2018 මාර්තු 03 වන සෙනසුරාදා

දේශපාලන කරළියේ අමුතු හාදයා ඇන්.ඇම්.

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 429

එකෝමත් එක කාලෙක අපට හරි අපූරු ජන නායකයෝ පිරිසක් වූහ. ඔවුහු තමන් සතු සුවිශේෂී හැසිරීම් රටා හුරුපුරුදු නිසාම තමන්ටම අනන්‍ය වූ ජනකාන්ත පෞරුෂයක් ගොඩනගා‍ෙගන උන්හ. ඒ හැසිරීම් අව්‍යාජ වූ අතර ඔවුන්ගේ ඇඟෙන්ම ආ ඒවාය. අපි මේ කතා කරන්නට යන්නේ ඒ අතර කැපීපෙනෙන ප්‍රබල චරිතයක් ගැනය.

එදා වසර 1925 මැද භාගයේ එක් දිනයකි. කොළඹ ආනන්ද මහා විද්‍යාලය දෙසට ඇදී එන මෝටර් රියකි. ආනන්දය ඒ දිනවල මහා සැණකෙළියක සිරිගෙන තිබුණි. ගොඩනැගිලි අරමුදලක් සඳහා පැවැත්වෙන ආනන්ද සැණකෙළියට දහස් ගණන් ජනීජනයා ඇදී එන සමයකි. මේ දිනවල ආනන්දය තුළට ඇතුළු විය හැක්කේ විශේෂ අවසර ලත් VIP මෝටර් රථවලට පමණකි. පරණ වාඩිය ඔස්සේ ඇදී ආ කළු පැහැති මෝටර් රථය ආනන්ද ප්‍රධාන ගේට්ටුව දෙසට ධාවනය වූයේ සෙමිනි. මේ රථය මරදාන කොළඹ ප්‍රදේශයේ පමණක් නොව මුළු රටේම ප්‍රසිද්ධ රථයකි. සිංහල බෞද්ධ පුනරුදය සඳහා කැපවූ, එසේම ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වූ ආනන්දයේ පළමු විදුහල්පති පී.ද.එස්. කුලරත්නයන්ගේ රථයයි. ගේට්ටුව දෙසට ක්‍රමයෙන් ඇදී ආ රථය ඒ අසල සිටි කඩවසම් තරුණ ශිෂ්‍ය නායකයකු විසින් නවත්වන්නට යෙදිණි. ඔහු ද එකල ප්‍රසිද්ධ අයෙකි. ආනන්දයේ ක්‍රිකට් කැප්ටන් ලෙසටය. අනෙක් අතට ප්‍රධාන ශිෂ්‍ය නායකයා ද ඔහුය. ආනන්ද සැණකෙළියට ඇතුළු වන්නට ආ සෙනඟ දෙපසින් පොදිකමින් ප්‍රවේශ පත්‍ර ගන්නට තෙරුපෙන අතර ගේට්ටුව අසලට ආ සිය විදුහල්පතිගේ රථය නවත්වාගත් තරුණ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කරන්නට යන්නේ කුමක්ද යන්න ගැන විමසිලිමත් වූහ. රථය ළඟට ගිය තරුණ ශිෂ්‍යයා කවුළුව හැර බලාසිටි පී.ද.එස්. කුලරත්නයන්ට ගෞරව දක්වා කතා කළේය. “සමාවෙන්න සර්. ඔබතුමාට වුණත් වාහනේ නම් ඇතුළට ගන්න දෙන්න බෑ. ඒ මොකද ඒ සඳහා විශේෂ අවසර පත්‍රයක් තියනවා. එය නැතිව ඇතුළට යන්න බැහැ. ඔබතුමා අවසර පත්‍රය පෙන්නුවොත් යන්න දෙන්න පුළුවනි.”

