2018 මාර්තු 10 වන සෙනසුරාදා

මරණයට හේතුව - දිනය වේලාව ටක්කෙටම කිව්වා

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 644

අපි දෑසින් මෙන්ම මනසින්ද ලෝකය දකින්නෙමු. දෑසින් දකින ලෝකයට වඩා මනසින් දකින ලෝකයේ සීමාවන් වඩාත් පුළුල් වන්නේ ඔබට අවැසිනම්, ඔබ තාර්කිකයකුනම් ඔබ විචාරකයකුනම් මනස ඔස්සේ සියල්ල විචාරයට විචක්ෂණයට හා විශ්ලේෂණයට බඳුන් කළ හැකි මාර්ගය ඔබට නිර්මාණය කර ගත හැකි හෙයිනි. 

භෞතිකවාදීන් විද්‍යාත්මක ක්‍රමවේද හා පර්යේෂණයන්ට අනුවත් විඥානවාදීන් විද්‍යාවට එහා ත්‍රිමානත්වයෙන් එහා ලෝකය පිළිබඳ ගවේෂණයකටත් පෙළඹූනේ අද ඊයෙක නොවේ. ඒ සියල්ල අදටත් අප අභිමුව ශේෂ කරන උභතෝකෝටිකය නම් විද්‍යාව හා විද්‍යාවේ ක්‍රමවේදය හා න්‍යායන් තුළට ලඝු කළ නොහැකි ඉසියුම් සිද්ධාන්තයන් අනන්තවත් ලෙස මේ විශ්වයේ පවතින බවයි.

ඉතා සංවේදී දුරකථන ඇමතුම් රැසකට ඉකුත් සතියේ අපි කන් දුන්නෙමු. ජීවිතයේ නානාවිධ ගැටලු ඉදිරිපත් කරමින් ඒ කතා කළ හැම කෙනෙක්ම විමසා සිටියේ හිඹුටානේ සාදු වෙතින් ඔවුන්ට පිළිසරණක් ලබාගත හැකිද යන කාරණය පිළිබඳවයි. පැමිණ පුද්ගලයාගේ නම, පැමිණි ප්‍රදේශය හෝ කාරණය කියමින් කෙවිටක් දිගු කර පත්තිනි දේවාලය තුළට අඬ ගසා හිඹුටානේ සාදු තමන් පත්තිනි මෑණියන්ගෙන් ලද වරම ජීවිතයේ නානාවිධ ගැටලු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සුබසිද්ධිය උදාකරලීමේ පරමාර්ථය පෙරදැරිව ඔවුන් විෂයෙහි ඉතා අවංක සහ මානුෂීය ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නට යොදාගන්නා බව අපි මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත් හෙයින්ම හිඹුටානේ සාදු පත්තිනි වරමින් ලද විස්මිත හැකියාව ගැන අපි ඔබට සති ගණනක් මුළුල්ලේ සත්‍ය සිද්ධීන් ඇසුරෙන්ම කරුණු පැහැදුවෙමු.

මිනීමැරුම්, සොරකම් ගැන අසන්නට ගියවිට ඝාතකයන්ගේ, සොරුන්ගේ දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක මෙන්ම ඔවුන් සැඟවී සිටින හෝ සොරකමකදී නම් හොරකම් කළ භාණ්ඩවලට සිදු වූ දේ මෙන්ම කොඩිවිනයකදී නම් කොඩිවිනය සිදුකළ තැනැත්තන්ගේ නම් ගම් ඊට උදවු දුන් අයගේ නම් ගම් ද රෝගයක් නම් ඒ රෝගය ගැන මෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වෛද්‍යවරයාගේ නම ද පවුල් බිඳී යන අවස්ථාවලදී හේතුව සාධාරණ නම් වශී බන්ධන ද නොගැලපෙන පසුවට අයහපත උදාකරන ප්‍රේම සබඳතා කඩාබිඳ දැමීම ද ඉඩකඩම්, නඩුහබ මෙන්ම විභාග ජය ආදියට ද අවශ්‍ය සියලු පුද පූජා පිළිවෙත් කරන පත්තිනි මෑණියන් හෝ වරම් ලද හිඹුටානේ සාදු ගැන 2018 ජනවාරි මස මුල් සතියේ සිට අප ලියූ ලිපි දේශය ඒ කලාප ඔස්සේ ද www.deshaya.lk අපේ වෙබ් අඩවිය ඔස්සේ ද යළි ඔබට කියවිය හැක.

