2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

අපි රැහේ විශ්වාසය රකිනවා

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථමවරට ආදිවාසි කාන්තාවක් පසුගියදා පැවැත් වූ පළාත් පාලන මැතිවරණයට ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස  දෙහිඅත්තකණ්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් තරග කළාය. ඇය නමින් ඩබ්ලිව්. එම්. ශිරෝමාලා (37)ය. අපොස (සාපෙළ) දක්වා ඉගෙනුම ලබා ඇති ඇය තිදරු මවකි. ඇය ඡන්ද 1369ක් ලබාගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප‍්‍රථම ආදිවාසී මහජන නියෝජිතවරිය ලෙසයි.

ඇය ලැබූ ජයග‍්‍රහණය පිළිබඳ ඇය මෙසේ කීය.. 

මට මුලින්ම කියන්න තියෙන්නේ අපේ රැහේ ඇත්තන්ට මෙතෙක් කල් නොවිසිඳුණු  ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඒ ප‍්‍රශ්න ඔක්කෝම විසඳන්න බෑ. ටිකක් හරි විසඳන්න උත්සාහ කරනවා. ඒ වාගේම තමයි ඒ විශ්වාසය තියලා තමයි අපේ රැහේ අය වගේම අනිකුත් අය මාව පත්කර ගත්තේ. ඒ නිසා මම කැමැති නෑ ඒ විශ්වාසය නැති කර ගන්න. ඒ වගේ ගිලිහී යන අපේ සංස්කෘතිය, ආගම, ඒ වාගේම ගමේ, රටේ සංවර්ධනයට උපරිමය සහයෝගය ලබා දී කටයුතු කරන්නත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභාවටත් පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත්වීම තමයි මගේ එකම බලාපොරොත්තුව.

කෙසේ නමුත් ලංකා ඉතිහාසයේ මුල්වතාවට මැතිවරණයකට ඉදිරිපත් වන පළමු ආදීවාසි කාන්තා අපේක්ෂිකාව ගැන විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය තුළින් රටට සහ ලොවට හෙළි කිරීමට ඉදිරිපත් වූ මේ මාධ්‍යවේදියාට ඡන්දය ජයග‍්‍රහණය කිරීමෙන් පසු ඇගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත් සෑම අවස්ථාවකම ලැබූණු පිළිතුර වූයේ මන්ත්‍රීතුමිය මීටින් එකක බවත් කතා කළ නොහැකි බවත්ය. දින දෙකක් දිවා රාත්‍රී කීපවතාවක ජංගම දුරකථනයට කතා කළ සෑම අවස්ථාවකම දුරකථනයට සවන් දුන් තැනැත්තා පවසා සිටියේ පිළිගැනීමේ උත්සව සහ මීටින් තිබෙන බැවින් පසුව ඇය අමතන ලෙසයි. ප‍්‍රාදේශීය සභාවට යන්නත් පෙර මෙසේ  උදව් උපකාර කළ තැනැත්තන් අමතක කරනවානම් තමන් අපේක්ෂා කරන සේවය ඉටුකරන්නේ කෙසේද යන්නත් ගැටලුවකි.

හේනානිගල ගම්මානයේ ආදිවාසී නායක ඌරුවරිගයේ ගුණබණ්ඩා මෙසේ කියයි. 

මම කියන්නේ රැහේ ඇත්තන්ගේ සහයෝගයෙන් පත් වූ ඇය රැහේ ඇත්තන්ගේ හිත් දිනාගෙන රැහේ ඇත්තනගේ ගැටලු ප‍්‍රශ්නවලට මැදිහත් වී ඒවා විසඳනවා වගේම ඉදිරියේදී ගමේ විතරක් නෙවේ පළාතේ වාගේ රටේ ප‍්‍රශ්න විසඳන්න පුළුවන් තැනකට යන්න වාසනාව ලැබේවා කියලයි. ඒ කියන ගමන් මාගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. රැහේ එකියක් මන්ත්‍රීවරියක් වීම රුහේ උන්ට ලොකු ආඩම්බරයක්.

