

පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ඔස්සේ ද තෙල්දෙණිය පොලීසියේ උසස් නිලධාරීන් වෙතද කිසියම් සිද්ධීන් දාමයක් විය හැකි බවට තොරතුරු ලැබී තිබූ බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ මාධ්‍ය වෙතද ලැබී තිබිණි.

තෙල්දෙණිය නගරයේ අවමංගල්‍ය සේවා සපයන ආයතනයෙන් මියගිය කුමාරසිංහ මහතාගේ මෘතදේහය නිසි පරිදි සකස් කොට ඔහුගේ නිවස පිහිටි මැදමහනුවර අම්බාල ප්‍රදේශයට එම මෘතදේහය යැවීමට ද අවශ්‍ය කටයුතු සිදුවිය.

තම සගයා මැරවරයන්ගේ ප්‍රහාරයකින් ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමත් ඔහුගේ කුඩා දරු දෙදෙනාත් තරැණ බිරිඳත් මොලොව තනිවීමත් දරාගත නොහැකි වූ කුමාරසිංහ මහතාගේ සමීප සගයන් මෙන්ම අසල්වාසීන් හා ඥාතීහු ද දැඩි සේ කම්පාවට  පත්ව සිටියහ. ඇතැම්හු සිය විරෝධය විවිධ අන්දමින් පළ කළ යුතු යැයි කතිකා කරගත්හ. මෘතදේහයේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ දී දේහය රැගෙන තෙල්දෙණිය නගරයට විත් තෙල්දෙණිය පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කිරීමට ද ඇතැමුන් යෝජනා කර තිබිණි. තත්ත්වය මෙසේ තිබියදී පොලීසියේ නිලධාරීන් විසින් මළගෙදරට යමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමක් ද සිදුවිය. එය සිදුවූයේ මැදමහනුවර ප්‍රදේශයේ වෙළෙඳසල් දෙකකට කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කොට ගිනි තැබීමක් සිදුකිරීමත් සමඟය. පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පිරිස 24 ක් විය. ඔවුන්ට එල්ල වූ චෝදනාව වූයේ ප්‍රචණ්ඩකාරීව හැසිරීම, කලබල කිරීම සහ එම වෙළෙඳසල්වලට ගිනි තැබුවා යැයි චෝදනාවන්ය.

මෙම සිදුවීම බොහෝදුරට මැදමහනුවර අම්බාලේ සහ තෙල්දෙණිය ප්‍රදේශයේ ජනතාව කම්පනයට පත් කළ අතර ඔවුන් ඒකරාශී වී සාමකාමී විරෝධයක් දියත් කර තෙල්දෙණිය නගරය වෙත පැමිණ තෙල්දෙණිය පොලීසියේ බලධාරීන්ට කරුණු දැනුම් දී අත්අඩංගුවට ගත් පිරිස මුදාහරින්නැයි ඉල්ලීම් ද කළහ.

මෙම අවස්ථාව වන විට විවිධ ප්‍රදේශවලින් විවිධ පුද්ගලයන්, භික්ෂූන් වහන්සේලා විවිධ සංවිධානවල නියෝජිතයන් තෙල්දෙණිය නගරයට එක්රොක් වන බවට තොරතුරු ලැබිණි. වාහනවලින්, යතුරුපැදිවලින්, ත්‍රිරෝද රථවලින් ඔවුන් පැමිණෙන බවට තොරතුරු ලැබිණි. මෙම තොරතුරු පොලීසියට ද ලැබී තිබිණි. සඳුදා දහවල් වන විට තෙල්දෙණිය නගරයට විශාල පිරිස් එකතු වූයේ කිසිවකු හෝ නොසිතූ ලෙසය. නගරය පුරා ක්ෂණිකව සුදුකොඩි ප්‍රදර්ශනය විය. ඒවා ඉතා සංවිධානාත්මකව සිදුවූ බව පොලීසිය පවසයි. රථවාහනවලද සුදුකොඩි එසවිණි. රාජ්‍ය ආයතනවලද (ලංගම ඩිපෝව - තෙල්දෙණිය) සුදුකොඩි එසවිණි.

