2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

තනතුරු නොපැතු නිවන පැතු අප්‍රමාණ යතිවරයාණෝ

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

සදාකාලික ලෙස එකකට පසු එකක් බැගින් රළ ගලා යයි. ජීවිතය ගමනකි. මරණය පොළොවට ආපසු ඒමකි. විශ්වය අම්බලමක් මෙනි. ගමන් කරන කාලය දූවිල්ලක් මෙනි.

ගලන ගඟක් සේ විසල් නැණ මහිමයෙන් යුතු සුප්‍රබුද්ධයාණෝ වරක් එසේ ලියා තැබූහ. උන්වහන්සේ විසින් රචිත පුස්තක අතර සැරිසරද්දී මා එය කියෙව්වා මට මතකය. ගිනිය නොහැකි තරම් භව චාරිකාවන්හි සරන අනන්ත සංසාර සුවිසැරියේ එක් නවාතැන්පොළකදී අපි හමුවීමු.  එහෙත් නොබියව නොසැලී කවරෙකුට වුව අභියෝග කරන ඒ යතිවර සඟරාජ හඬ සංධ්වනිය අද නොඇසේ. නියත දහමට අවසඟව යා හැක්කේ කාටද? එසවිය යුතු කවර බලවතෙකුට හෝ දබරැඟිල්ල එසවූ උන්වහන්සේටත් මාරයා පැමිණ අඬ ගසන මොහොතේ දබරැඟිල්ල ඔසවන්නට නොහැකි විය. හුදෙක් කර්මයටම පමණක් ඉරණම ලියන්නට බාර නොදී ගජ සෙන් පැරදූ සද්දන්ත පෞරුෂයත් නියත දහමට අවසඟව නොගිය සඳ දැයටත් - සමයටත් අහිමිව ගියේ යතිවර අහසේ පෑයූ මහා සඳක්මය.

බෙල්ලන්විල විමලරතන අපේ හාමුදුරුවනේ එසේ වූ පූර්විකාවක් ලියා තබන්නට මට අවසරය.

මෑත කාලයේ එක් දිනෙක මම ඔබවහන්සේ දකින්නට බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණියෙමි. ප්‍රස්තුතය දේශපාලනයටද නෑකම් කී හෙයින් පැයකටත් වඩා ප්‍රශ්නත් උත්තරත් අතර කාලය ගෙවී යද්දී ඔබවහන්සේ මා වෙතටත් දබරැඟිල්ල එසවූවා මට මේ දැනුත් මතකය.

“ඔය ළමයා හදන්නේ මම මේ මොහොතේ කතා නොකළ යුතු දෙයක් මා ලව්වා කතා කරවන්න. මම කතා කරා ඇති. ඔය ප්‍රශ්නවලට මගෙන් දැන් උත්තර නැහැ....” එහෙත් ඊට පසුවත් අපි කතා කළෙමු. කිවයුතු තැන කිවයුත්ත කෙතරම් දැඩි ලෙස කීවත් වෛරයේ පයුරු පාසානම් ඔබවහන්සේගේ හද මැඳුරේ කවමදාවත් තැනී නොතිබුණේය. අත් නොහල මිත්‍රත්වය ඒ උදෙසා මා සතු සාක්ෂියයි.

වස්සානයේ දොරකඩට සපැමිණි බෙල්ලන්විල රජමහ විහාරයේ ඇත්පැටවා වූ මියන් කුමාරගේ මුවග දවසේ පුරුද්දකට මෙන් කුමක් හෝ පළතුරක් තබන්නට ගිය මොහොත මේ තරම් ප්‍රකම්පිත ඉරණමක ඇරඹුම් මොහොත වග සිතුවේ කවුරුන්ද? ඔබවහන්සේගේ හද මඬලේ මෘදු කරුණා ළතෙත් ගුණදහර හඳුනාගෙන සිටි සද්දන්ත කුලේ ඒ මියන්කුමාර කුමාරයාණෝ යතිවර ළතෙත් ගුණ නොඉවසා නපුරුකමක් කළා යැයි පිළිගන්නටම නොසිතේ. එහෙත් මියන්කුමාරට ඇත්තේ එසේ මෙසේ දාංගලයක් නොවන බවද අපි දනිමු. කෑම කවන්නට කවරෙකු හෝ අසලට පැමිණි කල දිගු දල සහිත මුව විසේකාර ලෙස එහෙට මෙහෙට පැද්දවීම මේ සද්දන්ත දාංගලයාට උරුම පුරුද්දකි. 

බෙල්ලන්විල හාමුදුරුවෝ මියන්කුමාරට කෑම දෙන්න යද්දි අලියා තල්ලු කරලා හාමුදුරුවෝ බිම වැටුණා. ඌ දල දෙකෙන් අනින්න ගියත් දල දෙක වැදුණේ බිමට. සැණින් එසැණින් කන වැකුණු පුවතේ ස්වභාවය එය වුවත් පහුගිය දෙවැනිදා උදෑසන 9.00 පසුවී තත්ත්පර ගණනක් ගෙවුණු මොහොතේ මියන්කුමාරට සියඹලා කවන්නට ගිය ඔබවහන්සේට ඒ මොහොතේ කුමක් සිදුවූවාදැයි අදටත් හරියටම දන්නේ ඒ ගැන කියන්නට අද අප අසලක නැති ඔබවහන්සේත්, පා සතරටම විලංගු වැටුණු, වරදක් වුණත් සිතකින් නොවේ වැනි බැල්මකින් ඔබවහන්සේ දකින්නට පන්සල් බිමට ගිය මොහොතේත් අප දෙස බලා උන් මියන් කුමාරත්ම පමණි. ඔබවහන්සේට වරදක් කරන්නට ඌට සිත්වී යැයි අදටත් ඇදහිය නොහැකි නමුත් නොසැලකිල්ලෙන් හෝ වරදක් වුණානම් ඒ වරදටත් ඌට සමාව දෙන්නට තරම් සිතක් අවසානයේ ඔබවහන්සේට පහළ ඌ වගද අපි විශ්වාස කරමු.

