2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

“ඩෝං” ගෑවා බස් එක ගිනි ගත්තා

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

“අපි ආපු බස්එක කහගොල්ල කිට්ටුවට ආවා... ඉස්සරහ ඉඳලා සීට් තුනකට විතර පස්සෙන් හිටිය හමුදාවේ සාමාජිකයන් දෙන්නෙක් බහින්න වගේ නැගිට්ටා. ඒත් එක්කම ෆෝන් එකක් බිමට වැටෙනවා වගේ දැක්කා. ශබ්දයක් ඇහුණා. අපි ඒ දිහා බලනවාත් එක්කම එකපාරට පිපිරීමක් වුණා.”

දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක පසුගිය (21)දා අලුයම අත්බෝම්බයක් පුපුරායාම සියැසින් දුටු හමුදා සාමාජිකයන් දෙදෙනකු සිදුවීම පිළිබඳව පොලීසියට කටඋත්තර සපයා තිබුණේ එසේය.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ යාපනය සිට පැමිණි බස්රථයට මාතලේ නගරයෙන් ගොඩවූ හමුදා නිලධාරියෙක් බණ්ඩාරවෙල නගරයේ දී මේ බස් රථයට මාරුවී ඇති බවත් ඔහුගේ කලිසම් සාක්කුවේ සඟවාගෙන ආ අත්බෝම්බය අතට ගෙන ගමන් බෑගයට දැමීමට උත්සාහ කිරීමේදී සිදුවූ අතපසුවීමකින් එහි පින් එක ගැලවීමත් සමඟ ඔහු රැඳීසිටි අසුන යටට වැටීමෙන් පසුව බෝම්බය පුපුරා ගොස් ඇති බවය. සැකකාර හමුදා සෙබළා ඔහු සේවය කරමින් සිටින කහගොල්ල හමුදා කඳවුරෙන් හෝ වෙනත් ස්ථානයක තිබියදී රැගෙන ආ බෝම්බයක් එසේ පිපිරී ඇති බවත් ඒ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටින බවත් පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

පිපිරීමට ලක්වී ගිනිගෙන විනාශ වූ බස් රථය දිනපතා අලුයම 5.20ට බණ්ඩාරවෙල සිට දියතලාව බදුල්ල හරහා මහියංගණ හෙබරව දක්වා ධාවනය කෙරෙන්නක් බවට හඳුනාගෙන තිබිණි. සෑම දිනකම රාත්‍රියට ගාල්කර තබන බස්රථය බිඳුණු වැව ප්‍රදේශයේ ගරාජයක සිට පාන්දර බණ්ඩාරවෙල නගරයට යාම සිරිතය. පුරුදු පරිදි ඒ මොහොතේ යාපනය සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය කෙරෙන බස් රථය බණ්ඩාරවෙලට පැමිණ තිබිණි.

යාපනය - බණ්ඩාරවෙල බස් රථයත් පිපිරුමට ලක්වූ බස්රථයත් එකම හිමිකරුගේය. යාපනය සිට පැමිණි බස්රථයේ ආ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසකි. ඔවුන් යුදහමුදාව හා ගුවන් හමුදාව නියෝජනය කළ අය වෙති. පිරිස නංවාගත් බස්රථය පාන්දර 5.20ට බණ්ඩාරවෙල නගරයෙන් පිටත් වී මිනිත්තු කිහිපයකින් දියතලාව කහගොල්ල ආසන්නයට පැමිණියේය. ඒ වනවිටත් මගින් 30 දෙනකු පමණ රැඳී සිටි රථයේ ඉදිරිපස සිට දෙවැනි අසුනේ රැඳීසිටි සාමාජිකයන් තිදෙනකු නැගී සිට තිබුණේ බැස යාම සඳහා සූදානම්වය. එහිදී තිදෙනා අතුරින් අතරමැද සිටි නිලධාරියා සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන තිබූ යමක් ඔහුගේ ගමන් බෑගය වෙත දැමීමට උත්සාහ කර ඇතිබව කියයි. ක්ෂණිකයකින් අතහැරුණු එය ඔහු රැඳීසිටි අසුන යටට වැටී තිබේ. වම්පස අසුනේ රැඳීසිටි හමුදා සාමාජිකයෙක් මේ බව දැක තිබුණේ හදිසියේ ජංගම දුරකථනයක් බිම වැටෙනවා ලෙසය. එදෙස බලනවාත් සමඟම හෙණ හඬ නංවා බෝම්බය පුපුරාගිය අතර මහාදුම් වළාවක් නැගීමත් සමඟ ගිනිජාලාවකින් බස්රථය වැසී ගියේය. කලබලයට පත් මගීහු හිස්ලූ ලූ අතට පනිමින් බසයෙන් බැස ගැනීමට උත්සාහ කළහ. මේ අතර රියදුරු මහතා පිපිරීමත් සමඟ රියැදුරු අසුන ළඟ දොරෙන් එළියට පැනගෙන තිබූ අතර කොන්දොස්තර මහතා පසුපස දොරෙන් පිටට පැමිණ සිටියේය. කිසිවකුට සිදුවූයේ කුමක්ද පැහැදිලි නොවූ අතර ක්ෂණයකින් පිටට පැනගත් මගීන් කීපදෙනකු හා අසල්වාසීන්ගේ සහාය ඇතිව බස්රථයේ පිපිරීමෙන් තුවාල ලැබූ සහ ගින්නට පිළිස්සීමෙන් තුවාල ලැබූ පිරිස එළියට ගැනීමටත් ඔවුන් රෝහල් ගත කරන්නටත් ක්‍රියා කළෝය. තුවාල ලැබූවන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහි හමුදා සෙබළු 7ක් ගුවන් හමුදා සෙබළු 5ක් ද සිවිල් වැසියන් 7 දෙනකු ද සිටි බවට රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.

