2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

බන්ධනාගාරයට ගිය බැඳුම්කර මගඩිය

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

කලක් ලංකා ඉතිහසයේ ලොකුම කොල්ලය වූයේ හාරලක්ෂය මංකොල්ලයයි. එය කෙතරම් රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් වූවාද කියතොත් අවසානයේ චිත්‍රපටයක් පවා නිර්මාණය විය. ලක්ෂ හතරක මුදලකට එදා  කෙතරම් දෙයක් කළ හැකිද යන්න එයින් මනාව පැහැදිලි වේ.

එම සිද්ධිය එසේ ඉතිහාසය පුරා කියවෙනවිට ලංකා ඉතිහාසයේ ලොකුම මංකොල්ලය 2015 වසරේදී මහ දවාලයේ සිදුවිය. එහි හාස්‍ය ජනක සිදුවීම නම් යහපාලන රජයක් බිහි කිරීමේ අරමුණින් පැමිණි ආණ්ඩු සමයක ආරම්භයේදීම ආණ්ඩුවේම නියෝජිතයන් එක්ව ආණ්ඩුවේම සල්ලි කොල්ලකෑමක් වන නිසාය. එය ආන්දෝලනාත්මක බැඳුම්කර කොල්ලයයි.

අහස පොළව නුහුලන මේ අපරාදය නිසා අද වනවිට රටක සමස්ත ආර්ථිකයට පණ අදින ඉරණමකට උරැමකම් කියන්නට සිදුවී ඇත. මේ කොල්ලයට සම්බන්ධ ලොකු ලොකු සුදුකර පටි කාරයින් සැප ලබනවිට දුප්පත් ජනතාව එදා වේල කන්නට නැතුව නරා දුක් විඳිති. ඒ තරම් රටේ ආර්ථිකයට බලපෑ මේ සිදුවීම කෙසේ වෙතත් යහපාලන රජය යටතේ සිදු වූ මේ මහා මංකොල්ලය සෙල්ලමක් නොවන නිසාම අවසානයේ ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත් කළේය. ඒ කොමිසම මාස ගණනවාක් ක්‍රියාත්මක වුණු අතර ඒ කොමිසම වෙත චූදිතයන් වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ඔහුගේ බෑණා වූ අර්ජුන් ඇලෝසියස් (ඔහු වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටියහ) පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ විධායක නිලධාරි කසුන් පලිසේන, එවකට මුදල් ඇමැති රවී කරැණානායක යන අයත්, ඊට අමතරව මෙම සිද්ධියට සෘජුව සම්බන්ධ අය සහ ගෑවී නොගෑවී ගිය අයත් ගෙන්වා ප්‍රශ්න කළහ. සාක්ෂිකරුවන් අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍ය  මලික් සමරවික්‍රම යන අයද සිටියහ. අවසානයේ කොමිෂන් වාර්තාව පසුගිය දෙසැම්බර් 31 වනදා ජනාධිපතිවරයාට ලබා දුන්නේය. එම වාර්තාවට අනුව අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස්, කසුන් පළිසේන යන අය චූදිතයන් කර තිබුණි. එසේම ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතුවලට යන ලෙසද දන්වා තිබුණේය. මේ අතර රවී කරුණානායකට විරුද්ධව අල්ලස් කොමිසම හරහා කටයුතු කරන ලෙසත්, බොරු සාක්ෂි ලබාදීමට විරැද්ධව වෙනම පරීක්ෂණ සිදුකරන ලෙසත් එහි සඳහන් වී තිබුණේය.

කෙසේ වෙතත් කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කීප වතාවක් නීතිපති, අල්ලස් කොමිසමේ නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් කැඳවා කතා බස් කළෝය. ඒ මේ වාර්තාවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනය. අවාසනයේ ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා අදාළ වාර්තාව නීතිපතිවරයාට ලබාදුණි.

මේ අතර රහස් පොලීසිය ද පරික්ෂණයක් ආරම්භ කර තිබුණේය. ඒ 2016 වසරේ නොවැම්බර් 25 වැනිදා  ලැබුණු පැමිණිල්ලක් ගැනය. එම පැමිණිල්ල වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් පොලිස්පතිවරයාට යොමුකර තිබූ ලිඛිත පැමිණිල්ලකි. එම පැමිණිල්ල කොමිසමට යන අතරවාරයේදී කාටත් හොරා විමර්ශනය වෙමින් තිබුණේය. එම විමර්ශනය කොමිසමේ සාක්ෂි ද යොදාගත්තේ ඒ වනවිටත් එම කොමිසමට රහස් පොලිස් නිලධාරින් සිව්දෙනකු යොදවා සිටි නිසාය.

