2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඉතිහාසයට ගිය කුලියාපිටිය රෝහලේ තයිරොයිඩ් සැත්කම

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

කුලියාපිටිය මූලික රෝහලේ පසුගියදා කරනු ලැබූ ට්‍රාන්සොරල් ලැපරස්කොපින් තයිරොඩෙක්ටම් (Transoral Laparoscopic Thyroidectomy) නැමැති සැත්කම ඉතා සාර්ථක සැත්කමක් විය. ගෙලෙහි බාහිර කැපුම් නොමැතිව තයිරොයිඩ් ග්‍රන්ථයේ ඉදිමුණු කොටස් ඉවත් කරලීමේ මෙම සැත්කම සිදුකරන ලද්දේ කුලියාපිටිය මූලික රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

“මෙවැනි සැත්කමක් ලංකාවේ කරනු ලැබූ පළමු අවස්ථාව මෙය බවයි මගේ දැනුමේ හැටියට මම හිතන්නේ. අපිට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්න ඉන්දියාවේ ද මෙවැනි සැත්කමක් මුලින්ම කරලා තිබුණේ මීට මාස දහයකට කලිනුයි. අඩුම ගාණේ ඉන්දියාවේවත් මේ සැත්කම ඊට කලින් කරලා තිබුණේ නැහැ...” යැයි විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා දේශයට පැවසීය.

මෙම සැත්කම සිදුකරන ලද්දේ කුලියාපිටිය උඩුබද්දාව නම් ප්‍රදේශයේ පදිංචි රංජිනි නැමති හැට හැවිරිදි කාන්තාවකටය. ඇය මේ වනවිට ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් විශේෂඥ වෛද්‍යවරයා දේශයට පැවසීය.

මෙවැනි වයසක පසුවන කෙනකුට සැත්කමක් කරද්දී බොහෝ විට විවිධ සංකූලතා ඇතිවන්න පුළුවන්. නමුත් මෙම සැත්කම සිදුකරද්දී එවැනි සංකූලතාවයන් ඇතිවුණේ නෑ. ඒ විතරක් නෙමේ සැත්කම සාර්ථකව නිමකර පැය කිහිපයකට පසුව මම නැවතත් ඇයට වාට්ටුවට ගොස් පරීක්ෂා කළා. ඒ අතරතුර ඇය පිළිබඳව වාට්ටුවේ අනිකුත් වෛද්‍යවරුන් ද සැලකිලිමත් වුණා. ඇය ඉතා හොඳින් කතාබහ කළා. ආහාර ගත්තා. කිසිම ප්‍රශ්නයක් නෑ.

මෙම සැත්කම සඳහා පැය හතරක කාලයක් ගතවුවද මෙවැනි සැත්කමක් සඳහා බොහෝවිය ගතවන්නේ පැය එකහමාරක් දෙකක් අතර කාලයක් බවද වෛද්‍යවරයා පැවසීය. මෙය ලංකාවේ කරනු ලැබූ පළමු අවස්ථාව බැවින් ද ඒ සඳහා ඇතිවූ තාක්ෂණික දෝෂ හේතුන් කිහිපයක් නිසාද සැත්කම සඳහා වැඩිපුර කාලයක් වැයවූ බවද වෛද්‍ය රිස්නි මහතා දේශයට පැවසීය.

“මේ සඳහා මම විශේෂඥ පුහුණුවක් සඳහා එංගලන්තයට ගොස් හිටියා. ඒ දැනුම ගෙන මාස හත අටකට කලින් තමයි ලංකාවට ආවේ. මේ සැත්කම එංගලන්තයේ බොහෝ විට සිදුකරනවා. ඉතින් ඒ දැනුමෙන් තමයි මම මේ සැත්කම කළේ. මට ඒ පිළිබඳව ලොකු විශ්වාසයක් තිබුණා. අවසානයේ දී සැත්කම ඉතා සාර්ථක වුණා... මේ සැත්කම මම එංගලන්තයේදී කරද්දී පැය එකහමාරක් පමණ කාලයක් තමයි වැයවෙන්නේ. නමුත් මෙහිදී වැඩි කාලයක් ගතවෙන්නට හේතුව වුණේ ලංකාවේ පළමුවන අත්දැකීම නිසාවෙන් ඒ සඳහා අවශ්‍ය උපකරණ ලංකාවේ තිබුණේ නෑ. ඉතින් ඒ උපකරණ ගෙන්වන ආයතනවලින් කතා කරලා උපකරණ ගෙන්වාගෙන තමයි මේ සැත්කම කළේ. නමුත් අවශ්‍ය සියලුම උපකරණ නොතිබීමත් තාක්ෂණික දෝෂ කිහිපයක් නිසාත්. පළමු අවස්ථාව නිසාත් පැය තුනක් පමණ කාලයක් ගතවුණා. නමුත් අවසානයේ දී මෙය ඉතා සාර්ථක සැත්කමක් වුණා.”