ශ්‍රී ලංකාවේ ආදිවාසි පරපුරේ 19 වැනි නායකයා වන ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ වර්තමාන නායකයායි. තම පරපුරේ කෙනකු මන්ත්‍රීවරියක වීම පිළිබඳ දකින ආකාරය පිළිබඳ මෙසේ පැවසීය.... 

අපේ රැහේ කැකුළියක් මන්ත්‍රීවරියක් වීම පිළිබඳ ලොකු සතුටක් පපු කැනැත්තට දැනෙනවා. ඒ වගේම ලොකු බයකුත් හිත් පොජ්ජට දැනෙනවා. මොකද කියනවා නම්  අද අපේ රටේ ඉන්නේ දේශපාලනඥයන් පාලකයන් නොවේ.  දැන් තියෙන්නේ  ජනතාව රවට්ටවමින් බොරුව දූෂණය, වංචාව සහ රට විනාශ කරන දේශපාලන ක‍්‍රමයක්. එවැනි ක‍්‍රම අනුගමනය කරන තැනකට වගේම එවැනි මිනිස්සු ඉන්න පරිසරයකට යනවිට කල්පනාකාරී විය යුතුයි. මොකද මේ රටේ පරිසරයට රටට ආදරය කරන පැරැණිම මිනිස්සු අපි නිසා නවීන ලෝකේ එක්ක ගනුදෙනු  කරනකොට අපේ සංස්කෘතික සිරිත් විරිත් අමතක වෙන්න පුළුවන්. මම ඇතුළු හේනානිගල නායක ඇත්තැන්ගේ අවවාද අනුශාසනාවලට පිටින් වැඩ නොකරන බවට අපට විශ්වාසයි. ලංකා ඉතිහාසයේ  කවදාවත් අපේ ප‍්‍රශ්න ගැටලු මෙතෙක් කල් කියන්න සිද්ධ වුණේ වෙනත් පක්ෂයක වෙනත් වරිගයක අයට තමයි. නමුත් දැන් අපේ ප‍්‍රශ්න  කියන්න අපේම කැකුළියක් ඒ තැනෙහි ඉන්න එක පිළිබඳව මා පමණක් නෙවේ අපේ රටේ ගම්මාන 62ක ජීවත්වන ආදිවාසී සියලු ජනතාව සතුටු වෙනවා. ඒ වගේම තමයි මාගේ පූර්ණ ආශිර්වාදය ලබා දෙනවා. හැබැයි ස්වභාවධර්මයෙන් පිටවාගේම රැහේ සංස්කාතියට පිටින් වැඩ නොකරන ලෙසත් මා අවවාද කරනවා. ඉදිරියේදි පැවැත්වෙන ප‍්‍රාදේශිය සභා පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා රටපුරා තිබෙන අපේ ආදිවාසී ගම්මාන නියෝජනය වෙන පරිදි කැකුළන්, කැකුළියන් ඉදිරිපත් කර ජයග‍්‍රහණ  ලබාගෙන රටත්, ස්වභාවධර්මයත් රැහේ පිරිස වාගේම අපේ සංස්කෘතිය සහ රටේ සංවර්ධනයට දායක වීම අපේ එකම බලාපොරොත්තුව යැයි පැවසීය.

මේ සියලු කරුණු කාරණා දෙස බැලීමේදී අද රටේ දේශපාලනඥයන් විසින් කරනු ලබන්නේ තම බඩගෝස්තරය පවුල් නඩත්තුව සහ සැප සොයා මිනීමරා ගනිමින් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් යැයි කියමින් මහජන නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් වංචාව, බොරුව, දූෂණය සිදුකරමින් නීතියට මුවා වෙමින් එදා මෙදා කාලය තුළ දේශපාලනඥයන්ට ශ්‍රී ලංකාවේ ආදිවාසී නායකයා වන ඌරැවරිගයේ වන්නිල ඇත්තෝ තම වරිගයේ මන්ත්‍රීවරියට දුන් අවවාදය කදිම නිදසුනක් බව නම් සත්‍යයකි.

► හිඟුරක්ගොඩ ඩබ්ලිව්. ඒ. පියතිලක

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00