කෙසේ වෙතත් කොමිසමේ වාර්තාවට තුළ අයත් කරුණු එකින් එක එළියට ඒමත් සමඟ ඇලෝසියස් ඇතුළු පිරිස නීතියෙන් බේරීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් අනුගමනය කරමින් සිටින බව රහස් පොලීසියට තොරතුරු ලැබුණි. මේ නිසා රහස් පොලීසිය හැකි ඉක්මනින් අර්ජුන් ඇලෝසියස්, මහේන්ද්‍රන් හා පලිසේන අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රම්වේදයක් සකස් කළේය. ඒ  අරමුණින් රහස් පොලීසිය පසුගිය සිකුරාදා අධිකරණයෙන් අවසරයක් ලබා ගත්තේය. ඒ අනුව ඇලෝසියස්ට සහ පලිසේනට විදේශ ගතවීමේ තහංචියක් අධිකරණය විසින් පැනවීය. ඊට අමතරව මහේන්ද්‍රන්ට අධිකරණය මගින් නියෝගයක් ලබාදුන්නේ 15දා අධිකරණයේ පෙනී සිටින ලෙසය. එම නියෝගයත් සමඟ මහ බැංකු සිද්ධියේ චූදිතයන් ගැස්සී ගියෝය.

මේ තත්වය මත සමාජය තුළ කතාබහක් කනින් කොනින් යන්නට වූයේ මේ සැකකරුවන්ට ඊළඟට කුමක් වෙයිද යන්න පිළිබඳවය. කෙසේ වෙතත් ඒ වනවිට රහස් පොලීසිය සැකකරැවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබුණේය. විශේෂයෙන් ඇලෝසියස් සහ පලිසේන යන පසුපස රහස් පොලිස් නිලධාරින් සිටියෝය. මේ අතරතුර රහස් පොලීසිය අවසන් තීන්දුවකට ආවේය. ඒ ඇලෝසියස් සහ පලිසේන අත් අඩංගුවට ගැනීමටය. ඒ අනුව රහස් පොලීසිය ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට නිදහස් දිනය යොදාගත්තේය. මේ සඳහා රහස් පොලීසියේ කණ්ඩායම් දෙකක් යෙදවීය. එම කණ්ඩායම් දෙකටම උපදෙස් ලබාදී තිබුණේ දෙදෙනා ව්‍යායාම සඳහා එළියට එනවිට අත්අඩංගුවට ගන්නා ලෙසය. ඒ අනුව රහස් පොලීසිය අළුයම 4.30 සිට දෙදෙනාගේම නිවෙස් අසලට වී දෙදෙනා එළියට එනතෙක් බලා සිටියේය. එහෙත් 6.30 වනතෙක් දෙදෙනා එළියට ආවෙ නැත. අවසානයේ රහස් පොලිස් කණ්ඩායම් දෙක ප්‍රධාන ගේට්ටුවට ගොස් එහි මුරකරුට දන්වා ඇතුළට යාමට තීන්දු කළේය. එහෙත් ආරක්ෂක අංශ ඊට අවසර දුන්නේ නැත. අවසානයේ රහස් පොලිස් නිලධාරීන් තාප්පයෙන් පැන වත්තට ඇතුළු වූහ. එසේ ඇතුළු වුවත් ඇලෝසියස්ගේ නිවෙසේ දොර වසා තිබුණේය.

අවසානයේ රහස් පොලිස් නිලධාරීන් දුරකථනය හා සම්බන්ධ වෙමින් නිවෙසේ දොර අරින ලෙස දැන්වීය. එහෙත් එය තඹ සතයකට මායිම් නොකළ ඇලෝසියස් රහස් පොලීසියට පවසා තිබුණේ තමන්ගේ නීතිඥයන් එනතුරු දොර විවෘත නොකරන බවය. කෙසේ වෙතත් අවසානයේ උදෑසන 7.30 පමණා නීතිඥ කණ්ඩායමක් ඇලෝසියස්ගේ සහයට ආහ. ඊට පසු නිවෙසේ දොරගුලු විවෘත විය. දොර විවෘත වුවත් ඇලෝසියස් එහි සිටියේ නැත. රහස් පොලීසිය ඒ පිළිබඳ විමසීමේදි පවසා සිටියේ ඇලෝසියස් නාන කාමරයේ ස්නානය කරන බවය. කෙසේ වෙතත් රහස් පොලීසිය ඊට අවනත වුණේ නැත. අවසානයේ ඇලෝසියස් ජැන්ඩිපහට ඇඳ රහස් පොලීසියේ අත්අඩගුවට පත් විය. මේ අතර පලිසේනද කොටුවිය.