නිවාසවලද, වෙළෙඳසල්වලද සුදුකොඩි එසවිණි. කුමන සංවිධානයක්, කුමන බලවේගයක් මත එම සුදුකොඩි එසවුණාදැයි කිසිවෙක් නොදනිති. දහවල් වන විට තෙල්දෙණිය නගරය තුළ සියලු වෙළෙඳ ආයතන වසා දැමුණි.

රාජ්‍ය ආයතන හැරෙන්නට සියලුම වෙළෙඳ ආයතන, ඖෂධ අලෙවිසල්, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වසාදැමීම සිදුවී තෙල්දෙණිය නගරය තුළ හර්තාලයක් ඇතිවූවාක් මෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත විය. නාඳුනන පිරිස් තෙල්දෙණිය නගරය තුළ රැඳී සිටියහ. පොලීසිය ද පිට ප්‍රදේශවලින් පොලිස් කණ්ඩායම් කැඳවා තිබූ අතර පොලිස් කැරලි මර්දන භට පිරිස් ද, කඳුළු ගෑස් ප්‍රහාරක කණ්ඩායම් ද, කලබලකාරී පිරිස් පලවාහරින අධිවේගී පොලිස් ජල ප්‍රහාරක රථ ද තෙල්දෙණිය නගරය වෙත ගෙන්වා තිබිණි. පොලිස් විශේෂ කාර්ය බලකා භට පිරිස් ද තෙල්දෙණිය නගරයට කැඳවා තිබිණි. 

හදිසියේ වුවද තෙල්දෙණිය නගරයට එක්රොක් වූ මහජනතාව අතර භික්ෂූන් වහන්සේලා ද සිටියහ. අතිවිශාල ජනතා පිරිස් පාලනය කිරීමට ප්‍රමාණවත් පොලිස් පිරිසක් නොසිටි හෙයින් පොලීසිය නගරයට එක්රොක් වූ ජනතාවට කළහකාරී ලෙස නොහැසිරෙන ලෙස දැනුම් දී නගරයෙන් ඉවත් වන ලෙස ඉල්ලීම් කළහ. එහෙත් හදිසියේ සංවිධානාත්මක වූ පිරිස් මාර්ගය අවහිර කරමින් ලී කඳන්, ලීකොට, ගල්, පැරණි ටයර් දමා ටයර්වලටද ගිනිතබා නොසන්සුන්කාරී ලෙස හැසිරීම ආරම්භ කළහ. පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර ද, ජල ප්‍රහාර ද එල්ල කළත් කුපිත ජනතාව ගල්වලින් පොලිස් නිලධාරීන් දෙසට ද ප්‍රහාර එල්ල කළහ. පොලිස් නිලධාරීන්ට නොසන්සුන්කාරී වාතාවරණය පාලනය කිරීම ඉතා අසීරු වුවත් ඔවුහු උපරිම උත්සාහය දැරූහ. අවසානයේ බැටන් ප්‍රහාර එල්ල කිරීමට ද පොලිස් භට කණ්ඩායම්වලට සිදුවිය. කලබලකාරී ලෙස හැසිරුණු පිරිස් අතර සිටි භික්ෂූන් වහන්සේලාට ද බැටන් ප්‍රහාර එල්ල විය.

එකම යුද පිටියක් බවට පත්වූ තෙල්දෙණිය නගරය තුළ ගිනි ඇවිලෙද්දී තවත් පිරිස් දිගන නගරය තුළට ක්ෂණිකව ඇතුළු වූ අතර වෙළෙඳසල් රැසකට ප්‍රහාර එල්ල කිරීම ද සිදුවිය. නාඳුනන මුහුණු ආවරණය කරගත් පිරිස් විසින් ප්‍රහාර එල්ල කරන ලද බව එම ප්‍රහාරයන්ට ලක්වූ දිගන මුස්ලිම් වැසියන් කීපදෙනෙක්ම අප හා පැවසූහ.

