2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

1. මේ මැතිවරණ ප්‍රතිඵලවලින් ජනතාව දීලා තියන පණිවිඩය මොකද්ද?

2. ආණ්ඩුවට තවදුරටත් හවුලේ ගමනක් යන්න පුළුවන්ද?

3. පළාත් පාලන ඡන්ද පනතේ වෙනස්කම් නිසා හුඟක් පළාත් පාලන ආයතනවලට තනිවම බලයක් පිහිටුවන්න බැහැ. කාන්තා නියෝජනය නිසා ගැටලු තියෙනවා. මේ පනතට සංශෝධන අවශ්‍යයි කියලා හිතන්නේ නැද්ද?

4. අලුත් ක්‍රමය යටතේ මන්ත්‍රීවරු වැඩි වෙලා තියෙනවා. මොවුන්ට විශාල පිරිවැයක් යනවා. ප්‍රාදේශීය සභාවකට මෙච්චර මන්ත්‍රීවරු සංඛ්‍යාවක් අවශ්‍යයිද?

 

ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි එක්සත් ජනතා නිදහස් සන්ධානය

1. මේ වර්ගයේ ආණ්ඩුවක් ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒක තමයි මේ ඡන්ද ප්‍රතිඵලවලින් පස්සේ ජනතාව දීලා තිබෙන පණිවිඩය.

2. මම හිතන්නේ නෑ මෙහෙම ගමනක් යන්න පුළුවන් කියලා. ජනතාවගේ පැතුම තමයි එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් පිහිටවිය යුතුයි කියන එක. 

3. ඇත්තටම දැන් මේ තත්ත්වයෙන්ම තේරුණා මිනිස්සු ගමේ ඉන්න ඡන්දදායකයන් තුන්දහස් පන්සියය හාරදාහ වගේ එකතු වෙලා තමන්ගේ ගමට ගැලපෙන අපේක්ෂකයාගේ ගුණ අගුණ දක්ෂතා බලලා ඡන්දය දෙන්නේ නෑ. ඒ නිසා මට තේරෙන විදිහට ජනතාව මේ ඡන්ද ක්‍රමය ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

4. ඇත්තටම ඉතා විශාල මුදලක් යනවා මොවුන්ගේ නඩත්තුව සහ මොවුන්ට ප්‍රතිපාදන ලබා දීම සඳහා. ඒ වගේම මේක ජනමත විමසුමක් විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ තමන්ට ගමට මන්ත්‍රී කෙනෙක් පත්කර ගැනීමේ අවශ්‍යතාවය මේකෙන් පෙන්නුම් කරලා නැහැ. ඒ නිසා මම කලින් කිව්වා වගේ ජනතාව මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරලා තියෙනවා.  

මහින්ද මහත්තයා ඕනෑ කියන එක තමයි තීන්දුව

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත

1. ජනතාව පැහැදිලිවම මේ වගේ මැතිවරණ තීන්දුවක් දුන්නේ මේ යහපාලන ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කර නොමැති නිසා ඒ වගේම නැවත මේ රටේ නායකත්වයට අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වෙන්න ඕනෑ කියන එක තමයි ජනතාව මේ තීන්දු කළේ. මේ ප්‍රතිඵලය එක්ක යහපාලන ආණ්ඩුවේ පිරිස් අද පැයෙන් පැයට සාකච්ඡා පවත්වන මට්ටමක් උදා වෙලා තියෙනවා. එතනින්ම පැහැදිලි වෙනවා මේ පළාත් පාලන මැතිවරණය ආණ්ඩු පෙරළන මැතිවරණයක් බවට පත්වෙලා තියෙනවා කියලා.

2. මේ තත්ත්වය යටතේ පැහැදිලිවම ආණ්ඩුවට ගමනක් යන්න බැහැ. මේ රට අනාථ කරපු නන්නත්තාර කරපු කණ්ඩායම ඉවත් වෙලා කරන්න පුළුවන් කණ්ඩායමකට මේක ලබා දෙන්න ඕනෑ. මේ ආණ්ඩුව කරන්න පුළුවන් ප්‍රධාන පාර්ශවයන් තීන්දු කරන්න ඕනෑ. මේ ආණ්ඩුව කරන්න පුළුවන් අයට ලබා දෙන්නත්, නැත්නම් ඉතාම ඉක්මනින් 3/2ක පාර්ලිමේන්තු බලයක් ගෙනල්ලා මේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා මහමැතිවරණයක් ඉතාම ඉක්මනින් තියන්න ඕනෑ කියලා තමයි අපේ අදහස වෙන්නේ.