හාමුදුරුවනේ බුරුමයේ උපන් ඒ සද්දන්ත කුලයේ පැටවාට මියන් කුමාර යැයි නම් තැබුවේද ඔබවහන්සේමය. සද්දන්ත කුලේ දඟකාරයන් රොත්තක් අතුරින් මූ අපට අගේ යැයි කදිම යැයි තෝරාගෙන ඒ අලිපැටවා වෙනුවෙන් මුදල් ගෙව්වේද හාමුදුරුවනේ ඔබවහන්සේමය. උස මහත දිග දළකාර ඒ සද්දන්ත කුමාරයා රජමහා විහාරයකට ගැලපෙන රාජ රාජ ඇත් ලීලා ජන්ම උරුමයෙන් ගෙන ආ සෙයකි. වාසදේස හුරු කරගන්නට පැටි වියෙහි සද්දන්තයා කල් ගත්තත් වැඩිකල් නොගොස්ම ඌ කහ සිවුරේ සීලයට හීලෑවූයේය. මියන්කුමාර මිත්‍රශීලීය. කෑම කවන්නට කවරෙකු හෝ ළඟට පැමිණි කල අලි මූණ එහෙට මෙහෙට පැදවූයේ අමනාපයට විරසකයට නොව ඌටම අනන්‍ය වූ උගේ සිරිතටය. හැමදාම මියන් කුමාරට කන්නට යමක් රැගෙන ආ ඔබවහන්සේ කෙරේ, දරුවකුට සදිසි පෙමින් කවා පොවා සෙනෙහස පෑ ඔබවහන්සේ කෙරේ සතුරු සිතක් නම් ඇතිවන්නට විදිහක්ම නැත.

හාමුදුරුවනේ, අදින් සතළිස් වසරකටත් වැඩි කාලයක සිට ඔබවහන්සේ හා සොඳුරු මිත්‍ර ලීලාවෙන් ළඟින් හුන් අතපත්තුකන්දේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ඔබවහන්සේට වූ විපත කවරක්දැයි විමසන්නට සිත් වූයේද ඔබවහන්සේගේ නොසිතූ නික්ම යෑම සෙයින්ම මේ අලි සංගදියේ ඇත්ත නැත්ත රටේ මිනිස්සුන්ට උභතෝකෝටියක්ම වූ හෙයිනි.

හාමුදුරුවනේ උන්වහන්සේ කී දෙය කී ලෙසින්ම අපි ලියා තබමු. “අපේ විමලරතන හාමුදුරුවෝ පන්සලේ හිටියොත් හැමදාම ඔය මියන් කුමාරට මොනවා හරි කවනවා. අලියා බලාගන්න කෙනා හාමුදුරුවන් වැඩ ඉන්න ආවාස ගේ ළඟට අලියා එක්ක එනවා. උන්වහන්සේ සිරිත තමා දළෙන් අල්ලාගෙන කෑම කවන එක. එදා අලි බලාගන්න උන්නැහේ ගමේ ගිහින් හිටියේ. අපේ හාමුදුරුවෝ ළඟදි තායිලන්තෙ ගිහින් ඇවිත් එදා ඔය පන්සලේ හිටියේ. උන්වහන්සේ අතට අහුවුණු සියඹලා ටිකකුත් අරන් අලියා ළඟට ගියා. කෑම කවද්දි වේගයෙන් හිස පද්දන එක මියන්කුමාරට හැමදාම තිබුණු පුරුද්දක්. අපේ හාමුදුරුවන්ටත් වයස අවුරුදු හැත්තෑ හයක්. උන්වහන්සේට ඒ වෙද්දි සිරුරේ සමබර බව ගිලිහුණු ස්වභාවයක් යන්තම් ඇතිවී තිබුණා. මියන්කුමාර ඔළුව පද්දද්දි හාමුදුරුවන්ගේ වැදුණා. හාමුදුරුවෝ වාරු නැතුව විසි වී ගිහින් ඒ ළඟ තිබුණු සිමෙන්ති කොන්ක්‍රීට් එකේ මුණින් අතට වැටුණා. “ඌ දළ දෙකෙන් අනින්න ගියා. දළ දෙක බිම වැදුණේ. හාමුදුරුවන්ව උස්සලා ගත්තා....” ඒ කතා බොරු. අනින්න ගියා නම් අලියෙක් නවතින්නේ ඇනලම තමා. ඒක අලින්ගේ සිරිත. කේන්ති ගිහින් හිටියා නම් අලියෙක් පාගලා දාලා මිසක් නතර වෙන්නෙ නෑ.... හාමුදුරුවනේ ඔබවහන්සේ හා සදා මිත්‍රත්වයකින් සිටි ආනන්ද හාමුදුරුවෝ කියූ දෙය අපි එලෙසම ලීවෙමු.

බෙල්ලන්විල නායක හාමුදුරුවනේ..... ඔබවහන්සේ දවසක් මෙසේ යටගියාව සිහිපත් කළා මට මතකය. 