“අපට ගැහැව්වේ අපේ ගෙවල්වලට ගැහැව්වේ අපිත් සමඟ හිටි අපේ සහෝදර සිංහල ජනතාව නෙවෙයි. වෙනත් ප්‍රදේශවලින් ආපු නාඳුනන අයයි. අපිට ප්‍රහාර එල්ල කරන තෙක් මේ ආණ්ඩුව නිහඬව සිටියා. දැඩි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පොලීසියේ එස්.ටී.එෆ්. එකේ සමහරු අහක බලාගෙන හිටියා.” යැයි දිගන නගරයට එක්රොක් වූ මුස්ලිම් වැසියන් කීපදෙනෙක්ම අප හා පැවසූහ.

ප්‍රහාරයන්ට ලක් වූ දිගන මුස්ලිම් ප්‍රජාව දිවා රාත්‍රී අවට සිංහල ජනතාව සමඟ සහජීවනයෙන් යුතුව ජීවත් වූ පිරිසකි. සිංහල, දමිළ ජනතාව මුස්ලිම් ජනතාවගේ වෙළෙඳසල්වලට ගොස් විවිධ බඩු බාහිරාදිය මිලදී ගත් අතර මුස්ලිම් ජනතාව ද සිංහල ව්‍යාපාරිකයන්ට අයත් වෙළෙඳසල් වෙත ගොස් තම තමන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, එළවළු, ඖෂධ වර්ග මිලදී ගත්හ. එවන් සහජීවන සහෝදරත්වයකින් ජීවත් වූ මිනිසුන් දෙපාර්ශ්වයේම සිත් දවාලූ ජාතිවාදී වියරැව විනාඩි ගණනක දී ගේ දොර, වෙළෙඳසල් ගින්නෙන් දවාලීමට සමත් විය.

සංවිධානාත්මක කල්ලි විනාඩි කීපයක් තුළ සිදුකළ හානිය වළක්වන්නට පොලීසියට ද නොහැකි විය. පොලීසිය හැකි සෑම උත්සාහයක්ම දැරීය. ජල බවුසර් ගෙන්වා ගිනිගත් ස්ථාන නිවාදැමීමට මහත් වෙහෙසක් දරනු ලැබීය.

එහෙත් තවත් ස්ථානවලට මැර කල්ලි ප්‍රහාර එල්ල කිරීම් කිහිපයක් ද සිදුවිය. පොලීසියට තත්ත්වය පාලනය කිරීම අසීරු වීමත් සමඟ යුද හමුදාව ආරක්ෂාව සඳහා යෙදවීමට රජය මගින් පියවර ගනු ලැබීය. යුද හමුදාවට අමතරව නාවික හමුදා භට කණ්ඩායම් ද දිගන, බලගොල්ල, තෙල්දෙණිය අවට ප්‍රදේශවලට ආයුධ සන්නද්ධව යෙදවීමට මධ්‍යම පළාත් ආරක්ෂක අංශ ප්‍රධානීහු පියවර ගත්හ.

මධ්‍යම දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ, මධ්‍යම පළාත් යුද හමුදා ආඥාපති 11 වැනි සේනාංක මූලස්ථානාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක යන මහත්වරු, මහනුවර නාවික හා ගුවන් හමුදා කඳවුරුවල අණදෙන නිලධාරීන්ගේ ද සහාය ලබාගෙන මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ආරක්ෂක කටයුතු විධිමත්ව සම්බන්ධීකරණය කිරීමට ද පියවර ගත්හ.

හදිසි ප්‍රහාරයන්ගෙන් සිදුවූ දේපළ හානි මේ වනතෙක් ගණනය කර නැතත්, එම හදිසි ගැටුමෙන් මියගිය සංඛ්‍යාව දෙකක් වූයේ සඳුදා (05) දහවල් කෙන්ගල්ල කුඩා නගරයේ දී වෙළෙඳසලකට ගිනිතබා අලාභ හානි සිදුකළ අවස්ථාවේ එහි කාමරයක හිරවී සිට මියගිය අබ්දුල් බාෂිත් (අවු: 27) නැමති තරුණයාගේ මරණයත් සමඟය.

