2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ප්‍රසිද්ධ නිරූපිකාවකටත් හිඹුටානේ සාදුගෙන් මතුරපු සීනි

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 960

දෑසින් දකින, දෑසට පෙනෙන සීමාවෙන් එහා අනන්තය පිරික්සීම පියවි ඇසේ යථාර්ථය තුළ දුෂ්කරය. එහෙත් ඇසේ ත්‍රිමාණත්වයට හසුනොවන භව සහ බලවේග, මේ විශ්වයේ අනන්තවත් වග පිළිගන්නට හමුව ඇති සාක්ෂි ද අනල්පය. ඇසට නොපෙනෙන ලෝකයක් මේ මිහිතලය මත පවතින බැව් ගැඹුරින් බෞද්ධ දර්ශනය හැදෑරීමේදීද පසක් කරගත හැකි සත්‍යයකි. විඥානවාදීන් සහ භෞතිකවාදීන් ඇසට පෙනෙන ලෝකය හා ඇසට නොපෙනෙන ලෝකය අරභයා තම සංකල්පමය අරගලය දියත් කළේ අද ඊයෙක නොවේ. ඇසට පෙනෙන ලෝකයත්, ඇසට නොපෙනෙන ලෝකයත් ප්‍රස්තුතයක් කරගෙන විඥානවාදීන් හා භෞතිකවාදීන් සිද්ධාන්තමය අරගලයක යෙදෙද්දී දෑසින් දැක දෙසවනින් අසා ප්‍රත්‍යක්ෂ කරගත් කරුණු අපි මෙසේ ගෙනහැර දක්වමු.

ඉතා සංවේදී දුරකථන ඇමතුම් රැසකට ඉකුත් සතියේ අපි කන්දුන්නෙමු. ජීවිතයේ නානාධිධ ගැටලු ඉදිරිපත් කරමින් ඒ කතා කළ හැම කෙනෙක්ම විමසා සිටියේ හිඹුටානේ සාදු වෙතින් ඔවුන්ට පිළිසරණක් ලබාගත හැකිද යන කාරණය පිළිබඳවයි. පැමිණි පුද්ගලයාගේ නම පැමිණි ප්‍රදේශය හෝ කාරණය කියමින් කෙවිටක් දිගු කර පත්තිනි දේවාලය තුළට අඬ ගසා හිඹුටානේ සාදු තමන් පත්තිනි මෑණියන්ගෙන් ලද වරම ජීවිතයේ නානාවිධ ගැටලු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සුබසිද්ධිය උදාකරලීමේ පරමාර්ථය පෙරදැරිව ඔවුන් විෂයෙහි ඉතා අවංක සහ මානුෂීය ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නට යොදාගන්නා බව අපි මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත්තෙමු. එහෙයින් හිඹුටානේ සාදු පත්තිනි වරමින් ලද විස්මිත හැකියාව ගැන අපි ඔබට සති ගණනක් මුළුල්ලේ සත්‍ය සිද්ධීන් ඇසුරෙන්ම කරුණු පැහැදුවෙමු.

මිනීමැරුම්, සොරකම් ගැන අසන්නට ගියවිට ඝාතකයන්ගේ සොරුන්ගේ දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක මෙන්ම ඔවුන් සැඟවී සිටින හෝ සොරකමකදී නම් හොරකම් කළ භාණ්ඩවලට සිදුවූ දේ මෙන්ම කොඩිවිනයකදී නම් කොඩිවිනය සිදුකළ තැනැත්තන්ගේ නම් ගම් ඊට උදවු දුන් අයගේ නම් ගම් ද රෝගයක් නම් ඒ රෝගය ගැන මෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වෛද්‍යවරයාගේ නම ද පවුල් බිඳී යන අවස්ථාවලදී හේතුව සාධාරණනම් වශී බන්ධන ද නොගැලපෙන පසුවට අයහපත උදාකරන ප්‍රේම සබඳතා කඩාබිඳ දැමීම ද ඉඩකඩම්, නඩුහබ මෙන්ම විභාග ජය ආදියට ද අවශ්‍ය සියලු පුද පූජා පිළිවෙත් කරන පත්තිනි මෑණියන්ගෙන් වරම් ලද හිඹුටානේ සාදු ගැන 2018 ජනවාරි මස මුල් සතියේ සිට අප ලියූ ලිපි දේශය ඒ කලාප ඔස්සේ ද www.deshaya.lk අපේ වෙබ් අඩවිය ඔස්සේ ද යළි ඔබට කියවිය හැක.