බස්රථයේ රියදුරු එම්.ජී. බණ්ඩාර මහතා සිද්ධිය සම්බන්ධයෙන් කීවේ මෙවැන්නකි.

“මම ඩ්‍රයිවින් කරන බස්එක දියතලාව ඉඳලා හෙබරව දක්වා යන්නේ. බිඳුණුවැව යාඩ් එකෙන් බස්එක අරගෙන බණ්ඩාරවෙල ඉඳලා දියතලාවට යන්න පිටත් වුණා. පාන්දර 5.45ට විතර කහගොල්ල හරියට ළංවුණා. ඒ වෙලාවේ මිනිස්සු 25-30 ඉන්න ඇති. එකපාරටම බස්එකේ මැද හරියෙන් “ඩෝං” ගාන ශබ්දයක් ඇහුණා. ඒත් එක්කම බස්එක දුමෙන් පිරිලා ගිනිගත්තා.”

තමන්ට හානියක් නොවූයෙන් වහා රියෙන් එළියට බැස සෙසු පිරිස සමඟ එක්වී බස්රථය තුළ තුවාල ලබා හා පිළිස්සීමට ලක්වූ පිරිස් බේරාගෙන රෝහල් ගතකිරීමට කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පිපිරීමට ලක්වූ බස්රථයේ කොන්දොස්තර වශයෙන් කටයුතු කර තිබුණේ නලින් මංජුල මහතාය. සිද්ධිය පිළිබඳව ඔහු මෙසේ පැවසීය.

“උදේ 5.20ට බණ්ඩාරවෙලින් පිටත්වෙලා කිලෝමීටර් 3ක් විතර ආවා. යාපනය බස්එකේ ආපු සෙනගත් ටිකක් අපේ බස්එකට නැගලා සිටියා. කහගොල්ල හරියේදී මම බස්එකේ ඉස්සරහා ඉඳන් පිටුපසට යන්න ගියා. පස්ස දොර අරින්න හිතාගෙන. දොර කිට්ටුවට යනවාත් එක්කම බස්එකේ මැද්දෙන් “ඩෝං” ගාලා ශබ්දයක් ඇහුණා. බස්එක ගිනිගන්නවාත් එක්කම එළියට පැන්නා.”

බස්රථයේ සිදුවූ පිපිරීම හේතුවෙන් එහි ගමන්ගත් කාන්තාවක තුවාල ලැබුවාය. ඇය එම අවස්ථාව පිළිබඳව මෙසේ පැවසූවාය.

“මම බස්එකේ වාඩිවෙලයි හිටියේ. එකපාරටම මොකක්දෝ පිපිරෙනවා ඇහුණා. හිතාගන්න බැරිවුණා මගේ කකුලත් හිරිවැටුණා දැනුණා. ඒත් එක්කම බස්එක ඇතුළ ගිනිගත්තා. ඉක්මනට නැගිටලා එළියට පැනගත්තා. එතකොට මම ඇඳගෙන වැටුණා. එතෙන්ට ආපූ අය එකතුවෙලා මාව රෝහලට යැවුවා.” එසේ පැවසූ ඇය හේමාවතී මහත්මියයි.

