2018 මාර්තු 10 වන සෙනසුරාදා

මැතිනියට සර් ජෝන්ට පිස්තෝල හැදු තෝමස්ලා

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 692

කඩවත ඉහළ බියන්වල පාරේ ගමන් ගත් රථය එක්වරම දකුණු පසට තිබුණු කුඩා අතුරු පාරකට හැරවිණි. ඒ මාර්ගය අවසන් වූයේ විශාල කළු පැහැති ගේට්ටුවක් ඉදිරියෙනි. ‘ඩබ්ලිව් තොම්සන් සහ පුත්‍රයෝ සමාගම’ යැයි ගේට්ටුව පසෙකින් එල්ලූ පුවරුවකි.

 තුවක්කුව... එය මිනිසාගේ ප්‍රයෝජනයට නොව විනාශයට බිහිවුණු ආයුධයකැයි විවාදයක් නැත. පරංගින් මෙරටට ගොඩබට දිනයේ සිට අපට මුණගැසුණු තුවක්කුව නමැති භයංකර ආයුධය හමුවේ දිවිදුන් අපේ රටේ මිනිසුන්ගේ ප්‍රමාණය මෙතෙකැයි කියා ගණන් කර නිම කළ හැකි නොවනු ඇත. එහෙත් ඒ භයානක ආයුධයම අද දවසේ ක්‍රීඩා උපකරණයක් වී තිබේ. වායු රයිෆල් ක්‍රීඩාව යනු අද ලොව ජනප්‍රියතම ක්‍රීඩාවකි. 

ලොව පළමුවරට වායු රයිෆලයක් භාවිත වූ බවට වාර්තා වන්නේ 16 වැනි ශතවර්ෂයේ යුරෝපයේදී ය. ක්‍රි.ව. 1580 කාලයේ පාවිච්චි කරන ලදැයි සැලකෙන වායු රයිෆලයක් අදත් ස්වීඩනයේ ස්ටොක්හොම් නුවර කෞතුකාගාරයකදී දැකගැනීමට පුළුවන. 

මෙවන් පසුබිමක් ඇති වායු රයිෆලයේ ලංකාවේ උරුමකරුවා වන්නේ ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ සමාගම යි. ඊට හේතුව මෙරට තුළ වායු රයිෆල් නිෂ්පාදනය සඳහා හිමිකම් පැවරී ඇති එකම සමාගම එය වීම ය. වායු රයිෆල නිෂ්පාදනය සඳහා වූ බලපත්‍රය මෑතකදී හිමිවුවද මේ අපූරු සමාගමේ වංශ කථාව 1950 දශකය දක්වා ඈතට දිවයන්නකි. 

විල්ෆ්‍රඩ් තෝමස් තරුණයා පනහ දශකයේදී පතොරොම් තුවක්කු නිෂ්පාදන කටයුතුවලට යොමුවන්නේ එංගලන්තයේ ගොස් ලැබූ පළපුරුද්දත් සමඟිනි. එකල ලංකාව තුළ තුවක්කු නිෂ්පාදනයේ යෙදී සිටි ජනප්‍රියතම සමාගම වූයේ හන්ටර් සහ සමාගම ය. එහි සේවය කළ විල්ෆ්‍රඩ් තෝමස් මහතා ටිකෙන් ටික පෞද්ගලික මට්ටමින් ද තුවක්කු අලුත්වැඩියා කටයුතුවලට යොමුවුණේය. කොටහේනේ පිහිටි ඔහුගේ නිවස ද තුවක්කු අලුත්වැඩියා කම්හලක් බවට පෙරළුණේ ඒ අනුව ය. නිවසේ කොටසක තුවක්කු අලුත්වැඩියා කටයුතු සඳහා කුඩා වියේ උන් තම පිරිමි ළමුන් දෙදෙනාගේ සහාය ලබාගැනීමට ද ඔහු කටයුතු කළේ, අනාගතයේ ශක්තිමත් ව්‍යාපාරයකට අඩිතාලම දමමින් බව ඔහු එදා නොසිතන්නට ඇත. 

“මම මුලින්ම තුවක්කුවක් හෝදන්න පටන් ගනිද්දි මගේ වයස අවුරුදු හතක් විතර ඇති. තාත්තා වැඩකරපු මැෂින් එකට උස මදි නිසා බංකුවක් තියාගෙන තමයි මම වැඩ කළේ. ඔය තුවක්කු සුද්ද කරන, හෝදන වැඩ කළේ මායි අයියයි” 
මා ඉදිරියේ උන්නේ විල්ෆ්‍රඩ් තෝමස් මහතාගේ බාල පුතණුවන් ය. රොයිස්ටන් තෝමස් නම් ඔහු තෝමස් සහ පුත්‍රයෝ සමාගමේ හිමිකරැවා ය. පියාගෙන් පසු තුවක්කු නිර්මාණ ශිල්පය තම උරුමය කරගනිමින් සිය බිරියගේ ද සහාය ඇතිව මේ ව්‍යාපාරය ගොඩනැඟුවේ ඔහු ය. ඔහුට කියන්නට බොහෝ දේ ඇති බවට සැක නැත. 

