2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

මහ පාරේ රෝද තුනේ මාරයා

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

දිනපතා සිදුවන මාරක රිය අනතුරුවල ඉහළ යාමක් සිදුවන බව සති කිහිපයකට පෙර අපි වාර්තා කළෙමු. අද කියන්න සිදු වී තිබෙන්නේද එම කාරණයමය. ඉකුත් දින කීපයේදී ප්‍රදේශ රැසකින් වාර්තා වූ මාරක අනතුරුවලට වැඩිවශයෙන් ලක්ව තිබුණේ ත්‍රිරෝද රථය. එහි අවාසනාවන්ත කරුණ වන්නේ සෑම අනතුරකදීම ජීවිතක්ෂයට පත් වූ බහුතරය ත්‍රිරෝද රථයේ ගමන්ගත් මගීන් වීමය.

ගෙවී ගිය පසුගිය 2,3 සහ 4 දිනවලදී ත්‍රිරෝද රථ අනතුරු හේතුවෙන් මියගිය ගණන 10 ඉක්මවා ඇති අතර තුවාල ලැබූ පිරිස 15 ඉක්මවා සිටිති. තඹුත්තේගම ගල්නෑව මාර්ගයේ තිස්පනේපුර හංදියේ වූ ත්‍රිරෝද රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව හතරකි. සීදූව මූකලන්ගමුව - ඊරියගහළිඳ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීම නිසා පුද්ගලයන් 2ක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මාලබේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මාවතේ සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගිය බවද වාර්තා විය. පොලීසිය පවසන්නේ මෙම අනතුරු සියල්ල වළක්වා ගතහැකිව තිබූ ඒවා බවත් රියදුරන්ගේ අපරික්ෂාකාරී බව අනතුරැවලට හේතු වී තිබූ බවත්ය.

මෙරට ලියාපදිංචි රථවාහන ප්‍රමාණය ලක්ෂ 75ක් පමණය. ඉන් අඩක් වන ලක්ෂ 35ක් පමණ යතුරුපැදිය එසේම මෙරට ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ 13ක් පමණය. මේ හේතුවෙන් සිදුවන මාරක අනතුරු රැසකට යතුරුපැදි හේතුවෙයි. එබැවින් අනතුරු හේතුවෙන් මියයන වැඩිම පිරිස යතුරුපැදිකරුවන්හා පසුපැදිකරුවන් බව අනාවරණය වී තිබේ.

දෙවැනියට රිය අනතුරු හේතුවෙන් මියයන වැඩිම පිරිස වාර්තාවන්නේ ත්‍රිරෝද රථ අනතුරුවලට ලක්වූවන්ය. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරන ආකාරයට 2016 නොවැම්බර් සිට 2017 නොවැම්බර් දක්වා ත්‍රිරෝද රථවලින් මාරක අනතුරු 353ක් සිදුවී ජීවිතක්ෂයට පත්ව ඇති ගණන 377කි. ඊට කලින් වසරේ එනම් 2015 නොවැම්බර් සිට 2016 නොවැම්බර් දක්වා වාර්තා වී ඇත්තේ මාරක අනතුරු 373ක් සිදුවී මරණ 406ක් සිදුව ඇති බවටය. මේ අනුව ත්‍රිරෝද රථ වලින් සිදුවන මාරක අනතුරු අඩුවීමේ ප්‍රවණතාවයක් ඇති බවත් එම තත්ත්වය වර්ධනය වියයුතු බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේය.
ත්‍රිරෝද රථයක උපරිම වේගය පැයට කිලෝමීටර් 40කි. රැගෙන යා හැකි උපරිම මගීන් සංඛ්‍යාව 3කි. එනම් රියදුරු සමග පුද්ගලයන් සිව් දෙනෙකි. වෙනත් වාහනයක් හා සැසඳීමේදී ත්‍රිරෝද රථය සවිශක්තියෙන් හා ප්‍රමාණයෙන් අඩුය. මේ නිසා රියදුරෝ අධික වේගයෙන් පැදවීමට හා ඉස්සර කිරීමට කටයුතු කරති. ඔවුන්ගේ නොසැලකිල්ල වැරදි ඉස්සර කිරීම, වමෙන් ඉස්සර කිරීම වැනි හේතුවෙන් ත්‍රිරෝද රථ අනතුරු බහුලව සිදුවන බව රථවාහන පොලීසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කරයි.

