2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඔන්න මම බිත්තරේ බින්දා : දැන් පැටියා එළියට ගන්න

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 640

පොහොට්ටුවේ පිරිසක් ජනපති නිවසට: ශ්‍රීලනිප ලොක්කෝ මහින්ද හමුවට 
එ.ජා.ප. පසුපෙළ රනිල් රකින්න ඉදිරියට  
අගමැති තනතුර ගැන දැඩි තීරණ එපායැයි ඇමැති ජෝන් අමරතුංග ෙගන් ඉල්ලීමක් 
මෛත්‍රීමහින්දට දුන් හදිසි ඇමැතුම 
ජනපති තුන් වරක් අගමැතිට අස්වෙන්න කියයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවත වරක් දේශපාලන කඩඉම පැනගත්තේය. 2015 ජනවාරි 08 දා ජනපතිවරණ පරාජයෙන් පසුව වේදිකාවෙන් ඉවත්ව නොගොස් ජනතාව සමඟ දේශපාලනය කළ මහින්ද කෙරේ රටේ බහුතර ජනතාව නැවතත් විශ්වාසය තබා ඇත. ආණ්ඩුකරණයටත් වඩා විපක්ෂයේ කෙරුවාව හොඳින් දන්නා මහින්ද 1967 වසරේ සිට වසර 50කට වැඩි කාලයක් නිතිපතා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණු අත්දැකීම් බහුල වෘත්තිය දේශපාලනඥයෙකි. හොඳ දේශපාලන ඉවක් ඇතිව ජනතා සිතුම් පැතුම් තේරැම් ගැනීමට ඔහුට මනා හැකියාවක් තිබේ. ජනතා සිතුම් පැතුම් තේරුම් ගැනීම අතින් මහින්ද සිටින්නේ සෙසු දේශපාලන නායකයන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. වංචා දූෂණ භීෂණ ආදී කප්පරක් චෝදනා මැද ඔහු සැලු‍ණේ නැත. ඔහුගේ පවුලේ අය සිරගත වෙද්දී මහින්ද දුර්මුඛ නොවී දේශපාලනයම කළේය. පක්ෂය හා කාර්යාලය අහිමි වූ විට ඔහු අලුතින් පක්ෂයක් නිර්මාණය කොට අවුරැද්දකින් ගමේ බලය අල්ලාගන්නට සමත් විය. ඒ මහින්දගේ හැටිය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී පොහොට්ටුව අනපේක්ෂිත ලෙස දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරද්දී ආණ්ඩුවේ නායකයන් දෙදෙනාම අර්බුදයකට තල්ලු වූහ. එයිනුත් වඩාත්ම ප්‍රබල අර්බුදයට මුහුණ දුන්නේ එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහයි. වාර ගණනක් මැතිවරණ පරාජයේ අමිහිරි අත්දැකීම් විඳ සිටින එ.ජා.පාක්ෂිකයන් මෙන්ම පක්ෂයේ මැති ඇමැතින් බහුතරය පක්ෂයේ වෙනසක් අවශ්‍ය බව කියන්නට වූහ. ඇතැම් මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරු පක්ෂ නායකත්වයේ වෙනස්කම් කළ යුතු යැයි කීහ. මැතිවරණ පරාජයට පසුදාම එ.ජා.පයේ පසුපෙළ හා කැබිනට් අමාත්‍යවරුන් වාර දෙකකට අරලියගහ මැඳුරට කැඳවූ අග්‍රාමාත්‍යවරයා ඡන්ද ප්‍රතිඵලය ගැන ඔවුන්ගේ මත විමසුවේය. රාජිත, චම්පික ඇතුළු අමාත්‍යවරු 2015 ජනවාරි 08 දුන් පොරොන්දු ඉටුකිරීම අතින් රජය පසුගාමී වීම පරාජයට මුල බව පැවසූහ. පසුගිය රජයේ වැරදිකරුවන්ට දඬුවම් නොදීම පරාජයට තවත් හේතුවක් බව ඇතැමෙක් පැවසූහ. මෙහිදී නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක පක්ෂ මන්ත්‍රීන් ගණනාවකගේ විරෝධයට ලක් විය. ඔහු පොලීසිය මෙහෙයැවූ ආකාරය ගැන මැති ඇමැතිවරු දැඩි ලෙස සිය අසතුට පළ කළෝය.