මට වයස අවුරුදු පහක් වෙද්දි අපි තාත්තාගේ ගමට බෙල්ලන්විලට ආවා. මහගෙදර ඉස්සරහ ගෙදරක අපි හිටියේ. 1953 දී තාත්තා මැරුණා. මගේ බාප්පා බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක හාමුදුරුවෝ ඊට පසු දවසක මගෙන් ඇහුවා පැවිදිවෙන්න කැමතිද කියලා. මට උන්වහන්සේ ගැන තිබුණේ ගෞරව සම්ප්‍රයුක්ත බයක්. මම බෑ කීවෙත් නෑ හා කීවෙත් නෑ. මගේ නිශ්ශබ්දතාවයෙන් නායක හාමුදුරුවෝ තේරුම් ගත්තා මම පැවිදි වෙන්න කැමතියි කියලා. උදේට හැමදාම මම පන්සලට ආවා. පොත් කියෙව්වා. ඒත් පන්සලේ නතර වුණේ නෑ. අපේ නායක හාමුදුරුවෝ කවදාවත් මට පන්සලේ නතර වෙන්න කීවෙත් නෑ. පොඩි කාලේ මම හරි දඟකාර ළමයෙක්. ඉගෙන ගන්න ඒ කාලේ ඒ තරම් උනන්දුවක් තිබුණෙත් නෑ... 1956 පෙබරවාරි 28 වැනිදා මට මහණ වෙන්න දින නියම වුණා. එතකොට මට වයස අවුරුදු 13ක්. චාර්ලිස් මාමා මාව පන්සලට එක්ක ආවා. මම ගෙදරින් ආවේ ඒ තරම් කැමැත්තකින් නෙවෙයි.

ඒ ගැඹුරු සන්සුන් ස්වරය මේ මොහොතේත් රැව් පිළිරැව් දී ඇසෙන සැටියකි. 

1942 අවුරුද්දේ අප්‍රේල් 14 වැනිදා කළුතර බණ්ඩාගරම උපන් ඔබවහන්සේට නම් තැබුණේ ඕමත්තගේ ගිල්බට් පෙරේරා ලෙසය. පල්ලගේ දෝන බුත්සිලිනා ද සිල්වා මෑණියන් හා ඕමත්තගේ පෝල් පෙරේරා යන මව්පිය සෙවණේ ඇතිදැඩි වූ පිරිමි දරුවන් හය දෙනාගෙන් එක් දරුවෙකු ලෝකයක්ම දැන හඳුනාගන්නා අනාගත යතිවරයකු බව හාමුදුරුවනේ එදා ඔබවහන්සේගේ අම්මා තාත්තාවත් සමහරවිට නොසිතන්නට ඇත.  ගිල්බට් දරුවා විමලරතන සාමණේර හාමුදුරුවන් වූ ඉනික්බිති මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙණට ගියේ අකුරු ශාස්ත්‍ර යේ කඩඉම් හඳුනාගන්නටය. මොල්ලිගොඩ ආරියවංශ, ලබුගම ලංකානන්ද, ලබුගම හේමාලංකාර වැනි ගුරු හාමුදුරුවන් සෙවණේ ගුරුහරුකම් ලද ඔබවහන්සේ 1962 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. මහාචාර්ය විමල් දිසානායක, මිණිවන් පී. තිලකරත්න වැනි මහැඳුරන් යටතේ සාරසිප් පොබ කළ ඔබවහන්සේ සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට පත්වූයේ සරසවියට ඇතුළු වූ වසරේදීමය.ශිෂ්‍යයන් මිස ශිෂ්‍යාවන් නොසිටි ඒ සරසවි බිමේ ඔබවහන්සේ ගිහි මිතුරන් හා දේශපාලන කරළියේද චරිතයක් වූහ. මහජන එක්සත් පෙරමුණට සහයෝගය දක්වමින් පිලිප් ගුණවර්ධනගේ එඩිතර නායකත්වයටත් මහජන එක්සත් පෙරමුණේ සමාජවාදී දර්ශනයටත් එකල ඒ තරුණ භික්ෂු සිත ප්‍රසාද ප්‍රණාම දැක්වූ වග ඔබවහන්සේ පසුකලෙක කීවා මට මතකය. 1965 වසරේ සාමාන්‍ය උපාධියක් ලැබ සරසවි කෙම්බිම අතැර ගිය ඔබවහන්සේ දෙවසරක් රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනේ පරිවේණාධිපති ලෙස කටයුතු කරමින් සිට 1967 දී ලන්ඩන් බෞද්ධ විහාරයේ ආගමික කටයුතුවලට සම්බන්ධ වීමේ අභිප්‍රාය පෙරදැරිව එහි වැඩම කළහ.

එහේ හිටපු අවුරුදු තුනම මම කැපකළේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න.... ඉංග්‍රීසිය මැනවින් ඉගෙන යළි මෙසිරිලකට වැඩම කළ ඔබවහන්සේ 1970 දී විද්‍යෝදය සරසවියට ඇතුළත් වූයේ පාලි භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් වෙනුවෙනි. 1977 දී ආචාර්ය උපාධිය සඳහා එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ඔබවහන්සේ 1980 දී ආචාර්ය උපාධිය ලබා පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ඇරඹි ශාස්ත්‍රීය ජීවිතය 2004 වසරේ විශ්‍රාම යනතෙක්ම වසර විසි ගණනක් පුරා මහා මෙහෙවරක් වෙනුවෙන් කැප කළහ. 1997 වසරේදී මහාචාර්ය තනතුර ලද ඔබවහන්සේගේ ජයවර්ධනපුර සරසවිය හා බැඳි ශාස්ත්‍රීය ජීවිතයේ කේන්ද්‍රීය හිමිකම වූයේ විශ්වවිද්‍යාල කුලපති ලෙස ලද පත්වීමයි.

