2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

කොළ කැඳෙන් ගහන ගේම

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 190

කොළ කැඳ කිව්වට මේවගේ කිසිම රහක් නෑනේ

දැන් මහත්තයා කියන්නේ ඔය මාළු පාන්වල මාළු තියනවා කියලද ජෑම්පාන්වල ජෑම් තියනවා කියලද අනේ නිකන් යන්න මහත්තයා යන්න....

හරි හරි එහෙම නෑ තමයි. ඒ වුණාට කොළ කැඳ කිව්වම මෙහෙමද?

එහෙනම් කොහොමද?

කිසිම රහක් නෑ. අඩු ගාණේ සුදුලූණු බිකක්වත් හැපුණේ නෑ. අපි නිකම් දන්සැලකින් නෙවෙයිනේ බොන්නේ. සල්ලි දීලා බොන්නේ. දෙන ගාණට හරි යන්න හොඳට දෙන්න එපැයි...

අනේ මේ යන්න මහත්තයා යන්න නිකම්. දෙන ගාණට මීට වැඩිය හොඳට දෙන තැනක් තියනවනම් එතනට යන්නකෝ. මෙතන පාන්දරම එන කස්ටමස්ලටත් එපා කරන්නේ නැතුව.

බොරැල්ල නගරයට ආසන්නව පදිකවේදිකාවේ කොළ කැඳ විකුණන වෙළෙන්දකු සහ ගැනුම්කරුවකු අතර ඇති වූ මෙම කථාබහ ලියුම්කරුටද ඇසුණු අතර එකී පාරිභෝගිකයා එම ස්ථානයෙන් නික්මුණේ එම වෙළෙන්දාගේ මුළු පරපුරටම දෙස් දෙවොල් තබමිනි.

බලන්නකො මල්ලි උදේ පාන්දරම කැඳ එක බීලා යන්නේ නැතුව එනවා මෙතන බිස්නස් එක මස්තේ දාන්න. ඔච්චරම රහට බොන්න ඕනනම් ගෙදර හදන් බිව්වනම් ඉවරයිනේ. අපේ ලේ කෝප කරවන්නේ නැතුව මේ පාන්දරම එම පදික වේදිකාවේ සිටි වෙළෙන්දා ලියුම්කරැට පැවසූයේ නෝක්කාඩු වූ මුහුණෙන් යුතුවය.

පදිකවේදිකාවේ නිරතුරුවම මහ පාන්දර දක්නට ලැබෙන මෙම කොළ කැඳ වෙළෙන්දන් පිළිබඳ සොයා බැලීමට සිත් වූයේ ලියුම්කරු දුටු එම සිදුවීම පෙරදැරි කරගනය.

අයියේ ටිකක් කථා කරන්න පුළුවන්ද? ලියුම්කරු ඔහුගෙන් විමසීය.

දැන් නම් බිසී මල්ලි. මේ ටයිම් එකටනම් අමාරුයි. ඔයා හවස හයට විතර මේ පැත්තට එන්නකෝ යනුවෙන් ඔහු පැවසීය.

ඔහු පැවසූ ස්ථානයට ලියුම්කරු යන විටද ඔහු එතැනට පැමිණ සිටියේය.

කොහොමද අයියේ බිස්නස් එහෙම?

වරදක් නෑ මල්ලි. බිස්නස් එකනම් ෂේප් එකේ කරගෙන යනවා.

කොච්චර කාලෙක ඉඳලා අයියා මේ බිස්නස් එක කරනවද??

දැන් අවුරුදු පහ හයක් මේක තමයි මල්ලි කරන්නේ....

කොළ කැඳ හදන්න කොළ එහෙම හොයාගන්නේ කොහොමද?

ඇයි ලොක්කා මැනිං මාර්කට් එකට ගියාම කොච්චර බඩු තියනවද? ගන්න ඕන විදියට ඕන දෙයක් ගන්න පුළුවන්නේ එතනින්.

ඒ වුණාට බෝඩ් එකේ ගහලා තියෙන්නේ ‘’ ගමේ කොළ කැඳ’’ කියලා නේද?

බෝඩ් එක එහෙම ගැහුවට අපිට කවුද මල්ලි ගමෙන් කොළ ගෙනත් දෙන්නේ. අනික ඔය එක එක විදියට දෙන්න ඔච්චර කොළ කොහෙන් හොයන්නද? එකම ෆ්ලේවර් එක තමයි දෙන්නේ හැම ජාතියෙන්ම.

ඒ කිව්වේ? 

මෙහෙමනේ මල්ලි... දැන් හාතවාරිය කැඳ කියයි, කරපිංචා කැඳ කියයි, වැල් පෙනල කැඳ කියයි කොච්චර කොළ ජාතිවලින් කැඳ තියනවද? ඒ ඔක්කොම අපි කොහෙන් හොයන්නද මල්ලි..