මේ ආකාරයට අමාත්‍යවරුන්ගේ විවේචන මධ්‍යයේ හමුව අවසන් වූ අතර ඇමැතිවරුන් කණ්ඩායම් වශයෙන් වෙන වෙනම සාකච්ඡා කිරීමට තැන තැන රැස්ව සිටියෝය. අනතුරුව එ.ජා.ප. මන්ත්‍රීන්, නියෝජ්‍ය ඇමැතින් හා රාජ්‍ය ඇමැතින්ගේ හමුවක් කැඳවූ අතර එහිදී මැති ඇමැතින් ගණනාවක් තරමක සැර අදහස් දැක්වූහ. රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක හා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් කරුණු දක්වමින් කීවේ පාක්ෂිකයන් පක්ෂ නායකත්වයේ වෙනසක් ප්‍රාර්ථනා කරන බවය. තමන් රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත්ව මෙම පාක්ෂික අදහස පළ කරන බවද ඔවුහු සඳහන් කළෝය. ඒ ආකාරයට පක්ෂයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ගැන ද මන්ත්‍රීන් ගණනාවක් අදහස් දැක්වූහ. එහෙත් අග්‍රාමාත්‍යවරයා ඒ ගැන දැඩි ප්‍රතිචාර නොදක්වා ඉවසිල්ලෙන් සිටියේය. ඒ අතර එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් අග්‍රාමාත්‍යවරයාට යෝජනා කළේ පක්ෂ මුහුණුවරෙහි වෙනසක් කරමින් එ.ජා.ප. තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු වගයි.

ඊට මැති ඇමැතින් බහුතරයක් කැමැත්ත දුන් විට ඒ ගැන රජය සමඟ කතා කරන බව අග්‍රාමාත්‍යවරයා දන්වා තිබිණි. වෙනම ආණ්ඩුවක් සැදීම ගැන එ.ජා.පය මේ ආකාරයට තීන්දුවක් ගෙන දවසක් ගතවන තුරුත් යමක් සිදුවූයේ නැත. බහුතරය සොයාගැනීම ද ප්‍රශ්නයක් විය. දෙමළ ජාතික සන්ධානය හෝ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන්ගෙන් සහාය ගැනීමට යෝජනා විය. කරු ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස දෙදෙනාගෙන් කෙනෙක් අග්‍රාමාත්‍ය ධූරයට ගෙන ආ යුතු බවට ද යෝජනා ඉදිරිපත් විය. එහෙත් කරු හෝ සජිත් දෙදෙනාම ඒ ගැන එතරම් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොතිබූ බව සඳහන්ය. කරුගෙන් ඒ ගැන ප්‍රශ්න කළ අයට ඔහු කියා තිබුණේ පක්ෂය කඩා තනතුරු ගන්නට තමන්ගේ කිසිදු සූදානමක් නැති වගයි.

එ.ජා.ප. තනි ආණ්ඩු කතාව මාධ්‍යයෙන් ප්‍රචාරය වෙද්දී ජනාධිපතිවරයාගෙන් ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින් ඒ ගැන ප්‍රශ්න කරන්නට වූ අතර ඔවුන්ගේ හමුවක දී තීන්දු කර තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එ.ජා.පයේ වෙනත් ජ්‍යෙෂ්ඨයකු අග්‍රාමාත්‍ය ධූරයට පත් කොට සම්මුතිවාදී රජය පවත්වාගෙන යා යුතු වගයි. මේ කතාබහ මධ්‍යයේ ගිය සඳුදා සවස ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් නිකුත් වූ විශේෂ නිවේදනයකින් තත්ත්වය තවත් අවුල් සහගත විය. එම නිවේදනයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉදිරි දේශපාලන කටයුතු කෙසේ පවත්වාගෙන යා යුතුද යන්න ගැන ජනපති සහ අගමැති අතර කිසිදු එකඟතාවක් හටගෙන නැති බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සියල්ල තමන් ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපතිවරයා එම ප්‍රකාශය මගින් දැනුම් දුන්නේය.