තවත් අතකින් ඔබවහන්සේ මහා ගත්කතුවරයෙකි. හාමුදුරුවනේ කොයි අගමැතිටත්, කොයි ජනාධිපතිටත් කිවයුත්ත නොවලහා කී ඔබවහන්සේ වරක් හැම ආගමකින්ම කියවෙන්නේ එකම දෙයයි යනුවෙන් අගමැති රණසිංහ ප්‍රේමදාස තම දේශපාලන කතාවලදී නිතර කී ප්‍රකාශයට පිළිතුරු සපයන්නට ග්‍රන්ථයක් රචනා කළේය. ඔබවහන්සේ ලියූ මුල්ම ග්‍රන්ථය වූ බුදුදහම සහ වෙනත් ආගම් යන ග්‍රන්ථයට ප්‍රස්තුත සැපයුණේ එපරිද්දෙනි. බුදු පිළිමය මුද්‍රා සහ ආසන, ප්‍රඥා පාරමිතා සාහිත්‍යය, බෞද්ධ සම්ප්‍රදාය හා සංස්කෘතිය, මිනිසාගේ ආගම් - 1 බුද්ධාගම, විචාර ලිපි සරණිය, බණ දහයක් මෙන්ම Buddhism Society and Environment Concept of Great Man (Maha Purisa) වැනි ඉංග්‍රීසි පොත්ද, නොසැලෙන මනස වැනි පරිවර්තන කෘතිද රචනා කළේ ජන මන අඳුර තිර බිඳ ප්‍රඥා ප්‍රසාද නැණ පහන් මනසින් මනස දල්වාලන පරාර්ථකාමී සිතුවිල්ලෙන් වග අපි දනිමු.

අප ඉපිද ඇත්තේ වේදනාවක් විය හැකි සතුට විඳීමටය. අප ඉපිද ඇත්තේ බලාපොරොත්තු සඳහාය. ඒ බලාපොරොත්තු වේදනා බවට පත්විය හැක. අප ඉපිද ඇත්තේ ආදරය කිරීමටය. ඒ ආදරය වේදනාවක් විය හැක. අප ඉපිද ඇත්තේ වේදනා දැරීමටය. ඒ වේදනා තවත් වැඩිවිය හැක.

(මිනිසාගේ ආගම් - 1 බුද්ධාගම)

හාමුදුරුවනේ එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයෙන් ඔබවහන්සේ ලද ආචාර්ය උපාධියටත් වඩා සහසක් වගකීම් දෙවුර දරමින් ජනහද ගැස්මට හෘද සංවේදී උත්තුංග මනුෂ්‍ය පුත්‍රයෙක් ලෙස ඔබවහන්සේ මහපාර, මහපොළොව හා සමාජය නැමැති මහා විශ්වවිද්‍යාලවලින් ලද පන්නරය හා යථාවබෝධය ජනහිත සුව පිණිස මහා මඟක් විවෘත කළ බව ඔබවහන්සේ ලියූ දෑ කියවූ මට හැඟේ.

හාමුදුරුවනේ ඔබවහන්සේ දණ නැමුවේ බුදුන් වහන්සේගේ ධර්මය හමුවේම පමණකි. අගමැතිවරුන්ට, ජනපතිවරුන්ට, දේශපාලනඥයන්ට සමාජයේ කවර හෝ ධනවතුන්ට, බලවතුන්ට, කෙරුම්කාරයන්ට පුද පඬුරු පිරිකර පුදා ඔබවහ්නසේගෙන් දෑහිතකාමී නොවන කිසිවකට කිසිදු පක්ෂපාතීත්වයක් ලබාගත හැකිවූයේ නැත. දෙවුර දැරූ සඟ සිවුරේ උත්තරීතරත්වයත් මහ සඟ පරපුරක සෙවණේ ආභාෂයෙන් ලද කශේරුකාවේ නොනැමෙන නොසැලෙන අභිමානයක් ඔබවහන්සේ සඟ රජකු බව අවසානයේ සාධක සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වූයේය. ඈත මෑත ඒ උදෙසා උදාහරණ සමුදායකි. පක්ෂ දේශපාලනය මෙන්ම භික්ෂුව දේශපාලනයෙහි නිරතවීමද පැහැදිලිවම ප්‍රතික්ෂේප කළ ඔබවහන්සේ රට, දැය, සමය වෙනුවෙන් හඬ පෞරුෂය අවදි කරලිය යුතු තැන කේසර ස්වරයෙන් හඬ නැගුවේය. ආවේගය නොව ප්‍රඥාව මුගුරක් කොටගෙන පරාජය කළ යුත්ත පරාජය කළේය. දබරැඟිල්ල දිගුකළ යුතු වූවන්ට දබරැඟිල්ල දිගු කළේය.

වත්මන් යහපාලන ආණ්ඩුව මෑතදී ගෙන ආ නව ආණ්ඩුක්‍රම පනතේ වගන්ති රටේ ඒකීයත්වයටත් බුදුදහමේ පැවැත්මටත් තර්ජනයක් වග පළමුවෙන්ම සක්‍රීයව නොපැකිළව ප්‍රකාශ කළ යුත්තන්ට ප්‍රකාශ කළේ ඔබවහන්සේය. එතෙකින් නොනැවතී අදාළ පාර්ශ්ව සමඟ සන්ධානගතව එය හකුලාගන්නැයි කිවයුත්තන්ට නොබියව පවසා රට, දැය, සමය කෙරේ හද සන්තක ජාත්‍යාලය ඔබවහන්සේ මැනවින් ඔප්පු කර පෙන්වූයේය. බියර් මිල පහත දැමීම ඉවත් කරන්නැයි වත්මන් ජනපතිවරයා ඉදිරියටම ගොස් කියන්නට තරම් ඔබවහන්සේ ශක්තිමත් වූහ. උද්ඝෝෂණ, උපවාස, අසංවර හැසිරීම්, තර්ජන, වීදි සටන් ඔබවහන්සේගේ භික්ෂු ජීවිතයේ නොතිබුණේය. ඒ කිසිවකින් කළ නොහැකි දෑ එක දුරකතන ඇමතුමකින් කරන්නට තරම් මහා බලයක් හාමුදුරුවනේ ඔබවහන්සේ සතු විය. පදවි නම්බු නාම ගෞරව වර්ණනා වලට නොව දැයට, සමයට මහපොළොවට පෙම්බැඳි ඔබවහන්සේ සතු වූ දුර්ලභ සඟ ගුණයත්, ඍජු නිර්භීත ප්‍රකාශන ගුණයත්, භික්ෂු සංයමයත්, නිහඬවම සිදුකළ මානුෂීය මෙහෙවරත් විසින් ඔබවහන්සේ වටා රැස් වළල්ලක් ලෙසින් ඒ මහා බලවර නිරායාසයෙන්ම ගොඩනැගූ බවකි; හාමුදුරුවනේ මට සිත්වන්නේ....