පී.ද.එස්. කුලරත්නයන්ගේ ඇස් නළල මතට නැගී මහත් වූයේය. පුදුමයෙන් මෙන්ම මහත් සතුටකින් යුතුවය. පුදුම වුණේ තමන්ට ප්‍රවේශ පත්‍රය අමතක වූ බව සිහි වීමෙනි. සතුට තමන්ම හදපු නීතිය තමන්ටම එරෙහිව භාවිත කළ ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ විනයගරුක බව ගැනය. කුලරත්නයෝ දෙවනුව සිනාසී රථය පසුපසට ගන්නට පෙර මෙසේ කීවේය. “ඔබ නම් නියම නායකයෙක් පුතා. අපි සංවිධායක කමිටු රැස්වීමේ දී දුන්න උපදේශ ඔබත් ඔබේ කණ්ඩායමක් නිසි විදිහටම පිළිපැද තියෙනවා. නීතිගරුක වීමත් සැමට සාධාරණය ඉටුකිරීමත් හොඳ නායකයකුගේ ලක්ෂණයක්. ඔබ ගැන මට හරි සතුටුයි.” මෙසේ කී පී.ද.එස්. කුලරත්නයෝ සිය රථය ආපසු හරවාගන නිවෙසට ගොස් සැණකෙළියට ඇතුළු වීමේ ප්‍රවේශ පත්‍රය ද රුගෙන ආපසු පැමිණියේය. එදා ශිෂ්‍ය නායකයකු ලෙස තමන්ගේ විදුහල්පතිට පවා නීතිය තදින් ක්‍රියාත්මක කළේ පසු කලෙක රටේ පෙරුළිකාර චරිතයක් බවට පත්වූ ජාතික නායකයකු ලෙස ජනතාවගේ හද තුළ ලෙන්ගතු මතකයක් ඇති කරන්නට සමත් වූ “ග්‍රීක ප්‍රතිමාවක් බඳු රුවක්” හිමි වූ කඩවසම් තරුණයෙකි. ඔහු කවුද? ඒ තමා ඇන්.ඇම්!

පාසල් වියේ සිටම ඔහු නීතිය, සාධාරණය, විනය, ගරු කළ තැනැත්තෙකි. තමන්ගේ ජීවිතය නිසි විනයක් ඇතිව පවත්වාගැනීමට පුරැදු පුහුණු වී සිටි ඔහු ඒ නිසාම සිය මිතුරන් අතරත් ප්‍රතිවාදීන් අතරත් සම්භාවනාවට පාත්‍ර වූ තැනැත්තෙකි. නියමිත කලට වේලාවට වැඩ කිරීම ඇන්.ඇම්. ගේ පුරුද්දකි. මොන හෙණ ගෙඩිය පාත්වුවත් තමන් පුරුදු කරගත් දිනයේ කාලසටහනට තමන් යොදාගත් වේලාවට අදාළ කාර්යය සඳහා යාම ඇන්.ඇම්. ගේ දක්නට තිබූ කැපීපෙනෙන ශ්‍රේෂ්ඨ පුරුද්දකි. ඒ ගැන අපූරු මතකයන් රැසක්ම තිබේ.

වඩාත් ප්‍රසිද්ධියට කතාබහට ලක්ව ඇත්තේ ගාමිණී දිසානායකයන් ලංකාවට ටෙස්ට් වරම හිමිකර දුන් බවටය. නමුත් ලංකාවට ටෙස්ට් වරම ලබාදීමට මුල් වූ අඩිතාලම වැටුණේ ඇන්.ඇම්. අතිනි.

ඇන්.ඇම්. ක්‍රිකට් ලෝලියෙකි. ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායමට මුලින් ක්‍රීඩා කළ ඔහු, දෙවනුව ආනන්දයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විය. එකල යුනිවර්සිටි කොලිජිය ලෙස හැඳින්වූ කොළඹ විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායමටද ඇන්.ඇම්. නායකත්වය දුන්නේය. මේ ක්‍රිකට් ලැදියාව සහ පිටියේ විනයගරුක හැදියාව ඔහුගේ ජීවිතය පුරා ජය පරාජය සමව විඳගැනීමේ හැකියාව ගොඩනගා තිබුණි. 1977/ 78 කාලයේ ඇන්.ඇම්. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට පත්ව සිටියේය. ඒ කාලයේ ඔහු වේලාව නොවරදවා සියලු බාධා ගණනකට නොගෙන සිය අරමුණ සඳහා කැපවූ අයුරු ගැන මතකය අවදි කළේ ඇන්.ඇම්. ගේ ඥාති පුත්‍ර මහාචාර්ය තිස්ස විතාරණයන්ය.

“මාමා ඒ කාලයේ හිටියේ අසනීපයෙන්. ඔහුගේ අක්මාවේ රෝගය බරපතළ වූ නිසා ලන්ඩනයට යන්න වුණා. ඔහුත් සමඟ යන්න වූයේ මටයි. ඔහුට ඇඳ විවේකය නියම කරලා වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමානුකූලව ලබාදෙමින් තිබුණේ. ඉතින් දවසක් මම, මාමා නවත්වා ඇති කාමරයට යනකොට ඔහු හොඳට ඇඳ පැළඳගෙන කොහේදෝ යන්න ලකලෑස්ති වෙලා. “මං ඇහුවා මේ මොකද මාමේ, කොහේ යන්නද මේ හදන්නේ කියලා.” එයා කියනවා “අද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලන රැස්වීම. මට ආරාධනාවක් තියනවානේ. මම ඒකට යන්න ඕනෑ. අපිටත් ටෙස්ට් තත්ත්වය ගන්න කතාබහ කරන්න තියනවානේ.” කියලා. ඉතින් ඔහුට පුරුදු පරිදිම වේලාව නොවරදවා මගේ වෛද්‍ය උපදෙස් පැත්තකට දාලා ඔහු එදා රැස්වීමට ගියා. ඒ තමා ඉතින් ඇන්.ඇම්!.”