එම නිවේදනය ගැන එ.ජා.පයේ රාජිත සේනාරත්න වැනි ඇමැතිවරුන් දැඩි අසතුට පළකරද්දී එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් අග්‍රාමාත්‍යවරයා සමඟ එක්ව තීන්දු කළේ සඳුදා රාත්‍රී ජනාධිපතිවරයා මුණගැසීමටයි. ඒ අනුව සඳුදා රාත්‍රී 8.40ට පමණ ජනාධිපතිවරයාගේ පැජට් පාරේ නිවසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, මංගල සමරවීර සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරු පැමිණියහ. ඒ අවස්ථාවේ හමුව ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශිත ජන මතය ගැන දීර්ඝ විවරණයක් කළේය. අග්‍රාමාත්‍යවරයාටත් තමන්ටත් ජනතාව පණිවුඩයක් දී ඇති බැවින් ජන මතයට ගරු කළ යුතු යැයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් කළ යුත්තේ අග්‍රාමාත්‍යතුමා තනතුරෙන් ඉවත්ව සුදුස්සකු ඒ සඳහා පත් කිරීම යැයි යෝජනා කර තිබේ. ඊට කරු ජයසූරිය කතානායකවරයා සුදුසු බවටද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරුන් ද අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් අපේක්ෂා කරන්නේ යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. එවිට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ රනිල් වික්‍රමසිංහ මහතා ඒ ගැන තීන්දුවක් ගත යුත්තේ එ.ජා.පය මිස ශ්‍රී.ල.නි.ප නොවන බැවින් ශ්‍රී.ල.නි.ප ඇමැතින් කියන ලෙස අගමැති ධූරය වෙනස් නොකරන බව පැවසීය. කෙසේ වෙතත් ජනතාව තීන්දුවක් දී ඇතැයි ජනාධිපතිවරයා පවසද්දී මැතිවරණයෙන් එ.ජා.පය පමණක් නොව ශ්‍රී.ල.නි.පය ද පරාජය වී ඇතැයි එහි සිටි ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කර තිබිණි. මේ ආකාරයට දෙපක්ෂයම දීර්ඝව කතා කළ ද අවසන් තීන්දුවකට පැමිණීමට නොහැකි විය. එ.ජා.පය තනි ආණ්ඩුවක් පිහිටුවන බව මුලින්ම ප්‍රකාශ කළේ ද මෙම හමුවේදීය.

කෙසේ හෝ හමුව අවසාන එ.ජා.ප නියෝජිතයෝ තවදුරටත් මේ ගැන කතා කිරීම සඳහා අමාත්‍ය මංගල සමරවීරගේ නිල නිවසට ගියෝය. අග්‍රාමාත්‍යවරයා ද ඊට එක් විය. මංගලගේ නිවසේ දී පක්ෂ ප්‍රධානීන් සියලු දෙනා තීන්දු කළේ මේ රජය මේ ආකාරයට පවත්වාගෙන යා නොහැකි නිසා පක්ෂ මැති ඇමැති කණ්ඩායමේ ද එකඟත්වය ඇතිව තනි ආණ්ඩුවක් සැදිය යුතු බවයි. දෙමළ සන්ධානයේ සහාය පිටත සිට ලබාගත හැකිදැයි විමසීමට තීන්දු කළ බව පැවසේ.

ඡන්දය දිනයේ සිය ආසන පරාජයට පත්ව දැඩි පීඩනයකට ලක්ව සිටි ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයෝ සිටියේ බලවත් අසහනයකිනි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යාමට නොහැකිව අර්බුදයකට මුහුණ දෙමින් සිටියහ. ඡන්දය දින රාත්‍රියේ දැඩි වෙහෙසට පත්ව තංගල්ල කාල්ටන් නිවසේ නිදමින් සිටි හිටපු ජනාධිපතිවරයාට අලුයම දෙකට පමණ දුරකතන ඇමතුමක් ලැබිණි. කතා කළේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියයි. ඔහු රාජපක්ෂ මහතාට කීවේ ඡන්ද ප්‍රතිඵල ලබාදීමේ ප්‍රමාදයක් ඇති බවත් පාක්ෂිකයන්ට ඒ ගැන කලබල නොවී සිටින ලෙස ඉතා ඉක්මනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නට පිළිවන් නම් ඉතාමත් අගය කරන බවයි. මහින්ද දේශප්‍රියගේ ඇමතුම හමාර වෙත්ම මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න ද හිටපු ජනාධිපතිවරයා අමතා කතා කළේය. ඔහු කීවේ යම් යම් ස්ථානවල සුළු සුළු සිදුවීම් ඇතිවෙමින් තිබෙන නිසා රාජපක්ෂ මහතා ඒ මොහොතේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කොට පාක්ෂිකයාට සන්සුන්ව සිටින ලෙස ඉල්ලීමක් කරන්න කියාය. අධික වෙහෙස නිසා සුව නින්දේ සිටි මහින්ද ඒ මොහොතේම මාධ්‍ය අමතා තමන්ට ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන්නට ඇති බැවින් ඒ මොහොතේ මාධ්‍ය කණ්ඩායමක් කාල්ටන් වෙත එවන්නැයි ඉල්ලා සිටියේය. සුළු මොහොතකින් මාධ්‍යවේදීන් පැමිණි පසු තම පාක්ෂිකයන්ට සන්සුන්ව ජයග්‍රහණය භුක්ති විඳින්නැයි රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