හාමුදුරුවනේ, අනතිමානී, ප්‍රගතිශීලී, ගුණ සම්භාරයක් ආත්ම කොටගත් ඔබවහන්සේ සංඝ රාජයකු ලෙස හැඳින්වීම ඉඳින් කවර වරදක්ද?

ඔබවහන්සේගේ ජාතික, ශාස්ත්‍රීය, ආගමික මෙහෙවර එක පැත්තකය. ඔබවහන්සේගේ  පරාර්ථය, ත්‍යාගය, මනුෂ්‍යත්වයේ ගුණ ධාරාව තවත් පැත්තකය.

සුනාමි ව්‍යසනයෙන් පසු හික්කඩුව ප්‍රාදේශීය සභාවට අයත් ගොඩගම නම් ගම්මානය ගොඩනැගුවේ ඔබවහන්සේය. වැඩිහිටියන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදිකර දහවල් කාලයේ නිවෙස්හි හුදෙකලාව සිටින වැඩිහටියන්ට කෑම, බීම සමඟ සතුට තිළිණ කළේ ඔබවහන්සේය. බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම ඔස්සේ විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා වෛද්‍ය සායන පවත්වා ස්වයං රැකියා සඳහා විවිධ පාඨමාලා ඔස්සේ මංපෙත් විවර කිරීම වැනි මෙහෙවර රැසක් සිදුකළේ ඔබවහන්සේය.  විහාරස්ථාන රථ ගාලෙන් ලැබනෙ ආදායමෙන් සතයක්වත් තමන්වහන්සේගේ කාර්යයන් සඳහා වියදම් නොකළ ඔබවහන්සේ ඒ හැම රුපියලක්ම වියදම් කළේ හදවත් සැත්කම් වැනි බරපතළ අවශ්‍යතා වෙනුවෙන් උපකාර ඉල්ලාගෙන පැමිණෙන දුප්පත් අසරණ ජනතාවට උදව්වක් වනු පිණිසය. ඔබවහන්සේ විහාරාධිපති නොවුණේය. ඔබවහන්සේ විහාරාධිකාරී වූයේය. එහෙත් විහාරාධිපති කෙනෙකුටවත් තනිව කළ නොහැකි එකකට එකක් වෙනස් වගකීම් සහසකට ඔබවහන්සේ සිනහ මුවින් තනිවම වුව උරදෙන්නට තරම් යෝධ ශක්තියකින් සන්නද්ධ වූහ. බෙල්ලන්විල මහ පෙරහර නම් යෝධ කර්තව්‍යයක වගකීම නොබියව දෙවුර දැරීය.

හාමුදුරුවනේ මට යළිත් සිහිපත් වන්නේ ඔබවහන්සේගේ කළණ මිතුරු අතපත්තුකන්දේ ආනන්ද හාමුදුරුවන් කියූ මෙවදන්ය.

මම එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මාතර ගමෙන් බෙල්ලන්විල පන්සලට ආවේ මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. බෑග් එකයි කුඩයයි විතරක්ම අරගෙන කොළඹට ආව මම හැව්ලොක් සාම විහාරාධිපති දක්වා හාමුදුරු කෙනෙක් වශයෙන් ලද දෙයක් වෙත්නම් ඒ හැමදේම පිටුපස්සේ තාත්තා කෙනෙක් සහෝදරයෙක් කල්‍යාණ මිත්‍රයෙක් විදිහට හිටියේ අපේ මේ හාමුදුරුවෝ... උන්වහන්සේ අනිත් අයගේ දියුණුව දිහා බලලා සතුටු වුණා. මා වෙනුවෙන් කළ දේවල් මට අදටත් මහමෙරක් වගේ. ඒත් කවදාවත් මට කීවේ නෑ, මල්වතු පාර්ශ්වයෙන් කෝට්ටේ පාර්ශ්වයට එන්න කියලා... ඒක තමා උන්වහන්සේගේ තිබුණු සුවිශේෂත්වය...  සමානාත්මතා ගුණය 

බෙල්ලන්විල අපේ හාමුදුරුවනේ... අතපත්තුකන්දේ ආනන්ද හාමුදුරුවන්ට ඉන් එහා කතා කරගත නොහැකිව ඉකිගැසුණේය. 

කලක් මුළුල්ලේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති ලෙස මහා භූමිකාවකට පණදුන්නත් උන්වහන්සේටත් ඔබවහන්සේගේ සමුගැන්ම දරාගත් ඉවසීම මොහොතකට බිඳීගිය මොහොතකි ඒ...

හාමුදුරුවනේ, සිවුර දෙවුර දරාගත්තත් අර්හත් නොවූ සිතක් පවා දුලබ මිනිස් ගුණ අත්විඳි බැඳීමක් සහෝදරත්වයක් හමුවේ සසල වන වග ඒ කඳුළ අපට පසක් කළ මොහොතකි ඒ...