3. පැහැදිලිවම දැවැන්ත සංශෝධනයක් අවශ්‍යයි. කොහෙත්ම සුදුසු නැති මැතිවරණ ක්‍රමවේදයක් මේක. ඒ නිසා ඉතාම ඉක්මනින් මේක සංශෝධනය විය යුතුයි. ඒ වගේම කාන්තා නියෝජන එක්ක සමහර පක්ෂ දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. පක්ෂ විතරක් නෙවෙයි මැතිවරණ කොමිෂන් සභාවත් මේ තත්ත්වය යටතේ අර්බුදයකට මුහුණ දීලා සිටිනවා.

4. කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. මොකද මමත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විදිහට, විපක්ෂ නායකවරයෙක් හැටියට වගේම සභාපතිවරයෙක් හැටියටත් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම දන්නවා සභාවකට මේ සංඛ්‍යාව කොහෙත්ම නඩත්තු කරන්න බැහැ. එකට එකකින් සභිකයන් වැඩිවෙලා තියෙනවා. මේ යහපාලන ආණ්ඩුව සමාජයෙන් බේරන්න කරපු වැඩේ නිසා අද රටේ පළාත් පාලන ආයතන දැඩි අර්බුදයකට යොමු වෙලා තියෙනවා.

 

අපට කනේ පහරක් දීපු මැතිවරණයක්

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම

1. මේ මැතිවරණයෙන් රටේ පාලනයට හෝ ජනාධිපතිවරයා ප්‍රමුඛ යහපාලතන ආණ්ඩුවට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒ වුණාට ජනතාව ඒක දැනගෙන අපි ගිය ගමන් මාර්ගය වෙනස් කළ යුතුයි කියන එක තමයි මේ මැතිවරණ ප්‍රතිඵල තුළින් කියලා තියෙන්නේ.

2. මේ ආණ්ඩුව ස්ථාවරයි ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙහෙම කරගෙන ගියොත් අපි දන්නවා අපිට ජනතාවගේ ප්‍රසාදය හිමි වෙන්නේ නැහැ කියලා. ඒකයි මේ මැතිවරණය අපිට කනේ පහරක් ගහපු මැතිවරණයක් බවට පත් කළේ ඒ වගේම මේ මැතිවරණය දිහා බැලුවම අපිට පේනවා ඒ ගමට කරපු වැඩ ගැනවත්, රජය කරපු  වැඩ රාජකාරි ගැනවත් නැතුව, ආණ්ඩුවට විරුද්ධ පහරක් එල්ල කිරීමට තමයි ජනතාව මෙය භාවිත කරලා තියෙන්නේ.

3. මම හිතනවා මෙයට සංශෝධන අවශ්‍යයි කියලා. අපි මොනවා හරි දෙයක් ගෙනාවම ඒක ක්‍රියාත්මක කිරීමේදී තමයි ඒකේ තියෙන අඩුපාඩුකම් දකින්නේ. මේක එක්සත් ජාතික පක්ෂය හෝ මෛත්‍රීපාල සිර්සේන මහතා ගෙනා පනතක් නෙවෙයි මුළු පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරු 225 දෙනාම එකතු වෙලා අත උස්සලා ගෙනාපු පනතක්. අපි හැමෝටම දෙයක් කරද්දි අඩුපාඩු දකිනවා වගේ මේක ක්‍රියාත්මක කිරීමේදී අපි අඩුපාඩු දකිනවා. ඒ නිසා මෙහි බොහෝ දේවල් සංශෝධනය කළ යුතු වෙනවා.

4. ඇත්තටම හැමෝම වැඩ කරන අයනම් හැමෝම ගම වෙනුවෙන් වෙහෙසෙන අයනම් මේ සියලු දෙනාට ලොකු වෙනසක් කරන්න පුළුවන්. ගමේ ජනතාව වෙනුවෙන් කැපවෙන නියෝජිතයන් පිරිසක් ඉන්නවානම් මේ පිරිස වැඩි නැහැ. එහෙම නැතුව මේ අය තමුන් හැදෙන්න බලනවනම් මේක ලොකු විනාශයක්. 