අනතුරු අවම කිරීම සඳහා නව නීති සම්පාදනය, ප්‍රවාහන සේවාව නියාමනය, පළාත් ප්‍රවාහන සේවය නියාමනය සඳහා පළාත් සභාව එක්වීම රියැදුරන්ට පරිවාස කාලයක් ලබාදීම, අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම, අනතුරු සිදුවන ස්ථානවල සී.සී.ටී.වී. කැමරා සවිකිරීම, පළාත් සභා ආයතන යටතට පැවරීම ආදී විසඳුම් රාශියක් අමරසිරි සේනාරත්න මහතා යෝජනා කරයි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ හා විශේෂඥයන්ගේ උපදෙස් මත නව නීති සම්පාදනය හෝ දඩමුදල් පනවා හෝ අනතුරු වළක්වාලීමට අවශ්‍ය පියවර ගැනීම වගකිවයුතු ආයතනවල වගකීමය. එය රටේ හෙට දවස වෙනුවෙන් කරන ආයෝජනයකි.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

හදිස්සියයි ඉස්සර කිරීමයි ලොකු හේතුවක් 
අමරසිරි සේනාරත්න - රථවාහන පොලීසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති

ත්‍රිරෝද රථ අනතුරුවලට ප්‍රධාන හේතුව රියදුරන්ගේ නොසැලකිල්ල. වාහනයේ වේගය, ගමන් ගන්නා මගීන් ප්‍රමාණය, බර පිළිබඳ සිතිය යුතුයි. රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 40 වුණාට ඊට වඩා වේගයෙන් යනවා. මෙය අනතුරකට ප්‍රධාන හේතුවක්. වාහනය ප්‍රමාණයෙන් කුඩාවීම නිසා මහාමාර්ගය තුළදීම හරවන්නට උත්සාහ කරනවා. වැරදි ඉස්සර කිරීම නිසා බහුතරව අනතුරු සිදුවෙනවා. රියදුරු පමණක් ගමන් ගන්නා ත්‍රිරෝද රථ පවා අනතුරුට පත්වෙනවා. වැඩි වශයෙන් පාරෙන් ඉවතට පෙරළීම, ගස්ගල්වල ගැටීම සිදුවෙනවා. ඊට හේතුව අධික වේගය රියදුරුට පාලනය කරගත නොහැකි වීමයි. ත්‍රිරෝද රථයේ ප්‍රමාණය, එන්ජින් ධාරිතාවය, වේගය පිළිබඳ එහි රියදුරු අවධානයෙන් කටයුතු කළ යුතුයි.

කුලී රථ වශයෙන් ක්‍රියාකරන ත්‍රිරෝද රථ එක ගමනක් නතර කරන්නේ තවත් හයර් එකකට කෙනෙක් නංවාගන්න බලාගෙන. මේ විදිහට මුදල පස්සේ දිවීම අනතුරට හේතුවක් වෙනත් වාහනයක වගේ ආරක්ෂිත ආසන පටි නෑ. වේගයෙන් ගිහින් අනතුරකට පත්වෙද්දී රියදුරු බේරෙන්න උත්සාහ කරලා රථය පැත්තකට ධාවනය කරනවා. ඒත් එක්කම පසුපස මගීන් විසිවෙලා අනතුරට පත්වෙනවා.

බොහෝ අනතුරුවලදී රියදුරු බේරිලා මගීන් ජීවිතක්ෂයට පත්වෙන්නේ මේ හේතුව නිසයි. ත්‍රිරෝද රථ අනතුරුවලට ප්‍රධාන හේතු වශයෙන් රියදුරාගේ හදිස්සිය, අනවධානය, වැරදි ඉස්සර කිරීම, වමෙන් ධාවනය සහ රථයේ අනාරක්ෂිත බව දකින්න ලැබෙනවා. මේ අනතුරු අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ වෙනුවෙන් නව නීති සම්පාදනය කළ යුතුයි.

වාර්ෂිකව බැලුවොත් අනතුරු අඩුවෙලා
වෛද්‍ය සිසිර කෝදාගොඩ - සභාපති - මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

රථවාහන අනතුරු සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළකිරීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. දිවයින පුරා සියලු ත්‍රිරෝද සංගම්වල සාමාජිකයන් දැනුම්වත් කරන වැඩසටහන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් වසර තුනක් පමණ තිස්සේ ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මේ වෙද්දී වාර්ෂිකව ත්‍රිරෝද රථ අනතුරු අඩුවීමක් දකින්නට ලැබෙනවා. එය සතුටට කරුණක්.