අබ්දුල් බාෂිත් සහ එම්.ජී. කුමාරසිංහ යන දෙදෙනාම මරණයට පත්වූයේ මිනිස්කම නොදන්නා හිත්පිත් නැති මැරකල්ලිවල අමානුෂික වූ ක්‍රියාදාමයන් නිසාය.

ඇතැම් ස්ථානවල නිවාසවලට ප්‍රහාර එල්ල වද්දී මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීමට අවට පදිංචි සහෝදර අසල්වැසි සිංහල ජනතාව ද ඉදිරිපත් වූහ. එය මනුෂ්‍යත්වයේ උදාර වූ ක්‍රියාවක් බව අප කළ තොරතුරු ගවේෂණයේ දී හෙළි විය.
එක් ස්ථානයක දී ප්‍රචණ්ඩකාරීව හැසිරුණු කීපදෙනකුට අවවාද කළ තරුණියකට ප්‍රචණ්ඩකාරීන් පහර දුන්නේ ඇය මුස්ලිම් තරුණියක් දැයි විමසීම් කර වුවද ඇය මුස්ලිම් තරුණියක් නොව, දිගන නගරය ආසන්නයේ පදිංචි සිංහල තරුණියක් බව පසුව හෙළිවීමෙන් පසු එම ප්‍රචණ්ඩකාරී පිරිස් පලා ගියහ.

තමන්ට ප්‍රහාර එල්ල වද්දී තමන් තෝරාපත් කළ දේශපාලනඥයන් පැත්ත පළාතේ නොපැමිණි බවට ද දිගන නගරයේ මුස්ලිම් තරුණ ප්‍රජාව පැවසුවේ දැඩි කෝපයකිනි. තමන්ට බොහෝ අවස්ථාවල පිහිට වූයේ තම අසල්වැසි සහෝදර සිංහල ජනතාව බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

කටුගස්තොට ප්‍රදේශයේ පෞද්ගලික ඉන්ධන හලකට ද ප්‍රහාර එල්ල කර ගිනිතැබීම් සිදුකර තිබූ අතර කෙන්ගල්ලේ මුස්ලිම් දේවස්ථානයකට ද ප්‍රහාර එල්ල වී තිබිණි.

මහනුවර කච්චේරියේ දී අඟහරුවාදා (06) සවස මල්වතු අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරැවේ උපාලි, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද යන හිමිපාණන් වහන්සේලා ද, ඉස්ලාම්, කතෝලික හා හින්දු ආගමික ප්‍රධානීන් ද, රවුෆ් හකීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඒ.එච්.ඒ හලීම්, එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, ෆයිසර් මුස්තාෆා යන මහත්ම මහත්මීහු ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ, මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන යන මහත්වරු ද රුස්වී ඉදිරි ආරක්ෂක කටයුතු මෙන්ම ගැටුම්වලින් හානියට ලක්වූවන් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළහ.

එම රැස්වීමේ දී අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඍජුව චෝදනා එල්ල කරනු ලැබුවේ පොලිස් බුද්ධි අංශවලටය. සතියක් තිස්සේ පැවති සුළු ගැටුම වර්ධනය වන තෙක් පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට ඔහු චෝදනා එල්ල කළේය.
බේබදු තරුණ කල්ලියක් තෙල්දෙණිය නගරයේ පෞද්ගලික ඉන්ධන හල් පරිශ්‍රයට පසුගිය පෙබරවාරි මස 22 වැනි දින රාත්‍රී 1.00ට පමණ ත්‍රිරෝද රියකින් කඩාවැදී එහි සිටි ලොරි රියැදුරාටත් තවත් අයකුටත් පහරදීම් සිදුකරද්දී එම ස්ථානයේ සිටි පුද්ගලයන් නමදෙනකු (09) කිසිදු පියවරක් නොගැනීම පිළිබඳව තෙල්දෙණියේ ජනතාව ද මවිතය පළ කළහ. පහරදීම සිදුකළ මැරපිරිස තෙල්දෙණිය නගරයේ සිට කිලෝමීටර් 5 ක් දක්වා දුර (දිගන) නගරයට පලායද්දී පොලීසියට ඔවුන් පිළිබඳව තොරතුරු ලැබී තිබියදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද තෙල්දෙණියේ ජනතාවගේ අප්‍රසාදය එල්ල විය. 