නායක හාමුදුරුවෝ හැමදාම රෑ නිදාගත්තේ 12.00 පහුවෙලා. පන්සලේ ඔක්කොම නිදියනකම් උන්වහන්සේ නිදාගත්තේ නෑ. මගේ පුරුද්දක් තියෙනවා මම නිදාගන්න යන්නෙ රෑ 12.00 පහුවෙලා. ඒ යද්දිත් අපේ හාමුදුරුවෝ වැඩ. උන්වහන්සේ තව පොතක් ලිය ලියා හිටියේ. ඒත් එහෙම කියලා කවදාවත් කරගෙන ආව අනිත් බාරදූර වැඩ වගකීම් කිසිදේකින් මිදුණේ නෑ. බෙල්ලන්විල පන්සල කියන්නේ පන්සලක් නෙවෙයි, ලොකු දෙපාර්තමේන්තුවක්. ඒ දෙපාර්තමේන්තුවේ වැඩ උන්වහන්සේ හැමෝටම නිවැරදිව බෙදාදුන්නා. වගකීම් පැවරුවා. ඒත් ඒ හැමදේම අධීක්ෂණය කළේ උන්වහන්සේ. 

උන්වහන්සේ මුලින් අනුනායක පදවිය බාරගන්න කීවාම බෑ කීවා. කවදාවත් උන්වහන්සේ පදවි තනතුරු බලාපොරොත්තු වුණේ නෑ. අපි හුඟාක් බල කරලා වෙන අය දාලා උන්වහන්සේට කතා කරවලා තමා අනුනායක පදවිය බාරගන්න කැමති කරවාගත්තේ. ඒත් මේ මෑතකදී උන්වහන්සේ කීවා තරුණ භික්ෂූන් වහන්සේලාට අපි අවස්ථාව දෙන්න ඕනෑ. ඒ නිසා මම මේ අනුනායක පදවිය අත්හරිනවා කියලා. කෙනෙක් ලැබුණ පදවියක් අත්හැරීම හරිම කලාතුරකින් වෙන දෙයක්. උන්වහන්සේ මේ තනතුර අත්හැරියම මම උන්වහන්සේ‍ගෙන් ඇහුවා, ඇයි අපේ හාමුදුරුවනේ එහෙම තීරණයක් ගත්තේ කියලා. ආනන්ද, වැඩ කරන්න පදවි තනතුරු ඕන නෑ කියලා උන්වහන්සේ උත්තර දුන්නා.

රට දැය ආගම ගැන උන්වහන්සේට තිබුණේ ලෙයටම කාවැදුණු ගැඹුරු බැඳීමක්. උන්වහන්සේව කිසිදේකින් මිලට ගන්න කිසිම කෙරුම්කාරයෙකුට බැරි වුණේ ඒ නිසා. උන්වහන්සේ සරලයි. මානුෂිකයි. සංවේදීයි. රට දැය ආගම කියන කාරණාවලදී උන්වහන්සේ මහ රජෙක් වගේ හඬ නැගුවා. රටට විපත්තියක් වෙන්න යන හැම අවස්ථාවකම ආයෙත් කාටවත් උත්තර නැතිවෙන්න කතා කළා. දබරැඟිල්ල එසෙවිය යුතු තැන එය එසෙව්වා. උන්වහන්සේ පක්ෂ දේශපාලනය නොකළට ජාතික නායකයෙක්.

අපේ හාමුදුරුවනේ, දෙවැනි වරටත් ඔබවහන්සේ හා සතළිස් වසරකටත් වැඩි කලක් මුළුල්ලේ නොබිඳෙන මිතුදමින් බැඳීසිටි අතපත්තුකන්දේ ආනන්ද හාමුදුරුවන් මොහොතකට අප අබිමුවේ ඉකිගැසුවේය. හාමුදුරුවනේ, නොසැලෙන සිත් පවා බිතුසිතුවම් රූ මෙන් පිටුනොපෑ මිත්‍රයකුගේ සමුගැන්ම හමුවේ සැලෙන හැටි මම දෙවැනි වරටත් පසක් කරගත්තෙමි.

ඔබවහන්සේ විසින් රචිත එක්තරා ග්‍රන්ථයක පෙරවදනේ ඇරඹුම මට මතකය.

“මා විචිත්‍ර හෝ ජනප්‍රිය ධර්ම දේශකයකු නොවේ. විහාරස්ථානයේ වගකීම් මෙන්ම අධ්‍යයන ශාස්ත්‍රීය හා සමාජ කටයුතුවල ඇති කාර්යබහුලත්වය නිසා ධර්ම දේශනා සඳහා ලැබෙන ආරාධනාවලින් සහභාගි විය හැක්කේ ඉතා සීමිත ප්‍රමාණයකි. එහෙත් සමහර ආරාධනාවල් හදිසියේ ඇතිවෙන තත්ත්වයන් මත ඉටුකළ නොහැකි අවස්ථාවලදී මා සමඟ අමනාප වූ අයද ඇතිබව සඳහන් කරනු කැමැත්තෙමි.”