ඇන්.ඇම්. එන්.සී.සී ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය දැරු කාලයේ සොඳුරු පාලකයකු විය. දේශපාලනයත් ක්‍රිකට් ක්‍රීඩාවත් දෙක එකට අනාගන්නට කටයුතු කළ තැනැත්තකු නොවීය. මේ නිසාම “සාරා කුසලානය කිහිප වතාවක්ම NCC වෙත හිමිකර දීමට ඔහුට හැකියාව ලැබුණි. ඇන්.ඇම්. ක්‍රිකට්වලට මෙන්ම කැමැත්තෙන් සහභාගි වූ අනෙක් ක්‍රීඩාව වූයේ ටෙනිස් ක්‍රීඩාවයි. ඔහු මොන රාජකාරිය තිබ්බත්, ලෝකය කඩාවැටෙනවා කිව්වත්, තමන්ගේ ටෙනිස් වටය ක්‍රීඩා කරන්නට NCC පිටියට නියමිත වේලාවට යන්නට පුරුදුව උන්නේය. මේ නිසා බොහෝ විට ඇන්.ඇම්. ගේ ටෙනිස් තරග වටය පැවැත්වෙන වේලාව මඟහැර දේශපාලන කමිටු රුස්වීම් යොදාගන්නට අනෙක් සමසමාජ නායකයන්ට සිදුවූ බව මහාචාර්ය තිස්ස විතාරණ කියයි. ප්‍රේමසර ඈපාසිංහගේ මතකයේ රැඳුණු එක් අමතක නොවන සිද්ධියක් මෙසේය.

“එදා 1977 මැතිවරණේ. රේඩියෝවෙන් ප්‍රතිඵල අහලා මම හරිම කම්පාවට පත්වුණා. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා යටියන්තොට ආසනේ පැරැදිලා. ඒක අදහාගන්නත් බෑ. එදා හවස මම පුරුදු විදිහට NCC එකට ගියේ හරිම හිතේ අමාරුවෙන්. ටෙනිස් පිටියට මම යනකොට, මෙන්න ඇන්.ඇම්. එයාගේ ක්‍රීඩා හවුල්කාරයා බෙන්ජමින් එක්ක වෙනදා වගේම බොහෝම සතුටෙන් ප්‍රබෝධයෙන් ටෙනිස් වටයක් සෙල්ලම් කරනවා!”

ඇන්.ඇම්. සෙල්ලම් කරලා ඇවිල්ලා වෙනදා වගේම බොහෝම ප්‍රබෝධයකින් යුතුව ජින්ජර් බියර් එකක් බොන්න මටත් කතා කළා. ඉතින් මම, එතැනදී මගේ කණාගාටුව ප්‍රකාශ කරන්න ගත්තා.

“අනේ සර්, මට හරිම කණගාටුයි ඔබතුමාගේ පරාජය ගැන. මං හිතන්නේ රටේම මිනිස්සු කම්පා වෙනවා මේ හිතාගන්න බැරි පරාජය ගැන.” 

ඇන්.ඇම්. මගේ දිහා බලලා හිනාවෙන්ම උත්තර දුන්නා.

“ප්‍රේමසර, අපි ජනතා තීන්දුවට ගරු කරන්න ඉගනගන්න ඕනෑ. අපි ජය පරාජය දෙකම සතුටින් භාරගන්න ඉගනගන්න ඕනෑ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති අපූරැව. මම මේක ඉගනගත්තේ ආනන්දේ පිට්ටනියේ සෙල්ලම් කරද්දී. ඔයා දන්නවාද ඔයාගේ පාසල නාලන්දාව අපිව පැරැද්දුවා මම ආනන්දේ කැප්ටන් හැටියට ඉන්න කොට. හරිම අපූරු වැඩේ කියන්නේ එදා මාව පැරැද්දුවේ ඒ.ජේ.එස්. පෙරේරා. යටියන්තොට දී අද මාව පැරැද්දුවේ තවත් පෙරේරා කෙනෙක්. වින්සන්ට් පෙරේරා! ඔන්න ඔහොමයි දේශපාලන සෙල්ලමේ හැටි.” 