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර කච්චේරියේ පැවති විශේෂ රැස්වීමක දී  මාධ්‍ය හමුවේ පැවසුවේ පිටස්තර ප්‍රදේශවලින් තෙල්දෙණිය නගරයට ඇතුළු වූ ප්‍රචණ්ඩකාරී පිරිස් පිළිබඳව පොලීසියේ නිලධාරීන්ට කල් ඇතිව තොරතුරු හෙළිකර ගැනීමට නොහැකි වීම නිසා තෙල්දෙණියේ සහ දිගන නගරවල ප්‍රචණ්ඩකාරී ක්‍රියා උත්සන්න වූ බවයි.

සහජීවනයේ සාමකාමී පුරයක් වූ ඓතිහාසික මහනුවර පුරවරයට කිලෝමීටර් 22 ක් දුරින් පිහිටි තෙල්දෙණිය නගරයත් තෙල්දෙණිය නගරය හා මනා බැඳීමක් පැවති දිගන නගරයත් අතර ජීවත් වූ මුස්ලිම් ප්‍රජාව නිරන්තරයෙන් සාමකාමීව සිංහල ජනතාව සමඟ ජීවත් වූ බව අත්දැකීමෙන් අප දන්නා කරුණකි. ඔවුනොවුන් අතර ජාතිවාදී විෂබීජය පැතිර වූ ඇතැම් දේශපාලනඥයන්, ඇතැම් ආගමික නායකයන් මෙන්ම ඇතැම් භික්ෂූන් වහන්සේලා ද බුදුන් වහන්සේගේ කරැණා දහමට පටහැනි ලෙස ප්‍රචණ්ඩකාරීව හැසිරීම තුළ තෙල්දෙණිය නගරය සහ දිගන නගරය ප්‍රචණ්ඩත්වයෙන් දැවීගියා යැයි බොහෝ උගතුන් මෙන්ම මධ්‍යස්ථ මතධාරීහු ද පැවසූහ.

මහනුවර පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ උසස් නිලධාරියකු පැවසුවේ දිගන සහ තෙල්දෙණිය නගරවල ප්‍රචණ්ඩකාරීව හැසිරී වෙළෙඳසල්, නිවාස හා වාහනවලට පහරදුන් පිරිස් සම්බන්ධව වීඩියෝ කැමරා දර්ශන තමන් වෙත ලැබී තිබෙන බවත් එම වීඩියෝ දර්ශන පරීක්ෂාවට ලක් කරමින් ප්‍රහාරයන් සිදුකළ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.

පොලීසියට චෝදනා එල්ල කළද පොලීසිය උපරිමව ක්‍රියාත්මක වෙමින් දිගන - තෙල්දෙණිය නගරවල උත්සන්න වී තිබූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් අවම කිරීමට දැඩි වෙහෙසක් ගත් බවත් මහනුවර කොට්ඨාසයේ සෑම පොලිස් ස්ථානයකින්ම නිලධාරීන් තෙල්දෙණිය පොලිස් මූලස්ථානය වෙත ගෙන්වා ගනිමින් අවට ආරක්ෂක කටයුතු සිදුකළ බවත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතා දේශය කළ විමසීමක දී ප්‍රකාශ කළේය.