අපේ හාමුදුරුවනේ, බෙල්ලන්විල රජමහා විහාරයේ වැලිකැටයක් වැලිකැටයක් ගාණේ දහවලේ තද අව්ව මෙන්ම රාත්‍රියේ මහ වැසි මැදද සැපැමිණි ජන ගංඟාව නොකියා කීවේ තුන්හිතකවත් අමනාපයක් නැති වගය. ඔබවහන්සේ මහා සෙන්පතියකු ලෙස කළ දෑහිතකාමී, ජනසුවකාමී මෙහෙවර අල්පමාත්‍රයකින්වත් ඒ හිත්වලට අමතක නැති වගය. බෙල්ලන්විල බෝ සමිඳුන් ළඟ දවසකට පැන් කළ දස දහස් ගණන් වත්කර ජීවිතේ අනන්ත අප්‍රමාණ දුක්ගැහැටවලට පිළිසරණ පතා ආ ජනී ජනයාට ඔබවහන්සේ ඒ පින්බිම කෙම්බිමක් කළ මතකය ඒ හැම දෑසක්ම දිලිසෙන කඳුළින් කියාපෑවේය.

අපේ හාමුදුරුවනේ, හඬ නැඟිය යුතු තැන නොබියව හඬනැඟූ සෙන්පති පුත්‍රයෙක් සිරිලක් අම්මාට අහිමි වූ දුකින්දෝ හැම රාත්‍රියකම මේ පොළාවට ඉහළ අහසත් පැය ගණන් ඉකිගසා හැඬුවේය. තුරල්වෙන්නට කල්යල් නොබලමින්ම ඒ මහ වැස්ස සිරිලක් අම්මාගේ අයිතිය වෙනුවෙන් හඬ නඟන්නට සිටි ඇයට හදවතින්ම ආදරය කළ දරුවකු අහිමිවීමේ දුක කියන්නට වූයේය.

අපේ හාමුදුරුවනේ, කලක් මුළුල්ලේ ඔබවහන්සේට ප්‍රතිකාර කළ වෛද්‍යතුමිය ඔබවහන්සේ දකින්නට ආ මොහොතේ මට මුණගැසුණි. දොස්තර චන්දිමා විජේගුණවර්ධන, ඇය මෙසේ කීවාය.

උන්වහන්සේට කරදරයක් නොවෙයි කියන විශ්වාසය ඇතුව තමා ඉස්පිරිතාලෙදිත් උන්වහන්සේ කතා කළේ. මට කරදරයක් වෙන්නෙ නෑ කියලා උන්වහන්සේ අපි බලන්න ගියාම කීවා. මම හැමදාමත් උන්වහන්සේගේ දැක්ක වටිනාම දේ තමා අසීමිත මනුෂ්‍යත්වය... ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් උදාහරණ කන්දරාවක් මගේ ළඟ තියෙනවා...

අපේ හාමුදුරුවනේ,.. ගුණයක්ම හැර නුගුණයක් එක් මුවකින්වත් නොකියවුණේය. මේ අත් භවයේ ඔබවහන්සේ සංසාර ගමන් මල්ලට පින් මිස පව් පුරවා නොගත් බව අපි දනිමු. එහෙත් උත්පත්තිය සමඟ මරණය ද ඉරණම් පුස්තකයේ ලියාගෙන අපි මෙලොවට පැමිණෙන්නෙමු. එහෙයින් ආ සෙයින්ම යා යුතුවද ඇත.

ආනන්ද හාමුදුරුවනේගේ දිලිසෙන දෑස් දෙස බලාගෙන අපි මෙවන් ඉල්ලීමක් කළෙමු.

බෙල්ලන්විල අපේ හාමුදුරුවන්ගේ ජීවිතයේ අවසන් පැය කිහිපය ගෙවුණු හැටි සංවේගයෙන් නමුත් අපි මතක් කරමු හාමුදුරුවනේ...

අනතුර වෙලා විනාඩි 15කින් මම එතෙන්ට ගියා... නායක හාමුදුරුවෝ කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ඉද්දි හොඳට සිහිය තිබුණා. චූලා සේනාරත්න දොස්තර මහත්තයා කීවා හාමුදුරුවනේ, ඔබවහන්සේ බලන්න ආනන්ද හාමුදුරුවෝ ආවා කියලා. “ඉන්ට බෑ මට රිදෙනවා. පුළුවන් දෙයක් ඉක්මනින් කරන්න” කියලා උන්වහන්සේ මා දිහා බලලා කීවා. මගෙන් ඇහුවා, “ආනන්ද මගේ කොඳු නාරටියටත් හානියක් වෙලා තියෙනවාද?” කියලා. මම කීවා “නෑ හාමුදුරුවනේ එහෙම වෙලා නෑ” කියලා. 

අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේගේ කළණ මිතුරු ආනන්ද හාමුදුරුවෝ තෙවැනි වරටත් හැඬුවේය.

අපි කරන්න පුළුවන් සියල්ල කළා. උන්වහන්සේගේ එකපැත්තක ඉළඇට 10 ක් බිඳිලා තිබුණා. අනික් පැත්තේ ඉළඇට 8 ක් බිඳිලා. දොස්තර කීවා හුස්මගන්න මොහොතක් පාසා ශරීර අභ්‍යන්තරය තුවාල වෙනවා. කළ යුතු සියල්ල ඉක්මනින්ම කරන්න ඕන කියලා. උන්වහන්සේගේ සහෝදර ධම්මරතන හිමියන් ඒ වෙද්දී පැමිණ නොසිටි නිසා අපි තීන්දු තීරණ ගත්තා. කළ හැකි සියල්ල කළා. සැත්කම කරන වෛද්‍යවරයා පැමිණෙන පෞද්ගලික රෝහලකට උන්වහන්සේව අරන් ගියා. සැත්කමට අවශ්‍ය සියල්ල අදාළ කොම්පැණියෙන් හවස 4.30 වෙද්දී අපි සියලු මුදල් ගෙවා ගෙන්වා ගත්තා. රෑ 7.00ට ඔපරේෂන් එක පටන් ගත්තා. 