එතකොට විකුණන්නේ? ඒ හැම එකක්ම තියනවනේ?

ඉන්නකෝ ලොක්කා තාම කියලා ඉවර නැහැනේ. අපි ෂේප් එකේ හවසට කොටුව පැත්තේ විසිට් එකක් දාලා ඔය මොනව හරි කොළ ටිකක් හොයා ගන්නවා. ඊට පස්සේ ඉතිං රසකාරක දාලා තමයි ගේම ගහන්නේ.

කොහෙන්ද ඒවා ගන්නේ?

ඇයි අප්පා ඔය ඕනතරම් කඩවල්වල තියෙන්නේ. ගන්න එක කොළ මිටිය හොඳට බ්ලෙන්ඩර් කරලා වතුර ටිකක් වැඩියෙන් දාලා තමයි ගේම ගහන්නේ.

ඇඟට අගුණයක් නෑනේ මල්ලි. මොනවහරි කොළනේ දෙන්නේ. අනික රහ එනවනේ අරවා දැම්මම.

ඒ වුණාට රසකාරක හොඳ නෑනේ ඇඟට?

අපේ මිනිස්සු මොනවද ඇඟට හොඳ දේවල් කන්නේ? අනික කොළ කැඳ කියන්නේ හොඳ ඖෂධයක්නේ මල්ලි.. ඒකනේ අපි ගහලා තියෙන්නේ ගමේ කොළ කැඳ කියලා. මිනිස්සු පෝලිමේ ඇවිල්ලා බොන්නේ. අනික ඔච්චර හාතවාරිය, වැල්පෙනෙල, කරපිංචා කොහෙන්ද හොයන්නේ? ලංකාවේ කීදෙනෙක් කරනවද මේ බිස්නස් එක.. ඔය හැටි කොළ කොහෙන් හොයන්නද මල්ලි

ඒ කියන්නේ හැමෝම මෙහෙමද කරන්නේ?

ගම්වලනම් කොහොමද දන්නේ නෑ. ඒත් කොළඹ ඉන්න හැමෝම මේ තියරිය තමයි කරන්නේ. අනික බෝඩ් එකයි අපි දෙන ටෝක් එකයි දැක්කම නොබොන මිනිස්සුත් කොළ කැඳ බොනවා. බැරල් එකක් ගෙනාවත් පැය දෙකක් යද්දි බඩු ඉවරයිනේ මල්ලි... ලොකු වියදමක් යන්නේ නෑනේ කොළ ටික අපේ බුවෙක්ට කියලා මැනිං මාර්කට් එකෙන් හොයා ගන්නවා. උදේ පාන්දර 3ට විතර නැගිටලා ගේම ගහනවා. උදේ 9 වෙද්දි බඩු ඉවරයිනේ

ඒ ගේන්නේ හොඳ කොළද?

කොළ හොඳද නරකද කියල අපි බලන්නේ නෑ. ගේන මොනවා හරි බ්ලෙන්ඩර් කරනවා වතුර දාලා. සුදුලූනුත් බ්ලෙන්ඩර් කරලා බත් ටිකකුත් ඒකටම දාලා දෙනවා.

මේ තැන්වල වගේ නෙවෙයි ඉස්පිරිතාල ළඟ එහෙම බඩු උණු කැවුම් වගේ විකිණෙන්නේ

ලෙඩ්ඩු බලන්න යන කී දෙනෙක් අරන් යනවද? මේක තමයි මල්ලි දැනට මේ පේව්මන්ට් එකේ අල්ලලා යන බිස්නස් එක. අනිත් ඒවා මාසයක් දෙකක් කරද්දි ලොස් වෙනවා. ඔයාම බලන්නකෝ කී දෙනෙක් දැන් කොළ කැඳ විකුණනවද කියලා හැම තැනම තියනවනේ.

අනික මේක 9 වෙද්දි ඉවරයිනේ. ඊට පස්සේ ඕනනම් වෙන මොකක් හරි ලයින් එකක් ගහගන්න පුළුවන්නේ මල්ලි. ඕන විස්තරේ දැන ගත්තනේ. හෙට බිස්නස් එකට බඩු ගන්න ඕන. එහෙනම් අපි කැපෙන්නම් හොඳේ..

අද බොහෝ දෙනකු හුරු වී සිටින්නේ අතට අහුවන ඕනම දෙයක් සොයා නොබලා ආහාරයට ගැනීමටය. 

කොළ කැඳ ඇඟට හිතකර පානයක් වුවද මහපාරේ විකුණන කොළ කැඳ බිමට පෙර නැවත සිතා බැලීම පාරිභෝගිකයා සතු වගකීමක් බව අපි ඔබට නැවත් සිහිපත් කර සිටිමු.

 හසිත් අංජන