සැත්කම සඳහා ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයාට අමතරව නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු හය දෙනෙකුගෙන් සැඳුම් ලත් වෛද්‍ය කණ්ඩායමක් ද හෙදි කාර්යමණ්ඩලයක් ද සහාය වූහ.

“සැත්කම සාර්ථකව අවසන් කිරීමට කුලියාපිටිය මූලික රෝහලෙන් විශාල සහයෝගයක් ලැබුණා. කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි අයි.එස්. යද්දෙනිගේ මහත්මියගෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඒ වාගේම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම, වෛද්‍ය කාර්යමණ්ඩලය, හෙදි හා කනිෂ්ඨ සේවක කාර්ය මණ්ඩලයෙන් ද අපිට විශාල සහයෝගයක් ලැබුණා. ඒ හැමගේ සහයෝගයෙන් ඉතා සාර්ථක සැත්කමක් කුලියාපිටිය රෝහලේදී සිදුකිරීමට අපිට හැකිවුණා...”
විශේෂඥ වෛද්‍ය රිස්නි මහතා දේශයට පැවසීය.

බොහෝ විට තයිරොයිඩ සැත්කම සිදුකිරීමෙන් පසුව ගෙලෙහි හටගනු ලබන කැලල් හේතුවෙන් ඇතිවන බාහිර පෙනුමට බොහෝ දෙනෙක් අකමැති වෙති. නමුත් සැත්කම සිදුකිරීමෙන් අනතුරුව රෝගියා නිර්වින්දනයෙන් මිඳුණු පසුව අවම වේදනාවක් සහ අවම රුධිර වහනයක් පමණක් ඇතිවන බවත් ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල කැළල් ඇති නොවන බවත් විශේෂඥ වෛද්‍ය රිස්නි මහතා වැඩිදුරටත් පැවසීය.

“සැත්කම සිදුකර පැය හතරකට පසුව රෝගියා නැවත අපි පරීක්ෂා කළා. වේදනාවක් පවතිනවා ද ඇසූවිට එවැනි වේදනාවක් රෝගියාට ඇති වී තිබුණේ නැත. මෙම සැත්කම අභ්‍යන්තරව සිදුකරන නිසා බාහිර පෙනුමට හානියක්වත්, කැළලක්වත් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් කරනු ලබන තයිරොයිඩ සැත්කමක දී විශාල රුධිර වහනයක් සිදුවෙනවා. නමුත් මෙහිදී එවැනි රුධිර වහනයක්වක් සිදුවුණේ නැහැ. අඩුම තරමේ එකගෝස් කැබැල්ලක්වත් පෙගුණේ නැහැ. 

මෙම සැත්කම සිදුකරද්දී වෛද්‍ය කණ්ඩායමට පටක තලරය හොඳින්ම පෙනුණා. ඒ නිසා පරිස්සමට පටක බේරා ආරක්ෂාකාරීව සැත්කම සිදුකිරීමට පුළුවන් වුණා. ඇත්තටම මෙම සැත්කම ඉතා සාර්ථක සැත්කමක් වන අතර සැත්කම සිදුකරද්දී ඇතිවන සංකූලතා තත්ත්වයක් ද ඉතා අවමයි...

කෙසේ වුවද අවසානයේ දී ඉතා අඩු පහසුකම් යටතේ වුවද කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍ය කණ්ඩායම ඇතුළු කාර්යමණ්ඩයේ කැපවීමෙන් හා උනන්දුවෙන් සිදුකළ තයිරොයිඩ ලැපරස්තොපික් සැත්කම ඉතා සාර්ථකව ඉතිහාසගත විය.

► දිශානි ජයමාලි කරුණාරත්න