අනතුරුව නින්දට ගිය රාජපක්ෂ මහතාට උදෑසන සිට හතර අතින් සුබ පැතුම් ලැබිණි. දහස් ගණනක් ජනතාව කාල්ටන් නිවසට පැමිණියහ. ඔවුනට ආහාරපාන ආදියෙන් සංග්‍රහ සත්කාර කරමින් ජනතාව හමුවෙද්දී උදෑසනින්ම රාජපක්ෂ මහතා අමතා ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයෙක් කතා කළේය. ඒ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාය. ඊළඟට අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා ද කතා කළේය. මේ දෙදෙනාම පසුගිය කාලයේ පක්ෂ සමගිය වෙනුවෙන් කැප වී ක්‍රියා කළ ද ඔවුන්ට ශ්‍රී.ල.නි.පයෙන් විපක්ෂයට පැමිණිය හැකිවූයේ නැත. දෙදෙනාම කීවේ දැන්වත් මේ බෙදීම නවතා පක්ෂය එකට ගමන් කළ යුතු බවයි. එහෙත් පක්ෂය බෙදුවේ තමන් නොවන බවත් ඊට වගකිව යුත්තේ ජනාධිපතිවරයා බවත් මහින්ද කියා තිබිණි. අග්‍රාමාත්‍ය ධූරය භාරගෙන රජය ඉදිරියට ගෙන යන්නටත් ශ්‍රී.ල.නි.ප සභාපති ධූරය භාරගන්නටත් සතුටු ද කියා මෙම අමාත්‍යවරු මහින්දගෙන් විමසා තිබුණි. තමන් මේ පිරිහුණු රජයේ අගමැතිකම භාර නොගන්නා බවත් එ.ජා.පය සිටින රජයකට එක් වීම කිසිසේත්ම සිදු නොවන බවත් මහින්ද අවධාරණය කළේය. පක්ෂ සභාපතිකම ගැන ඇමැතිවරුන් කී විට මහින්ද විහිළුවෙන් මෙන් ඇසුවේ දැන් ඩාර්ලි පාරේ පක්ෂයක් තියෙනවද? කියායි. පක්ෂයත්, පාක්ෂිකයනුත් සැබෑවටම ඉන්නේ තමා සමඟ බව ඔහු සඳහන් කර තිබිණි. කෙසේ හෝ සුසිල්, ජෝන් දෙදෙනාම රාජපක්ෂ මහතාගෙන් තරයේම ඉල්ලා තිබුණේ පක්ෂය රැක ගන්නට උදව්වන ලෙසයි.

ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති විඳි ජනතාවගේ සුබ පැතුම් පිළිගනිමින් එදින තංගල්ලේ රැඳී සිටි මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පැමිණි පසු ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් පමණක් නොව එ.ජා.පයේ ඇතැමුන් ද රහසින් මහින්ද අමතා තිබිණි. ඔවුහු මහින්දගේ ඉදිරි වැඩපිළිවෙළ ගැන කරුණු විමසූහ.

තමන් කිසිසේත්ම ආණ්ඩු හදන්නට උත්සාහ නොකරන බවත් ආණ්ඩුවක් සැදිය හැකිනම් හදන්නේ මැතිසබය විසුරුවා හැර මහ මැතිවරණයක් ලබා ගැනීමෙන් බවත් ඔහු සඳහන් කළේය. ඒ අතර පසුදා උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට ද අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් තිබිණි. මෙම ජයග්‍රහණය සඳහා සංවිධචාන ව්‍යූහය සකස් කළ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා තිරය පිටුපස සිට ඉටුකළ වැඩ කොටස බැසිල්ව විවේචනය කරන අය පවා අගය කිරීම විශේෂයකි.