 

ආණ්ඩු විරෝධී පණිවුඩය ලබාදීලා

කළුතර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

1. ජනතාව පැහැදිලි ආණ්ඩු විරෝධී පණිවිඩයක් දීලා තියෙනවා. ආණ්ඩුව කරන ශ්‍රී.ල.නි.පයටත් එ.ජා.පයටත් බරපතළ පරාජයක් අත්පත් කරලා දීලා තියෙනවා. ඒ වගේම ඒ ආණ්ඩු විරෝධය නියමිත පරිදි ස්ථානගත කරගන්නත් ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී ඔවුන් මේ ආණ්ඩු විරෝධය ප්‍රකාශයට පත්කර ගන්නත් ඔවුන් තෝරාගෙන තියෙන්නේ පොහොට්ටුව. ඉතින් මේකෙදිත් ජනතාව කිසිම ආකාරයකින් ගමේ ඉන්න අපේක්ෂකයා ගැන සැලකිලිමත් වෙලා නැහැ. ඒ නිසා මෙය අපි සලකන්නේ පැහැදිලි ආණ්ඩු විරෝධී ප්‍රකාශයට පත් කිරීමක් හා නිවැරදි ස්ථානගත කිරීමක් නොවන මැතිවරණයක් ලෙසය.

2. මේ ආණ්ඩුවට 2015 ජනවාරි 08 වැනිදා ජනවරමක් තියෙනවා. ජනාධිපතිවරණයේදී ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ජනවරමක් තියෙනවා. කෙසේ නමුත් ඒ ජනවරම් මේ පළාත් පාලන මැතිවරණයේ ජනවරමකින් යටපත් කරන්න බැහැ. ඒ නිසා දැන් තිබෙන්නේ මේ මැතිවරණ ප්‍රතිඵලය අනුව ආණ්ඩුව තමන්ගේ දේශපාලන භාවිතය පිළිබඳ සොයා බැලීමත් ආණ්ඩු විරෝධී පක්ෂ තව තවත් තමන්ගේ දේශපාලන ගමන ශක්තිමත් කර ගැනීමත් පමණයි.

3. කාන්තා නියෝජනයේ ගැටලුව නම් විසඳගන්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා. සමහරවිට එයට යම්තාක් දුරට මැතිවරණ නීති සංශෝධනයක් අවශ්‍ය වේවි. නමුත් සියලු පළාත් පාලන ආයතනවල ජනතාව පැහැදිලි ජනවරමක් ලබා දීලා තියෙනවා. ඒ අනුව පොහොට්ටුවට හෝ ඒ බලය තියන ප්‍රදේශවල එ.ජා.පයට සභාව පිහිටුවිය හැකියි. නමුත් ඔළු ගෙඩි වෙනස් කරලා ජනතාවගේ මතය වෙනස් කිරීමට අපි එකඟ වෙන්නේ නෑ.

4. මීට අඩු ප්‍රමාණයකින් දළ වශයෙන් මන්ත්‍රීවරු පන්දාහකින් පමණ මේ දේ කරගන්න තිබුණානම් හොඳයි. කෙසේ නමුත් 2012 බැසිල් රාජපක්ෂ හදපු මැතිවරණ ක්‍රමය අනුව තමයි මේ තත්ත්වයට රට පත් වුණේ. දැන් ඒකට උත්තරය තියෙන්නේ මේ මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 5000 දක්වා අඩු වුණොත් මේ පිරිවැය අඩු කරන්න පුළුවන්.

 

මේ දීලා තිබෙන්නේ ආණ්ඩු පෙරළන තීන්දුවක් නොවේ

කම්කරු ජාතික පෙරමුණේ නායක අමාත්‍ය පලනි දිගම්බරම්

1. මේ ජාතික ආණ්ඩුව බලයට පත් වුණ ගමන්ම මාධ්‍යයට නිදහස ලබා දුන්නා. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා පොලිස් කොමිෂන් සභාව පිහිටුවා, පහුගිය කාලයේ මේ කිසි දෙයක් තිබුණේ නැහැ. නමුත් මිනිසුන්ට මේ ඔක්කොම අමතක වෙලා ජාතිවාදය කතා කළ කණ්ඩායමට ඡන්දය දුන්නා.