ඇන් ඇම්. එහෙම කියලා හයියෙන් හිනාවුණා. නියම මහත්මයෙක්. ක්‍රීඩකයෙක් හැටියට ඔහු ජනතා තීන්දුව පිළිගත්තා. තමන්ගේ වැඩ රාජකාරි අවුලට පත්කරගත්තේ නෑ. මේ නොසැලෙන බව, හැම බැරෑරුම් දෙයකින්ම විනෝදය ඉස්මතු කරගන්න එක ඔහුගේ පුරුද්දක් වෙලා තිබුණා.” ඒ තමා ඇන්.ඇම්!

“පස්සෙත් පසු කාලෙක මම යුනිවර්සිටි ඉන්න අතරේ ලේක් හවුසියේ වැඩ කළා. ඔන්න ඔය එක දවසක ඕවල් පිට්ටනියේ ඉඳලා මාව පුරුදු පරිදි එයාගේ සුප්‍රසිද්ධ EL 1932 මොරිස්මයිනර් වාහනේ දාගන ලේක්හවුසිය දිහාට ආවා ප්‍රේමදාස මහත්තයා. ඒ කාලේ එයා කොළඹ නගර සභාවේ මැම්බර්. ඉතින් සුචරිතය දිහාට යන අතරේ මම ප්‍රේමදාස මහත්තයාගෙන් ඇහුවා මෙහෙම.

“ඔබතුමාගේ, හිත්ගත්ත, ඔබතුමා වැඩියෙන්ම ගරු කරන, පිළිගන්න, අනුගමනය කරන දේශපාලනඥයා කවුද?”

ඇන්.ඇම්!

ප්‍රේමදාස මහත්තයා එයාට පුරුදු හිනාවෙන් දෙවරක් නොසිතාම උත්තර දුන්නා.

“ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා තමා මගේ පරමාදර්ශී චරිතය. ඇත්තටම මං ඔහුව අනුගමනය කරනවා. ඔහුට ගරු කරනවා. ඔහු තමා ප්‍රතිපත්තිගරුක බව අතින් විශිෂ්ටතම පුද්ගලයා. ඒ අතරින් අපි හැමෝටම හොඳම පරමාදර්ශී චරිතය.”

ප්‍රේමදාස මහතා ඒ වන විට ප්‍රතිවාදී කණ්ඩායමක කටයුතු කළත් ඇන්.ඇම්. ඔහුගේ චාම් නිහතමානී අවංක ගතිගුණවලින් මේ සියල්ලන්ගේම සිත් දිනාගන තිබුණි. මාහාචාර්ය තිස්ස විතාරණ මතකයට නංවන්නේ ඒ කාලයේ ඇන්.ඇම්. කිසිදු විටෙක තම වාද විවාදවලදී පරුෂ වචනයෙන් හෝ අන් තැනැත්තන්ගේ පෞද්ගලික ජීවිතයට පරිභව වන හෝ වචන කතා නොකළ බවයි.

ඔහු හුරුපුරුදු කරගන සිටියේ තර්කානුකූලව කරුණු කාරණා සහිතව ප්‍රතිවාදී මතය බිඳහෙලීමටය. වාද විවාද අවසන ඔහු මේ සියලු දෙනා සමඟ සුහද සාමීචියට එක්වූයේ සුපුරුදු ආකර්ෂණීය සිනාව පාමිනි. එවන් විටෙක ඔවුන්ගේ සිත් දිනාගත් හොඳම හිතවතා වූයේ කවුද? ඒ තමා, ඇන්.ඇම්!

ඇන්.ඇම්. සතුව තිබූ තවත් අපූරු පුරුද්දක් වූයේ උදෑසනින්ම නැඟිට ව්‍යායාම ගැනීමයි. මහාචාර්ය තිස්ස විතාරණ මතකයට නංවන්නේ ඇන්.ඇම්. නිතිපතා උදෑසන ව්‍යායාම පන්තිය නම් කිසිදා අමතක නොකළ බවය. එහිදී ඇන්.ඇම්. පුරුද්දක් වශයෙන් යෝග ව්‍යායාම මාලාවක් ද අනුගමනය කළේලු! මේ යෝග ව්‍යායාම පුරුද්ද ගැන අපූරු අත්දැකීමකට මුහුණ දුන්නේ ඇන්.ඇම්. ගේ දේශපාලන ප්‍රතිවාදි සගයකු මෙන්ම සාමාන්‍ය ජීවිතයේ ද හිතවතකු වන ඩිව් ගුණසේකරයන්ය.
“අපිට සිද්ධ වුණා බෙල්ග්‍රේඩ්වල තරුණ සමුළුවකට යන්න. ඇන්.ඇම්. එක්කම තමා මාත් ගියේ. බෙල්ග්‍රේඩ් ගුවන් තොටුපලට ආවාම හරි අකරතැබ්බක් වෙලා තිබ්බේ. අපේ ගමන් මළු දාලා නෑ. ඉතින් ඒවා නැවත එනකන් දවස් තුනක් විතර ඇඳගෙන ගිය ඇඳුම් කැඩුම්වලින්ම තමා ඉන්ට වුණේ. හැබැයි අපට නොමිලේ කාමර වෙන් කරලා තිබුණා. බෙල්ග්‍රේඩ් ගියදාට පහුවෙනිදා උදේ මං ඇන්.ඇම්. ගේ කාමරයට ගියා. තට්ටුවක් දොරට දාලා ඇතුළට එබුණා. ඇන්.ඇම්. නෑ. ඇඳෙත් නෑ. ඉස්සරහා කෑල්ලෙත් නෑ. බැත්රුම් පැත්තෙත් නෑ. මට දැන් හරිම ප්‍රශ්නයක්. කෝකටත් කියලා මම බැල්කනි කෑල්ලට එබිලා බැලුවා. මෙන්න එතන ඔළුවෙන් හිටගෙන, ඇන්.ඇම්! මං එතකොට දැනන් හිටියේ නෑ ඇන්.ඇම්. ගේ යෝග ව්‍යායාම ගැනීමේ අමුතු පුරුද්ද ගැන.”