ත්‍රිරෝද රථයක් වෙනත් වාහනයක ගැටීම නිසා ත්‍රිරෝද රථයේ මගීන් මරණයට පත්වීමේ හෝ අනතුරට ලක්වීමේ වැඩි ඉඩක් තිබෙනවා. වාහනයේ ප්‍රමාණය, තත්ත්වය, ශක්තිය ඊට බලපානවා. ත්‍රිරෝද රථයක ගමන් කළ හැකි උපරිම මගීන් ගණන හතරයි. යා යුතු උපරිම වේගය පැයට කිලෝමීටර් හතළිහයි. අධික වේගය නිසා ඉදිරිපස රෝදය හැසිරවීම අපහසු වෙනවා. මෙය රථය පෙරළීම හෝ අනතුරකට පත්වීමට හේතුවක්. එසේම අධික මගීන් රැගෙන යාම නිසා බර හේතුවෙන් සමබරතාවය ගිලිහෙනවා. නියමිත මගීන් ප්‍රමාණය සහ නියමිත වේගය තුළ ධාවනය කරනවා නම් අනතුරු වැළකෙනවා. අනතුරක් සිදුවුණත් ඒවා බරපතළ අනතුරු වෙන්නේ නෑ. සිදුව ඇති අනතුරු වලින් 90%කට හේතුව අධික වේගය බව අනාවරණය වෙලා තිබෙනවා.

තරුණයන්ට ලයිසන් දීම වැරදියි
කේ.ඩී. අල්විස් - සභාපති - ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංවිධානය

සංගමය විදිහට අප විශ්වාස කරනවා ත්‍රිරෝද රථවලින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට හැකියි කියලා. මේ සම්බන්ධයෙන් අපි රජයට තොරතුරු දැන්වූවා. එහිදී ඉල්ලීමක් කළා අවුරුදු 28ට අඩු අයට ත්‍රිරෝද රථ පැදවීමට අවසර නොදෙන ලෙස. ඒ වයසේ අයට දෙනවා නම් අවම වශයෙන් අවුරුදු දෙකක පරිවාස කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළා. නමුත් රජය ලාභය ගැන හිතලා ගැසට් පත්‍රයක් නිකුත් කළා.

තරුණ වයසේ අයට හික්මීම අඩුයි. මාර්ග නීති පිළිබඳ තැකීමක් නෑ. මේ හේතු නිසා සිදුවන අනතුරු 80%ක්ම තරුණ අය නිසා සිදුවන ඒවා. පාසලෙන් සමාජයට යන තරුණයන් ත්‍රිරෝද රථයක් රැගෙන ආදායම් ඉපයීමට පැමිණීම වැරදියි. එවැනි අය හරියට පාරක් තොටක්වත් දන්නේ නෑ.

මේ සඳහා රජය හෝ පළාත් සභාව පියවර ගත යුතුයි. අපි ඉල්ලීම් කළත් වැදගත් පියවර ක්‍රියාත්මක නොවෙන්නේ දේශපාලන වාසියට වැඩකරන නිලධාරීන් නිසයි. රියදුරු බලපත්‍රය නිකුත් කළාට පසුව වසර දෙකක පරිවාස කාලය ක්‍රියාත්මක කළා නම් රියදුරන් විනයානුකූලව රිය ධාවනය ඉගෙන ගන්නවා. දැනට ලංකාවේ ත්‍රිරෝද රථ ලක්ෂ 13ක් පමණ ලියාපදිංචි වෙලා තියෙනවා. අපි සංගමය විදිහට ඉල්ලීම් කළා ත්‍රිරෝද රථ ගෙන්වීම සීමා කරන්න කියලා. රජය කළේ වාහනයේ මිල ඉහළ නැංවීම. දවසක මේ රට ඉන්දියාවේ යකඩ කොලණියක් වෙයි. මේ ක්‍රමය ත්‍රිරෝද රථ කර්මාන්තයට අහිතකරයි. ඉදිරියත් මේ වගේ නම් අනතුරු වළක්වන්න බෑ.