2. නැහැ. ගෙනියන්න පුළුවන්. මොකද 2020 වෙනකම් ජනතාව ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් බලය දීලා තියෙනවා. මේ ඡන්දය තිබ්බේ ප්‍රාදේශීය සභා නගර සභා  පිහිටුවන්න. එහෙම නැතුව ආණ්ඩුව පෙරළන ප්‍රධාන ඡන්දයක් නෙමෙයි මේක. ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයාටත් එකතු වෙලා මේ ආණ්ඩුව මේ වසර කිහිපයක් ගෙනියන්න පුළුවන්.

3. අපි මුල ඉඳලම මේ ක්‍රමයට විරුද්ධ වුණා. දැන් අපිට හැටන් නගර සභාවේ කොට්ඨාස 9න් හතරක් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට අපිට බෝනස් එක නැහැ. පරණ ක්‍රමයනම් අපිට තනි බලයෙන් මේක පිහිටුවන්න තිබුණා. දිනන මිනිහට ප්‍රාදේශීය සභා පිහිටුවන්න බැහැ. පරාද වුණ අයට පුළුවන්. මොකද්ද මේකේ තේරුම.

4. ඇත්තටම ප්‍රාදේශීය සභාවකට මෙච්චර මන්ත්‍රීවරු සංඛ්‍යාවක් අවශ්‍ය නැහැ. මේවා බොරු සල්ලි වියදම් වෙන වැඩ. කලින් ක්‍රමයට ඉතා හොඳට කරගෙන ගියානේ. නගර සභාවත් ඒ ක්‍රමය හොඳයි.

 

පනත වෙනස් කරන්න ඕනෑ

සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් නවව්.

1. දැනට ඒකට හරි පිළිතුරක් දෙන්න අමාරුයි. ආණ්ඩුවේ ඉන්න ශ්‍රී.ල.නි.ප. ඇමැතිවරු, මන්ත්‍රීවරු එ.ජා.ප.යට විරුද්ධ බොහෝම අවස්ථාවලදී කතා කළා. ඒකෙන් කලකිරුණු ජනතාව තමයි පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ.

2. නෑ. ආණ්ඩුවට ගමනක් යන්න පුළුවන්. එ.ජා.ප. මන්ත්‍රීවරුන් ඉන්නවා. ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් පිරිසක් ද එජාපයට ආණ්ඩුවක් හැදුවොත් එයට එන්න ඉන්නවා. සුළු පක්ෂවල මන්ත්‍රීවරුත් ඉන්නවා. මේ තත්ත්වය යටතේ අපිට පුළුවන් මේ ආණ්ඩුව දිගටම කරගෙන යන්න.

3. අනිවාර්යෙන් මේ පනත සංශෝධනය කළ යුතුයි. අපි මේ පනතට සම්පූර්ණයෙන් විරුද්ධයි. මනාප ක්‍රමය තමයි  හොඳ. මේ තත්ත්වය සුළු ජාතික පක්ෂවලට ඉතාම පාඩුවක්. දැනට මුස්ලිම් මන්ත්‍රීවරු 21ක් ඉන්නවා. හැබැයි ආසන ක්‍රමයට ආවොත් 8ක් නැත්නම් 9ක් තමයි එන්නේ. ඒ නිසා මේ පනත වෙනස් කරන්න ඕනෑ.

4. කලින් කාලවල වගේ නෙවෙයි මේ රටේ ජනගහනය දැන් වනවිට වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා මන්ත්‍රීවරු වැඩි කරන එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් විශාල මුදලක් මේ මන්ත්‍රීවරු වෙනුවෙන් වැය කරන්න වෙනවා. ඒ වුණාට ඒ ප්‍රතිපාදන සියල්ලම වගේ යන්නේ ගමට ඒ නිසා මන්ත්‍රීවරැ සංඛ්‍යාව වැඩි වුණාට  ප්‍රශ්නයක් නැහැ.

 

සංස්කරණය : 
හසිත් අංජන -
සේයාරූ / අන්තර්ජාලයෙනි