නිසි වේලාවට කළ යුතු නියමිත රාජකාරිය නොපිරිහෙලා ඉටු කිරීම ඇන්.ඇම් ගේ පුරුද්දකි. 1940 වසරේ ජූනි මස 01 වැනිදා රටේ සමසමාජ නායකයන් හිර බාරයට ගනු ලැබිණි. පසුව විශේෂ ආරක්ෂාව සඳහා ඔවුන් රඳවා තැබුවේ කලින් මිලිටරි හිරකූඩුව ලෙස භාවිතා කළ මහනුවර රජ වීදියේ ගොඩනැගිල්ලකය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සමඟ එඩ්මන්ඩ් සමරක්කොඩි ද මේ සිරකරු පිරිස වූහ. මහාචාර්ය තිස්ස විතාරණ ඒ වන විට වයස හත අටක කොලුගැටයෙකි. ඇන්.ඇම්. ගේ සහෝදරිය වූ සිය අම්මාත් සමඟ ඇන්.ඇම්. මාමා බලන්නට ඔහු නුවර ගිය මතක අපූරුය.

“ඒ දවස්වල හිරේ ඉන්නකොට එතුමා ඇතුළු දේශපාලන නායකයන්ට පොල් ලෙලි තලන්නට නියම කරලා තිබුණා. දවසට නියමිත පොල් ලෙලි ප්‍රමාණයක් හැමදෙනාම තලන්න ඕනෑ. අපි එතුමා බලන්න ගිහින් රජ වීදියේ තිබ්බ ගොඩනැගිල්ලට ඇතුළු වුණා. එතකොට ඔන්න ඒ අය කාමරයට ආවා විතරයි. මම ඉතින් පොඩි හාදයානේ. වටේමට හැරි හැරී බැලුවත් මට මාමාව නම් අඳුනගන්න බැරිවුණා. මොකද මේ ඔක්කොගෙම රැවුල් මුහුණ පුරා වැවිලා. ඉතින් මම විපරම් කරලා බලලා බලලා බැරිම තැන ඇහුවා, කෝ මාමා! කියලා. කට්ටිය හිනාවෙන්න ගත්තා. මොකද දන්නවාද කාරණේ. මේ අය එළියේ ඉන්න තමන්ට නියමිත කාලේ ඉවර වුණාම කාමරයට ඇවිත් තිබ්බේ. හැබැයි මාමා ආවේ නෑ. එයා කාලය ගියත් තමන්ට දවසට නියම කරලා තිබ්බ පොල් ලෙලි ප්‍රමාණය තලලා තමා කාමරයට ආවේ. අපිට ඉතින් එයා එනකම් හවස් වෙනකම්ම බලා ඉන්න වුණා. එදා වගේම එයා තමන්ට භාර දුන්න වැඩේ නිවැරදිව සම්පූර්ණයෙන් ඉෂ්ට කරනකම් විවේකයක් නොගන්න පුරුදු වෙලා හිටියේ. ඒක පුදුම කැපවීමක්.” ඉතින්, ඒ තමා ඇන්.ඇම්!