කහවත්තේ ඝාතන රැල්ල ඔබට අමතකව තිබෙන්නට හැටියක් නැත. එකල මුළු කහවත්තම භීතියෙන් ඇළලවූ ඒ ඝාතන රැල්ල සිදුවෙද්දී එසේ අබිරහස් අයුරින් මියගිය කාන්තාවන්ගේ පවුල්වල කිහිපදෙනෙක්ම නොයෙක් වාරවලදී ඝාතකයා කවුද? ඝාතනයේ හේතුව කුමක්ද? යන්න පැහැදිලි කරගන්නට හිඹුටානේ සාදු වෙත පැමිණියහ.

වරක් කහවත්තේ කාන්තාවක් පුළුස්සා මරාදමා තිබුණා. ඇය ගැන අසන්නට ඇගේ පවුලේ අය ආවම මම ඇයව ගෙන්වුවා. මීට පෙර වතාවත්වලත් මා සඳහන් කළ පරිදි මනුෂ්‍ය භවයක නොඉපදී යක්ෂ, ප්‍රේත, භූත, කුම්භාණ්ඩ භවයන්වල ඉපදී ඇත්නම් ඒ අය ගෙන්වන්න පුළුවන්.

ඇය කතා කර තමන් පුළුස්සා මරාදැමූ පුද්ගලයාගේ නම කීවා. ඒ වගේම අර ඝාතන රැල්ල අර විදිහට යද්දී සමහර අය ඒ ඝාතන රැල්ල පිටදාලා තමන්ගේ පෞද්ගලික පලිගැනීම් උදෙසාත් ඝාතන සිදුකර තිබුණා. අර මළගිය ප්‍රාණකාරයා ඇවිත් තමන් ඝාතනය කළ පුද්ගලයා සහ ඝාතනය කළ ආකාරය ඔක්කොම කීවා. එහෙම කියද්දි පැහැදිලි වුණා මෙයත් පෞද්ගලික කෝන්තරයක් පිරිමහගන්න කළ ඝාතනයක් කියලා. ඒ ඝාතකයා මීට පෙර මනුෂ්‍ය ඝාතන දෙක තුනක් කළ කෙනෙක් බවත් පසුව හෙළිදරව් වී තිබුණා.

වරක් පුද්ගලයෙක් හිඹුටානේ සාදු හමුවන්නට පැමිණ සිටියේය.

මුදල් වගයක් නැතිවෙලා ඒ ගැන අහන්න පිටිපන ප්‍රදේශයේ ඉඳන් ආව එකා වරෙන්... කෙවිට දිගුකර හිඹුටානේ සාදු අඬගසන විට අදාළ පුද්ගලයා හිඹුටානේ සාදු අබිමුවට පැමිණියේය.

(නමක් සඳහන් කරමින්) උඹ බබා කියලා කතා කරන උඹ ළඟින් ඉන්න එකෙක් ඉන්නවා නේද?

“ඔව් සාදු”

“ඌ උඹේ සල්ලි වගයක් අරන් පැනලා ගිහින්. දැන් හොයාගන්න විදිහක් නැතුව නේද ඉන්නෙ. ඌ ගිය ආතක් පාතක් උඹ දන්නෙත් නෑ නේද?”

“නෑ සාදු”

“ඌ දැන් ඉන්නවා මෙන්න මේ ලිපිනයේ.” එසේ පවසමින් හිඹුටානේ සාදු සල්ලි වංචාකර ඔහු සැඟවී සිටින ලිපිනය කීවේය.