ගිය අඟහරුවාදා සවස නැවතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එ.ජා.ප මැති ඇමැති කණ්ඩායම ජනාධිපතිවරයා මුණ ගැසීමට තීන්දු කළේය. ඊට පෙර එ.ජා.පයේ පසු පෙළ අගමැතිවරයාට යෝජනා කළේ යූ.ඇන්.පීය තනි ආණ්ඩුවක් සැදිය යුතු වගය. ඊට අවශ්‍ය සහය ලබාගෙන ආණ්ඩුවක් හදන බව ජනාධිපතිවරයාට දන්වන්නැයි එ.ජා.ප පසු පෙළ මන්ත්‍රීන් අගමැතිට දැන්වීය. රාත්‍රී 8.00ට පමණ පැජට් පාරට පැමිණ ජනාධිපතිවරයා හමුවීමට අවසර ඉල්ලූ පසු පැමිණෙන්නේ කවුදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කර තිබිණි. එ.ජා.ප මැති ඇමැතින් සියල්ලම පැමිණෙන බව කීවිට ජනාධිපති නිල නිවසේ රැස්වීම් ශාලාවේ ආසන 60ක් පමණ නිසා 60 දෙනෙක් පැමිණීම සෑහෙන බව ජනාධිපතිවරයා කීය. ඒ නිසා මේ හමුවට යාමට මැති ඇමැතීන් සැමට පක්ෂය ආරාධනා නොකළ බව පැවසේ. චම්පික රණවක, ගයාන් කරැණාතිලක, අර්ජුන රණතුංග ආදීන්ට පවා දන්වා නොතිබූ බව කියැවේ. එහෙත් ජනාධිපති කාර්යාලයෙන් මෙම ඇමැතිවරුනට ආරාධනා කර තිබිණි.

මෙම රැස්වීම ආරම්භ කරන්නට පෙර අමෙරිකානු තානාපති අතුල් කෙශාප් ජනාධිපතිවරයා හමුවිය. ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු මහතා අගමැති, ජනාධිපති දෙදෙනාම මුණගැසුණි. මේ අයගේ මතය වූයේ රජය අර්බුදයකට යා නොදී පවත්වාගත යුතු බවයි. මාලදිවයිනේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ඇති වන්නට ඉඩ නොදිය යුතුය. අමෙරිකානු තනාපති ජනාධිපතිට කීය. සම්මුතිවාදි රජය කැප වීමෙන් පවත්වාගත යුතුය යන්න ගැන මේ තානාපති දෙදෙනාම ජනපති, අගමැති දෙදෙනාට දන්වා තිබිණි. 