ඔහු වසන්තය. වසන්ත හිඹුටාන සාදු වෙත ගියේ වෛද්‍යවරුන්ගෙන්වත්, එතෙක් ගිය දේවාලවලින්වත් පිහිටක් නොලද තම බිරියගේ ශාරීරික වේදනාවට හේතුව හෝ කුමක්දැයි හිඹුටානේ සාදුගෙන් විමසා දැනගන්නා පරමාර්ථයකි. වසන්ත ඔහුගේම වචනවලින් තම අත්දැකීම පැවසුවේ මේ ආකාරයටය.

මම වාහන රියදුරෙක්. මගේ බිරියට අවුරුද්දක් තිස්සේ බඩේ වේදනාවක් තිබුණා. ඒ බඩේ වේදනාවෙන් ඇය හරියට දුක් වින්දා. මම බිරියත් එක්ක නොගිය දේවාලයක් නෑ. නොගිය වෛද්‍යවරයෙක් නෑ. හැම වෛද්‍ය පරීක්ෂණයකින්ම කීවේ බඩට විෂබීජයක් ගිහින් කියලා. ඒත් දුන්න කිසිම බෙහෙතකින් අඩුවක් වුණේ නෑ. බටහිර වගේම ආයුර්වේද බෙහෙත් ගත්තා. ඒත් කිසිම සුවයක් ලැබුණේ නෑ. ඊට පස්සේ සාස්තරයක් අහන්න දේවාලයකට ගියා. භද්‍රකාලී මෑණියන්ගේ වරමින් තමා ඒ දේවාලයේ කටයුතු කරන බව කීවේ. ඒ දේවාලයෙන් කීවා බිරියට බන්ධනයක් කරලා කියලා. ඒ බන්ධනය කැපුවා. ඒත් බඩේ වේදනාව අඩු වුණේ නෑ. මගේ යාළුවෙක් තමා කීවේ හිඹුටානේ සාදු ළඟට යන්න පිහිටක් ලැබේවි කියලා. මම ගියා. මම ගිය දවසෙත් සෑහෙන්න සෙනඟ. මම පොල් ගෙඩියයි බුලත් අතයි අරගෙන රුපියල් පන්සිය පහක පඬුරක් තියාගෙන අර සෙනඟ මැද්දට වෙලා හිටියා. එහෙම ඉද්දී සාදු කෙවිට දිගු කරලා මගෙන් ඇහුවා උඹගේ නම වසන්ත නේද? උඹේ ගෑනි අසනීපෙන් නේද? උඹ ඒ ගැන නේද අහන්න ආවේ. වරෙන් කියන්න එහෙනම් කියලා සාදු අඬගහද්දී මම දේවාලේ ඇතුළට ගියා. මම දේවාලය ඇතුළට ගියාම සාදු ඇහුවා උඹගේ ගෑනිගේ බඩේ කැක්කුමක් නේද? අවුරුද්දක්ම ඒ වේදනාව විඳව විඳවා ගෙදර ඉන්නවා නේද කියලා. මම කීවා ඔව් සාදු කියලා. ඊළඟට සාදු ඇහුවා උඹේ ගෑනිගේ අම්මා විමලාවතී නේද කියලා. මම කීවා ඔව් සාදු කියලා. සාදු මගේ නෝනගේ පවුලේ විස්තර කීවා. ඊට පසු මේක අසනීපයක් නෙවේ. මේක ගෑනිගේ ගර්භාෂයේ ගෙඩියක් කියලා කීවා. 

ඊළඟට සාදු කීවා මේ ගෙඩිය  පිළිකාවකට හැරෙන්න කලින් ඉක්මනට වෛද්‍යවරයකුට පෙන්නලා ශල්‍යකර්මයක් කරගනින් කියලා. මම කීවා සාදු අපි වෛද්‍ය පරීක්ෂණයක් කළා. ඒත් එහෙම කිසි ලෙඩක් පෙනුණෙත් නෑනේ කියලා. ඒ වෙලාවේ සාදු කීවා දෙහි 07යි තැඹිල් ගෙඩියයි, සුදු හඳුන් අරන් සිකුරාදා එන්න කියලා. අපි එදා ආවා. දෙහි කපලා සුදු හඳුන් දැමූ තැඹිලි ගෙඩිය බොන්න දුන්නා. සාදු කීවා තව දවස් තුනකින් වෛද්‍ය පරීක්ෂණයක් කරන්න කියලා. අපි කළා. ඒ වෙලාවේ වෛද්‍යවරු කීවා ගර්භාෂයේ ගෙඩියක් කියලා. ශල්‍යකර්මයක් මගින් එය ඉවත් කළා. දැන් මගේ බිරියට සනීපයි.