“ඌ උඹ ළඟ කලින් වැඩ කරලා මීට කාලයකට ඉස්සර උඹ ළඟින් අයින්වෙලා හිටපු එකෙක් නේද? ඇයි උඹ විශ්වාස කරලා ඔය විදිහට සල්ලි දුන්නේ. පලයන් දැන් ඔය මම කීව ලිපිනයේ ඒ හොරා හැංගිලා ඉන්නවා. ගිහින් අල්ලා ගනින්...”
“ඒ පුද්ගලයා හොරා අල්ලගෙන මුදල් ලබාගෙන යළිත් සාදු හම්බවෙන්න ආවද?”

“මම කරපු කියපු දේවල් මම දන්නේ ඒ අය ඇවිත් මම කියපු දේවල් සහ කරන්න බව කී වත්පිළිවෙත් පූජා ගැන මම ආරූඪයෙන් තොරව සිටින වෙලාවට කියන සිද්ධි නිසා තමයි. හුඟාක් අය නැවත මා හමුවට ඇවිත් ඒ දේවල් කියනවා.‍ ඒ පුද්ගලයා මම කීව ලිපිනය හොයාගෙන ගිහින් අර පුද්ගලයා අල්ලාගෙන තිබුණා. පසුව මුදල් ලබාගත් බවත් කීවා.

මම කාගෙන්වත් පුදපූජා ඉල්ලන්නෙවත් බාරගන්නෙවත් නෑ. ඒක තමන්ගේ පීඩාකාරී ප්‍රශ්නවලින් සහන සැලසුණාම හුඟාක් අය නැවත පැමිණ දෙවියන්ට පුදපූජා තියනවා. ඒක ඒ අයගේ සතුට සහ විශ්වාසය. මගේ ප්‍රාර්ථනාව මා ලද පත්තිනි වරමින් ඒ අයට සහනයක් සෙතක් සැලසීම පමණයි.

හුඟාක් අය පැමිණ මා සලසා දුන් සහනය වෙනුවෙන් පූජාවක් ලෙස මුදල් දෙන්න යද්දී මම ඒ හැමදෙනාටම කියන්නේ මට සල්ලි එපා, මම දුප්පත් අසරණ දරුවන්ට පාසල් පොත් උපකරණ ආදිය දීමෙන් ඒ දරුවන්ට උදවු කරනවා. ඔබට හැකිනම් ඒ දරුවන් වෙනුවෙන් පොත් පැන්සල් ටිකක් ගෙනත් දෙන්න කියලා. ඉගෙන ගන්න දුප්පත් දරුවන්ට උදවු කරන එක ලොකු පිනක්. මම මා ළඟට එන මිනිසුන්ට කියන්නෙ මට ඔබෙන් කිසිදෙයක් එපා, ඔබට හැකිනම් දුප්පත් අසරණ දරුවන්ට දෙන්න පැන්සලක් හරි පොතක් හරි දෙන්න කියලා. මම ඒ දරුවන්ට උදවු කරන්නේ හරිම ප්‍රසාද හිතකින්.

“උඹ ආවේ උඹේ ෆෝන් එක නැතිවෙලා නේද?” නම කියා කතා කරමින් හිඹුටානේ සාදු විමසුවේ තරුණයකුගෙනි.

“ඔව් සාදු”

“උඹේ ගෙට අල්ලපු ගෙදර එකාගේ නම සඳුන් නේද? උගේ හැඩරුව මෙන්න මෙහෙමයි නේද?

(හැඩරුව ස්වභාවය විස්තර කළේය.) 

ඔව් සාදු

“අන්න උඹේ ෆෝන් එක ඌ ගාව. ගිහින් අරගනින්...”