මම රෑ 1.30 වෙනකම් එතන හිටියා. දොස්තර මහත්තයා කීවා සැත්කම ඉවරවෙද්දී උදේ 4.30 වෙයි කියලා. ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ, මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ඇතුළු හිමිවරු රෝහලේ ඉඳන් දිගටම පිරිත් කීවා. ඒ වෙද්දී බෙල්ලන්විල ධම්මරතන හාමුදුරුවොත් ඇවිත් හිටියේ. සැත්කම අතරතුරදී දොස්තර මහත්තයෙක් ඇවිත් කීවා හාමුදුරැවන්ගේ බ්ලඩ් ෆ්‍රෙෂර් අඩුවෙලා. වකුගඩුවල වෙනසක් වෙලා. ඒ ඔක්කොටම වඩා බරපතළ තත්ත්වය හාර්ට් ඇටෑක් ඇවිත්. ඉක්මනින්ම ඔක්කොටම ඉස්සර ඒකට ප්‍රතිකාර කරන්න ඕන කියලා. ඒ ඔපරේෂන් එකට ධම්මරතන හාමුදුරුවෝ අත්සන් කළා. ඒත් උන්වහන්සේ මේ භවයේ රැගෙන ආව ආයුෂ තවත් ඉතිරිව තියෙන්න නැතුව ඇති. සැත්කම අතරතුර හෘදයාබාධය හේතුවෙන් උන්වහන්සේ මේ සිරුර අත්හැර ගිහින් තිබුණා...

මහාචාර්ය බෙල්ලන්විල අපේ හාමුදුරුවනේ, 

මියන්කුමාර අර ඇත් පැටවා විහාර පාර දිගේ රැගෙන එද්දී තාප්පයක කුණු මල්ලක් එල්ලා තිබුණොත් ඌ කළේ එය හොඬවැලෙන් රැගෙන ඒ කුණු මල්ලට ෆුට්බෝලයකට මෙන් පා පහරක් එල්ල කිරීමය. ඌ කවදත් විසේකාරයාය.
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ ජීවිත පුස්තකයේ හැත්තෑ හයවැනි පරිච්ඡේදය කියවද්දී මියන්කුමාර දසවස ගෙවමින් සිටි පුංචි අලි දරුවෙකි. 

අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ රජමහා විහාර පින්බිමේ නැතිවග මියන්කුමාරටත් මේ දවස් කිහිපයේ දැනෙන්නට ඇත. දළය අල්ලා ඔබවහන්සේ පළතුරක් මුව තබන තුරු ඌ බලාසිටින්නටත් ඇත. 

අපේ හාමුදුරුවනේ, තාත්තා කෙනෙක් දඟකාර කොලුපැටවෙකුට දක්වන සෙනෙහසින් ඔබ සෙවණේ හුරතල් වූ ඒ දඟකාරයාට ඒ “තාත්තා” ජීවිතයේ ඈතකට ගොස් ඇතිවග දැනෙන්නටත් ඇත.

අපේ ලොකු හාමුදුරුවනේ... ඔබවහන්සේ යෝධයෙක් වග නොදැන සිටියේ ඔබවහන්සේම පමණි. නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන්දුන් බෝසත් වෘක්ෂයක් සදිසි ඔබ සෙවණේ පන්නරය ලද ලපලු බොහෝ වෙත්. නිර්වාණය ඔබවහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනය කරන්නට පෙර ඒ සෑම හදවතකම පැතුම මේ දෙරණේ නොවිසඳුණු අරගල වෙනුවෙන් ඔබවහන්සේ යළි මේ දෙරණේ සසර පුරුදු යෝධ ශක්තිය ගෙන යළිත් ඉපදිය යුතු වගය.

බෙල්ලන්විල විමලරතන අපේ නායක හාමුදුරුවනේ, ඔබවහන්සේගේ සිරුර දවාලූ චිතකයේ ගිනිදැල් දුමාරය අවරගිර අහසේ අළුපාට වලාකුළු මත තැවරෙද්දී සහසක් කඳුළු ඇස් මත දිලිසුණු වග ඔබවහන්සේ අද නොදකින්නට නැත. ඒ කඳුළු අතර කාටත් නොපෙනුණ කවුරුත් නොදුටුව කඳුළක් මියන්කුමාරගේ දෑස් මතද දිලිසුන වග අපේ හාමුදුරුවනේ කාටවත්ම නොදැනෙන්නටත් ඇත. 

70 වැනි නිදහස් දිනය ගැන “දේශයට” කතා කරන්නයැයි ඔබ වහන්සේගෙන් අප ඉල්ලා සිටියේ ඉකුත් 31 වැනි බදාදා රාත්‍රීෙය්දීය. ඊට පසුදා ඔබ වහන්සේ පන්සලෙන් බැහැරව යාමට සූදානමින් සිටියහ. ඒ කාර්යබහුලත්වය කරණකොටගෙන ඔබවහන්සේ පැවසුවේ “මේ සතියටනම් කතා කරන්න බැරි වෙයි. ඒත් මට ආයෙත් කතා කරන්න. මම ළඟදීම පත්තරේට කතා කරන්නම්” කියාය. අපේ හාමුදුරැවනේ එසේ කතා කරන්නට ඔබවහන්සේ අද නැත. ඒ දවස යළි කවදාවත් නොඑන දවසකි. ක්ලේශ නිවාරණ නොකළ මා හදවත මේ මොහොතේත් හඬා වැටෙයි. දේශය අපේ උත්තමාචාරය... දේශය අපේ නමස්කාරය ඔබවහන්සේගේ ශ්‍රී නාමයට පූජා වේවා! අපේ හාමුදුරුවනේ ගොසින් යළි එනු මැනව!

►සංජීවිකා සමරතුංග
සේයාරූ - සුමුදු හේවාපතිරණ 

 

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00