ඔබ විශ්වාස කරනවානම් විශ්වාස කළ යුතුය. මේ හිඹුටානේ සාදුගේ පිහිට ලබා ගත් පුද්ගලයකුගේ සත්‍ය කතාවයි. මේ මිහිපිට ජීවත්වන පුද්ගලයකුට මුහුණ දීමට සිදුවන සියලු ආකාරයේ ගැටලු වෙනුවෙන් පිළිසරණ පතාගෙන හිඹුටානේ සාදු වෙත මහා පිරිසක් පැමිණෙන්නේ හිඹුටානේ සාදු සතු බලවර ගුණය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්‍ය වූ පසුබිමකදීය. 

මෙවර හිඹුටානේ සාදුගේ පත්තිනි බලවර ගැන අප ලියන්නට අදහස් කළේ හිඹුටානේ සාදු සොයා ගොස් හිඹුටානේ සාදුගේ පිහිට මෙන්ම සත්‍ය හෙළිදරව් කරගත් පුද්ගලයන්ම අප හා පවසන කතාය. මේ තවත් එවන් කතාවකි. මගේ නම රසික. මගේ ගර්ල් ෆ්‍රේන්ඩ් හර්ෂා. අපි දෙන්නා අවුරුදු දෙකකින් විවාහ වෙන්න හිටියේ. හිටිහැටියේම හර්ෂාට තද ඔළුවේ කැක්කුමක් ආවා. ගොඩක් අමාරු වුණා. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. මම දිගටම නවගමුවේ බෝධි පූජා තිබ්බා. සාස්තර අහන්න තැන් දෙකකට ගියා. ඒත් කිසිම සුවයක් ලැබුණේ නෑ. හිඹුටානේ සාදුගේ පත්තිනි දේවාලය ගැන මම දැනගත්තේ අහම්බෙන්. මම ආව දවසෙත් සෙනඟ සෑහෙන්න හිටියා. මගේ නම කියලා සාදු වරෙන් කියලා කතා කළා. මම ගත්ත බුලත් හුරුල්ල භද්‍රකාලී මෑණියන්ගේ ආසනය මත තැබුවා. එවිට සාදු ඇහුවා හර්ෂා කියන්නේ උඹගේ කවුද කියලා. මම කීවා ඒ මම බඳින්න ඉන්න කෙනා කියලා. ඒකි දැන් රෝහලේ නේද? සාදු ඇහුවා. මම ඔව් කීවා. සාදු එකපාරටම මට අදහාගන්න බැරි දෙයක් කීවා. උඹේ පෙම්වතී දින 3න් පාන්දර 2ට මැරෙනවා. ඒකිට ඊට වඩා ආයුෂ නෑ කීවා. මම සාදු ළඟ ඉඳගෙනම මහ හයියෙන් ඇඬුවා. මට ඒ වෙලාවේ ඒ කියූ දේ දරාගන්න බැරි වුණා. මම සාදුට කීවා හර්ෂාව කොහොමහරි ජීවත් කරලා දෙන්න කියලා. සාදු කීවා දරුවෝ මට කර්ම ශක්තිය වළක්වන්න බෑ. ඒක දෙවියන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. මම සාදු කියපු ඒ වචනවලට ඇහුම්කන් දුන්නෙත් හරිම අකමැත්තෙන්.