ඒ අනුව දෙදෙනාම එවලේම රහස් පොලිස් මුලස්ථනයට රැගෙන ආවේය. එහිදී රහස් පොලිස් නිලධාරින් දෙදෙනා වෙනම තබාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කළෝය. ඇලෝසියස්ගේ එකම ප්‍රකාශය වූයේ මෙය වැරදි ගනුදෙනුවක් නොවන බවත් එය ඉතිහාසයේ පටන් මෙවැනි ගනුදෙනු සිදුවී ඇති බවත්ය. එසේම රහස් පොලීසිය කිනම් හෝ මොහොතක එනු ඇති බවට මුල සිටම දැන සිටි බවත් ඇලෝසියස් කීය. පලිසේනද එකම කතාව කීය. කෙසේ වෙතත් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම රාත්‍රී 9.30 වනවිට ප්‍රශ්න කිරීම් නිමවිය. එහෙත් ලැබුණු තොරතුරක් නැත. එසේම කිව්ව රහසක්ද නැත. අසන සෑම ප්‍රශ්නයකින්ම දෙදෙනාම ලස්සනට ලිස්සා ගියෝය. කෙසේ වෙතත් රහස් වෙනුවට දෙදෙනාම හිනාවකින් රහස් පොලීසියට නිතර සංග්‍රහ කළෝය.

අවසානයේ ඇලෝසියස් සහ පලිසේන රාත්‍රියේ මහේස්ත්‍රාත් නිල නිවසට යොමුකළේය. ඉන් අනතුරුව දෙදෙනා ඊට පසුදින තෙක් බන්ධනාගාර ගත කළෝය. බන්ධනාගාර ගත කළ දෙදෙනාටම ඉන්නට ලැබුණේ ඉතිහාසයේ පටන් දේශපාලනඥයන් රැඳී සිටි කුටියකි. ඒ නව මැගසින් බන්ධනාගාරයේ ඊ කුටියයි. එම කුටිය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු බොහෝමයක් රැඳී සිටි තැනකි. එහි විශේෂ ආරක්ෂවක් යොදවා ඇති අතර සාමන්‍ය රැඳවියන්ට එම ප්‍රදේශය තහනම් කලාපයක් විය. කෙසේ වෙතත් දෙදෙනා පළමු දවසේ පැදුරක නිදාගෙන ඇත. එහෙත් දෙවන දවසේ මෙට්ට දෙකක් දෙදෙනාටම ලැබුණි. එසේම ගෙදරින් ගෙනෙන රසවත් ආහාරවල රස බලන්නට ද අවස්ථාව උදවිය. 

මේ අතරතුර ජවිපේ අනුර කුමාර පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඇලෝසියස් බැලීමට දේශපාලනඥයන් බන්ධනාගාරයට ගොස් ඇති බවය. ඒ අයගේ නම් හෙළි කරන ලෙසත් ඔහු කීය. ඒ ගිය අයගේ නම් සැබවින්ම හෙළිකළ යුතුව ඇත. ඒ ජනතා මුදල් හොරා කෑ උන් බලන්නට ජනතා නියෝජිතයන් රෙදි ඇඳගෙන ගියාද නැද්ද යන්න සොයා බැලීමටය.

කෙසේ වෙතත් ඇලෝසියස් ගේ නාඩගමේ පළමු කොටස මෙලෙසින් ආරම්භ විය. දෙවැනි කොටස අර්ජුන් මහේන්ද්‍රන්ගෙන්ය. තුන්වන කොටස බොහෝ දෙනා අද හෙටම අනාවැකි පළකරනු ඇත. ඒ තුන්වැනියා බොහෝ දුරට දන්නා කියන දේශපාලනඥයකු අයකු විය හැක. එතෙක් අප බලා සිටිමු.

එමෙන්ම අපක්ෂපාතීව මේ මහා මංකොල්ලයේ සියලු වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තුරැ අපි දෑස් දල්වා බලා සිටිමු.

 ගයාන් ගාල්ලගේ

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30