එම පසුබිමේ එ.ජා.ප මැති ඇමැතින් අමතමින් යට කී රැස්වීම ආරම්භ කළ ජනාධිපතිවරයා විනාඩි 35ක් කතා කළේය. ආණ්ඩුවට පරාජය වන්නට හේතු වූ කරුණු 30ක් ජනාධිපතිවරයා එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායමට විස්තර කළ බව වාර්තා වේ. ආණ්ඩුවක් කරනකොට පොළවේ පය ගහලා ආණ්ඩු කරන්න ඕනේ. යූ.ඇන්.පීයට කවුරුවත් දුන්නේ නැති නිදහසක් මම දුන්නා. ඒත් ඔයාලට ජන මතය දිනා ගන්න බැරි වුණා. ජනතාව දැන් තීන්දුවක් දීලා තියෙනවා. ඒ නිසා ඒක පිළිඅරගෙන අගමැතිතුමා ඉල්ලා අස්වීම හොඳ බවයි මගේ අදහස...ජනාධිපතිවරයා කෙළින්ම කීය. එවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේ පක්ෂයේ මැති ඇමැතින් තමන්ට ඉවත් නොවන ලෙස දන්වා ඇත කියායි. ඊට ජනාධිපතිවරයා කීවේ ඒක මම දන්නේ නැහැ. මගේ අදහස ඔයාලගේ වෙන කෙනෙක් දැම්මොත් හොඳ බවයි. ජනාධිපතිවරයා නැවත කීය. ඊළඟට රාජිත සේනාරත්න, හරීන් ප්‍රනාන්දු ආදි ඇමැතිවරු කීවේ ඡන්ද පරාජය එක පක්ෂයක දෙයක් නොව දෙපැත්තම ඊට වගකිව යුතු බවයි. රන්ජිත් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිට යෝජනා ගණනක් කළේ ඒ මොහොතේය. අපි මේ ගමන තවදුරටත් එකටම යමු. ඒ නිසා ඔබතුමා නිර්පාක්ෂික වෙන්න. රන්ජිත් ඉල්ලා සිටියේය. මම නිර්පාක්ෂික වුණානම් ආණ්ඩුව ඉවරයි. ඒක මතක තියාගන්න. එහෙම වුණානම් රාජපක්ෂ මහත්තයා දැනටමත් ආණ්ඩුව අරගෙන... ජනාධිපතිවරයා කීය. ඔයාලා හුඟක් දේ කළා. සමහර වෙලාවට මට අයිති තානාපති පත් කිරීම් පවා මංගල ඇමැතිතුමා කළේ මගෙන් අහන්නැතුව... යැයි ජනාධිපතිවරයා චෝදනා නැගීය. නැහැ සර්.. හැම වෙලාවෙම මම සර්ට කිව්වා.. මංගල ඊට උත්තර බැන්දේය. කතාව සැරට යද්දී නැගී සිටි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලීමක් කරනවා අගමැති තනතුර වෙනස් කරන්න එපා ජෝන් කීය. ආණ්ඩුවක් කරනකොට ප්‍රායෝගික වෙන්න ඕන. ලෝකේ කියන හැටියටම සේරම කරන්න බැහැ. ඔයගොල්ලෝ අපේ රටේ හමුදා තුනම තරහ කරගත්තා.. මම කියන්නේ බොරු නෙවේ.. ජනාධිපතිවරයා ප්‍රබල චෝදනාවක් එල්ල කළේය. මේ ආකාරයට කතා කළ ජනාධිපතිවරයාගේ මූලික අදහස වූයේ සම්මතිවාදී රජය කරනවානම් නව අග්‍රාමාත්‍යවරයකු යටතේ ක්‍රියා කළ යුතු වගයි. ඒ ගැන කමිටුවක් දමා සතියකින් තීන්දුවක් ගනිමු යැයි අගමැති රනිල් යෝජනා කළවිට ජනාධිපතිවරයා කීවේ සතියක් ලබා දිය නොහැකි බවත් එක් දිනක් තුළ තමාට පිළිතුරක් ලබා දිය යුතු බවත්ය. පිළිතුරක් ලැබුණත් නැතත් තමන් සිකුරාදාට ජන මාධ්‍යයෙන් ජනතාව අමතා තමන්ගේ තීරණය රටට ප්‍රකාශ කරන්නේ යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේ රැස්වීම හමාර කරමිනි.

සම්මුතිවාදී රජය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා එ.ජා.පය සිය උපාය උපක්‍රම යොදවද්දී කොළඹ 7 විජේරාම පාරේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයෝ රැස් වූහ. ඔවුන් මුලින්ම තීන්දු කළේ කිසිසේත්ම ආණ්ඩුවක් භාර නොගන්නටය. ශ්‍රී.ල.නි.පයේ එ.ජා.පයේ හා සුළු පක්ෂ නායකයන් ගණනාවකගෙන් මහින්ද රාජපක්ෂ මහතාට ඇමතුම් පිට ඇමතුම් ලැබී තිබිණි. ඒ අය රාජපක්ෂ මහතා සහාය දෙන කණ්ඩායමකට උදව් කරන්නට කැමැත්ත පළකර තිබූ බව මහින්ද සිය මන්ත්‍රීන්ට කීය. ශ්‍රී.ල.නි.පයෙන් ආණ්ඩුවටත් හැදීමට යෝජනා වී ඇතැයි පැවසූ මහින්ද පිටත සිට ඊට සහය දී තනතුරු නොගෙන කැබිනට් මහ මැතිවරණයක් ලබාගත යුතු යැයි යෝජනා කළේය. ඒ සඳහා ශ්‍රී.ල.නිපය සමඟ කිසියම් එකඟත්වයකින් වැඩ කළ යුතු යැයි මහින්දානන්ද, ජොනී ආදීහු පෙන්වා දුන්හ. රමේෂ් පතිරණ ඊට සතුටු නොවීය. එහෙත් මහින්ද කීවේ දේශපාලනයේදී ප්‍රායෝගික විය යුතු බවය. දේශපාලනයේ සදාකාලික සතුරන් නැත කියා ඔහු මතක් කළේය. පිටත සිට ශ්‍රී.ල.නි.ප රජයක් හදන්නට උදව් දෙන්නේනම් අගමැති ධූරයට චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල හෝ කරු ජයසූරිය මහත්වරැන්ගෙන් කෙනෙක් සුදුසු යැයි යෝජනා විය. එහෙත් චමල් මහතා අගමැතිධූරය නොගත යුතු යැයි තීන්දු වූ අතර අවශ්‍ය නම් මැති සබයේ කතානායක පදවිය භාර ගැනීම පමණක් සෑහේ යැයි බහුතරයේ මතය විය. 