හොඳ ක්‍රීඩකයකු වූ ආචාර්ය ඇන්.ඇම්. මෝටර් රිය වේගවත්ව ධාවනයටද ඇල්මක් දැක්වූ තැනැත්තෙකි. නමුත් ඔහුට තමන්ගේම කියා වාහනයක් ලැබුණේ බොහෝ කාලයකට පසුවය. පර්ජෝ රථයක් වූ මේ වාහනයේ නැගී යටියන්තොට, රුවන්වැල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශවල විදුලි වේගයෙන් ධාවනය කිරීමට ඇන්.ඇම්. දැඩි කැමැත්තක් දැක්වීය. මේ යන අතර පාරේ යන ගැමියන්ද වාහනයට පටවා ගත්තේ ඔවුන් මේ අස්ස දිවිල්ල ගැන පණබයේ ගැහෙද්දීය. ඇන්.ඇම්.ගේ මේ රේස් ධාවන පුරුද්ද පසුව ඔහු ඇතුළු පිරිස ඉන්දියාවට රටින් පලා යාමේදීද උපකාරී වූ බව හිරකාරයන් වූ සමසමාජ රත්තන් පිරිසට හිරෙන් පනින්නට උපකාර වූ ඔවුන්ගේ ගඩ්වරයා වන රිටියෝ මයිකල් සොලමන් විස්තර කර තිබේ.

“අප පිරිස රැගත් කාරෙක කොළඹින් පිටත් වුණේ රෑ 9ටය. මිල්ටන් ටික දුරක් රථය එලවා යාමෙන් පසු ඇන්.ඇම්.ට එලවීම බාරදී මඳක් නිදා ගත්තේය. ඇන්.ඇම්.ගේ කාර් එලැවීමේ දක්ෂකම මා මුලින්ම දැනගත්තේ එදාය. බල්ලෙකු පවා නැති පාළු පාර දිගේ කාරෙක ගමන් ගත්තේ විදුලි වේගයෙනි.” මුල් කාලයේ මෙලෙස රේස් ධාවනයක යෙදුනත් පසුව ඇන්.ඇම්. ඒ පුරුද්ද අතහැර බුලත්කොහුපිටියේ ජෝශප්ට සිය රථයේ සුක්කානම භාර දී තිබේ.

ඇන්.ඇම්. හොඳ රසික හදවතක් තිබූ තැනැත්තෙකි. ඔහු සම්භාව්‍ය සංගීතය ප්‍රියකළ තැනැත්තෙකි. බටහිර කළු ජාතික ගායකයකු වූ පෝල් රොබිසන්ගේ තැටි එකතුවක් ඔහු සතුවිය. මහාචාර්ය තිස්ස විතාරණ මතකයට නංවන්නේ බාරදූර ගැටලුවක් පැමිණි විට ඒ ගැන කල්පනා කරන්නට අධාරයක් හැටියට මේ සංගීතමය තැටිවලට සවන්දීම ඇන්.ඇම්.ගේ පුරැද්දක්ව තිබූ බවය.

ඇන්.ඇම්. අධ්‍යාපනය ලැබීම පුරුද්දක් කරගත් තැනැත්තෙකි. හැමවිටම අලුත් දෙයක් ඉගෙනීම ඔහුගේ පිළිවෙත විය. මේ නිසාම පසුකාලීනව උසස් අධ්‍යාපනය සඳහා ලන්ඩන් ගිය ඇන්.ඇම්. සුප්‍රකට ආර්ථික විශේෂඥ මහාචාර්ය හැරල්ඩ් ලැස්කි යටතේ ඉගෙනුම ලැබීය. නිල් ඇස් ඇති මේ කඩවසම් තරුණයා ලැස්කිගේ සිත්ගත්ම සිසුවා විය. මහාචාර්ය ලැස්කි අනාවැකියක් මෙන් කියා තිබුණේ. “ඇන්.ඇම්. එංගලන්තයේ උපන්නේ නම් කවදා හරි දවසක කම්කරු පක්ෂයෙන් අගමැති වෙන්න තිබ්බා. නැත්නම් මුදල් ඇමැති වෙන්න තිබ්බා” යනුවෙනි. පසුව මේ දෙවනුව කී කරුණ සත්‍ය වූයේ ඔහු මෙරට එතෙක් මෙතෙක් බිහිවූ පරමාර්ශී මුදල් ඇමැති බවට පත්වීමෙනි. ඉගෙනීම පුරුද්දක් කරගත් ඇන්.ඇම්. ලන්ඩනයේදී ආර්ථිකය ගැන මෙන්ම විද්‍යාව ගැන ද වෙන වෙනම අධ්‍යනය කර ආචාර්ය උපාධි දෙකක් ලබා ගත්තේය. ඔහු පසුකාලීනව “The Economist” සඟරාව සතිපතා ලංකාවට ගෙන්වා ගත්තේ ලන්ඩනයේදී ඇති කරගත් පුරුද්දකට අනුවය. 