හිඹුටානේ සාදු පවසා අහවර වූ පසු ඒ තරුණයා පැවසුවේ තමන්ගේ අල්ලපු ගෙදර සාදු කීව විදිහේ නම තියෙන ඒ හැඩරුවක් තියෙන මිනිහෙක් ඉන්නවා. තමන්ගේ වාරය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් සිටින සෙසු පිරිස දෙස බලමින් තරුණයා පැවසුවේය.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රසිද්ධ රූමත් නිරූපිකාවක් මෑත දිනක හිඹුටානේ සාදු මුණගැහෙන්නට පැමිණ සිටියාය.

උඹ බඳින්න හිතන් ඉන්න එකා දැන් උඹව ටිකක් මඟහරිනවා කියලා හිතෙනවා නේද? උඹ ආවේ මේ මිනිහාව හදාගෙන උඹට ඒ මිනිහව කසාද බඳින්න කැමති කරවාගන්න මොකක්හරි කරගන්න නේද?

ඇයට ඇය පැමිණි කාරණය හරියටම සඳහන් කරමින් හිඹුටානේ සාදු ඇගේ අවශ්‍යතාවය තවදුරටත් පැහැදිලි කළේය.

උඹ යාළුවෙලා ඉන්නෙත් ජනප්‍රිය එකෙක් එක්ක. උඹ ඉන්න ක්ෂේත්‍රයෙම ඉන්න එකෙක්. මිනිහා ඉන්නෙ උඹත් එක්ක විතරක් නෙවෙයි. ඌට තව ගෑනු ඉන්නවා. ඌ හින්දා උඹ කොහොමත් අමාරැවේ වැටිලා ඉවරයි. මේ ළඟදී උඹ (කොළඹට තදාසන්න ප්‍රදේශයක නම කියමින්) ප්‍රදේශයේ අහවල් තැනට, (ස්ථානයක් සඳහන් කරමින්) ඒ තැනට ගියේ ඌ නිසා උඹට වෙච්ච කරදරේකින් ගැලවෙන්න. (ක්‍රියාවක් සඳහන් කරමින්) ඒක කරගන්න නේද?

“ඔව් සාදු...” ඇය එය පිළිගත්තාය.

“දැන් උඹට ඕන ඒ මිනිහව බඳින්නනෙ. මම උඹට සීනි මතුරලා දෙන්නම්. ඒක ඒ මිනිහට කන්න දීපන්.”

වශී බන්ධන කරද්දී එය ඇඟට පත්තියම් වෙනතෙක් පරිස්සම් කරගත යුතු වුවත් වශී බන්ධනයක් කර එය කව්වන්නේ කන්නට දෙන පුද්ගලයාට ඒ බවක් නොකියා වන බැවින් ඔහුට මේ ආකාරයෙන් පරිස්සම් වන්නයැයි කියා කියන්නට විදිහක් නැත. එහෙත් එසේ නොවුණහොත් ඒ වශී බන්ධනය හරහා අපේක්ෂිත ප්‍රතිඵල මඟහැරී යන්නට පුළුවන. ඒ පිළිබඳව අපි ඉදිරියේදී වෙනමම පරිච්ඡේදයක් ඔස්සේ කතා කරමු. 

“උඹ ඒ මිනිහවත් මෙතෙන්ට එක්ක එනවනම් හොඳයි.”

ඔහු හිඹුටානේ සාදු සතු පත්තිනි වරමෙන් ලද ශක්තිය විශ්වාස කරන්නෙකු නොවුණත් ඇය කෙසේ හෝ වරක් ඔහු හිඹුටානේ සාදු වෙත කැටුව ආවේය.

හිඹුටානේ සාදු ඒ කඩවසම් කලාකරුවාට කතා කළේ ඔහුගේ නම කියමිනි.

උඹ මේ ගෑනිව බඳින්න පොරොන්දු දීලා ඒ ගෑනිව මේ මේ විදිහට ආශ්‍රය කළාට (නම් කිහිපයක් සඳහන් කරමින්) උඹ මෙන්න මේ මේ ගෑනුත් එක්කත් සම්බන්ධකම් පවත්වනවා නේද? හිඹුටානේ සාදු ඒ කලාකරැවාට ඒ විස්තර කිසිවක් බොරුයැයි කියන්නට ඉඩ නොතබාම කියාගෙන කියාගෙන ගියේය.

