2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ෆේස් බුකියේ ඡන්ද කතා

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

එදා මෙදාතුර අන්තර්ජාලය ඇසුරින් බිහි වී ලෝකයට වැඩියෙන්ම බලපෑමක් කළ වෙබ් අඩවිය කුමක්දැයි කිසිවෙකු විමසුවහොත් බොහෝ දෙනා අවිවාදයෙන් යුතුව ලබාදෙන පිළිතුර වන්නේ ඒ ෆේස් බුක් වෙබ් අඩවිය බවයි. 2004 වර්ෂයේ දී එය ආරම්භ වීමෙන් පසුව ලෝකයට නව චින්තන ප්‍රවේශයක් හා නව සංස්කෘතියක් එමගින් නිර්මාණය වූ විය. විශේෂයෙන්ම එය හුදෙක් අන්තර්ජාලයට පමණක් සීමානොවූ මුළු මහත් මානව සමාජයම වෙනසකට බඳුන් කළ දැවැන්ත සංසිද්ධියකි.

පසුගියදා නිමාව දුටු පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේදීද ගුවන් විදුලි හා රූපවාහිනියේ ප්‍රතිඵල ලබාදීමට පෙර ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය තුළ ඇති ජනප්‍රිය සමාජ ජාලා පිටු ඔස්සේ ප්‍රතිඵල නිකුත් කර තිබූ ආකාරය දක්නට ලැබිණ. එමෙන්ම මෙවර පළාත් පාලන ආයතනයන්හි තරගකාරී බව තීව්‍ර කරමින් පොදුජන මතය තැනීමේ කාර්යභාරයට වත්මන් රජය මෙන්ම පොදු විපක්ෂය ද ෆේස් බුක් සමාජ ජාලා වෙබ් අඩවිය  මැතිවරණයට පෙර සිටම බහුලව යොදාගෙන තිබූ අයුරු ද මෙවර අපට දැකගැනීමට තිබිණි.

ඡන්ද උණුසුම තවමත් පහවගොස් නොමැති අතර තවමත් ෆේස් බුක් මුල් පිටුව වැසී පවතින්නේ ඡන්දය පිළිබඳ නොයෙකුත් ආකාරයේ පුවත්, හාස්‍යජනක ආකාරයේ ඡායාරූප වලිනි.

මේ ඔන්ලයින් ලෝකයේ බොරුව ඇත්තක් කිරීමටත්, ඇත්ත බොරුවක් කිරීමටත් ඉතා පහසුය. මේ නිසා මඩ ප්‍රහාර එල්ල කරගැනීමට ෆේස් බුක් තරම් හොඳ වේදිකාවක් පසුගිය කාලය පුරාවටම නොතිබිණි. ඇත්ත පෙනි පෙනී තිබියදී නිමක් නැති අදහස් තෙපලමින් එය බොරුවක් බවට පත් කිරීමටත් සකල බුද්ධියටම වැටහෙන බොරුවක් තිබුණද එය සත්‍යයක් බව ඇඟවෙන පරිදි එය වෙනස් කර පෙන්වීමටත් අපේ ඇත්තෝ දක්ෂය. මේ දිනවල ෆේස් බුක් වෙත පිවිසෙන්නකුට මෙවැනි අවස්ථාවලට උදාහරණ ඕන තරම් දැකගත හැකිය.

මෙවැනි ආකාරයේ ෆේස් බුක් තුළ පළවන නිර්මාණවලට ප්‍රධාන දේශපාලන පක්ෂවල කිසිදු සම්බන්ධයක් නොමැති අතර එවැනි ෆේස් බුක් පිටු යාවත්කාලීන කරන්නන් කටයුතු කරන්නේ ඔවුනට රිසි ලෙසය. කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු ගාණට සිටින මොවුන්ගේ බහුතරය ප්‍රතිවාදියාට පෙන්නන්නට බැරිය. එනිසාම පහුගිය මැතිවරණ කාලයේ මෙන්ම මේ දක්වා ද දෙපැත්තටම එල්ල කරන මඩ ප්‍රහාරවලද නිමක් නැති බව මෙහි සඳහන් සටහන්වලින් දකගත හැකිය.

කෙසේ වෙතත් මෙවර මැතිවරණයේ දී පෞද්ගලිකව මැතිවරණයට ඉදිරිපත් වී සිටි අපේක්ෂකයන්ට තර්ජනය කිරීම්, විවිධාකාරයේ මඩගැසීම් දක්නට නොලැබුණු අතර පෙර මැතිවරණවලදී නොතිබූ ආකාරයේ හාස්‍යජනක ඡායාරූප රාශියක් විවිධ ෆේස් බුක් පිටු හරහා මැතිවරණයට පෙර, මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු හා මැතිවරණ ප්‍රතිඵල ලබාදීමෙන් පසුව ද හුවමාරු වෙමින් පවතින බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රකාශකයෙක් පැවසීය.

යූ ටියුබ්, ට්විටර් වැනි සමාජ ජාලා වෙබ් අඩවි තුළද මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ නිර්මාණ, වීඩියෝ හුවමාරු වෙමින් පැවතියද, එවැනි වෙබ් අඩවි තුළ අදහස් පළකිරීමේ හැකියාව සීමාසහිත වන බැවින් බොහෝ පිරිස් තම තමන්ට රිසි සේ මැතිවරණය පිළිබඳ අදහස් පැවසීමට යොදාගැනුණේ ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවියය.

 හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00