සාදු දිගින් දිගටම විස්තර කියන්න පටන්ගත්තා. උඹගේ පෙම්වතිය අසාධ්‍ය වුණේ මොළයට විෂබීජයක් ගිහින්. උඹට ඔය වෛද්‍යවරුන් ඒක කීවේ නැද්ද? සාදු අහද්දී මම කීවා එහෙම කීවා සාදු කියලා. එහෙම කීවාට එහෙම වුණේ කොහොමද කියලා උඹ දන්නවද ඇහුවා. මම නෑ කීවා. එහෙනම් අහගනින්කෝ.. උඹගේ හර්ෂා පොඩි කාලේ හදාගත්ත මාමා මියගියා නේද කියලා සාදු ඊළඟට ඇහුවා. මම ඔව් සාදු කීවා. මාමාගේ අවසන් කටයුතු කළ දිනේම නේද උඹගේ පෙම්වතිය අසනීප වුණේ ඇහුවා. මම ඒකටත් ඔව් සාදු කීවා. මිනිය ගෙනාපු දවසේ උඹගේ පෙම්වතිය ඒ මියගිය මාමාගේ නළල සිපගත්තා නේද කියලා ඊළඟට සාදු අහද්දී මම කීවා ඔව් සාදු ඒ වෙලාවේ මමත් එතන හිටියා කියලා. ඒ මොහොතේ නළල සිප ගැනීම නිසා තමයි විෂබීජ මොළයට ගියේ කියලා අන්තිමට කීවා. 

සාදු ඒ කියපු සිද්ධි හැමදේම ඒ විදිහටම වුණ ඒවා. මම සාදු කියපු දේවල් වෛද්‍යවරුන්ටත් කීවා. හරියටම සාදු කියපු දවසේ ඒ වෙලාවටම හර්ෂා මැරුණා. සාදු කියපු විස්තරය අවසානයේ වෛද්‍යවරුත් පිළිගත්තා.
ඇය හිඹුටානේ සාදු හමුවට පැමිණියේ දියුණුව සඳහා හිඹුටානේ සාදුගෙන් පිහිටක් බලාපොරොත්තුවෙනි. එහෙත් ඇයට අසන්නට ලැබුණේ සාදු කෙසේවත් හෙළිකරතැයි අපේක්ෂා නොකළ හෙළිදරව්වකි. සාදු මගේ අතීතයේ විස්තර ඔක්කොම කියාගෙන කියාගෙන ගියා. ඒවා දැනගෙන හිටියේ මමයි මගේ සැමියයි විතරයි. සාදු මට හබරකඩින් ආපු සංදීපනී වරෙන් කියලා කතා කළා. උඹ ආවේ සිල්ලර කඩයක් දාන්න නේද කියලා ඇහුවා. මම කීවා ඔව් සාදු කියලා. මම උඹට ඊට ඉස්සර උඹගේ අතීතය ගැන කියන්නම්. උඹලට රස්සාවක් නැති කාලේ උඹේ මිනිහා උඹට සුපිරි වෙ‍ෙළඳසැලකින් බඩු හොරකම් කරන්න කීවා නේද? හොරකම් නොකළොත් එදාට උඹව නිර්වස්ත්‍ර කරලා උඹට එක එක දඬුවම් දුන්නා නේද? සාදු මගෙන් එහෙම  අහද්දී මගේ ඇස් උඩ ගියා. උඹ දවසක් හෝමාගම ප්‍රදේශයේ වයසක ගෑනියෙක්ගේ රත්තරන් මාලය හොරකම් කරලා කඩුවෙලදී උගස් කළ නේද? ඔව් සාදු ඒ ඔක්කොම ඇත්ත. මගේ මිනිහගෙන් මට ගැලවිල්ලක් නැති නිසයි ඒ ඔක්කොම කළේ. මට මේ කරදරවලට සහනයක් ලබලා දෙන්න කියලා මම සාදුගෙන් ඉල්ලුවා. සාදු මට මිනිහට කන්න දීපන් කියලා සීනි මතුරලා දුන්නා. අද මම මගේ මිනිහත් එක්ක සිල්ලර කඩයක් දාගෙන සතුටින් ජීවත් වෙනවා. මගේ මිනිහා මතුරපු සීනි කෑවට පස්සේ මට හිතාගන්න බැරි විදිහට මෙල්ල වුණා. අපි දියුණු වුණා. අද අපි මේ විදිහට ඉන්නේ හිඹුටානේ සාදුට පින් සිද්ධ වෙන්න. 

මේ කතා සමුච්චයක් පමණි. තවත් එවන් කතා කිහිපයක් සමඟ එන ඉරිදාත් මුණගැසෙමු.

 සංජීවිකා සමරතුංග
    සේයාරූ I චන්න කස්සප කෝරලේආරච්චි

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00