ඒ අතර ඒකාබද්ධයේ පිරිසක් සමඟ ආණ්ඩුවේ ප්‍රබලයන් රැසක් සාකච්ඡා කරන්නට පටන් ගත්හ. අඟහරුවාදා රාත්‍රියේ ජනාධිපති නිවසට ගිය ඒකාබද්ධයේ ප්‍රධානීහු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාකොට එකඟතාවයකට පත් වූහ. ඊට නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, මහින්දානන්ද ඇතුළු පිරිසක් එක්වූහ.

රිෂාඩ්, රවුෆ්, මනෝ, දිගම්බරම් පමණක් නොව රාජපක්ෂලාට පසුගිය කාලයේ දැඩි ලෙස පහර දුන් ඇමැතිවරු ගණනාවක්ද රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ පුත්‍රයා ද මේ අතර වූ බව කියැවේ. ඊට අමතරව විජේදාස රාජපක්ෂ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, රතන හිමි වැනි අය සමඟ ද ඒකාබද්ධය අදහස් හුවමාරු කරගත්තෝය. රජයේ ප්‍රබල තරුණ මන්ත්‍රීවරයකුත් ඉහළම දේශපාලන පවුලක ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ද මෙම සාකච්ඡා සඳහා මැදිහත්ව සිටියේය. මේ පිරිස කළ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධයේ මන්ත්‍රීන් හා ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් 96 දෙනාද සමඟ (ඩග්ලස් දේවානන්ද, තොණ්ඩමන් ද ඇතුළුව) ශ්‍රී.ල.නි.පයට මැති සබයේ බහුතර මන්ත්‍රීන්ගේ සහය ලබා ගත හැකි බව ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨයෙක් මහින්ද රාජපක්ෂ මහතාට දැන්වීය. අනතුරුව මහින්ද කීවේ එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන ලෙසයි.

ගිය බදාදා ජනාධිපතිවරයා ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින් සමඟ පැය 3ක සාකච්ඡාවක් කළේ ආණ්ඩුව ගැන තීන්දුවක් ගන්නටයි. එහිදී ඔවුහු තමන්ට ශ්‍රී.ල.නි.ප. රජයත් පිහිටුවිය හැකි බව ජනාධිපතිවරයාට කීහ. ඊට පෙර මෙම පිරිස ඒකාබද්ධ විපක්ෂය සමඟ අදහස් හුවමාරු කරගත්හ. සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න, ලක්ෂමන් යාපා, දයාසිරි ජයසේකර ආදී ජ්‍යෙෂ්ඨයෝ ඊට මැදිහත්ව උන්හ. ශ්‍රී.ල.නි.ප මැති ඇමැති හමුවේදී මැති ඇමැතීන් තනිවම ඩීල් නොදමා පක්ෂයක් ලෙස තනි ආණ්ඩුවකට යන්නේ නම් ඒ ගැන ක්‍රියාකරන ලෙස අවසානයේ ජනාධිපතිවරයා දැන්වීය. මෙම හමුවේදී ජනාධිපතිවරයා අවසාන වශයෙන් ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින්ට කීවේ ඔන්න මම බිත්තරේ කැඩුවා. දැන් ඔයාලා පැටියව එළියට ගන්න කියායි.

මෙම කතාබහෙන් පසුව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරු විශේෂ ලිපියක් සකස් කළෝය. එහි සඳහන් වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරේ සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම තමන්ට පිළිගත නොහැකි බැවින් මැතිසබයේ ගෞරවය හා විශ්වාසය දිනා ගන්නා කෙනෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන ලෙසයි. ගිය බදාදා සවස මේ ලිපිය ජනාධිපතිට භාර දෙනු ලැබීය. ඒ අතර නිමල් සිරිපාල ද සිල්වා මහතා අග්‍රාමාත්‍යධූරයට පත් කිරීම ගැන ශ්‍රී.ල.නි.ප ඒකාබද්ධ සුළු පක්ෂ අතර කතාබහ ඇති විය.