විවිධ අඩුපාඩු, දුෂ්කරතා හා බාධක මැද පොලීසිය අසීරු අවස්ථාවේ ක්‍රියා කළ බවද, ගිනි නිවීම් රථ, ජල බවුසර් මෙන්ම අවශ්‍ය ජලය ද සපයා ගනිමින් හදිසි ගිනි නිවීම් කටයුතු සිදුකිරීමට පොලීසිය ක්‍රියා කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවාසනාවන්ත ගැටුමට මූලික වූ දිගන නගරය තුළ පදිංචි තරුණයන් තිදෙනාම තෙල්දෙණිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද පියවර ගෙන තිබිණි.

බොහෝ ස්ථානවල ප්‍රචණ්ඩකාරීව හැසිරී වෙළෙඳ ආයතන, නිවාස හා වාහනවලට පහරදීමට පැමිණියේ උගත් සංවරශීලී ජන සමාජය නියෝජනය කරන පාර්ශ්වයන් නොවීම ද දැකගන්නට ලැබුණු විශේෂත්වය විය.

සංවිධානාත්මක වූ ප්‍රචණ්ඩකාරී පිරිස් සිදුකළ කලබලකාරී තත්ත්වයත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දෛනික කටයුතු, රැකියා කටයුතු, පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවනෝපාය මාර්ග සියල්ල ද ඇණහිට ඈත දුරබැහැර ගම්වල ජනතාවගේ පොදු ප්‍රවාහන කටයුතුවලට ද දැඩි ලෙස බාධා එල්ල විය. මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් වසාදැමීමත්, අධ්‍යාපන ආයතන වසාදැමීමත්, ඇඳිරිනීතිය පැනවීමත් නිසා අධ්‍යාපනය ලබන දූ දරුවන්, තරුණ පාර්ශ්වයන්ට ද දැඩි දුෂ්කර තත්ත්වයකට මුහුණදීමට සිදුවිය.

මැණික්හින්න ප්‍රදේශයේ දී පොලිස් අණ ද නොතකා හදිසි නීති තත්ත්වය පිළිබඳව ද නොතකා ප්‍රචණ්ඩකාරීව හැසිරුණු කණ්ඩායමකට පොලීසිය වෙඩිතැබීම හේතුවෙන් අඟහරුවාදා (06) දින රාත්‍රී තරුණයකු වෙඩි වැදීමෙන් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කරන ලද බව පොලීසිය සඳහන් කළේය.

කෙන්ගල්ල නගරයේ දී ගැටුමට මැදිවී අවාසනාවන්ත ලෙස මියගිය “අබ්දුල් බාෂිත්” නැමති තරුණයාගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ආරක්ෂක අංශවල ප්‍රධානීන් මෙන්ම කෙන්ගල්ල අවට පදිංචි ජනතාවගේ ද සහභාගීත්වයෙන් ඔහුගේ අවසන් කටයුතු අඟහරුවාදා (06) සවස කෙන්ගල්ල ප්‍රදේශයේ දී සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව ද ඉතා සාමකාමී අයුරින් නිමාවට පත් විය. එහෙත් අන්තවාදී කළහකාරී ඇතැම් පිරිස් නත්තරම්පොත, මැණික්හින්න ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරීව හැසිරුණු අවස්ථාවේ 6 වැනි දින රාත්‍රී හමුදාව සහ පොලීසිය විසින් ඔවුන් පලවා හැරීමට පියවර ගනු ලැබීය.

බොහෝ ස්ථානවල සාමකාමී තත්ත්වයක් පැවති අතර මහනුවර නගරය තළ ද ජන ජීවිතය සාමාන්‍ය පරිදි පැවතිණි. ආරක්ෂක අංශ උපරිම ආරක්ෂාව ලබාදීම සඳහා ද අවශ්‍ය පියවර ගෙන තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉතා හදිසියේම මහනුවරට පැමිණ ආරක්ෂක ප්‍රධානීන් හමුවී ඉදිරියේ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අදාළ නිලධාරීන් සහ දේශපාලන ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි.

►​ ජේ.ඒ.එල්. ජයසිංහ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00