මහාචාර්ය ලැස්කිගේ දේශන මෙන්ම ඔහුගේ ඉරිදා දින තේපැන් සංග්‍රහයන්ට අනිවාර්යයෙන්ම සහභාගී වීමේ පුරුද්දක් ඇන්.ඇම්.ට තිබුණි. එතැනදී ඔහු විවිධ විෂයය ගැන නිදහසේ කතාබහ කරයි. ඇන්.ඇම්.ට ක්‍රිෂ්ණා මෙනන් හමුවෙන්නේද මෙවන් තේ සාදයකදීය. ඇන්.ඇම්. ගේ හිත තුළ සමාජවාදී  බීජ මුල්වරට රෝපණය වන්නේද මහාචාර්ය ලැස්කිගේ මේ තේපැන් සාදය වෙත යාමේ පුරුද්දට පින්සිදු වන්නටය. ඉන්දියානු ලීගයට එක්වී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නිදහස පතා සටන් කරන්නට ඇන්.ඇම්. පන්නරය ලබන්නේ මෙතැනදීය.

ඇන්.ඇම්. හොඳ නළුවෙකි. ආනන්දයෙන් සරසවියට තේරුණු පසුව ගතකරන්නට වූ මාස පහ හයක ගන්ධබ්බ කාලය තුළ ඔහු ලංකාවේ මුල්ම චිත්‍රපටය ලෙස සැලකිය යුතු “රාජකීය වික්‍රමයේ” රඟපෑවේය. වයස අවුරුදු 20ක් වූ මේ කඩවසම් තරුණයා දුටුමනින්ම ඔහු ප්‍රධාන චරිතයට තෝරා ගන්නට බම්බලපිටියේ ටී.ඒ.ජේ. නුර්බායි තීන්දු කළේය. චිත්‍රපටය රූගත කර අවසන් වනවිට විශ්වවිද්‍යාලයට පිවිසීමට ඇන්.ඇම්.ට කාලය එලැඹ තිබුණි. මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය නොවූ නමුත් සිංගප්පූරුවේ ප්‍රදර්ශනය විය. පසුව එය කිසියම් අබිරහස් ක්‍රමයකින් ගින්නට බිලිවිය. මේ චිත්‍රපටය රඟපාන සමය සාක්කුව හිඳී සිටි ඇන්.ඇම්.ට ජිම්කානා ලොතරුයියක් ඇදුණා හා සමාන වූයේලු. ඔහු එම රඟපෑමට මාස් පතා ලැබුණු ඒ කාලේ හැටියට ලොකු මුදලක් වූ රුපියල් සියය කෙලින්ම රැගෙන ගොස් අම්මාට බාරදීම පුරුද්දක් කරගන සිටියේය. අම්මාගේ දෑසේ නැගෙන සතුටු කඳුළු බලන්නට ආසාවෙන්ය.

විශ්වවිද්‍යාලයේදීද ඔහු රඟපෑමේ පුරුද්ද අත්හැරියේ නැත. ආචාර්ය ගුණපාල මලලසේකරයන් විසින් නිෂ්පාදනය කළ ආචාර්ය ඕ.එච්.ඩී.එස්. විජේසේකර රචනා කළ (නගරයෙන් කෙතට) නාට්‍යයේ ප්‍රධාන චරිතය ඇන්.ඇම්.ට හිමිවිය. ඇත්තෙන්ම ඔහු බටහිර තිරයේ එකල ජනප්‍රිය තරුවක් වූ මාලන් බ්‍රැන්ඩ්‍රෝ වැනි රූපකායකින් හෙබි ජනකාන්ත බවක් දිනා සිටියේය. මේ රඟපෑමේ පුරුද්ද සැබෑ ජීවන කරළියේදී ඔහුගේ ජීවිතය බේරාගන්නට උපකාර වූයේය. හිරෙන් පැන ඉන්දියාවේ වහන් වී සිටියදීය. ලංකාවේ මෙන්ම ඉන්දියාවේ රහස් පොලිසිය ඇන්.ඇම්. සොයා රට පෙරළද්දී ඇන්.ඇම්. ඔවුන්ගේ ඇස් පනාපිටම (ඩොක්ටර් විශ්වනාදන්) නමින් ක්‍රෙඩිට් බෑන්ක් ඔෆ් ඉන්ඩියා ආයතනයේ ප්‍රබල තනතුරක් දැරීය. ඔහු විසින් ලද මුදල් සිය පක්ෂයේ අනෙක් සගයන් හට වියදමට ලබා දුන්නේය.