සුසිල්ලා ලිපිය භාර දුන් දින රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා නැවතත් පැමිණ ජනාධිපතිවරයා මුණ ගැසුණේය. එහිදී මේ ලිපිය ගැනත් සඳහන් කළ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉවත්ව සුදුසුසකුට තනතුර දීම ගැන සලකා බලන්නැයි නැවතත් කීය. මෙම කතාබහ තීරණයකින් තොරව අවසාන විය. ශ්‍රී.ල.නි.පය අග්‍රාමාත්‍ය ධූරයට නම් කළ නිමල් සිරිපාල මහතා කලකින් මහින්ද රාජපක්ෂ මහතා සමඟ දුරකථනයෙන් හෝ කතා කර තිබුණේ නැත. එහෙත් ගිය බ්‍රහස්පතින්දා උදෑසන නිමල් කලකින් මහින්ද ඇමතීය. සර් දැන් මේ තනතුරට මගේ නම යෝජනා වෙලා කියනවා... ඒකට ඔබතුමාගෙ සක්‍රීය සහයෝගය මම ඉල්ලා සිටිනවා. නිමල් මහින්දට කීය. සක්‍රීය සහයෝගය දෙන්නම්. හැබැයි අපි ආණ්ඩුවේ තනතුරු නම් ගන්නේ නැහැ මහින්ද කීය. 

නිමල් සිරිපාල මහින්ද රාජපක්ෂ අමතා සුළු වේලාවකට පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට දුරකතනයෙන් කතා කළේය. ශ්‍රී.ල.නි.ප.ය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව සහයෝගීතා රජයක් කරගෙන යාම ගැන මෛත්‍රී මහින්ද සාකච්ඡාවක් කළ යුතු බැවින් තමන් හමුවන ලෙස ජනාධිපතිවරයා මහින්දට ආරාධනා කළේ එම මොහොතේය. ඊට පිළිතුරු දෙමින් මහින්ද සඳහන් කළේ “අපි ආණ්ඩුවෙන් පිටත ඉඳන් තනතුරු නොගෙන සහාය දෙන බව කියලා තියනව. ඒ ගැන සැකයක් තියාගන්න එපා. වෙලාව ආවාම “අපි හමුවෙමු” යැයි කියා තිබිණි.

එදින උදෑසන එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම ද අරලියගහ මැදුරේදී මුණගැසුනි. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න එහිදී ව්‍යවස්ථාවේ වගන්ති විග්‍රහ කරමින් කීවේ ජනාධිපතිවරයාට පවතින ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ නොහැකි බවය. ඒ සමඟ සුළු පක්ෂ නායකයන් වන රවුෆ් හකීම් හා රිෂාඩ් බදුර්දීන් ද අග්‍රාමාත්‍යවරයාට සහාය දෙන බව පැවසූහ. කෙසේ හෝ මෙම කතාබහ අතර සාගල රත්නායක මහතා නීතිය හා සාමය අමාත්‍ය පදවියෙන් ඉවත් වන බව මන්ත්‍රී කණ්ඩායමට දැන්වීය.

බ්‍රහස්පතින්දා සවස නැවතත් අග්‍රාමාත්‍යවරයා කබීර් හෂීම්, සජිත් ප්‍රේමදාස ආදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ ජනාධිපති නිවසට ගොස් ජනාධිපතිවරයා මුණගැසුණේය. ආණ්ඩුවේ කළ යුතු ප්‍රතිසංස්කරණ හා කැබිනට් සංශෝධනයක් ගැන යෝජනා කළ ද ජනාධිපතිවරයා ඊට සුබදායක ප්‍රතිචාර දන්වා නැතැයි සඳහන්ය. ඔහුගේ ස්ථාවරය වී තිබුණේ අගමැතිවරයා ඉවත් විය යුතුය යන්නයි. ඒ වනවිට ජනාධිපතිවරයා මීට අදාළව නීති උපදෙස් ලබාගෙන තිබිණි. ඒ සමඟ ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන්ට සිකුරාදා උදෑසන 8.30ට අවසන් තීන්දුවත් රැගෙන තමන් හමුවන ලෙසද දැන්වීය. මෙම රැස්වීමේදී ශ්‍රී.ල.නි.ප.ය පොහොට්ටුව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ යුතු බවට යෝජනා වූ බව කියැවේ. අනතුරුව එහි ප්‍රගතිය මහින්ද රාජපක්ෂ මහතාට වාර්තා කිරීමට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අතර ශ්‍රී.ල.නි.ප.යේ අවසාන ස්ථාවරය දැනගැනීමට සිකුරාදා දහවල් ඒකාබද්ධ විපක්ෂ නියෝජිත පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණේය.

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර
 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00