බස්රථයට බරපතළ හානි සිදුව තිබුණේ පිපිරීම හේතුවෙන් නොව ඉන්පසුව හටගත් ගිනිගැනීම හේතුවෙනි. එහෙත් ගින්නට හේතුව පිපිරීම බව පැහැදිලිය. සිද්ධිය වූ සැණින් අසත්‍ය තොරතුරු රාශියක් රට පුරා ප්‍රචාරය වීම කනගාටුදායකය. පළමුව කියවුණේ යාපනය සිට දියතලාවට පැමිණි බසයක පිපිරීමක් සිදුවූ බවය. එහෙත් එය සිදුවූයේ බණ්ඩාරවෙල සිට දියතලාවට ධාවනය වූ බස්රථයක් තුළය. සිදුවීම සියැසින් දුටු හමුදා සාමාජිකයන් පිරිසක් කියා තිබුණේ බස්රථයේ ඉදිරිපස සිට සීට් පේළි තුන හතරකට පසුපස අසුනක් අසල සිටි දෙදෙනකු බැසයාමට සූදානම් වූ මොහොතේ ඒ එක් අයෙක් අත වූ යමක් බිම වැටෙනවා දුටු බවත් එසැණින් පිපිරීම සිදුවී ගමන් බෑගය තුළින් ගිනි ඇවිලීම ආරම්භ වූ බවත්ය. සිද්ධිය හේතුවෙන් යුදහමුදා සාමාජිකයන් දෙදෙනකුගේ පාද දැඩි ලෙස හානියට පත්ව තිබූ අතර පොලීසිය විශ්වාස කරන්නේ පිපිරීම ඔවුන් අසලම සිදුවන්නට ඇති බවය. ඔවුන්ගෙන් අයකුගේ තත්ත්වය බරපතළ බවත් දැඩිසත්කාර ඒකකයේ වැඩිදුර ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග සනාථ කළේය.

මේ අතර කටකතා පැතිර වූ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් රෝහලෙන් පලාගොස් ඇති බවය. එය අසත්‍ය තොරතුරක් වන අතර රෝහල් ගතව සිටි දියතලාව ප්‍රදේශවාසී පුද්ගලයෙක් සුළු තුවාල ලබාසිටි බවත් ඔහු සිය කැමැත්ත මත රෝහලින් පිටත්ව ගිය අයකු බවත් හෙළි විය. ඔහුගේ ප්‍රකාශයක් ද පොලීසිය සතුව තිබිණ.

ඇතැම් අන්තවාදී පිරිස් මෙම සිදුවීම ඔස්සේ ආරක්ෂක ගැටලුවක් හා ත්‍රස්ත තර්ජනයක් බවට හුවා දක්වමින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරන්නට උත්සාහ කරනු දැකිය හැකිවිය. ඔවුන් ඊට කදිම සාක්ෂියක් සේ සඳහන් කළේ පිපිරුම සිදුවූයේ යාපනය - දියතලාව බස්රථයක බව කියමින්ය.

කෙසේ වෙතත් පිපිරීමට සැබෑ හේතුව බස්රියේ පැමිණි යුදහමුදා නිලධාරියකු නීතිවිරෝධී ලෙස අත්බෝම්බයක් අනාරක්ෂිතව රුගෙන ඒම බවත් බරපතළ තුවාල ලබා සිටින ඔහු ප්‍රතිකාර ලැබීමෙන් පසුව අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රැවන් ගුණසේකර මහතා සඳහන් කළේය. මේ අතර සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදාව විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම පිපිරීම කිසිසේත්ම ත්‍රස්ත ක්‍රියාවන් නොවන බවත් කටකතාවලට නොරුවටෙන ලෙසත්ය.

සිද්ධිය පිළිබඳව විශේෂ විමර්ශනයක් සඳහා රජයේ රසපරීක්ෂකවරයෙක්, බණ්ඩාරවෙල පොලිස් අධිකාරී ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. එහිදී අනාවරණය වූයේ යුදහමුදා සාමාජිකයකු සතුව තිබූ ජීව අත්බෝම්බයක් පුපුරා එමගින් ගින්න ඇති වූ බවය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

සමන්ත ප්‍රදීප් විල්තෙර

පරීක්ෂණයට පස් දෙනෙකුගෙන් කමිටුවක්

බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

දියතලාව කහගොල්ල ප්‍රදේශයේ දී බස්රථයක සිදුවූ අත්බෝම්බ පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවේ. මෙහිදී යුදහමුදා සෙබළුන් හත්දෙනකුට තුවාල සිදුවී තිබෙනවා. අනතුරට ඔවුන් මුහුණ පා තිබෙන නිසා යුද හමුදාව මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකෙරෙනවා. පොලීසිය වෙනම විමර්ශන සිදුකරනවා. ඊට අමතරව යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් අනුව පරීක්ෂණ සඳහා පස් දෙනකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.