අතේ තියෙන දෙයක් නැති බැරි අයට දෙවරක් නොසිතා ලබාදීම ඇන්.ඇම්.ගේ පිළිවෙතයි. මැලේරියා වසංගත සමයේ එදා වේල නැතිව අසරණව සිටි යටියන්තොට රැවන්වැල්ල අවිස්සාවේල්ල පැත්තේ කුලයෙන්ද පහත්කොට පහත් අඩියට දමා සිටි මිනිසුන් සොයා ආහාර ද්‍රව්‍ය පොදි බැඳ යන්නට ඔහු මෙහෙයවා තිබුණේ ඒ පරිත්‍යාගශීලීබවය. ඔහු පරිප්පු, කරවල, හාල්, පොල් රැගෙන මේ මිනිසුන් අතරට ගොස් බෙදාහදා දී ඔවුන්ගේම පවුලේ අයකු මෙන් හිතවත් වූයේය. එදා ඔහු ගොඩ නගාගත් අව්‍යාජ ජනකාන්ත බව පසුව (පරිප්පු මහත්තයා) යන ආදර වදනින් අමතන්නට තරම් ගැමියන් ඔහුට සමීප කරවූයේය. පසුකාලීනව ඡන්ද වැඩ සඳහා ඇන් ඇම් වෙනුවට යද්දී ඒ ප්‍රදේශවල ගැමියෝ “හා! පරිප්පු මහත්තයගේ පුතා” යැයි කියමින් තමන්ගේ පිටට තට්ටු කරන්නට තරම් ලෙංගතු වූ බව මහාචාර්ය තිස්ස විතාරණ කියයි. ඇන්.ඇම් දිනපතා නොකඩවා පවත්වාගන ආ තවත් පුරුද්දක් විය. ඒ හැමදාම රාත්‍රියේ තමන්ගේ එදිනෙදා වියහියදම් පොතක සටහන් කර අය වැය ලේඛනයක් තබාගැනීමය. පසු කාලයේ දී රටේ විශිෂ්ටතම අය වැය ලේඛනය හදන්නට ඔහුට මේ පුරුද්ද උපකාරී වන්නට ඇත.

ඇන්.ඇම්. මුලින් ටයිකෝට් ඇන්දත් පසුව රතු කමිසය උඩින් දමා සැහැල්ලු ලෙස අඳින්නට පුරුදු විය. නමුත් ඔහු ගෙදරදොරේ නිරතුරුවම සිටියේ සරම සහ බැනියම ඇඳලාය. ඇන්.ඇම්. සතු නොකඩවා පවත්වාගෙන ආ තවත් පුරුද්දක් වූයේ පාන්දර බුදුන් වැඳීමයි. කාමරයේ කුඩා බුදු පිළිමයක් තබා එයට මල්පහන් පිදූ බව කියන්නේ මහාචාර්ය තිස්ස විතාරණය. පසුකාලීනව ඇන්.ඇම්. බෞද්ධ විරෝධී ආගමික විරෝධී පල්ලි පන්සල් කඩන රත්තෙකු ලෙසට නැගුණු දෝෂාරෝපණය පදනම් විරහිත බව ඔහු කියයි. සැමදා පාන්දර බුදුන් වැඳ යෝග අභ්‍යාසයේ යෙදෙන ඇන්.ඇම්.ගේ උදාසන ආහාර මේසයට එක්වන්නට නිරතුරුවම තමන්ට සිදුවූ බව මහාචාර්ය තිස්ස විතාරණ මතකයට නගයි. ඇන්.ඇම්. ඉස්සන් කන්නට ඉතා ප්‍රිය වූ අතර මුහුදු ආහාරවලට වඩා කැමැති වූවෙකි. මේ උදේ ආහාර මේසයට තිස්ස විතාරණ ඥාති පුත්‍රයා හැරුණු විට අනාරාධනාව පැමිණි තවත් අමුත්තෙක්ද එක්ව තිබුණි. රටේ තොටේ විත්ති, දේශපාලන විග්‍රහ ආර්ථික න්‍යායය ගැන දේශන අසමින් ඇන්.ඇම්.ගේ මේසය මතටම නැග ඔහුගේ පිඟානෙන්ම ආහාර ගන්නට මේ සුවිශේෂී අමුත්තාට ඉඩ ලැබී තිබුණි. ඒ දැන් කොටා පාරේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානය පිහිටා ඇති තැන ඇන්.ඇම්. ගේ නිවෙස අසල ගසක විසූ ලේනෙකි. ඒ සමගම ඇන්.ඇම්.ගේ ප්‍රියතම සුනඛයන්ද උදා සාදයට සහභාගී වූහ.

අපූරු පුරුදු රැසක් තිබූ ඇන්.ඇම්. පුරුදු අත්හරින්නටද පසුබට නොවූ අයෙකි. කාලාන්තරයක් භාවිතා වූ සිගරුට් ඉරීමේ පුරුද්ද ඔහු වහා අත්හැර දැම්මේය. ඉඳහිට ගත් මධුපානයද මුළුමනින්ම අත්හැරියේය. ඒ ඔහුගේ ස්ථිරසාර ගතිගුණයේ ස්වභාවයයි. ඉතින් ඒ තමා ඇන්.ඇම්!

♦ සුගත් පී. කුලතුංගආරච්චි  

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00