වසන්ත විවාහ වී අට වසරක් ගෙවෙනතුරුම ඔහුට දරුවන් නොසිටි අතර අට වසරකට පසු ඔහුගේ බිරිඳට දරුවෙක් ලැබුණේය.

“ඔය දරුවා ලැබෙන්න ඉස්සර ඒ දෙන්නා මගේ ළඟට ආවා. මම කීවා උඹට දරුවා ලැබෙන්නෙ අඩු මාසෙන් උපදින දරුවෙක් විදිහට. ගොඩාක් පරිස්සම් කර නොගත්තොත් උඹට ඒ දරුවව බේරාගන්න බැරිවෙනවා. ඒ හින්දා ඒ දරුවව ආරක්ෂා කරගන්න හුඟාක් මහන්සි ගනින්.”

දරුවා ලැබෙන්නටත් ප්‍රථම ඒ යුවලට ඒ උපදෙස් ලැබුණේ හිඹුටානේ සාදුගෙනි. සාදු කී ලෙසම ඒ දරුවා උපත ලද්දේ අඩු මාසයෙනි. එමෙන්ම ඉතාම දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙනි. 

ඒ දරුවාගේ පියා වියරුවෙන් මෙන් වාවාගත නොහැකි ශෝකයෙන් යුතුව හිඹුටානේ සාදු සොයා ආවේය.

වෛද්‍යවරු කියන්නේ උඹේ දරුවා බේරාගන්න බෑ කියලා. දරුවා මළමිනියක් වගේ. දරුවා ජීවත් කරවන්න උත්සාහ කරලා වැඩක් නෑ කියලා දැන් වෛද්‍යවරු තීරණය කරලා තියෙන්නේ උපකරණ ඉවත් කරන්න. වෛද්‍යවරැ උඹේ දරුවා බේරාගන්න බෑ කියලා හිතුවට දරුවට තාම පණ තියෙනවා. රෑ එකයි ගාණක් වෙද්දී දරුවා හොඳටම අසනීප වෙනවා. දරුවට අසාධ්‍ය වෙනවා. උඹ වෛද්‍යවරුන්ට කියපන් රෑ එක වෙද්දි දරුවා ළඟ සූදානමින් ඉන්න කියලා. ඒ අවස්ථාව මඟහැරුණොත් උඹේ දරුවා ජීවත් කරවන්න බෑ.

හිඹුටානේ සාදු කී ලෙසම මහ රෑ එක පසුවෙද්දී දරුවා හිටිවනම අසාධ්‍ය තත්ත්වයට පත් විය. දරුවාගේ පියා රාත්‍රී එක වන විට දරුවාට මෙවන් විපතක් සිදුවිය හැකි හෙයින් දරුවා ගැන අවධානය යොමුකරන ලෙස වෛද්‍යවරුන්ගෙන් ආයාචනා කර සිටියේ දරුවාගේ ජීවිතය වෙනුවෙන් පත්තිනි මෑණියන්ට බාරහාර වීමෙන් ඉනික්බිතිවය.

එදා ඒ විදිහට කලින් දැනුම් දීලා වෛද්‍යවරු අවධානයෙන් සිටි නිසා දරුවාගේ ජීවිතය බේරාගන්න ලැබුණා. දැන් ඒ දරුවා වයස අවුරුදු පහක දරුවෙක්...
හිඹුටානේ සාදු ලද පත්තිනි වරමෙන් ජීවය ලද්දෝ බොහෝ වෙති. මෙවන් සත්‍ය සිදුවීම් සමුදායක් සමඟ එන ඉරිදාත් අපි මුණගැසෙමු.

►සංජීවිකා සමරතුංග
සේයාරූ- චන්න කස්සප කෝරළේආරච්චි