“අපේ තාත්තා හන්ටර් සමාගමේ වැඩ භාරගනිද්දි මුලදි තුවක්කු එකක් දෙකක් ගෙදර ගෙනාවා. ඊටපස්සෙ දහය විස්ස ගේන්න ගත්තා. මායි අයියයි පුදුම ආසාවකින් තමයි තාත්තාගේ වැඩවලට උදව් කළේ. තාත්තත් අපිට එයා දන්න දේ ටිකෙන් ටික කියලා දුන්නා” 

ඒ හැත්තෑව දශකයයි. එසේත් නැතිනම් සිරිමාවෝ බණ්ඩාරනායක පාලන සමයයි. 

“අපේ තාත්තා සර් ජෝන් කොතලාවලගේත් තුවක්කු හදලා දීලා තියෙනවා. හැබැයි මට නම් සර් ජෝන් ගැන මතකයක් නැහැ. ඒත් මිසිස් බණ්ඩාරනායකව හොඳට මතකයි” ඔහු කියන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ගැන ය. 
“ඒ දවස්වල මිසිස් බණ්ඩාරනායක අපේ ගෙදරට ඇවිත් එයාගේ පිස්තෝල හදන වැඩ භාර දීලා යනවා. මම එතකොට ගොඩක් පොඩියි. ඒත් අගමැතිනිය අපේ ගෙදරට එනවා මට මතකයි” 

එවකට විපක්ෂ නායකවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන තෝමස් පවුල හා සමීප වන්නේ ද මේ කාලයේදීම ය. වෙඩි තැබීමේ ක්‍රීඩාවේ ශූරයෙකු වූ රවී ද තෝමස් පවුලෙන් තම තුවක්කුවල අලුත්වැඩියා කටයුතු කරගත්තේය. ඔහු තෝමස් පවුලේ වැඩ ගැන කොතරම් පැහැදුණාද කියතොත් පසුකාලීනව තමාගේ සංකල්පයක් අනුව විශේෂ කාර්ය බලකාය නිර්මාණය කරද්දී එහි අවි ගබඩාව සඳහා සාජන් මේජර්වරයෙකු ලෙස රොයිස්ටන් මහතාගේ වැඩිමහල් සොයුරා බඳවා ගැනීමට පවා කටයුතු කළේය. 

වයස අවුරුදු 18 වනවිට විදේශගත වූ පසු රොයිස්ටන් මහතා නැවත ලංකාවට ආවේ 2004  වසර අගදී ය. ඔහු එතෙක් කාලය ගත කළේ ඕස්ට්‍රියාවේ ය. එරටදී ද තුවක්කු නිෂ්පාදනය සඳහා සුප්‍රකට සමාගමකට තම සේවය ලබාදෙන ඔහු නැවත මෙරටට එන්නට සිතන්නේ විදෙස්ගත තාක්ෂණවේදීන්ගේ සහාය නැවතත් මව්රටට ඇවැසියැයි එවක ශ්‍රී ලංකා රජය ආරාධනා කිරීමත් සමඟ බව රොයිස්ටන් මහතා පැවසීය. 

ඔහුගේ නැවත පැමිණීමට 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනයේ ද යම් බලපෑමක් තිබුණි. වැටුණු රට ගොඩ නඟන්නට තමාගෙන් ද යම් දායකත්වයක් ලබාදිය යුතු යැයි තරයේ ඇදහූ ඔහු නැවත එන්නේ පියාගේ උරුමය නැවත ගොඩනැගීමේ සිහිනයකින් ද සිත පුරවා ගනිමිනි. 

“මං ලංකාවට එද්දි මගේ මාස් පඩිය යුරෝ හත්දාහයි” 

පසුව ගණන් හදා බැලූවිට එදා රුපියලේ වටිනාකම අනුව ඒ මුදල රුපියල් දස ලක්ෂයකට ආසන්න ගණනකි. 

“හැබැයි මට වැදගත් වුණේ මුදලට වඩා මම උගත් දෙයින් පළපුරුද්දෙන් රටට යම් සේවයක් කිරීමයි. කොහොම වුණත් ටික දවසකින් යුද්දෙත් පටන් ගත්තා. යුද්ධය වෙනුවෙනුත් නිහඬව ලොකු දායකත්වයක් සපයන්න මට හැකිවුණා” 

ඩබ්ලිව් තොම්සන් සමාගම යන නමින් සමාගමක් ලෙස ලියාපදිංචි කර වායු රයිෆල් ගෙන්වීම, අලුත්වැඩියාව මෙන්ම පතොරොම් තුවක්කු අලුත්වැඩියාව ද රොයිස්ටන් මහතා ආරම්භ කළේය. 

“අපි සේවා සපයන්නේ බලපත්‍ර තියෙන අයට විතරයි. බලපත්‍රයක් නැති කෙනෙක්ට ඔය ගේට්ටුවෙන් ඇතුළට එන්න මම ඉඩ දෙන්නෙ නෑ. මගේ නීති ආරක්ෂක අමාත්‍යංශෙ නීතිවලටත් වඩා තදයි” ඔහු ඒ වාක්‍යය කීවේ උපැස් යුවලට යටින් තම තියුණු දෙනෙත් මා වෙත එල්ල කරමිනි. 

 “අපි වායු රයිෆල් නිෂ්පාදනය කරන්නේ ඉහළම තාක්ෂණයට සහ ප්‍රමිතියට අනුකුලවයි. හොඳම අමුද්‍රව්‍ය යොදාගෙන හදන නිසා ගොඩක් කල් පාව්චිචි කරන්නත් පුළුවන්” සමාගමේ සාමාන්‍යාධිකාරී ජගත් ගොඩවත්ත මහතා ද අපේ කතාබහට එකතු විය. 

මේ වනවිට පාසල් ක්‍රීඩාවක් වශයෙන් වායු රයිෆල් ක්‍රීඩාව ජනප්‍රිය වෙමින් තිබීම සාධනීය ලක්ෂණයක් බව ගොඩවත්ත මහතාගේ අදහස ය. සැඟවුණු ක්‍රීඩාවක් වශයෙන් පවතින වායු රයිෆල් ක්‍රීඩාව ඉදිරියේදී තවත් ජනප්‍රිය වී ජාත්‍යන්තරය දිනිය හැකි ක්‍රීඩකයින් බිහිවණු දැකීමත් එවන් ක්‍රීඩකයින්ට අවශ්‍ය වායු රයිෆල් නිර්මාණය කිරීමත් තම සමාගමේ මුඛ්‍ය අරමුණක් බවත් ඔහු පවසයි. 

“සාමාන්‍යයෙන් පිටරටින් හොඳ මට්ටමේ වායු රයිෆලයක් ගෙන්නන්න ලක්ෂ දෙකක විතර මුදලක් වැය වෙනවා. හැබැයි රුපියල් විසිපන්දාහෙ විතර ඉඳන් ලක්ෂ එකහමාර දක්වා මිල ගණන්වලට උසස් තත්ත්වයේ වායු රයිෆල් අපෙන් මිලදී ගන්න පුළුවන්” 

වායු රයිෆල් ක්‍රීඩාවට මෙන්ම වගා ආරක්ෂණ කටයුතුවලට ද ඩබ්ලිව් තොම්සන් සහ පුත්‍රයෝ සමාගමේ නිෂ්පාදනවලින් ලැබෙන්නේ විශාල සහායකි. 

රොයිස්ටන් මහතා මඳ වේලාවකින් තම සුපුරුදු රාජකාරි ඇඳුමට බැස්සේය. ආයතනයක හිමිකරැවෙකු සීත කාමරයකට වැදී තමන්ගේ සෙසු සේවකයින්ට අණ දෙනු දැකීම සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන තත්ත්වය වුව ද මේ ආයතනයේ තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් ය. හිමිකරුවා ද සෙසු සේවකයින් මෙන් හරි හරියට වැඩ ය. 

“මම නැගිටින්නෙ පාන්දර පහට. පහේ ඉඳන් රෑ වෙනකම් මම ගැවසෙන්නේ තුවක්කු එක්කම තමා. මේක මට රස්සාවක් නෙමේ. මගේ ජීවිතේම මේකයි” ඔහු කීවේ ආරක්ෂක අංශ වෙනුවෙන් අලුත්වැඩියාවට භාරගත් බෝර 12 තුවක්කුවක කට මදිමිනි

“අපිට මේ ව්‍යාපාරය දියුණු කරගෙන අපේ වායු රයිෆල් පිටරට යවන්නත් පුළුවන්. ඒකට අවශ්‍ය තාක්ෂණය, පළපුරුද්ද සියල්ල අපි සතුයි” රොයිස්ටන් මහතා අනාගත ව්‍යාපාර සැලසුම් ද විස්තර කළේය. මැදපෙරදිග, චීනය, යුරෝපය, ඉන්දියාව වැනි අන්තර්ජාතික වෙළෙඳපොළවල් ජයගැනීම තොම්සන් සහ පුත්‍රයෝ සමාගමේ මීළඟ පියවර වනු ඇත. සේවකයින් සිය ගණනකට රැකියා උත්පාදනය කරන, රටට විදේශ විනිමය ඉතිරි කරදෙන එපමණක් නොව සමාජයේ අවධානයට වැඩි වශයෙන් යොමු නොවූ ක්‍රීඩාවක දියුණුවට සැළකිය යුතු දායකත්වයක් සපයන මේ ආයතනයෙන් අප සමුගත්තේ වායු රයිෆලයක රැඳවූ ඊයම් උණ්ඩයක් ඉලක්කය පසාරැ කර යවා බැලීමෙන් අනතුරුව ය. 

►රජිත ජාගොඩ ආරච්චි 
සේයාරූ - සුමුදු හේවාපතිරණ